Skip to content

පටුනට යන්න

කිඇපස් උස්බිම්වලටත් සාමයේ පණිවිඩය

කිඇපස් උස්බිම්වලටත් සාමයේ පණිවිඩය

කිඇපස් උස්බිම්වලටත් සාමයේ පණිවිඩය

“එදා කිඇපස් ජනපදයේදී, හිස් ආවරණ පැළඳි අවි සන්නද්ධ කණ්ඩායමක් මොළකැටි අතදරුවන් 13දෙනෙකු ඇතුළු, හව්හරණක් නැති ගොවීන් 45දෙනෙකු මරා දමමින් සිදු කළ දරුණුතම සමූලඝාතනය කෙදිනකවත් මතකයෙන් ඈත් නොවන්නකි.” “එල් යූනිවර්සාල්” පුවත්පත එලෙස වාර්තා කළේ 1997 දෙසැම්බර් 22වෙනිදා කිඇපස් ජනපදයේ ආක්ටෙආල්හි සිදු වූ දේ සම්බන්ධයෙනි.

කිඇපස් ජනපදය පිහිටා තිබෙන්නේ මෙක්සිකෝවේ දකුණු කෙළවරේ එනම් ග්වාටමාලා දේශ සීමාවෙයි. එහි දිගු කලක් පුරා දිළිඳුකමෙන් පීඩිතව සිටි ස්වදේශිකයන් වූ මායා ජාතික ඉන්දියානුවන් කණ්ඩායමක්, එකර්සිටෝ සාපාටිස්ටා ඩ ලිබරාස්‍යොන් නසියෝනාල් (EZLN සාපාටිස්ටා හමුදාවේ ජාතික නිදහස) යන නමින් 1994 ජනවාරිවලදී අවි සන්නද්ධව නැඟී සිටියා. ගැටුම සමථයකට පත් කිරීමට රජය සාමකාමී විසඳුමක් සෙවූ මුත් සම්මුතියකට එළඹීමට නොහැකි වුණා. කැරලිකරුවන් හා රජයේ හමුදා මගින් පිට පිට එල්ල කළ ප්‍රහාරයන්වල ප්‍රතිඵලය වුණේ ලේ වැගිරීම් හා ඝාතනයන් සිදුවීමයි. මෙම වියවුල මැද අතරමං වූ බොහෝ ගොවියන් ආරක්ෂාව පතා වෙනත් ප්‍රදේශවලට පලාගියා.

දේශපාලනික ගැටුම් පැවති මෙවැනි අස්ථාවර වාතාවරණයක් මැද වුවත් තම මධ්‍යස්ථභාවය රැකගත් එක් සාමකාමී කණ්ඩායමක් සිටිනවා. ඔවුන් දේවරාජ්‍යය කෙරෙහි තම අවධානය යොමු කරමින් ජ්වලිතව සිටින අතර, දේශීයව හා ලෝක ව්‍යාප්තව ජනයා මුහුණ දෙන ගැටලුවලට විසඳුමක් බලාපොරොත්තු වන්නේ දේවරාජ්‍යයෙන් පමණයි. (දානියෙල් 2:44, 45) ඔවුන් කවුද? ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ය. යේසුස්ගේ අණට කීකරුව මහත් පරිශ්‍රමයක් දරමින් ඔවුන් කිඇපස් උස්බිම්වල පිහිටි දුර ඈත ප්‍රදේශවලට දේවරාජ්‍යයේ සුභ පණිවිඩය රැගෙන යමින් සිටිනවා. (මතෙව් 24:14) එවැනි අස්ථාවර වාතාවරණයක් යටතේ දේශනා කිරීම ලේසි පහසු එකක් වුණාද? ලැබූ ප්‍රතිඵල මොනවාද?

“මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්”

මෑතකදී රාජ්‍ය ප්‍රචාරකයෙකු බවට පත් වූ ආඩොල්ෆෝ නම් තරුණයා දිනක් ඕකෝසින්ගෝහි පිහිටි ගුවන් විදුලි මධ්‍යස්ථානයක වැඩ කරමින් සිටියදී, එකපාරටම හයියෙන් දොරට ගහන ශබ්දයක් ඔහුට ඇසුණා. ඒත් එක්කම හිස් ආවරණ පැළඳි මිනිසුන් කණ්ඩායමක් කඩා වැදී ඔහුගේ හිසට තුවක්කු එල්ල කරගත්තා. අනතුරුව ඔවුන් ගුවන් විදුලි විකාශන කුටියට ගොස් බලහත්කාරයෙන් ගුවන් විදුලි පණිවිඩයක් නිකුත් කරමින් රජයට විරුද්ධව තමන් යුද්ධ ප්‍රකාශ කර ඇති බව නිවේදනය කළා.

