Skip to content

පටුනට යන්න

සම්පූර්ණවද ස්ථිර විශ්වාසයෙන්ද සිටින්න

සම්පූර්ණවද ස්ථිර විශ්වාසයෙන්ද සිටින්න

සම්පූර්ණවද ස්ථිර විශ්වාසයෙන්ද සිටින්න

“නුඹලා අන්තිමේදී සම්පූර්ණවද, දෙවිගේ මුළු කැමැත්ත කෙරෙහි ස්ථිර විශ්වාසයෙන්ද සිටින පිණිස යාච්ඤා කිරීමෙන් ඔහු නුඹලා වෙනුවෙන් නිතරම මහත් පරිශ්‍රමයක් දරන්නේය.”—කොලොස්සි 4:12NW.

1, 2. (අ) මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් පිටත සිටින්නන්ගේ අවධානයට ලක් වූයේ කුමක්ද? (ආ) සෙසු ක්‍රිස්තියානීන් කෙරෙහි තිබූ ප්‍රේමනීය සැලකිල්ල කොලොස්සි පොත තුළින් පිළිබිඹු වන්නේ කෙසේද?

 යේසුස්ගේ අනුගාමිකයෝ තමන් හා නමස්කාරයේ හවුල් වූ අය කෙරෙහි ඉමහත් සැලකිල්ලක් දැක්වූහ. ඔවුන් අනාථ වූ දරුවන්ට, දිළිඳුන්ට හා වයසක අයට පෙන්වූ කරුණාව ගැන (දෙවන හා තුන්වන සියවස්වල සිටි ලේඛකයෙකු වූ) ටර්ටූලියන් කතා කළේය. සැබෑ ක්‍රිස්තියානීන් ක්‍රියාවෙන් පෙන්වූ එම ප්‍රේමය නොඇදහිලිවන්තයන්ගේ සිත්වලට මොනතරම් කාවැදුණාද කිවහොත්, ‘බලන්න, ඔවුන් එකිනෙකාට ප්‍රේම කරන හැටි’ කියා ඔවුන්ගෙන් සමහරෙක් පැවසූහ.

2 ප්‍රේරිත පාවුල් හා ඔහුගේ සමීපතම ආශ්‍රිතයෙකු වූ එපප්‍රස් කොලොස්සියේ විසූ සහෝදර සහෝදරියන් කෙරෙහි එවන් ප්‍රේමනීය සැලකිල්ලක් දැක්වූ බව කොලොස්සි පොතේ සඳහන් වාර්තාවෙන් පැහැදිලි වේ. පාවුල් ඔවුන්ට මෙසේ ලීවේය. “නුඹලා අන්තිමේදී සම්පූර්ණවද, දෙවිගේ මුළු කැමැත්ත කෙරෙහි ස්ථිර විශ්වාසයෙන්ද සිටින පිණිස යාච්ඤා කිරීමෙන් ඔහු [එපප්‍රස්] නුඹලා වෙනුවෙන් නිතරම මහත් පරිශ්‍රමයක් දරන්නේය.” වර්ෂ 2001 සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පදය වන්නේ කොලොස්සි 4:12හි, [NW] සඳහන් මෙම වදන්ය. “සම්පූර්ණවද, දෙවිගේ මුළු කැමැත්ත කෙරෙහි ස්ථිර විශ්වාසයෙන්ද [සිටින්න].”

3. එපප්‍රස් යාච්ඤා කළ කාරණා දෙක කුමක්ද?

3 එපප්‍රස් ඔහුගේ ප්‍රේමනීය සහෝදරයන් වෙනුවෙන් කළ යාච්ඤාවල මූලික කාරණා දෙකක්, එනම් ඔවුන් ‘අන්තිමේදී සම්පූර්ණව සිටීම’ හා “දෙවිගේ මුළු කැමැත්ත කෙරෙහි ස්ථිර විශ්වාසයෙන්” සිටීම ඇතුළත් වූ බව ඔබට දැකගත හැක. මේ තොරතුරු ශුද්ධ ලියවිල්ලේ වාර්තා කර තිබෙන්නේ අපේ ප්‍රයෝජනය සඳහාය. එනිසා ඔබෙන්ම මෙසේ අසන්න. ‘අන්තිමේදී සම්පූර්ණව සිටීමටත්, දෙවිගේ මුළු කැමැත්ත කෙරෙහි ස්ථිර විශ්වාසයෙන් සිටීමටත් මම පෞද්ගලිකව කළ යුත්තේ මොනවාද? ඒ දේවල් කරද්දී මම අද්දකින ප්‍රතිඵල මොනවාද?’ අපි දැන් මේ ගැන සලකා බලමු.

‘සම්පූර්ණව සිටීමට’ පරිශ්‍රමයක් දරන්න

4. කොලොස්සිවරුන් “සම්පූර්ණව” සිටිය යුතු වූයේ කිනම් අර්ථයෙන්ද?

