Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ සංවිධානය සමඟ කරට කර ගමන් කිරීම

යෙහෝවාගේ සංවිධානය සමඟ කරට කර ගමන් කිරීම

යෙහෝවාගේ සංවිධානය සමඟ කරට කර ගමන් කිරීම

‘සමාදානයේ දෙවි, ඔහුගේ කැමැත්ත ඉටු කරන පිණිස, සියලු යහපත් ක්‍රියාවලින් ඔබ පූර්ණ කරත්වා.’—හෙබ්‍රෙව් 13:20, 21, නව අනුවාදය.

1. පෘථිවි ජනගහනය කොපමණද? එයින් විවිධ ආගම්වලට අයත් සාමාජිකයන් සංඛ්‍යාව සඳහන් කරන්න.

 වර්ෂ 1999දී පෘථිවි ජනගහනය බිලියන හය කරා ළඟා විය. එක් මූලාශ්‍රයකට අනුව ඒ බිලියන හය මෙසේ බෙදා දැක්විය හැක. ඉස්ලාම් භක්තිකයන් 1,16,50,00,000කි. රෝමානු කතෝලිකයන් 1,03,00,00,000කි. හින්දු භක්තිකයන් 76,20,00,000කි. බෞද්ධයන් 35,40,00,000කි. රෙපරමාදු භක්තිකයන් 31,60,00,000කි. තවද ඕතඩොක්ස් නිකායිකයන් 21,40,00,000කි.

2. අදදින පවතින ආගමික වාතාවරණය ගැන කුමක් පැවසිය හැකිද?

2 අදදින ආගමික බෙදීම් සහ ආරවුල් පවතින බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙලෙස බෙදී ඇති මිලියන ගණන් ජනයා දේවකැමැත්තට එකඟව ක්‍රියා කරනවා කියා අවංකවම පැවසිය හැකිද? එසේ පැවසිය නොහැක. දේවවචනයට අනුව ‘දෙවි වියවුල්කමේ නොව සමාදානයේ දෙවිය.’ (1 කොරින්ති 14:33) එනමුත්, යෙහෝවාගේ සේවකයන්ගේ අන්තර්ජාතික සහෝදරත්වය ගැන කුමක් කිව හැකිද? (1 පේතෘස් 2:17) ‘සමාදානයේ දෙවි, ඔහුගේ කැමැත්ත ඉටු කරන පිණිස, සියලු යහපත් ක්‍රියාවලින් ඔවුන්ව පූර්ණ කරන’ බව, ලැබී ඇති සාක්ෂිවලින් ඔප්පු වී තිබේ.—හෙබ්‍රෙව් 13:20, 21.

3. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී යෙරුසලමෙහි සිදු වූයේ කුමක්ද?

3 කෙසේවෙතත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිව්‍ය අනුමැතිය ලැබීම තීරණය වන්නේ ඔවුන් සමඟ ආශ්‍රය කරන අයගේ සංඛ්‍යාවෙන්ද? නැත. දෙවිගේ සිත්ගැනීමට සංඛ්‍යා ලේඛනවලින් ඇති වැඩක් නැත. ඔහු ඉශ්‍රායෙලිතයන්ව තෝරාගත්තේ සියලු ජනයන්ට වඩා ඔවුන් “ගණනින් වැඩි” නිසා නොවේ. ඇත්තෙන්ම ඔවුන් ගණනින් ඉතා ‘ස්වල්පදෙනෙකි.’ (ද්විතීය කථාව 7:7) ඉශ්‍රායෙල් අවිශ්වාසවන්ත ජාතියක් බවට පත් වූ නිසා, පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී, යෙහෝවා තම අනුග්‍රහය යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ගෙන් සෑදුණු නව සභාවට ලබා දුන්නේය. යෙහෝවාගේ ශුද්ධාත්මයෙන් ආලේප කරනු ලැබූ ඔවුහු, දෙවි සහ ක්‍රිස්තුස් පිළිබඳ සත්‍යය අන්‍යයන්ට දේශනා කිරීමේ කාර්යයෙහි ජ්වලිතව නිරත වූහ.—ක්‍රියා 2:41, 42.

නොකඩවා ඉදිරියට

4. මුල් ක්‍රිස්තියානි සභාව අඛණ්ඩ වර්ධනයක් අද්දුටු බව පැවසීමට හේතු දක්වන්න.

