Skip to content

පටුනට යන්න

මගේ සේවය අවශ්‍ය කොතැනටද එතැනට මම ගියා

මගේ සේවය අවශ්‍ය කොතැනටද එතැනට මම ගියා

ජීවිත කතාව

මගේ සේවය අවශ්‍ය කොතැනටද එතැනට මම ගියා

පැවසුවේ ජේම්ස් බී. බෙරී

අවුරුද්ද 1939. එදා තිබුණු ආර්ථික පරිහානිය නිසා එක්සත් ජනපදයේ ජීවත් වීම ඉතාමත් දුෂ්කර වුණා. ඒ වගේම යුද්ධය මුළු යුරෝපයටම තර්ජනයක් වීමේ ලකුණුත් පෙනෙන්න තිබුණා. මේ කාලයේදී තමයි මගේ මල්ලි වන බෙනට් සහ මම රස්සාවක් හොයාගෙන මිසිසිපිවල ඉඳන් ටෙක්සස්වල නගරයක් වන හියුස්ටන්වලට ගියේ.

ග්‍රීෂ්ම කාලය අවසන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී, හිට්ලර්ගේ හමුදාව පෝලන්තය ආක්‍රමණය කරලා කියලා නිවේදනය කෙරුවා. රේඩියෝ එකේ කුරු කුරු හඬ අතරින් යන්තමට ඇහුණ ඒ නිවේදනයෙන් පස්සේ මගේ මල්ලි ගත් කටටම කිව්වා, “දැන් නම් අර්මගෙදොන් පටන් අරගෙන” කියලා. අපි ඉක්මනටම රස්සාවෙන් අයින් වෙලා ළඟම තිබුණ රාජ්‍ය ශාලාවට ගිහිල්ලා රැස්වීමට සහභාගි වුණා. ඒක තමයි අපේ පළවෙනි රැස්වීම. වෙන දිහාවකට යන්නේ නැතුව ඇයි අපි රාජ්‍ය ශාලාවටම ගියේ? හේතුව මම මුල ඉඳන්ම කියන්නම්.

මම ඉපදුණේ 1915 මිසිසිපිවල හෙබ්‍රන් නුවරේ. අපි ජීවත් වුණේ ගම්බද පළාතක. දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෙස හඳුන්වන බයිබල් ශිෂ්‍යයන් අවුරුද්දකට වතාවක් අපි හිටිය ඒ පළාතට ඇවිල්ලා කාගේ හරි ගෙදරක කතාවක් පවත්වනවා. මේ මාර්ගයෙන් මගේ දෙමාපියන්ට බයිබල් ප්‍රකාශන බොහෝමයක් ලබාගන්න පුළුවන් වුණා. නිරය ගින්නෙන් පිච්චෙන තැනක් නෙමෙයි, අමරණීය ආත්මයක් නැහැ, ඒ වගේම ධර්මිෂ්ඨ අය පොළොවේ සදාකාලයටම ජීවත් වෙනවා වැනි ඉගැන්වීම් මෙම පොත්වල අඩංගු වුණා. ඒ දේවල් බෙනටුයි මමයි විශ්වාස කරන්න පටන්ගත්තා. ඒත් අපිට තව ගොඩක් දේවල් ඉගෙනගන්න තිබුණා. මගේ පාසැල් ගමන ඉවර කරලා ටික කාලයකට පස්සේ, මමයි මල්ලියි රස්සාවක් හොයාගෙන ටෙක්සස්වලට ගියා.

අපිට රාජ්‍ය ශාලාවේදී යෙහෝවාගේ සාක්ෂිකාරයන් මුණගැසුණාම එයාලා ඇහුවා අපි පුරෝගාමීන්ද කියලා. එතකොට අපි දැනගෙන හිටියේ නෑ පුරෝගාමීන් කියන්නේ යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ පූර්ණ කාලීන සේවකයන්ට කියලා. ඊට පස්සේ එයාලා අපෙන් ඇහුවා දේශනා කරන්න කැමතිද කියලා. අපි එකපාරටම “හා”! කිව්වා. අපි හිතුවා එයාලා අපිත් එක්ක කාව හරි එවයි කියලා. ඒත් එයාලා නිකම්ම සිතියමක් අපේ අතට දීලා “අතන වැඩ කරන්න” කියලා අපිට කිව්වා. වැඩේ කියන්නේ එතකොට අපි දේශනා කරන හැටි දැනගෙන හිටියේ නැහැ. මිනිසුන් ඉදිරිපිට ලජ්ජා වෙන්න අපි කැමති වුණෙත් නැහැ. අන්තිමේදී අපි බලප්‍රදේශ කාඩ්පත ලියුම් පෙට්ටියේ දාලා ගෙදර ගියා!

