Skip to content

පටුනට යන්න

“ඔබත් දිනන පිණිස දුවන්න”

“ඔබත් දිනන පිණිස දුවන්න”

“ඔබත් දිනන පිණිස දුවන්න”

උද්දාමයට පත් සෙනඟකින් පිරී ඉතිරී ඇති ක්‍රීඩාංගනයක ඔබත් සිටිනවායයි මොහොතකට සිතින් මවාගන්න. දැන් ක්‍රීඩා භූමිය කරා ක්‍රීඩකයන් ඉතාමත් ගාම්භීර ලීලාවෙන් පැමිණෙයි. සෙනඟ තම ක්‍රීඩා විරුවන්ව දකින විට ඔල්වරසන් දෙයි. තරඟ නීති රීති පෙන්වා දීමට විනිසුරුවන්ද සූදානමින් සිටියි. තරඟ පැවැත්වෙන අතරතුර නරඹන්නන් ප්‍රීති ප්‍රමෝදයෙන් කෑගසයි. ඒ අතර බලාපොරොත්තු කඩ වූවෝද සිටිති. අවසානයේදී ජයග්‍රාහකයන්ට කන් අඩි පැළෙන තරමට අත්පොළසන් දෙමින් සුබ පතනු ලබයි.

ඔබ මේ සහභාගි වෙමින් සිටින්නේ නවීනදින ක්‍රීඩා තරඟයකට නොව අවුරුදු 2,000කට පෙර කොරින්තිය ආසන්නයේ පැවැත්වූ ක්‍රීඩා තරඟයකටය. පොදු යුගයට පෙර හයවන සියවසේ සිට පොදු යුගයේ හතරවන සියවස දක්වා සෑම වසර දෙකකට වරක් සුප්‍රසිද්ධ ඉස්ත්මීය තරඟ මෙහි පැවැත්වීය. තරඟ උණුසුම ග්‍රීසිය පුරා දින කීපයක්ම පැවතිණ. මෙම තරඟවල, සාමාන්‍ය මලල ක්‍රීඩා තරඟාවලියක තිබෙන අංගයන්ට වඩා වැඩි යමක් අන්තර්ගතව තිබිණ. ඇත්තෙන්ම මලල ක්‍රීඩකයන් සිටීමෙන් නියෝජනය වූයේ ඔවුන් යුද්ධයට සූදානම් බවයි. ජයග්‍රාහකයෝ වීරවරයන් ලෙස ගරු බුහුමන් ලැබූහ. එම ගෞරවය සංකේතවත් කිරීමෙහිලා ඔවුනට ගස්වල කොළවලින් සෑදූ ඔටුන්නක් පැළඳවීය. එමෙන්ම ඔවුන්ට වටිනා තෑගි පිරිනැමූ අතර ඔවුන් ජීවත් වූ නගරයෙන් ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුපක්ද ගෙවීය.

කොරින්ති නගරයට ආසන්නව පැවති ඉස්ත්මීය තරඟ පිළිබඳව පාවුල් හොඳින් දැන සිටි නිසා, ඔහු ක්‍රිස්තියානියෙකුගේ ජීවන මාර්ගය මලල ක්‍රීඩා තරඟයක් හා සැසඳුවේය. ධාවකයන්, මල්ලව පොරබදන්නන් සහ බොක්සිං ක්‍රීඩකයන් ආදීන්ට යොමු දැක්වීම මගින් හොඳ පුහුණුව, වෑයම සහ විඳදරාගැනීම වැනි දේවල්වලින් ලැබෙන්නාවූ විපාකයන් ඔහු හොඳින් නිදර්ශනය කළේය. කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ද මෙම ක්‍රීඩා පිළිබඳව හොඳින් දැන සිටින්න ඇති කියා පැවසීමට පුළුවන. ඔවුන්ගෙන් සමහරෙකු යම් කලෙක ක්‍රීඩාංගනයේ ඔල්වරසන් දෙන සෙනඟ අතර සිටින්නත් ඇති. එමනිසා ඔවුන් පාවුල්ගේ එම නිදර්ශනය ඉතා ඉහළින් අගය කළ බව සිතිය හැක. අප සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? අපත් සිටින්නේ ධාවන තරඟයකය. එනම් සදාකාල ජීවනයට යන ධාවන තරඟයේය. පාවුල් එම තරඟවලට කළ යොමු දැක්වීම්වලින් අප ප්‍රයෝජන ලබාගන්නේ කෙසේද?

