Skip to content

පටුනට යන්න

නත්තල හා බැඳි චාරිත්‍රවලට ක්‍රිස්තියානි පදනමක් ඇද්ද?

නත්තල හා බැඳි චාරිත්‍රවලට ක්‍රිස්තියානි පදනමක් ඇද්ද?

නත්තල හා බැඳි චාරිත්‍රවලට ක්‍රිස්තියානි පදනමක් ඇද්ද?

දැන් නත්තල් උත්සව සමයයි. ඔබටත්, ඔබේ පවුලේ අයටත්, හිත මිතුරන්ටත් එය බලපාන්නේ කෙසේද? නත්තල ආත්මික වශයෙන් යම් වැදගත්කමක් උසුලනවාද? එහෙමත් නැත්නම් එය නිකම්ම විනෝද වීම සඳහා තිබෙන කදිම අවස්ථාවක්ද? නත්තල් සමය, යේසුස් ක්‍රිස්තුස්ගේ උපත ගැන මෙනෙහි කිරීම සඳහා වෙන් කළ යුතු කාලයක්ද? එසේත් නැත්නම් එම කාලය තුළදී ක්‍රිස්තියානි ප්‍රතිපත්ති ගැන එතරම්ම සැලකිල්ලක් දක්වන්න අවශ්‍ය නැද්ද?

මෙම ප්‍රශ්නවලට පිළිතුරු සලකා බලද්දී නත්තල් චාරිත්‍ර ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන බව මතක තබාගන්න. එමනිසා මෙම ලිපියෙහි සඳහන් ඇතැම් චාරිත්‍ර ඔබේ රටෙහි චාරිත්‍රවලට වඩා වෙනස් විය හැක. උදාහරණයකට, මෙක්සිකෝවේ හා වෙනත් ලතින් අමෙරිකානු රටවල නත්තල සඳහා භාවිත කරන්නේ ක්‍රිස්මස් (Christmas) නමැති ඉංග්‍රීසි වචනයට හාත්පසින්ම වෙනස් වචනයකි. එක් ශබ්දකෝෂයක සඳහන් වන පරිදි ක්‍රිස්මස් යන වචනය පැමිණ ඇත්තේ “ක්‍රිස්ටස් මාස් නමැති මධ්‍යතන යුගයේ ඉංග්‍රීසි යෙදුමකිනි. එහි අර්ථය වන්නේ ක්‍රිස්තුස් වෙනුවෙන් පවත්වන පූජාවයි.” නමුත් නත්තල නමැති සිංහල වචනය මෙන්ම ලතින් අමෙරිකානු රටවල භාවිත කරන ලා නාවීඩාඩ් නමැති ස්පාඤ්ඤ වචනය යොමු දක්වන්නේ ක්‍රිස්තුස්ගේ උපතටයි. දැන් අපි මොහොතකට මෙක්සිකානු ජාතිකයන් නත්තල සමරන ආකාරය දෙස බලමු. අප සලකා බලන්න යන තොරතුරු ආශ්‍රිතයෙන් නත්තල කුමනාකාරයේ උත්සවයක්ද යන්න පිළිබඳව ඔබට පෞද්ගලිකව තීරණය කළ හැක.

පොසාඩාස්, “රජ තුන් කට්ටුව” හා නාසීමියෙන්ටෝ

උත්සව සමය පටන්ගන්නේ දෙසැම්බර් 16වනදා සිටය. එදා පටන් පොසාඩාස් යනුවෙන් හැඳින්වෙන කාලපරිච්ඡේදය ඇරඹේ. එක් කෘතියක (Mexico’s Feasts of Life) එය පැහැදිලි කර ඇත්තේ මෙලෙසයි. “පොසාඩාස් යොමු දක්වන්නේ නත්තලට පෙර රාත්‍රිය දක්වා දිවයන සුවිශේෂී දවස් නවයටය. එම දවස් නවයේදී යෝසෙප් හා මරියා පිහිට පතමින් බෙත්ලෙහෙම පුරා ගමන් කළ ආකාරයත්, අන්තිමේදී ඔවුන් අනුකම්පාව ලැබූ ආකාරයත් සිහිගැන්වේ. සෑම රාත්‍රියකදීම පවුලේ අය තම හිත මිතුරන් සමඟ එකතු වී ක්‍රිස්තුස්ගේ උපතට පෙර දවස් නවයේ සිද්ධීන් රඟ දක්වති.”