බයිබල් සත්‍යය අපේම වස්තුවක් කරගැනීම

අපි ගෙදර ආවාට පස්සේ අවුරුද්දක් විතර හැමදාම වගේ සාක්ෂිකාරයන්ගේ පොත් පත් කියෙව්වා. අපේ ගෙදර විදුලිය තිබුණේ නැහැ. ඉතිං අපි රෑට ගිනි මැලයක් ගහගෙනයි පොත් පත් කියෙව්වේ. ඒ දවස්වලත් යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ සභාවල ඉන්න අයව සහ දුර ඈත ප්‍රදේශවල ඉන්න සාක්ෂිකාරයන්ව ආත්මිකව ශක්තිමත් කරන්න සංචාරක අවේක්ෂකයන් එනවා. ඒ වගේ කෙනෙක් තමයි ටෙඩ් ක්ලයින්. එයා අපේ සභාවට ආව වෙලාවේ මාත් එක්කයි බෙනට් එක්කයි ගෙයින් ගෙට දේශනා සේවයේ හවුල් වුණා. ගොඩක් වෙලාවට දෙන්නවම එකම වෙලාවේ එයා අරගෙන යනවා. පුරෝගාමි සේවය කියන්නේ මොකක්ද කියලා එයා අපිට පැහැදිලි කරලා දුන්නා.

ඔහුව ආශ්‍රය කරනකොට දෙවිට වැඩියෙන් සේවය කරන්න ඕනේ කියන හැඟීම අපි තුළ ඉබේම ඇති වුණා. වර්ෂ 1940 අප්‍රියෙල් 18වෙනිදා මාවයි, බෙනට්වයි, අපේ නංගි වෙල්වාවයි සහෝදර ක්ලයින් බව්තීස්ම කෙරුවා. අපේ බව්තීස්මය බලන්න අපේ දෙමාපියනුත් ඇවිත් හිටියා. අපි ගත්ත තීරණය ගැන එයාලා සතුටු වුණා. අවුරුදු දෙකකට පස්සේ අපේ දෙමාපියනුත් බව්තීස්ම වුණා. තාත්තා 1956දීත් අම්මා 1975දීත් මිය ගියා. එයාලා දෙන්නම මරණය දක්වාම දෙවිට විශ්වාසවන්තව හිටියා.

එක දවසක් සහෝදර ක්ලයින් මගෙන් ඇහුවා පුරෝගාමි සේවය කරන්න කැමතිද කියලා. මම කිව්වා ඔව් මම කැමතියි, හැබැයි මට සල්ලි, ඇඳුම් මොනවත් නැහැ කියලා. එතකොට ඔහු, “ආ ඒකට කමක් නැහැ. මම ඒවා බලාගන්නම්” කියලා කිව්වා. ඔහු කිව්වා වගේම කළා. ඉස්සෙල්ලාම ඔහු මගේ පුරෝගාමි අයදුම්පත යැව්වා. ඊට පස්සේ ඔහු සැතපුම් 200ක් විතර එහායින් තියෙන නිව් ඕලීන්ස්වලට මාව අරගෙන ගිහිල්ලා රාජ්‍ය ශාලාවේ ඉහළ මාලයේ තනා තිබුණු ලස්සන කාමර පේළියක් පෙන්නුවා. ඒ කාමර හදලා තිබුණේ පුරෝගාමින්ට. ඉක්මනින්ම මම එතැන පදිංචි වෙලා, පුරෝගාමි සේවය පටන්ගත්තා. නිව් ඕලීන්ස්වල හිටිය සාක්ෂිකාරයන් ඇඳුම්, මුදල් හදල් වගේම කෑම වැනි දේවලුත් සපයමින් පුරෝගාමින්ට උපකාර කළා. දවල් කාලයේ සහෝදරයෝ අපිට කෑම ගෙනල්ලා දොර ළඟ හරි ශීතකරණයේ හරි තියලා යනවා. ආපන ශාලාවක් අයිති සහෝදරයෙක් අපිට කිව්වා හැමදාම ආපන ශාලාව වහන වෙලාවට ඇවිල්ලා එදා දවසේ ඉතුරු වෙච්ච මස්, පාන්, හොදි සහ වෙනත් කෑම වර්ග අරගෙන යන්න කියලා.

මැර ප්‍රහාරයක්...