‘තරඟයේ සියලු නීති රීති අනුව තරඟ කරන්න’

පුරාණයේ තිබූ එම තරඟවලට සහභාගි වීම පහසු වූයේ නැත. මන්ද තරඟකරුවන් ඉතාමත් දැඩි නීති රීතිවලට යටත් විය යුතුව තිබිණ. එම තරඟවලට සහභාගි වීමට සිටි එක් එක් තරඟකරුවාව රාජ දූතයෙකු විසින් ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරමින්, ‘මෙම පුද්ගලයා වරදකරුවෙක් කියා චෝදනා කිරීමට කිසිවෙක් සිටිනවාද? මොහු සොරෙක්ද, එසේත් නැත්නම් දුෂ්ටයෙක්ද? ඔහු ඔහුගේ චරිතය කෙලසාගෙන තිබේද’ කියා ඇසුවේය. ආකියෝලොජියා ග්‍රීකා යන කෘතියෙහි මෙසේ පවසා තිබිණ. “අපරාධවලට හෝ යම් වැරදිවලට සම්බන්ධ කෙනෙකුට හෝ එවන් කෙනෙකුගේ [කිට්ටු] ඥාතියෙකුට හෝ තරඟ වැදීමට ඉඩ නොලැබිණ.” එමෙන්ම තරඟයේ නීති රීති උල්ලංගනය කළ විට දැඩි දඬුවම් දෙනු ලැබූ අතර, තරඟයට සහභාගි වීම පවා තහනම් කරන ලදි.

ඉහත සඳහන් තොරතුරු පාවුල්ගේ මෙම ප්‍රකාශය තේරුම්ගැනීමට අපට උපකාරයක් සපයයි. “තරගයේ සියලු නීති රීති අනුව ක්‍රියා නොකළොත්, ක්‍රීඩකයෙකුට ජය කිරුළක් පැළඳගැනීමට ලැබෙන්නේ නැත.” (2 තිමෝති 2:5, නව අනුවාදය) මීට සමානවම අපත් ජීවනය සඳහා වූ ධාවන තරඟයේ රැඳී සිටීමට නම් බයිබලයේ සඳහන් යෙහෝවාගේ උසස් සදාචාර ප්‍රමිතීන්ට අනුකූල විය යුතුයි. නමුත් එය පහසු නැත. බයිබලයේ පවසන්නේ, “බාල වයසේ පටන් [මිනිසාගේ] සිතේ කල්පනා නපුරුව තිබේ” කියාය. (උත්පත්ති 8:21) එමනිසා අප ධාවන තරඟයට ඇතුල් වූ පසුව පවා යෙහෝවාගේ අනුමැතිය දිගටම ලබාගනිමින් සදාකාලික ජීවිතය අත් කරගැනීම සඳහා තරඟයේ නීතිවලට අනුව කටයුතු කළ යුතුයි.

මෙලෙස කටයුතු කිරීමට අපට විශාල උපකාරයක් වන්නේ දෙවි සඳහා ඇති අපගේ ප්‍රේමයයි. (මාර්ක් 12:29-31) එවැනි ප්‍රේමයක් යෙහෝවාව සතුටු කිරීමටත් ඔහුගේ කැමැත්තට අනුව කටයුතු කිරීමටත් අපව නිතැතින්ම පොලඹවයි.—1 යොහන් 5:3.

