දිව්‍යාණ්ඩුමය පත්වීමක් ලබන අවේක්ෂකයෝ සහ උපස්ථායක සේවකයෝ
දිව්‍යාණ්ඩුමය පත්වීමක් ලබන අවේක්ෂකයෝ සහ උපස්ථායක සේවකයෝ
‘ශුද්ධාත්මය යම් රැළක නුඹලා නායකයන් [අවේක්ෂකයන්, NW] කොට නියම කළේද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම් වන්න.’—ක්‍රියා 20:28.
1, 2. යෙසායා 60:22 ඉටු වන ආකාරය විස්තර කරන්න.
අන්තිම කාලයේ පුදුම දනවන යමක් සිදු වන බව යෙහෝවා බොහෝ කලකට පෙර පුරෝකථනය කළේය. ප්‍රොපේත යෙසායා තුළින් මෙවන් යමක් ප්‍රකාශ කෙරිණ. ‘කුඩා තැනැත්තා දහසක්ද සුළු තැනැත්තා බලවත් ජාතියක්ද වන්නේය. යෙහෝවා වන මම ඒකේ නියම කලට ඒක ඉක්මන් කරන්නෙමි.’—යෙසායා 60:22.
2 මෙම අනාවැකිය අදදින ඉටු වන බවට සාක්ෂි ඇද්ද? අප ඊට එසේය කියා පිළිතුරු දෙන්නේ ඉමහත් නිසැකභාවයකිනි. එක්දහස් අටසිය සැත්තෑගණන්වල, අමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ ඇලගනිවල යෙහෝවාගේ සේවකයන්ගේ මුල්ම නවීන දින සභාව පිහිටුවන ලදි. එදා සිට, ලොව පුරාම සභාවන් දහස් ගණනක් පිහිටුවා ඇති අතර, කදිම වර්ධනයක් දක්නට ලැබේ. දැන් රාජ්‍යය ප්‍රකාශකරන්නන් මිලියන ගණනක් සිටින අතර, ලොව පුරා රටවල් 235ක, 91,000කට වැඩි සභාවන් ගණනක ඔවුහු එක්රැස් වෙමින් සිටිති. සැබවින්ම බලවත් ජාතියක්! මෙයින් සක්සුදක් සේ පැහැදිලි වන්නේ, අතළඟ තිබෙන ‘මහත් පීඩාවේ’ ආරම්භයට මත්තෙන් සැබෑ නමස්කාරකයන් එක්රැස් කිරීමේ කර්තව්‍යය යෙහෝවා විසින්ම වේගවත් කරනු ලබන බවය.—මතෙව් 24:21; එළිදරව් 7:9-14.
3. ‘පියාගෙත්, පුත්‍රයාගෙත්, ශුද්ධාත්මයෙත් නාමයට’ බව්තීස්ම වීමෙන් අදහස් වන්නේ කුමක්ද?
3 මිලියන ගණනක් ඉක්මවා යන මොවුහු, යෙහෝවාට පෞද්ගලිකව කැපවීමෙන් පසු යේසුස් දුන් උපදෙස්වලට එකඟව ‘පියාගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයට’ බව්තීස්ම වූහ. (මතෙව් 28:19) ‘පියාගේ නාමයට’ බව්තීස්ම වීමෙන් අදහස් කරන්නේ කැප වී ඇති මෙම පුද්ගලයන් යෙහෝවාව තම ස්වර්ගික පියාණන් සහ ජීවනදායකයා හැටියට පිළිගන්නා බවත්, ඔහුගේ පරමාධිපත්‍යයට කැමැත්තෙන්ම යටත් වන බවත්ය. ‘පුත්‍රයාගේ නාමයට’ බව්තීස්ම වීමෙන් අදහස් කරන්නේ යේසුස්ව තම මිදුම්කරු, නායකයා සහ රජු හැටියට පිළිගැනීමය. ඔවුන්ගේ ජීවිතයට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙන යමක් වශයෙන් දෙවිගේ ශුද්ධාත්මය නොහොත් ක්‍රියාකාරි බලයද ඔවුහු පිළිගනිති. මින් අඟවන්නේ ඔවුන් ‘ශුද්ධාත්මයේ නාමයට’ බව්තීස්ම වී ඇති බවය.
4. ක්‍රිස්තියානි දේවසේවකයන්ව පත් කරනු ලබන ආකාරය විස්තර කරන්න.