4 කොලොස්සියේ විසූ තම ආත්මික සහෝදර සහෝදරියන් ‘අන්තිමේදී සම්පූර්ණව සිටිනවා’ දකින්න එපප්‍රස් තුළ මහත් ආශාවක් තිබිණ. මෙහිදී පාවුල් “සම්පූර්ණව” කියා භාවිත කළ වචනයෙහි පරිපූර්ණ, පූර්ණ ලෙස වැඩුණු හා මේරූ යන අර්ථද ගැබ්ව තිබේ. (මතෙව් 19:21; හෙබ්‍රෙව් 5:14; යාකොබ් 1:4, 25) යමෙකු බව්තීස්ම වී යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වූ පමණින් ඔහු පූර්ණ ලෙස වැඩුණු ක්‍රිස්තියානියෙකු නොවන බව ඔබ දන්නවා විය හැක. ‘ඇදහිල්ලෙහිද දෙවිගේ පුත්‍රයා පිළිබඳ දැනුමෙහිද එකමුතුකමටත්, සම්පූර්ණ පුරුෂකමටත්, ක්‍රිස්තුස්ගේ සම්පූර්ණවූ උස මහතේ ප්‍රමාණයටත් පැමිණීම සඳහා සියල්ලන්ට’ උපකාර කිරීමට එඬේරුන් සහ ගුරුවරුන් වෑයම් කරන බව කොලොස්සියට බටහිර දෙසින් වාසය කරමින් සිටි එපීසවරුන්ට ලියූ ලිපියේදී පාවුල් සඳහන් කළේය. එපමණක්ද නොව, ‘තේරුම්ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් වැඩිහිටියන් වීමට’ පාවුල් වෙනත් ලිපියකද ක්‍රිස්තියානීන්ව දිරිමත් කර තිබිණ.—එපීස 4:8-13 අකුරු ඇල කළේ අපය; 1 කොරින්ති 14:20NW.

5. සම්පූර්ණව සිටීම අපේ ජීවිතයේ ප්‍රධාන ඉලක්කයක් කරගත හැක්කේ කෙසේද?

5 කොලොස්සියේ විසූ සමහරුන් ආත්මික පුරුෂයන් ලෙස වැඩී නොතිබුණා නම්, ඔවුන්ගේ ඉලක්කය විය යුතුව තිබුණේ ආත්මිකව මේරූ පුද්ගලයන් වීමයි. අදදිනද මෙය සැබෑවක් නොවේද? අප බව්තීස්ම වූයේ දශක ගණනාවකට කලින් වුවත්, මෑතකදී වුවත් අපේ විමර්ශන ශක්තිය පෙරට වඩා දියුණු වී තිබෙන බවත් අපේ ආකල්පවල පැහැදිලි වෙනසක් සිදු වී තිබෙන බවත් දැකගත හැකිද? අප යම් තීරණයක් ගන්න කලින් බයිබල් ප්‍රතිපත්ති සැලකිල්ලට ගන්නවාද? දෙවි හා සම්බන්ධ කාරණා මෙන්ම සභාවේ ශුභසිද්ධියට බලපාන කාරණා අප සුළු කොට සලකනවාද? එසේත් නැත්නම් අපේ ජීවිතවල වැදගත්ම තැන හිමි වන්නේ ඒවාටද? අප සම්පූර්ණත්වය කරා වර්ධනය වෙමින් සිටින බව පෙන්විය හැකි සෑම පැත්තක්ම අපට මෙහිදී පැහැදිලි කළ නොහැකි වුවත්, මේ හා සම්බන්ධ උදාහරණ දෙකක් අපි සලකා බලමු.

6. යෙහෝවා මෙන් පරිපූර්ණව සිටීම සඳහා යමෙකුට දියුණු විය හැකි එක් පැත්තක් නම් කරන්න.

6 පළමුවන උදාහරණය: අපි ඇති දැඩි වූයේ වෙනත් ජාතියක හෝ ප්‍රදේශයක සිටින මිනිසුන්ව සතුරන් ලෙස සලකන හෝ සුළු කොට සලකන පරිසරයක කියා සිතමු. දෙවි කිසිවෙකුගේ තරාතිරම් නොබලන බවත් අපද එසේ නොකළ යුතු බවත් අපි දැන් දනිමු. (ක්‍රියා 10:14, 15, 34, 35) අපේ සභාවේ හෝ චාරිකාවේ එවන් පසුබිම්වලින් පැමිණෙන අය සිටිති. එවැනි අය කෙරෙහි අපේ හදවත්වල යම් නිෂේධාත්මක හැඟීම් තිබෙනවාද? අප ඔවුන් දෙස බලන්නේ වපර ඇසින්ද? වෙනත් ජාතියකට අයත් කෙනෙකු අතින් සුළු වරදක් වූ විට, අප විගස ඔවුන් ගැන වැරදි ලෙස සිතමින් අමනාප වෙනවාද? ‘තරාතිරම් නොබැලීම සම්බන්ධයෙන් දෙවි දරන දෘෂ්ටිය දැරීම සඳහා මට තවත් දියුණු විය යුතු පැති තිබෙනවාද?’ කියා ඔබගෙන්ම අසාගන්න.

7. ක්‍රිස්තියානියෙකු ලෙස සම්පූර්ණව සිටීමේදී අප සෙසු අය සම්බන්ධයෙන් කිනම් ආකල්පයක් ඇතුව සිටිය යුතුද?