4 මුල් සියවසේදී ක්‍රිස්තියානි සභාව දිගින් දිගටම වර්ධනය විය. ඔවුන් අලුත් ප්‍රදේශවලට ගොස් ගෝලයන් සාදමින්, දෙවිගේ අරමුණු ගැන වඩාත් පුළුල් අවබෝධයක් ලැබුවේ දැවෙන උද්‍යෝගයක් ඇතුවය. මෙම මුල් ක්‍රිස්තියානීහු දිව්‍යානුභාවයෙන් ලියන ලද හසුන් තුළින් ලැබූ ආත්මික ඥානාලෝකයට එකඟව කටයුතු කළෝය. ප්‍රේරිතයන් සහ වෙනත් අයගේ බැහැදැකීම්වලින් දිරියක් ලැබූ ඔවුහු තම සේවය උපරිමයෙන් ඉටු කළහ. ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල මීට ඇති සාක්ෂි එමටය.—ක්‍රියා 10:21, 22; 13:46, 47; 2 තිමෝති 1:13; 4:5; හෙබ්‍රෙව් 6:1-3; 2 පේතෘස් 3:17, 18.

5. අදදින දෙවිගේ සංවිධානය ප්‍රගතියක් ලබන්නේ මන්ද? අප එය සමඟ කරට කර ගමන් කළ යුත්තේ මන්ද?

5 මුල් ක්‍රිස්තියානීන්ට සමානව, යෙහෝවාගේ වත්මන් දින සාක්ෂිකරුවන්ට ඇත්තෙත් කුඩා ආරම්භයකි. (සෙකරියා 4:8-10) දහනවවන සියවසේ අග භාගයේ සිට, දෙවිගේ ආත්මය ඔහුගේ සංවිධානය කෙරෙහි පවතින බවට පැහැදිලි සාක්ෂි තිබේ. මිනිස් බලය මත නොව, නමුත් ශුද්ධාත්මයේ මඟ පෙන්වීම මත අප රඳා සිට ඇති නිසා, ශුද්ධ ලියවිල්ල සහ දෙවිගේ කැමැත්ත සම්බන්ධයෙන් අප සතු අවබෝධය පුළුල් වී ඇත. (සෙකරියා 4:6) අප දැන් අන්තිම දවස්වල සිටින නිසා, යෙහෝවාගේ ප්‍රගතිශීලී සංවිධානය සමඟ කරට කර ගමන් කිරීම අතිවැදගත්ය. (2 තිමෝති 3:1-5) එසේ කිරීමෙන් අපගේ බලාපොරොත්තුව අපගේ දෘෂ්ටියෙන් බොඳ නොවන අතර, දැන් පවතින ලෝක ක්‍රමයේ අවසානයට පෙර දෙවිගේ පිහිටුවන ලද රාජ්‍යය ගැන සාක්ෂි දැරීමටද අපහට ප්‍රස්තාව සැලසේ.—මතෙව් 24:3-14.

6, 7. අප සලකා බලන්න යන්නේ යෙහෝවාගේ සංවිධානය අඛණ්ඩ ප්‍රගතියක් ලබා ඇති කුමන පැති තුනද?

6 අප අතර 1920 ගණන්වල, 30ගණන්වල සහ 40ගණන්වල යෙහෝවාගේ සංවිධානය සමඟ ආශ්‍රය කිරීමට පටන්ගත් අය සිටිත්. මේ දක්වා සංවිධානය ලබා ඇති ප්‍රගතිය සහ පුදුමාකාර වර්ධනය ගැන ඒ කාලයේ සිටි කිසිවෙකු හීනෙකින්වත් නොසිතන්නට ඇත. අපගේ නවීන දින ඉතිහාසය දෙස බලන විට, අපගේ සංවිධානයේ සුවිශේෂ සිදුවීම් කිහිපයක්ම මතකයට නැංවේ. යෙහෝවා දිව්‍යාණ්ඩුමය ලෙස ස්ථාපිත කර ඇති තම සංවිධානය මාර්ගයෙන් ඉටු කර ඇති දේ ගැන සිතා බලද්දී අපට ආත්මික වශයෙන් මොනතරම් ප්‍රබෝධයක් දැනෙනවාද!

7 දාවිත් රජ යෙහෝවාගේ පුදුම ක්‍රියා ගැන මෙනෙහි කරද්දී මවිත විය. ඔහු මෙසේ අදහස් දැක්වීය. “ඒවා ප්‍රකාශකරන්ටත් ඒ ගැන කථා කරන්ටත් කැමැත්තෙමි, නුමුත් ඒවා ගණන්කරන්ට පුළුවන්වාටත් වැඩිය.” (ගීතාවලිය 40:5) අදදින යෙහෝවාගේ ශ්‍රේෂ්ඨ, ප්‍රශංසනීය ක්‍රියා රාශිය ප්‍රකාශ කරන්නට අපටද නුපුළුවන. කෙසේවෙතත්, යෙහෝවාගේ සංවිධානය අඛණ්ඩ ප්‍රගතියක් ලබන පැති තුනක් අපි සලකා බලමු. (1) ප්‍රගතිශීලී ආත්මික ඥානාලෝකය, (2) දේවසේවය දියුණු කිරීමට සහ පුළුල් කිරීමට පියවර, (3) සංවිධානාත්මක ක්‍රියා පරිපාටියේ කාලෝචිත සකස් කිරීම්.