4 බව්තීස්මයෙන් අනතුරුව, මෙම අලුත් ගෝලයන්ව යෙහෝවා දෙවිගේ සේවකයන් ලෙස පත් කරනු ලැබේ. ඔවුන්ව පත් කරන්නේ කවුද? දෙවන කොරින්ති 3:5හි මෙසේ පැවසේ. ‘[දේවසේවකයන් වශයෙන්] අපගේ සමර්ථකම [අප සුදුසුකම් ලබන්නේ, NW] දෙවිගෙන්ය.’ මොනතරම් ගෞරවයක්ද! එසේ නම්, ඔවුන්ගේ පත්වීම ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්මයි. බව්තීස්මයෙන් පසු දිගටම දෙවිගේ ආත්මයේ මඟ පෙන්වීම පිළිගනිමින් ඔහුගේ වචනය ජීවිතයට අදාළ කරගැනීම ඔවුන්ගෙන් අපේක්ෂා කරයි. ඔවුන් “ශුභාරංචිය” ප්‍රකාශකරන්නන් වශයෙන් දිගටම ආත්මික වර්ධනයක් ලබන්නේ එසේ කළහොත් පමණි.—මතෙව් 24:14; ක්‍රියා 9:31.
පත්වීම ප්රජාතන්ත්රවාදී එකක් නොව, දිව්‍යාණ්ඩුමය එකකි
5. ක්‍රිස්තියානි අවේක්ෂකයන් සහ උපස්ථායක සේවකයන්ව තෝරන්නේ ප්රජාතන්ත්රවාදී පිළිවෙතක් අනුගමනය කිරීමෙන්ද? පැහැදිලි කරන්න.
5 දිනෙන් දින වැඩි වන ක්‍රියාශීලී දේවසේවකයන්ගේ ආත්මික අවශ්‍යතා බලාකියා ගැනීම සඳහා සුදුසුකම් ඇති අවේක්ෂකයන්ගේ මේරූ අධීක්ෂණය මෙන්ම දක්ෂ උපස්ථායක සේවකයන්ගේ නොමද සහයෝගයද අවශ්‍ය වේ. (පිලිප්පි 1:1) මෙවැනි ආත්මික පුරුෂයන්ව පත් කරනු ලබන්නේ කෙසේද? ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි අනුගමනය කරන ක්‍රම මෙහිදී භාවිත නොකෙරේ. මෙහිදී ප්රජාතන්ත්රවාදී පිළිවෙතක් අනුගමනය කරන්නේ නැත. ඉන් අදහස් කරන්නේ සභාවක ආශ්‍රය කරන බහුතරයකගේ ඡන්ද විමසීමෙන් මෙවැනි පුරුෂයන් පත් නොවන බවය. ඔවුන්ව පත් කරනු ලබන්නේ දිව්‍යාණ්ඩු පිළිවෙතකට අනුවය. ඉන් අදහස් කරන්නේ කුමක්ද?
6. (අ) සැබෑ දිව්‍යාණ්ඩු පිළිවෙතකින් අදහස් කරන්නේ කුමක්ද? (ආ) අවේක්ෂකයන්ව සහ උපස්ථායක සේවකයන්ව පත් කරනු ලබන්නේ දිව්‍යාණ්ඩුමය පිළිවෙතක් අනුගමනය කරමින් කියා පැවසිය හැක්කේ මන්ද?
6 සැබෑ දිව්‍යාණ්ඩු පිළිවෙතකින් සරලව අදහස් කරන්නේ පාලනය දෙවිගේ අතේ බවය. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔහුගේ පාලනයට කැමැත්තෙන්ම යටත් වන අතර, දිව්‍ය කැමැත්ත කිරීමට ඔවුහු එකිනෙකාට සහය වෙති. (ගීතාවලිය 143:10; මතෙව් 6:9, 10) ක්‍රිස්තියානි අවේක්ෂකයන් නොහොත් වැඩිමහල්ලන් සහ උපස්ථායකයන්ව පත් කිරීමේ ක්‍රියා පිළිවෙත දිව්‍යාණ්ඩුමය එකක් කියා පවසන්නේ, වගකීම් දරන එවැනි පුරුෂයන්ව නිර්දේශ කිරීමේදී සහ පත් කිරීමේදී අනුගමනය කරන ක්‍රමය ශුද්ධ ලියවිල්ලෙහි සඳහන්ව ඇති දෙවිගේ විධිවිධානවලට එකඟ බැවිනි. යෙහෝවා ‘සියල්ල කෙරෙහි හිසව’ සිටින නිසා, තම දෘශ්‍යමාන සංවිධානය ක්‍රියාත්මක වන ආකාරය තීරණය කිරීමේ අයිතියද ඔහු සතුය.—1 ලේකම් 29:11; ගීතාවලිය 97:9.
7. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව අධීක්ෂණය කරනු ලබන්නේ කෙසේද?
