පාඨකයන්ගෙන් ප්‍රශ්න
පාඨකයන්ගෙන් ප්‍රශ්න
අළෙවිය සඳහා නිෂ්පාදනය කර ඇති පරිගණක මෘදුකාංග වැඩසටහන්වල (commercial software programs) පිටපත් සාදා එකිනෙකා අතර බෙදාගැනීමට බොහෝදෙනෙකු පුරුදු වී සිටියත්, එය සැබෑ ක්‍රිස්තියානීන්ට සුදුසු යමක් කියා පැවසිය හැකිද?
“නුඹලා නොමිලයේ ලැබුවහුය, නොමිලයේ දෙන්න” යනුවෙන් යේසුස් පැවසූ වදන්වලට යොමු දක්වමින්, එසේ කිරීමෙහි කිසිම වරදක් නැති බව ඇතමෙකු පැවසිය හැක. එහෙත් මෙහිදී යේසුස් කතා කරමින් සිටියේ ප්‍රකාශන හිමිකම් ඇති ලියකියවිලි හෝ පරිගණක වැඩසටහන් (මෘදුකාංග) පිටපත් කර, නොමිලේ බෙදාහැරීම ගැන නොවෙයි කියා අප මතක තබාගත යුතුයි. ඔහු කතා කළේ අපේ දේවසේවයට ඇතුළත් වන දීම ගැනයි. යේසුස් තම ප්‍රේරිතයන්ට විවිධ ප්‍රදේශවලට ගොස් රාජ්‍යය ගැන දේශනා කරමින් රෝගීන් හා යක්ෂාවේශ වූවන් සුව කරන්න කියා උපදෙස් දුන් ඒ අවස්ථාවේදී, යම් මුදලක් අය කරනවා වෙනුවට ඔවුන්ගේ සේවය “නොමිලයේ” පිරිනැමිය යුතු බව පැහැදිලි කළේය. එහෙත් ප්‍රකාශන හිමිකම් සහිත ලියකියවිලි භාවිතයේදී යම් නීති පිළිපැදිය යුතු බැවින් මෙම ප්‍රතිපත්තිය අදාළ කළ නොහැක.—මතෙව් 10:7, 8.
අප ජීවත් වන මෙම තාක්ෂණික යුගයේ, තම නිවෙස් තුළ හෝ රැකියා ස්ථාන තුළ පරිගණක භාවිත කරන ජනයාගේ සංඛ්‍යාව එන්න එන්නම ඉහළ යයි. ඒත් සමඟම, පරිගණක මෘදුකාංගවල අවශ්‍යතාවද වැඩි වෙමින් පවතී. සාමාන්‍යයෙන් පරිගණක වැඩසටහන් මුදල් ගෙවා ලබාගත යුතුයි. ඇතමෙක් තමන් සකස් කරන වැඩසටහන් නොමිලේ බෙදාහරින අතර අනිත් අයටද ඒවායේ පිටපත් සාදා එකිනෙකා අතර බෙදාහැරීමට ඉඩ දෙති. නමුත් සාමාන්‍යයෙන් නම් පෞද්ගලික හෝ වෘත්තීය මට්ටමෙන් භාවිත කරන පරිගණක මෘදුකාංග නොමිලේ ලබාගත නොහැක. ගෙවීමකින් තොරව පරිගණක මෘදුකාංගයක් ලබාගැනීම, එහෙමත් නැත්නම් එයින් පිටපතක් සාදාගැනීම නීතිය උල්ලංගනය කිරීමකි. එය පොතක් සම්පූර්ණයෙන්ම ඡායා පිටපත් කර යම් මුදලකට හෝ නොමිලේ හෝ එකිනෙකා අතර බෙදාහැරීම හා සමාන නීති විරෝධී ක්‍රියාවකි.
