ඔබ සත්‍යය ඔබේම වස්තුවක් කරගෙන තිබෙනවාද?
ඔබ සත්‍යය ඔබේම වස්තුවක් කරගෙන තිබෙනවාද?
‘දෙවිගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු වූ සම්පූර්ණ වූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත් කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වන්න.’—රෝම 12:2.
1, 2. අදදින සැබෑ ක්‍රිස්තියානියෙකු වීම අභියෝගයක් වන්නේ මන්ද?
අප ජීවත් වන “කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි” මෙම අන්තිම දවස්වලදී සැබෑ ක්‍රිස්තියානියෙකු වීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. (2 තිමෝති 3:1, NW) ඇත්තෙන්ම ක්‍රිස්තුස්ගේ ආදර්ශය අනුගමනය කිරීමට යමෙකු ලෝකයෙන් ජයගත යුතුය. (1 යොහන් 5:4) ක්‍රිස්තියානීන් යා යුතු මාර්ගය ගැන යේසුස් පැවසූ දෙය ඔබට මතක තිබිය හැක. ඔහු මෙසේ පැවසීය. “පටු දොරටුවෙන් ඇතුල්වෙන්න. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය. මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය.” ඔහු මෙසේද පැවසීය. “යමෙක් මා පස්සේ එන්ට කැමති නම්, ඔහු තමාගේම ආශා වලකාගෙන, දවස්පතා තමාගේ [වධකණුව] රැගෙන, මා අනුව ඒවා.”—මතෙව් 7:13, 14; ලූක් 9:23.
2 ජීවනය කරා යන අවහිර පාරේ ගමන ආරම්භ කිරීම පමණක් මදිය. ඊළඟට ක්‍රිස්තියානියෙකුට තිබෙන අභියෝගය වන්නේ එම පාරෙහි රැඳී සිටීමය. මෙය අභියෝගයක් වන්නේ මන්ද? අපගේ කැපවීම සහ බව්තීස්මයෙන් පසු, සාතන් තම කපටි ක්‍රියා නොහොත් සූක්ෂ්ම උපා තුළින් අපව රැවටීමට විශේෂ උත්සාහයක් දරන නිසාය. (එපීස 6:11, NW පාදසටහන) අපගේ දුර්වලකම් සැලකිල්ලට ගන්නා ඔහු, අපගේ ආත්මිකත්වය බිඳ දැමීමේ අරමුණින් ඒවා තම වාසියට හරවාගැනීමට උත්සාහ දරයි. ඔහු යේසුස්ගේ අඛණ්ඩතාව බිඳ දැමීමට උත්සාහ කළා නොවේද? එසේ නම් අපට කිසිවක් නොකර සිටියි කියා සිතිය හැකිද?—මතෙව් 4:1-11.
සාතන්ගේ කපටි ක්‍රියා
3. සාතන් ඒවගේ මනසෙහි සැකයේ බීජ වැපිරුවේ කෙසේද?
3 සාතන් පාවිච්චි කරන එක් උපක්‍රමයක් නම් අපගේ මනසෙහි සැකයේ බීජ වැපිරීමය. අපගේ ආත්මික යුද්ධායුධ කට්ටලයේ දුර්වලකම් ඇද්දැයි ඔහු පරීක්ෂා කරයි. මුලදී ඒවව රැවටීමට ඔහු පාවිච්චි කළෙත් මෙම උපක්‍රමයයි. ‘ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා දෙවි කීවාදැයි’ ඔහු ඇසීය. (උත්පත්ති 3:1) වෙනත් වචනවලින් කියනවා නම්, සාතන් පළ කළේ මෙවැනි අදහසකි. ‘දෙවි ඇත්තටම මේ වගේ තහනමක් පැනෙව්වාද? ඔහු ඔබෙන් යම් යහපත් දෙයක් වළක්වනවා නොවේද? ගසින් කෑ දා ඔබේ ඇස් විවෘත වී යහපත හා නපුර දැනගෙන දෙවිට සමාන වන බව දෙවි දන්නවා නොවේද?’ සැකයේ බීජයක් වැපිරූ සාතන්, එය රෝපණය වන තෙක් බලා සිටියේය.—උත්පත්ති 3:5.