7 ක්‍රිස්තියානි ලෝකයේ සිටින ආගමික කණ්ඩායම් බොහොමයක් මෙන් නොව, යෙහෝවාගේ සාක්ෂිකරුවන් තමන්ගේ ක්‍රියාකාරකම් අධීක්ෂණය කරන ආත්මික පාලන විධිවිධානය කුමක්ද කියා ඔවුන් විසින්ම තීරණය කරන්නේ නැත. මෙම අවංක ක්‍රිස්තියානීහු යෙහෝවාගේ ප්‍රතිපත්තිවලට පිටු නොපා කටයුතු කිරීමට වෑයම් කරති. සභා සාමාජිකයන්ගෙන්, යම් අධ්‍යක්ෂක මණ්ඩලයකින් හෝ නිලතල දරන කිහිපදෙනෙකුගෙන් සෑදුණු සභා පාලන ක්‍රමයක් මගින් ඔවුන් අතර සිටින අවේක්ෂකයන්ව පත් කිරීම සිදු කරන්නේ නැත. බාහිර ලෝකයේ පවතින මෙවැනි අංග ලක්ෂණ මෙවැනි පත්වීම්වලට යම් හෙයකින් බලපෑම් කරයි නම් යෙහෝවාගේ සේවකයෝ එම බලපෑම්වලට ස්ථිරව පිටුපාති. ඔවුන්ගේ ස්ථාවරය මුල් සියවසේ විසූ ප්‍රේරිතයන්ගේ පැහැදිලි ස්ථාවරයට බෙහෙවින් සමානය. ඔවුන් පැවසුවේ ‘මනුෂ්‍යයන්ට වඩා දෙවිට අප විසින් කීකරු විය යුතු’ බවය. (ක්‍රියා 5:29) එමනිසා, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ සියල්ලේදී දෙවිට යටත්ව සිටිති. (හෙබ්‍රෙව් 12:9; යාකොබ් 4:7) මෙසේ දිව්‍යාණ්ඩු ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමෙන් දිව්‍ය අනුමැතිය ලබාගත හැක.
8. ප්රජාතන්ත්රවාදී සහ දිව්‍යාණ්ඩුමය ක්‍රියා පිළිවෙත් අතර ඇති වෙනස විස්තර කරන්න.
8 අප ශ්‍රේෂ්ඨ දෙවි යෙහෝවාගේ දිව්‍යාණ්ඩු පිළිවෙත අනුගමනය කරන සේවකයන් වන නිසා, ප්රජාතන්ත්රවාදී සහ දිව්‍යාණ්ඩුමය ක්‍රියා පිළිවෙත් අතර ඇති පැහැදිලි වෙනස්කම් සිහියේ තබාගත යුතුය. ප්රජාතන්ත්රවාදී ක්‍රියා පිළිවෙත තුළදී, යම් යම් ජන පිරිස් නියෝජනය කරන අපේක්ෂකයන් සිටින අතර, මොවුහු මහජනයාගේ කැමැත්ත ලබාගැනීමට ඡන්ද ව්‍යාපාරද දියත් කරති. මෙහිදී අදාළ ධුරය ලැබෙන්නේ වැඩි මනාපය ලබන අයටය. දිව්‍යාණ්ඩු පත්වීමක් ලබා දෙද්දී මෙවැනි ක්‍රියා පිළිවෙතක් අනුගමනය නොකෙරේ. එවැනි පත්වීමකට මනුෂ්‍යයන් මුල් වන්නේ නැත. එමෙන්ම යම් නීතික සංස්ථාවක් එයට මැදිහත් වන්නේද නැත. ප්‍රේරිත පාවුල් ගලාතිවරුන්ට පැවසුවේ තමාගේ පත්වීම ‘මනුෂ්‍යයන් කෙරෙන්වත් මනුෂ්‍යයා කරණකොටගෙනවත් නොව යේසුස් ක්‍රිස්තුස් සහ ඔහුව මළවුන්ගෙන් නැඟිටෙවූ පිය වූ දෙවි කරණකොටගෙන’ ලැබී තිබෙන බවය. (ගලාති 1:1) ඇතැම්විට ඔහු මෙහිදී යොමු දක්වමින් සිටියේ “අන්‍යජාතීන්ට ප්‍රේරිතයෙක්” වශයෙන් තමා යේසුස්ගෙන් සහ යෙහෝවාගෙන් ලද පැවරුමට විය හැකිය.—රෝම 11:13.
පත්වීම ශුද්ධාත්මයෙන්
9. ක්‍රිස්තියානි අවේක්ෂකයන්ව පත් කිරීම සම්බන්ධයෙන් ක්‍රියා 20:28හි පවසන්නේ කුමක්ද?