එම දවස්වලදී සාමාන්‍යයෙන්, කිහිපදෙනෙකු එකතු වී මරියාගේ සහ යෝසෙප්ගේ රූප රැගෙන යම් නිවසකට යන අතර, ඔවුහු එම නිවැසියන්ගෙන් උපකාර හෙවත් පොසාඩා ඉල්ලමින් ගීතිකාවක් ගායනා කරති. නිවැසියෝද පිළිතුරක් වශයෙන් තවත් ගීතිකාවක් ගායනා කරති. මෙය කිහිප වතාවක්ම කරන අතර පසුව අමුත්තන්ව නිවසට පිළිගනියි. ඉන්පසු, සාදයක් ඇරඹේ. මෙහිදී රෙදි කැබැල්ලකින් ඇස් දෙක බැඳගත් කිහිපදෙනෙක්, ලණුවකින් එල්ලා ඇති පිනාටා යනුවෙන් හැඳින්වෙන විශාල මෝස්තර සහිත මැටි භාජනයකට පොල්ලකින් ගසා, එය බිඳීමට වෑයම් කරති. එය බිඳුණු ගමන්ම එතුළ ඇති සියල්ල (රසකැවිලි, පලතුරු යනාදිය) බිමට වැටෙයි. සාදයට පැමිණි සියලුදෙනාම මේවා රැස් කරගනිති. ඉන් අනතුරුව සියලුදෙනාම කමින්, බොමින් හා සංගීතය අසමින් විනෝද වෙති. දෙසැම්බර් 16වනදා සිට දෙසැම්බර් 23වනදා දක්වා පොසාඩාස් සාදයන් අටක්ම පැවැත්වේ. දෙසැම්බර් 24වනදා නොචෙබ්වීනා (නත්තලට පෙර රාත්‍රිය) සමරයි. එය පවුලේ සියලුදෙනාම එකට එකතු වී කෑම කන අවස්ථාවකි.

දවස් කිහිපයකට පසුව, එනම් ජනවාරි 1වනදා උත්සවශ්‍රීයෙන් අලුත් අවුරුද්ද සමරයි. ට්‍රෙස් රායෙස් මාගොස් යනුවෙන් හැඳින්වෙන “රජ තුන් කට්ටුව” ජනවාරි 5වනදා දරුවන්ට තෑගි බෝග රැගෙන එනවායයි විශ්වාස කෙරේ. ජනවාරි 6වනදා උත්සව සමය අවසාන අදියරට පැමිණේ. එදින පවත්වන ලද සාදයේදී සියලුදෙනාටම රොස්කා ඩ රායෙස් (රවුම් හැඩැති කේක්) බෙදයි. ඉන් එක් කේක් කෑල්ලක් තුළ ළදරු යේසුස්ව නියෝජනය කරන කුඩා බෝනික්කෙක්ව සඟවා ඇත. එම කේක් කෑල්ල ලද තැනැත්තා, පෙබරවාරි 2වනදා පවත්වන අන්තිම සාදය සංවිධානය කළ යුතුයි. (ඇතැම් ප්‍රදේශවල කේක් කෑල්ල තුළ “රජ තුන් කට්ටුව” නියෝජනය කරන කුඩා බෝනික්කන් තුන්දෙනෙක්වම දමා ඇත.) ඇත්තෙන්ම නත්තල හා බැඳි චාරිත්‍රවල කෙළවරක් නැත!

එම කාලය තුළදී නාසීමියෙන්ටෝවලට (ගවලෙන්වලට) විශේෂ තැනක් හිමි වේ. ප්‍රසිද්ධ තැන්වල, පල්ලිවල හා නිවෙස්වල තනනු ලබන මෙම ගවලෙන්වලට ඇතුළත් වන්නේ කුමක්ද? ඒවා තුළ පිඟන් මැටි, ලී හා මැටිවලින් තැනූ (කුඩා මෙන්ම ලොකු) රූප දැකගත හැක. සාමාන්‍යයෙන් ගව ඔරුවක සිටින අලුත උපන් බිළිඳෙකු ළඟින් යෝසෙප් හා මරියා දණ නමාගෙන සිටින දර්ශනය ගවලෙන්වල දැකගත හැක. සමහර ගවලෙන්වල එඬේරුන් හා ලොස් රෙයොස් මේගොස්ගේ (“ශාස්ත්‍රවන්තයන්ගේ”) රූපද ඇතුළත් කර තිබේ. තවද ගව මඩුවක පෙනුම දීම සඳහා එහි තැනින් තැන සතුන්ගේ රූපද තබා ඇත. නමුත් වැඩියෙන්ම කැපීපෙනෙන්න සලස්වන්නේ ස්පාඤ්ඤ භාෂාවෙන් එල් නින්යෝ ඩියොස් (දෙව් බිළිඳා) යනුවෙන් හැඳින්වෙන අලුත උපන් බිළිඳාවයි. එම රූපය ගවලෙන තුළ තබන්නේ නත්තලට පෙර දිනයේදීයි.