4. අදදින ඇතැම් අය කුමනාකාරයේ සැකයන්වලට ගොදුරු විය හැකිද?
4 සාතන් මෙම උපක්‍රමය අදදින පාවිච්චි කරන්නේ කෙසේද? අපි අපගේ බයිබල් කියවීම, පෞද්ගලික පාඩම, යාච්ඤාව සහ ක්‍රිස්තියානි සේවය මෙන්ම රැස්වීම් අතපසු කරන්නෙමු නම්, වෙනත් අය ඉස්මතු කරන සැකයන්වලට පහසුවෙන් ගොදුරු වීමේ ඉඩ කඩ වැඩිය. නිදසුනකට, “අප අනුගමනය කරන්නේ යේසුස් ඉගැන්වූ සත්‍යයමයි කියා අප දන්නේ කෙසේද?” “දැන් අපි 21වන සියවසටත් පා තබා හමාරයි. අපි ඇත්තටම සිටින්නේ අන්තිම දවස්වලද?” “අර්මගෙදොන් අත ළඟද? එසේ නැත්නම් ඒ සඳහා තවත් කල් තිබේද?” මෙවැනි සැකයන් පහළ වන්නේ නම්, ඒවා ඉවතලන්නේ කෙසේද?
5, 6. අප තුළ සැකයන් පහළ වෙනවා නම්, කුමක් කළ යුතුද?
5 යාකොබ් දුන් මෙම ඉතා ප්‍රායෝගික උපදෙස සලකා බලන්න. “නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ [දෙවිගෙන්] ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ. නුමුත් අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා. මක්නිසාද අනුමානකරන්නා සුළඟින් ගෙනයන්නාවූ, සෙලවෙන්නාවූ මුහුදේ රැළට සමානය. එබැවින් එබඳු මනුෂ්‍යයා තමාට [යෙහෝවාගෙන්] යමක් ලැබේයයි නොසිතාවා. ඔහු දෙසිත් ඇති මනුෂ්‍යයෙක්ව, තමාගේ සියලු මාර්ගවලදී අස්ථිරව සිටින්නේය.”—යාකොබ් 1:5-8.
6 එසේ නම්, අප කුමක් කළ යුතුද? අප යාච්ඤා පූර්වකව ඇදහිල්ල සහ අවබෝධය ‘දෙවිගෙන් ඉල්ලා’ සිටිය යුතු අතර, යම් ප්‍රශ්න හෝ සැකයන් ඇත්නම්, පෞද්ගලික පාඩම සඳහා අප වැඩි කාලයක් මිඩංගු කරමින්, අමතර වෑයමක්ද දැරීම සුදුසුය. ඇදහිල්ලෙන් ශක්තිමත් අයගේ උපකාරයද ඉල්ලිය හැකි අතර, අපට අවශ්‍ය මඟ පෙන්වීම යෙහෝවාගෙන් ලැබෙන බවට කිසිදාක සැක නොකළ යුතුය. යාකොබ් මෙසේ පැවසීය. ‘දෙවිට යටත්ව සිටින්න; නමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න. එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත. දෙවිට ළං වෙන්න, එවිට ඔහු නුඹලාට ළං වෙන්නේය.’ අධ්‍යයනයෙන් සහ යාච්ඤාවෙන් අප දෙවිට ළං වනවා නම්, අපගේ සැකයන් දුරු කරගත හැකිය.—යාකොබ් 4:7, 8.
7, 8. යේසුස් හඳුන්වා දුන් නමස්කාර පිළිවෙත කුමක්ද කියා තීරණය කිරීමට උපකාරවත් වන මූලික සාධක සමහරක් මොනවාද? මෙම සාධකවලට එකඟව කටයුතු කරන්නේ කවුරුන්ද?
