Skip to content

පටුනට යන්න

යුද්ධයේ තුවාල සුව කිරීම

යුද්ධයේ තුවාල සුව කිරීම

යුද්ධයේ තුවාල සුව කිරීම

ඒබ්‍රහැම් අවුරුදු 20ක් පුරා ගරිල්ලා භටයෙක් ලෙස සේවය කළා. a නමුත් දැන් ඔහු සටන් කිරීම නවතා ඇති අතර, නැවත කිසිමදාක යුද්ධයට නොයන්න තීරණය කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම කලින් ඔහුගේ සතුරන්ව සිටි කිහිපදෙනෙක් දැන් ඔහුගේ කිට්ටු මිතුරන් වී තිබෙනවා. ඔහු තුළ මේ වෙනස සිදුවීමට හේතු වූයේ කුමක්ද? ඒ බයිබලයයි. බයිබලය ඒබ්‍රහැම්ට බලාපොරොත්තුවක් සහ තීක්ෂණ බුද්ධියක් ලබා දෙමින් දෙවිගේ කෝණයෙන් මිනිස් කාරණා දෙස බලන්න උපකාර කළා. තමන් තුළ වූ දුක් සංකා සහ බද්ධ වෛරයේ හැඟීම් පලවා හැරෙන්න පටන්ගත්තේ, සටන් කිරීමට තිබූ ඔහුගේ ආශාව බයිබල් දැනුම මගින් යටපත් කර දැමුවාට පසුවයි. බයිබලය කියන්නේ හදවත්හි ඇති තුවාල සුව කිරීමට හැකි දිව ඔසුවක් බව ඔහු වටහාගත්තා.

එහෙත් ප්‍රශ්නය මෙයයි. චිත්තවේගීය තුවාල සුව කරගැනීමට බයිබලය කෙනෙකුට උදව් කරන්නේ කෙසේද? සිදු වූ දෙය වෙනස් කිරීමට ඒබ්‍රහැම්ට දැන් හැකියාවක් නැහැ. කෙසේවෙතත්, දෙවිගේ වචනය කියවීම සහ ඒ මත මෙනෙහි කිරීම මගින් ඔහුගේ සිතුවිලි මැවුම්කරුගේ සිතුවිලි හා සමාන තත්වයකට ගෙනෙන්න ඔහුට හැකි වුණා. දැන් ඔහුට අනාගතය සඳහා බලාපොරොත්තුවක් තිබෙනවා පමණක් නොව ජීවිතය සඳහා අලුත් ප්‍රමුඛතාවන්ද තිබෙනවා. ඔහුගේ ජීවිතයේ වැදගත් තැනක් හිමි වූයේ දෙවි වැදගත් කොට සලකන දේවලටයි. මෙවැනි වෙනස්කම් සිදු වෙන්න පටන්ගත් විට ඔහුගේ හදවතේ තිබූ තුවාල ක්‍රම ක්‍රමයෙන් සුව වෙන්න පටන්ගත්තා. අන්න එහෙමයි බයිබලය ඒබ්‍රහැම්ට උදව් කළේ.

සිවිල් යුද්ධයක පැටලී

ඒබ්‍රහැම් ඉපදුණේ 1930 ගණන්වල අප්‍රිකාවේදීයි. දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසු, ඔහුගේ රට පාලනය කළේ අසල්වැසි බලවත් ජාතියක් විසිනුයි. එහෙත් ඒබ්‍රහැම්ගේ රටවැසියන් ඊට කැමති වූයේ නැහැ. ඔවුන්ට ඉන් නිදහස ලබාගැනීමට අවශ්‍ය කළා. වර්ෂ 1961දී එම බලවත් අසල්වැසියාට විරුද්ධව දියත් කළ නිදහස් සටනක සාමාජිකයෙක් බවට පත් වෙමින් ඒබ්‍රහැම් ගරිල්ලා සේවයට බැඳුණා.

“ඔවුන් අපේ සතුරන්. ඔවුන් සැලසුම් කළේ අපිව මරන්නයි. ඒ නිසා අපි ඔවුන්ව මරන්න සූදානම් වුණා” කියා ඒබ්‍රහැම් පවසනවා.