ආත්මික ඥානාලෝකය මොනතරම් ආශීර්වාදයක්ද!

8. හිතෝපදේශ 4:18ට එකඟව, ආත්මික ඥානාලෝකය අපට රුකුලක් වී තිබෙන්නේ රාජ්‍යය සම්බන්ධයෙන් කුමක් තේරුම්ගැනීමටද?

8 ප්‍රගතිශීලීව බැබළෙන ආත්මික ඥානාලෝකය ගැන කල්පනා කර බලද්දී, හිතෝපදේශ 4:18 සැබෑවක් බව ඔප්පු වී තිබේ. “ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝකවේගන යන්නාවූ අලුයම් ආලෝකය මෙන්ය” කියා එහි පැවසේ. අප නිරන්තරයෙන්ම ප්‍රගතිශීලීව ලබන ආත්මික ඥානාලෝකය සම්බන්ධයෙන් මොනතරම් ස්තුතිපූර්වක විය යුතුද! උදාහරණයකට 1919දී සීඩා පොයින්ට් ඔහයෝහි පැවැති සමුළුවක දේවරාජ්‍යයෙහි වැදගත්කම හුවා දක්වන ලදි. යෙහෝවා ඒ රාජ්‍යය යොදාගන්නේ තම නාමය විශුද්ධ කරන්නත්, තම පරමාධිපත්‍යය තහවුරු කරන්නත්ය. යෙහෝවාගේ අරමුණ වන්නේ, තම පුත්‍රයාගේ පාලනය යටතේ තිබෙන රාජ්‍යය තුළින් තම නාමය විශුද්ධ කිරීම බව බයිබලයේ උත්පත්ති පොතේ සිට එළිදරව්ව දක්වා සනාථ කෙරේ. ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන සියලුදෙනාගේ සියලු බලාපොරොත්තු එතුළ නිදන්ගත වී තිබේ. ඇත්තෙන්ම අප ලබා ඇති ආත්මික ඥානාලෝකය මේ සියල්ල තේරුම්ගැනීමට රුකුලක් වී ඇත.—මතෙව් 12:18, 21.

9, 10. එක්දහස් නවසිය විසිගණන්වලදී රාජ්‍යය ගැනත් එකිනෙකට විරුද්ධ සංවිධාන දෙක ගැනත් සාක්ෂිකරුවන් ඉගෙනගත්තේ කුමක්ද? මෙය ඔවුන්ට උපකාරයක් වී ඇත්තේ කෙසේද?

9 වර්ෂ 1922දී සීඩා පොයින්ට්හි පැවැත්වූ සමුළුවේදී, ප්‍රධාන කථිකයා වූ ජේ. එෆ්. රදෆඩ් දෙවිගේ සෙනඟට දිරිගැන්වූයේ “රජු හා ඔහුගේ රාජ්‍යය ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න” කියාය. වර්ෂ 1925 මාර්තු 1 මුරටැඹ කලාපයේ (ඉංග්‍රීසියෙන්) පළ වූ “ජාතියක උපත” යන ලිපියේ, 1914දී දෙවිගේ රාජ්‍යයේ පිහිටුවීම පුරෝකථනය කළ අනාවැකි සම්බන්ධයෙන් ලැබූ ආත්මික තීක්ෂ්ණ බුද්ධියට අවධානය දෙන ලදි. එක්දහස් නවසිය විසිගණන්වලදී යෙහෝවාගේ සංවිධානය සහ සාතන්ගේ සංවිධානය වශයෙන් හැඳින්විය හැකි එකිනෙකට විරුද්ධ සංවිධාන දෙකක් ඇති බව තේරුම්ගන්නා ලදි. ඒ සංවිධාන දෙක අතර නිරන්තර සටනක් පවතින අතර, අප ජය ලබනු ඇත්තේ යෙහෝවාගේ ජයග්‍රාහී සංවිධානය සමඟ කරට කර ගමන් කළහොත් පමණි.

10 මෙවැනි ආත්මික ඥානාලෝකයක් ලැබීම අපට උපකාරවත් වී ඇත්තේ කෙසේද? දෙවිගේ රාජ්‍යය සහ එහි රජ වන යේසුස් ක්‍රිස්තුස් මේ ලෝකයට අයත් නොවන නිසා, අපටද ඊට අයත් විය නොහැක. දිගටම ලෝකයට සම්බන්ධ නොවී සිටීමෙන්, අපි සත්‍යයේ පැත්තට පක්ෂව සිටින බව පෙන්වන්නෙමු. (යොහන් 17:16; 18:37) දැන් පවතින මේ දුෂ්ට ක්‍රමයේ පීඩා ගෙන දෙන සංකීර්ණ ගැටලු දෙස බලද්දී, සාතන්ගේ සංවිධානයට අයත් නොවී සිටීම සම්බන්ධයෙන් අපට මොනතරම් ස්තුතිවන්ත විය හැකිද! ඇත්තෙන්ම යෙහෝවාගේ සංවිධානය තුළ ආත්මික සුරක්ෂිතභාවයක් අද්දැකීම මොනතරම් වරප්‍රසාදයක්ද!