7 දෙවන උදාහරණය: පිලිප්පි 2:3හි පවසන ආකාරයට අප “පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් [සිතිය]” යුතුයි. මෙසේ කිරීම සම්බන්ධයෙන් අපි ප්‍රගතියක් ලබමින් සිටින්නෙමුද? සෑම පුද්ගලයෙකු තුළම දුර්වල පැති මෙන්ම යහපත් පැතිද තිබේ. අතීතයේදී අපේ නෙත් විගස යොමු වූයේ අන් අයගේ දුර්වලකම් වෙත නම්, තවදුරටත් ඔවුන්ගෙන් ‘සම්පූර්ණත්වය’ අපේක්ෂා නොකිරීම සම්බන්ධයෙන් අප ප්‍රගතියක් ලබා තිබේද? (යාකොබ් 3:2) අන් අයගේ උතුම් ගුණාංග පෙරට වඩා වැඩියෙන් දැන් අපට දැකිය හැකිද? ඔවුන්ගේ උතුම් ගුණාංග දෙස මහත් ඕනෑකමින් බැලීමට අප උත්සාහ කර තිබේද? ‘ඉවසීම සම්බන්ධයෙන් බලද්දී ඒ සහෝදරිය මට වඩා උතුම් කියා මම පිළිගන්නවා.’ ‘මට වඩා ශක්තිමත් ඇදහිල්ලක් එයාට තියෙනවා.’ ‘අවංකව කියනවා නම්, එයා මට වඩා දක්ෂ ගුරුවරයෙක්.’ ‘ඈ මට වඩා හොඳින් කේන්තිය පාලනය කරගන්නවා.’ මෙයාකාරයෙන් අප සිතීමට වෑයම් කිරීම හොඳ අදහසක් නොවේද? කොලොස්සියේ විසූ ඇතමුන් ඒ කාරණා සම්බන්ධයෙන් ප්‍රගතියක් ලැබිය යුතුව තිබුණා විය හැක. අප සම්බන්ධයෙන්ද එය සැබෑවක් විය නොහැකිද?

8, 9. (අ) කොලොස්සිවරුන්ට “සම්පූර්ණව” සිටීමට හැකි වන පිණිස යාච්ඤා කිරීමේදී එපප්‍රස් අදහස් කළේ කුමක්ද? (ආ) ‘සම්පූර්ණව සිටීම’ අනාගතයට බලපාන්නේ කෙසේද?

8 කොලොස්සිවරුන්ට ‘සම්පූර්ණව සිටීමට’ හැකි වන ලෙස එපප්‍රස් යාච්ඤා කළේය. කොලොස්සිවරුන් යම් දුරකට සම්පූර්ණ, මේරූ හා පූර්ණ ලෙස වැඩුණු ක්‍රිස්තියානීන් වුවත් දිගටම ඒ තත්වයේ ‘සිටීම’ සඳහා එපප්‍රස් ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළ බව නිසැකය.

9 මේරූ අය ඇතුළු සෑම ක්‍රිස්තියානියෙකුම, දිගටම එසේ සිටීවි කියා අපට සිතිය නොහැක. දෙවිගේ පුත්‍රයෙකු වූ දේවදූතයෙකු පවා “සත්‍යයෙහි දිගටම ස්ථිරව නොසිටියේය” කියා යේසුස් පැවසුවේය. (යොහන් 8:44NW) කලක් යෙහෝවාට සේවය කළත්, පසුව ඔහුව අත්හැරිය සමහරුන් ගැන පාවුල් කොරින්තිවරුන්ට මතක් කළේය. “තමා කෙලින් සිටින්නේයයි සිතන තැනැත්තේ නොවැටෙන්ට බලාගනීවා” කියා ඔහු ආත්මයෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට අනතුරු ඇඟෙව්වේය. (1 කොරින්ති 10:12) කොලොස්සිවරුන්ට ‘අන්තිමේදී සම්පූර්ණව සිටීම’ සඳහා උපකාර ඉල්ලා යාච්ඤා කිරීමට එය තවත් හේතුවකි. ඔවුන් සම්පූර්ණ නැතහොත් පූර්ණ ලෙස වැඩුණු පසු, දිගටම ඒ තත්වයේ සිටීමට වෑයම් කිරීම අවශ්‍ය විය. පසුබට වීම, වෙහෙසට පත්වීම හෝ ගසාගෙන යෑම වැනි තත්වයන්ට පත් නොවීමට නම් ඔවුන් අඛණ්ඩව වෑයම් කළ යුතුව තිබිණ. (හෙබ්‍රෙව් 2:1; 3:12; 6:6; 10:39; 12:25) විභාග කරන දවසේදී අනුමැතිය ලත් තත්වයක සිටීමට ඔවුන්ට හැකි වන්නේ ඔවුන් “සම්පූර්ණව” සිටීම සඳහා එසේ කටයුතු කළා නම් පමණි.—2 කොරින්ති 5:10; 1 පේතෘස් 2:12.

10, 11. (අ) එපප්‍රස් යාච්ඤා කිරීම සම්බන්ධයෙන් තැබූ ආදර්ශය කුමක්ද? (ආ) එපප්‍රස් කළ දෙය සලකා බැලීමේදී, ඔබ තුළත් පෙලඹවීමක් ඇති වන්නේ කුමක් කිරීමටද?