7 නිදසුනකට, මෙම ප්රශ්නය සලකා බලන්න. අප යේසුස් හඳුන්වා දුන් නමස්කාර පිළිවෙත අනුගමනය කරනවා කියා දන්නේ කෙසේද? මෙම ප්රශ්නය නිරාකරණය කිරීමට නම්, සලකා බැලිය යුත්තේ කුමක්ද? සැබෑ ක්‍රිස්තියානීන් අතර අව්‍යාජ ප්‍රේමයක් තිබිය යුතු බව බයිබලය පෙන්වා දෙයි. (යොහන් 13:34, 35) ඔවුන් යෙහෝවා යන දෙවිගේ නාමය විශුද්ධවත් කළ යුතුය. (යෙසායා 12:4, 5; මතෙව් 6:9) තවද එම නාමය සැම තැනකම පතළ කළ යුතුය.—නික්මයාම 3:15; යොහන් 17:26.
8 සැබෑ නමස්කාරය හඳුනාගැනීමට ඇති තවත් ලක්ෂණයක් වන්නේ දේවවචනය වන බයිබලය සඳහා දක්වන ගෞරවයයි. දෙවිගේ පෞද්ගලිකත්වය සහ අරමුණු එළිදරව් කරන එය අද්විතීය ග්රන්ථයකි. (යොහන් 17:17, 18අ; 2 තිමෝති 3:16) මීට අමතරව මිනිසාට පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඉටු වන්නේ දේවරාජ්‍යය තුළින් පමණක් බව සැබෑ ක්‍රිස්තියානීහු ප්‍රකාශ කර සිටිති. (මාර්ක් 13:10; එළිදරව් 21:1-4) සැබෑ ක්‍රිස්තියානීහු මෙම ලෝකයේ දූෂිත දේශපාලනයෙන් සහ ජීවන රටාවෙන් ඈත්ව සිටිති. (යොහන් 15:19; යාකොබ් 1:27; 4:4) අදදින මෙම අවශ්‍යතාවන්වලට අනුකූලව ක්‍රියා කරන්නේ කවුරුන්ද? තිබෙන සාක්ෂිවලින් පැහැදිලිව පැවසිය හැක්කේ මීට පිළිතුර යෙහෝවාගේ සාක්ෂිකරුවන් බවය.
සැකයන් පහ කළ නොහැකි නම්?
9, 10. ඉක්මනින් පහ කළ නොහැකි සැකයන් ජයගැනීමට අපට කුමක් කළ හැකිද?
9 අප සැකයන් කන්දරාවකින් වට වී ඇත්නම්, කුමක් කළ යුතුද? ප්‍රඥාවන්ත සාලමොන් රජ අපට පිළිතුරු සපයයි. “මාගේ පුත්‍රය, නුඹ මාගේ කීම් පිළිගෙන, මාගේ ආඥා නුඹ වෙත තබාගෙන, ප්‍රඥාවට ඇහුම්කන්දී, ඥානයට නුඹේ සිත යොමුකරන්නෙහි නම්, එසේය, නුඹ නුවණට හඬගසා, ඥානයට නුඹේ ශබ්දය නගන්නෙහි නම්, නුඹ රිදී මෙන් ඇය සොයා, නිධාන ගැන මෙන් ඇය ගැන විභාගකරන්නෙහි නම්, නුඹ [යෙහෝවා] කෙරෙහි භයවීම තේරුම්ගන්නෙහිය, [දෙවි] හැඳිනගැනීමටද පැමිණෙන්නෙහිය.”—හිතෝපදේශ 2:1-5, අකුරු ඇල කළේ අපය.
10 එම බැරෑරුම් අදහස ඔබේ සිතට කාවැදුණාද? දෙවිගේ ප්‍රඥාවට උනන්දුවෙන් අවධානය යොමු කිරීමට අප කැමති නම් ‘දෙවි හැඳිනගැනීමේ’ ප්‍රස්තාව අපට අත් වන්නේය. එසේ නම්, මෙම මුළු මහත් විශ්වයේ පරමාධිපති ස්වාමීන්ගේ කීම් පිළිගෙන ඒවා නිදන් කරගැනීමට අපි කැමැත්තෙමු නම්, ඔහු පිළිබඳ දැනුම ලබාගැනීමට, ඔව් ඔහුව හැඳිනගැනීමට අපට පුළුවන. යාච්ඤාවෙන් සහ පෞද්ගලික පාඩම තුළින් යෙහෝවාට සමීප විය යුතු බව මින් අදහස් කෙරේ. දේවවචනයෙහි අන්තර්ගත සැඟවුණු නිධාන යම් සැකයන් ඉවත් කරගනිමින්, සත්‍යයේ ආලෝකය දැකගැනීමට මහෝපකාරි විය හැක.