11. දෙවිගේ සෙනඟ 1931දී තමන්ව හැඳින්වූයේ කුමන ශුද්ධ ලියවිලිමය නාමයෙන්ද?

11 වර්ෂ 1931දී කොලම්බස් ඔහයෝහි පැවති සමුළුවේදී, යෙසායා 43:10-12හි යෝග්‍ය අදාළ කිරීමක් පැහැදිලි කරන ලදි. එවකට බයිබල් ශිෂ්‍යයන් ලෙස හැඳින්වූ ඔවුහු එදා පටන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් යන සුවිශේෂ නාමයෙන් තමන්ව හැඳින්වීමට පටන්ගත්තෝය. දෙවිගේ නාමය පතළ කරමින්, අන්‍යයන්ට එම නාමයට යාච්ඤා කර ගැළවීමේ මඟ විවෘත කිරීම මොනතරම් අනගි වරප්‍රසාදයක්ද!—ගීතාවලිය 83:17; රෝම 10:13.

12. මහත් සමූහය සම්බන්ධයෙන් 1935දී ලබා දුන් ආත්මික ඥානාලෝකය විස්තර කරන්න.

12 එක්දහස් නවසිය තිස්ගණන්වලට පෙර, දෙවිගේ ජනයාගෙන් බොහෝදෙනෙක් තමන්ගේ අනාගත බලාපොරොත්තුව සම්බන්ධයෙන් අවිනිශ්චිතභාවයෙන් පසු වූහ. ස්වර්ගික බලාපොරොත්තුවක් ඇතැයි සිතූ ඇතැම් අයගේ සිත ඇදී ගියේ, පාරාදීස පොළොවක් ගැන බයිබලයෙහි උගන්වා තිබුණු දෙයටය. එළිදරව් 7වන පරිච්ඡේදයෙහි සඳහන් මහත් සමූහය භූමික බලාපොරොත්තුවක් ඇති පංතියක් බව 1935දී වොෂිංටන් ඩී.සී.හි එක්රැස් වූ අය දැනගත් විට එය ඔවුන්ට මොනතරම් ප්‍රීතියට හේතුවක් වීද! එතැන් පටන් මහත් සමූහය එක්රැස් කිරීමේ වැඩය වේගවත් වී ඇත. මහත් සමූහයේ අනන්‍යතාව අපට අභිරහසක් නොවීම ගැන අප ස්තුතිවන්ත වන්නේ නැද්ද? සියලු ජාතීන්, ගෝත්‍ර සහ භාෂාවන්ගෙන් එක්රැස් කරනු ලබන මහත් සංඛ්‍යාව දෙස බලන කල, යෙහෝවාගේ සංවිධානය සමඟ කරට කර ගමන් කරන අපට අපගේ වේගය වැඩි කිරීමට මහත් පෙලඹීමක් ඇති වේ.

13. වර්ෂ 1941 ශාන්ත ලුවීහි පැවැත්වූ සමුළුවේදී හුවා දක්වන ලද්දේ කුමන අතිවැදගත් ප්‍රශ්නයද?

13 මිනිස් සමාජයේ සැලකිල්ලට බෙහෙවින් බඳුන් විය යුතු ප්‍රශ්නය 1941දී, ශාන්ත ලුවී මිසූරිහි පැවැත්වූ සමුළුවේදී හුවා දක්වන ලදි. එය විශ්වනීය ස්වාධිපත්‍යය නොහොත් පරමාධිපත්‍යය හා බැඳි ප්‍රශ්නයයි. මෙම ප්‍රශ්නය නොපමාව විසඳිය යුතු එකකි. තවද එය සිදු වන ගරුබිය දනවන දවස අත ළඟය. වර්ෂ 1941දී කැපීපෙනෙන්න සැලැස්වූ තවත් විෂයක් වූයේ ඒ හා බැඳි මිනිසාගේ අඛණ්ඩතාව හා සම්බන්ධ ප්‍රශ්නයයි. මෙය, දෙවිගේ පරමාධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නයේදී අපගේ ස්ථාවරය කුමක්ද කියා පෙන්වීමට අප සැමට ප්‍රස්තාව ලබා දේ.