10 අන් අයගේ නම් සඳහන් කරමින් ඔවුන්ට උපකාර කරන්න, ආශීර්වාද කරන්න, ශුද්ධාත්මය දෙන්න හා ඔවුන්ව සනසවන්න කියා යාච්ඤා කිරීමේ තිබෙන වැදගත්කම ගැන අප දැනටමත් සාකච්ඡා කර තිබේ. එපප්‍රස් කොලොස්සිවරුන් වෙනුවෙන් කළ යාච්ඤාවලට එවැනි දේවල් ඇතුළත් විය. අප ගැන යෙහෝවාට යාච්ඤා කරන විට සඳහන් කළ හැකි දෙයක් ගැන වටිනා අදහසක්ද එහි අපට සොයාගත හැක. ඇත්තෙන්ම එය අපගේ අවධානයට ලක් විය යුතුය. අප එකිනෙකාගේ ඉලක්කය අන්තිමය දක්වාම ‘සම්පූර්ණව සිටීමය.’ මේ සඳහා අපට උපකාර කරන්න කියා යෙහෝවාට යාච්ඤා කළ යුතු බවට සැකයක් නැත. ඔබ ඒ සඳහා යාච්ඤා කරනවාද?

11 ඔබේ වර්තමාන ආත්මික තත්වය ගැන සඳහන් කරමින් යාච්ඤා කිරීම හොඳ අදහසක් නොවේද? “සම්පූර්ණ” මේරූ පුද්ගලයෙකු වීම සඳහා ඔබ දැනට ලබා තිබෙන දියුණුව ගැන දෙවිට පවසන්න. ආත්මිකව දියුණු විය යුතු පැති හඳුනාගැනීමට ඔබට උපකාර කරන්න කියා ඔහුට කන්නලව් කරන්න. (ගීතාවලිය 17:3; 139:23, 24) ඔබට දියුණු විය හැකි පැති තිබෙන බව නිසැකයි. මේ සම්බන්ධයෙන් අධෛර්යයට පත් වෙනවා වෙනුවට ඔබ දියුණු විය යුතු පැති ගැන පැහැදිලිව හා නිශ්චිතව සඳහන් කරමින් දෙවිගෙන් උපකාරය ඉල්ලන්න. මෙසේ කිරීම එකවතාවකට පමණක් සීමා නොකරන්න. ඔබට ‘අන්තිමේදී සම්පූර්ණව සිටීමට’ හැකි වන පරිදි මේ සතියේදී ඔබ දීර්ඝ වශයෙන් යාච්ඤා කිරීමට අදිටන් කරගැනීම හොඳ අදහසක් නොවේද? වාර්ෂික පදය නිතර සලකා බලමින් ඔබේ ඒ අධිෂ්ඨානය දිගටම තබාගැනීමට වෑයම් කරන්න. පසුබැසීමට, වෙහෙසට පත්වීමට හෝ ඔබ දෙවිට කරන සේවයෙන් ටිකෙන් ටික ඉවත් වීමට නැඹුරුවාවක් ඇතැම්විට ඔබ තුළ ඇති විය හැක. එවැනි තත්වයන්ට පත්වීමෙන් ඔබට වැළකී සිටිය හැකි ආකාරය ගැන අවධානය යොමු කරමින් යාච්ඤා කරන්න.—එපීස 6:11, 13, 14, 18.

ස්ථිර විශ්වාසයක් ඇතුව සිටීමට යාච්ඤා කරන්න

12. විශේෂයෙන්ම කොලොස්සිවරුන් “ස්ථිර විශ්වාසයෙන්” යුතුව සිටීම අවශ්‍ය වූයේ මන්ද?

12 එපප්‍රස් තවත් වැදගත් දෙයක් ගැන යාච්ඤා කළ අතර, කොලොස්සිවරුන් අන්තිමේදී දෙවි ඉදිරියෙහි පිළිගත හැකි තත්වයක සිටීම රඳා පැවතියේ ඒ දෙය මතය. එය අපටද අවශ්‍ය වේ. එය කුමක්ද? ඔවුන්ට “දෙවිගේ මුළු කැමැත්ත කෙරෙහි ස්ථිර විශ්වාසයෙන්” සිටීමට හැකි වන පිණිස ඔහු යාච්ඤා කළේය. ඔවුන් ජීවත් වූයේ මිථ්‍යා මත හා සත්‍යයට අවමන් කළ දාර්ශනික අදහස් දැරූ පුද්ගලයන්ගෙන් වට වූ පරිසරයකය. මුළා කරවනසුලු එවැනි අදහස් මගින් සැබෑ නමස්කාරය යටපත් කෙරිණ. උදාහරණයක් හැටියට, කලක් යුදෙව් නමස්කාරයේ අංගයක්ව පැවති නිරාහාරව සිටීම හෝ උත්සව පැවැත්වීම තුළින් විශේෂ දවස් සැමරීම සඳහා කොලොස්සිවරුන්ට දැඩි බලපෑම් එල්ල විය. දෙවි විසින් මෝසෙස්ට ව්‍යවස්ථාව දීමට යොදාගන්නා ලද බලවත් දේවදූතයන්ටද ඇතැම් බොරු ගුරුවරු විශේෂ සැලකිල්ලක් දැක්වූහ. මෙවන් බලපෑම්වලට හසුවීමේ ප්‍රතිඵල ගැන කල්පනා කර බලන්න! මනස වියවුල් කරවන පරස්පර විරෝධි මතිමතාන්තර කන්දරාවකින් කොලොස්සිවරු වට වී සිටියහ.—ගලාති 3:19; කොලොස්සි 2:8, 16-18.

