Skip to content

පටුනට යන්න

යෙහෝවා ඉදිරියෙහි ඔබින ලෙස හැසිරීමට අන් අයට උපකාර කරන්න

යෙහෝවා ඉදිරියෙහි ඔබින ලෙස හැසිරීමට අන් අයට උපකාර කරන්න

යෙහෝවා ඉදිරියෙහි ඔබින ලෙස හැසිරීමට අන් අයට උපකාර කරන්න

අපි නුඹලා උදෙසා නොකඩවා යාච්ඤා කරමින්, නුඹලා සියලු යහපත් ක්‍රියාවලින් ඵල දරමින්ද, යෙහෝවා ඉදිරියෙහි ඔබින ලෙස සියලු ආකාරයෙන් ප්‍රසන්නව හැසිරෙන ලෙසද ඉල්ලමුව.’—කොලොස්සි 1:9, 10, 12.

1, 2. ප්‍රීතිය හා තෘප්තිය අද්දැකිය හැකි එක් විශේෂ මාර්ගයක් කුමක්ද?

 “අපි ජීවත් වෙන්නේ ගොවිපොළක තිබෙන ට්‍රේලරයකයි. සරල ජීවිතයක් ගත කරන නිසා අනිත් අයට ශුභාරංචිය ගැන කියන්න වැඩි කාලයක් අපිට තියෙනවා. යෙහෝවාට තමන්ගේ ජීවිත කැප කරන්න බොහෝදෙනෙකුට උපකාර කරන්න ලැබීම අපි භුක්ති විඳින මහත් වරප්‍රසාදයක්.”—දකුණු අප්‍රිකාවේ පූර්ණ කාලීන සේවයේ නියුතු විවාහක යුවළක්.

2 අන් අයට උපකාර කිරීම ප්‍රීතිය ලැබිය හැකි මාර්ගයකි. ඔබත් එයට එකඟද? සමහරු රෝගීන්ට, අසරණ වූ අයට හා තනිකමෙන් පෙළෙන අයට උපකාර කිරීමෙන් තෘප්තියක් ලබති. ක්‍රිස්තියානීන් අන් අයට කළ හැකි වටිනාම උපකාරය ලෙස සලකන්නේ යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් ගැන දැනුම ඔවුන් සමඟ බෙදාගැනීමයි. යමෙකුට යේසුස්ගේ මිදීමේ මිලය පිළිගැනීමෙන් හා දෙවි සමඟ යහපත් සබඳතාවක් ඇති කරගැනීමෙන් සදාකාල ජීවනය අත් කරගත හැකි වන්නේ සැබෑ ක්‍රිස්තියානීන් විසින් පිරිනමනු ලබන එම උපකාරයෙන් පමණි.—ක්‍රියා 3:19-21; 13:48.

3. අන් අයට උපකාර කිරීම සම්බන්ධයෙන් අප සලකා බැලිය යුත්තේ කුමක්ද?

3 කෙසේවෙතත්, දැනටමත් දෙවිට සේවය කරමින් ‘සත්‍යය මාර්ගයේ’ ගමන් කරන අයට උපකාර කිරීම ගැන කුමක් කිව හැකිද? (ක්‍රියා 19:9NW) ඔබ ඔවුන් කෙරෙහි ඉමහත් සැලකිල්ලක් දක්වන බව නිසැකයි. එහෙත් ඔබේ සැලකිල්ල ක්‍රියාවෙන් පෙන්වීමට හෝ ඔබ දැනට ඔවුන්ට පිරිනමන උපකාරය තවත් පුළුල් කිරීමට හැකි මාර්ග කෙරෙහි ඔබේ අවධානය යොමු නොවී තිබිය හැක. තවද ඔබේ තත්වයන්ට අනුව සෙසු ඇදහිලිවන්තයන්ට උපකාර කිරීමේදී ඔබට කළ හැකි දේවල් සීමිත බව හැඟී යා හැකි අතර, ඔබ ලබන තෘප්තිය අඩුවීමට එය හේතු විය හැක. (ක්‍රියා 20:35) අපට මේ ගැන යමක් ඉගෙනගැනීමට කොලොස්සි පොතේ සඳහන් දේවල් උපකාරවත් වේ.

4. (අ) පාවුල් විසින් කොලොස්සිවරුන්ට ලිපිය ලියනු ලැබුවේ කිනම් තත්වයන් යටතේද? (ආ) එපප්‍රස් හා කොලොස්සි සභාව අතර තිබුණේ කිනම් සම්බන්ධතාවක්ද?

4 ප්‍රේරිත පාවුල් කොලොස්සියේ විසූ ක්‍රිස්තියානීන්ට සිය ලිපිය ලියූ අවස්ථාවේදී ඔහු සිටියේ රෝමයේ නිවාස අඩස්සියේය. එහෙත් ඔහුව බැහැදකින්න අනිත් අයට හැකියාව තිබිණ. පාවුල් ඔහුට තිබූ සීමිත නිදහස ප්‍රයෝජනයට ගනිමින් අනිත් අයට දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කළ බව අපට සිතිය හැක. (ක්‍රියා 28:16-31) සෙසු ක්‍රිස්තියානීන්ට ඔහුව බැහැදැකීමට අවසර තිබිණ. එලෙස බැහැදැකීමට පැමිණි ඇතැම් අයවද ඔහු සමඟ සිරගත කළා විය හැක. (කොලොස්සි 1:7, 8; 4:10) සුළු ආසියාවේ (නවීන දින තුර්කියේ) පිහිටි එපීසයට නැඟෙනහිරෙන් තිබෙන උස් තැනිතලා භූමියක් වූ පිරිගියේ අගනගරය වූ කොලොස්සියේ සිටි ජ්වලිතවත් එවැන්ජලිස්තවරයෙකු වූ එපප්‍රස් එසේ සිරගෙයි සිටි අයගෙන් කෙනෙකු විය. කොලොස්සි සභාව පිහිටුවීමේදී එපප්‍රස් විශාල වැඩකොටසක් කළේය. එමෙන්ම ඔහු ඒ අසල පිහිටි ලවෝදිකයේ මෙන්ම හියරපොලිසයේද සභා පිහිටුවීමට වෙහෙස මහන්සි වී වැඩ කළ කෙනෙකි. (කොලොස්සි 4:12, 13) එපප්‍රස් පාවුල්ව බැහැදැකීම සඳහා රෝමයට ගියේ මන්ද? පාවුල් එයට දැක්වූ ප්‍රතිචාරයෙන් අපට කුමක් ඉගෙනගත හැකිද?