නැවතත් අවි සන්නද්ධ මිනිස්සු ආඩොල්ෆෝ දෙසට හැරී තමන්ගේ කල්ලියට බැඳෙන්න කියා ඔහුට අණ කළා. එවිට ඔහු “මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්” කියා පැවසුවා. ඒ වන විට ආඩොල්ෆෝ බව්තීස්ම වී සිටියේ නැහැ. සාමය බලාපොරොත්තු විය හැක්කේ දේවරාජ්‍යයෙන් පමණක් බව පැහැදිලි කළ ඔහු ඔවුන් ඉදිරිපත් කළ නිල ඇඳුම හා තුවක්කුව භාරගැනීම තරයේ ප්‍රතික්ෂේප කළා. ඔහුගේ නොසැලෙන ස්ථාවරය දුටු ඔවුන් ඔහුට යන්න ඉඩහැරියා. ඒ සිද්ධිය මතකයට නඟමින් ආඩොල්ෆෝ මෙසේ පවසනවා. “ඒ සිද්ධියෙන් මගේ ඇදහිල්ල තවත් ශක්තිමත් වුණා.”

අන්තිමේදී තත්වය හොඳ අතට හැරුණත් එම ප්‍රදේශය පැවතුණේ හමුදා පාලනය යටතෙයි. එවැනි තත්වයක් පැවතුණත්, ආඩොල්ෆෝ එම ප්‍රදේශයේ පිහිටි සභාවේ වැඩිමහල්ලන්ගෙන් ලැබුණු ආරාධනය සතුටෙන් පිළිගත්තා. ඔහුට පැවරී තිබුණේ ඈත පිටිසර ප්‍රදේශයක සිටි ක්‍රිස්තියානීන් කණ්ඩායමක් එක්ක වැඩ කිරීමටයි. ඔහුට මුරකපොල්ලක් පසු කරන්න සිදු වූ අවස්ථාවලදී, තමා යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් කියා ඔහු තමාව හඳුන්වා දුන් විට එහි සිටි සෙබළුන් ඔහුට ගෞරවයෙන් සැලකුවා. ඔහු පසුව බව්තීස්ම වූ අතර හුදෙකලා වී සිටි එම කණ්ඩායමට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක් දක්වා වර්ධනය වීමට උපකාර කිරීමට ලැබීමේ තෘප්තිය අද්දැක්කා. “දැන් මම බව්තීස්ම වෙලා ඉන්න නිසා මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් කියලා මුළු හදවතින්ම මට කියන්න පුළුවන්” කියා ආඩොල්ෆෝ ප්‍රකාශ කළා.

‘යෙහෝවා අපිව ශක්තිමත් කළා’

EZLN කණ්ඩායම ගුවන් විදුලියෙන් රජයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කිරීමෙන් ටික දවසකට පසුව නගරබද වැසියන් පලාගියා. එසේ පලාගිය පූර්ණ කාලීන සේවකයෙකු නැතහොත් පුරෝගාමියෙකු වූ ෆ්‍රැන්සිස්කෝ, තමාටත් තම බිරිඳටත් විඳින්න සිදු වූ පීඩාවලදී යෙහෝවා තමන්ව ශක්තිමත් කළ ආකාරය ගැන පැහැදිලි කළේ මෙලෙසයි.

“පැය තුනකින් විතර ඇවිදගෙන යන්න පුළුවන් ආරක්ෂිත පළාතක නවතින්න අපි තීරණය කළා. එහේ සභාවක් තිබුණ නිසා අපිට සහෝදරයන් එක්ක ආශ්‍රය කරන්නත් පුළුවන් වුණා. වැඩි කලක් යන්න මත්තෙන් පාලෙන්කේවල චාරිකා එක්රැස්වීම පවත්වන කාලය උදා වුණා. මගේ බිරිඳටත් මටත් පුරෝගාමීන් සඳහා පවත්වන විශේෂ රැස්වීමට කොහොමහරි යන්න ඕනකම තිබුණත්, EZLN කණ්ඩායම එක්රැස්වීමට යන මාර්ගය අවහිර කරලා තියෙන බව අපිට දැනගන්න ලැබුණා. ඉතින් අපි කැලෑ පාරකින් එහෙට යන්න තීරණය කළා. එහෙට යන්න පැය නවයක් ගත වුණා. අපි පුරෝගාමි රැස්වීම පටන්ගන්න කලින්, වෙලාවට එතැනට ගියා. මේ රැස්වීමටත්, මුළු එක්රැස්වීමේ වැඩසටහනටත් ඉන්න ලැබුණ එක අපිට මොනතරම් ප්‍රීතියක්ද!