11. එලිෂාගේ සේවකයා සැකයේ උගුලට හසු වූයේ කෙසේද?
11 බියෙන් සහ සැකයෙන් වෙළී සිටි දේවසේවකයෙකුට යාච්ඤාව උපකාරවත් වූ ආකාරය, 2 රාජාවලිය 6:11-18හි සඳහන් වාර්තාවෙන් පැහැදිලිව දැකගත හැකිය. එලිෂාගේ සේවකයාගේ ආත්මික දෘෂ්ටියේ අඩුවක් තිබිණ. සිරියානු හමුදාව විසින් වට කරනු ලැබූ දෙවිගේ අනාගතවක්තෘට සහාය වීමට පැමිණි ස්වර්ගික සේනාවක් සිටින බව වටහාගැනීමට ඔහු අපොහොසත් විය. භයෙන් භිරාන්ත වූ ඔහු මෙසේ මොරගැසීය. “අහෝ ස්වාමිනි, අපි මක්කරමුද”? එලිෂාගේ ප්‍රතිචාරය? “භයනොවන්න. මක්නිසාද ඔවුන් සමග සිටින්නන්ට වඩා අප සමග සිටින්නෝ බොහෝය.” මෙම ස්වර්ගික සේනාව සියැසින් දැකගැනීමට සේවකයාට නොහැකි වූ නිසා, එය ඔහුගේ තේරුම්ගැනීමට බාධාවක් විය. එසේ නම්, යථාර්ථය ඔහුට ඒත්තුගන්වන්නේ කෙසේද?
12. (අ) සේවකයාගේ සැකයන් දුරු කරනු ලැබුවේ කෙසේද? (ආ) අපට තිබිය හැකි සැකයන් දුරු කළ හැක්කේ කෙසේද?
12 “එවිට එලිෂා යාච්ඤාකොට: [යෙහෝවා], දකින පිණිස මොහුගේ ඇස් පැහැදුවමැනවයි කීවේය. [යෙහෝවා] තරුණයාගේ ඇස් [පැහැදුවේය]. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන්ද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය.” මෙම අවස්ථාවේදී එලිෂාට ආරක්ෂාව ලබා දෙමින් සිටි ස්වර්ගික සේනාවන් සියැසින් දැකගැනීමට යෙහෝවා එම සේවකයාට ඉඩ සැලැස්වීය. කෙසේවෙතත්, අදදින එවැනිම උපකාරයක් ලැබෙයි කියා අප බලාපොරොත්තු නොවිය යුතුය. බයිබලය සම්පූර්ණ කර නොතිබුණු හෙයින්, අනාගතවක්තෘ එලිෂාගේ සේවකයාට තම ඇදහිල්ල ශක්තිමත් කිරීම සඳහා එය අධ්‍යයනය කිරීමට අවකාශයක් නොතිබිණ. අපට නම් බයිබලය තිබේ. එමනිසා එය හොඳින් අධ්‍යයනය කිරීමට වගබලා ගන්නවා නම්, අපගේ ඇදහිල්ලද ඒ අයුරින්ම ශක්තිමත් කරගත හැක. නිදසුනකට, යෙහෝවා සිය ස්වර්ගික විනිශ්චයකාර සභාව සමඟ සිටින ආකාරය විස්තර කරන වාර්තා කිහිපය ගැන අපට මෙනෙහි කළ හැකිය. මෙයින් අපට පැහැදිලි වන්නේ කුමක්ද? යෙහෝවාට ස්වර්ගික සංවිධානයක් ඇති බවත්, එම සංවිධානය අදදින ඔහුගේ භූමික සේවකයන් කරන ලෝක ව්‍යාප්ත අධ්‍යාපන සේවයට අත හිත දෙන බවත් එයින් අපට මනාව ඒත්තුගැන්වේ.—යෙසායා 6:1-4; එසකියෙල් 1:4-28; දානියෙල් 7:9, 10; එළිදරව් 4:1-11; 14:6, 7.
