Skip to content

පටුනට යන්න

පීඩා මැද පවා මුළු හදින් සේවයේ යෙදී

පීඩා මැද පවා මුළු හදින් සේවයේ යෙදී

ජීවිත කතාව

පීඩා මැද පවා මුළු හදින් සේවයේ යෙදී

පැවසුවේ රෝඩොල්ෆෝ ලෝසානෝ

මම ඉපදුණේ 1917 සැප්තැම්බර් 17වෙනිදා මෙක්සිකෝවේ ඩූරැන්ගෝ ජනපදයේ, ගෝමෙස් පාලාස්‍යෝ නගරයේදීයි. මෙක්සිකානු විප්ලවය දිනෙන් දින දරුණු වුණා. වර්ෂ 1920දී විප්ලවය අවසන් වුණත්, අපි පදිංචි වෙලා හිටිය ප්‍රදේශයේ තත්වය වෙනස් වුණේ නැති නිසා ජීවත් වෙන එක එන්න එන්නම අසීරු වුණා.

විප්ලවවාදීන් හා හමුදාව අතර ගැටුමක් ඇරඹෙන්න යන බව අම්මගේ කනට වැටුණු අවස්ථාවකදී අම්මා මාවයි, අයියලා තුන්දෙනාවයි, අක්කවයි, නංගිවයි දවස් කීපයක්ම ගේ ඇතුලේ තියාගත්තා. අපිට හරියට කන්න දෙයක් තිබුණෙත් නැහැ. මට තාමත් මතකයි මම නංගිත් එක්ක ඇඳ යට හැංගිලා හිටිය හැටි! ඊට පස්සේ, අම්මා අපිවත් අරගෙන එක්සත් ජනපදයට යන්න තීරණය කළා. ඒත් ඒ වෙලාවේ තාත්තට එන්න පුළුවන්කමක් තිබුණේ නැති හින්දා ඔහු පස්සේ එන්න තීරණය කළා.

අපි 1926දී කැලිෆෝනියාවට ආවා. ඊට ටික කාලෙකට කලින් එක්සත් ජනපදය විශාල ආර්ථික පරිහානියකට ලක් වෙලයි තිබුණේ. සැන් ජෝකිම් නිම්නය, සාන්ත ක්ලාරා, සාලියිනාස් සහ කිං සිටි වැනි වැඩක් පලක් හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතපු හැම ස්ථානයකටම වගේ අපි ගියා. කෙත්වල වැඩ කරන්නත්, පලතුරු සහ එළවලු වර්ග කඩන්නත් අපි ඉගෙනගත්තා. යෞවන කාලයේදී මට එක දිගටම වගේ වෙහෙස වෙලා වැඩ කරන්න සිද්ධ වුණත් ඒ කාලයේදී මම ලොකු ප්‍රීතියක් අද්දැක්කා.

බයිබල් සත්‍යය ලැබී

වර්ෂ 1928 මාර්තුවලදී යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්, එහෙමත් නැත්නම් ඒ කාලේ හැඳින්නුව විදිහට බයිබල් ශිෂ්‍යයෙක් අපේ ගෙදරට ආවා. ඔහුගේ නම ඒස්ටේබාන් රිවෙරායි. ඔහු ස්පාඤ්ඤ භාෂාව කතා කරන වයසින් මුහුකුරා ගිය තැනැත්තෙක්. ඔහු තබාගිය “මළවුන් කොතැනද?” කියන පොත්පිංචයේ තේමාවත්, ඒකෙ තිබුණ තොරතුරුත් මගේ හිතට තදින් කාවැදුණා. මම ලාබාල කෙනෙකුව හිටියත් බයිබල් ශිෂ්‍යයන් එක්ක බයිබල් පාඩමක් පටන්ගත්තා. ඒ වගේම ඔවුන් එක්ක ආශ්‍රය කරන්නත් පටන්ගත්තා. ඔහොම කාලයක් යද්දී, මගේ අම්මා සහ අරෝරා නංගිත් ජ්වලිතව යෙහෝවාට ප්‍රශංසා කරන්නන් බවට පත් වුණා.