ටික කාලයකට පස්සේ මට මිසිසිපිවල ජැක්සන් නුවරට පුරෝගාමි පැවරුමක් ලැබුණා. එහෙදී මගේ තරුණ පුරෝගාමි සහකරුවටයි මටයි මැර ප්‍රහාරයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපිට තේරුණු හැටියට නම් මේ වැඩේ පිටිපස්සේ හිටියේ පොලිසිය! අපේ ඊළඟ පැවරුම වන මිසිසිපි කොලොම්බස්වලත් ඒ වගේම තත්වයක් තිබුණා. අපි හැම ජාතියකම ඉන්න අයට දේශනා කළ නිසා සමහර සුදු ජාතිකයන් අපිට වෛර කළා. ගොඩක් අය හිතුවේ අපි ආණ්ඩුවට විරුද්ධ, ඒ වගේම වැරදි වැඩවලට මිනිස්සුන්ව පොලඹවන කට්ටියක් කියලයි. ඉතා දැඩි දේශානුරාගී ආකල්ප තිබූ සංවිධානයක් වන අමෙරිකානු විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ කාර්යාංශයේ ප්‍රධානියෙකුටත් ඒ හැඟීමම තිබුණා. ඔහු කිහිප වතාවක්ම අපිට ගස්සවන්න මැර කල්ලි උසිගැන්වුවා.

කොලොම්බස්වල ඉන්නකොට මුලින්ම ගුටි කාපු අවස්ථාවේ, අපි වීදියේ සඟරා ඉදිරිපත් කරමින් ඉද්දී අපේ පිටිපස්සෙන් මැර කල්ලියක් ඇවිල්ලා අපිව සාප්පුවක ජනේලයක් වෙතට තල්ලු කෙරුවා. අපිට මොනවාද කරන්නේ කියලා බලන්න සෙනඟ වට වුණා. ඒත් එක්කම වගේ පොලිසිය ඇවිල්ලා අපිව උසාවියට අරගෙන ගියා. මැර කල්ලිය අපේ පිටිපස්සෙන්ම උසාවියටත් ඇවිල්ලා එතන හිටිය නිලධාරීන් ඉදිරිපිට කෑ ගහලා අපිට නගරයෙන් පිට වෙන්න දිනයක් නියම කෙරුවා. ඒ නියමිත දිනයට නගරයෙන් පිට වුණේ නැත්නම් අපිව මරලා දානවා කියලා ඒ අය කිව්වා. ඒ නිසා අපි ටික කාලයකට නගරයෙන් පිට වෙලා ඉන්න තීරණය කළා. ඊට සති කිහිපයකට පස්සේ අපි ආයෙත් ඒ නගරයටම ගිහින් දේශනා සේවය කරන්න පටන්ගත්තා.

ඒත් වැඩි දවසක් යන්න ලැබුණේ නැහැ, අට දෙනෙක් විතර කාර් දෙකකින් ඇවිල්ලා බලහත්කාරයෙන් අපිව අරගෙන ගියා. ඊට පස්සේ අපිව කැලෑවකට අරගෙන ගිහිල්ලා අපේ ඇඳුම් ඉරලා, මගේ බෙල්ට් එකෙන් එක්කෙනෙකුට පාරවල් 30 බැගින් ගැහැව්වා! එයාලා ළඟ තුවක්කු, ලණු වගේ දේවල් තිබුණා. ඒ වෙලාවේ අපිට භයක් දැනුණේ නැහැ කියලා කියනවා නම් ඉතිං ඒක බොරුවක්. මම හිතුවේ එයාලා අපිව ගැට ගහලා ගඟට විසි කරන්න හදනවා කියලයි. එයාලා අපේ පොත් පත් ඉරලා හැම තැනම වීසි කරලා, අපේ ශබ්දවාහිනි යන්ත්‍ර ගහකට ගහලා කුඩු කෙරුවා.

හොඳටම තැළුවට පස්සේ අපිට ඇඳුම් ඇඳගෙන කැලෑ පාරේ පස්ස නොබලාම දුවන්න කිව්වා. ඇවිදගෙන යනකොට අපි හිතුවේ හදිසියෙවත් අපි හැරිලා බැලුවොත් අපිට මැරෙන්නම වෙඩි තියයි, හැබැයි එයාලාට ඒකට කිසි දඬුවමක් ලැබෙන එකක් නෑ කියලා. ඒ වුණාට මිනිත්තු කිහිපයකට පස්සේ එයාලා වාහනවල නැඟලා යන්න ගියා.