13. කොලොස්සිවරුන්ට සම්පූර්ණව සිටීමට උපකාරවත් වූයේ කුමන කාරණය තේරුම්ගැනීමද? එය අපටද උපකාරවත් වන්නේ කෙසේද?

13 පාවුල් යේසුස් ක්‍රිස්තුස් විසින් ඉටු කරනු ලබන වැඩකොටස ගැන අවධාරණය කරමින් කොලොස්සිවරුන්ට එල්ල වූ බලපෑම්වලට එරෙහිව සිටීම ගැන මෙසේ කරුණු ගෙනහැර දැක්වුවේය. ‘නුඹලා ස්වාමි වූ ක්‍රිස්තුස් යේසුස්ව පිළිගත් ලෙස, ඔහු තුළ මුල් ඇද ගොඩනඟන ලදුව, නුඹලාට ඉගැන්වූ ලෙසම නුඹලාගේ ඇදහිල්ලෙහි පිහිටා, බොහෝ සෙයින් ස්තුති දෙමින් ඔහු තුළ හැසිරෙන්න.’ දෙවිගේ අරමුණට හා අපේ ජීවිතයට සම්බන්ධකමක් තිබෙන ක්‍රිස්තුස් විසින් ඉටු කරනු ලබන වැඩකොටස කෙරෙහි ස්ථිර විශ්වාසයක් කොලොස්සිවරුන් තුළ තිබිය යුතු විය. එමෙන්ම අප තුළද එවන් විශ්වාසයක් තිබිය යුතුය. පාවුල් ක්‍රිස්තුස් ගැන මෙසේ පැහැදිලි කළේය. “[ඔහු] තුළ දේවත්වයේ සියලු සම්පූර්ණකම ශරීරාකාරයෙන් වාසය කරන්නේය. සියලු අධිපතිකමේද බලයේද හිස වන [ඔහු] තුළ නුඹලා පූර්ණව සිටින්නහුය.”—කොලොස්සි 2:6-10.

14. කොලොස්සිවරුන් සතු බලාපොරොත්තුව සැබෑ එකක් වූයේ මන්ද?

14 කොලොස්සිවරු ආත්මයෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් වූහ. ස්වර්ගයේ ජීවත් වීමට වූ ඔවුන් සතු විශිෂ්ට බලාපොරොත්තුව දිගටම ඔවුන්ගේ මනස්වල දීප්තිමත්ව තබාගැනීමට හොඳ හේතු තිබිණ. (කොලොස්සි 1:3ආ, 5) තමන් සතු වූ බලාපොරොත්තුවේ ස්ථිරත්වය ගැන ඔවුන් නිසැක විශ්වාසයක් ඇතුව සිටිනවා දැකීම ‘දෙවිගේ කැමැත්ත’ විය. එම බලාපොරොත්තුව ගැන සැකයක් ඇති කරගැනීමට යම් හේතුවක් යමෙකුට තිබුණාද? කොහෙත්ම නැත! පාරාදීස පොළොවක ජීවත් වීම සම්බන්ධයෙන් දෙවි දී තිබෙන බලාපොරොත්තුව සලකා බැලීමේදී අප සම්බන්ධයෙන්ද ඒ දෙය සැබෑවක් නොවේද? විශ්වාස කිරීම සඳහා හොඳ හේතු තිබෙන එම බලාපොරොත්තුව ‘දෙවිගේ කැමැත්තේ’ කොටසක් බව පැහැදිලිය. දැන් මේ ප්‍රශ්න සැලකිල්ලට ගන්න. ‘මහත් පීඩාවෙන්’ බේරී ජීවත් වන ‘මහත් සමූහයට’ අයත් අයගෙන් කෙනෙකු වීමට ඔබ මහත් පරිශ්‍රමයක් දරමින් සිටිනවා නම් ඔබේ බලාපොරොත්තුව ඔබට කොතෙක් දුරට සැබෑ එකක්ද? (එළිදරව් 7:9, 14) එය ‘දෙවිගේ මුළු කැමැත්ත කෙරෙහි ඔබේ ස්ථිර විශ්වාසයට’ අයත් වනවාද?

15. බලාපොරොත්තුව ඇතුළත් කරමින් පාවුල් ගෙනහැර දැක්වූ එකිනෙකට සම්බන්ධකමක් තිබෙන කරුණු මොනවාද?

15 අපට තිබෙන “බලාපොරොත්තුව” නිකම්ම පැතුමක් හෝ සිහිනයක් නොවේ. පාවුල් කලින් රෝමවරුන්ට ඉදිරිපත් කළ එකිනෙකට සම්බන්ධකමක් දක්වන කරුණු සලකා බැලීමෙන් ඒ බව තහවුරු වේ. පාවුල් හේතු සාධක සහිතව අනුපිළිවෙළකින් කරුණු ඉදිරිපත් කිරීමේදී ‘බලාපොරොත්තුවට’ දුන් තැන සැලකිල්ලට ගන්න. “පීඩා විඳීමෙන් විඳදරාගැනීමද, විඳදරාගැනීමෙන් අනුමැතිය ලත් තත්වයක්ද, අනුමැතිය ලත් තත්වයක් මගින් බලාපොරොත්තුවද උපදින බව අප දන්න නිසා, පීඩා විඳින කල අපි ඉමහත් සේ ප්‍රීති වෙමු. එම බලපොරොත්තුව කලකිරීමට මඟ පාදන්නේ නැත, මන්ද ශුද්ධාත්මය කරණකොටගෙන දෙවිගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවා තිබේ.”—රෝම 5:3-5NW.