9 අවේක්ෂකයන්ගේ පත්වීම ලැබෙන්නේ දෙවිගේ ශුද්ධාත්මයේ ක්‍රියාකාරිත්වය තුළිනි. පාවුල් මේ කාරණය එපීසයේ විසූ අවේක්ෂකයන්ට මෙසේ මතක් කර දුන්නේය. ‘දෙවි විසින් තමන්ගේම [පුත්‍රයාගේ] රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණය කරන්ට ශුද්ධාත්මය යම් රැළක නුඹලා නායකයන් [අවේක්ෂකයන්, NW] කොට නියම කළේද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම් වන්න.’ (ක්‍රියා 20:28, අකුරු ඇල කළේ අපය.) දෙවිගේ රැළෙහි එඬේරුන් වශයෙන් තම යුතුකම් ඉටු කරද්දී, එම ක්‍රිස්තියානි අවේක්ෂකයන් ශුද්ධාත්මයේ මඟ පෙන්වීමට දිගටම යටත් වීම අවශ්‍ය විය. යම් පත්වීමක් ලැබූ පුරුෂයෙකු දිව්‍ය ප්‍රමිතියෙන් පහත වැටුණා නම්, නිසි කාලයේදී ශුද්ධාත්මයේ ක්‍රියාකාරිත්වය තුළින් එම පත්වීමෙන් ඔහුව ඉවත් කිරීමට පියවර ගනු ලැබේ.
10. දිව්‍යාණ්ඩු පත්වීම්වලදී ශුද්ධාත්මය මගින් වැදගත් කාර්යභාරයක් ඉටු කෙරෙන බව අප පවසන්නේ මන්ද?
10 මෙහිදී ශුද්ධාත්මයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු වෙනවා කියා අප පවසන්නේ මන්ද? ආත්මික අවේක්ෂකයන් වීමට අවශ්‍ය සුදුසුකම් ශුද්ධ ලියවිලිවල වාර්තා කළේ ශුද්ධාත්මයේ ආනුභාවයෙනි. තිමෝති සහ තීතස්ට පාවුල් ලියූ ලිපිවල, අවේක්ෂකයන් සහ උපස්ථායක සේවකයන්ගෙන් අපේක්ෂා කරන ප්‍රමිති දක්වා තිබිණ. එහිදී ඔහු සුදුසුකම් 16ක් සඳහන් කළේය. නිදසුනකට, අවේක්ෂකයන්, නිදොස්, පමණ දැන හැසිරෙන, සිහියෙන් යුක්තව ක්‍රියා කරන, පිළිවෙළක් ඇති, ආගන්තුක සත්කාරශීලී, උගන්වන්ට සමත්, ආදර්ශවත් ගෘහ මූලිකයන්ව සිටිය යුතු විය. මත්පැන් පානය සම්බන්ධයෙන් ඔවුන් පමණ දැන ක්‍රියා කළ යුතු අතර, මුදලට ඇති ආශාවෙන් පාලනය නොවී, ආත්ම-දමනයෙන් ක්‍රියා කළ යුතු විය. උපස්ථායක සේවකයන් ලෙස සේවය කිරීමට ආශාවෙන් සිටි අය සඳහාද උසස් ප්‍රමිති තිබිණ.—1 තිමෝති 3:1-10, 12, 13; තීතස් 1:5-9.
11. සභාව තුළ වගකීම් දැරීමට ආශාවක් දක්වන පුරුෂයන්ගෙන් බලාපොරොත්තු වන සුදුසුකම් සමහරක් මොනවාද?
11 ඉහත දක්වා ඇති සුදුසුකම් සලකා බලද්දී, යෙහෝවාගේ නමස්කාරයේදී පෙරමුණ ගන්නා අය තම ක්‍රිස්තියානි හැසිරීම සම්බන්ධයෙන් ආදර්ශවත් විය යුතු බව පැහැදිලි වේ. සභාවක වගකීම් දැරීමට ආශාවක් දක්වන පුරුෂයන් තුළ ශුද්ධාත්මය ක්‍රියාත්මක වන බවට සාක්ෂි පැහැදිලිව දැකගැනීමට හැකි විය යුතුය. (2 තිමෝති 1:14) දෙවිගේ ආත්මය මෙම පුරුෂයන් තුළ “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, [බොහෝ, NW] ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම [ඇදහිල්ල, NW], මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම [ආත්ම-දමනය, NW]” යන ඵල නිපදවන බවට සාක්ෂි තිබිය යුතුය. (ගලාති 5:22, 23) මෙවැනි ඵල, සෙසු ඇදහිලිවන්තයන් සහ වෙනත් අය සමඟ කටයුතු කරද්දී පැහැදිලිව දැකගැනීමට හැකි විය යුතුය. ඇතැම් අවේක්ෂකයන් වෙනත් අවේක්ෂකයන්ට වඩා හොඳින් ඇතැම් ආත්මයේ ඵල විදහාපෙන්විය හැකි අතර, අවේක්ෂකයන්ගෙන් බලාපොරොත්තු වන වෙනත් සුදුසුකම්වලදී පවා ඇතැම් අය තවත් අයට වඩා හොඳ මට්ටමක සිටිය හැක. කෙසේවෙතත්, සමස්තයක් වශයෙන් ගත් කල, අවේක්ෂකයන් හෝ උපස්ථායක සේවකයන් ලෙස පත්වීමට බලාපොරොත්තු වන සියලුදෙනා, දෙවිගේ වචනයේ අවශ්‍යතාවන්වලට එකඟව කටයුතු කරන ආත්මික පුරුෂයන් බව නිරූපණය කළ යුතුය.
