Skip to content

පටුනට යන්න

“අලුත් වැඩක එළිදැක්මක්”

“අලුත් වැඩක එළිදැක්මක්”

සම්පූර්ණවද, ස්ථිර විශ්වාසයෙන්ද සිටින්න

“අලුත් වැඩක එළිදැක්මක්”

“රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.” (මතෙව් 24:14) යෙහෝවාගේ සාක්ෂිකරුවන්, තම නූතන ඉතිහාසයේ මුල් දවස්වල සිටම යේසුස් ක්‍රිස්තුස්ගේ එම අනාවැකිය කෙරෙහි සෑහෙන උනන්දුවක් දක්වා තිබෙනවා. “අන්තිම දවස්වල” ආරම්භය සනිටුහන් කළ 1914 ළඟා වෙත්ම ස්ථිර විශ්වාසයකින් යුතුව අවංක බයිබල් ශිෂ්‍යයන් සැරසුණේ ශුද්ධ ලියවිලි මත පදනම්, පෙර නොවූ විරූ ආකාරයේ ඉගැන්වීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමටයි.—2 තිමෝති 3:1.

ලොව පුරා ශුභාරංචිය පතළ කිරීමේ පරමාර්ථය ඉටු කරගැනීම සඳහා යෙහෝවාගේ මෙම සේවකයන් අලුත්, පැහැදිලි මෙන්ම සිත් අලවන ක්‍රමයක් යොදාගත්තා. ඒ ගැන වැඩි යමක් දැනගැනීමට අපි අතීතයට පිය නඟමු.

ශුභාරංචිය පතළ කිරීමට නව ක්‍රමයක්

අප මේ පවසන්නේ 1914 ජනවාරි මාසයේ නියූ යෝක් නගරයේදී සිදු වූ දෙයක් ගැනයි. දැන් මෙහෙම හිතන්න. ඔබ තවත් 5,000දෙනෙක් සමඟ අඳුර පැතිර ගිය ශ්‍රවණාගාරයක අසුන්ගෙන සිටිනවා. ඔබ ඉදිරියේ යෝධ සල-රූ තිරයක් දිස් වෙමින් තිබෙනවා. ඔබ එදෙස බලා සිටිද්දී, දිග කබායක් ඇඳගත් පැසුණු කෙස් ඇති තැනැත්තෙක් තිරයේ දිස් වෙනවා. මේ තැනැත්තා කතා කරන අතර ඔබට ඔහුගේ හඬ ඇසෙනවා. මේක සාමාන්‍යයෙන් ඔබ දැක තිබෙන නිසල රූ චිත්‍රපටවලට වඩා වෙනස් දෙයක්. ඇත්තෙන්ම ඔබ දැන් සිටින්නේ තාක්ෂණය අනුව සිදු කළ අලුත් වැඩක් දෙස නෙත් යොමාගෙනයි. එහි සිටින තැනැත්තා ඉදිරිපත් කරන පණිවිඩයද අද්විතීය එකක්. මේ කථිකයා වොච් ටවර් සමිතියේ මුල්ම සභාපති වූ චාල්ස් ටේස් රසල් වන අතර, තිරගත කරනු ලබන්නේ ‘මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යයයි.’

සල රූ චිත්‍රපට මගින් විශාල ජනකායක් කරා එළඹීමට හැකි බව සී. ටී. රසල්ට වැටහුණා. එමනිසා 1912දී ඔහු “මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය” නිර්මාණය කිරීමට පටන්ගත්තා. අවසානයේදී එය පැය අටක් පුරා දිවෙන නිසල හා සල රූ දර්ශනයක් ලෙස පෙන්වීමට හැකි වුණා. එය නිමවා තිබුණේ හඬ කැවූ, වෛවර්ණ චිත්‍රපටයක් ලෙසයි.

කොටස් හතරකින් පෙන්වීමට සැලසුම් කර තිබූ “ඡායාරූප නාට්‍යය,” මැවීමේ සිට මිනිසාගේ ඉතිහාසය පුරාද, පොළොව සහ මනුෂ්‍යවර්ගයා සඳහා යෙහෝවා දෙවිගේ අරමුණේ උච්චාවස්ථාව වන ක්‍රිස්තුස්ගේ සහස්‍ර පාලනයේ අවසානය දක්වාද ප්‍රේක්ෂකයන්ව ගෙන ගියා. මෙවැනි තාක්ෂණයකින් වාණිජමය අතින් සාර්ථක ඵල නෙළාගැනීමට නම් වසර ගණනාවක් ගත වෙයි. එනමුත්, “මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය” මිලියන සංඛ්‍යාත ජනකායක් නැරඹුවේ නොමිලෙයි!