16. ඔබ බයිබලයෙහි සඳහන් සත්‍යයන් ඉගෙනගන්නා විට ඔබ තුළ ඇති වූ බලාපොරොත්තුව කුමක්ද?

16 යෙහෝවාගේ සාක්ෂිකරුවන් බයිබලයේ සඳහන් පණිවිඩය ගැන ඔබ සමඟ මුල්වතාවට කතා කළ අවස්ථාවේදී, මළවුන්ගේ තත්වය හෝ නැවත නැඟිටීම වැනි යම් සත්‍යය ඉගැන්වීම් කෙරෙහි ඔබේ අවධානය යොමු වූවා විය හැක. මුලින්ම බොහෝදෙනෙකුගේ අවධානයට ලක් වන්නේ බයිබලය මත පදනම් වූ පාරාදීසයක ජීවත් වීමේ බලාපොරොත්තුවයි. මේ ගැන ඔබ මුලින්ම සවන් දුන් දවස මතක් කරගන්න. එය මොනතරම් අපූර්ව බලාපොරොත්තුවක්ද! අසනීප හා මහලු වීම තවත් නැහැ. ඔබේ වෙහෙසට සරිලන ප්‍රීතිය ඔබට භුක්ති විඳිය හැකියි. මිනිසා සහ සතුන් අතර පවා සාමය පවතී! (දේශනාකාරයා 9:5, 10; යෙසායා 65:17-25; යොහන් 5:28, 29; එළිදරව් 21:3, 4) ඔබට ලැබුණේ මොනතරම් මවිතකර බලාපොරොත්තුවක්ද!

17, 18. (අ) පාවුල් රෝමවරුන්ට ඉදිරිපත් කළ එකිනෙකට සම්බන්ධකමක් තිබෙන කරුණු බලාපොරොත්තුවට මඟ පාදන්නේ කෙසේද? (ආ) රෝම 5:4, 5හි සඳහන් වදන්වලින් ඇති කරන්නේ කුමන ආකාරයේ බලාපොරොත්තුවක්ද? ඔබටත් එවැනි බලාපොරොත්තුවක් තිබේද?

17 ඔබ සත්‍යය දැනගත් පසු විරුද්ධවාදීකම්වලට හා පීඩාවලට මුහුණ දුන්නා විය හැක. (මතෙව් 10:34-39; 24:9) මෑත කාලවලදී විවිධ රටවල වෙසෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නිවෙස් කොල්ලකා ඇත. ඇතැම් අය සරණාගතයන් බවට පත් වී තිබේ. තවත් අය ශාරීරික පහර දීම්වලට ලක් වී තිබෙන අතර, ඔවුන්ගේ බයිබල් ප්‍රකාශන පැහැරගෙන තිබේ. සාක්ෂිකරුවන් ගැන අසත්‍ය තොරතුරු මාධ්‍යවල ප්‍රචාරය කර ඇත. ඔබ මුහුණ දෙන පීඩාව කුමක් වුවත්, රෝම 5:3, 4හි පවසන පරිදි මහත් ප්‍රීතියක් ඇතුව සිටින්න ඔබට හැක. එමෙන්ම එයින් යහපත් ප්‍රතිඵල ලැබී තිබේ. පාවුල් සඳහන් කළාක් මෙන් පීඩා අද්දැකීම නිසා ඔබට විඳදරාගැනීමේ ගුණය වර්ධනය කරගැනීමට හැකි විය. විඳදරාගැනීම අනුමැතිය ලත් තත්වයකට පත්වීමට ඔබට මඟ පෑදුවේය. ඔබ කරමින් සිටියේ හරි දෙය බව, එනම් දෙවිගේ කැමැත්ත බව දැන සිටි නිසා ඔහුගේ අනුමැතිය ඔබට තිබෙන බවට නිසැකකමක් දැනිණ. පාවුල්ගේ වචනවලට එකඟව ඔබ ‘අනුමැතිය ලත් තත්වයක’ සිටින බව ඔබට හැඟෙන්නට විය. ‘අනුමැතිය ලත් තත්වය මගින් බලාපොරොත්තුව උපදියි’ කියා පාවුල් තවදුරටත් පැවසුවේය. මෙය අසාමාන්‍ය දෙයක් මෙන් පෙනී යා හැක. පාවුල් එකිනෙකට සම්බන්ධකමක් දක්වන කරුණු ගෙනහැර දැක්වීමේදී “බලපොරොත්තුව” අවසානයට සඳහන් කළේ මන්ද? ඔබ තුළ බලාපොරොත්තුව ඇති වූයේ ඔබ ශුභාරංචියට සවන් දුන් මුල් අවස්ථාවේදීම නොවේද?