කොලොස්සිවරුන්ට ඉමහත් ප්‍රයෝජන ගෙන දුන් උපකාරය

5. පාවුල් කොලොස්සිවරුන්ට ලිවීමට හේතුව කුමක්ද?

5 කොලොස්සියේ සිට රෝමයට ගමන් කිරීම ඉතාමත් දුෂ්කර දෙයක් විය. එහෙත් එපප්‍රස් ඒ ගමන ගියේ කොලොස්සි සභාවේ තිබූ තත්වය ගැන පාවුල් සමඟ කතා කිරීම සඳහාය. කොලොස්සියේ සිටි ක්‍රිස්තියානීන්ගේ ඇදහිල්ල, ප්‍රේමය හා ශුභාරංචිය දේශනා කිරීම සඳහා ඔවුන් දැරූ වෑයම් ගැන ඔහු පාවුල්ට පැවසුවේය. (කොලොස්සි 1:4-8) කොලොස්සිවරුන්ගේ ආත්මිකත්වයට තර්ජනයක් එල්ල කළ අහිතකර බලපෑම් ගැනද ඔහු පාවුල් සමඟ කතා කළා විය හැක. මෙයට ප්‍රතිචාරයක් වශයෙන්, බොරු ගුරුවරුන් විසින් පතුරුවමින් සිටි ඇතැම් තොරතුරුවල කිසිම සත්‍යතාවක් නැති බව සඳහන් කරමින් පාවුල් කොලොස්සිවරුන්ට දේවානුභාවයෙන් ලිපියක් ලිව්වේය. මෙම ලිපියේදී ඔහු අවධාරණය කළේ යේසුස් ක්‍රිස්තුස් විසින් ඉටු කරනු ලබන අතිවැදගත් කාර්යභාර්යයි. a මෙසේ කිරීමෙන් ඔහු දුන් උපකාරය මූලික බයිබල් සත්‍යයන් අවධාරණය කිරීමට පමණක් සීමා වූවාද? කොලොස්සිවරුන්ට උපකාර කිරීමට ඔහුට හැකි වූ තවත් මාර්ග තිබුණාද? මේවා සලකා බැලීමෙන් අනිත් අයට උපකාර කිරීම සම්බන්ධයෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

6. පාවුල් කොලොස්සිවරුන්ට ලියූ ලිපියෙන් වැඩි අවධානයක් යොමු කළේ කුමක් කෙරෙහිද?

6 පාවුල්ගේ ලිපියේ මුලදී, අන් අයට උපකාර කළ හැකි ක්‍රමයක් වෙත අපේ අවධානය යොමු කර ඇත. අප එවන් ක්‍රමයක් ගැන මීට කලින් නොසිතුවා විය හැක. පාවුල් සහ එපප්‍රස් කොලොස්සිවරුන්ගෙන් බොහෝ දුරස්ථව සිටි නිසා, දුර ප්‍රදේශයක සිටි අයට උපකාර කිරීමේදී එම ක්‍රමය බලපෑමෙන් යුක්ත විය. පාවුල් කොලොස්සිවරුන්ට මෙසේ සහතික විය. “අපගේ ස්වාමීවූ යේසුස් [ක්‍රිස්තුස්ගේ] පියවූ [දෙවිට] අපි ස්තුතිකර, නිතරම නුඹලා ගැන යාච්ඤාකරමුව.” ප්‍රේරිත පාවුල් කළ මෙම යාච්ඤා කොලොස්සිවරුන් සඳහාම කළ විශේෂ ඒවා විය. පාවුල් තවදුරටත් මෙසේ පැවසුවේය. ‘අපි ඒ ඇසූ දා පටන් නුඹලා උදෙසා නොකඩවාම යාච්ඤා කරමින්, නුඹලා සියලු ආකාර ප්‍රඥාව හා ආත්මික නුවණ ලබන ලෙසද ඔහුගේ කැමැත්ත දැනගැනීමෙන් පූර්ණ වන ලෙසද ඉල්ලමුව.’—කොලොස්සි 1:3, 4, 9.

7, 8. අපේ පෞද්ගලික යාච්ඤාවලදී හා සභාවේ කරනු ලබන යාච්ඤාවලදී බොහෝවිට සඳහන් කරන්නේ කුමක් ගැනද?

