Skip to content

පටුනට යන්න

ඵරිසිවරු සහ සද්දුසිවරු

ඵරිසිවරු සහ සද්දුසිවරු

ඵරිසිවරු සහ සද්දුසිවරු

Insight on the Scriptures (it) නමැති ප්‍රකාශනය ඇසුරෙනි

ඵරිසිවරු

ඵරිසිවරු නම්, පොදු යුගයේ පළමුවන සියවසේ පැවති යුදෙව්වාදයට අයත් ප්‍රමුඛ ආගමික නිකායකි. ඇතැම් විශාරදයන්ගේ මතයට අනුව, එම නාමයෙහි පදගතාර්ථය “වෙන් වූ අය නැතහොත් විසන්ධිවාදීන්” යන්නයි. එසේ නම් එම නාමය භාවිත කළේ ඔවුන් චාරිත්‍රානුකූල අපවිත්‍රකමකින් සිටි නිසා හෝ අන්‍යජාතිකයන්ගෙන් වෙන්ව සිටි නිසා විය හැකිය. ඵරිසිවරුන් බිහි වූයේ කෙසේද කියා හරි හැටි කිසිවෙකු දන්නේ නැත. යුදෙව් ඉතිහාසඥ ජොසීෆස්ගේ ලියවිලිවලින් හෙළි වන්නේ Iවන ජොන් හිර්කැනස්ගේ කාලයේදී (පො.යු.පෙ. දෙවන සියවසේ අග භාගයේදී) ඵරිසිවරුන් සෑහෙන බලවත් කණ්ඩායමක් හැටියට බිහි වී තිබූ බවය. ජොසීෆස් මෙසේ ලීවේය. “මහජනයා ඉදිරියෙහි ඔවුන්ගේ බලපෑම කොතරම් බලගතුද කිවහොත්, රජ කෙනෙකුට හෝ උත්තම පූජකයෙකුට විරුද්ධව ඔවුන් කතා කළ පමණින්, ඔවුන්ගේ වචන සැවොම භාරගන්නේ අබ මල් රේණුවක තරම්වත් සැකයක් නොමැතිවය.”—ජුවිෂ් ඇන්ටික්විටීස්, XIII, 288 (x, 5).

ඵරිසිවරුන්ගේ විශ්වාසයන් සම්බන්ධයෙන්ද ජොසීෆස් තොරතුරු සපයයි. ඔහු මෙසේ නිරීක්ෂණය කරයි. “ආත්මය අමරණීය බවත්, සුචරිතවත් හෝ දුෂ්චරිතවත් ජීවිත ගත කර ඇති අයට විපාක හෝ දඬුවම් ලැබෙන බවත් ඔවුහු විශ්වාස කරති. නපුරු ආත්මවලට සදාකාලික සිර දඬුවමක් නියම වේ. යහපත් ආත්මවලට අලුත් දිවියකට පිවිසෙන්න පහසු මාර්ගයක් විවෘත වේ.” (ජුවිෂ් ඇන්ටික්විටීස්, XVIII, 14 [i, 3]) “සෑම ආත්මයක්ම අමරණීය වේ. එනමුත් වෙනත් සිරුරකට පිවිසෙන්නේ යහපතුන්ගේ ආත්ම පමණි. දුෂ්ටයන්ගේ ආත්ම සදාකාලික දඬුවමකින් පීඩා ලබත්.” දෛවය නැතහොත් දේවාරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන්ට තිබෙන විශ්වාසය ගැන ජොසීෆස් මෙසේ වාර්තා කරයි. “සෑම දෙයකටම දෛවය සහ දෙවියන් වගකියන බව ඔවුහු විශ්වාස කරති. නිවැරදි ලෙස හෝ වැරදිසහගතව ක්‍රියා කිරීමේ වගකීම බොහෝදුරට මිනිසා සතු වුවත්, ඔවුන්ගේ සෑම ක්‍රියාවකටම දෛවයේ දායකත්වයක් ඇති බවත් ඔවුහු විශ්වාස කරති.”—ද ජුවිෂ් වෝර්, II, 162, 163 (viii, 14).