ඔහුගේ ජීවිතය කොයිවෙලේත් තිබුණේ අනතුරේ. එමනිසා වර්ෂ 1982දී, එනම් සිවිල් අරගලයට බැඳී අවුරුදු 20කට පසු ඔහු යුරෝපයට පලා ගියා. එවකට ඔහු වයස අවුරුදු 50කට ආසන්නව සිටියා. මේ වන විට ඔහු ජීවිතයේ අර්ථය ගැන සිතන්න පටන්ගෙන තිබුණා. ‘මගේ ජීවිතයේ අරමුණ මොකක්ද? අනාගතය මොන වගේ වෙයිද?’ වැනි දේවල් ගැන ඔහු කල්පනා කළා. ඒත් එක්කම ඒබ්‍රහැම්ට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව මුණගැසුණු අතර, ඔහු ඔවුන්ගේ රැස්වීම්වලට ගියා. අප්‍රිකාවේ සිටින කාලයේදී සාක්ෂිකරුවෙක් විසින් තමාට දුන් පත්‍රිකාවක් ගැන ඔහුට මතක් වුණා. මේ පොළොව මතට පැමිණෙන පාරාදීසයක් ගැන එම පත්‍රිකාවේ සඳහන් කර තිබුණු බවත් ස්වර්ගීය ආණ්ඩුවක් මගින් පොළොව පාලනය කරන බවත් එහි පවසා තිබුණා ඔහුට මතකයි. එය ඇත්තටම සැබෑවක් වේවිද?

ඒබ්‍රහැම් මෙසේ කියනවා. “බයිබලේ ගැන ඉගෙනගන්න පටන්ගත්තට පස්සේ මට හිතුණා මම යුද්ධ කරපු අවුරුදු ගණනාවෙම මම කරලා තියෙන්නේ නිකම් කාලේ කා දැමීමක් කියලා. සැමදෙනාවම සාධාරණව හා යුක්තියෙන් පාලනය කරන්නේ දෙවිගේ රාජ්‍යය විතරයි කියලා මම ඉගෙනගත්තා.”

ඒබ්‍රහැම් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් ලෙස බව්තීස්ම වීමෙන් ටික කාලයකට පසු, රොබට් නමැති මනුෂ්‍යයෙක් අප්‍රිකාවෙන් යුරෝපයට පැන ආවා. ඔහු පැමිණියේ ඒබ්‍රහැම් පදිංචි වී සිටි නගරයටමයි. ඊට පෙර මොවුන් දෙදෙනා එකිනෙකාට විරුද්ධව සටන් වැදුණු අයයි. ජීවිතයේ සැබෑ අරමුණ ගැන රොබට් බොහෝ අවස්ථාවලදී කල්පනා කර තිබුණා. ඔහු ආගම දහමට ලැදි මනුෂ්‍යයෙක්. බයිබලයේ තැනින් තැන කියවා තිබූ රොබට් දෙවිගේ නම යෙහෝවා බව දැන සිටියා. පසුව ඒබ්‍රහැම් සිටින සභාවේ සාක්ෂිකරුවන් තමාට බයිබලය වඩා හොඳින් තේරුම් කර දීමට ඉදිරිපත් වූ විට රොබට් බොහෝම කැමති වුණා.

රොබට් මෙසේ පැහැදිලි කරනවා. “යෙහෝවායි යේසුයි කියන්නේ පුද්ගලයන් දෙදෙනෙක් කියලා සාක්ෂිකරුවන් උගන්වන කොට මට පුදුම හිතුණා. ඒක මම ඒ වෙනකොටත් බයිබලයෙන් දැනගෙන තිබුණු දේට එකඟයි. ඒ විතරක් නෙවෙයි, සාක්ෂිකරුවන්ගේ ඇඳුම් පැළඳුම් හරිම විනීතයි. ජාති භේදයෙන් තොරව සැමෝටම එක වගේ කරුණාවයි. ඒ වගේ දේවල් මගේ හිතට හොඳටම කාවැදුණා.”

සතුරන් මිතුරන් වී

කලින් සතුරන්ව සිටි රොබට් සහ ඒබ්‍රහැම් දැන් කිට්ටු මිතුරන් වෙලා. ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන එවැන්ජලිස්ත සේවකයන් ලෙස සේවය කරනවා. ඔවුන් සිටින්නේ එකම සභාවේ. “යුද්ධ කාලයේදී මම නිතරම හිතපු දෙයක් තමයි අසල්වැසි රටවල් දෙකක අය, විශේෂයෙන්ම එකම ආගමකට අයිති අය, මරාගන්නේ ඇයි කියලා. ඉස්සර රොබටුයි මමයි දෙන්නම හිටියේ එකම ආගමේ. ඒත් අපි මිනි මරාගත්තා. දැන් අපි යෙහෝවාගේ සාක්ෂිකරුවන්. අපේ ඇදහිල්ල අපිව එක්සත් කරලා.” මෙසේ පවසන්නේ ඒබ්‍රහැම්.