‘සියලු බර අහක දමන්න’

පුරාණ තරඟවලදී ධාවකයෝ ඇඳුම් පැළඳුම් තමන්ට බාධාවක් කර නොගැනීමට වගබලා ගත්හ. “ධාවන තරඟවලදී . . . ධාවකයන් තරඟයට සහභාගි වුණේ සම්පූර්ණයෙන්ම නිර්වස්ත්‍රවයි” කියා ද ලයිෆ් ඔෆ් ද ග්‍රීක්ස් ඇන්ඩ් රෝමන්ස් නමැති පොත සඳහන් කරයි. ඇඳුම් නොමැතිව තරඟයට සහභාගි වීම මගින් ධාවකයන්ට වේගයෙන්, පහසුවෙන් සහ ඉතා දක්ෂ ලෙස දිවීමට හැකියාවක් ලැබිණ. අනවශ්‍ය බර අහක දැමූ නිසා ඔවුන්ගේ ශක්තිය අපතේ යෑමක් සිදු නොවීය. පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ලියන අවස්ථාවේදී මෙය ඔහුගේ මනසේ තිබෙන්න ඇති. “සියලු බර . . . අහක දමා අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම විඳදරාගැනීමෙන් යුතුව දුවමු.”—හෙබ්‍රෙව් 12:1NW.

ජීවනය සඳහා වූ ධාවනයේදී අපට බාධා ඇති කරන්නේ කුමන ආකාරයේ බරද? එක් දෙයක් නම් අනවශ්‍ය ලෙස ද්‍රව්‍යමය දේවල් රැස් කරගැනීමට යෑම හෝ සුඛෝපභෝගී ජීවන රටාවක් ලුහුබැඳීමට පෙලඹීමයි. සමහරෙක් සුරක්ෂිතභාවය සහ සන්තෝෂය ලැබෙන්නේ ධනයෙන් කියා සිතති. එවැනි අනවශ්‍ය “බර” හේතුවෙන් ධාවකයෙකුගේ වේගය කොතරම් අඩාළ වෙනවාද කිවහොත් ඔහු දෙවිව නොසලකන තත්වයකට පවා පත් විය හැක. (ලූක් 12:16-21) එමෙන්ම සදාකාලික ජීවිතය බොහෝ දුරස්ථව තිබෙන බලාපොරොත්තුවක් මෙන් පෙනිය හැක. එවැනි ආකල්පයක් ඇති පුද්ගලයෙක් ‘නව ලොව කවදා හරි එයි, එතකං අපි මේ ලෝකයේ සැප උපරිමයෙන් භුක්ති වින්දට කමක් නෑ’ කියා සිතිය හැක. (1 තිමෝති 6:17-19) එවැනි ද්‍රව්‍යවාදී ආකල්පයක් හේතුවෙන් කෙනෙකු ජීවනය සඳහා වූ ධාවනයෙන් ඉවතට යෑමට හෝ ධාවනය ආරම්භ නොකර සිටීමට පවා පුළුවන.

“ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසිවෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවී අනික් අයට ප්‍රියවන්නේය; නොහොත් එක්කෙනෙකුට ඇලුම්වී අනික් අය හෙළාදකින්නේය. [දෙවිට] සහ වස්තුවටත් සේවයකරන්ට නුඹලාට නුපුළුවන” කියා කන්ද උඩ දේශනාවේදී යේසුස් පැවසීය. ඉන්පසු ඔහු යෙහෝවා සතුන්ගේ අවශ්‍යතාවන් සපුරාලමින් ගහ කොළ රැකගන්නා ආකාරයත්, මිනිසා ඒවාට වඩා කොපමණ වටිනවාද කියාත් පෙන්වා දෙමින් මෙසේ අවවාද කළේය. “එහෙයින් කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවෙන්න. මක්නිසාද මේ සියල්ල අන්‍යජාතීහු සොයති; මේ සියල්ල නුඹලාට ඕනෑ බව නුඹලාගේ ස්වර්ගීය [පියා දනී]. නුමුත් පළමුකොට [ඔහුගේ] රාජ්‍යයද [ඔහුගේ] ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.”—මතෙව් 6:24-33.