ඵරිසිවරුන් සම්බන්ධයෙන් ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවලින් හෙළි වන දේවල් කිහිපයක් සලකා බලමු. ඔවුහු සතියකට දෙවරක් නිරාහාරව සිටියෝය. ඔවුහු නොවරදවාම දසයෙන් කොටසද දුන්නෝය. (මතෙ 9:14; මාක් 2:18; ලූක් 5:33; 11:42; 18:11, 12) තවද “නැවත-නැඟිටීමක්වත් දේවදූතයෙක්වත් ආත්මයක්වත්” නැතැයි පැවසූ සද්දුසිවරුන්ගේ මතයට ඔවුන් එකඟ වූයේද නැත. (ක්‍රියා 23:8) තමන්ගේ ධර්මිෂ්ඨකම (ඇත්තෙන්ම කියනවා නම්, ආත්ම-ධර්මිෂ්ඨකම) ගැන ඉතා ආඩම්බර වූ ඔවුහු, පොදු ජනයාට අවමාන කළෝය. (ලූක් 18:11, 12; යොහ 7:47-49) තමන් ධර්මිෂ්ඨ බව මවා පෙන්වමින්, අන්‍යයන්ගේ පැසසුම් ලබාගැනීමේ අදහසින්, ඵරිසිවරු ආරක්ෂාව සඳහා පැළඳගත් පිලාක්තරී (ශුද්ධ ලියවිල්ලේ කොටස් අඩංගු කොපු) පළල් කර තම වස්ත්‍රවල දාවලුද මහත් කළෝය. (මතෙ 23:5) ඔවුහු මුදලට ප්‍රේම කළෝය (ලූක් 16:14); තනතුරුවලට මෙන්ම තමන්ව වර්ණනා කරන පට්ටම්වලටද ප්‍රිය කළෝය. (මතෙ 23:6, 7; ලූක් 11:43) ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරද්දී ඵරිසිවරුන් කොතරම් අසාධාරණ ආකාරයකින් කටයුතු කළාද කිවහොත්, පොදු ජනයාට ඉමහත් බරක් දැනිණ. ව්‍යවස්ථාවට යටත් විය යුත්තේ ඔවුන්ගේ සංකල්ප සහ සම්ප්‍රදායන් අනුවය කියා ඔවුහු තරයේ කියා සිටියෝය. (මතෙ 23:4) යුක්තිය, දයාව, විශ්වාසකම සහ දෙවිට ප්‍රේමය වැනි වැදගත් දේවල් ඔවුන්ගේ දෘෂ්ටියෙන් සහමුලින්ම බොඳ වී ගියේය. (මතෙ 23:23; ලූක් 11:41-44) තමන්ගේ නිකායට ජනයාව හරවාගන්නා පිණිස ඔවුහු දැඩි පරිශ්‍රමයක්ද දැරුවෝය.—මතෙ 23:15.

ක්‍රිස්තුස් යේසුස් සමඟ ගැටුණු ප්‍රධාන කාරණා කිහිපයක් සඳහන් කරතොත්, සබත් දවස පැවතීම (මතෙ 12:1, 2; මාක් 2:23, 24, ලූක් 6:1, 2), පරම්පරාගත නියෝග නොහොත් සම්ප්‍රදායන් රැකීම (මතෙ 15:1, 2; මාක් 7:1-5) සහ පව්කාරයන් මෙන්ම සුංගම් අයකරන්නන් සමඟ ඇසුරු කිරීම (මතෙ 9:11; මාක් 2:16; ලූක් 5:30) යනාදිය වේ. තමන්ගේ කොන්දේසිවලට අනුව ව්‍යවස්ථාව ක්‍රියාත්මක නොකළ අය සමඟ ඇසුරු කිරීම අපවිත්‍ර කරවන ක්‍රියාවක් කියා ඵරිසිවරුන්ට හැඟුණු බවයි පෙනෙන්නට තිබෙන්නේ. (ලූක් 7:36-39) මේ නිසා, ක්‍රිස්තුස් යේසුස් පව්කාරයන් හා සුංගම් අයකරන්නන් සමඟ ආශ්‍රය කරමින් ඔවුන් සමඟ ආහාර ගත් විට, ඔවුහු තම විරෝධය පෑහ. (ලූක් 15:1, 2) යේසුස් සහ ඔහුගේ ගෝලයන් චාරිත්‍රානුකූලව අත් නොසේදූ නිසා, ඵරිසිවරු ඔවුන්ට දොස් තැබූහ. (මතෙ 15:1, 2; මාක් 7:1-5; ලූක් 11:37, 38) කෙසේවෙතත්, ඔවුන්ගේ තර්කයන්වල දොස් හෙළි කළ යේසුස්, මිනිසා උපදවාගත් සම්ප්‍රදායන්වලට ඇලී සිටින්නට යෑමෙන් දෙවිගේ නීතිය අවලංගු කළ බව එක හෙළාම පැවසුවේය. (මතෙ 15:3-11; මාක් 7:6-15; ලූක් 11:39-44) ක්‍රිස්තුස් යේසුස් සබත් දවසේදී සිදු කළ ආශ්චර්යවත් සුව කිරීම් සම්බන්ධයෙන් සතුටු වී දෙවිට ප්‍රශංසා කරනවා වෙනුවට, ඵරිසිවරු එය සබත් නීතිය උල්ලංගනය කිරීමක් ලෙස සලකමින් කෝපයෙන් පිපිරුණු අතර, යේසුස්ව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළෝය. (මතෙ 12:9-14; මාක් 3:1-6, ලූක් 6:7-11; 14:1-6) සබත් දවසේදී යේසුස්ගෙන් සුවය ලැබූ අන්ධ මනුෂ්‍යයාට ඔවුහු යේසුස් සම්බන්ධයෙන් මෙසේ පැවසූහ. “ඒ මනුෂ්‍යයා සබත් දවස නොපවත්වන බැවින් ඔහු [දෙවි] වෙතින් ආ කෙනෙක් නොවේ.”—යොහ 9:16.