එක්දාස් නවසිය තිස්ගණන්වලදී ඉංග්‍රීසි භාෂාව කතා කරන සභාව වෙනුවෙන් සැන් ජෝස්වල රාජ්‍ය ශාලාවක් ගොඩනැඟුවා. ස්පාඤ්ඤ භාෂාව කතා කරන හුඟදෙනෙක් මේ ප්‍රදේශයේ ගොවිපොළවල්වල වැඩ කරපු නිසා අපි ඔවුන්ට දේශනා කරන්නත්, ඔවුන් වෙනුවෙන් මුරටැඹ පාඩම පවත්වන්නත් පටන්ගත්තා. අපි එහෙම කළේ ඊට කිලෝමීටර් 80ක් විතර එපිටෙන් තිබූ සැන් ෆ්‍රැන්සිස්කෝවල, ස්පාඤ්ඤ භාෂාව කතා කරන සාක්ෂිකරුවන්ගේ උපකාරයෙනුයි. ටික කලක් යද්දී, සැන් ජෝස් රාජ්‍ය ශාලාවේ ස්පාඤ්ඤ භාෂාවෙන් පැවැත්වුණු රැස්වීම්වලට 60දෙනෙක් විතර එන්න පටන්ගත්තා.

අන්තිමේදී 1940 පෙබරවාරි 28වෙනිදා, සැන් ජෝස්හි පැවැත්වුණු එක්රැස්වීමකදී මම බව්තීස්ම වෙලා යෙහෝවාට මගේ කැපවීම සංකේතවත් කළා. ඊළඟ අවුරුද්දේ මාව පුරෝගාමියෙකු, ඒ කියන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන දේවසේවකයෙකු හැටියට පත් කළා. පස්සේ, 1943 අප්‍රියෙල්වලදී, කිලෝමීටර් 130ක් විතර ඈතින් පිහිටි නගරයක් වූ ස්ටොක්ටන්හි ස්පාඤ්ඤ භාෂාව කතා කරන අයගේ සභාවක් පිහිටුවන්න එන්න කියලා මට ආරාධනයක් ලැබුණා. ඒ වෙනකොට මම සැන් ජෝස්හි ඉංග්‍රීසි සභාවේ මුලසුන භාර අවේක්ෂක හැටියට සේවය කරමින්, එහි ස්පාඤ්ඤ භාෂාව කතා කරපු සාක්ෂිකරුවන්ටත් උපකාර කරමින් හිටියා. ඒ වගකීම් ඉටු කිරීමට වෙනත් අයව යොදවලා මම ස්ටොක්ටන්වලට ගියා.

අඛණ්ඩතාව බිඳීමට සැරසේ

වර්ෂ 1940 මුල්භාගයේදී අනිවාර්ය හමුදා සේවයට බඳවාගන්නාවූ කාර්ය මණ්ඩලය මාව වරින් වර සේවයට බඳවාගැනීමට බැලුවත්, හෘදය සාක්ෂියට එකඟව මම අරගෙන තියෙන ස්ථාවරය ගැන පැහැදිලි කළහම ඔවුන් ඊට ගරු කළා. ඒත් 1941 දෙසැම්බර්වලදී එක්සත් ජනපදය දෙවෙනි ලෝක යුද්ධය ඇරඹුවත් එක්කම වගේ අනිවාර්ය සේවයට බඳවාගන්නාවූ කාර්ය මණ්ඩලයේ බල කිරීම වැඩි වුණා. අන්තිමට 1944දී මාව හිරභාරයට අරගෙන නඩුව අහනකම් අපරාධකරුවන් හිටපු හිර කුටියකට දාලා තිබ්බා. මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් බව දැනගත්ත ඒ අපරාධකරුවන්ගෙන් වැඩිදෙනෙක් නොයෙක් ප්‍රශ්න අහන ගමන්, ඔවුන්ගේ අපරාධවලට දෙවි සමාවක් දෙයිද කියලත් ඇහැව්වා.