තවත් අවස්ථාවක මැර කල්ලියක් අපේ පස්සෙන් එළවාගෙන ආවා. එයාලාගෙන් ගැළවෙන්න අපි අපේ ඇඳුම් ගළවලා බෙල්ලේ ගැට ගහගෙන ගඟෙන් එගොඩට පීනුවා. ඒ සිද්ධිය වෙලා වැඩි කල් යන්න ඉස්සර, අපි මිනිසුන්ව ආණ්ඩුවට විරුද්ධ වීමට පොලඹවනවා කියලා, බොරු චෝදනා මත අපිව අත්අඩංගුවට අරගෙන නඩු විභාගය පවත්වන තුරු සති තුනක් හිරේ දැම්මා. මේ වෙච්ච සිද්ධිය කොලොම්බස් නගරය පුරාම ඔවුන් ප්‍රසිද්ධ කෙරුවා. නඩු විභාගය දැකබලා ගන්න ළඟ පාත තිබුණ මහ විද්‍යාලයක ළමයින්ට පාසැල් වේලාවට කලින් පාසැලෙන් පිටවීමටත් අවසර දුන්නා. නඩුව විභාග කරන දවසේ උසාවියේ ඇඟිල්ලක් ගහන්න බැරි තරමට සෙනඟ පිරිලා හිටියා! ආණ්ඩුවට පක්ෂව පූජකයන් දෙදෙනෙක්, නගරාධිපති සහ පොලිසිය සාක්ෂි දුන්නා.

නීතිඥයෙක් වූ සහෝදර ජී. සී. ක්ලාක් සහ එයාගේ සහයකයා අපි වෙනුවෙන් පෙනී සිටියා. අපි මිනිසුන්ව ආණ්ඩු විරෝධීන් කිරීමට පොලඹනවා කියා පෙන්වීමට ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා අපට විරුද්ධව තිබෙන චෝදනාව ඉල්ලා අස් කරගන්න කියා ඔවුන් ඉල්ලා සිටියා. සහෝදර ක්ලාක් සමඟ වැඩ කරමින් සිටි නීතිඥයා සාක්ෂිකාරයෙක් නොවුණත් එයා අපි වෙනුවෙන් ප්‍රබල ප්‍රකාශයක් කෙරුවා. ඔහු එක් අවස්ථාවක මෙහෙම කිව්වා. “මිනිස්සු කියනවා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට පිස්සු කියලා. ඔවුන්ට ඇත්තටම පිස්සුද? සමහර අය තෝමස් එඩිසන්ටත් පිස්සු කියලා කිව්වා!” ඊට පස්සේ ඔහු විදුලි බල්බයක් පෙන්වලා මෙහෙම කිව්වා. “ඒත් බලන්න මේ බල්බ් එක දිහා!” එයින් ඔහු අදහස් කළේ, විදුලි බල්බය සොයාගත් එඩිසන්ට සමහර අය පිස්සු කියලා කිව්වත්, ඔහුගේ හැකියාවන් සහ ජයග්‍රහණවලට කවුරුත් ඇඟිල්ල දික් කරන්න ගියේ නැති බවයි.

සාක්ෂිවලට සවන් දුන්නට පස්සේ නඩුකාරතුමා චෝදනාකරුට මෙහෙම කිව්වා. “ඔවුන් මිනිසුන්ව මුළා කරනවා කියා පෙන්වීමට ප්‍රමාණවත් සාක්ෂි ඔබ ළඟ නැහැ. ඔවුන් කරන වැඩේ කරන්න ඔවුන්ට අයිතියක් තියෙනවා. ඔබට ප්‍රමාණවත් සාක්ෂි ලැබෙනකම් ඔවුන්ව මේ උසාවියට ගෙනල්ලා රජයේ කාලය සහ මුදලුත් මගේ කාලයත් නාස්ති කරන්න එපා!” එම නඩුවෙන් අපි ජයගත්තා!

ඊට පස්සේ නඩුකාරතුමා එයාගේ නිල කාමරයට අපිව කැඳෙව්වා. මොකද එයා දැනගෙන හිටියා එයා දුන් තීන්දුවට මුළු නගරයම විරුද්ධයි කියලා. එනිසා එයා අපිට අනතුරු ඇඟෙව්වා. “මම නීතිය ඉෂ්ට කළා. ඒත් මම ඔය දෙන්නට පෞද්ගලිකව දෙන අවවාදය නම් පුළුවන් ඉක්මනින් මෙහෙන් පිට වෙන්න. නැත්නම් එයාලා ඔයගොල්ලන්ව මරයි!” ඔහු කිව්ව දේවල ඇත්තක් තිබුණ නිසා අපි නගරයෙන් පිට වුණා.