ඵරිසිවරුන් විදහාපෙන්වූ ආකල්පයෙන් පැහැදිලි වන්නේ ඔවුන්ගේ අභ්‍යන්තරය ධර්මිෂ්ඨ සහ පවිත්‍ර නොවූ බවය. (මතෙ 5:20; 23:26) සෙසු යුදෙව්වන් මෙන්, ඔවුන්ටද පසුතැවිල්ල අවශ්‍ය විය. (සසඳන්න මතෙ 3:7, 8; ලූක් 7:30.) කෙසේවෙතත්, වැඩිදෙනා ආත්මික අන්ධකාරයෙහි රැඳී සිටීමට කැමති වූ අතර, (යොහ 9:40) දෙවිගේ පුත්‍රයාට විරුද්ධව ගත් ක්‍රියාමාර්ගයන් තව තවත් දරුණු විය. (මතෙ 21:45, 46; යොහ 7:32; 11:43-53, 57) යේසුස් යක්ෂාධිපතියාගේ බලයෙන් යක්ෂයන් පලවාහරින බවට බොරු චෝදනාව එල්ල කළ අය අතරද (මතෙ 9:34; 12:24), යේසුස් බොරු සාක්ෂි දෙන්නෙකු බවට චෝදනා කළ අය අතරද ඵරිසිවරුන් සිටි බව සඳහන් කළ යුතුය. (යොහ 8:13) ඇතැම් ඵරිසිවරු දෙවිගේ පුත්‍රයාව භයගැන්වීමට උත්සාහ කළ අතර (ලූක් 13:31), ඔවුන්ට ලකුණක් පෙන්වන මෙන්ද ඉල්ලුවෝය. (මතෙ 12:38; 16:1; මාක් 8:11) අනික් අතට, ඔහුගේ කතාවෙන් ඔහුව අසු කරගැනීමට (මතෙ 22.15; මාක් 12:13, ලූක් 11:53, 54) සහ හරස් ප්‍රශ්න ඇසීමෙන් ඔහුව පරීක්ෂා කිරීමට තැත් කළ අයද සිටියෝය. (මතෙ 19:3; 22:34-36; මාක් 10:2; ලූක් 17:20) අන්තිමේදී යේසුස් ඔවුන්ව නිහඬ කළේ, දාවිත්ගේ ස්වාමියා දාවිත්ගේ පුත්‍රයා විය හැක්කේ කෙසේද කියා ඔවුන්ගෙන් ඇසීමෙනි. (මතෙ 22:41-46) පසුව යේසුස්ව ගෙත්සෙමනේ උද්‍යානයේදී අත්අඩංගුවට ගත් මැරවර පිරිසට ඵරිසිවරුන්ද ඇතුළත් වූ අතර (යොහ 18:3-5, 12, 13), යේසුස්ගේ සිරුර සොරකම් නොකරන ලෙස සොහොන් ගෙය ආරක්ෂා කිරීමට පිලාත්ගෙන් ඉල්ලා සිටි අය අතරද ඵරිසිවරු සිටියෝය.—මතෙ 27:62-64.