12. ශුද්ධාත්මයෙන් පත් කරනු ලැබූ අය ලෙස හැඳින්විය හැක්කේ කෙබඳු අයවද?
12 ‘තම අඩිපාරේ යන පිණිස අපට ආදර්ශයක් දී ගිය’ යේසුස් ක්‍රිස්තුස්ව අනුකරණය කිරීමට පාවුල් වෑයම් කරමින් සිටි නිසා, තමාව ආදර්ශයට ගන්න කියා ඔහු මහත් නිසැකකමකින් අන්‍යයන්ව දිරිගැන්වීය. (1 පේතෘස් 2:21; 1 කොරින්ති 11:1) මේ අනුව, අවේක්ෂකයන් හෝ උපස්ථායක සේවකයන් ලෙස පත් වන අවස්ථාවේදී ශුද්ධ ලියවිලිමය අවශ්‍යතාවන්වලට එකඟව ක්‍රියා කරමින් සිටින අය ශුද්ධාත්මයෙන් පත් කරනු ලැබූ අය ලෙස හැඳින්විය හැක.
13. සභාවේ සේවය කිරීමට පුරුෂයන්ව නිර්දේශ කරද්දී, ශුද්ධාත්මය එවැනි නිර්දේශයන් කිරීමට දායක වන්නේ කෙසේද?
13 අවේක්ෂකයන්ව නිර්දේශ කිරීමේදී සහ පත් කිරීමේදී ශුද්ධාත්මය ක්‍රියාත්මක වන ආකාරය අඟවන තවත් සාධකයක් යේසුස්ගේ වදන්වලින් දැකගත හැක. ඔහු පැවසුවේ ‘ස්වර්ගීය පියා තමන්ගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය’ දෙන බවය. (ලූක් 11:13) එමනිසා සභාවෙහි වගකීම් දැරීමට නිර්දේශ කළ යුත්තේ කවර පුරුෂයන්ද යන්න තීරණය කිරීමට සභාවක වැඩිමහල්ලන් රැස් වන විට, මඟ පෙන්වීම සඳහා ඔවුහු දෙවිගේ ශුද්ධාත්මයේ උපකාරය අයැද සිටිති. ඔවුන් තම නිර්දේශයන් දෙවිගේ ආනුභාවයෙන් ලියන ලද වචන මත පදනම් කරගනිති. එමනිසා, යමෙකු පත් කළ යුතුද නැද්ද යන්න ගැන සාකච්ඡා කරද්දී, එම පුද්ගලයා ශුද්ධ ලියවිල්ලෙහි අවශ්‍යතාවන්වලට එකඟව කටයුතු කරනවාද යන්න තේරුම්ගැනීමට ශුද්ධාත්මය ඔවුන්ට උපකාරවත් වේ. නිර්දේශයන් කරද්දී, වැඩිමහල්ලෝ බාහිර පෙනුම, අධ්‍යාපනික පසුබිම හෝ සහජ හැකියාවන් වැනි භෞතික ලක්ෂණවලට අනිසි අවධානයක් නොදෙති. ඒ පුද්ගලයා ආත්මික පුරුෂයෙක්ද? ආත්මික උපදෙස් ලබාගැනීමට සභාවේ සාමාජිකයන් පසුබට වීමකින් තොරව ඔහු වෙත පිවිසෙයිද? සභාවේ වැඩිමහල්ලන් මූලික අවධානයක් දෙන්නේ එවැනි ආත්මික කාරණාවලටය.
14. අපට ක්‍රියා 6:1-3න් උගත හැක්කේ කුමක්ද?