සැන් ජෝස්හි සාක්ෂිකරුවන් මාව ඇප දීලා නිදහස් කරගත්තා. මේ අතර ලොස් ඇන්ජලිස්වල සිවිල් අයිතීන් හා සම්බන්ධ නඩුවලට කතා කරන නීතිඥයෙක් කිසි මුදලක් අය නොකර මගේ නඩුවට පෙනී ඉන්න ඉදිරිපත් වුණා. පුරෝගාමී සේවය අත්ඇරලා බාහිර රැකියාවක් කරන්නත්, හැම මාසයකදීම අධිකාරීන්ට වාර්තා කරන්නත් එකඟ වෙනවා නම් මාව නිදහස් කරන බවට නඩුකාරවරයා නියෝග කළා. ඒ නියෝගයට මම එකඟ වුණේ නැති හින්දා මාව අවුරුදු දෙකකට වොෂිංටන් ජනපදයේ මක්නීල් දූපතේ බන්ධනාගාරගත කළා. එහිදී වඩාත් ගැඹුරින් බයිබලය අධ්‍යයනය කරන්න මම මගේ කාලය යෙදෙව්වා. ඒ වගේම යතුරු ලියනය පාවිච්චි කරන්නත් ඉගෙනගත්තා. හොඳට හැසිරුණ නිසා අවුරුදු දෙකක් යන්නත් කලින් මාව නිදහස් කළා. අප්‍රමාදව මම පුරෝගාමී සේවය කරන්න සැලසුම් යෙදුවා.

සේවය පුළුල් කර

වර්ෂ 1947 ශීත ඍතුවේදී, තවත් පුරෝගාමී සහෝදරයෙක් එක්ක ටෙක්සස්වල කොලරාඩෝ නගරයේ ස්පාඤ්ඤ භාෂාව කතා කරන අයට සේවය කරන්න මට පැවරුමක් ලැබුණා. ඒත් හුඟක් සීතල නිසා අපි උණුසුම් දේශගුණයක් තිබුණු සැන් ඇන්ටෝනියෝවලට ගියා. කොහොමවුණත්, එහෙදී තොරතෝංචියක් නැතුව වැස්ස ඇදහැළුණු හින්දා අපිට හරියකට ගෙයින් ගෙට සේවය කරගන්න බැරි වුණා. අපි ළඟ තිබුණ මුදලුත් ඉක්මනටම ඉවර වේගන ගියා. ඒ නිසා සති ගණනාවක්ම අපි අපේ පණ නල රැකගත්තේ අමු ගෝවා දාලා හදපු සැන්ඩ්විච්වලිනුයි තේවලිනුයි. ඉතින් මගේ යාළුවා ආපහු ගෙදර ගියා. ඒත් මම නැවතුණා. මං හිටිය තත්වය ගැන ඉංග්‍රීසි කතා කරන සාක්ෂිකරුවන්ට දැනගන්න ලැබුණහම ඒගොල්ලෝ මට උපකාර කරන්න ඉදිරිපත් වුණා.