ක්‍රිස්තුස් යේසුස්ගේ භූමික දේවසේවා කාලයේදී, ඵරිසිවරුන්ට අන්‍යයන් කෙරෙහි තිබූ බලපෑම කොතරම් බලගතුද කිවහොත්, ඇතැම් මුලාදෑනීහු යේසුස් අදහාගත් බවට විවෘතව ප්‍රකාශ කර සිටින්න පවා භය වූවෝය. (යොහ 12:42, 43) ඒ අතර කෙනෙකි, ඵරිසිවරයෙකුම වූ නිකොදේමුස්. (යොහ 3:1, 2; 7:47-52; 19:39) දැඩි ලෙස විරුද්ධ නොවූ ඵරිසිවරුන් හෝ පසුව ක්‍රිස්තියානීන් වූ ඵරිසිවරුන්ද සිටින්නට ඇත. නිදසුනකට, ක්‍රිස්තියානීන්ගේ ක්‍රියාවන්වලට බාධා නොකරන ලෙස අවවාද කළ ගමාලියෙල් නමැති ඵරිසිවරයාද(ක්‍රියා 5:34-39), යේසුස් ක්‍රිස්තුස්ගේ ප්‍රේරිතයෙකු බවට පත්වූ තාර්සස්හි සාවුල් (පාවුල්) නමැති ඵරිසිවරයාද සඳහන් කළ හැකිය.—ක්‍රියා 26:5; පිලි 3:5.

සද්දුසිවරු

සද්දුසිවරුන් පූජක තන්ත්‍රයට සම්බන්ධ වූ යුදෙව්වාදයට අයත් තවත් ආගමික නිකායකි. (ක්‍රියා 5:17) ඔවුහු නැවත-නැඟිටීමවත් දේවදූතයන් පවතින බවවත් විශ්වාස නොකළෝය.—ක්‍රියා 23:8.

ආගමික නිකායක් වශයෙන් සද්දුසිවරුන් මතු වූ කාලපරිච්ඡේදය හරිහැටි නොදන්නා කාරණයකි. ඔවුන්ව ඓතිහාසික ලෙස නමින් සඳහන් කරන මුල්ම අවස්ථාව ජොසීෆස්ගේ ලියවිලිවල දක්නට ලැබේ. එහි සඳහන් වන්නේ පො.යු.පෙ. දෙවන සියවසේ අග භාගයේදී ඔවුන් ඵරිසිවරුන්ට විරුද්ධව සිටි කණ්ඩායමක් බවය. (ජුවිෂ් ඇන්ටික්විටීස්, XIII, 293 [x, 6]) ඔවුන් ඉගැන්වූ දේ සම්බන්ධයෙන්ද ජොසීෆස් තොරතුරු සපයයි. කෙසේවෙතත්, ඔහු ඉදිරිපත් කරන තොරතුරු සාවද්‍යද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතී. ඵරිසිවරුන් මෙන් නොව, සද්දුසිවරුන් දෛවය පිළිබඳ සංකල්පය ප්‍රතික්ෂේප කළ බව ජොසීෆස් පවසයි. ඔවුන් තරයේ කියා සිටියේ පුද්ගලයෙකු තමාට සිදු වන දේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ගන්නා බවය. ඊට දායක වූයේ ඔවුන්ගේ පෞද්ගලික ක්‍රියාකලාපයයි. (ජුවිෂ් ඇන්ටික්විටීස් XIII, 172, 173 [v, 9]) ඵරිසිවරුන් පැවැත්වූ වාචික සම්ප්‍රදායන් කිහිපයක්ම ප්‍රතික්ෂේප කළ අතර, ඵරිසිවරුන් විශ්වාස කළ අමරණීය ආත්මය පිළිබඳ විශ්වාසය සහ මරණින් පසු දඬුවම් හෝ විපාක ලැබෙන බවට අදහසද ඔවුහු ප්‍රතික්ෂේප කළෝය. සද්දුසිවරුන් එකිනෙකා සමඟ කටයුතු කළ විටදී පවා, ආචාර ධර්මයේ ප්‍රමිති රැක්කේ නැත. ඔවුන් විවාදයට රුචියක් දැක්වූ බවට පැවසේ. ජොසීෆස්ට අනුව, ඔවුන්ගේ ඉගැන්වීම් ධනවතුන්ගේ සිත් ගත්තේය.—ජුවිෂ් ඇන්ටික්විටීස්, XIII, 298 (x, 6); XVIII, 16, 17 (i, 4); ද ජුවිෂ් වෝර්, II, 162-166 (viii, 14).