“ඡායාරූප නාට්‍යය” සඳහා අග්‍ර ගණයේ සංගීත පට මෙන්ම තැටිගත කළ කතා 96ක් පිළියෙළ කරනු ලැබුවා. ලෝක ඉතිහාසයේ දර්ශන තිරගත කිරීමට, ලලිත කලා පින්තූර යොදාගෙන ප්‍රක්ෂේපණ යන්ත්‍රයකින් පෙන්විය හැකි ස්ලයිඩ් කාචද සෑදුවා. එමෙන්ම, අලුත් චිත්‍ර හා දළ සටහන් වශයෙන් අලුතින් අඳින ලද චිත්‍ර සියගණනක්ද නිර්මාණය කළ යුතු වුණා. සමහර වර්ණ ස්ලයිඩ් සහ චිත්‍ර දර්ශන තෙලිතුඩෙන් කරනු ලැබුවේ සෑහෙන වෙහෙසක් දරලයි. බොහෝ වාරයක් එලෙස ඇඳීමට සිදු වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් කොටස් හතරකින් යුත් කාණ්ඩ 20ක් පිළියෙළ කිරීමට හැකි වුණා. මේ නිසා ‘ඡායාරූප-නාට්‍යය’ පෙන්වීමට නියම කර තිබූ ඕනෑම දිනකදී විවිධ රටවල් 80කම ඉන් එක කොටස බැගින් පෙන්වීමට හැකි වුණා!

තිරයෙන් පිටුපස

“ඡායාරූප නාට්‍යය” පෙන්වද්දී කාටත් හොරා තිරයෙන් පිටුපස සිදු වුණේ මොනවාද? බයිබල් ශිෂ්‍යාවක් වූ ඇලිස් හොෆ්මන් පවසන පරිදි “නාට්‍යය ඇරඹුණේ සහෝදර රසල්ගේ දර්ශනයක් සමඟින්. ඔහුගේ රූපය තිරයෙන් මතු වෙද්දී ඔහුගේ තොල් සෙලවෙන්න පටන්ගත්තා. එතකොටම ශබ්දවාහිනී තැටිය වාදනය වෙන්න පටන්ගත්තා . . . ඉන් පිට වුණු ඔහුගේ හඬට අපි සවන් දුන්නේ හරිම සතුටකින්.”

තිරයේ මතු වූ දර්ශන සෝලා හොෆ්මන් විසින් මතකයට නැඟුවේ මෙලෙසයි. “මැවීමේ දවස් පිළිබඳ දර්ශන දිහා මම බලාගෙන හිටියේ ඇහිපිල්ලමක්වත් ගහන්නේ නැතුවයි. අපි එහෙම බලාගෙන ඉන්දැද්දී සෙමින් සෙමින් ලිලී මල් විකසිත වෙන්න පටන්ගත්තා.”

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වූ සංගීතයට ලැදි කාල් එෆ්. ක්ලයින් ඊට මෙසේ එකතු කරනවා. “පින්තූරු පෙන්වද්දී හරිම ලස්සන සංගීතයකුත් පසුබිමින් ඇහුණා. නාසිසස් සහ හියූමරෙස්ක් කියන ඒ කාලේ හුඟක් ජනප්‍රිය වෙලා තිබුණු සංගීත ඛණ්ඩ ඒකට ඇතුළත් කරලා තිබුණ නිසා ඒ සංගීතයෙන් ලැබුණේ මොනතරම් රසාස්වාදයක්ද!”

තවත් අමතක නොවන සිද්ධීන් කීපයක්ම තිබුණා. ක්ලේටන් ජේ. වුඩ්වර්ත්ගේ පුත් මෙසේ පවසනවා. “සමහර වෙලාවට සිනහ උපදවන දේවලුත් සිද්ධ වුණා. එක අවස්ථාවකදී ‘ඔබේ කන්දට කුරුල්ලෙකු මෙන් පියඹා එමි’ කියන ගීය වාදනය කරපු වෙලාවේ තිරයේ දිස්වුණේ ජලගැල්මට කලින් හිටිය මහා යෝධ සතෙක්වයි”!

සාමාන්‍යයෙන් පෙන්වූ ‘මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යයට’ අමතරව, ‘යුරේකා නාට්‍යයද’ කාණ්ඩ වශයෙන් පෙන්වීමට පටන්ගත්තා. (කොටුව බලන්න.) එක කාණ්ඩයක අඩංගුව තිබුණේ තැටිගත කළ කතා සහ සංගීත වාදනයන්. අනිත් ඒවාවල තැටි සහ ස්ලයිඩ් පට අඩංගු වුණා. ‘යුරේකා නාට්‍යයේ’ සල රූ නොතිබුණත්, ජනයා අඩු ප්‍රදේශවල එය පෙන්වූ විට ඉතා සාර්ථක ප්‍රතිඵල නෙළාගැනීමට හැකි වුණා.