‘විඳදරාගැනීමෙන් යුතුව දුවන්න’

පුරාණයේ සිටි සියලුම ධාවකයන් කෙටි දුර ධාවකයන් නොවෙයි. ඩොලිහොස් නමැති ධාවනයට කිලෝමීටර හතරක පමණ දුරක් ඇතුළත් විය. ඇත්තෙන්ම එම ධාවන තරඟය ශක්තිය සහ විඳදරාගැනීමේ හැකියාව පරීක්ෂණයට භාජනය කිරීමක් කියා පැවසිය හැක. පොදු යුගයට පෙර 328දී, එවකට පැවති පොදු සිරිතට අනුව එයීස් නමැති ධාවකයා මෙම තරඟය ජයග්‍රහණය කළ පසු තමාගේ ජය දැනුම් දීමට තම නගරය වන ආගොස් දක්වාම දිව ගියේය. ඔහු එම දිනයේදී පමණක් කිලෝමීටර 110ක පමණ දුරක් දිව ගොස් ඇති බව වාර්තා වේ. කොයිතරම් දුරක්ද කියා මොහොතකට සිතන්න!

ක්‍රිස්තියානීන් වන අපගේ ධාවනයත් විඳදරාගැනීම පරීක්ෂාවට භාජන වන ඉතාමත් දීර්ඝ ධාවනයකි. යෙහෝවාගේ අනුමැතියත් සදාකාලික ජීවිතය නමැති ත්‍යාගයත් අත් කරගැනීමට මෙම ධාවනයේදී අන්තිමය දක්වා විඳදරාගෙන සිටිය යුතුයි. පාවුල් ධාවන තරඟය නිම කළේ එයාකාරයෙන්ය. ඔහුගේ භූමික ජීවිතයේ අවසන් භාගයේදී ඔහු මෙසේ පැවසීය. “මම යහපත් යුද්ධයෙහි යුද්ධකළෙමි, මම දිවීම කෙළවරකළෙමි, මම ඇදහිල්ල රක්ෂා කළෙමි. මෙතැන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ.” (2 තිමෝති 4:7, 8) පාවුල් මෙන් අපත් “දිවීම කෙළවර” කළ යුතුයි. ඒත් අප මුලදී බලාපොරොත්තු වූවාට වඩා ධාවනය කළ යුතු දුර ප්‍රමාණය වැඩියි කියා සිතමින් අපගේ විඳදරාගැනීමේ ශක්තිය දුර්වල කරගතහොත් අපගේ ත්‍යාගය අත් කරගැනීමට හැකියාවක් අපට ලැබෙන්නේ නැත. (හෙබ්‍රෙව් 11:6) දිනුම් කණුව ඉතාමත් ආසන්න බව පෙනි පෙනී තිබියදී එවැන්නක් සිදුවීම මොනතරම් අපරාධයක්ද!