නත්තල් සිරිත් ගැන දැනුම පුළුල් කරගැනීම

නත්තල් සිරිත් විරිත් ගැන එක් විශ්ව කෝෂයක (The Encyclopedia Americana) සඳහන් වී ඇති දෙයට අවධානය යොමු කරමු. “නත්තල හා බැඳි චාරිත්‍ර ගැන සලකා බලද්දී, ඒවායින් වැඩි ප්‍රමාණයක්ම නත්තලට සම්බන්ධ නොවූ, ක්‍රිස්තියානි යුගයටත් පෙර තිබූ චාරිත්‍ර බව පැහැදිලියි. මෙම ක්‍රිස්තියානි නොවන චාරිත්‍ර පසු කාලයකදී ක්‍රිස්තියානි පල්ලියට ඈඳාගන්නා ලදි. නත්තලටම ආවේණික වූ උත්සවශ්‍රීයෙන් පවත්වන සිරිත් විරිත් රැසක්ම පැමිණ ඇත්තේ රෝමවරුන් විසින් දෙසැම්බර් මාසයේ මැද භාගයේදී පවත්වන ලද සැටනේලියා නමැති උත්සවය තුළිනි. ඉතා ජයට මංගල්‍යය පැවැත්වීම, තෑගි බෝග හුවමාරු කරගැනීම හා ඉටිපන්දම් පත්තු කිරීම මෙයට නිදසුන් වශයෙන් සඳහන් කළ හැකි” බව එහි පැහැදිලි කර ඇත.

සාමාන්‍යයෙන් ලතින් අමෙරිකානු රටවල, නත්තල් සමය තුළ පොදුවේ පවත්වන ඉහත සඳහන් සිරිත් විරිත්වලට අමතරව පවත්වන වෙනත් සිරිත් විරිත්ද තිබේ. ඒවායේ මූලාරම්භය කුමක්ද? ඇත්තෙන්ම ඒවා පැමිණ ඇත්තේ ඇස්ටෙක්වරුන්ගේ වත්පිළිවෙත්වලින් බව බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වීමට වෑයම් කරන බොහෝදෙනෙකු අවබෝධ කරගෙන තිබේ. මෙක්සිකෝ නගරයෙහි බෙදාහරින ලද පුවත්පතක් වන එල් යූනිවසාල්හි මෙසේ පවසා තිබිණ. “අමෙරිකාවේ මුල් වැසියන්ගේ දින දර්ශනයේ හා කතෝලික දින දර්ශනයේ සඳහන් විශේෂ ආගමික දින අතර යම් සමානකම් තිබූ බව විවිධ නිකායන්ට අයත් පැවිද්දන් අවබෝධ කරගෙන තිබිණ. ඔවුහු එම සමානකම්වලින් උපරිම ප්‍රයෝජන නෙළාගනිමින් තම එවැන්ජලිස්ත සේවය හා මිෂනාරි මෙහෙයට අනුබල දීම සඳහා ඒවා යොදාගත්හ. තවද එම ආදි වැසියන්ගේ දෙවි දේවතාවන් වෙනුවෙන් පැවැත්වූ මංගල්‍යවලට හා උත්සවවලට ක්‍රිස්තියානි මුහුණුවරක් දීමේ අදහසින් එම දෙවිවරුන්ට ක්‍රිස්තියානි නම් දීමටද ඔවුන් පෙලඹිණ. යුරෝපීය උත්සව හා සිරිත් විරිත් මුල් වැසියන්ට හඳුන්වා දුන් අතර ඔවුහු දේශීය උත්සව හා සිරිත් විරිත්ද තම උත්සවවලට ඈඳාගත්හ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වූ සංස්කෘතිමය සංකලනය මතයි අදදින මෙක්සිකානුවන්ගේ අදහස් උදහස් ගොඩනැඟී ඇත්තේ.”