14. වර්ෂ 1950දී පැවැත්වූ ජාත්‍යන්තර සමුළුවේදී, යෙසායා 32:1, 2හි සඳහන් අධිපතීන් ගැන පැහැදිලි කරනු ලැබුවේ කුමක්ද?

14 නියූ යෝක් නගරයේ 1950දී පැවැත්වූ ජාත්‍යන්තර සමුළුවේදී යෙසායා 32:1, 2හි සඳහන් අධිපතීන් කවුද යන්න වඩාත් පැහැදිලිව හඳුන්වා දෙන ලදි. මෙම විෂය ගැන කතා කළ සහෝදර ෆ්‍රෙඩ්රික් ෆ්‍රාන්ස්, අලුත් පොළොවේ සිටින්නට යන අධිපතීන් අප අතරම සිටින බව පැවසූ මොහොත හැඟීම් දනවන්නක් විය. එම සමුළුවේදී සහ ඉන් පසුව පවත්වා ඇති සමුළු කිහිපයකදීම ආත්මික ආලෝකය විවිධ ආකාරවලින් බැබළී තිබේ. (ගීතාවලිය 97:11) ඇත්තෙන්ම, අපගේ මාවත “ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝකවේගන යන්නාවූ අලුයම් ආලෝකය මෙන්ය.” එය මොනතරම් ආශීර්වාදයක්ද!

දේවසේවයේ අඛණ්ඩ ප්‍රගතියක්

15, 16. (අ) එක්දහස් නවසිය විසිගණන්වල සහ 1930ගණන්වල අපගේ සේවයේ අප ප්‍රගතියක් ලැබුවේ කෙසේද? (ආ) මෑත වර්ෂවලදී අපගේ ක්‍රිස්තියානි දේවසේවයට නව පණක් එක් කර ඇත්තේ කවර ප්‍රකාශනයන්ද?

15 යෙහෝවාගේ සංවිධානය අඛණ්ඩ ප්‍රගතියක් ලබා ඇති දෙවන ක්ෂේත්‍රය අපගේ ප්‍රධාන කාර්යය වන රාජ්‍ය දේශනා කිරීමේ සහ ගෝලයන් සෑදීමේ වැඩය හා සම්බන්ධයි. (මතෙව් 28:19, 20; මාර්ක් 13:10) මෙම වැඩය ඉටු කිරීමේ අරමුණින් අපගේ සේවය පුළුල් කිරීමේ වැදගත්කම සංවිධානය අපට නිතරම පාහේ අවධාරණය කරයි. වර්ෂ 1922දී සියලුම ක්‍රිස්තියානීන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ දේශනා කිරීමේ වැඩෙහි සහභාගි වන්නට කියාය. තම ආලෝකය විහිදුවාලීම එකිනෙකාගේ පෞද්ගලික වගකීම වූ අතර, එමගින් සත්‍යයට සාක්ෂි දැරීමේ කාර්යයෙහි පෞද්ගලිකව සහභාගි වීමේ අවස්ථාවද උදා විය. (මතෙව් 5:14-16) වර්ෂ 1927දී ඉරු දින ක්ෂේත්‍ර සේවය සඳහා වෙන් කරන ලද දවසක් ලෙස නියම කිරීමට පියවර ගන්නා ලදි. වර්ෂ 1940 පෙබරවාරි සිට අද දක්වා සාක්ෂිකරුවන් ව්‍යාපාරික ප්‍රදේශයන්හි වීදිවල මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ඉදිරිපත් කිරීම කාටත් සුපුරුදු දසුනක් වී ඇත.

16 වර්ෂ 1937දී පාඩම් කිරීමට අත්වැලක් යන පොත් පිංචය (ඉංග්‍රීසියෙන්) හඳුන්වා දෙනු ලැබූ අතර, අන්‍යයන්ට බයිබලයේ සත්‍යතාවන් ඉගෙනීමට උපකාර කිරීම සඳහා නැවත බැලීම් කිරීමේ ඇති අවශ්‍යතාව එහි අවධාරණය කෙරිණ. සේවයේ මෙම අංගයට නව පණක් ලැබුණේ 1946දී “දෙවි සැබෑ බවට ඔප්පු වේවා!” සහ 1968දී සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය යන පොත් ප්‍රකාශයට පත්වීමත් සමඟය. දැනට අපි සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම යන පොත භාවිත කරමින් සිටින්නෙමු. මෙවන් තොරතුරු ශිෂ්‍යයෙකු සමඟ පියවන විට ගෝලයෙකු වීමට හොඳ ශුද්ධ ලියවිලිමය පදනමක් දමා ඇති බව පැවසිය හැක.

සංවිධානාත්මක සකස් කිරීම්වල අඛණ්ඩ ප්‍රගතියක්

17. යෙසායා 60:17ට එකඟව, යෙහෝවාගේ සංවිධානය අඛණ්ඩ ප්‍රගතියක් ලබා ඇත්තේ කෙසේද?