“අපි ආපහු ගෙදර යද්දී අපේ ගේ පුච්චලා අපේ සතුන්වත් හොරෙන් ගෙනිහින් තිබුණා. ඉතුරු කරලා තිබුණේ පුංචි ඇඳුම් මල්ලක් විතරයි. අපිට වෙච්ච පාඩුව ගැන අපිට දුක හිතුණත්, ඕකෝසින්ගෝවල සහෝදරයන් කැමැත්තෙන්ම ඔවුන්ගේ ගෙවල්වල අපට නවාතැන් දුන්නා. ගොවියන් හැටියට අපි කලින් කවදාවත් නොකරපු දේවල් කරන්නත් ඒගොල්ලෝ අපිට කියලා දුන්නා. එක සහෝදරයෙක් ඡායාරූප ගන්න විදිහත්, තවත් එක්කෙනෙක් සපත්තු අලුත්වැඩියා කරන විදිහත් මට ඉගැන්නුවා. මටයි මගේ බිරිඳටයි නොනවත්වාම පුරෝගාමී සේවයේ නියැළෙන්න පුළුවන් වුණේ ඒ නිසයි. සිද්ධ වුණ දේවල් ගැන කල්පනා කරලා බලද්දී, විඳදරාගන්න එක පහසු නැති වුණත් යෙහෝවා අපිව ශක්තිමත් කරලා තියෙන බව අපිට තේරෙනවා.”

දේශනා වැඩයෙන් නෙළූ ඵල

කිඇපස් ජනපදයේ සාක්ෂිකරුවන් එහි පැවති දුෂ්කරතා සහ අනතුරු හේතුවෙන් එහි වැසියන් වෙත සුභ පණිවිඩය ගෙන යෑමෙන් වැළකී සිටීමට අදහස් කළේ නැහැ. උදාහරණයක් හැටියට, 1995 අප්‍රියෙල් හා මැයි මාසවලදී, ජීවිතය මෙතරම් ගැටලුවලින් පිරී ඇත්තේ මන්ද? යන ඉතා උචිත තේමාවෙන් යුත් රාජ්‍ය ආරංචි අංක 34 බෙදාහැරීමේදී ඔවුන් ලොව පුරා සිටින තම සෙසු ක්‍රිස්තියානීන් සමඟ හවුල් වුණා.

පත්‍රිකාව බෙදාහරින විට, ස්ථාවර පුරෝගාමියෙකු වූ සීරෝට, පුවෙබ්ලෝ නුවේබෝ නම් ස්ථානයේදී, උනන්දුවක් දැක්වූ පවුලක් සම්බ වුණා. දින තුනකට පසුව නැවතත් එහි ගිය ඔහුට ඔවුන් සමඟ බයිබල් පාඩමක් අරඹන්න හැකි වුණා. නමුත් සීරෝ සහ ඔහුගේ මිත්‍රයෙක් ඒ පවුල එක්ක පාඩම පැවැත්වීමට නැවත යද්දී පවුලේ මූලිකයා ගෙදර හිටියේ නැහැ. ඒ වෙනුවට, හිස් ආවරණ පැළඳි මිනිසුන් කණ්ඩායමක් පවුලේ මූලිකයාට අනතුරක් කිරීමට එහි රැකගෙන සිටියා. මොනවද හොයන්නේ කියලා අහන ගමන් ඔවුන් සීරෝ සහ ඔහුගේ මිත්‍රයාව මරන බවට තර්ජනය කළා. නමුත් නිහඬව යෙහෝවාට යාච්ඤා කළ පසු, තමන් පැමිණියේ මේ පවුලේ අයට බයිබලය උගන්වන්නයි කියා මේ ක්‍රිස්තියානීන් දෙදෙනා ධෛර්යය උපදවාගෙන පැහැදිලි කළා. එවිට ඒ මිනිස්සු ඔවුන්ට යන්න හැරියා. මොනයම් හේතුවක් නිසා හෝ එම නිවසේ මූලිකයා එදින නිවසට ආවේ නැහැ.