7 යෙහෝවා ‘යාච්ඤා අසන තැනැත්තා’ බව අපි දනිමු. එනිසා ඔහුගේ කැමැත්තට එකඟව අප කරන යාච්ඤාවලට සවන් දීමට ඔහු කැමැත්තෙන් සිටිනවා කියා අපට නිසැක විය හැක. (ගීතාවලිය 65:2; 86:6; හිතෝපදේශ 15:8, 29; 1 යොහන් 5:14) කෙසේවෙතත්, අප අනිත් අය වෙනුවෙන් කරන යාච්ඤා කොයි ආකාර විය යුතුද?

8 අපි බොහෝ අවස්ථාවලදී ‘ලෝකයේ සිටින අපේ සහෝදර සංගමය’ වෙනුවෙන් යාච්ඤා කරන්නෙමු. (1 පේතෘස් 5:9NW) අප යෙහෝවාට කරන යාච්ඤාවලදී යම් විපතකට පත් ප්‍රදේශයක සිටින අපේ සහෝදරයන් සහ වෙනත් අය ගැන සඳහන් කිරීමට පුළුවන. යූදයේ පැවති සාගතය ගැන දැනගත් විට, මුල් සියවසේ විවිධ ප්‍රදේශවල සිටි ක්‍රිස්තියානීන් තම සහෝදරයන්ට සහනාධාර යැවීමට අමතරව, යාච්ඤා බොහොමයක් ඉදිරිපත් කළ බවට සැකයක් නැත. (ක්‍රියා 11:27-30) අදදිනද ක්‍රිස්තියානි රැස්වීම්වල අපේ මුළු සහෝදර සංගමය වෙනුවෙන් යාච්ඤා කරනවා අපට අසන්න ලැබේ. එම යාච්ඤාවලදී සඳහන් කළ දේවල්වලට තමන්ද එකඟ වන බව අඟවමින් සවන් දෙන අය “ආමෙන්” කියා පවසති.—1 කොරින්ති 14:16.

යාච්ඤාවලදී නිශ්චිත වන්න

9, 10. (අ) පුද්ගලයන්ගේ නම් සඳහන් කරමින් ඔවුන්ගේ විශේෂ අවශ්‍යතා ගැන යාච්ඤා කිරීම සුදුසු බව පෙන්වන උදාහරණ මොනවාද? (ආ) යාච්ඤාවලදී පාවුල් ගැන විශේෂයෙන් සඳහන් කිරීමට හේතු වූයේ කුමක්ද?

9 පුද්ගලයන්ගේ නම් හා ඔවුන්ගේ විශේෂිත අවශ්‍යතාවන් ගැන සඳහන් කරමින් කළ වඩාත් නිශ්චිත යාච්ඤාවලට උදාහරණ බයිබලයේ සඳහන් වේ. ලූක් 22:31, 32හි සඳහන් යේසුස්ගේ වදන් ගැන කල්පනා කර බලන්න. ඔහු ළඟ සිටි ඇදහිලිවන්ත ප්‍රේරිතයන් 11දෙනාට මහත් දුෂ්කරතාවලට මුහුණ දෙන්න තිබූ නිසා ඔවුන්ට දෙවිගේ උපකාරය අවශ්‍ය විය. එනිසා යේසුස් ඔවුන් සියලුදෙනා වෙනුවෙන් යාච්ඤා කළේය. (යොහන් 17:9-14) එහෙත් යේසුස් ඔහුගේ එක් ගෝලයෙකු වූ පේතෘස් ගැන විශේෂයෙන් සඳහන් කරමින් දෙවිට කන්නලව් කළේය. තමාගේ සේවකයාට උපකාර කරන්න කියා එලිෂා දෙවිගෙන් කළ ඉල්ලීමත් පුද්ගලයන්ගේ අවශ්‍යතා නිශ්චිතව සඳහන් කරමින් ඉදිරිපත් කළ යාච්ඤාවලට තවත් උදාහරණයකි. (2 රාජාවලිය 6:15-17) ප්‍රේරිත යොහන් ගායස්ගේ ආත්මිකත්වය දිගටම රැකගැනීම සඳහාද ඔහුගේ ශාරීරික සුවය සඳහාද උපකාර ඉල්ලා යාච්ඤා කළේය. (3 යොහන් 1, 2) යම් විශේෂිත කණ්ඩායම් වෙනුවෙන් කළ යාච්ඤා ගැනද බයිබලයේ සඳහන් වේ.—යෝබ් 42:7, 8; ලූක් 6:28; ක්‍රියා 7:60; 1 තිමෝති 2:1, 2.

10 පාවුල් ලියූ ලිපිවල පුද්ගලයන් වෙනුවෙන් කරන ලද විශේෂ යාච්ඤාවල ඇති වැදගත්කම අපේ අවධානයට ලක් කර තිබේ. තමා ගැනත් තම ආශ්‍රිතයන් ගැනත් විශේෂයෙන් සඳහන් කරමින් යාච්ඤා කරන්න කියා ඔහු සෙසු ඇදහිලිවන්තයන්ගෙන් ඉල්ලා සිටියේය. මේ සම්බන්ධයෙන් කොලොස්සි 4:2-4හි අපට මෙසේ කියවීමට තිබේ. “ස්තුතිදීමෙන් යුක්තව යාච්ඤාවෙහි අවදිව සිට, නොකඩව එහි පැවතෙන්න; තවද මා විසින් කථාකළ යුතුව තිබෙන අන්දමට [ක්‍රිස්තුස්ගේ] රහස එළිදරව්කරන පිණිස, එය කියාදීමට [දෙවි] අපට වචනයේ දොරක් අරින ලෙස අප උදෙසාත් යාච්ඤාකරන්න. ඒ රහස නිසා මම බැඳුම් ලැබ සිටිමි.” මතු දැක්වෙන ශුද්ධ ලියවිලි පාඨවල සඳහන් උදාහරණද සලකා බලන්න. රෝම 15:30, 32; 1 තෙසලෝනික 5:25; 2 තෙසලෝනික 3:1, 2; හෙබ්‍රෙව් 13:18.