කලින් සඳහන් කළ විශ්ව කෝෂයේ පැහැදිලි කර දෙන ආකාරයට, “මුල සිටම ක්‍රිස්තුස්ගේ උපත හා බැඳි රඟ දැක්වීම් නත්තල් සැමරීම්වලට ඇතුළත් විය. . . . පල්ලිය තුළ ක්‍රිස්තුස්ගේ උපත රඟ දැක්වීමට ගවලෙන ආශ්‍රිත දර්ශනය මුලින්ම යොදාගත්තේ ශාන්ත ෆ්‍රැන්සිස්ය.” මෙක්සිකෝ ජනපදය පිහිටුවන ලද කාලයේදී ෆ්‍රැන්සිස්කන් නිකායට අයත් පැවිද්දන් මුල් වැසියන්ට ක්‍රිස්තුස්ගේ උපත ගැන ඉගැන්වීමේ අදහසින් එම නාට්‍යය සංවිධාන කළ අතර ඒවා රඟ දැක්වූයේ පල්ලිවලයි. කාලයාගේ ඇවෑමෙන් එම රඟ දැක්වීම් නතර වූ අතර ඒ වෙනුවට පොසාඩාස් සැමරීම ආරම්භ විය. පොසාඩාස් උත්සවය පැවැත්වීමේ මුල් අරමුණ කුමක් හෝ වේවා, එම උත්සවය දැන් පවත්වන ආකාරය දෙස බලද්දී ඒවා කුමන අරමුණකින් පවත්වනවාද කියා පැහැදිලියි. එම උත්සව සමයේදී මෙක්සිකෝවේ සිටිනවා නම් එල් යූනිවසාල් පුවත්පත් කලාවේදියෙකු ලිවූ දේ ඔබටත් වටහාගත හැකි වේ. “පොසාඩාස් උත්සවය පටන්ගත්තේ දෙව් බිළිඳාව ප්‍රසූත කිරීම සඳහා ස්ථානයක් සොයමින් යේසුස්ගේ දෙමව්පියන් ගිය දුෂ්කර ගමන මතක් කර දීමටයි. නමුත් අදදින නම්, එම කාලයේදී වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ බීමත්කම, අධික කෑම, සීමාව ඉක්මවා ගිය විනෝද වීම සහ වෙනත් නිෂ්ඵල ක්‍රියාකාරකම් පමණි. දැන් ජනයා ඒ කාලය තුළදී වැඩි වැඩියෙන් අපරාධ කිරීමටද පෙලඹෙයි.”

මෙක්සිකෝව ජනාවාස කිරීමට පටන්ගත් කාලයේදී පල්ලිවල සිදු කළ රඟ දැක්වීම්වලිනුයි ගවලෙන් (නාසීමියෙන්ටෝ) සෑදීමේ සිරිත ආරම්භ වූයේ. ඇතමෙකුගේ සිත්ගෙන තිබුණත්, එය බයිබලයට එකඟද යන්න සලකා බැලීම වැදගත්ය. තිබෙන සාක්ෂිවලට අනුව රජ තුන් කට්ටුවයයි සලකන පුද්ගලයන් නක්ශස්ත්‍රයේ යෙදුණ අය විය. තවද ඔවුන් යේසුස්ව බැලීමට පැමිණෙද්දී ඔහු තම දෙමව්පියන් සමඟ ජීවත් වූයේ ගව මඩුවක නොවේ. ඒ වන විට යම් කාලයක් ගත වී තිබුණ බවත්, ඔවුන් නිවසක ජීවත් වෙමින් සිටි බවත් මතෙව් 2:1, 11 කියවීමෙන් ඔබට පැහැදිලි වේවි. තවත් වැදගත් කාරණයක් වන්නේ ශාස්ත්‍රවන්තයන් කීදෙනෙකු පැමිණියාද යන්න බයිබලයේ සඳහන් නොවීමයි. a