රොබට් මොනවාද කියන්නේ? “ඇත්තටම ඒක තමයි හේතුව. දැන් අපි අයිති වෙලා ඉන්නේ සැබෑ සහෝදරත්වයකටයි. අපි ආයේ කවදාවත් යුද්දෙට යන්නේ නැහැ.” කලින් සතුරන්ව සිටි මේ දෙදෙනාගේ හදවත් තුළ ගැඹුරු බලපෑමක් ඇති කරන්න බයිබලයට හැකි වෙලා තිබෙනවා. බද්ධ වෛරය ක්‍රමානුකූලව විශ්වාසනීයත්වයට සහ මිත්‍රත්වයට හැරී තිබෙනවා.

ඒබ්‍රහැම් සහ රොබට් යුද්ධ කරමින් සිටි කාලයේදීම තවත් තරුණයන් දෙදෙනෙක් වෙනත් අසල්වැසි රටවල් දෙකක් අතර පැවති යුද්ධයකදී එකිනෙකාට විරුද්ධව සටන් කරමින් සිටියා. ඉතා ඉක්මනින්ම ඔවුන්ගේද හදවත්හි තිබුණාවූ තුවාල සුව කිරීමට බයිබලය දිව්‍ය ඔසුවක් සේ ක්‍රියා කෙරුවා. ඒ කෙසේද?

මිනි මරන්න—පසුව ප්‍රාණ පරිත්‍යාගියෙකු වන්න!

ගේබ්‍රියෙල්ගේ පවුලේ හැමෝම බොහෝම භක්තිවන්තයි. ඔවුන්ගේ රට මැදි වී තිබෙන්නේ ශුද්ධ වූ යුද්ධයකටයි කියා ඔහුට උගන්වා තිබුණා. මේ නිසා වයස අවුරුදු 19දී ඔහු කැමැත්තෙන්ම හමුදාවට බැඳී, තමන්ව යුධ පෙරමුණටම යවන ලෙස ඉල්ලා සිටියා. මේ අනුව මාස 13ක් පුරා ඔහු යුද වැදුණේ සටන් දරුණු වූ ප්‍රදේශවලයි. වතාවක් ඔහුත් සතුරාත් අතර තිබුණේ සැතපුමක් තරම් කෙටි දුරක්. ඒ ගැන ඔහු කියන්නේ මෙසේයි. “මට විශේෂ සිද්ධියක් මතක් වෙනවා. දවසක් අපේ අණ දෙන නිලධාරියා අපිට කිව්වා අද රෑට සතුරන් අපිට ප්‍රහාරයක් එල්ල කරන්න සූදානමින් ඉන්නේ කියලා. අපි භයෙන් මොනතරම් තිගැස්සී හිටියද කිව්වොත් මුළු රැයක් පුරාම මෝටර් වෙඩි එල්ල කර කර හිටියා.” ඔහු අසල්වැසි රටේ ජනයාව සැලකුවේ, මරණයට නියම කළ යුතු සතුරන් හැටියටයි. “මම හිතාගෙන හිටියේ මට පුළුවන් තරම් දෙනෙකුව මරා දාලා, පස්සේ මගේ යාළුවන් ගොඩාක් දෙනෙක් කළා වගේ ප්‍රාණ පරිත්‍යාගියෙකු වෙලා මැරෙන්නයි.”

කෙසේවෙතත්, කාලයක් යද්දී ගේබ්‍රියෙල් තමා වැටී සිටි මුළාවෙන් මිදුණා. ඔහු කඳුකරයට පලා ගොස් යුද්ධ නොතිබුණු රටකට ඇතුල් වුණා. එතැන් සිට යුරෝපයට ගමන් කළා. ජීවත් වීම මේ තරම්ම අමාරු ඇයි කියා නිතරම ඔහු දෙවිගෙන් ඇසුවා. මේ තරම් ගැටලු ඇති වී ඇත්තේ දෙවි දඬුවම් කර ඇති නිසාද කියාත් ඔහුට සැකයක් තිබුණා. ඉන්පසු ඔහුට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමු වූ අතර, ජීවිතය ගැටලුවලින් ගහන වී තිබෙන්නේ ඇයි කියා ඔවුන් ඔහුට බයිබලයෙන්ම පෙන්නුවා.—මතෙව් 24:3-14; 2 තිමෝති 3:1-5.