17 යෙහෝවාගේ සංවිධානය අඛණ්ඩ ප්‍රගතියක් ලබා ඇති තුන්වන ක්ෂේත්‍රය, සංවිධානාත්මක සකස් කිරීම් හා සම්බන්ධයි. යෙසායා 60:17ට අනුව, යෙහෝවා මෙසේ පොරොන්දු විය. “මම පිත්තල වෙනුවට රත්රන් ගෙනෙන්නෙමි, යකඩ වෙනුවට රිදීද ලී වෙනුවට පිත්තලද ගල් වෙනුවට යකඩද ගෙනෙන්නෙමි. මම නුඹේ මුලාදෑනීන් සමාදානයද නුඹේ ආණ්ඩුකාරයන් ධර්මිෂ්ඨකමද වෙන්ට සලස්වන්නෙමි.” මෙම අනාවැකියට එකඟව, රාජ්‍යය දේශනා කිරීමේ වැඩය සහ රැළ රැකබලා ගැනීමේ කාර්යයන් අධීක්ෂණය කිරීම දියුණු කිරීමට පියවර ගෙන තිබේ.

18, 19. ගෙවී ගොස් ඇති වර්ෂ කිහිපය පුරා සංවිධානාත්මක අතින් කවර සකස් කිරීම් සිදු කර තිබේද?

18 වර්ෂ 1919දී සෑම සභාවකම සේවා අධ්‍යක්ෂකයෙකුව පත් කරන ලදි. ඔහුගෙන් අපේක්ෂා කළේ ක්ෂේත්‍ර සේවය සංවිධානය කිරීමයි. මෙය ක්ෂේත්‍ර සේවයේ යෙදීමට දිරියක් ලබා දුන්නේය. වර්ෂ 1932දී වැඩිමහල්ලන්ව සහ වෙනත් වගකිව යුත්තන්ව ඡන්දයෙන් පත් කිරීම නතර කරන ලදි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවලින් ඉවත් වීම ඉන් සනිටුහන් විය. වර්ෂ 1938දී තවත් සුවිශේෂී වෙනසක් සිදු කරන ලදි. එදා පටන් සභාවෙහි සිටි සියලුම සේවකයන්ව පත් කළේ මුල් ක්‍රිස්තියානි සභාවේ දක්නට ලැබුණු දිව්‍යාණ්ඩු පිළිවෙත වඩාත් කිට්ටුවෙන් අනුගමනය කරමින්ය. (ක්‍රියා 14:23, 1 තිමෝති 4:14) මුල් ක්‍රිස්තියානීන් අතර සේවය කිරීම සඳහා පුරුෂයන්ව පත් කළාක් මෙන්, 1972දී අවේක්ෂකයන්ව සහ උපස්ථායක සේවකයන්ව සේවය සඳහා පත් කරනු ලැබීය. සභාවක අවේක්ෂකයෙකු ලෙස එක පුරුෂයෙකු පමණක් සේවය කිරීම තවදුරටත් සිදු නොවීය. පිලිප්පි 1:1 සහ වෙනත් බයිබල් පදවලට එකඟව අවේක්ෂකයන් ලෙස සේවය කිරීමට ශුද්ධ ලියවිලිමය සුදුසුකම් තිබෙන පුරුෂයන්ගෙන් සමන්විත වැඩිමහල් මණ්ඩලයක් සභාවක සිටිය යුතුය.—ක්‍රියා 20:28; එපීස 4:11, 12.

19 වර්ෂ 1975දී දෙවිගේ සංවිධානයේ ලෝක ව්‍යාප්ත කර්තව්‍යය අධීක්ෂණය කිරීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය තුළම කමිටු පිහිටුවන ලදි. ඒත් සමඟම යම් රටක හෝ ප්‍රදේශයක වැඩ අධීක්ෂණය කිරීමට ශාඛා කමිටු පත් කරනු ලැබීය. එතැන් පටන් අපගේ මූලස්ථානයේ සහ වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලවල වැඩ තවත් සරල කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත්තේ “වඩාත් වැදගත් දෙයට මුල් තැන” දීමේ අරමුණෙනි. (පිලිප්පි 1:9, 10NW) ක්‍රිස්තුස් යටතේ සේවය කරන එඬේරුන්ගේ වගකීම් මෙලෙස කැටි කොට දැක්විය හැක. එවැන්ජලිස්ත සේවයෙහි පෙරමුණ ගැනීම. සභාවෙහි ඉගැන්වීම. දෙවිගේ රැළ නිසි ආකාරයෙන් රැකබලා ගැනීම.—1 තිමෝති 4:16; හෙබ්‍රෙව් 13:7, 17; 1 පේතෘස් 5:2, 3.