ත්‍යාගය

පුරාණ ග්‍රීසියේ මලල ක්‍රීඩා තරඟවලදී ජයග්‍රාහකයන්ට ගස්වල කොළවලින් තනා මල්වලින් හැඩගැන්වූ කළඹක් දෙනු ලැබීය. අවුරුදු හතරකට වරක් ඩෙල්ෆි නගරයේ පැවති පිතියන් ක්‍රීඩා තරඟවලදී ජයග්‍රාහකයන්ට දවුල් කුරුඳු වැනි ශාකවල කොළවලින් තැනූ ඔටුන්නක් පිරිනැමීය. එසේම ඔලිම්පික් තරඟවලදී වල් ඔලීව කොළ ඔටුන්නක් දෙනු ලැබූ අතර ඉස්ත්මීය තරඟවලදී දේවදාර ගසේ කොළවලින් තැනූ ඔටුන්නක් පිරිනැමීය. එක් බයිබල් විශාරදයෙක් පවසන්නේ, “තරඟකරුවන්ගේ උද්‍යෝගය වැඩි කිරීම සඳහා ජයග්‍රාහකයන්ට පිරිනැමීමට නියමිත ත්‍යාගයන්, ඔටුනු සහ තාල පත්‍ර, තරඟ වාරය අතරතුර ක්‍රීඩාංගනයේ මේසයක් මත තරඟකරුවන්ට පෙනෙන සේ තබන ලද” බවයි. ජයග්‍රාහකයන් විසින් ඔටුනු පැළඳීම ගෞරවයේ සංකේතයක් ලෙස සැලකූ අතර ඔහු කරත්තයක නැඟී තම නගරය බලා පිටත් වූයේ ජයග්‍රාහී ලීලාවෙනුයි.

මෙය පාවුල්ගේ මනසේ තිබූ නිසා කොරින්තියේ සිටි ඔහුගේ පාඨකයන්ගෙන් ඔහු මෙසේ ඇසීය. “දිවීම් තරඟයක දී බොහෝ දෙනෙකු දුවන නමුත්, ත්‍යාගය දිනා ගන්නේ එක් කෙනෙකු පමණක් බව ඔබ නොදන්නහු ද? එසේ ම ඔබත් දිනන පිණිස දුවන්න. . . ඔවුන් එසේ කරන්නේ පර වී යන මල් ඔටුන්නක් ලබාගන්නා පිණිස ය. අප එසේ කරන්නේ පර වී නොයන ඔටුන්නක් ලබාගන්නා පිණිස ය.” (1 කොරින්ති 9:24, 25, න. අ.; 1 පේතෘස් 1:3-5අ) මොනතරම් වෙනසක්ද! පුරාණ තරඟවලදී ලැබුණේ පරවී යන ඔටුන්නක්. නමුත් ජීවනය සඳහා වූ ධාවන තරඟයට සහභාගි වන අයට තබා තිබෙන ඔටුන්න කිසිදා දිරාපත් නොවෙයි.

ප්‍රේරිත පේතෘස් මෙම අනර්ඝ ඔටුන්න පිළිබඳව මෙසේ ලිවීය. ‘ප්‍රධාන එඬේරා ප්‍රකාශ වන කල්හි නුඹලා තේජසේ නොමැලවෙන්නාවූ ඔටුන්න ලබන්නහුය.’ (1 පේතෘස් 5:4) ක්‍රිස්තුස් සමඟ ලබන්නාවූ නොදිරන ස්වර්ගීය මහිමයට මෙන්ම අමරණීයත්වයට සමාන කළ හැකි යම් ත්‍යාගයක් මේ ලෝකයේ තිබේද?

අදදින ආත්මික ධාවනයක නිරත වී සිටින ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකු දෙවිගේ ආත්මික පුත්‍රයන් වීම සඳහා ඔහු විසින් ආලේප කළ අය නොවන අතර ඔවුන්ට ස්වර්ගීක බලාපොරොත්තුවක් නැත. ඔවුන්ට අමරණීයත්වයේ ත්‍යාගය නොලැබුණත් ඉදිරියේදී මිල කළ නොහැකි ත්‍යාගයක් ලබා දීමට දෙවි පොරොන්දු වී තිබේ. එය නම් ස්වර්ගීය ආණ්ඩුව යටතේ පාරාදීස පොළොවක සදාකාලික ජීවිතයයි. ක්‍රිස්තියානි ධාවකයෙකු කුමන ත්‍යාගයක් වෙත තම නෙත් යොමාගෙන ධාවනයේ යෙදුණත් ඔහු දිවිය යුත්තේ මලල ක්‍රීඩා තරඟකරුවෙකුට වඩා ප්‍රබල අධිෂ්ඨානයකින් සහ ශක්තියකිනි. එයට හේතුව අපට උරුම වන ත්‍යාගය කිසිදා පර නොවන නිසයි. ‘ඔහු අපට පොරොන්දු වූ පොරොන්දුව නම් සදාකාල ජීවනයයි.’—1 යොහන් 2:25.