සාතන්ගේ කපටි ක්‍රියාවලට හසු නොවන්න!
13. සත්‍යය අපට කාවැදී ඇති ආකාරය දුබල කිරීමට සාතන් උත්සාහ කරන්නේ කෙලෙසද?
13 අපගේ ආත්මිකත්වය මෙන්ම සත්‍යය අපට කාවැදී ඇති ආකාරය දුබල කිරීමට සාතන් යොදන වෙනත් උපක්‍රම මොනවාද? ඉන් එකකි දුරාචාරය. දුරාචාරයට පැති රැසක් ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. කාම දාහයෙන් උමතු වූ මෙම ලොවේ අනියම් සම්බන්ධයක් ඇති කරගැනීම නැත්නම්, ඕනෑම කෙනෙකු සමඟ කාමයේ වරදවා හැසිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. මේවා, කුමක් සිදු වුවත් වින්දනය පසුපසම හඹා යන සුඛපරමවාදී පරම්පරාවක ගතිලක්ෂණ බවට පත් වී තිබේ. චිත්‍රපටවල, රූපවාහිනියේ සහ වීඩියෝ දර්ශනවල මෙවැනි ජීවන රටාවකට අනුබල දෙන දේවල් දැකිය හැක. කාමුක පොත් පත්වල අඩුවක් නැති අතර, අන්තර්ජාලයද කාමුක තොරතුරු සහ දර්ශනවලින් පිරී පවතී. ඇත්තෙන්ම, අනවශ්‍ය කුතුහලය මාරාන්තික විය හැකියි!—1 තෙසලෝනික 4:3-5; යාකොබ් 1:13-15.
14. ඇතැම් ක්‍රිස්තියානීන් සාතන්ගේ කපටි ක්‍රියාවලට හසුව ඇත්තේ මන්ද?
14 කුතුහලයෙන් දැවෙන ඇතැම් ක්‍රිස්තියානීන් එම උගුලට හසුව ඇත. ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන් තම මනස් සහ හදවත් දූෂ්‍ය කරගෙන ඇත්තේ මුලින් සාමාන්‍ය මට්ටමෙහිලා සැලකෙන කාමුක දර්ශන නැරඹීමෙන් සහ පසුව ඉතා පිළිකුල්සහගත ඒවා බැලීමට පෙලඹීමෙනි. සාතන් ඔවුන්ව ගොදුරක් කරගෙන ඇත්තේ ඔවුන්ගේම නොසැලකිලිමත්කම හේතුවෙනි. මෙය බොහෝදුරට ආත්මික විනාශයට මඟ පාදා තිබේ. මෙවැනි අය ‘නපුර සම්බන්ධයෙන් බිළින්දන්’ වීමටත්, ‘බුද්ධියෙන් පුරුෂයන්’ වීමටත් අසමත්ව ඇත. (1 කොරින්ති 14:20) දේවවචනයෙහි ප්‍රතිපත්ති සහ ප්‍රමිති රැකීමට අසමත් වීම නිසා සෑම වසරකම දහස් ගණනක් හානිකර ප්‍රතිඵල අද්දකිති. ‘දෙවිගේ සියලු යුද්ධායුධ දිගටම පැළඳගෙන’ සිටීම සම්බන්ධයෙන් ඔවුන් නොසැලකිලිමත් වී ඇත.—එපීස 6:10-13; කොලොස්සි 3:5-10; 1 තිමෝති 1:18, 19.
අප සතු දේ රැකගැනීම
15. තම ආත්මික උරුමය අගය කිරීම ඇතමුන්ට අසීරු යමක් විය හැක්කේ මන්ද?