ඊළඟ වසන්තයේදී මගේ පැවරුම ඉටු කරන්න මම ආපහු කොලරාඩෝ නගරයට ගියා. කාලයක් යද්දී, ස්පාඤ්ඤ භාෂාව කතා කරන පුංචි සභාවක් පිහිටෙව්වා. ඊට පස්සේ මම ටෙක්සස්වල ස්වීට්වෝට නගරයට ගිහින් තවත් ස්පාඤ්ඤ භාෂාව කතා කරන සභාවක් පිහිටුවන්න මගේ සහයෝගය ලබා දුන්නා. ස්වීට්වෝටවල ඉන්නකොට ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ 15වෙනි පංතියට එන්න කියලා ආරාධනා කරපු ලියුමක් මට ලැබුණා. මිෂනාරිවරුන්ව පුහුණු කෙරුණු ඒ පංතිය පටන්ගත්තේ 1950 පෙබරවාරි 22වෙනිදායි. ඒ ගිම්හානයේදී, නියූ යෝක් නගරයේ යැංකි ක්‍රීඩාංගනයේ පැවැත්වූ ජාත්‍යන්තර සමුළුවේදී උපාධිය ලැබුවට පස්සේ මම බෘක්ලින්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ තවත් මාස තුනක් නැවතිලා හිටියා. මෙක්සිකෝ ශාඛා කාර්යාලයේ මට කරන්න පැවරිලා තිබුණ වැඩ කොටස සම්බන්ධයෙන් එහෙදී මට පුහුණුවක් ලැබුණා.

මෙක්සිකෝවල වැඩ කරමින්

මම 1950 ඔක්තෝබර් 20වෙනිදා මෙක්සිකෝ නගරයට ආවා. ඊට සති දෙකකට විතර පස්සේ මාව ශාඛා අවේක්ෂක හැටියට පත් කළ අතර මම අවුරුදු හතරාමාරක් ඒ වගකීම ඉටු කළා. පුරෝගාමී සේවයේදී, හිරගෙදරදී, ගිලියද්වලදී සහ බෘක්ලින්වලදී මම ලබපු පුහුණුව හුඟක් ප්‍රයෝජනවත් වුණා. අපේ මෙක්සිකානු සහෝදර සහෝදරියන්ගේ ආත්මිකත්වය ගොඩනැඟීමට අවශ්‍ය බව මෙක්සිකෝවලට ආවහම අපිට විගස වැටහුණා. විශේෂයෙන්ම දේවවචනයේ තියෙන උසස් සදාචාර ප්‍රමිති පිළිපැදීමට ඔවුන්ට උපකාරය අවශ්‍ය වෙලා තිබුණා.

මෙක්සිකෝව ඇතුළු ලතින් අමෙරිකානු රටවල නීත්‍යනුකූලව විවාහ නොවී අඹුසැමියන් විදිහට එකට ජීවත් වීම සිරිතක් වෙලයි තිබුණේ. ක්‍රිස්තියානි ලෝකයේ ආගම්, විශේෂයෙන්ම රෝමානු කතෝලික සභාව ශුද්ධ ලියවිලිවලට පටහැනි ඒ සිරිතට ඉඩඇරලා තිබුණා. (හෙබ්‍රෙව් 13:4) මේ නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන් බවට පත් වූ කතෝලික සභාවෙන් පැමිණි සමහර අය නීත්‍යනුකූලව විවාහ වී සිටියේ නැහැ. ඉතින් ඒ වගේ අයට විවාහය නීත්‍යනුකූල කරගන්න මාස හයක කාලයක් දෙන්න විධිවිධානයක් යෙදුවා. එහෙම කළේ නැත්නම් ඔවුන්ට තවදුරටත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැටියට ඉන්න ප්‍රස්තාවක් ලැබුණේ නැහැ.

හුඟදෙනෙකුට එහෙම කරන එක ඒ තරම් අමාරු දෙයක් වුණේ නැහැ. ඔවුන්ට කරන්න තිබුණේ විවාහය ලියාපදිංචි කරලා දිගටම එකට ජීවත් වෙන එක විතරයි. නමුත් තවත් සමහරදෙනෙකුට ඒක ඒ තරම් පහසු වුණේ නැහැ. මොකද සමහරු දෙපාරක්, තුන්පාරක් පවා විවාහ වෙලා තිබුණත් කවදාකවත් නීත්‍යනුකූල දික්කසාදයක් ලබාගෙන තිබුණේ නැති හින්දා. මේ විදිහට යෙහෝවාගේ සෙනඟ දේවවචනයේ ඉගැන්වීම්වලට එකඟව තම විවාහයන් සිදු කළ විට සභාවලට කදිම ආත්මික ආශීර්වාද භුක්ති විඳින්න පුළුවන් වුණා.—1 කොරින්ති 6:9-11.