ලතින් අමෙරිකානු රටවල නත්තල් සීයා ගැන විශ්වාසයක් නොතිබුණත්, රජ තුන් කට්ටුවට එම තැන හිමි වී තිබේ. බොහෝ රටවල කරන්නාක් මෙන් දෙමව්පියන් විසින් නිවස පුරාම සෙල්ලම් බඩු හංගා තබනු ලැබේ. තමන්ට එම තෑගි ගෙන එන්නේ රජ තුන් කට්ටුව බව දරුවන්ගේද විශ්වාසයයි. ඔවුහු ජනවාරි 6වනදා උදේ නැඟිට්ට ගමන්ම එම තෑගි තිබෙන්නේ කොතැනද කියා සොයමින් නිවස පුරා ඇවිදිති. අවංක සිත් ඇති බොහෝදෙනෙකු මෙය නිකම්ම සුරංගනා කතාවක් ලෙස හඳුනාගෙන තිබුණත්, සෙල්ලම් බඩු විකුණන්නන් එය සලකන්නේ තම මඩිය තර කරගැනීමට කදිම අවස්ථාවක් ලෙසයි. රජ තුන් කට්ටුව වටා ගෙතී ඇති කතාව දැන් බොහෝ වැඩිහිටියන් විතරක් නොව, දරුවන් පවා පිළිගන්නේ මිථ්‍යාවක් වශයෙනි. ඇතමෙකු මේ ගැන කනගාටු වුවත් චාරිත්‍ර රැකීමේ හා ව්‍යාපාරිකයන්ගේ ගිජු ආශාවන් සපුරාගැනීමේ අරමුණින් පවත්වාගෙන යන විශ්වාසයක් සැමදා පවතියි කියා අපට බලාපොරොත්තු විය හැකිද?

ඇත්තෙන්ම මුල් ක්‍රිස්තියානීන් නත්තල පැවැත්වූයේ නැත. මේ සම්බන්ධයෙන් එක් විශ්ව කෝෂයක සඳහන් දේ සලකා බැලීම යෝග්‍යයි. “ක්‍රිස්තියානි පල්ලියේ මූලාරම්භයේදී මෙම උත්සවය පැවැත්වූයේ නැත. ක්‍රිස්තියානීන් සාමාන්‍යයෙන් සිහි කළේ වැදගත් පුද්ගලයෙකුගේ උපත නොව, ඔහුගේ මරණයයි.” බයිබලයේ පෙන්වා ඇති පරිදි උපන්දින පැවැත්වූයේ මිථ්‍යා දෘෂ්ටිකයන් මිස දෙවිගේ සැබෑ නමස්කාරකයන් නොවේ.—මතෙව් 14:6-10.

දෙවිගේ පුත්‍රයාගේ උපත හා සම්බන්ධ සිද්ධීන් ගැන විස්තර දැනගැනීම හා මතක තබාගැනීම ප්‍රයෝජනවත් නොවන බව මින් අදහස් වන්නේ නැත. බයිබලයේ ඇති සත්‍ය වාර්තා තුළ දේවකැමැත්ත කිරීමට වෙර දරන සියලුදෙනාටම ඉගෙනගැනීමට වටිනා තොරතුරු මෙන්ම පාඩම් රැසක්ද තිබේ.

යේසුස්ගේ උපත—බයිබල් ලේඛකයන්ගේ ඇසින්

මතෙව් හා ලූක් සුවිශේෂ වාර්තාවලින් යේසුස්ගේ උපත ගැන විශ්වාසනීය තොරතුරු සොයාගත හැක. ගාබ්‍රියෙල් නමින් හැඳින්වූ දේවදූතයෙකු නාසරෙත්වල ගලීලයේ විසූ මරියා නම් අවිවාහක කාන්තාවක් වෙතට ගොස් වැදගත් පණිවිඩයක් දුන් බව එම වාර්තාවල සඳහන් වේ. එම පණිවිඩය අපට මෙසේ කියවීමට තිබේ. ‘බලව, නුඹ ගර්භණීව පුත්‍රයෙකු වදන්නීය. ඔහුට යේසුස් යන නාමය තබන්න. ඔහු උතුම්ව මහෝත්තමයාගේ පුත්‍රයායයි කියනු ලබන්නේය. ඔහුගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙවි වූ යෙහෝවා ඔහුට දෙන්නේය. ඔහු යාකොබ්ගේ වංශය කෙරෙහි සදාකාලේටම රජකම් කරන්නේය. ඔහුගේ රාජ්‍යය කෙළවර නොවන්නේය.’—ලූක් 1:31-33.

මෙම පණිවිඩය ඇසූ මරියා පුදුමයට පත් විය. ඇය අවිවාහකව සිටි නිසා “මා පුරුෂයෙකු නෑඳින සිටින බැවින්, මේක වෙන්නේ කෙසේදැයි” ඇසීය. දේවදූතයා උත්තරදෙමින්, ‘ශුද්ධාත්මය නුඹ කෙරෙහි පැමිණ, මහෝත්තමයාගේ ආනුභාවද නුඹ වසාගන්නේය. ඒ නිසා උපදින්ට සිටින තැනැත්තේ ශුද්ධය, දෙවිගේ පුත්‍රයායයි කියනු ලබන්නේය’ කියා පැවසූවේය. මෙය දෙවිගේ කැමැත්ත වූ බව වටහාගත් මරියාගේ ප්‍රතිචාරය වූයේ, ‘මෙන්න යෙහෝවාගේ දාසිය. ඔබගේ වචනය ලෙස මට වේවා.’ යන්නයි—ලූක් 1:34-38.