15 යේසුස් මෙසේ පැවසීය. “නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේය.” (යොහන් 8:32) සාක්ෂිකරුවන් බොහෝදෙනෙකු සත්‍යය වැලඳගත්තේ තම අතීත ජීවන රටාවට සහ ආගමික විශ්වාසයන්වලට සදහටම ආයුබෝවන් කීමෙනි. එමනිසා, සත්‍යය හේතුවෙන් අද්දකින නිදහස අගය කිරීමට ඔවුන් වඩාත් හොඳ තත්වයක සිටී. අනික් අතට, තම දෙමාපියන්ගේ මඟ පෙන්වීම යටතේ සත්‍යය තුළ ඇති දැඩි වී ඇති අයද අප අතර සිටිත්. ඔවුන්ට තම ආත්මික උරුමය අගය කිරීම අසීරු යමක් විය හැක. බොරු ආගමෙහි හෝ විනෝදය, මත්ද්‍රව්‍ය සහ දුරාචාරය ලුහුබඳින මෙම ලෝකයෙහි හෝ කොටසක් වීමෙන් අදහස් කරන්නේ කුමක්ද කියා ඔවුන්ට නොතේරේ. එමනිසා, අපගේ ආත්මික පාරාදීසය සහ සාතන්ගේ දූෂිත ලෝකය අතර තිබෙන පැහැදිලි වෙනස දැකීමට ඔවුන් අපොහොසත් විය හැක. ප්‍රතිඵලයක් ලෙස, තමන් රස බලා නැති මේ ලොවෙහි විස රස බැලීමේ පරීක්ෂාවට පවා ඔවුන්ගෙන් කිහිපදෙනෙකු හසුව ඇත.—1 යොහන් 2:15-17; එළිදරව් 18:1-5.
16. (අ) අපට අපගෙන්ම අසාගත හැකි ප්‍රශ්න මොනවාද? (ආ) අපට උගන්වා ඇත්තේ සහ කිරීමට දිරිගන්වා ඇත්තේ කුමක්ද?
16 පිළිස්සීමෙන් ඇති වන වේදනාව තේරුම්ගැනීමට අප අපගේ ඇඟිලි ගින්නට දමන්නම අවශ්‍යද? වෙනත් අයගේ අවාසනාවන්ත අද්දැකීම්වලින් පමණක් ඉගෙනගැනීමෙන් අපට සෑහීමට පත් විය නොහැකිද? අපගෙන් යම් හොඳ දෙයක් වළක්වා ඇද්දැයි සෙවීමට අප මේ ලෝකය නමැති ‘මඩ වගුරේ පෙරළිය’ යුතුද? (2 පේතෘස් 2:20-22) කලක් ලෝකයේ කොටසක් වී සිටි මුල් සියවසේ ක්‍රිස්තියානීන්ට පේතෘස් මෙම සිහිගැන්වීම දුන්නේය. “සල්ලාලකම්වලද තෘෂ්ණාවලද බීමත්කම්වලද නපුරු මංගල්‍යවලද මත්පැන්බීම්වලද පිළිකුල්වූ රූපඇදහීම්වලද හැසිර, අන්‍යජාතීන්ගේ කැමැත්ත කරමින් නුඹලා ගතකළාවූ කාලය ඉතා ඇත.” මෙලොවෙහි “අනාචාර බහුලත්වය” අත් විඳ ජීවිතය කොතරම් පිරිහුණු තත්වයකට පත් කරගත හැකිද යන්න දැකගැනීමේ අවශ්‍යතාවක් අපට නැත. (1 පේතෘස් 4:3, 4) ඔව්, බයිබල් අධ්‍යාපන මධ්‍යස්ථාන වශයෙන් ක්‍රියාත්මක වන අපගේ රාජ්‍ය ශාලාවලදී යෙහෝවාගේ උසස් සදාචාර ප්‍රමිති මොනවාදැයි අපට පැහැදිලිව උගන්වයි. එබැවින්, අපට සත්‍යය ලැබී තිබෙන බව අපටම ඔප්පු කරගන්න අපගේම බුද්ධිය භාවිත කිරීමට දිරිගන්වා ඇත්තේ, සත්‍යය අපගේම වස්තුවක් කරගැනීමට මෙය බෙහෙවින් ඉවහල් වන බැවිනි.—යෝෂුවා 1:8; රෝම 12:1, 2; 2 තිමෝති 3:14-16.
අපගේ නාමය නිකම්ම ලේබලයක් නොවේ
17. අපට යෙහෝවා සම්බන්ධයෙන් බලපෑමෙන් යුතුව සාක්ෂි දැරිය හැක්කේ කෙසේද?