ක්‍රිස්තියානි ධාවකයෙකු ඉදිරියේ එවන් මිල කළ නොහැකි ත්‍යාගයක් තබා තිබෙන නිසා මේ ලෝකයේ තිබෙන මුළා කරවන දේ සම්බන්ධයෙන් ඔහුගේ ආකල්පය කුමක් විය යුතුද? එනම් ඔවුන්ට තිබිය යුත්තේ පාවුල්ට තිබූ ආකල්පයමයි. “මාගේ ස්වාමිවූ ක්‍රිස්තුස් [යේසුස්] ඇඳින ගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සලකමි. [ඔහු] නිසා සියලුදේ මට නැතිවී ගියා පමණක් නොව, ඒවා කුණුයයි සලකමි.” පාවුල් දිවීමේදී කොතරම් වීර්යයක් දැරුවාද කියා මෙයින් මනාව පෙන්නුම් කෙරේ. ඔහු තවදුරටත් මෙසේ පැවසීය. “සහෝදරයෙනි, මම තවමත් අල්ලාගත්තෙමියි නොසිතමි. නුමුත් එකක් කරමි, එනම්, පස්සෙන් තිබෙනදේ මතකනැතිකොට, ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගන යමින් . . . දිනුම්පළ කරා දුවමි.” (පිලිප්පි 3:8, 13, 14) පාවුල් දිව්වේ ත්‍යාගය දෙසටම නෙත් යොමාගෙනය. අපත් එලෙසම කළ යුතුයි කියා ඔබට සිතෙන්නේ නැද්ද?

අපේ උතුම්ම ආදර්ශකයා

පුරාණ තරඟවලදී ජයග්‍රාහකයන්ට ඉමහත් ප්‍රසිද්ධියක් ලැබිණ. කිවියන් ඔවුන් ගැන වර්ණනා කළ අතර ප්‍රතිමා නෙළන්නන් විසින් ඔවුන්ගේ පිළිරූ අඹන ලදි. “ඔවුන්ට ලැබුණ ගෞරවය සහ ජනප්‍රියත්වය කියා නිම කරන්න බැරි” බව ඉතිහාසඥ ව්යේරා ඔලිවොවා කියයි. ඒ විතරක් නොවෙයි ඔවුන් නැඟී එන ජයග්‍රාහකයන්ට ආදර්ශයක්ද විය.

ක්‍රිස්තියානීන්ට කදිම ආදර්ශයක් තබන “ජයග්‍රාහකයා” කවුද? පාවුල් එයට මෙසේ පිළිතුරු දෙයි. ‘ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණ කරන්නාද වූ යේසුස් දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් [විඳදරාගනිමින්, NW] දුවමු. ඔහු වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, වධ කණුව දරාගෙන, පසුව දෙවිගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි හිඳගත්තේය.’ (හෙබ්‍රෙව් 12:1, 2) සදාකාල ජීවනය සඳහා වූ අපගේ ධාවනයෙන් ජයගැනීමට නම් අපගේ ආදර්ශකයා වන යේසුස් ක්‍රිස්තුස් දෙස මහත් ඕනෑකමකින් බැලිය යුතුයි. ශුද්ධ ලියවිල්ලේ ඇති සුවිශේෂ වාර්තා නොකඩවා කියවීමෙන් සහ ඔහුව අනුකරණය කළ හැකි මාර්ග ගැන මෙනෙහි කිරීමෙන් අපට මෙය කළ හැකියි. දෙවි කෙරෙහි යේසුස් ක්‍රිස්තුස්ට තිබූ කීකරුකමත්, විඳදරාගැනීම තුළින් තමාගේ ඇදහිල්ල කොතරම් ශක්තිමත්ද කියා ඔහු ඔප්පු කළ ආකාරයත් අගය කිරීමට එවන් අධ්‍යයනයක් අපට උපකාරවත් වෙයි. ඔහුගේ විඳදරාගැනීමට ත්‍යාගය වශයෙන් ඔහුට යෙහෝවා දෙවිගේ අනුමැතියත් බොහෝ වරප්‍රසාදයනුත් හිමි විය.—පිලිප්පි 2:9-11.