18 පාවුල් මෙහිදී සඳහන් කරමින් සිටින්නේ පරිපූර්ණ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුව සම්බන්ධයෙන් අප තුළ ඇති වූ මුල්ම හැඟීම ගැන නොවන බව පැහැදිලිය. පාවුල් සඳහන් කරන බලාපොරොත්තුව තවත් ඔබ්බට දිව යයි. එය අපේ හදවත්වලට ගැඹුරටම කාවදින අතර අප තුළ දැඩි පෙලඹීමක් ඇති කරයි. අප ඇදහිලිවන්තව විඳදරාගනිද්දී දෙවිගේ අනුමැතිය අපට තිබෙන බව දැනෙයි. මෙමගින් අපේ මුල් බලාපොරොත්තුව තව තවත් ශක්තිමත් වේ. එම බලාපොරොත්තුව නිෂ්ඵල එකක් නොවන බව දැන් වැඩියෙන් තහවුරු වේ. එය අපට පෞද්ගලිකව ඇති කරන බලපෑම පෙරට වඩා වැඩිය. අපේ හදවත්වල ගැඹුරටම මුල්බැස ගත් මේ බලාපොරොත්තුව වඩ වඩා දීප්තියෙන් බැබළෙයි. මෙය අපේ ඇට, ලේ, මස්, නහර හරහා ගමන් කරයි. “එම බලපොරොත්තුව කලකිරීමට මඟ පාදන්නේ නැත, මන්ද ශුද්ධාත්මය කරණකොටගෙන දෙවිගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවා තිබේ.”

19. ඔබේ බලාපොරොත්තුව ඔබ දිනපතා කරන යාච්ඤාවලට ඇතුළත් කරගත හැක්කේ කෙසේද?

19 කොලොස්සියේ සිටි තම සහෝදර සහෝදරියන්ට ඔවුන් ඉදිරියෙහි තබා තිබූ බලාපොරොත්තුව දිගටම ප්‍රාණවත්ව තබාගනිමින් “දෙවිගේ මුළු කැමැත්ත කෙරෙහි ස්ථිර විශ්වාසයෙන්” යුක්තව සිටීම සඳහා අවශ්‍ය උපකාරය ඉල්ලා එපප්‍රස් මහත් ඕනෑකමින් යාච්ඤා කළේය. අප සියලුදෙනාම අප සතු බලාපොරොත්තුව ගැන ඒ හා සමානව දෙවිට නිතිපතා යාච්ඤා කරමු. ඔබේ පෞද්ගලික යාච්ඤාවලදී නව ලොව පිළිබඳ ඔබේ බලාපොරොත්තුව ගැන සඳහන් කරන්න. නව ලොවේ ජීවත් වීමට ඔබ මොනතරම් ආශාවෙන් බලා සිටිනවාද කියා පූර්ණ විශ්වාසයකින් යෙහෝවාට පවසන්න. ඔබේ විශ්වාසය තව තවත් ශක්තිමත් කරගැනීම සඳහා උපකාර කරන්න කියා ඉල්ලමින් ඔහුට යාච්ඤා කරන්න. කොලොස්සිවරුන්ට “දෙවිගේ මුළු කැමැත්ත කෙරෙහි ස්ථිර විශ්වාසයෙන්” යුක්තව සිටීමට හැකි වන පිණිස එපප්‍රස් යාච්ඤා කළාක් මෙන්, ඔබත් යාච්ඤා කරන්න. නිතිපතා එසේ කරන්න.

20. ටිකදෙනෙකු ක්‍රිස්තියානි මාර්ගයෙන් ඉවත්ව ගියත්, අධෛර්යය වීමට එය හේතුවක් කර නොගත යුත්තේ මන්ද?

20 සියලුදෙනාම දිගටම සම්පූර්ණව ස්ථිර විශ්වාසයෙන් යුතුව නොසිටින නිසා අධෛර්යයට පත් නොවිය යුතුයි. ඇතමුන් විශ්වාසය බිඳගැනීමට හෝ සත්‍යය මාර්ගයෙන් ඉවත් වීමට ඉඩ තිබේ. ඔවුන් දෙවිගේ කැමැත්ත කිරීම අත්හැර දැමිය හැක. යේසුස් සමඟ කිට්ටුවෙන්ම ඇසුරු කළ ඔහුගේ ප්‍රේරිතයන් අතර පවා එවන් දෙයක් සිදු විය. එහෙත් යූදස් ද්‍රෝහි වූ නිසා සෙසු ප්‍රේරිතයන් අධෛර්යයට පත් වූවාද? නැත්නම් ඔවුන් කරමින් සිටි සේවය අත්හැරියාද? කොහෙත්ම නැත! පේතෘස් ගීතාවලිය 109:8හි සඳහන් වදන් අදාළ කර දක්වමින් යූදස්ගේ තැන වෙනත් කෙනෙකුට හිමි විය යුතු බව පැහැදිලි කළේය. යූදස් වෙනුවට වෙනත් කෙනෙකුව තෝරාගත් අතර, දෙවිට පක්ෂපාත අය ඔවුන්ගේ පැවරුම වූ දේශනා කිරීමෙහි ක්‍රියාශීලීව නිරත වූහ. (ක්‍රියා 1:15-26) සම්පූර්ණව හා ස්ථිර විශ්වාසයෙන් යුක්තව සිටීමට ඔවුහු අදිටන් කරගත්හ.

21, 22. ඔබ සම්පූර්ණව ස්ථිර විශ්වාසයෙන් සිටීම සෙසු අයගේ අවධානයට ලක් වන්නේ කෙසේද?