17 අපි සත්‍යය අපගේම වස්තුවක් කරගන්නවා නම්, හැකි සෑම යෝග්‍ය අවස්ථාවකම එය අන්‍යයන් සමඟ බෙදාගැනීමට පසුබට නොවන්නෙමු. උනන්දුවක් නැති අයට සත්‍යය බලෙන් පොවන්න අප උත්සාහ කරනවාය යන්න මින් අදහස් නොකෙරේ. (මතෙව් 7:6) එනමුත් අපි බයාදුකමකින් තොරව යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෙස ප්‍රසිද්ධියේ අපවම හඳුන්වා දෙන්නෙමු. එපමණක්ද නොව, අවංකව ප්‍රශ්නයක් ඇසීම තුළින් හෝ බයිබලය මත පදනම් අපගේ ප්රකාශනයක් පිළිගැනීම තුළින් පුද්ගලයෙක් සුළු වශයෙන් හෝ උනන්දුවක් පෙන්වයි නම්, අපගේ බලාපොරොත්තුව ඔහු හෝ ඇය සමඟ බෙදාගැනීමට අප යුහුසුලු වනවාට සැකයක් නැත. මින් අදහස් කරන්නේ, නිවසේදී, රැකියා ස්ථානයේදී, පාසැලේදී, සාප්පු යද්දී හෝ විනෝදය සඳහා යම් ස්ථානයකට යද්දී, අප ළඟ පොත් පත් තිබීම උචිත බවය.—1 පේතෘස් 3:15.
18. අපව ක්‍රිස්තියානීන් ලෙස පැහැදිලිවම හඳුන්වා දීම අපගේ ජීවිතයට ඒකාන්ත අන්දමකින් බලපෑ හැකි ආකාරය විස්තර කරන්න.
18 අප ක්‍රිස්තියානීන් ලෙස අපගේ ස්ථාවරය අන්‍යයන්ට පැහැදිලිවම දැනගන්න සලස්වනවා නම්, සාතන්ගේ සූක්ෂ්ම ප්‍රහාරවලට එරෙහිව වඩාත් සාර්ථකව කටයුතු කිරීමට අපට හැකි වේ. උපන් දින සාදයක්, නත්තල් සාදයක් නැතහොත් වැඩපොළේ ලොතරැයි ඇදීමක් ඇත්නම්, සාක්ෂිකරුවෙකු සම්බන්ධයෙන් සෙසු වැඩකරුවන්ගේ ප්‍රතිචාරය මෙසේ විය හැක. “එයාට කරදර කරන්න එපා. එයා යෙහෝවාගේ සාක්ෂිකාරයෙක්.” ඒ හේතුව නිසා, අප ඉදිරියෙහි අසභ්‍ය කථා කීමට ඔවුන් තුළ එතරම් පෙලඹීමක් ඇති නොවිය හැක. මේ අනුව පෙනී යන්නේ, අපගේ ක්‍රිස්තියානි ස්ථාවරය එළිපිට ප්‍රකාශ කිරීම අපගේ ජීවිතයට ඒකාන්ත අන්දමකින් බලපාන බවයි. ප්‍රේරිත පේතෘස් මෙසේ පැහැදිලි කළේය. “නුඹලා යහපත් දෙය ගැන ජ්වලිතව සිටිහු නම්, නුඹලාට අනතුරු කරන්නේ කවුද? එහෙත් නුඹලා ධර්මිෂ්ඨකම නිසා දුක්විඳින නුමුත් ආශීර්වාදලද්දහුය.”—1 පේතෘස් 3:13, 14.
19. අප අන්තිම දවස්වල අවසාන භාගයේ සිටින බව දන්නේ කෙසේද?
