Skip to content

පටුනට යන්න

මළ මුහුදේ ලියවිලි—ඔබේ උනන්දුවට හේතු විය යුත්තේ මන්ද?

මළ මුහුදේ ලියවිලි—ඔබේ උනන්දුවට හේතු විය යුත්තේ මන්ද?

මළ මුහුදේ ලියවිලි—ඔබේ උනන්දුවට හේතු විය යුත්තේ මන්ද?

මළ මුහුදේ ලියවිලි සොයාගැනීමට කලින් තිබූ හෙබ්‍රෙව් ලියවිලිවල පැරණිම පිටපත්, පො.යු. නවවන සහ දහවන සියවසට අයත් ඒවා විය. මෙම පිටපත් සහ මුල් හෙබ්‍රෙව් ලියවිලි අතර වසර දහසකටත් වැඩිය පරතරයක් තිබූ නිසා, ඒවා දෙවිගේ වචනය නිවැරදිව පිටපත් කර ඇති බවට සාක්ෂියක් ලෙස ඇත්තටම සැලකිය හැකි වීද? මළ මුහුදේ ලියවිලි සංස්කරණය කළ ජාත්‍යන්තර කණ්ඩායමේ සාමාජිකයෙක් වන මහාචාර්ය හූල්යෝ ත්‍රෙබෝයේ බරේරා පැවසූ දේ සලකා බලන්න. “අවුරුදු දහසකටත් වඩා වැඩි කාලයක් පුරා, බයිබල් පාඨ යුදෙව් පිටපත් කරන්නන් ඉතා විශ්වාසවන්තව හා පරෙස්සමින් පිටපත් කර ඇති බවට [කුම්රාන්හි සොයාගත්] යෙසායාගේ ලියවිල්ලෙන් අසහාය සාක්ෂි සැපයේ.”

බරේරා සඳහන් කරන ලියවිල්ලෙහි සම්පූර්ණ යෙසායා පොත අඩංගු වේ. කුම්රාන්හි මේ දක්වා සොයාගෙන ඇති බයිබල් අත්පිටපත් 200 ඉක්මවා යන සංඛ්‍යාව අතර, එස්තර් පොත හැර හෙබ්‍රෙව් ලියවිල්ලේ සෑම පොතකම අඩුම තරමින් යම් කොටසක්වත් සොයාගත හැක. සම්පූර්ණ ලියවිල්ලකට තිබෙන්නේ යෙසායා පොත පමණි. අනික් පොත් ඇත්තේ කොටස් වශයෙන් පමණි. එනම් මුළු පොතෙන් සියයට දහයකටත් වඩා අඩු ප්‍රමාණයකි. කුම්රාන්හි වැඩිම ජනප්‍රියත්වයක් ඉසිලූ බයිබල් පොත් අතර ගීතාවලිය (පිටපත් 36ක්), ද්විතීය කථාව (පිටපත් 29ක්) සහ යෙසායා (පිටපත් 21ක්) යන පොත් දක්නට ලැබිණ. ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිල්ලෙහි වැඩියෙන් උපුටා දැක්වීම් කර ඇත්තේද මෙම පොත්වලිනි.

බයිබලය යම් බරපතළ වෙනස් වීම්වලට භාජන වී නැති බව මෙම ලියවිලිවලින් හෙළි වුවද, බබිලෝනීය වහල්භාවයෙන් පසු පැවති යුගයේ සිටි යුදෙව්වන් විසින් හෙබ්‍රෙව් බයිබලයේ එකිනෙකට මදක් වෙනස් අනුවාදයන් කිහිපයක් භාවිත කළ බවට සාක්ෂි ඇත. මැසරෙටික් පිටපත් හා සසඳන කල, මේ සෑම ලියවිල්ලක්ම අක්ෂර වින්‍යාසය සහ භාවිත කරන යෙදුම් අතින් එක සමාන නොවේ. ඇතැම් ලියවිලි ග්‍රීක් සෙප්ටූඅජින්ට් පරිවර්තනයට වැඩි සමීපතාවක් දක්වයි. සෙප්ටූඅජින්ට් පරිවර්තනයේ දක්නට ලැබූ වෙනස්කම්, පරිවර්තකයා අතින් සිදු වූ වැරදි හෝ ඔහු විසින් හිතාමතාම ප්‍රබන්ධ කළ දේවල් බව විශාරදයෝ වරක් සිතූහ. දැන් ලැබී ඇති ලියවිලිවලින් පෙනී යන්නේ මෙම වෙනස්කම්වලට හේතුව හෙබ්‍රෙව් භාෂාව හැසිරූ ආකාරයේ තිබූ යම් වෙනස්කම් බවය. මුල් ක්‍රිස්තියානීන් හෙබ්‍රෙව් ලියවිල්ලෙන් උපුටා දැක්වීම් කළ විට ඒවා මැසරෙටික් පිටපතට වඩා වෙනස් වීමට හේතුව මෙයින් පැහැදිලි වේ.—නික්මයාම 1:5; ක්‍රියා 7:14.