11. එපප්‍රස් රෝමයේ සිටියදී යාච්ඤා කළේ කා වෙනුවෙන්ද?

11 පාවුල් සමඟ රෝමයේ සිටි ඔහුගේ හවුල් සේවකයෙක්ද අනෙක් පුද්ගලයන් වෙනුවෙන් යාච්ඤා කළේය. ඔහු ගැන මෙසේ කියවීමට තිබේ. “නුඹලාගෙන් එක්කෙනෙක්වූ . . . එපප්‍රස් නුඹලාට ආචාරකරන්නේය. . . . ඔහු යාච්ඤාවලින් නුඹලා ගැන නිතරම වීර්යකරන්නේය.” (කොලොස්සි 4:12) “වීර්යකරන්නේය” ලෙස පරිවර්තනය කර තිබෙන වචනයේ ගැබ්ව තිබෙන අර්ථයට, පුරාණයේ පැවති ජිම්නාස්ටික් තරඟවලට සහභාගි වූ තරඟකරුවෙකු මෙන් “දැඩි පරිශ්‍රමයක් දැරීම” යන අදහස ඇතුළත් වේ. එපප්‍රස් මහත් උනන්දුවෙන් යාච්ඤා කරමින් සිටියේ පොදුවේ ලොව පුරා සිටි ඇදහිලිවන්තයන් වෙනුවෙන්ද, නැතහොත් සුළු ආසියාවේ සිටි සැබෑ නමස්කාරකයන් වෙනුවෙන්ද? එපප්‍රස් යාච්ඤා කරමින් සිටියේ විශේෂයෙන්ම කොලොස්සියේ සිටි අය වෙනුවෙන් බව පාවුල්ගේ වදන්වලින් පැහැදිලි වේ. එපප්‍රස් ඔවුන්ගේ තත්වය හොඳින් දැන සිටියේය. අප ඔවුන් සියලුදෙනාගේම නම්වත්, ඔවුන් මුහුණ දෙමින් සිටි ගැටලු ගැනවත් දන්නේ නැත. එහෙත් ඔවුන් මුහුණ දෙමින් සිටියා විය හැකි තත්වයන් ගැන අපට සිතාගත හැක. යෞවනයෙකු වූ ලීනස් ඒ කාලයේ පැවති දර්ශනවාදී අදහස්වල බලපෑමට ලක් වෙමින් සිටියා විය හැක. එමෙන්ම කලින් යුදෙව් ආගමේ සිටි රූපස්ට එහි ව්‍යවහාරවලට නැවත ඇදී යෑමට ඇති වූ පෙලඹීම්වලට එරෙහිව සිටීම සඳහා ශක්තිය අවශ්‍ය වූවා විය හැක. පර්සිස්ගේ ස්වාමිපුරුෂයා නොඇදහිලිවන්තයෙකු වූ නිසා තම දරුවන්ව ස්වාමීන් තුළ හදා වඩා ගැනීම සඳහා ඇයට විඳදරාගැනීම හා ප්‍රඥාව අවශ්‍ය වූවා විය හැකිද? එමෙන්ම බරපතළ ලෙස රෝගාතුරව සිටි අසින්ක්‍රිතස්ට තවදුරටත් සැනසිල්ල අවශ්‍ය වූවා විය හැකිද? තමාගේ මුල්ම සභාවේ සිටි මේ අය ගැන එපප්‍රස් හොඳින් දැන සිටියේය. එම ඇදහිලිවන්තයන් යෙහෝවා ඉදිරියෙහි ඔබින ලෙස හැසිරෙනවා දකින්න පාවුල්ට මෙන්ම ඔහුටත් මහත් ඕනෑකමක් තිබූ නිසා, ඔහු ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළ බව පැහැදිලිය.

12. අපේ පෞද්ගලික යාච්ඤා වඩාත් නිශ්චිත කරගත හැක්කේ කෙසේද?

12 අනිත් අයට උපකාර කළ හැකි මාර්ගයක් ගැන එම ආදර්ශවලින් ඔබට තේරුම්ගත හැකිද? සාමාන්‍යයෙන් ක්‍රිස්තියානි රැස්වීම්වලදී ඉදිරිපත් කරනු ලබන පොදු යාච්ඤා විශේෂිත කාරණයකට සීමා නොවේ. මන්ද එම යාච්ඤා ඉදිරිපත් කරන්නේ එකිනෙකට වෙනස් තත්වයන්ට මුහුණ දෙන පුද්ගලයන් සිටින විශාල සබයක් ඉදිරියෙහිය. එහෙත් අප පෞද්ගලිකව හෝ පවුලේ අය සමඟ කරන යාච්ඤාවලදී විශේෂිත කාරණා ගැන සඳහන් කළ හැක. සියලුම සංචාරක අවේක්ෂකයන්ට හා ආත්මික එඬේරුන්ට අවශ්‍ය මඟ පෙන්වීම සපයන්න කියාත් ඔවුන්ට ආශීර්වාද කරන්න කියාත් සමහර අවස්ථාවලදී අපට යාච්ඤා කළ හැකි වුවත්, අපේ යාච්ඤාවලදී ඊටත් වඩා නිශ්චිත විය නොහැකිද? උදාහරණයක් හැටියට, ඔබේ සභාව බැහැදැකීමට පැමිණෙන චාරිකා අවේක්ෂකගේ නම හෝ ඔබේ පොත් පාඩම පවත්වන සහෝදරයාගේ නම සඳහන් කරමින් යාච්ඤා කිරීම හොඳ අදහසක් නොවේද? පාවුල් තිමෝතිගේ හා එපප්‍රොදිතස්ගේ සෞඛ්‍යය ගැන විශේෂ සැලකිල්ලක් දැක්වූ බව පිලිප්පි 2:25-28 සහ 1 තිමෝති 5:23හි සඳහන් වදන්වලින් පැහැදිලි වේ. ඒ හා සමානව, කෙනෙකු අසනීප වී සිටින බව අප දැනගත් විට අප කරන යාච්ඤාවලදී ඔහු ගැන සඳහන් කිරීමෙන් ඔහු කෙරෙහි සැලකිල්ලක් දක්වන බව පෙන්විය හැකිද?