වීඩියෝ ක්‍රීඩා ඇතුළු පරිගණක වැඩසටහන් වැඩි ප්‍රමාණයකට බලපත්‍ර ඇති අතර, හිමිකරු නැතහොත් භාවිත කරන්නා වැඩසටහන භාවිත කළ යුත්තේ එම බලපත්‍රයේ සඳහන් නීතිවලට අනුකූලවයි. බොහෝ බලපත්‍රවල සඳහන් වන්නේ වැඩසටහන ඇතුළත් කරගත යුත්තේ සහ භාවිත කළ යුත්තේ එක්කෙනෙකු පමණක් බවයි. එම වැඩසටහන භාවිත කිරීමට යන්නේ නිවසේ, පාසලේ හෝ වැඩපොළේ වේවා එය සවි කළ යුත්තේ එක පරිගණකයක් තුළ පමණයි කියාත් එහි සඳහන් කර තිබිය හැක. භාවිත කරන්නාට උපස්ත හෙවත් ආරක්ෂිත පිටපතක් සාදාගත හැකි නමුත් වෙනත් අය වෙනුවෙන් පිටපත් නොසෑදිය යුතුයි කියා සඳහන් වන බලපත්‍රද ඇත. අයිතිකරුට අවශ්‍ය නම් (බලපත්‍රය සහ වෙනත් ලියකියවිලි සමඟ) මුළු වැඩසටහනම වෙනත් කෙනෙකුට දිය හැකි නමුත් ඉන්පසු ඔහුට එය භාවිත කිරීමට අයිතියක් නොමැත. පරිගණක මෘදුකාංගවල බලපත්‍ර එකිනෙකට වෙනස් වේ. ඒ නිසා වැඩසටහනක් මිල දී ගන්නා විට හෝ වෙනත් කෙනෙකුගෙන් වැඩසටහනක් ලබාගන්නා විට ඊට අදාළ බලපත්‍රයේ සඳහන් දෑ හොඳින් කියවා තේරුම්ගන්න.
බොහෝ රටවල පරිගණක වැඩසටහන් වැනි “බුද්ධිමය දේපොළ” (intellectual property) ආරක්ෂා කිරීම සඳහා ප්‍රකාශන හිමිකම් පිළිබඳ සම්මුති පිහිටුවා ඇත. එවැනි රටවල ප්‍රකාශන හිමිකම් පිළිබඳ නීති පැනවීමටද වෑයම් කරයි. නිදසුනකට, ද නියූ යෝක් ටයිම්ස් පුවත්පතේ 2000 ජනවාරි 14වනදා කලාපයේ මෙසේ වාර්තා වී තිබිණ. “ජර්මනියේ මෙන්ම ඩෙන්මාර්කයේ පොලිස් නිලධාරීන් පරිගණක මෘදුකාංග මහා පරිමාණයෙන් සොරකම් කරන කණ්ඩායමක සාමාජිකයන්ව අත්අඩංගුවට ගෙන තිබේ.” මෙම කණ්ඩායම පරිගණක වැඩසටහන් මෙන්ම වීඩියෝ ක්‍රීඩා හොරෙන් පිටපත් කරමින් අන්‍යයන්ට බෙදාහැරිය බවත්, සමහර අවස්ථාවලදී අන්තර්ජාලය ඔස්සේ ඒවා අළෙවි කළ බවත් එහි තවදුරටත් සඳහන් විය.
ක්‍රිස්තියානි සභාවට අයත් වන අප, මේ සම්බන්ධයෙන් දැරිය යුතු ආකල්පය කුමක්ද? ‘කායිසර්ගේ දේ කායිසර්ටද දෙවිගේ දේ දෙවිටද දෙන්න’ යනුවෙන් යේසුස් පැවසූ දේ මෙහිදී අපට උපකාරවත් වේ. (මාර්ක් 12:17) මෙම ප්‍රතිපත්තිය අදාළ කරගැනීමෙන් අදහස් කරන්නේ, දෙවිගේ නීතියට විරුද්ධ නැති රටේ සෑම නීතියකටම අප යටත් විය යුතු බවයි. ප්‍රේරිත පාවුල් පාලකයන් පිළිබඳව අප දැරිය යුතු ආකල්පය පැහැදිලි කරමින් මෙසේ පැවසුවේය. “හැමදෙනාම උසස් බලධාරීන්ට යටත් වෙත්වා. . . . බලධාරීන්ට විරුද්ධව සිටින්නා දෙවිගේ විධිවිධානයට විරුද්ධව සිටියි. විරුද්ධව සිටින්නෝ තමුන් පිටට දඬුවම් පමුණුවාගන්නෝය.”—රෝම 13:1, 2, NW.