ගේබ්‍රියෙල් බයිබලය ගැන වැඩියෙන් ඉගෙනගන්න ඉගෙනගන්න, එහි තිබෙන්නේ සත්‍යය බව ඔහු වටහාගත්තා. “අපිට පාරාදීස පොළොවක හැමදාම ජීවත් වෙන්න පුළුවන් බව මම ඉගෙනගත්තා. හරි පුදුමයි, මම පුංචි කාලයේ සිහින මැව්වේත් ඒ වගේ ජීවිතයක් ගැනයි.” බයිබලය ගේබ්‍රියෙල්ව සනසා ලූ අතර, ඒ දක්වා කැලතෙමින් තිබූ ඔහුගේ හදවත සන්සුන් කළා. ගැඹුරටම මුල් බැසගෙන තිබූ චිත්තවේගීය තුවාල සුව වෙන්න පටන්ගත්තා. ඔහුගේ සතුරෙක්ව සිටි ඩැනියෙල්ව හමු වූ මොහොතේදී ගේබ්‍රියෙල්ට ඔහු ගැන කිසිම වෛරයක් ඇති වුණේ නැහැ. නමුත් ඩැනියෙල් යුරෝපයට සම්ප්‍රාප්ත වීමට හේතු වූයේ කුමක්ද?

“දෙවියනි ඔබ ඉන්නවා නම් මට උදව් කරන්න!”

ඩැනියෙල් කතෝලිකයෙක්. වයස අවුරුදු 18දී ඔහුව හමුදා සේවයට බඳවාගත්තා. ඔහුවත් ගේබ්‍රියෙල් කළ සටනෙම යෙදෙව්වා. නමුත් ඩැනියෙල් සටන් කළේ ගේබ්‍රියෙල්ගේ කණ්ඩායමට විරුද්ධවයි. යුධ පෙරමුණට ඔන්න මෙන්න කියා සිටියදී, ඔහු සිටි යුද්ධ ටැංකියට කෙළින්ම බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. ඔහුගේ මිතුරන් මිය ගියා. ඔහු බරපතළ තුවාල ලැබූ අතර යුධ සිරකරුවෙක් බවටද පත් වුණා. යුද්ධයෙන් මධ්‍යස්ථව සිටි රටකට ඔහුව පිටුවහල් කරන තුරු රෝහලේත්, කඳවුරකත් මාස ගණනාවක් ලගින්න ඔහුට සිදු වුණා. පාළුවත් හිස්කමත් නිසා දිවි නසාගන්නත් ඔහු සිතුවා. මේ අතර, ඩැනියෙල් දෙවිට මෙසේ යාච්ඤා කළා. “දෙවියනි ඔබ ඉන්නවා නම් මට උදව් කරන්න!” ඊළඟ දවසේදීම යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔහුව බැහැදකින්න පැමිණි අතර, ඔහුට තිබූ ප්‍රශ්න ගණනාවකට උත්තර දුන්නා. අන්තිමේදී, සරණාගතයෙක් ලෙස යුරෝපයට යන්න ඔහුට සිදු වුණා. ඩැනියෙල් නැවත වරක් සාක්ෂිකරුවන් සමඟ ආශ්‍රය කරන්න පටන්ගෙන ඔවුන් සමඟ බයිබලය පාඩම් කළා. ඔහු ඉගෙනගත් දෙයින් ඔහු තුළ වූ කලකිරීම මුසු වූ බද්ධ වෛරය තුනී වී ගියා.