13. අපේ පෞද්ගලික යාච්ඤාවලට ඇතුළත් කළ හැකි යෝග්‍ය කාරණා මොනවාද?

13 අප අනිත් අයගේ පෞද්ගලික කාරණාවලට ඇඟිලි ගැසීමෙන් වැළකී සිටිය යුතු බව සැබෑවකි. එහෙත් අප දන්නා හඳුනන හා ආදරය කරන අය කෙරෙහි අප අව්‍යාජ සැලකිල්ලක් දක්වන බව අපේ යාච්ඤාවලදී පෙන්නුම් කිරීම සුදුසුයි. (1 තිමෝති 5:13; 1 පේතෘස් 4:15) සහෝදරයෙකුට ඔහුගේ රැකියාව අහිමි වී තිබෙන්න පුළුවන. ඔහුට රැකියාවක් ලබා දෙන්න අපට නොහැකි විය හැක. එහෙත් අපේ පෞද්ගලික යාච්ඤාවලදී ඔහුව නමින්ම සඳහන් කරමින් ඔහු මුහුණපාන දුෂ්කර තත්වය ගැන විශේෂයෙන් සඳහන් කළ හැක. (ගීතාවලිය 37:25; හිතෝපදේශ 10:3) ‘ස්වාමින් තුළ පමණක්’ විවාහ වීමට අදිටන් කරගැනීම නිසා ස්වාමිපුරුෂයෙකු හා දරුවන් නොමැතිව වයසට ගොස් සිටින තනිකඩ සහෝදරියකව අප හඳුනනවාද? (1 කොරින්ති 7:39) ඇයට ආශීර්වාද කරන්න කියාත් දිගටම දෙවිට පක්ෂපාතව සේවය කිරීම සඳහා ඇයට උපකාර කරන්න කියාත් ඔබේ පෞද්ගලික යාච්ඤාවලදී යෙහෝවාගෙන් ඉල්ලීම ගැන කල්පනා කර බැලීම හොඳ අදහසක් නොවේද? එමෙන්ම වැරැද්දක් කළ සහෝදරයෙකුට වැඩිමහල්ලන් දෙදෙනෙකු උපදෙස් දී තිබෙන්න පුළුවන. මේ වැඩිමහල්ලන් දෙදෙනා තමන්ගේ පෞද්ගලික යාච්ඤාවලදී කලින් කලට ඒ සහෝදරයා ගැන සඳහන් කරමින් යාච්ඤා කිරීම සුදුසු නොවේද?

14. පුද්ගලයන්ගේ විශේෂ අවශ්‍යතා ගැන සඳහන් කරමින් යාච්ඤා කිරීම හා අන් අයට උපකාර කිරීම අතර තිබෙන සම්බන්ධය කුමක්ද?

14 යෙහෝවාගේ උපකාරය, සැනසිල්ල හා ප්‍රඥාව ලබාගැනීමේද ශුද්ධාත්මය හෝ එහි ඕනෑම ඵලයක් වර්ධනය කරගැනීමේද අවශ්‍යතාවක් තිබෙන බොහෝදෙනෙකු ගැන ඔබ දන්නවා විය හැක. ඔබේ පෞද්ගලික යාච්ඤාවලදී ඔවුන් ගැන සඳහන් කිරීමට ඔබට හැක. ඈත ප්‍රදේශයක සිටීම නිසා හෝ වෙනත් තත්වයන් නිසා ද්‍රව්‍යමය ලෙස ඔබට සැපයිය හැකි උපකාරය සීමිත බව සිතෙන්න පුළුවන. නමුත් ඔබේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් යාච්ඤා කිරීමට අමතක නොකරන්න. යෙහෝවා ඉදිරියෙහි ඔබින ලෙස හැසිරෙන්න ඔවුන් කැමති වුවත්, නොකඩවාම එසේ කිරීමට ඔවුන්ට උපකාරය අවශ්‍ය බව ඔබ දනියි. උපකාර කළ හැකි ප්‍රධානතම මාර්ගයක් නම් ඔබේ යාච්ඤාවලදී ඔවුන් ගැන සඳහන් කිරීමයි.—ගීතාවලිය 18:2; 20:1, 2; 34:15; 46:1; 121:1-3.

අන් අයව ශක්තිමත් කරන්න—කෙසේද?

15. කොලොස්සිවරුන්ට ලියූ ලිපියේ අවසාන කොටසෙහි සඳහන් දේවල් ගැන අප විශේෂ සැලකිල්ලක් දැක්විය යුත්තේ මන්ද?