ඒ දවස්වලදී මෙක්සිකෝවේ බාහිර අධ්‍යාපන මට්ටම සාමාන්‍යයෙන් පහළ අඩියකයි තිබුණේ. මම 1950දී මෙහෙට එන්නත් කලින් ඉඳන්ම ශාඛා කාර්යාලයේ සහෝදරයන් සභාවල කියවීමේ හා ලිවීමේ පංති පවත්වන්න පටන්ගෙන තිබුණා. දැන් මේ පංති නිසියාකාරයෙන් සංවිධානය කරලා, ඒවා රජයේ ලියාපදිංචි කරලයි තියෙන්නේ. වර්ෂ 1946 සිට වාර්තා සටහන් කරලා තියන්න පටන්ගත් දා ඉඳලා, සාක්ෂිකරුවන් මෙක්සිකෝවේ පැවැත්වූ කියවීමේ හා ලිවීමේ පංතිවලින් 1,43,000කට වඩා වැඩිදෙනෙක් ඉගෙනුම ලබාගෙන තියෙනවා!

මෙක්සිකෝවේ ආගමික නිදහස සීමා කරන නීති රීති දාලයි තිබුණේ. කොහොමවුණත්, මෑතකදී මේ සම්බන්ධයෙන් සැලකිය යුතු වෙනස්කම් කීපයක්ම කරලා තියෙනවා. වර්ෂ 1992දී ආගමික කටයුතු සම්බන්ධයෙන් අලුත් නීතියක් පනවලා තිබුණ නිසා 1993දී මෙක්සිකෝවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ආගමික සංවිධානයක් හැටියට ලියාපදිංචි වෙන්න පුළුවන් වුණා.

මේ වගේ දෙයක් කවදාකවත් වෙයි කියලා හිතාගන්නවත් බැරි වුණ හින්දා මේ වෙනස් වීම් මගේ හද පිරි සතුටට හේතුවක් වෙලා තියෙනවා. පහුගිය අවුරුදු ගණනාව පුරාම, මම රජයේ කාර්යාලවලට කී වතාවක් නම් යන්න ඇද්ද! ඔවුන් මා දිහා මොනතරම් සැකෙන් බලන්න ඇද්ද! කොහොමවුණත්, අපේ ශාඛා කාර්යාලයේ නීතික අංශය මේ කාරණා සම්බන්ධයෙන් නියම විදිහට කටයුතු කරපු නිසා දැන් දේශනා වැඩයට කියන්න තරම් ලොකු බාධාවක් නැති එක කොච්චර හොඳද!

මිෂනාරි සහකාරියක් එක්ක සේවය කිරීම

මම මෙක්සිකෝවට එනකොට, කලින් ගිලියද් පාසැලෙන් උපාධිය අරගෙන හිටිය හුඟදෙනෙක් මෙක්සිකෝවේ හිටියා. එයින් එක්කෙනෙක් තමයි එස්තර් වාටේනියන්. ආමේනියානු සාක්ෂිකාරියක් වූ ඈ 1942දී කැලිෆෝනියාවේ වලේඕවල පුරෝගාමී සේවය කර කරයි හිටියේ. අපි 1955 ජූලි 30වෙනිදා විවාහ වෙලා මෙක්සිකෝවේදීම අපේ පැවරුම ඉටු කළා. අපි නැවතිලා හිටියේ ශාඛා කාර්යාලයෙයි. එස්තර් මෙක්සිකෝ නගරයේ මිෂනාරි සේවයේ යෙදුණු අතර මම දිගටම ශාඛා කාර්යාලයේ සේවය කළා.