ගේබ්‍රියෙල් සහ ඩැනියෙල් දැන් ගජ යහළුවන්. ඔවුන් දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ආත්මික සහෝදරත්වය තුළ එක්සත් වෙලා. “යෙහෝවාට තියෙන මගේ ආදරයත්, බයිබලය ගැන තියෙන දැනුමත් යෙහෝවා දේවල් දකින ආකාරයට දේවල් දිහා බලන්න මට උදව් වෙලා තියෙනවා. ඩැනියෙල් දැන් මගේ සතුරෙක් නෙවෙයි. දැනට අවුරුදු කිහිපයකට කලින් නම් මම එයාව මරන්නේ බොහෝම කැමැත්තෙන්. ඒත් බයිබලය මට සම්පූර්ණයෙන්ම ඒකට විරුද්ධ දේයි උගන්වල තියෙන්නේ. දැන් මම ඩැනියෙල් වෙනුවෙන් මැරෙන්න වුණත් ලෑස්තියි!” බොහෝම හැඟීමෙන් යුතුව මෙහෙම කියන්නේ ගේබ්‍රියෙල්.

ඩැනියෙල් ඊට මෙහෙමද එකතු කරනවා. “විවිධ ආගම්වලට සහ ජාතීන්ට අයිති මිනිස්සු එකිනෙකා ඇණ කොටාගන්නවා විතරක් නෙවෙයි, එකම ආගමේ මිනිස්සු දෙපැත්තකට වෙලා තමාගේම ආගමේ සාමාජිකයන්ව මරාගන්නවා මම දැකල තියෙනවා. මේ දේවල් දකිද්දී මම කෙළින්ම බැන්නේ දෙවියන්ට. නමුත් දැන් මං දන්නවා මේ හැම යුද්ධයක් පිටිපස්සෙම ඉන්නේ සාතන් කියලා. ගේබ්‍රියෙලුයි මායි දැන් අදහන්නේ එකම දෙවියන්ව. අපි ආයෙ කවදාවත් යුද්ධ කරන්නේ නැහැ!”

‘දෙවිගේ වචනය ජීවමානය, බලවත්ය’

ඒබ්‍රහැම්, රොබට්, ගේබ්‍රියෙල් සහ ඩැනියෙල්ගේ ජීවිත පුදුමාකාර අන්දමින් වෙනස් වූයේ ඇයි? ඔවුන්ගේ හදවත්වල ගැඹුරේ කැකෑරෙමින් තිබූ වෛරය සහ සන්තාපය තුරන් වී යෑමට සැලැස්සුවේ කුමක්ද?

මේ හතරදෙනාම බයිබලයේ ඇති ‘ජීවමාන සහ බලවත්’ සත්‍යයන් කියවා, කියවූ දෙය මත මෙනෙහි කරමින් අධ්‍යයනය කළා. (හෙබ්‍රෙව් 4:12) බයිබලයේ කර්තෘම තමයි මනුෂ්‍ය වර්ගයාගේ නිර්මාතෘ. තමන්ට ඇහුම්කන් දී ඉගෙනගන්න කැමති අයගේ හදවත්වල යහපත් බලපෑමක් ඇති කරන හැටි දන්නේ ඔහු පමණයි. “දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව [තිබෙනවා].” බයිබලය කියවා එහි අඩංගු දේට තමන්ව අඹන්න ඉඩහැරියොත්, අලුත් සාරධර්ම සහ ප්‍රතිපත්ති මාලාවක් තම ජීවිතයට එක් කරගැනීමට ඔහුට හැකි වෙනවා. යෙහෝවා කාරණා දෙස බලන ආකාරයත් ඔහුට යම් දේවල් ගැන හැඟෙන ආකාරයත් ගැන ඉගෙනගන්න එවැනි කෙනෙක් පටන්ගන්නවා. විශේෂයෙන්ම යුද්ධයෙන් හටගත් තුවාලවලින් සුවය ලැබීම ඇතුළු ප්‍රයෝජන රාශියක් ඔහු අත් විඳිනවා.—2 තිමෝති 3:16.

කිසිම ජාතියක්, වර්ගයක් හෝ සුළු ජන පිරිසක් අනෙකකට වඩා උසස් නැති බව දෙවිගේ වචනය පැහැදිලි කරනවා. ‘දෙවි මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන්නේය. සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ ඔහුට ප්‍රසන්නය.’ මෙම සත්‍යය පිළිගන්නාවූ අයට, වෛරක්කාර ජාතිවාදී හැඟීම් ක්‍රමානුකූලව අඩු කරගැනීමට හැකි වෙනවා.—ක්‍රියා 10:34, 35.