15 ළඟපාත සිටින අයට හා ඔබ ප්‍රේම කරන අයට උපකාර කළ හැකි එකම මාර්ගය ඔබ කරන යාච්ඤාවලදී ඔවුන් ගැන විශේෂයෙන් සඳහන් කිරීම පමණක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. කොලොස්සි පොතෙහි සඳහන් දේවලින් මේ බව පැහැදිලි වේ. බොහෝ විද්වතුන් පවසන්නේ පාවුල් මූලික ඉගැන්වීම් පැහැදිලි කිරීමෙන් හා ප්‍රායෝගික උපදෙස් සැපයීමෙන් පසු, ඔහු තම ලිපිය අවසන් කර තිබෙන්නේ ඔවුන්ට ශුභ පැතීමෙන් පමණක් බවයි. (කොලොස්සි 4:7-18) එහෙත් කොලොස්සි පොතේ අවසාන කොටසෙහි විශේෂ උපදෙස් අඩංගු වන බව අප දැනටමත් සලකා බැලූ දේවලින් පැහැදිලි වන අතර, ඉගෙනගැනීමට තවත් බොහෝ දේවල්ද එම කොටසෙහි තිබේ.

16, 17. කොලොස්සි 4:10, 11හි සඳහන් සහෝදරයන් ගැන අපට කුමක් කිව හැකිද?

16 පාවුල් මෙසේ ලීවේය. “මාගේ හවුල් හිරකාරයාවූ අරිස්තාර්කස්ද බාර්ණබස්ගේ ඥාති සහෝදරයෙක්වූ මාර්ක්ද යුස්තස් කියන යේසුස්ද නුඹලාට ආචාරකරති. මාර්ක් ගැන නුඹලා අණ ලැබුවහුය. ඔහු නුඹලා වෙතට ආවොත් පිළිගන්න. චර්මඡේදිතයන්ගෙන් මොව්හු පමණක් මට සැනසිල්ලක් [ශක්තිය සපයන ආධාරකයක්, NW] වූවෝය, මොව්හු [දෙවිගේ] රාජ්‍යය උදෙසා මාගේ හවුල් සේවකයෝවද සිටිති.”—කොලොස්සි 4:10, 11.

17 විශේෂ සැලකිල්ලක් දැක්වීමට වටින සහෝදරයන් කිහිපදෙනෙකු ගැන පාවුල් සඳහන් කළේය. මොවුන් යුදෙව් පසුබිමක් තිබූ චර්මච්ඡේදිතයන් වූ බව ඔහු පැවසුවේය. චර්මච්ඡේදිත යුදෙව්වන් බොහෝදෙනෙකු රෝමයේ වාසය කළ අතර, සමහරු අලුතින් ක්‍රිස්තියානීන් බවට පත් වූ අය වූහ. එහෙත් පාවුල්ට උපකාර කිරීමට පැමිණියේ ඔහු සඳහන් කළ කිහිපදෙනා පමණි. ඔවුන් අන්‍යජාතික පසුබිමක් තිබූ ක්‍රිස්තියානීන් සමඟ ඇසුරු කිරීමට පසුබට නොවූ බවත්, අන්‍යජාතිකයන්ට ශුභාරංචිය දේශනා කිරීමේදී පාවුල් සමඟ හවුල් වූ බවත් පෙනෙන්න තිබේ.—රෝම 11:13; ගලාති 1:15, 16; 2:11-14.

18. පාවුල් ඔහු සමඟ සිටි ඇතැම් අයව පැසසුමට ලක් කළේ කෙසේද?

18 පාවුල් පැවසූ මේ වදන් සැලකිල්ලට ගන්න. “මොව්හු පමණක් මට සැනසිල්ලක් [ශක්තිය සපයන ආධාරකයක්, NW] වූවෝය.” මෙහිදී ඔහු භාවිත කළ ග්‍රීක් වචනය බයිබලයේ යොදා තිබෙන්නේ මේ අවස්ථාවේ පමණයි. බොහෝ පරිවර්තකයන් එය පරිවර්තනය කර තිබෙන්නේ “සැනසිල්ල” ලෙසය. කෙසේවෙතත්, “සැනසිල්ල” ලෙස බහුලව පරිවර්තනය කර තිබෙන්නේ පා·රා·කා·ලිʹඕ නමැති ග්‍රීක් වචනයයි. පාවුල් එම ග්‍රීක් වචනය මේ ලිපියේම වෙනත් තැන්වල යොදාගෙන තිබුණත්, කොලොස්සි 4:11හි එය යොදාගෙන නොමැත.—මතෙව් 5:4; ක්‍රියා 4:36, NW; 9:31NW; 2 කොරින්ති 1:4; කොලොස්සි 2:2; 4:8.

19, 20. (අ) පාවුල් රෝමයේ සිටි කාලයේදී තමන්ට උපකාර කළ සහෝදරයන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයෙහි අර්ථය කුමක්ද? (ආ) මෙම සහෝදරයන් පාවුල්ට උපකාර කරන්න ඇත්තේ කුමන ආකාරවලින්ද?

19 පාවුල් සඳහන් කළ අය නිකම්ම වචනවලින් සැනසිල්ල සපයනවාට වඩා වැඩි යමක් කළහ. කොලොස්සි 4:11හි සඳහන් “ශක්තිය සපයන ආධාරකය” ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක් යෙදුම, ලෞකික පොත්වල වේදනාවට සහනයක් ගෙන දීම සඳහා භාවිත කරන ප්‍රතිකාරයක් ගැන සඳහන් කරන අවස්ථාවලදී යොදාගෙන තිබේ. නිව් ලයිෆ් ව’ෂන්හි මෙසේ කියවීමට තිබේ. “ඔවුන් මට සැපයූ උපකාරය මොනතරම් මහත්ද!” ටුඩේ’ස් ඉංග්ලිෂ් ව’ෂන්හි මෙම වාක්‍යඛණ්ඩය යොදා ඇත. “ඔවුහු මට ඉමහත් උපකාරයක් වූහ.” පාවුල් සිටි ස්ථානයට නුදුරින් වාසය කරමින් සිටි මේ ක්‍රිස්තියානි සහෝදරයන් ඔහු වෙනුවෙන් කරන්න ඇත්තේ මොනවාද?