එස්තර්ට මුල්ම මිෂනාරි පැවරුම ලැබුණේ 1947දී මෙක්සිකෝවේ නුවේවෝ ලියොන්හි මොන්ටරේවලයි. එතකොට මොන්ටරේවල තිබුණේ සාක්ෂිකරුවන් 40දෙනෙකුගෙන් යුත් එක සභාවක් විතරයි. නමුත් 1950දී එයාව මෙක්සිකෝ නගරයට මාරු කරනකොට එහෙ සභා හතරක්ම තිබුණා. එස්තර් මොන්ටරේවලදී සේවය කරනකොට එයා එක්ක බයිබලය පාඩම් කරපු පවුල්වලින් එන තරුණයන් දෙන්නෙක්ම දැන් මෙක්සිකෝ නගරය ළඟ පිහිටි අපේ ශාඛා කාර්යාලයේ සේවය කරනවා.

වර්ෂ 1950දී මෙක්සිකෝ නගරයේ මිෂනාරිවරුන්ගේ දේශනා බලප්‍රදේශයට නගරයෙන් වැඩි කොටසක් ඇතුළත් වෙලා තිබුණා. ඔවුන්ගේ පැවරුම ඉටු කිරීම සඳහා ඔවුන්ට පයින් ගමන් කිරීමට නැතහොත් සෙනඟ පිරුණු බස්වලින් ගමන් කිරීමට සිදු වුණා. වර්ෂ 1950 අවසානභාගයේදී මම මෙහෙට එනකොට මෙහෙ සභා හතක් තිබුණා. දැන් සභා 1,600ක් විතර තියෙනවා. ඒ විතරක් නෙවෙයි මෙක්සිකෝ නගරයේ රාජ්‍ය ප්‍රචාරකයන් 90,000කටත් වඩා ඉන්නවා! ඒ වගේම ගිය අවුරුද්දේ මෙක්සිකෝ නගරයේ ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමට 2,50,000කට වඩා වැඩිදෙනෙක් ආවා! පහුගිය කාලය පුරාම එස්තර්ටයි මටයි මේ සභාවලින් වැඩිහරියක සේවය කිරීමේ වරප්‍රසාදය ලැබිලා තියෙනවා.

එස්තරුයි මායි බයිබල් පාඩමක් පටන්ගත්තහම හැම තිස්සෙම උත්සාහ කරන්නේ කොහොමහරි පවුලේ පියාවත් හවුල් කරගන්නයි. එතකොට මුළු පවුලම පාඩමට ඉන්දගන්න පුළුවන් වෙනවා. මේ නිසා, විශාල පවුල් ගණනාවක් යෙහෝවාට සේවය කරනවා අපි දැකලා තියෙනවා. මං හිතන විදිහට මෙක්සිකෝවේ සැබෑ නමස්කාරය ශීඝ්‍රයෙන් වර්ධනය වෙන්නේ පවුල් පිටින්ම සැබෑ නමස්කාරයේ එකමුතුව හවුල් වෙන නිසයි.

වැඩ කොටසට යෙහෝවාගෙන් ආශීර්වාද

වර්ෂ 1950 සිට මෙක්සිකෝවේ සිදු කෙරුණ වැඩවල සැලකිය යුතු දියුණුවක් දකින්න තියෙනවා. ඒ දියුණුව දකින්න තියෙන්නේ සංවිධානයේ සිටින සාමාජිකයන්ගේ සංඛ්‍යාවේ වැඩිවීම තුළයි, සිද්ධ වෙලා තියෙන බොහෝ වෙනස්කම් තුළයි. ආගන්තුක සත්කාරශීලීත්වයට ලැදි ඒ වගේ ප්‍රීතිමත් සෙනඟක් එක්ක වැඩ කරමින් ඒ වැඩිවීමට යන්තමින් හරි දායක වෙන්න පුළුවන් වෙලා තියෙන එක ඇත්තෙන්ම සතුටක්.