ක්‍රිස්තියානි සභාවේ එක් එක් පුද්ගලයන්ගේ පරිගණක සෝදිසි කරමින් ප්‍රකාශන හිමිකම් නීති පහදා දීම හෝ ඒ පිළිබඳව නීති පැනවීම වැඩිමහල්ලන්ගේ වගකීමක් නොවේ. තමාට අයිති නැති දෙයක් ලබා නොගත යුතු බවත් නීතිය උල්ලංගනය කිරීමෙන් වැළකී සිටීමට වෙර දැරිය යුතු බවත් එම වැඩිමහල්ලන් විශ්වාස කරන අතර, ඔවුහු අවශ්‍ය වූ විට ඒ කාරණා සම්බන්ධයෙන් සභාවේ සියලුදෙනාවම දැනුවත් කරති. මෙය, නීතිය උල්ලංගනය කිරීමෙන් ලැබෙන දඬුවමින් ආරක්ෂාවක් සලසා දෙන අතර, ක්‍රිස්තියානියෙකුට දෙවි ඉදිරියේ පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතුව සිටීමටද ඉවහල් වේ. “උදහස නිසා පමණක් නොව හෘදයසාක්ෂිය නිසාද යටත්වෙන්ට ඕනෑය” කියමින් පාවුල් එය පැහැදිලි කළේය. (රෝම 13:5) සැබෑ ක්‍රිස්තියානියෙකු තුළ තිබිය යුතු ආකල්පය විස්තර කරමින් පාවුල් මෙසේද පැවසුවේය. “අපි සියල්ලේදී යහපත්ලෙස [අවංක ලෙස, NW] හැසිරෙන්ට ආශාවෙන්, යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිටින බව විශ්වාසකරමුව.”—හෙබ්‍රෙව් 13:18.
[29වන පිටුවේ කොටුව]
ඇතැම් ව්‍යාපාරික ස්ථානවල හා පාසැල්වල භාවිත කරන්නේ කිහිපදෙනෙකුටම භාවිත කළ හැකි බව සඳහන් බලපත්‍ර ඇති මෘදුකාංගයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම සභාවල 1995දී සාකච්ඡා කළ ලිපියක මෙම උපදෙස්ද සඳහන් කර තිබිණ.
‘පරිගණක වැඩසටහන් පිළියෙළ කරන සහ අළෙවි කරන සමාගම් බොහොමයක් මේවායේ හිමිකම් දරන අතර, මෙම වැඩසටහන් නීත්‍යනුකූලව භාවිත කරන ආකාරය සඳහන් බලපත්‍රයක් එම සමාගම් මගින් සපයයි. මිල දී ගත් පසු වැඩසටහනේ පිටපත් අන්‍යයන්ට දීමට නොහැකි බව බලපත්‍රයේ සාමාන්‍යයෙන් සඳහන් වේ; ඇත්තවශයෙන්ම, ජාත්‍යන්තර හිමිකම් නීතියට අනුව, එසේ කිරීම නීත්‍යනුකූල නොවේ. . . . ඇතැම් සමාගම්, බලපත්‍ර සහිත වැඩසටහන් ඇතුල් කරන ලද පරිගණක විකුණති. කෙසේවුවද, ඇතැම් පරිගණක අළෙවි ආයතන බලපත්‍ර සපයන්නේ නැත. මන්ද ඔවුන් ඇතුල් කරන ලද වැඩසටහන් නීත්‍යනුකූල නොවන පිටපත් වන නිසයි. ඉන් අදහස් කරන්නේ, මිල දී ගන්න පුද්ගලයා වැඩසටහන් භාවිත කිරීමේදී නීතිය උල්ලංගනය කරන බවයි. අයිතිකරුවන්ගේ නීතික අවසරයකින් තොරව, පිටපත් කර ඇති ප්‍රකාශන හිමිකම් සහිත (සමිතියේ ප්‍රකාශ වැනි) ඉලෙක්ට්‍රොනික තොරතුරු පුවරුවලින් තොරතුරු ලබාගැනීමෙන් හෝ ඒවාට තොරතුරු ඇතුල් කිරීමෙන් ක්‍රිස්තියානීන් වැළකිය යුතුය.’