14 වැඩිමහල්ලන් සහ උපස්ථායක සේවකයන් ලෙස සේවය කිරීමට සහෝදරයන්ව නිර්දේශ කිරීමේදී වැඩිමහල් මණ්ඩලයට සංචාරක අවේක්ෂකයන්ගේ සහයෝගය ලැබුණද, පත්වීම ලැබෙන්නේ මුල් සියවසේ තැබූ ආදර්ශයට අනුවය. එක් අවස්ථාවකදී, වැදගත් පැවරුමක් ඉටු කිරීමට ආත්මික සුදුසුකම් ඇති පුරුෂයන් කිහිපදෙනෙකුව තේරීමේ අවශ්‍යතාව මතු විය. එදා සිටි පාලක මණ්ඩලය මෙම මඟ පෙන්වීම ලබා දුන්නේය. “මේ වැඩට අප විසින් පත්කරන පිණිස යහපත්යයි ප්රසිද්ධවූ, ආත්මයෙන්ද ප්‍රඥාවෙන්ද පූර්ණවූ මනුෂ්‍යයන් සත්දෙනෙකු නුඹලා අතරෙන් සොයාගන්න.” (ක්‍රියා 6:1-3) මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් නිර්දේශයන් කළේ අදාළ තත්වය ගැන වැටහීමක් තිබූ පුරුෂයන් විසිනි. එනමුත් පත් කිරීම සිදු කළේ යෙරුසලමේ වගකීම් දැරූ පුරුෂයන් විසිනි. ඒ හා සමාන ක්‍රමයක් අදදිනද අනුගමනය කෙරේ.
15. පුරුෂයන්ව පත් කිරීමේ කාර්යයට පාලක මණ්ඩලය සම්බන්ධ වන්නේ කෙලෙසද?
15 ශාඛා කමිටුවල සේවය කරන සියලුම සාමාජිකයන්ව පත් කිරීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය ඍජුවම හවුල් වේ. මෙවැනි බැරෑරුම් වගකීම් ඉසිලීමට හැක්කේ කාටද කියා තීරණය කරද්දී, පාලක මණ්ඩලයේ සාමාජිකයෝ යේසුස්ගේ මෙම වදන් හොඳින් සිතට ගනිති. “යමෙකුට බොහෝ දේ දෙනලද්දේද, ඔහුගෙන් බොහෝ දේ අයකරනු ලබන්නේය. යමෙකුට බොහෝ දේ භාරදෙනලද්දේද, ඔහුගෙන් වඩා ඉල්ලනු ලබන්නේය.” (ලූක් 12:48) පාලක මණ්ඩලය ශාඛා කමිටුවල සාමාජිකයන්ව පත් කිරීමට අමතරව, බෙතෙල් වැඩිමහල්ලන්ව සහ සංචාරක අවේක්ෂකයන්වද පත් කරයි. කෙසේවෙතත්, ඇතැම් අයව පත් කිරීමේදී ඔවුහු තමන් වෙනුවෙන් පෙනී සිටීමට වගකීමකින් කටයුතු කරන වෙනත් සහෝදරයන්ටද අධිකාරයක් ලබා දෙති. මේ සඳහාද ශුද්ධ ලියවිලිමය පදනමක් තිබේ.
‘මා නුඹට ආඥා කළ ලෙස පත් කරන්න’
16. පාවුල් තීතස්ව ක්‍රීතෙහි නැවැත්වූයේ මන්ද? අදදින සිදු කරනු ලබන දිව්‍යාණ්ඩුමය පත් කිරීම් සම්බන්ධයෙන් මෙයින් අඟවනු ලබන්නේ කුමක්ද?
16 පාවුල් සිය හවුල් සේවක තීතස්ට මෙසේ පැවසීය. “මා එන විට නුඹ ක්‍රීතෙහි නැවැත්වූ කාරණය නම්, අඩුව තිබුණු දේවල් නුඹ විසින් පිළිවෙළට යොදන පිණිසත් මා නුඹට ආඥාකළ ලෙස නුවරක් පාසා වැඩිමහල්ලන් පත්කරන පිණිසත්ය.” (තීතස් 1:5) එවැනි පත් කිරීම් කිරීමේදී තීතස් සැලකිලිමත් විය යුතු ඔවුන්ගේ සුදුසුකම් පිළිබඳ ලැයිස්තුවක් පාවුල් ඊළඟට සඳහන් කළේය. ඒ ආකාරයටම, වර්තමානයේ වැඩිමහල්ලන් සහ උපස්ථායක සේවකයන් පත් කිරීමේදී පාලක මණ්ඩලය නියෝජනය කිරීමට ඔවුහු ශාඛා කාර්යාලවල සුදුසුකම් ලත් සහෝදරයන්ව පත් කරති. පාලක මණ්ඩලය නියෝජනය කරමින් පත් කිරීම් කරන අය, එවන් පත් කිරීම් කරද්දී තමන් ශුද්ධ ලියවිලිමය මඟ පෙන්වීම් තේරුම්ගෙන අනුගමනය කරනවාද යන කාරණයට විශේෂ අවධානයක් දෙනු ලැබේ. මේ අනුව, ලොව වටා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවල සුදුසුකම් ලත් පුරුෂයන්ව පත් කරනු ලබන්නේ පාලක මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ කියා පැවසිය හැකිය.
