Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබට මතකද?

මෑතකදී පළ වූ මුරටැඹ සඟරාවල ලිපි කියවීමෙන් ඔබ අවබෝධයක් ලැබුවාද? එසේ නම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමෙන් ඔබේ දැනුම මැන බලන්න.

වෙනත් පුද්ගලයෙකු සමඟ ඇති වූ මතභේදයක් විසඳාගැනීමේදී මූලිකවම අවශ්‍ය කරන්නේ කුමක්ද?

එනම් පළමුකොට අප වැරදි සිතුවිලි සහ ආකල්ප ඇති කරගැනීමට නැඹුරුවාවක් දක්වන අය බව තේරුම්ගත යුතුයි. ඉන්පසු ගැටලුවට මුල අනෙක් පුද්ගලයා නොව අපිම බව සැලකිල්ලට ගත යුතුයි.—8/15, 23වන පිටුව.

ක්‍රියා 3:21හි සඳහන් “නැවත පිහිටුවන්නාවූ කාලවල්” ආරම්භ වන්නේ කවදාද?

නැවත පිහිටුවන්නාවූ කාලවල් ආරම්භ වන්නේ අදියර දෙකකින්. පළමු අදියර, 1919 සිට පවතින ආත්මික පාරාදීසයයි. ඊළඟ අදියර අපගේ පොළොව මතට භෞතික පාරාදීසය පැමිණි විට ආරම්භ වීමට නියමිතයි.—9/1, පිටු 17, 18.

හිතෝපදේශ 6:6-8හි සඳහන්ව ඇති ආකාරයට කුහුඹුවන්ට ප්‍රධානියෙක් නැතත් උන් අපට ආදර්ශයක් සපයන්නේ කෙසේද?

කුහුඹු රැළක රැජිනක් සිටියත් ඇයගේ කාර්යය සීමා වන්නේ බිත්තර දැමීමට සහ රැළේ මව ලෙස කටයුතු කිරීමට පමණයි. නමුත් කුහුඹුවන් කඩිසරයි. ඒ හා සමානව අපත් අපගේ වැඩ කොටස යම් කෙනෙක් පරීක්ෂා කළත් නොකළත් එය කඩිසරව කිරීමට වෑයම් කළ යුතුයි.—9/15, 26වන පිටුව.

යොෂියා යුද්ධයේදී මාරාන්තික ලෙස තුවාල ලැබීය. නමුත් 2 රාජාවලිය 22:20හි සඳහන් හුල්දාගේ අනාවැකියේ පවසා තිබෙන්නේ, යොෂියා “සමාදානයෙන්” මියයන බවයි. එය නිවැරදිද?

ඔහු මියගියේ, බබිලෝනිවරුන් යෙරුසලම වටලා එය විනාශ කළ කාලපරිච්ඡේදය වන පො.යු.පෙ. 609-607හි සිදු වූ විපත්තියට පෙරය. ඒ අර්ථයෙන් ගත් කල එය නිවැරදියි.—9/15, 30වන පිටුව.

සාලමොන් භාර්යාවක්ව “ආදරණීය මුවදෙනක් සහ ප්‍රියකරු කඳු එළුදෙනක්” ලෙස විස්තර කිරීම සුදුසු වන්නේ මන්ද? (හිතෝපදේශ 5:18, 19, NW)

අයිබෙක්ස් නොහොත් කඳු එළුදෙන ස්වභාවයෙන් නිශ්චල ගති ඇති, චිත්තාකර්ෂණීය සතෙකි. කිසිවෙකුටත් පහසුවෙන් එළඹිය නොහැකි කෑම හිඟ, රළු ගල් පරවල පැටවුන් බිහි කිරීමට උන් සතු හැකියාව විශිෂ්ටයි.—10/1, පිටු 30, 31.

හෙන්රි ගෲ සහ ජෝර්ජ් ස්ටෝර්ස් යනු කවරහුද?