යේසුස්ගේ ක්‍රියාශීලී නායකත්වය

20. යෙහෝවාගේ සංවිධානය සමඟ කරට කර ගමන් කරද්දී, යේසුස්ගේ තත්වය සම්බන්ධයෙන් අප කුමක් තේරුම්ගත යුතුද?

20 යෙහෝවාගේ ප්‍රගතිශීලී සංවිධානය සමඟ කරට කර ගමන් කිරීමට නම්, “සභාවේ හිසව” සිටින යේසුස් ක්‍රිස්තුස්ට දෙවිගෙන් ලැබී ඇති පැවරුම තේරුම්ගැනීම අවශ්‍යය. (එපීස 5:22, 23) මෙහිදී යෙසායා 55:4හි පවසා ඇති දේ සැලකිල්ලට ගැනීමද වටී. යෙහෝවා එහි මෙසේ පවසයි. ‘බලව, ඔහු ජනයන්ට සාක්ෂිකාරයෙක්ද ජනයන්ට අධිපතියෙක් හා ආණ්ඩුකාරයෙක්ද කොට දුනිමි.’ පෙරමුණ ගෙන කටයුතු කරන්නේ කෙසේද කියා යේසුස් දන්නා බවට සැකයක් නැත. තම බැටළුවන් කවුද කියාත් ඔවුන්ගේ ක්‍රියාවන් මොනවාද කියාත් ඔහු දනී. මෙය සනාථ කරමින්, සුළු ආසියාවේ පිහිටි සභාවන් සත සෝදිසි කර බලද්දී යේසුස් පස් වතාවක්ම පැවසුවේ ‘නුඹේ ක්‍රියාවල් දනිමි’ කියාය. (එළිදරව් 2:2, 3, 19; 3:1, 8, 15) අපගේ පිය වූ යෙහෝවා මෙන් යේසුස්ද අපගේ අවශ්‍යතා මොනවාද කියා දන්නේය. ආදර්ශ යාච්ඤාව හඳුන්වා දීමට මත්තෙන් යේසුස් මෙසේ පැවසීය. ‘නුඹලාගේ පියාණන්ගෙන් නුඹලා යමක් ඉල්ලන්ට පළමුවෙන් නුඹලාට වුවමනා දේ කුමක්දැයි ඔහු දන්නේය.’—මතෙව් 6:8-13.

21. යේසුස්ගේ නායකත්වය ක්‍රිස්තියානි සභාව තුළ ප්‍රකාශ වන්නේ කෙලෙසද?

21 යේසුස්ගේ නායකත්වය ප්‍රකාශ වන්නේ කෙලෙසද? “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” නොහොත් ක්‍රිස්තියානි අවේක්ෂකයන් මගින්ය. (එපීස 4:8NW) ආලේප ලත් අවේක්ෂකයන් ක්‍රිස්තුස්ගේ දකුණතෙහි සිටින ආකාරය, එනම් ඔහුගේ පාලනය යටතේ ක්‍රියා කරන ආකාරය එළිදරව් 1:16හි විස්තර කර ඇත. අදදින මෙවැනි පුරුෂයන්ට ස්වර්ගික හෝ භූමික බලාපොරොත්තුවක් තිබුණත්, වැඩිමහල්ලන් සිටීම සඳහා විධිවිධානය ක්‍රියාත්මක වන්නේ යේසුස්ගේ මඟ පෙන්වීම යටතේය. කලින් ලිපියේ පැහැදිලි කළ පරිද්දෙන්, ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් අවශ්‍යතාවන්වලට එකඟව ඔවුන්ව පත් කර ඇත්තේ ශුද්ධාත්මයේ මඟ පෙන්වීම ඇතුවය. (1 තිමෝති 3:1-7; තීතස් 1:5-9) මුල් සියවසේදී, සභාවන්වල ක්‍රියාකාරකම් සහ සමස්තයක් වශයෙන් රාජ්‍ය දේශනා කිරීමේ වැඩය අධීක්ෂණය කිරීමට යෙරුසලමෙහි සිටි වැඩිමහල්ලන් කණ්ඩායමක් පාලක මණ්ඩලයක් ලෙස කටයුතු කළේය. අදදින යෙහෝවාගේ සංවිධානය තුළ එම ආකෘතියම අනුගමනය කරනු ලැබේ.

යමු කරට කර!

22. පාලක මණ්ඩලය සපයන්නේ කෙබඳු උපකාරයක්ද?