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් හැටියට සේවය කරන කාල් ක්ලයින් හා ඔහුගේ බිරිඳ මාගරට්, අවුරුදු කීපයකට කලින් නිවාඩුවක් ගත කරමින් ඉන්නකොට අපිව බලන්න ආවා. සහෝදර ක්ලයින්ටයි, මාගරට්ටයි අපේ මෙක්සිකෝ බලප්‍රදේශයේ වැඩ සිද්ධ වෙන්නේ කොහොමද කියලා දෑහින්ම දැක බලාගන්න ඕන වුණා. ඉතින් මෙක්සිකෝ නගරය කිට්ටුවෙන් තියෙන අපි යන සාන් වාන් ටෙසෝන්ට්ලා සභාවේ රැස්වීමට ඒගොල්ලොත් ආවා. අපේ ශාලාව මීටර් 4.5ක් පළල, මීටර් 5.5ක් දිග කුඩා එකක්. අපි රැස්වීමට යනකොට 70දෙනෙක් විතර ඇවිත් හිටියා. හිටගෙන ඉන්නවත් ඉඩක් නැති තරමට ශාලාව පිරිලා තිබුණා. වයසක අය පුටුවලත්, තරුණ අය බංකුවලත්, පුංචි ළමයි බිමත් ඉඳගෙන හිටියා.

හැම ළමයෙක් ළඟම බයිබලයක් තිබුණ නිසාත්, කථිකයා ආරාධනා කරද්දී ඔවුන් බයිබලය පෙරලලා බැලුව නිසාත් සහෝදර ක්ලයින් පුදුමයෙන් පුදුමයට පත් වුණා. ප්‍රසිද්ධ කථාවෙන් පස්සේ සහෝදර ක්ලයින් මතෙව් 13:19-23 පදනම් කරගෙන කතාවක් දීලා, යේසුස් සඳහන් කළ ‘සරු පසෙන්’ සෑහෙන කොටසක් මෙක්සිකෝවේ තියෙනවා කියලා කිව්වා. දැන් ඒ දරුවන්ගෙන් හත්දෙනෙක් මෙක්සිකෝ නගරය කිට්ටුව පුළුල් කෙරෙමින් තියෙන අපේ ශාඛා ගොඩනැඟිලි ව්‍යාපෘතියේ වැඩ කරනවා. තවත් එක්කෙනෙක් බෙතෙල් නිවසේ වැඩ කරන අතර තවත් කීපදෙනෙක් පුරෝගාමීන් වෙලා ඉන්නවා.

මම මෙක්සිකෝ නගරයට එනකොට අපේ ශාඛාවේ හිටියේ සාමාජිකයන් 11දෙනෙක් විතරයි. නමුත් දැන් 1,350දෙනෙක් විතර එහි වැඩ කරමින් ඉන්න අතර, ඔවුන්ගෙන් 250දෙනෙක් විතර අලුත් ශාඛා ගොඩනැඟිලි ඉදි කරමින් ඉන්නවා. මේ වැඩ ඔක්කොම හමාර කළහම, සමහරවිට 2002 වෙනකොට අපේ විශාල කළ ගොඩනැඟිලිවල තවත් 1,200කට විතර ඉන්න ඉඩ කඩ තියෙයි. බලන්න 1950දී මුළු රටේම අපිට හිටියේ රාජ්‍ය ප්‍රචාරකයන් 7,000කටත් වඩා අඩු සංඛ්‍යාවක්. ඒත් දැන් 5,00,000කටත් වඩා ඉන්නවා! යෙහෝවාට ප්‍රශංසා කරන්න සෑහෙන වෙහෙසක් දරන අපේ යටහත් පහත් මෙක්සිකානු සහෝදරයන්ගේ වෑයමට ඔහු ආශීර්වාද කරලා තියෙන විදිහ දැක්කහම මට කියලා නිම කරන්න බැරි තරම් ප්‍රීතියක් ඇති වෙනවා.