ඇත්තෙන්ම යේසුස්ගේ ගුණාංග අතුරින් වඩාත් කැපීපෙනෙන ගුණාංගය වන්නේ ප්‍රේමයයි. “යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත” කියා ඔහු එක් අවස්ථාවකදී පැවසීය. (යොහන් 15:13) අපේ සතුරන්ටත් ප්‍රේම කරන්න කියා පැවසීම මගින් ඔහු “ප්‍රේමය” යන වදනට ගැඹුරු අර්ථයක් ලබා දුනි. (මතෙව් 5:43-48) ඔහු තම ස්වර්ගික පියාට ප්‍රේම කළා පමණක් නොව ඔහුගේ පියාගේ කැමැත්ත කිරීම තුළින් ප්‍රීතියක්ද අද්දැක්කේය. (ගීතාවලිය 40:9, 10; හිතෝපදේශ 27:11) ජීවනය සඳහා වූ වෙහෙසකර ධාවනයේ දිවිය යුතු වේගය පෙන්වා දෙන අපේ ආදර්ශකයා වන යේසුස් දෙස බැලීමෙන් දෙවිට සහ අසල්වැසියාට ප්‍රේම කිරීමට අපව පෙලඹෙන අතර අපේ පරිශුද්ධ සේවය තුළින් සැබෑ ප්‍රීතියක් සොයාගැනීමටද හැකියාවක් ලැබේවි. (මතෙව් 22:37-39; යොහන් 13:34; 1 පේතෘස් 2:21) එක් දෙයක් මනසේ තබාගන්න. එනම් යේසුස් අපට කිරීමට බැරි දෙයක් අපෙන් ඉල්ලන්නේ නැති බව. ඔහු අපට මෙසේ පොරොන්දු වෙයි. “මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, . . . නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය.”—මතෙව් 11:28-30.

අන්තිමය දක්වා විඳදරාගන්නා අයට තබා තිබෙන ත්‍යාගය ලබාගැනීමට නම්, යේසුස් මෙන් අපත් ත්‍යාගය දෙසට අපගේ නෙත් නාභිගත කළ යුතුය. (මතෙව් 24:13) අප තරඟ නීති රීතිවලට අනුකූල වෙමින් හා අනවශ්‍ය බර අහක දමා විඳදරාගනිමින් දුවනවා නම් අපේ ජයග්‍රහණය ගැන සහතික විය හැකිය. අපව ඉදිරියට ගෙන යන්නේ ඉලක්කයයි! එය අපව ප්‍රීතිමත් කරවමින් අපේ ශක්තිය තව තවත් අලුත් කරයි. එමගින් අප ඉදිරියේ ඇති මාර්ගයේ පා නැඟීම පහසු වන බව නිසැකයි.

[29වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානියෙකුගේ ධාවනය දීර්ඝ එකක් වන අතර ඒ සඳහා විඳදරාගැනීම අවශ්‍යයි

[30වන පිටුවේ පින්තූරය]

ඔටුනු පළන් මලල ක්‍රීඩකයන්ට වෙනස්ව ක්‍රිස්තියානීන්ට පරවී නොයන ත්‍යාගයක් බලාපොරොත්තු විය හැකියි

[31වන පිටුවේ පින්තූරය]

ත්‍යාගය, අන්තිමය දක්වා විඳදරාගන්න සියල්ලන්ටයි

[28වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Copyright British Museum