එසේ නම්, මෙම බයිබල් ලියවිලි සහ ලියවිලි කොටස් සම්භාරය හෙබ්‍රෙව් බයිබලය යුග ගණනක් පුරා පිටපත් කර ඇති ආකාරය අධ්‍යයනය කිරීමට කදිම පදනමක් සපයයි. විවිධ ලියවිලි අතර යම් සැසඳීම් කිරීමේදී සෙප්ටූඅජින්ට් සහ සමාරිය පංච පුස්තකය වැදගත් ආකාරයකින් දායක වන බව මළ මුහුදේ ලියවිලිවලින් සනාථ වේ. මැසරෙටික් පිටපතේ යම් සංශෝධනයක් කිරීම අවශ්‍යද යන්න තීරණය කිරීමට මෙම ලියවිලි බයිබල් පරිවර්තකයන්හට අමතර හේතුවක් සපයයි. මැසරෙටික් පිටපතෙහි යෙහෝවාගේ නාමය ඉවත් කරනු ලැබුවත්, නව ලෝක බයිබල් පරිවර්තක කමිටුව එම නාමය ඇතුළත් කිරීමට ගත් තීරණයට හේතුව මෙම ලියවිලිවලින් අවස්ථාවන් කිහිපයකදීම සනාථ වේ.

යේසුස් ජීවත් වූ කාලයේ යුදෙව් ආගම විවිධ ස්වරූපවලින් පැවතුණා යන කාරණය, කුම්රාන් නිකායේ නීති සහ විශ්වාසයන් විස්තර කරන ලියවිලිවලින් පැහැදිලි වේ. කුම්රාන් නිකායේ ඇතැම් සම්ප්‍රදායන් ඵරිසිවරුන්ගේ සහ සද්දුසිවරුන්ගේ ඒවාවලට වඩා වෙනස් විය. මෙම නිකායේ සාමාජිකයන් කාන්තාර ප්‍රදේශයකට පලා ගියේ මෙවැනි වෙනස්කම් නිසා විය හැක. යෙසායා 40:3හි සඳහන් වදන් ඔවුන් තුළින් ඉටු වන බවත්, යෙහෝවාගේ මාර්ගය සමතලා කරන කාන්තාරයේ හඬ තමුන් බවත් ඔවුහු වැරදිසහගත ලෙස සිතූහ. ලියවිලි කොටස් කිහිපයකම මෙසියස් වෙත යොමු දැක්වීම් කර ඇති අතර, එම ලියවිලිවල කර්තෘවරුන් ඔහුගේ පැමිණීම ආසන්න බවට විශ්වාස කරන්නට ඇත. මෙය උනන්දුවට හේතුවක් වන්නේ, මෙසියස්ගේ පැමිණීම “සෙනග බලාපොරොත්තුවෙන් සිටි” බව ලූක් සඳහන් කරන නිසාය.—ලූක් 3:15.

යේසුස් දේශනා කළ කාලයේ යුදෙව් ජීවිතය ගැන යම් අදහසක් ලැබීමටද මළ මුහුදේ ලියවිලි අපට ඉවහල් වේ. පුරාණ හෙබ්‍රෙව් භාෂාව හා බයිබලයේ භාවිත කර ඇති භාෂා ශෛලිය සසඳා බැලීමට මේවායින් අපට තොරතුරු ලැබේ. එනමුත්, මළ මුහුදේ ලියවිලිවලින් බහුතරය තව ගැඹුරින් විග්‍රහ කර බැලිය යුතුය. එවිට, තවත් තොරතුරු එමගින් අනාවරණය කරගත හැකි වේ. දැන් අප 21වන සියවසට පා තබා ඇත. එහෙත්, 20වන සියවසේ ශ්‍රේෂ්ඨතම පුරාවිද්‍යාත්මක සොයාගැනීම විශාරදයන් සහ බයිබල් ශිෂ්‍යයන් යන දෙපිරිසගේම ඉමහත් උනන්දුවට දිගටම හේතුවක් වනවාට සැකයක් නැත.

[7වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

කුම්රාන්හි කැණීම්: Pictorial Archive (Near Eastern History) Est.; manuscript: Courtesy of Shrine of the Book, Israel Museum, Jerusalem අනුග්‍රහයෙනි