22 මිහිපිට රාජ්‍ය කටයුතු විශ්වාසයෙන් භාර දී තිබෙන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය මගින් නියෝජනය කරනු ලබන ‘විශ්වාස වූ නුවණ ඇති දාසයාටය.’ (මතෙව් 24:45-47) පාලක මණ්ඩලයේ මූලික සැලකිල්ල යොමු වන්නේ ක්‍රිස්තියානි සභාවට ආත්මික උපදෙස් සහ මඟ පෙන්වීම ලබා දීම කෙරෙහිය. (ක්‍රියා 6:1-6) කෙසේවෙතත්, සෙසු ඇදහිලිවන්තයන් යම් ස්වාභාවික විපත්තියකට ගොදුරු වේ නම්, අවශ්‍ය සහනාධාර ලබා දීමට සහ අලාභහානි වූ නිවෙස් සහ රාජ්‍ය ශාලාවල් අලුත්වැඩියා කිරීමට හෝ පිළිසකර කිරීමට පාලක මණ්ඩලය නීතික සංස්ථාවක හෝ කිහිපයක සහාය ලබයි. ඇතැම් ක්‍රිස්තියානීන් පීඩාවලට හෝ වෙනත් කුරිරු අද්දැකීම්වලට ලක් වේ නම්, ආත්මික වශයෙන් ඔවුන්ව ශක්තිමත් කිරීමට පියවර ගනු ලැබේ. ‘අකාලයේදී’ එනම් පීඩාකාරි අවස්ථාවලදී වුවත්, දේශනා කිරීමේ වැඩය බාධාවකින් තොරව කරගෙන යෑමට සෑහෙන වෑයමක් දරන ආකාරය අපට දැකගත හැක.—2 තිමෝති 4:1, 2.

23, 24. යෙහෝවාගේ සේවකයන් මුහුණ දෙන ඕනෑම අසීරුතාවකදී ඔහු නොමදව සපයන්නේ කුමක්ද? අපගේ අදිටන කුමක් විය යුතුද?

23 තමන්ගේ සෙනඟ කවර අසීරුතාවකට මුහුණ දුන්නත්, යෙහෝවා ආත්මික ආහාර සහ අවශ්‍ය මඟ පෙන්වීම නොමදව සපයයි. දිව්‍යාණ්ඩු සංවිධානයේ මතු දියුණුවට සහ සකස් කිරීම්වලට සූදානම් වීම සඳහා අදාළ සහෝදරයන්ට විචාර බුද්ධිය සහ තීක්ෂ්ණ බුද්ධිය අවශ්‍යය. මෙයද දෙවිගෙන් ලැබෙන්නකි. (ද්විතීය කථාව 34:9; එපීස 1:16, 17) ගෝලයන් සෑදීමට අප ලබා ඇති පැවරුමද, අපගේ සේවය ලොව වටා සිදු කිරීමේ කාර්යයද සම්පූර්ණ කිරීම සඳහා අපට අවශ්‍ය සියල්ල යෙහෝවා සපයන බවට කිසිදු සැකයක් නොමැත.—2 තිමෝති 4:5.

24 යෙහෝවා තම විශ්වාසවන්ත ජනයාව කිසිදාක අත් නාරින බවටත්, මතු පැමිණෙන ‘මහත් පීඩාවෙන්’ ඔවුන්ව ගළවන බවටත් පූර්ණ නිසැකකමක් අපට තිබේ. (එළිදරව් 7:9-14; ගීතාවලිය 94:14; 2 පේතෘස් 2:9) මුලින් තිබූ නිසැකකම අන්තිමය දක්වා ස්ථිරව පවත්වාගැනීමට අපට ස්ථිරසාර පදනමක් ඇත. (හෙබ්‍රෙව් 3:15) එබැවින් යෙහෝවාගේ සංවිධානය සමඟ කරට කර ගමන් කිරීම අපගේ අදිටන කරගනිමු.

ඔබේ පිළිතුර?

• යෙහෝවාගේ සංවිධානය අඛණ්ඩ ප්‍රගතියක් ලබන බව අපට පැවසිය හැක්කේ මන්ද?

• දෙවිගේ ජනයා ප්‍රගතිශීලී ආත්මික ඥානාලෝකයක් ලබන බවට තිබෙන සාක්ෂි මොනවාද?

• ක්‍රිස්තියානි දේවසේවය සම්බන්ධයෙන් ලබා ඇති දියුණුව විස්තර කරන්න.

• යෙහෝවාගේ සේවකයන් සංවිධානාත්මක විධිවිධාන සම්බන්ධයෙන් කර ඇති කාලෝචිත සකස් කිරීම් විස්තර කරන්න.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[17වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ පුදුම ක්‍රියා සියල්ල විස්තර කිරීමට දාවිත්ට මෙන් අපටද නොහැක

[18වන පිටුවේ පින්තූරය]

සංවිධානාත්මක ක්‍රියා පරිපාටියෙහි සිදු කරන කාලෝචිත සකස් කිරීම්වලින් දෙවිගේ රැළ ප්‍රයෝජන ලබා ඇත