යොහන් බව්තීස්ත පෙන්වා දුන් පරිද්දෙන්, සද්දුසිවරුන් විසින් පසුතැවිල්ලට යෝග්‍ය ඵල නිපදවීම අවශ්‍ය විය. මෙයට හේතු වූයේ, ඔවුන් ඵරිසිවරුන් මෙන් දෙවිගේ ව්‍යවස්ථාව රැකීමට අපොහොසත් වූ නිසාය. (මතෙ 3:7, 8) යේසුස් ක්‍රිස්තුස් පවා ඔවුන්ගේ දූෂිත ඉගැන්වීම් මුහුන්වලට සමාන කළේය.—මතෙ 16:6, 11, 12.

ක්‍රියා 23:8හි ඔවුන්ගේ ආගමික විශ්වාසයන් සම්බන්ධයෙන් මෙසේ පැවසේ. “සද්දුසිවරු නැවත-නැඟිටීමක්වත් දේවදූතයෙක්වත් ආත්මයක්වත් නැතැයි කියති. නුමුත් ඵරිසිවරු දෙකම ඇතැයි කියති.” සද්දුසිවරුන් කණ්ඩායමක් ක්‍රිස්තුස් යේසුස්ව අසු කරගැනීමට තැත් කළේ නැවත-නැඟිටීම සහ මස්සිනාව විවාහ කරගැනීම හා සම්බන්ධ ප්‍රශ්න කිහිපයක් ඇසීමෙනි. එනමුත් යේසුස් ඔවුන්ව නිහඬ කළේය. සද්දුසිවරුන් විශ්වාස කළ බවට ප්‍රකාශ කළ මෝසෙස්ගේ ලියවිලිවලටම යොමු දක්වමින්, නැවත-නැඟිටීමක් නැති බවට ඔවුන්ගේ තර්කය යේසුස් මනාව නිෂ්ප්‍රභ කළේය. (මතෙ 22:23-34; මාක් 12:18-27; ලූක් 20:27-40) පසු කාලයේදී, පාවුල් යුදෙව් මන්ත්‍රණ සභාව ඉදිරියෙහි සිටිද්දී, ඒ මන්ත්‍රණ සභාව අතර බෙදීමක් ඇති කළේ ඵරිසිවරුන් සහ සද්දුසිවරුන් අතර ඇති වෙනස්කම් ඉස්මතු කිරීමෙනි. පාවුල්ට එසේ කළ හැකි වූයේ එම කණ්ඩායම් දෙක අතර පැවති ආගමික මතභේදයන් නිසාය.—ක්‍රියා 23:6-10.

සද්දුසිවරුන් ආගමික වශයෙන් ඵරිසිවරුන්ට විරුද්ධව සිටියත්, ලකුණක් ඉල්ලමින් යේසුස්ව පරීක්ෂාවට ලක් කරන්න ඔවුහු ඵරිසිවරුන් සමඟ එකතු වූ අතර (මතෙ 16:1), ඔහුට විරුද්ධව දැරූ වෑයමේදී එකට කටයුතු කළහ. යේසුස්ව ඝාතනය කිරීමට මඟක් සෙවීමේදී සද්දුසිවරුන් මූලික පියවර ගෙන කටයුතු කළ බව බයිබලයෙන් ලබාගත හැකි සාක්ෂිවලින් පෙනී යයි. සද්දුසිවරු යනු යේසුස්ට විරුද්ධව කුමන්ත්‍රණය කළ, පසුව ඔහුව මරණයට නියම කළ යුදෙව් මන්ත්‍රණ සභාවේ සාමාජිකයෝය. එම මන්ත්‍රණ සභාවට, සද්දුසිවරයෙකු වූ උත්තම පූජක කයාඵස් සහ වෙනත් ප්‍රමුඛ පෙළේ පූජකයන්ද අයත් විය. (මතෙ 26:59-66; යොහ 11:47-53; ක්‍රියා 5:17, 21) එමනිසා, උත්තම පූජකයන් යම් ක්‍රියාමාර්ගයක් ගත් බවට ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල සඳහන් සෑම අවස්ථාවකදීම, සද්දුසිවරුන් ඊට සම්බන්ධව සිටි බව නිගමනය කළ හැක. (මතෙ 21:45, 46; 26:3, 4, 62-64; 28:11, 12; යොහ 7:32) යේසුස්ගේ මරණය සහ නැවත-නැඟිටීමෙන් පසුව ක්‍රිස්තියානි ධර්මයේ ව්‍යාප්තිය මර්දනය කිරීමට දැරූ උත්සාහයේදී සද්දුසිවරුන් පෙරමුණ ගත් බවටද සාක්ෂි ඇත.—ක්‍රියා 4:1-23; 5:17-42; 9:14.

it-2 625-6, it-2 839