නමුත් ඊට වසර තුනකට පසුව, සීරෝව පුදුමයෙන් පුදුමයට පත් කරමින් එම තැනැත්තා සීරෝගේ නිවස සොයාගෙන පැමිණියා. පවුලේ හැමෝම බව්තීස්ම වී දැන් ග්වාටමාලාහි සභාවකට යන බව ඔහු පැවසූ විට සීරෝගේ ප්‍රීතිය ඉහවහා ගියා! ඒ වෙනකොට ඔහුගේ එක දියණියක් ස්ථාවර පුරෝගාමී සේවයෙත් නියැළෙමින් සිටියා.

ආත්මික ආහාර සඳහා අගය දක්වමින්

එක් දිස්ත්‍රික් අවේක්ෂකයෙක් වාර්තා කරන්නේ කිඇපස්හි දිගටම දුෂ්කර තත්වයක් පැවතියත්, ඇත්තෙන්ම එම පළාතේ සාක්ෂිකරුවන් රැස්වීම් අගය කරන බවයි. (හෙබ්‍රෙව් 10:24, 25) මෑතකදී පැවති විශේෂ එක් දින එක්රැස්වීමකදී සිද්ධ වුණ දෙයක් සම්බන්ධයෙන් ඔහු මෙසේ පවසනවා. රැස්වීමට පැමිණෙන්නන්ට කළුවර වැටෙන්න කලින් නිවෙස් බලා යෑමට හැකි වන පිණිස එය උදෙන්ම පටන්ගැනීමට සැලසුම් කර තිබුණා. ඔවුන්ගෙන් වැඩිදෙනෙකුට එක්රැස්වීමට පැමිණීම සඳහා කැලෑව හරහා පැය තුනකට වඩා ගමන් කිරීමට සිදු වුණත්, හැමෝම උදේ 7:00 වෙනකොට තමන්ගේ ආසනවල හිඳගෙන සිටියා. ඔවුන් අතර EZLN කණ්ඩායමේ හයදෙනෙකුත් අත්පොළසන් දෙමින් ප්‍රීතියෙන් වැඩසටහනට කන් යොමාගෙන සිටියා. එක්රැස්වීමට පැමිණීමට ඔවුනුත් පැය තුනක් ඇවිද්දා. රාජ්‍ය ශාලාවක පැවැත්වූ ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමේ උත්සවයටත් ඔවුන්ගෙන් විසිදෙනෙක් ඇවිත් සිටියා.

මෙම ගරිල්ලා කණ්ඩායමට අයත් තවත් තරුණයෙකුව ඔහුගේ නායකයන් විසින් එක්තරා කැලෑ ප්‍රදේශයක මුර සංචාරයේ යෙදෙව්වා. ඔහු එම ප්‍රදේශයට ගිය විට එහි සියලුම වැසියන් පලාගොස් තිබෙන බවත්, එහි පදිංචිව සිටි අයගෙන් වැඩි පිරිසක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් බවත් ඔහුට දැනගන්න ලැබුණා. ඉතින් පාළුවට ගිය ගෙදරක නවාතැන් ගත් ඔහු කරන්න එතරම් වැඩකුත් නැති නිසා නිවසේ තිබුණ පොත් කීපයක් අරගෙන කියවන්න පටන්ගත්තා. ඒවා සාක්ෂිකරුවන් දාලා ගිහින් තිබුණ වොච් ටවර් සමිතියේ ප්‍රකාශනයි. හුදකලාවේ සිටි නිසා මේ තරුණයාට තමන් කියවන දේවල් මෙනෙහි කරන්නත් කාලය තිබුණා. එසේ කරද්දී ඔහු තමාගේ ජීවිතය වෙනස් කරලා තමා අයත් වූ ගරිල්ලා කණ්ඩායමෙන් ඉවත් වෙන්න තීරණය කළා. එයින් ඉවත් වීමට හැකි වූ වහාම ඔහු සාක්ෂිකරුවන්ව සොයාගෙන ගොස් බයිබල් පාඩමක් පටන්ගත්තා. මාස හයක් යන්නත් කලින් ඔහු අන් අයට සුභ පණිවිඩය ප්‍රකාශ කරමින් සිටියා. ඔහුත්, ගරිල්ලා කණ්ඩායමට සහයෝගය දැක්වූ ඔහුගේ පවුලේ තවත් සාමාජිකයන් තුන්දෙනෙකුත් දැන් බව්තීස්ම ලත් ක්‍රිස්තියානීන් වී සිටිනවා.