සාක්ෂි දැරීමට ප්‍රබල මෙවලමක්

වර්ෂ 1914 අවසානයේදී, උතුරු අමෙරිකාවේ, යුරෝපයේ හා ඕස්ට්‍රේලියාවේ 90,00,000කට වඩා වැඩි ප්‍රේක්ෂක පිරිසකට “ඡායාරූප නාට්‍යය” පෙන්වනු ලැබුවා. බයිබල් ශිෂ්‍යයන් සංඛ්‍යාවෙන් කුඩා වුවත් මෙම අලුත් මාධ්‍යය යොදාගෙන ශුභාරංචිය පතළ කිරීමට ඔවුන් තුළ දැඩි අධිෂ්ඨානයක් තිබුණා. මේවා පෙන්වීමට සුදුසු ස්ථාන කුලියට ගැනීමට අවශ්‍ය මුදල් ඔවුන් පරිත්‍යාග කළේ සතුටින්. මෙබැවින්, ප්‍රේක්ෂකයන්ට දෙවිගේ වචනය හා අරමුණු හඳුන්වා දීමේදී ඉමහත් වැඩ කොටසක් ඉටු කිරීමට “මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය” මහත් සේ දායක වුණා.

කෙනෙක් සී. ටී. රසල්ට මෙසේ ලියා තිබුණා. “ඔබේ නාට්‍යය බැලුව මුල් අවස්ථාවෙම මගේ ජීවිතයේ වෙනසක් ඇති වුණා. වෙනත් විදිහකින් කියනවා නම්, බයිබලය පිළිබඳ තිබුණු මගේ දැනුම පුළුල් වුණා.” වෙනත් තැනැත්තියක් මෙසේ පැවසුවා. “ඇත්තෙන්ම මම හිටියේ ආගම එපා වෙලයි. ඒත් පහුගිය ගිම්හානයේ මෙහෙදී පෙන්වපු ‘මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය’ නිසා මාව ආරක්ෂා වුණා කියලයි දැන් මට හිතෙන්නේ. . . . සැප සම්පත්වලින් පිරුණු ලෝකයේ කොටසක් නොවෙන මට ලෝකයෙන් ලබාගන්න බැරි සාමයක් දැන් ලැබිලා තියෙනවා.”

දිගු කලක් පුරා සමිතියේ මූලස්ථාන කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුව සිටින ඩමිට්‍රියස් පාපාජෝර්ජ් මෙසේ පැවසුවා. “ගණනින් සුළු පිරිසක්ව සිටි බයිබල් ශිෂ්‍යයන් සතුව තිබුණේ ඉතා සුළු මුදල් ප්‍රමාණයක් වුණත් ඔවුන් විසින් නිපදවන ලද ‘ඡායාරූප නාට්‍යය’ අලුත් වැඩක එළිදැක්මක් කියලා කියන්න පුළුවන්. ඇත්තෙන්ම ඒකට යෙහෝවාගේ ආත්මයේ අනුබලය ලැබුණා!”

[8, 9වන පිටුවේ කොටුව⁄පින්තූර]

“යුරේකා නාට්‍යය”

“ඡායාරූප නාට්‍යය” මුල් වතාවට පෙන්වා මාස අටක් ගත වූ පසු “යුරේකා නාට්‍යය” යනුවෙන් හැඳින්වූ තවත් සංස්කරණයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් තිබෙන බව සමිතිය දැක්කා. මැනවින් නිම වූ “ඡායාරූප නාට්‍යය” විශාල නගරවල දිගටම පෙන්වූ අතර, එහි අන්තර්ගත වූ මූලික පණිවිඩයම ගම්වල හා පිටිසරබද ප්‍රදේශවල බෙදාහැරීමට සමිතිය “යුරේකා” නාට්‍යයේ කාණ්ඩ යොදාගත්තා. ‘යුරේකා නාට්‍යයේ’ එක සංස්කරණයක් විස්තර කර තිබුණේ, දේශනා කිරීමට “සහෝදරියන්ට ලබා දුන් විශේෂ ප්‍රස්තාවක්” වශයෙනුයි. ඇයි? හේතුව, එහි ශබ්දවාහිනී තැටි දැමූ පෙට්ටිවල බර කිලෝග්‍රෑම් 14ක් පමණක් වූ නිසයි. නමුත් එය පෙන්වීමට ශබ්දවාහිනී යන්ත්‍රයකුත් ගෙන යෑමට සිදු වූ බව අමුතුවෙන් කිව යුතු නැහැ.