20 තමාව සිරගත කර සිටින නිවසට තම හිත මිතුරන්ව ගෙන්වාගැනීමට පාවුල්ට හැකි වුවත්, ආහාර හා ශීත කාලයේදී අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් වැනි තමාට අත්‍යවශ්‍ය දේවල් මිල දී ගැනීම සඳහා පිටතට යෑමට ඔහුට නොහැකි විය. ඔහුට අධ්‍යයනය කිරීම සඳහා අවශ්‍ය වූ ලියවිලි හා ලිවීම සඳහා අවශ්‍ය කළ දේවල් ලබාගන්නට ඇත්තේ කෙසේද? (2 තිමෝති 4:13) එවැනි අවශ්‍යතා සැපයීමෙන් සහ වෙළෙඳ සැලට ගොස් පාවුල්ට අවශ්‍ය ද්‍රව්‍යය ගෙනැවිත් දීමෙන් එම සහෝදරයන් උපකාර කළ බව සිතිය නොහැකිද? යම් සභාවල තත්වය විමසා බලා ඒවා ගොඩනැංවීමට පාවුල්ට අවශ්‍ය වූවා විය හැක. නිවාස අඩස්සියේ සිටි බැවින් ඔහුට එය පෞද්ගලිකව කළ නොහැකි වූ නිසා එම සහෝදරයන් සභාවල පවතින තත්වය ගැන තොරතුරු රැගෙන පාවුල්ව බැහැදැකීමට පැමිණියා කියා සිතිය හැක. පසුව ඔවුන් පාවුල් සකස් කළ වාර්තා රැගෙන එම සහෝදරයන් වෙතට ආපසු යන්නට ඇත. මෙය එම සභාවල සිටි අයට මොනතරම් ශක්තියක් වන්න ඇද්ද!

21, 22. (අ) කොලොස්සි 4:11හි සඳහන් වදන්වලට අප විශේෂ අවධානයක් දිය යුත්තේ මන්ද? (ආ) පාවුල් සමඟ සිටි අයගේ ආදර්ශය අපට අනුකරණය කළ හැක්කේ කුමන මාර්ගවලින්ද?

21 “ශක්තිය සපයන ආධාරකයක්” වීම සම්බන්ධයෙන් පාවුල් සඳහන් කළ දෙය මගින් අන් අයට උපකාර කිරීමට අපට හැකි ආකාර ගැන යම් අවබෝධයක් ලබාගත හැක. යෙහෝවා නියම කර තිබෙන සදාචාර ප්‍රමිති පැවැත්වීමෙන්ද, ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීමෙන්ද, දේශනා සේවයෙහි හවුල් වීමෙන්ද සෙසු ක්‍රිස්තියානීන් යෙහෝවා ඉදිරියෙහි ඔබින ලෙස හැසිරෙමින් සිටිනවා විය හැක. ඔවුන් මෙසේ කිරීම ගැන අපේ අගය ඔවුන්ට ප්‍රකාශ කළ යුතුයි. පාවුල් සමඟ සිටි අයට මෙන් අපටත් “ශක්තිය සපයන ආධාරක” වීම සඳහා තවත් කළ හැකි දේවල් තිබිය හැකිද?

22 පළමුවන කොරින්ති 7:37හි [NW] සඳහන් උපදේශයට අනුව ජීවත් වන, පවුල් සාමාජිකයන් ළඟපාත නොසිටින සහෝදරියක් ගැන ඔබ දන්නවා නම් කුමක් කළ හැකිද? ඔබේ පවුලේ අය සමඟ ආහාර වේලක් භුක්ති විඳින විට හෝ මිතුරන් හා නෑදෑයන් සමඟ ප්‍රිය සාදයක් පවත්වන විට ඇයටත් ඒ සඳහා ආරාධනා කළ හැකිද? ඔබේ පවුලේ අය සමඟ සමුළුවකට යන විට හෝ නිවාඩුවක් ගත කරන්න යන විට ඇයවත් හවුල් කරවාගත හැකිද? එසේ නැත්නම් ඔබ සාප්පු යන විට, ඇයටත් ආරාධනා කරන්න. වැන්දඹු සහෝදර සහෝදරියන්ටද දැන් රිය පැදවීමට නොහැකි තත්වයේ සිටින අයටද එවන් ආරාධනාවන් කළ හැක. ඔවුන්ගේ අද්දැකීම්වලට සවන් දීමෙන් ප්‍රයෝජන නෙළාගත හැකි අතර හොඳ පලතුරු වර්ග තේරීම, ළමුන්ගේ ඇඳුම් පැළඳුම් මිල දී ගැනීම වැනි දේවල් පිළිබඳ ඔවුන් සතු දැනුමෙන්ද ප්‍රයෝජන ගත හැක. (ලෙවී කථාව 19:32; හිතෝපදේශ 16:31) මෙසේ කිරීමෙන් කිට්ටු මිත්‍රත්වයක් ඉබේම ඇති වේ. එවිට ඔවුන්ට යම් බෙහෙතක් ගෙන්වාගැනීමට අවශ්‍ය වුවහොත් හෝ ඒ හා සමාන දෙයක් කරගැනීමට උපකාරය අවශ්‍ය වුවහොත් ඔවුන් පසුබට නොවී ඔබෙන් උපකාරය ඉල්ලා සිටිනු ඇත. රෝමයේ පාවුල් සමඟ සිටි සහෝදරයන් ප්‍රායෝගික ආකාරවලින් ඔහුට ශක්තිය සපයන ආධාරකයන් වූ බව නිසැකය. ඔබේ සහෝදරයන් වෙනුවෙන් ඔබටද එසේ විය හැක. මෙසේ කිරීමෙන් සහෝදර ප්‍රේමයේ බැම්ම එදා මෙන් අදත් ශක්තිමත් වන අතර, අපි සියලුදෙනාම එක්ව යෙහෝවාට පක්ෂපාතව සේවය කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බව පෙන්වන්නෙමු.