17. අවේක්ෂකයන්ව සහ උපස්ථායක සේවකයන්ව පත් කිරීම සඳහා ලැබෙන නිර්දේශයන් ශාඛා කාර්යාලය විසින් හසුරුවනු ලබන්නේ කෙලෙසද?
17 වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයට, අවේක්ෂකයන් සහ උපස්ථායක සේවකයන් පත් කිරීම සම්බන්ධයෙන් නිර්දේශයන් භාර දෙනු ලබන විට, එම පත් කිරීම් සිදු කිරීම සඳහා අද්දැකීම් ලත් පුරුෂයෝ දෙවිගේ ආත්මයේ මඟ පෙන්වීම මත රඳා සිටිති. මෙම පුරුෂයන් කිසිවෙකුගේ පාපවලට පංගුකාරයන් නොවන පිණිස කෙනෙකුව පත් කිරීමට ඉක්මන් නොවිය යුතු අතර, එසේ කරන්නේ තමන්ට බැරෑරුම් වගකීමක් ඉටු කිරීමට පැවරී ඇති බව වටහාගන්නා නිසාය.—1 තිමෝති 5:22.
18, 19. (අ) ඇතැම් පත්වීම් දැනුම් දෙනු ලබන්නේ කෙසේද? (ආ) නිර්දේශයන් සහ පත්වීම් සිදු කිරීමේ සම්පූර්ණ ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ කෙලෙසද?
18 ඇතැම් පත්වීම් දැනුම් දෙනු ලබන්නේ යම් නීතික සංස්ථාවක නිල මුද්‍රාවක් සහිත ලිපියක් මාර්ගයෙනි. සභාවක සහෝදරයන් කිහිපදෙනෙකුගේ පත්වීම් දැනුම් දීම සඳහා මෙවැනි ලිපියක් භාවිත කළ හැක.
19 දිව්‍යාණ්ඩු පත්වීම් ලැබෙන්නේ යෙහෝවාගෙනි. යෙහෝවා තම පුත්‍රයා තුළින් සහ තම දෘශ්‍යමාන භූමික මාධ්‍යය වන “විශ්වාසවූ නුවණ ඇති දාසයා” සහ එහි පාලක මණ්ඩලය තුළින් එම පත්වීම් ලබාදෙයි. (මතෙව් 24:45-47) මෙවන් නිර්දේශයන් සහ පත් කිරීම් සිදු කිරීමේ සම්පූර්ණ ක්‍රියාවලියම ශුද්ධාත්මයේ මඟ පෙන්වීමට එකඟව සිදු වේ. මීට හේතුව වන්නේ අදාළ සුදුසුකම් ශුද්ධාත්මයේ ආනුභාවයෙන් ලියන ලද දේවවචනයෙහි සඳහන්ව තිබීමයි. තවද පුරුෂයෙකු පත් කරනු ලබන්නේ ඔහු එම ආත්මයේ ඵල තම ජීවිතය තුළින් නිපදවනු ලබන බැවිනි. මේ අනුව, එම පත්වීම් ශුද්ධාත්මය මගින් කරන ලද ඒවා ලෙස සැලකිය යුතු වේ. මුල් සියවසේ අවේක්ෂකයන් සහ උපස්ථායක සේවකයන් ශුද්ධාත්මයෙන් පත් කළා සේම, අදදිනත් ශුද්ධාත්මය ඒ හා සමාන කාර්යභාරයක් සිදු කරයි.
යෙහෝවාගේ මඟ පෙන්වීම අගය කරමු
20. ගීතාවලිය 133:1හි සඳහන් දාවිත්ගේ අදහස්වලට අප එකඟ වන්නේ මන්ද?
20 රාජ්‍ය දේශනා කිරීමේ වැඩයෙහි අප මෙතරම් ආත්මික සමෘද්ධියක් සහ දිව්‍යාණ්ඩුමය වර්ධනයක් අද්දකින මෙම කාලපරිච්ඡේදයෙහි අවේක්ෂකයන් සහ උපස්ථායක සේවකයන් පත් කිරීමේදී මූලික වගකීම් දරන තැනැත්තා යෙහෝවා වීම ගැන අපි බෙහෙවින් කෘතඥපූර්වක වන්නෙමු. ශුද්ධ ලියවිල්ලට එකඟ වන මෙම විධිවිධානය, යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන අප අතර ධර්මිෂ්ඨකම පිළිබඳ දෙවිගේ උසස් ප්‍රමිති රැකීමට ඉවහල් වේ. තවද මෙම පුරුෂයන්ගේ ක්‍රිස්තියානි ආකල්පය සහ නොමද උත්සාහය, යෙහෝවාගේ සේවකයන් වශයෙන් අප භුක්ති විඳින මහත් සමාදානයට හා සමඟියට බෙහෙවින් දායක වේ. මේ හේතුවෙන්, ගීතිකාකාර දාවිත් මෙන් “බලව, සහෝදරයන් එකඟව වාසය කිරීම කොපමණ යහපත්ද, කොපමණ ප්රසන්නද” කියා මුළු හදින් ප්‍රකාශ කිරීමට අපි පෙලඹෙන්නෙමු.—ගීතාවලිය 133:1.