මරියා ගර්භණීව සිටින බව දැනගත් යෝසෙප් ඇයව දික්කසාද කිරීමට තීරණය කළේය. නමුත් ආශ්චර්යමත් ලෙස සිදු වූ එම ගැබ්ගැනීම ගැන ඔහුට වටහා දීම සඳහා දෙවි ඔහු වෙත තම දූතයෙකු යැව්වේය. ඉන් අනතුරුව යෝසෙප් දෙවිගේ පුත්‍රයාව බලා කියාගැනීමේ වගකීම භාරගත්තේය.—මතෙව් 1:18-25.

කායිසර් අගොස්තුස් විසින් දෙන ලද නියෝගයක් නිසා යෝසෙප්ටත් මරියාටත් ගලීලයෙහි නාසරෙත් නුවරේ සිට යූදාහි පිහිටි යෝසෙප්ගේ ගම වූ බෙත්ලෙහෙම වෙත යෑමට සිදු විය. “ඔවුන් එහි සිටියදී [මරියාගේ] බිහිකරන කාලය සම්පූර්ණවිය. ඈ කුලුඳුල් පුත්‍රයා බිහිකර, රෙදිවලින් ඔතා, නවාතැන් ගෙයි ඔවුන්ට ඉඩ නොතිබුණු බැවින් ගවයන් කන ඔරුවක බෑවුවාය.”—ලූක් 2:1-7.

ඉන්පසුව සිදු වූ දේ ලූක් 2:8-24හි මෙසේ විස්තර කර ඇත. “එම රටෙහි එඬේරු රෑ යාමයෙන් යාමයට තමුන්ගේ බැටළු රැළ ප්‍රවේසම්කරමින් පිට්ටනියෙහි සිටියෝය. එවිට [යෙහෝවාගේ] දූතයෙක් ඔවුන් ළඟ සිටියේය, [යෙහෝවාගේ] තේජස ඔවුන් අවට බැබළුණේය. ඔව්හු අතිශයින් භයපත්වූහ. දේවදූතයා ඔවුන්ට කථාකොට: භය නොවෙන්න; බලව, මුළු සෙනඟට මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමි. මක්නිසාද ස්වාමිවූ ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් නුඹලාට දාවිත්ගේ නුවර අද [උපන්නේය]. රෙදිවලින් ඔතා ගවයන් කන ඔරුවක බාවා ඉන්න ළදරුවෙක් නුඹලාට සම්බවන්නේය; මේක නුඹලාට ලකුණයයි කීවේය. එකෙණෙහිම ඒ දේවදූතයා සමඟ මහත් ස්වර්ගීය සේනා සමූහයක් [දෙවිට] ප්‍රශංසාකරමින්: ඉතා උසස්තැන්හි [දෙවිට] මහිමයද පොළොවෙහි [ඔහුට] ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවයි කීවෝය.”

