විශේෂ නිවේදනයක්
විශේෂ නිවේදනයක්
වර්ෂ 2000 ඔක්තෝබර් හත්වෙනිදා පැවැත්වූ වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියාහි වාර්ෂික රැස්වීම අවසානයේදී, රැස්වීමේ සභාපති වන පාලක මණ්ඩලයේ සාමාජික ජෝන් ඊ. බාර් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරන ලදි. රැස්වීමේ මුල් භාගයේදී තියඩෝ ජැරැස් සහ ඩැනියල් සිඩ්ලික් විසින් ඉදිරිපත් කළ කතා මේ නිවේදනයට පදනමක් සැපයීය.—මේ සඟරාවේ 12-16 සහ 28-31 දක්වා පිටු බලන්න.
ඉතා වැදගත් කරුණක් කාවද්දමින් සහෝදර බාර් මෙසේ සඳහන් කළේය. “‘විශ්වාස වූ නුවණැති දාසයා’ සහ එහි පාලක මණ්ඩලයට පැවරී ඇති වගකීම් නීතික සංස්ථාවකට තිබෙන වගකීම්වලට වඩා උත්තරීතරය. එවැනි නීතික සංස්ථාවන්ගේ ප්රඥප්තීන් ආත්මික කාරණා තරම් පුළුල් ස්වරූපයක් ගන්නේ නැහැ. කෙසේවෙතත්, අපේ ස්වාමියා වන යේසුස් ක්‍රිස්තුස් විසින් ඔහුගේ මුළු ‘සන්තකයම’ කෙරෙහි එනම්, පොළොව මත සිදු කෙරෙන සියලුම රාජ්‍ය කාරණා කෙරෙහි විශ්වාස වූ දාස පංතිය පත් කර තිබීමෙන් අදහස් වන්නේ ආත්මික මෙන්ම ඊට අදාළ සියලුම කාරණා එම දාසයාගේ අධීක්ෂණය යටතේ පවතින බවයි.”—මතෙව් 24:45-47.
පෙන්සිල්වේනියාවේ පිහිටි මෙම සංස්ථාව සම්බන්ධයෙන් සහෝදර බාර් මෙසේ සඳහන් කළේය. “1884දී පෙන්සිල්වේනියාවේ වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි යන සංස්ථාව පිහිටවූ දා සිට, මේ දක්වා එමගින් ඉතා වැදගත් වැඩ කොටසක් ඉටු කර තිබෙනවා. නමුත් එය ‘විශ්වාස වූ නුවණැති දාසයා’ විසින් අවශ්‍ය වූ විට පමණක් ප්‍රයෝජනයට ගන්නා නීතික සංස්ථාවක් බව අප මතක තබාගත යුතුයි.”
සහෝදර සිඩ්ලික් සහ ජැරැස් ඉදිරිපත් කළ කතාවන්වලදී මෙම කාරණාද පැහැදිලි කළෝය. ‘විශ්වාස වූ නුවණැති දාසයාට’ පොළොව සන්තක සියල්ල ස්වාමීන් විසින් භාර දී තිබෙනවා කීමේදී, යම් දෛනික පරිපාලන වගකීම් “වෙනත් බැටළුවෝ” අතරෙහි සිටින වගකිව යුතු පුරුෂයන්ට පැවරීමෙන් වැළකිය යුතුයි කියා අදහස් කරන්නේ නැත. (යොහන් 10:16) එමෙන්ම, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නීතික සංස්ථාවේ අධ්‍යක්ෂකවරුන් සියලුදෙනාම හෝ කිහිපදෙනෙකු ආලේප ලත් ක්‍රිස්තියානීන් විය යුතුයි කියා ශුද්ධ ලියවිල්ලේ කොතැනකවත් සඳහන් වීද නැත.
සහෝදර බාර් තවදුරටත් සබයට මෙසේද පැවසුවේය. එක්සත් ජනපදය තුළ “විශ්වාස වූ නුවණැති දාසයා” විසින් පාවිච්චි කරනු ලබන සියලුම සංස්ථාවන්ගේ අධ්යක්ෂ මණ්ඩලවල නිලතල හෝ අධ්‍යක්ෂක තනතුරු දරන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයන් එම තනතුරුවලින් මෑතකදී කැමැත්තෙන්ම ඉවත් වී ඇත. වෙනත් බැටළුවන් අතරෙහි සිටින වගකිව යුතු සහෝදරයන්ව ඒ වෙනුවට පත් කර ඇති බවද හෙතෙම පැවසීය.
මේ තීරණය ඇත්තෙන්ම ප්‍රයෝජනදායකය. ආත්මික ආහාර පිළියෙළ කිරීමට සහ ලෝක ව්‍යාප්ත සහෝදරත්වයට වුවමනා කරන අනිකුත් ආත්මික අවශ්‍යතා බලාකියා ගැනීමට දැන් පාලක මණ්ඩලයට වැඩි කාලයක් මෙමගින් ඉතිරි වේ.
අවසාන වශයෙන්, ප්‍රීති උද්දාමයට පත් සබයට රැස්වීමේ සභාපති මෙසේ පැවසීය. “විවිධ නීතික කටයුතු සහ පරිපාලන කටයුතු අද්දැකීම් ලත් අවේක්ෂකයන්ට පැවරුවත් . . . ඔවුන් සියලුදෙනාම වැඩ කරන්නේ පාලක මණ්ඩලයේ ආත්මික මඟ පෙන්වීම යටතෙයි. . . . යෙහෝවාගේ උත්කෘෂ්ට නාමයට ගෞරවයත් මහිමයත් ගෙන ඒම සඳහා ඔහුගේ කැමැත්ත කිරීමට අප ගන්නාවූ මේ එක්සත් වෑයමට ඔහුගේ ආශීර්වාද ඉල්ලා අප සියලුදෙනාම යාච්ඤාපූර්වකව යෙහෝවා වෙත හැරෙමු.”