ඉතා ඉක්මනින් දැන් පවතින මිනිස් පාලන ක්‍රම වෙනුවට තමන්ගේ මෙසියානු ආණ්ඩුව පොළොවේ පාලනය භාරගන්න යන බව බයිබලය පුරෝකථනය කරනවා. එම ආණ්ඩුව මගින් දෙවි “පොළෝ කෙළවර දක්වා යුද්ධ [නවත්වනවා].” යුද්ධයට උල්පන්දම් දෙන මෙන්ම යුද්ධ කිරීමට පොලඹවන සියලුම ආයතන ඉවත් කරනවා. යුද්ධයට ගොදුරු වී මිය ගිය අයව නැවත නැඟිටුවා පාරාදීස පොළොවක් මත ජීවත් වීමේ අවස්ථාව දෙනවා. ආක්‍රමණයකට හෝ විරුද්ධවාදීකමකට භයෙන් පැන දුවන්න කිසිවෙකුට අවශ්‍ය වෙන්නේ නැහැ.—ගීතාවලිය 46:9; දානියෙල් 2:44, 45ආ; ක්‍රියා 24:15.

එම කාලයේ ජීවත් වන මිනිසුන් ගැන බයිබලය කියන්නේ මෙසේයි. ‘ඔවුහු ගෙවල් ගොඩනඟාගෙන එහි වාසය කරන්නෝය. මිදිවතු වවා එහි ඵල කන්නෝය. ඔවුන් ගෙවල් ගොඩනැඟුවාම වෙන කෙනෙක් වාසය කරන්නේ නැත. ඔවුන් නිරර්ථකයේ වෙහෙසෙන්නේවත් විපත්තිය පිණිස උපදවන්නේවත් නැත.’ හානි වූ නාස්ති වූ කිසි දෙයක් එදාට යථා තත්වයට පත් නොවී තියෙන්නේ නැහැ. එවැනි බලාපොරොත්තුවක් කෙරෙහි විශ්වාසය තැබීම මගින් කෙනෙකුගේ හෘදයේ තිබෙන දුක් සංකා ක්‍රමානුකූලව සුව කරගැනීමට හැකි වෙනවා.—යෙසායා 65:21-23.

බයිබලය ඇත්ත වශයෙන්ම හෘදයේ සුවය සඳහා දිව ඔසුවක්! එහි ඉගැන්වීම් දැනටමත් යුද්ධයෙන් ඇති කළ තුවාල සුව කර තිබෙනවා. කලින් සතුරන්ව සිටි අය දැන් ජාත්‍යන්තර සහෝදරත්වයක් තුළ එක්සත් වී සිටිනවා. මේ සුව කිරීමේ වැඩ පිළිවෙළ මිනිස් වර්ගයාගේ හදවත්හි පවතින බද්ධ වෛරය සහ දුක් සංකා තුරන් වන තුරු දෙවිගේ නව ක්‍රමය තුළදීත් ක්‍රියාත්මක වෙනවා. මැවුම්කරු මෙසේ පොරොන්දු වෙයි. “පළමු දේ මතක්කරනු ලබන්නේවත් සිහිවෙන්නේවත් නැත.”—යෙසායා 65:17.

[පාදසටහන]

a මෙහි එන සමහර නම් වෙනස් කර ඇත.

[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“බයිබලේ ගැන ඉගෙනගන්න පටන්ගත්තට පස්සේ මට හිතුණා මම යුද්ධ කරපු අවුරුදු ගණනාවෙම මම කරලා තියෙන්නේ නිකම් කාලේ කා දැමීමක් කියලා”

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

බයිබලය මේ පරණ සතුරන් දෙදෙනාගේ හදවත් තුළ ගැඹුරු බලපෑමක් ඇති කර තිබෙනවා

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

බද්ධ වෛරය ක්‍රමානුකූලව විශ්වාසනීයත්වයට සහ මිත්‍රත්වයට හැරී තිබෙනවා

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

බයිබලය කියවා එහි අඩංගු දේට තමන්ව අඹන්න ඉඩහැරියොත්, ඔහුට අලුත් සාරධර්ම සහ ප්‍රතිපත්ති මාලාවක් තම ජීවිතයට එක් කරගන්න හැකි වෙනවා

[7වන පිටුවේ පින්තූරය]

කලින් සතුරන්ව සිටි අය දැන් ජාත්‍යන්තර සහෝදරත්වයක් තුළ එක්සත් වී සිටිනවා

[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

සරණාගත කඳවුර: UN PHOTO 186811/​J. Isaac අනුග්‍රහයෙනි