එහෙ ඉඳන් මම ටෙනසි ක්ලාක්ස්විල්වල විශේෂ පුරෝගාමි සේවය කරමින් සිටිය බෙනට් සහ වෙල්වා ළඟට ගියා. මාස කිහිපයකට පස්සේ පැරිස්වල කෙන්ටකිවලට අපිට පැවරුමක් ලැබුණා. අවුරුද්දයි මාස හයකට විතර පස්සේ අපි එහෙ සභාවක් පටන්ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී බෙනට්ටයි මටයි විශේෂ ආරාධනයක් ලැබුණා.

මිෂනාරි සේවය සඳහා

ගිලියද් මුරටැඹ බයිබල් පාසැලට සහභාගි වෙන්න අපිට ආරාධනාවක් ලැබුණාම අපි හිතුවේ ‘අපි වගේ නිකම්ම නිකම් කොල්ලන්ට පාසැලට ආරාධනා කරන්නේ එයාලට වැරදිලා වෙන්න ඇති’ කියලයි. අපි හිතාගෙන හිටියේ ගිලියද් පාසැලට යන්නේ හොඳට ඉගෙනගත්ත අය විතරයි කියලා. ඒත් අපි ඕන දෙයක් වුණාවේ කියලා ගියා. මාස පහක් පුරා පැවති එම පාසැලට ශිෂ්‍යයන් සියදෙනෙක් සහභාගි වුණා. උපාධි ප්‍රදානය තිබුණේ 1944 ජනවාරි 31වෙනිදා. විදේශ රටක සේවය කරන්න පැවරුම ලැබෙන තෙක් අපි ආසාවෙන් බලාගෙන හිටියත් ඒ දවස්වල ගමන් බලපත්‍ර සහ වීසා හදාගන්න සෑහෙන කාලයක් ගත වුණ නිසා අපිට අමෙරිකාවේ තාවකාලිකව සේවය කරන්න පැවරුමක් දුන්නා. පුරෝගාමින් හැටියට ඇලබාමාවල සහ ජොර්ජියාවල ටික කාලයක් සේවය කළාට පස්සේ බෙනට්ටයි මටයි බටහිර ඉන්දීය කොදෙව්හි බාබඩොස්වලට පැවරුමක් ලැබුණා.

දෙවන ලෝක මහා යුද්ධය ක්‍රියාත්මක වෙමින් තිබුණ ඒ කාලයේදී යෙහෝවාගේ සාක්ෂිකාරුවන්ගේ වැඩ කටයුතු සහ පොත් පත් බොහෝ ස්ථානවල තහනම් කළා. අපි සේවය කරමින් සිටිය බාබඩොස්වලටත් මෙය බලපාමින් තිබුණා. එහිදී රේගු නිලධාරීන් අපේ බෑග් පරීක්ෂා කරනකොට අපි සඟවලා තිබුණු පොත් අහු වුණා. දැන්නම් ‘අපි ඉවරයි’ කියලා අපිට හිතුණා. ඒත් එක නිලධාරියෙක් “අපිට සමාවෙන්න. මේ සඟරා බාබඩොස්වල තහනම් කරලා තියෙන නිසා අපිට ඔයාලාගේ බෑග් පරීක්ෂා කරන්න සිද්ධ වෙනවා” කියා කාරුණිකව පැවසුවා. නමුත් ඔහු අපි ගෙනාව ඔක්කොම පොත් පත් ගෙනියන්න ඉඩ දුන්නා! පස්සේ අපි ආණ්ඩුවේ නිලධාරීන්ට සාක්ෂි දරනකොට පොත් පත් තහනම් කරන්න හේතුව තමන් දන්නේ නැහැ කියලා එයාලා කියා සිටියා. මාස කිහිපයක් ගියාට පස්සේ තහනම ඉවත් කෙරුවා.

බාබඩොස්වල දේශනා සේවයේ යෙදෙද්දී ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලැබුණා. එක මාසයකදී අපි බයිබල් පාඩම් 15ක් විතර පැවැත්වුවා. ඒ වගේම ශිෂ්‍යයන් බොහෝදෙනෙක් හොඳ ආත්මික දියුණුවක් ලැබුවා. සමහර අය රැස්වීම්වලට එනවා දකිනකොට අපිට විශාල ප්‍රීතියක් දැනුණා. ඒත් ප්‍රශ්නයකට තිබුණේ, අපේ ප්‍රකාශන කාලයක් තහනම් කරලා තිබුණ නිසා එහෙ හිටිය සහෝදරයන්ට රැස්වීම් පවත්වන ආකාරය ගැන එතරම් තේරුමක් තිබුණේ නැති එකයි. අපි ඉක්මනින්ම සුදුසුකම් තියෙන සහෝදරයන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් පුහුණු කළා. අපේ ශිෂ්‍යයන්ට දේශනා සේවයේ යෑමට උපකාර කරනකොට සහ සභාව වර්ධනය වෙනවා දකිනකොට අපිට පුදුම සන්තෝෂයක් දැනුණා.