19 සත්‍යය අපගේම වස්තුවක් කරගැනීමෙන් නෙළාගත හැකි තවත් ප්‍රයෝජනයක් නම්, පවතින මෙම ක්රමයෙහි අන්තිම දවස්වල අප ජීවත් වන බව අපට ඒත්තුගැනීමට හැකිවීමය. බයිබල් අනාවැකි බොහොමයක්ම අපගේ කාලයේ ඉටු වන ආකාරය අපට දැකිය හැක. a පසුගිය සියවසේ සිදුව ඇති භයානක දේවලින් ප්‍රබල ලෙස ඔප්පු වන්නේ “අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙන” බවට පාවුල් දුන් අනතුරු ඇඟවීම සැබෑ බවය. (2 තිමෝති 3:1-5; මාර්ක් 13:3-37) විසිවන සියවස සම්බන්ධයෙන් මෑතක පළ වූ පුවත්පතක “මිනීමරු යුගය හැටියට සනිටුහන් වන යුගය” යන මැයින් යුත් ලිපියක් විය. එම ලිපියෙහි මෙසේ පැවසිණ. “වඩාත්ම මිනීමරු සියවස වන විසිවන සියවසේ දෙවන භාගයේ, වඩාත්ම මිනීමරු වසර ලෙසට ප්‍රසිද්ධ වී ඇත්තේ 1999යි.”
20. අප සිටින්නේ කුමක් කළ යුතු කාලයකද?
20 අප ජීවත් වන්නේ අප ගන්නා ස්ථාවරය සම්බන්ධයෙන් වැනි වැනි සිටීමට හැකි කාලයක නොවේ. දැන් යෙහෝවාගේ මහඟු ආශීර්වාද ඇතුව සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලෙහිම මෙතෙක් කර ඇති ශ්‍රේෂ්ඨතම බයිබල් අධ්‍යාපන කර්තව්‍යය ක්‍රියාත්මක වේ. (මතෙව් 24:14) එමනිසා, සත්‍යය ඔබේම වස්තුවක් කරගෙන, එය අන්‍යයන් සමඟ බෙදාගන්න. ඔබට නිමක් නොමැති අනාගතයක් ලැබේද යන්න තීරණය වන්නේ ඔබ දැන් කරන දේ අනුවයි. අලස ආකල්පයක් යෙහෝවාගේ ආශීර්වාදය ලැබීමට හේතු වන්නේ නැත. (ලූක් 9:62) එසේය, “[ස්වාමීන්] කෙරෙහි නුඹලාගේ මෙහෙය නිෂ්ඵල නොවන බව නුඹලා දන්නා බැවින් ස්ථිරවව්, නිශ්චලවව්, නිතරම [ස්වාමීන්ගේ] මෙහෙයෙහි වඩ වඩා පවතිව්.” (1 කොරින්ති 15:58) අප සිටින්නේ එවැනි අදිටනක් ගත යුතු අවධියකයි.
[පාදසටහන]
a 2000 ජනවාරි 15 මුරටැඹ සඟරාවෙහි 12-14 දක්වා පිටු බලන්න. වර්ෂ 1914 පටන් අප අන්තිම දවස්වල වෙසෙන බව පෙන්නුම් කිරීමට ප්‍රබල සාක්ෂි හයක් 13-18 දක්වා ඡේදවල සාරාංශ කොට තිබේ.
ඔබට මතකද?
• අපට සැකයන් දුරු කරගත හැක්කේ කෙසේද?
• එලිෂාගේ සේවකයාගෙන් අපට උගත හැකි පාඩම කුමක්ද?
• අප නිතරම අවදිව සිටිය යුත්තේ අපගේ සදාචාරයට එරෙහිව එල්ල වන කවර පරීක්ෂා සම්බන්ධයෙන්ද?
• අප යෙහෝවාගේ සාක්ෂිකරුවන් බව පැහැදිලිව හඳුන්වා දිය යුත්තේ මන්ද?
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[10වන පිටුවේ පින්තූර]
සැකයන් දුරු කිරීමට නිතිපතා බයිබලය අධ්‍යයනය කිරීම සහ යාච්ඤාව උපකාරයකි
[11වන පිටුවේ පින්තූරය]
එලිෂාගේ සේවකයාගේ සැකයන් දුරු කිරීමට දර්ශනයක් ඉවහල් විය
[12වන පිටුවේ පින්තූරය]
බෙනින්හි පිහිටා ඇති මෙම රාජ්‍ය ශාලාව වැනි මධ්‍යස්ථානවල අපට යෙහෝවාගේ උසස් සදාචාර ප්‍රමිති උගන්වනු ලැබේ