විශාල අභියෝගයකට මූණ දී

මෑතකදී මට මූණ දෙන්න සිද්ධ වුණ ලොකුම අභියෝගය තමයි අසනීප වුණ එක. සාමාන්‍යයෙන් මම නිරෝගි කෙනෙක්. නමුත් 1988 නොවැම්බර්වලදී මට අංශභාගෙට වගේ ඇවිල්ලා වැඩක් පළක් කරගන්න බැරුව ගියා. යෙහෝවාට ස්තුතිවන්ත වෙන්න ව්‍යායාමවලිනුත්, වෙන ප්‍රතිකාරවලිනුත් සෑහෙන දුරකට සුවයක් ලැබුණත්, මට ඕන විදිහට දේවල් කරගන්න මට තාම හැකියාවක් නැහැ. තද හිසේඇම්මක් එන ගතියත්, අනිත් අසනීප ගතිත් වළක්වගන්න මම දිගටම වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා.

මගේ හිතේ හැටියට දැන් මට වැඩ කරන්න බැරි වුණත්, යෙහෝවාගේ අරමුණු දැනගන්නත්, ඔහුගේ කැප වූ සේවකයන් බවට පත් වෙන්න හුඟදෙනෙකුට උපකාර කරන්නත් පුළුවන් වෙලා තියෙන නිසා මම සතුටු වෙනවා. අපේ ශාඛා කාර්යාලයට එන සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් එක්ක කතා කිරීමට ලැබීමත් ප්‍රීතියක්. මට හිතෙන විදිහට ඒකෙන් අපි එක්කෙක්කෙනාව දිරිගැන්වෙනවා.

අපි යෙහෝවාට කරන සේවය ඔහු අගය කරන බවත්, අපි කරලා තියෙන දේවල් නිෂ්ඵල නොවන බවත් දැන සිටීමෙන් මම හුඟක් ශක්තිමත් වෙලා තියෙනවා. (1 කොරින්ති 15:58) අසනීපයක් තිබුණත්, හිතේ හැටියට දේවල් කරගන්න බැරි වුණත්, කොලොස්සි 3:23, 24 මගේ හිතේ ඇඳිලා තියෙනවා. ‘නුඹලාට නුඹලාගේ විපාකය වූ උරුමය යෙහෝවාගෙන් ලැබෙන බව දැන, නුඹලා කරන කොයි දෙයක් නමුත් මනුෂ්‍යයන්ට නොව යෙහෝවාට මෙන් සිතෙන් කරන්න.’ මේ අවවාදය හිතේ තබාගැනීමෙන් මම ඉගෙනගෙන තියෙනවා පීඩා මැද වුණත් මුළු හදින්ම යෙහෝවාට සේවය කරන්න.

[24වන පිටුවේ පින්තූරය]

1942දී මම පුරෝගාමියෙක් හැටියට

[24වන පිටුවේ පින්තූරය]

මගේ බිරිඳ 1947දී මෙක්සිකෝවේ මිෂනාරි පැවරුම පටන්ගෙන

[24වන පිටුවේ පින්තූරය]

අද එස්තර් එක්ක

[26වන පිටුවේ පින්තූර]

ඉහළ වමේ: 1952දී අපේ මෙක්සිකෝ බෙතෙල් පවුල, ඉදිරියෙන් ඉන්නේ මම

ඉහළ: 1999දී මෙක්සිකෝ නගරයේ මේ ක්‍රීඩාංගනයේ පැවැත්වූ දිස්ත්‍රික් සමුළුවට 1,09,000කට වැඩිදෙනෙක් ආවා

පහළ වමේ: අපේ අලුත් ශාඛා ගොඩනැඟිලි දැන් නිම වෙමින්