හොඳ පැත්ත දැකීම

ගැටුම් නිසා සෑහෙන දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන්න සිදු වුවත්, දේශනා සේවය කෙරෙහි ජනයාගේ ආකල්පයට එය හොඳ බලපෑමක් කළා. අරගලය හටගත් නගරයේ වෙසෙන වැඩිමහල්ලෙක් ඒ සම්බන්ධයෙන් විස්තර කළේ මෙයාකාරයෙනුයි. “සටන පටන් අරං දවස් පහකට විතර පස්සේ අපි නගරය ඇතුලෙත්, පිටත් දේශනා සේවයේ යෙදෙන්න සැලසුම් යෙදුවා. මිනිස්සු අපිට ඇහුම්කන් දෙන්න හුඟක් ආසාවෙනුයි හිටියේ. ඉතින් අපි බයිබල් පොත් පත් හුඟක් බෙදාහැරලා බයිබල් පාඩම් කීපයකුත් පටන්ගත්තා. එක ප්‍රදේශයක සිටි අයගෙන් හුඟදෙනෙක් සත්‍යයට දැඩි විරුද්ධවාදිකම් පාලා තිබුණත්, අරගලය නිසා දැන් ඒ අයත් සවන් දෙන්න කැමතියි. ඒ වගේම බයිබලය පාඩම් කරන්නත් කැමතියි. ඔවුන් දැන් රැස්වීම්වලටත්, එක්රැස්වීම්වලටත් එනවා.”

අධි අවදානම් තත්වයන් යටතේ පවා තමන්ගේ දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම්වල යෙදෙන්න තමන්ට හැකිවීම ගැන සහෝදරයන් සතුටු වෙනවා. රජයේ හමුදා හා EZLN කණ්ඩායම දැනුවත්ව ඔවුන් තමන්ගේ එක්රැස්වීම් පවත්වාගෙන යන අතර ඒවා ඔවුන්ව ආත්මිකව ශක්තිමත් කර තිබෙනවා. සංචාරක අවේක්ෂකයන්ගේ බැහැදැකීම්ද දේශනා සේවය දිගටම කරගෙන යෑමට බලවත් ආධාරකයක් වී තිබෙනවා. සාක්ෂිකරුවන්ට දේශනා සේවය දිගටම කරගෙන යන්නයයි පවසමින් යුධ වැදී සිටින අය පවා බොහෝවිට ඔවුන්ව දිරිගැන්වීම සිත්ගන්නාසුලු දෙයක්.

කිඇපස්හි ජනයාගේ දුෂ්කරතා ටිකක් අඩු වෙලා තිබුණත් තාම ඉවරයක් වෙලා නැහැ. මොනවා වුණත්, දේවවචනය වන බයිබලය තුළින් සාමයේ පණිවිඩය ජනයා කරා ගෙන යෑමට තමන් දරන වෑයම දිගටම පවත්වාගැනීමට, යෙහෝවාගේ සාක්ෂිකරුවන් තීරණයක් ගෙන තිබෙන බව නම් ස්ථිරයි. (ක්‍රියා 10:34-36; එපීස 6:15) ප්‍රොපේත යෙරෙමියා පැවසූ පරිදි, ‘මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බවත්, ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැති’ බවත් ඔවුන් වටහාගෙන තිබෙනවා. (යෙරෙමියා 10:23) මේ අනුව බලන කල, ලෝකයේ පවතින අයුක්තිය හා දිළිඳුකමට විසඳුමක් ගෙන ආ හැක්කේ දෙවිගේ පුත්, යේසුස් ක්‍රිස්තුස්ගේ බලය යටතේ පවතින දේවරාජ්‍යයට පමණයි.—මතෙව් 6:9, 10.

[9වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

මෙක්සිකෝ බොක්ක

කිඇපස්

ග්වාටමාලා

පැසිෆික් සාගරය

[හිමිකම් විස්තර]

Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.

[9වන පිටුවේ පින්තූරය]

කිඇපස් උස්බිම්වල දේවසේවය සඳහා යන සාක්ෂිකරුවන්