පවුල රැකබලා ගැනීම

මාස දහඅටක් විතර බාබඩොස්වල ඉන්දැද්දී මට සැත්කමක් කරගන්න අමෙරිකාවට යන්න සිද්ධ වුණා. අමෙරිකාවේදී කාලයක් පුරා ලියුම්වලින් සම්බන්ධකම් පැවැත්වූ සහෝදරියක් වන ඩොරති සමඟ මම විවාහ වුණා. ඊට පස්සේ මමයි මගේ භාර්යාවයි ෆ්ලොරීඩාවේ ටැලහැසීවල මාස හයක් විතර පුරෝගාමි සේවය කළා. එහෙ ඉන්නකොට, කෙන්ටකි ලුයිස්විල්වල හිටිය සාක්ෂිකාරුවෙක් මට රස්සාවක් හොයා දුන්න නිසා අපි ඒ නගරයට ගියා. මගේ මල්ලි බෙනට් බාබඩොස්වල එයාගේ සේවය අවුරුදු ගානක්ම කරගෙන ගියා. කාලයක් ගියාට පස්සේ ඔහු මිෂනාරි සහෝදරියක්ව විවාහ කරගෙන එම දූපතේම සංචාරක සේවයේ නිරත වුණා. ඒත් කාලයක් යනකොට සෞඛ්‍යමය හේතූන් නිසා එයාලට අමෙරිකාවට යන්න සිදු වුණා. මගේ මල්ලි බෙනට් 1990දී මිය ගියා. එතකොට එයාට වයස අවුරුදු 73යි. මල්ලි එයාගේ අන්තිම කාලය දක්වාම ස්පාඤ්ඤ භාෂාව කතා කරන සභාවල සංචාරක සේවයේ යෙදී සිටියා.

වර්ෂ 1950දී අපේ පුංචි දුව ඩැරල් ඉපදුණා. ඩැරල් ලැබුණට පස්සේ අපිට තව දරුවෝ හතරදෙනෙක් ලැබුණා. අපේ දෙවෙනි දරුවා වන ඩෙරික්ට වයස අවුරුදු දෙකහමාරක් වෙද්දී මොළේ උණ හැදිලා මැරුණා. වර්ෂ 1956දී අපිට තව පුතෙක් ලැබුණා. එයාගේ නම ලෙස්ලි. වර්ෂ 1958දී එවරට් පුතා ඉපදුණා. අපේ දරුවන්ව සත්‍ය මාර්ගයේ ඇති දැඩි කරන්න ඩොරතියි මමයි සෑහෙන මහන්සි වුණා. අපි ඔක්කොම ළමයින්ට ආස හිතෙන විදිහට සතිපතා පවුලේ පාඩමක් කරන්න උත්සාහයක් ගත්තා. ඩැරල්, ලෙස්ලි සහ එවරට් පුංචි කාලේ, අපි හැම සුමානෙම එයාලාට ප්‍රශ්නයක් දීලා ඊළඟ සුමානේ ඒ ප්‍රශ්නයට උත්තර හොයලා තියන්න කියලා කියනවා. එයාලා ගෙයින් ගෙට සේවය කරන විදිහ ගෙදරදී රඟ දක්වනවා. එක් කෙනෙක් ඇඳුම් කබඩ් එක ඇතුළට ගිහිල්ලා ගේ හිමියා වගේ රඟපානවා. අනෙක් එක්කෙනා එළියෙන් හිටගෙන තට්ටු කරනවා. ඒ වෙලාවේ දෙන්නාට දෙන්නා උත්තර දීගන්න බැරි වෙන විදිහට එක එක දේවල් කියනවා. කියපු සමහර දේවල්වලට අපිට හිනත් ගියා. මේක දේශනා සේවය කරන්න එයාලා තුළ ආශාවක් ඇති කළා. ඒ වගේම අපි එයාලත් එක්ක නිතිපතාම වගේ දේශනා සේවයේ ගියා.