21. අදදින යෙසායා 60:17 ඉටු වන්නේ කෙසේද?
21 යෙහෝවා තම වචනය හා ශුද්ධාත්මය තුළින් අපට ලබා දෙන මඟ පෙන්වීම්වලට අප කොතරම් ස්තුතිවන්ත විය යුතුද! ඇත්තවශයෙන්ම යෙසායා 60:17හි සඳහන් වදන් මෙහිදී විශේෂයෙන්ම අදාළ වේ. “මම පිත්තල වෙනුවට රත්රන් ගෙනෙන්නෙමි, යකඩ වෙනුවට රිදීද ලී වෙනුවට පිත්තලද ගල් වෙනුවට යකඩද ගෙනෙන්නෙමි. මම නුඹේ මුලාදෑනීන් සමාදානයද නුඹේ ආණ්ඩුකාරයන් ධර්මිෂ්ඨකමද වෙන්ට සලස්වන්නෙමි.” යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර ප්රගතිශීලී ලෙස දිව්‍යාණ්ඩු ක්‍රියා පිළිවෙළක් ක්‍රියාත්මක වෙද්දී, දෙවිගේ භූමික සංවිධානය පුරාම මෙම බයිබල් පදයේ සඳහන් ආශීර්වාද අපි අද්දකින්නෙමු.
22. අප බෙහෙවින් අගය කරන්නේ කුමක්ද? අපගේ අදිටන කුමක් විය යුතුද?
22 අප අතර ක්‍රියාත්මක වන දිව්‍යාණ්ඩු විධිවිධාන අප බෙහෙවින් අගය කළ යුතුය. තවද දිව්‍යාණ්ඩු පත්වීමක් ලැබ සිටින වෙහෙසී වැඩ කරන අවේක්ෂකයන් සහ උපස්ථායක සේවකයන්ගේ කදිම මෙන්ම ප්‍රතිඵලදායක උත්සාහයද අපි බෙහෙවින් අගය කරන්නෙමු. අපට මෙතරම් ආත්මික සමෘද්ධියක් හා මෙතරම් ආශීර්වාද ලබා දී ඇති අපගේ ප්‍රේමනීය ස්වර්ගික පියාණන්ට අපගේ ස්තුතිය පිරිනමන්නේ හද පත්ලෙන්ම නැඟෙන අගයකිනි. (හිතෝපදේශ 10:22) එසේ නම්, යෙහෝවාගේ සංවිධානය සමඟ කරට කර ගමන් කිරීම අපගේ අදිටන කරගනිමු. එමෙන්ම යෙහෝවාගේ ශ්‍රේෂ්ඨ, ශුද්ධ නාමයට ප්‍රශංසාව සහ ගෞරවය ගෙනෙන පිණිස එක්සත්ව, එක්සිත්ව එකට වැඩ කිරීමට අපි නිරන්තර උත්සාහයක් දරමු.
ඔබේ පිළිතුර?
• අවේක්ෂකයන්ව සහ උපස්ථායක සේවකයන්ව ප්රජාතන්ත්රවාදී ක්‍රියා පිළිවෙතකට අනුව නොව, දිව්‍යාණ්ඩු ක්‍රියා පිළිවෙතකට එකඟව පත් කරන බව පැවසිය හැක්කේ මන්ද?
• වගකීම් දරන ක්‍රිස්තියානි පුරුෂයන්ව ශුද්ධාත්මයෙන් පත් කරනු ලබනවා කියා පැවසිය හැක්කේ කෙසේද?
• අවේක්ෂකයන් සහ උපස්ථායක සේවකයන් පත් කිරීමට පාලක මණ්ඩලය සම්බන්ධ වන්නේ කෙසේද?
• දිව්‍යාණ්ඩු පත්වීම් සම්බන්ධයෙන් අප යෙහෝවාට කෘතඥපූර්වක විය යුත්තේ මන්ද?
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[15වන පිටුවේ පින්තූර]
වැඩිමහල්ලන් සහ උපස්ථායක සේවකයන් සේවය කිරීමට වරප්‍රසාද ලබන්නේ දිව්‍යාණ්ඩු පත්වීමක් තුළිනි