ශාස්ත්‍රවන්තයන්

යුදෙව්වරුන්ගේ රජ උපත ලැබූ ස්ථානය සොයමින් සිටි ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙකු නැඟෙනහිර දිශාවේ සිට යෙරුසලම දක්වා ගමන් කළ බව මතෙව්ගේ සුවිශේෂයෙහි වාර්තා වේ. හෙරොද් රජ මේ ගැන සෑහෙන උනන්දුවක් දැක්වූ නමුත් එසේ කළේ හොඳ චේතනාවකින් නොවේ. “නුඹලා ගොස් ඒ ළදරුවා ගැන හරියාකාරයෙන් විභාගකරන්න; නුඹලාට සම්බවූ කල, මාත් ගොස් [ඔහුට] නමස්කාරකරන පිණිස මට දන්වන්නය කියා, ඔවුන් බෙත්ලෙහෙමට යැවීය.” ශාස්ත්‍රවන්තයන් දරුවා සිටින තැන සොයාගත් පසු “තමුන්ගේ කරඬු හැර, රන්ද කට්ටකුමංචල්ද සුවඳලාටුද යන පඬුරු [ඔහුට] පිදුවෝය.” නමුත් “හෙරොද් වෙතට නැවත නොයන ලෙස [දෙවි] විසින් ස්වප්නයකින් දන්වනු” ලැබූ නිසා ඔවුන් ආපසු ඔහු වෙතට ගියේ නැත. හෙරොද්ගේ කෲර චේතනා පිළිබඳ යෝසෙප්ට අනතුරු ඇඟවීමට දෙවි තම දූතයෙකු භාවිත කළේය. එමනිසා යෝසෙප්ට සහ මරියාට දරුවා රැගෙන මිසරයට පලා යෑමට සිදු විය. ඉන්පසු නව රජුව විනාශ කිරීමේ අභිප්‍රායෙන් කෲර හෙරොද් රජ බෙත්ලෙහෙම් ප්‍රදේශයේ සිටි වයස අවුරුදු දෙකේ හා ඊට බාල සියලුම පිරිමි දරුවන්ව ඝාතනය කිරීමට අණ දුන්නේය.—මතෙව් 2:1-16.

අපට උගත හැකි දේ

යේසුස්ව සොයාගෙන ආවේ ශාස්ත්‍රවන්තයන් කීදෙනෙකුද කියා නිශ්චිතව සඳහන් කර නැති අතර ඔවුන් සැබෑ දෙවිට නමස්කාර නොකළ බවද පැහැදිලියි. ලා නූවා බිබ්ලියා ලැටිනොමෙරිකා (1989 අනුවාදය) නමැති බයිබල් පරිවර්තනයෙහි පාද සටහනේ සඳහන් කර ඇත්තේ, “ශාස්ත්‍රවන්තයන් රජවරුන් නොවේ, නමුත් මිථ්‍යා ආගමකට සම්බන්ධ පූජකවරුන් හා පේන කියන්නන් වූ” බවයි. ඔවුන් බෙත්ලෙහෙමට පැමිණියේ තමන් වන්දනාමාන කළ තාරකාවන් පිළිබඳව රැස් කරගෙන තිබූ තොරතුරු ස්ථිර කරගැනීමට පමණයි. ඔවුන්ව කුඩා දරුවා වෙතට මඟ පෙන්වීමට දෙවිට උවමනාවක් තිබුණා නම්, යෙරුසලමේ සිටි හෙරොද් වෙතට යවන්නේ නැතුව, කෙළින්ම දරුවා සිටින නිශ්චිත ස්ථානයටම ඔවුන්ව මඟ පෙන්වීමට තිබිණ. නමුත් දෙවි එසේ නොකළ බව පැහැදිලියි. පසුව නම් දරුවාව ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වෙමින් දෙවි ශාස්ත්‍රවන්තයන්ගේ ගමන් මඟ වෙනස් කළේය.

නත්තල් සමයේ මෙම වාර්තාවේ සැබෑ වැදගත්කම ගිලිහී ගොස් ඇත්තේ මිථ්‍යා විශ්වාසවලට දෙන අවධානය නිසයි. ඇත්තෙන්ම මරියාට හා එඬේරුන්ට පැවසූ ලෙස මෙම ළදරුවා උපත ලැබුවේ තේජවත් රජෙකු වීම සඳහායි. එයයි වැදගත්ම දේ. දැන් යේසුස් ක්‍රිස්තුස් බිළිඳෙකුවත් කුඩා දරුවෙකුවත් නොවේ. ඔහු දෙවිගේ රාජ්‍යය පාලනය කරමින් සිටින රජයි. ළඟදීම එම රාජ්‍යය මගින් දෙවිගේ කැමැත්තට එරෙහි වන සියලුම පාලන ක්‍රම තුරන් කර දමා මනුෂ්‍යවර්ගයාගේ සෑම ප්‍රශ්නයක්ම විසඳීමට නියමිතයි. අප ස්වාමීන්ගේ යාච්ඤාව කියන විට ඉල්ලා සිටින්නේ එම රාජ්‍යය පැමිණෙන ලෙසය.—දානියෙල් 2:44, 45ආ; මතෙව් 6:9, 10.