වර්ෂ 1973, අපේ පොඩි පුතා එල්ටන් ඉපදෙනකොට ඩොරතිට අවුරුදු 50යි. මට අවුරුදු 60ක් විතර ඇති. අපිට සභාවේ ඉන්න අය කතා කළේ ආබ්‍රහම් සහ සාරා කියලා! (උත්පත්ති 17:15-17) ලොකු දරුවෝ ටික දේශනා සේවයේ යනකොට එල්ටන්වත් අරගෙන යනවා. සහෝදරයන් සහ සහෝදරියන්, දෙමාපියන් සහ දරුවන් එකට පවුලක් හැටියට බයිබල් සත්‍යය අනිත් අය සමඟ බෙදාගන්නකොට මිනිසුන්ට ඒක ප්‍රබල සාක්ෂියක් කියලා අපිට හිතුණා. එල්ටන්ගේ වැඩිමහල් සහෝදරයන් ඔහුගේ අතට කුඩා පත්‍රිකාවක් දීලා එයාලාගේ කර උඩ මාරුවෙන් මාරුවට තියාගෙන දේශනා සේවයේ යනවා. මිනිස්සු දොර අරිනකොට පුංචි පැටියෙක් අයියාගේ උරහිස මත ඉඳගෙන පත්‍රිකාව දික් කරන් ඉන්නවා දකිද්දී ඕන කෙනෙක් ඇහුම්කන් දෙනවා. සාකච්ඡාව අවසන් වුණාට පස්සේ පත්‍රිකාව එම පුද්ගලයාට දීලා වචන කිහිපයක් කියන්න ලොකු අයියලා ටික එල්ටන්ට ඉගැන්නුවා. අන්න ඒ විදිහට තමයි අපේ පොඩි පුතා දේශනා සේවය පටන්ගත්තේ.

අවුරුදු ගණනාවක් පුරා ගොඩක්දෙනෙකුට යෙහෝවාව හඳුනගන්න අපි උපකාර කරලා තියෙනවා. වර්ෂ 1970 අගභාගයේදී විතර, කෙන්ටකිවල ශෙල්බිවිල් නගරයේ තිබූ සභාවේ අවශ්‍යතාවය නිසා අපි ලුයිස්විල්වල සිට එහාට පදිංචිය මාරු කළා. ඒ සභාව වර්ධනය වෙනවා දැකගන්නත් ඉඩමක් අරගෙන රාජ්‍ය ශාලාවක් ගොඩනඟන්න උපකාර කරන්නත් අපිට පුළුවන් වුණා. කාලයක් යනකොට ළඟපාත තවත් සභාවක සේවය කිරීමට අපිට පැවරුමක් ලැබුණා.

බලාපොරොත්තු නොවූ දේවල්

දරුවෝ ටික මගේ වහල යට ඉන්න කල් යෙහෝවාගේ මාර්ගයේ ගමන් කළා. හැබැයි උස් මහත් වෙලා ගෙදරින් පිටත් වුණාට පස්සේ දරුවන් හතරදෙනාගෙන් තුන්දෙනෙක් සත්‍ය මාර්ගයෙන් ඈත් වුණා. ඒත් මගේ එවරට් පුතා මං වගේ පූර්ණ කාලීන සේවයට ඇතුල් වුණා. කාලයක් ගියාට පස්සේ එයාට නියූ යෝක් නගරයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයෙත් සේවය කරන්න අවස්ථාව ලැබුණ අතර, 1984දී 77වන ගිලියද් පාසැලට ඇතුල් වෙන්නත් ආරාධනාවක් ලැබුණා. උපාධියෙන් පස්සේ ඔහුට බටහිර අප්‍රිකාවේ සියරා ලියොන් නුවරට පැවරුමක් ලැබුණා. වර්ෂ 1988දී බෙල්ජියමේ පුරෝගාමි සහෝදරියක් වන මේරීඇන් සමඟ විවාහ වෙලා දෙදෙනාම මිෂනාරිවරුන් ලෙස සේවය කරනවා.

දැන් තෘප්තිමත් ජීවිතයකුත් අනාගතයේ පාරාදීස පොළොවක සදාකාලික ජීවිතයක් ලැබීමේ ලස්සන බලාපොරොත්තුවකුත් දෙන ජීවනයට යන මාර්ගය මගේ දරුවෝ තුන්දෙනෙක් අත්හැර දැම්මාම මට දැනුණ වේදනාව ඕනෑම දෙමාපියෙකුට තේරුම්ගන්න පුළුවන්. සමහර වෙලාවට මම මටම දොස් පවරාගන්නවා. ඒත් යෙහෝවාගේ ආත්මික පුත්‍රයන් වන දේව දූතයන්ගෙන් සමහරෙක් පවා ඔහුට සේවය කිරීම අත්හැරිය බව කල්පනා කරද්දී මගේ හිතට පොඩි සහනයක් දැනෙනවා. යෙහෝවා ප්‍රේමනීය හික්මවීම දුන්නත්, කරුණාව පෙන්නුවත්, ඔහුගේ පැත්තෙන් කිසිම අත් වැරදීමක් සිදු නොවුණත්, ඔවුන් ඔහුට සේවය කිරීම අත්හැරලා නොමඟ ගියා. (ද්විතීය කතාව 32:4; යොහන් 8:44; එළිදරව් 12:4, 9) දරුවන්ව යෙහෝවාගේ මාර්ගයේ යැවීමට දෙමාපියන් කොතරම් උත්සාහ ගත්තත් සමහර දරුවන් සත්‍යය ප්‍රතික්ෂේප කරනවා කියලා මම තේරුම්ගත්තා.