ඔවුන් 1800 ගණන්වල ජීවත් වූ අතර උද්‍යෝගිමත් බයිබල් ශිෂ්‍යයන් විය. ත්‍රිත්වය, ආත්මයේ අමරණීයභාවය සහ නිරාගින්න වැනි ඉගැන්වීම්වලට ශුද්ධ ලියවිලිමය පදනමක් නැති බව ගෲ සොයාගත්තේය. සමහරෙකු පොළොව මත සදාකාල ජීවිතයක් භුක්ති විඳින බව ස්ටෝර්ස් තේරුම්ගත්තේය. මොවුන් දෙදෙනාම ජීවත් වී ඇත්තේ 1879 මෙම සඟරාව ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළ චාල්ස් ටේස් රසල්ට පෙරයි.—10/15, පිටු 26-30.

තමන්ගේම රුධිරය රැගෙන කරනු ලබන වෛද්‍ය ක්‍රියාකාරකම් ගැන යෙහෝවාගේ සාක්ෂිකරුවන් සැලකිය යුත්තේ කෙසේද?

බයිබලය මත පදනම් ඔවුන්ගේ ඇදහිල්ලට අනුව, තමන්ගේ රුධිරය ගබඩා කර තබා එය නැවත ශරීරගත නොකෙරේ. ශල්‍ය කර්මයකදී, වෛද්‍ය පරීක්ෂණයකදී හෝ දැනට සිදු කෙරෙමින් පවතින චිකිත්සාවකදී තමන්ගේ රුධිරය පාවිච්චි කිරීමට ඉඩ දෙන්නේ කිනම් ආකාරයටද කියා එක් එක් ක්‍රිස්තියානියා තීරණය කළ යුතුයි. බයිබලයේ රුධිරය සම්බන්ධයෙන් පවසන දේ ඔවුන් සැලකිල්ලට ගත යුතු අතර තමන් දෙවිට කැප වී ඇති බවත් ඔවුන් අමතක නොකළ යුතුයි.—10/15, පිටු 30, 31.

මෙම වසර මුලදී කළ සමීක්ෂණයකට අනුව ලොව පුරා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට තිබෙන විශේෂ අවශ්‍යතාව කුමක්ද?

ආර්ථික වශයෙන් දිළිඳු, සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ රාජ්‍ය ශාලා 11,000කට වැඩි සංඛ්‍යාවක අවශ්‍යතාවක් තිබේ. මෙම රැස්වීම් ස්ථාන ගොඩනැඟීම සඳහා විවිධ රටවල්වල සිටින ක්‍රිස්තියානීන්ගෙන් ලැබෙන සම්මාදම් යොදාගැනේ.—11/1, 30වන පිටුව.

බයිබලයේ ඇති නමස්කාරය යන වචනයට යොදාගෙන තිබෙන මුල් ග්‍රීක් වචන මොනවාද?

එක් වචනයක් නම් ලෙයි.ටුර්.යිʹයා යන ග්‍රීක් වචනයයි. එය “පොදු ජන සේවය” ලෙස පරිවර්තනය කර තිබේ. තවත් ග්‍රීක් වචනයක් වන්නේ ලා.ට්‍රිʹආ යන වචනයයි. එය “පරිශුද්ධ සේවය” ලෙස පරිවර්තනය කර තිබේ. (හෙබ්‍රෙව් 10:11NW; ලූක් 2:36, 37NW)—11/15, පිටු 11, 12.

ආදම් සහ ඒව පිළිබඳව ඇති බයිබල් වාර්තාවෙන් ඉගෙනගත හැකි මූලික පාඩම කුමක්ද?

යෙහෝවා දෙවිගෙන් ස්වාධීනව කටයුතු කිරීමට යෑම අන්ත මෝඩකමක් බවය.—11/15, පිටු 24-7.

දෙවි ඔහුගේ සේවකයන්ව ශක්තිමත් කරන බවට ඇති ශුද්ධ ලියවිලිමය සාක්ෂි මොනවාද?

දාවිත්, හබක්කුක් සහ ප්‍රේරිත පාවුල් විසින් තමන්ව ශක්තිමත් කිරීමට යෙහෝවා දෙවි සතු හැකියාව සහ ඔහු සතු බලය ගැන පෞද්ගලිකව සාක්ෂි දෙනු ලැබීය. (ගීතාවලිය 60:12; හබක්කුක් 3:19; පිලිප්පි 4:13) එමනිසා, දෙවි අපව ශක්තිමත් කිරීමට කැමති බවත් ඔහුට එය කිරීමට හැකි බවත් අපට විශ්වාස කළ හැකියි.—12/1, පිටු 10, 11.