23. අප සෑම කෙනෙකුම කාලය යෙදවිය යුත්තේ කුමක් කිරීමටද?

23 මෙම ලිපියේ සඳහන් කළ තත්වයන් ගැන අප සෑම කෙනෙකුටම සිතා බැලිය හැක. මේවා හුදෙක් උදාහරණ පමණි. එහෙත් අපේ සහෝදර සහෝදරියන්ට “ශක්තිය සපයන ආධාරක” විය හැකි සැබෑ තත්වයන් ගැන එම උදාහරණ මගින් අපට සිහිගන්වයි. වැදගත් දෙය වන්නේ අසරණයන්ට උපකාර කරන සමාජ සේවකයන් මෙන් වීම නොවේ. කොලොස්සි 4:10, 11හි සඳහන් සහෝදරයන් තුළ තිබුණේ එවන් ආකල්පයක් නොවේ. ඔවුහු ‘දෙවිගේ රාජ්‍යය උදෙසා හවුල් සේවකයන්’ වූහ. ශක්තිය සැපයීමට ප්‍රධාන හේතුව වූයේ එයයි. අප සම්බන්ධයෙන්ද එය සැබෑවක් විය යුතු නොවේද?

24. අප අන් අය වෙනුවෙන් යාච්ඤා කිරීමටත් ඔවුන්ව ශක්තිමත් කිරීමටත් ප්‍රධානතම හේතුව කුමක්ද?

24 අපේ පෞද්ගලික යාච්ඤාවලදී අනිත් අය ගැන නමින්ම සඳහන් කරන්නෙමු. එමෙන්ම ඔවුන්ව ශක්තිමත් කිරීමට වෑයම් කරන්නෙමු. අප මෙසේ කරන්නේ, අපේ සහෝදර සහෝදරියන්ට ‘යෙහෝවා ඉදිරියෙහි ඔබින ලෙස සියලු ආකාරයෙන් ප්‍රසන්නව හැසිරෙන්න’ මහත් ඕනෑකමක් තිබෙන බව අප විශ්වාස කරන නිසාය. (කොලොස්සි 1:12) ‘යෙහෝවා ඉදිරියෙහි ඔබින ලෙස සියලු ආකාරයෙන් ප්‍රසන්නව හැසිරීම’ සහ පාවුල් විසින් ලියා තිබෙන පරිදි එපප්‍රස් කොලොස්සිවරුන් වෙනුවෙන් යාච්ඤා කිරීමේදී සඳහන් කළ “සම්පූර්ණවද දෙවිගේ මුළු කැමැත්ත කෙරෙහි ස්ථිර විශ්වාසයෙන්ද [සිටීම]” අතර සම්බන්ධයක් තිබේ. (කොලොස්සි 4:12NW) “සම්පූර්ණවද දෙවිගේ මුළු කැමැත්ත කෙරෙහි ස්ථිර විශ්වාසයෙන්ද සිටින්න” අපට හැක්කේ කෙසේද? අපි ඊළඟ ලිපියේදී මේ ගැන සලකා බලමු.

[පාදසටහන]

a Watchtower Bible and Tract Society of New York, Inc. මගින් ප්‍රකාශිත ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය, (ඉංග්‍රීසියෙන්, it) වෙළුම 1 පිටු 490-1 හා “මුළු ශුද්ධ ලියවිල්ල දේවානුභාවයෙන්ය, තවද . . . ප්‍රයෝජනවත්ය” (si) පිටු 226-8 බලන්න.

ඔබේ අවධානයට ලක් වූවාද?

• අපේ පෞද්ගලික යාච්ඤා මගින් අන් අයට උපකාර කළ හැක්කේ කෙසේද?

• ඇතැම් ක්‍රිස්තියානීන් පාවුල්ට “ශක්තිය සපයන ආධාරක” වූයේ කෙසේද?

• අපට “ශක්තිය සපයන ආධාරක” විය හැක්කේ කිනම් අවස්ථාවලදීද?

• අපේ සෙසු සහෝදර සහෝදරියන් වෙනුවෙන් කරන යාච්ඤාවලදී හා ඔවුන්ව ශක්තිමත් කිරීමට ගන්න උත්සාහයන්වලදී අපේ ඉලක්කය විය යුත්තේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූරය]

ඔබේ පවුලේ අය විවේකය ගත කිරීම සඳහා යන විට තවත් සහෝදරයෙකුව හෝ සහෝදරියෙකුව රැගෙන යා හැකිද?

[හිමිකම් විස්තර]

Green Chimney’s Farm අනුග්‍රහයෙනි