හරියට ගහක් දැඩි සුළං හමුවේ ඒ මේ අත වැනෙනවා වගේ අපිත් අපේ ජීවිතයේ දුෂ්කරතා හා ප්‍රශ්න අනුව සකස් වෙන්න ඕනේ. ගත වුණු අවුරුදු ගණන පුරාම පැනනැඟුණු ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්නත් ඒ වගේම ආත්මිකව ශක්තිමත්ව ඉන්නත් මට උපකාරවත් වුණේ නොකඩවාම බයිබලය අධ්‍යයනය කිරීම සහ රැස්වීම් අත් නොහැරීමයි. මම ටික ටික වයසට යනකොට ඉස්සර කරපු වැරදිවලින් පාඩමක් ඉගෙනගන්න වෑයම් කරනවා. විශ්වාසවන්තව ඉන්නවා නම් ඒ වගේ වැරදි අපේ ආත්මිකත්වය වර්ධනය කරගන්න ප්‍රස්තාවක් උදා කර දෙනවා. අපි ඒ වැරදිවලින් පාඩමක් ඉගෙනගන්නවා නම් ජීවිතයේ අඳුරු පැති ආලෝකවත් කරගන්න පුළුවන්.—යාකොබ් 1:2, 3.

යෙහෝවාගේ සේවයේ අපි කරන්න කැමති ගොඩක් දේවල් තියෙනවා. ඒත් දැන් ඩොරතිටයි මටයි හරි හැටි සනීපයක් නැති නිසා ඒ දේවල් කරන්න බෑ. අපේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ගෙන් ලැබෙන උපකාරය අපිට අමතක කරන්න බැහැ. අපි රැස්වීමට පැමිණීම ගැන එයාලා නිතරම අගය ප්‍රකාශ කරනවා. අපේ ගේ හරි කාර් එක හරි අලුත්වැඩියා කර දීම වැනි ඕනෑම ආකාරයක උදව්වක් කරන්න එයාලා බලාගෙන ඉන්නවා.

අපි ඉඳලා හිටලා උපකාරික පුරෝගාමි සේවයේ හවුල් වෙන අතර උනන්දුවක් දක්වන අයත් එක්ක පාඩම් පවත්වනවා. අප්‍රිකාවේ සේවය කරන අපේ පුතාගේ විස්තර අහන්න ලැබීම අපිට ලොකු සතුටක්! ඉතිං එයාගෙන් අපිට විස්තර ලැබෙනකම් ඉවසිල්ලක් නැහැ. දැන් ගෙදර ඉතුරු වෙලා ඉන්නේ අපි දෙන්නා විතරයි. ඒත් අපේ පවුල් පාඩම තවමත් අපි පවත්වනවා. යෙහෝවාට අවුරුදු ගණනාවක් පක්ෂපාතව ඉන්න ලැබුණ එක ගැන අපි සන්තෝෂ වෙනවා. ඒ වගේම ‘අපේ වැඩය සහ ඔහුගේ නාමයට පෙන්නූ ප්‍රේමය ඔහු අමතක’ කරන්නේ නැහැ කියලා අපිට දීලා තියෙන පොරොන්දුව මොනතරම් දිරිගන්වනසුලුද!—හෙබ්‍රෙව් 6:10.

[25වන පිටුවේ පින්තූරය]

සහෝදර ටෙඩ් ක්ලයින් 1940 අප්‍රියෙල් 18වෙනිදා මාව, වෙල්වාව සහ බෙනට්ව බව්තීස්ම කෙරුව අවස්ථාවේදී

[26වන පිටුවේ පින්තූර]

වර්ෂ 1940ගණන්වල මුල් භාගයේදී සහ 1997දී මගේ භාර්යාව වන ඩොරති සමඟ

[27වන පිටුවේ පින්තූරය]

“සාමයේ කුමාරයා” යන ප්‍රසිද්ධ කථාව ගැන බාබඩොස් නගරයේ බස් රථයක අලවා ඇති ප්‍රචාරක දැන්වීමක්

[27වන පිටුවේ පින්තූරය]

මගේ මල්ලි බෙනට් මිෂනාරි නිවස ඉදිරිපිට