දේවදූතයන් එඬේරුන්ට දුන් පණිවිඩයෙන් අපට උගත හැක්කේ කුමක්ද? ශුභාරංචියට සවන් දීමට කැමති සියලුදෙනාටම ගැළවීමේ ප්‍රස්තාව තිබෙන බවයි. දෙවිගේ අනුමැතිය ලබාගන්නා අය ‘දෙවිට ප්‍රිය වූ’ අය බවට පත් වේ. යේසුස් ක්‍රිස්තුස්ගේ රාජ්‍යය යටතේ පොළොව පුරාම සාමය පැතිරේ. නමුත් එය අද්දැකීමට නම් දේවකැමැත්ත කිරීමට අප ආශා විය යුතුයි. නත්තල් සමය අපව දිරිගන්වන්නේ දෙවිගේ කැමැත්ත කිරීමටද? එතුළින් දෙවිගේ කැමැත්ත පිළිබිඹු වෙනවාද? එසේ නොවන බව බයිබල් උපදෙස් තම ජීවිතයට අදාළ කරගැනීමට වෑයම් කරන අවංක සිත් ඇති බොහෝදෙනෙකුගේ විශ්වාසයයි.—ලූක් 2:10, 11, 14.

[පාදසටහන]

a අමතක නොකළ යුතු තවත් කාරණයක් තිබේ. මෙක්සිකෝවේ නාසීමියෙන්ටෝවල ළදරුවාව හඳුන්වන්නේ “දෙව් බිළිඳා” වශයෙනි. දෙවි බිළිඳෙකුගේ ස්වරූපයෙන් පොළොවට පැමිණි බව ඇඟවීමටයි එම නම තබා ඇත්තේ. නමුත් බයිබලයේ සඳහන් කර ඇත්තේ ඊට වඩා හාත්පසින් වෙනස් දෙයකි. යේසුස් පොළොවේ උපත ලැබූ දෙවිගේ පුත්‍රයා බවත්, ඔහු සර්වබලධාරි දෙවි යෙහෝවාට සමාන නොවන බවත් එහි පැහැදිලි කර ඇත. ලූක් 1:35; යොහන් 3:16; 5:37; 14:1, 6, 9, 28; 17:1, 3; හා 20:17 කියවීමෙන් ඔබට එහි සත්‍යතාව තහවුරු කරගත හැක.

[4වන පිටුවේ කොටුව]

පුදුමයට පත් කරවන්නක්

ද ට්‍රබල් විත් ක්‍රිස්මස් නමැති තම කෘතියෙහි ටොම් ෆ්ලින් නත්තල පිළිබඳව වසර ගණනාවක් පුරා කළ අධ්‍යයනයකින් පසුව මෙසේ නිගමනය කළේය.

“නත්තල හා බැඳි බොහෝ චාරිත්‍ර ආරම්භ වී ඇත්තේ ක්‍රිස්තියානි නොවන මිථ්‍යා ආගම්වලිනි. ඇතැම් නත්තල් සිරිත් විරිත් තුළ මුල් බැසගත් ලිංගික හා සමාජීය පණිවිඩ සැඟවී ඇත. ඇතැම්විට එම සිරිත් විරිත්වලින් විශ්වය පිළිබඳ විවිධ සංකල්පද ඉදිරිපත් කරනවා විය හැක. එමනිසා සංස්කෘතික බලපෑම් ගැන අවධානයකින් සිටින නවීනයන් එම සිරිත් විරිත්වල මූලාරම්භය දැනගත් විගසම ඒවා අත්හරින බවට කිසිම සැකයක් නැත.”—19 පිටුව.

තම අදහස්වලට සාක්ෂි රැසක් ඉදිරිපත් කරමින් ෆ්ලින් වැදගත්ම දෙයට මෙසේ යොමු දක්වන්නේය. “නත්තලේ ඇති ලොකුම උපහාසය වන්නේ එහි සිරිත් විරිත්, විශ්වාසයන් යනාදියෙන් වැඩි ප්‍රමාණයක් ක්‍රිස්තියානි නොවන ඒවා වීමය. ක්‍රිස්තියානි යුගයට පෙර කාලවලින් ඈඳාගත් චාරිත්‍ර එයින් අයින් කළොත් ඉතිරි වන්නේ ක්‍රිස්තියානි යුගයෙන් පැමිණි චාරිත්‍ර නොව ක්‍රිස්තියානි යුගයට පසුව එකතු කරන ලද ඒවාය.”—155 පිටුව.

[7වන පිටුවේ පින්තූරය]

යේසුස්ගේ උපත පිළිබඳව දුන් පණිවිඩය, ඔහු අනාගතයේදී දෙවිගේ අභිෂේක ලත් රජු වශයෙන් ක්‍රියා කරන බවට කළ දැනුම් දීමක් විය