21 ඔබ සම්පූර්ණව හා දෙවිගේ මුළු කැමැත්ත ගැන ස්ථිර විශ්වාසයෙන් සිටීම සෙසු අයගේ අවධානයට හා අගය කිරීමට ලක් වන බවට පූර්ණ නිසැකකමක් ඇතුව සිටිය හැක. මේ අය කවුද?

22 ඒ අය නම් ඔබව දන්න හා ඔබට ප්‍රේම කරන ඔබේ සහෝදර සහෝදරියන්ය. ඔබ සම්පූර්ණව හා දෙවිගේ මුළු කැමැත්ත ගැන ස්ථිර විශ්වාසයෙන් සිටීම සම්බන්ධයෙන් බොහෝදෙනෙකු වචනවලින් අගය ප්‍රකාශ නොකළත්, එමගින් ඇති කරන බලපෑම 1 තෙසලෝනික 1:2-6හි කියවීමට තිබෙන දෙයට සමානය. එහි මෙසේ සඳහන් වේ. “අපගේ පියවූ [දෙවි] ඉදිරියෙහි නුඹලාගේ ඇදහිල්ලේ ක්‍රියාවද ප්‍රේමයේ වීර්යයද අපේ ස්වාමිවූ යේසුස් [ක්‍රිස්තුස්] තුළ තිබෙන බලාපොරොත්තුවේ ඉවසීමද අපි නොකඩව සිහිකරමින්, අපේ යාච්ඤාවලදී නුඹලා ගැන මතක්කරමින්, නුඹලා සියල්ලන් ගැන සෑමවේලේම [දෙවිට] ස්තුතිකරමුව. . . . මක්නිසාද අපේ ශුභාරංචිය නුඹලා වෙතට පැමුණුණේ වචනයෙන් පමණක් නොව බලයත් ශුද්ධාත්මයත් බොහෝ නිසැකකමත් ඇතුවය. . . . [නුඹලා] අපද [ස්වාමින්ද] අනුවයන්නෝ වූහ.” ඔබ අවට සිටින පක්ෂපාත ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් ‘ඔබ සම්පූර්ණව හා දෙවිගේ මුළු කැමැත්තෙහි ස්ථිර විශ්වාසයෙන් සිටිනවා’ දකින විට කොලොස්සිවරුන් සම්බන්ධයෙන් පාවුල්ට හැඟුණාක් මෙන් ඔවුන්ටද හැඟෙනු ඇත.—කොලොස්සි 1:23.

23. මේ වසර පුරා ඔබේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?

23 ඔබ සම්පූර්ණව සිටිමින් “දෙවිගේ මුළු කැමැත්ත කෙරෙහි” ස්ථිර විශ්වාසයෙන් සිටින නිසා ඔබේ ස්වර්ගික පියාද සතුටු වන බවට කිසිම සැකයක් නැත. කොලොස්සිවරුන් ‘යෙහෝවාට ඔබින ලෙස සියලු ආකාරයෙන් ප්‍රසන්නව’ හැසිරීම ගැන දිරිගන්වනසුලු අයුරින් පාවුල් සඳහන් කළේය. (කොලොස්සි 1:12) අසම්පූර්ණ මිනිසුන්ට පවා යෙහෝවාව සියලු ආකාරයෙන් ප්‍රසන්න කළ හැක. කොලොස්සියේ විසූ ඔබේ සහෝදර සහෝදරියෝ එසේ කළහ. ඔබ අවට සිටින ක්‍රිස්තියානි සහෝදර සහෝදරියෝද මේ මොහොතේදීත් එසේ කරමින් සිටිති. ඔබටත් එසේ කළ හැකියි! එනිසා ඔබ අන්තිමේදී ‘සම්පූර්ණව හා දෙවිගේ මුළු කැමැත්ත කෙරෙහි ස්ථිර විශ්වාසයෙන් සිටීමට’ අදිටන් කරගෙන සිටින බව මේ අවුරුද්ද පුරාම ඔබ දිනපතා කරන යාච්ඤා මගින් මෙන්ම ඔබ ක්‍රියා කරන ආකාරයෙන් පෙන්වන්න.

ඔබට මතකද?

• ඔබ ‘සම්පූර්ණව සිටීමට’ අයත් වන්නේ මොනවාද?

• ඔබ යාච්ඤා කරන විට ඔබ ගැන පැවසිය යුතු දේවල් මොනවාද?

රෝම 5:4, 5හි අඟවන පරිදි ඔබ තබාගත යුත්තේ කුමන ආකාරයේ බලාපොරොතුවක්ද?

• අප පාඩම් කළ තොරතුරු මගින් ඔබව පොලඹවනු ලැබුවේ මේ අවුරුද්ද පුරා කුමන ඉලක්කය තබාගැනීමටද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[20වන පිටුවේ පින්තූරය]

තම සහෝදරයන්ට සම්පූර්ණවද ක්‍රිස්තුස් ගැනත් ඔවුන්ගේ බලාපොරොත්තුව ගැනත් ස්ථිර විශ්වාසයෙන්ද සිටීම සඳහා එපප්‍රස් ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළේය

[23වන පිටුවේ පින්තූර]

ඔබ සතු නිසැක බලාපොරොත්තුව හා ස්ථිර විශ්වාසය තවත් දශලක්ෂ ගණනකටද තිබේ