Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ උදහස් දවසට කලින් ඔහුව සොයන්න

යෙහෝවාගේ උදහස් දවසට කලින් ඔහුව සොයන්න

යෙහෝවාගේ උදහස් දවසට කලින් ඔහුව සොයන්න

‘යෙහෝවාව සොයන්න. ධර්මිෂ්ඨකම සොයන්න. මොළොක් ගුණය සොයන්න. සමහරවිට නුඹලාව යෙහෝවාගේ උදහස් දවසේදී සඟවනු ලබනවා ඇත.’—ශෙපනියා 2:3.

1. ශෙපනියා අනාවැකි පැවසීම ආරම්භ කළ කාලයේදී යූදාහි පැවති ආත්මික තත්වය ගැන කුමක් කිව හැකිද?

 ශෙපනියා අනාවැකි පැවසීමේ කාර්යය ආරම්භ කළේ යූදා ඉතිහාසයේ තීරණාත්මක අවධියකය. යූදා ජාතියේ ආත්මිකත්වය අන්තයටම පිරිහී තිබිණ. ජනයා යෙහෝවා කෙරෙහි විශ්වාසය තබනවා වෙනුවට, මඟ පෙන්වීම සොයමින් බොරු නමස්කාරයේ යෙදී සිටි පූජකයන් හා ශාස්ත්‍රකරුවන් වෙත ඇදී ගියේය. සශ්‍රීකත්වයේ දෙවියා ලෙස සැලකූ බාල්ට නමස්කාර කිරීම මෙන්ම ඒ හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර දේශය පුරා පැතිරී තිබිණ. සෙනඟට ආරක්ෂාව සැලසීම සඳහා පත් කර සිටි අධිපතීන්, වංශාධිපතීන් හා විනිසුරුවන් සෙනඟට පීඩා කරන්නට විය. (ශෙපනියා 1:9; 3:3) මේ නිසා යූදා සහ යෙරුසලමට විරුද්ධව ‘තම අත දිඟු කිරීමට’ යෙහෝවා ගත් තීරණය ගැන පුදුම විය යුතු නැත!—ශෙපනියා 1:4.

2. යූදාහි සිටි දෙවිගේ ඇදහිලිවන්ත සේවකයන්ට තිබූ බලාපොරොත්තුව කුමක්ද?

2 තත්වය කොතරම් දරුණු වුවත්, බලාපොරොත්තුවක් තබාගත හැකි විය. ඒ කාලය වන විට ආමොන්ගේ පුත් යොෂියා සිංහාසනාරුඪ වී සිටියේය. ඔහු ළමා වියේ පසු වුවත්, යෙහෝවා කෙරෙහි අව්‍යාජ ප්‍රේමයක් වර්ධනය කරගෙන තිබිණ. මේ නව පාලකයා යූදා දේශයෙහි නිර්මල නමස්කාරය නැවත පිහිටුවීමට පියවර ගන්නවා නම්, දෙවිට ඇදහිලිවන්තව සේවය කරමින් සිටි ටිකදෙනාට එය මොනතරම් දිරිගැන්වීමක් වෙනවාද! අනිත් අයටත් ඒ ටිකදෙනා සමඟ එකතු වීමට හා යෙහෝවාගේ උදහස් දවසින් තමන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමට ඉඩ සැලසේ.

ගැළවීම සඳහා කළ යුතු දේවල්

3, 4. යමෙකු ‘යෙහෝවාගේ උදහස් දවසින්’ ගැළවීමට නම්, සපුරාලිය යුතු කොන්දේසි තුන කුමක්ද?

3 යෙහෝවාගේ උදහස් දවසේදී සමහරුන්ට ජීවිත ආරක්ෂා කරගත හැකි වූවාද? ඔව්, ශෙපනියා 2:1-3හි සඳහන් කොන්දේසි තුන ඉටු කළ අයට ආරක්ෂා වීමට හැකි විය. අපි මේ වගන්ති කියවන විට ඒ කොන්දේසි කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමු. ශෙපනියා මෙසේ ලීවේය. ‘නියමය ඉෂ්ට වෙන්ට පළමුවෙන්ද, දවස බොල් මෙන් පහ වී ගොස් යෙහෝවාගේ බලවත් උදහස නුඹලා පිටට පැමිණෙන්ට පළමුවෙන්ද, යෙහෝවාගේ උදහස් දවස නුඹලා පිටට පැමිණෙන්ට පළමුවෙන්ද, නැමී යටත් වෙන්න. යෙහෝවාගේ විනිශ්චය ඉෂ්ට කළාවූ දේශයේ මොළොක් ගුණ ඇති සියල්ලෙනි, ඔහුව සොයන්න. ධර්මිෂ්ඨකම සොයන්න. මොළොක් ගුණය සොයන්න. සමහරවිට නුඹලාව යෙහෝවාගේ උදහස් දවසේදී සඟවනු ලබනවා ඇත.’

4 මේ අනුව යමෙක් යෙහෝවාගේ උදහස් දවසින් ගැළවීමට නම්, (1) යෙහෝවාව සෙවීම, (2) ධර්මිෂ්ඨකම සෙවීම හා (3) මොළොක් ගුණය සෙවීම අවශ්‍ය විය. අද ජීවත් වන අපද එම අවශ්‍යතාවන් තුන සැලකිල්ලට ගත යුතුය. එයට හේතුව කුමක්ද? යූදා සහ යෙරුසලම පො.යු.පෙ. 7වන සියවසේදී විනිශ්චය දවසකට මුහුණ දුන්නාක් මෙන් ක්‍රිස්තියානි ලෝකය ඇතුළුව අද පවතින මුළු දුෂ්ට ක්‍රමයම ඉක්මනින් පැමිණෙන ‘මහත් පීඩාවේදී’ යෙහෝවා දෙවි සමඟ අවසන් සටනට සැරසෙන නිසාය. (මතෙව් 24:21) ඒ කාලයේදී තමන්ව සඟවනු ලැබීමට කැමති සෑම කෙනෙකුම දැන්ම තීරණයක් ගත යුතුය. එය කළ හැක්කේ කෙසේද? ප්‍රමාද වීමට කලින්, යෙහෝවාව, ධර්මිෂ්ඨකම හා මොළොක් ගුණය සෙවීමෙනි!

5. අදදින ‘යෙහෝවාව සෙවීමට’ අයත් වන්නේ මොනවාද?

5 ‘මම කැප වී, බව්තීස්ම වී සිටින දෙවිගේ සේවකයෙක්, යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්. මම දැනටමත් මේ කොන්දේසි තුන ඉටු කරලා නැද්ද?’ කියා ඇතැම්විට ඔබ ඇසිය හැක. ඇත්තෙන්ම, යෙහෝවාට අපේ ජීවිත කැප කිරීමට වඩා වැඩි යමක් එයට ඇතුළත් වේ. ඉශ්‍රායෙල්වරු කැප වූ ජාතියක්ව සිටියහ. එහෙත් යූදාහි වාසය කරමින් සිටි ජනයා ඔවුන්ගේ කැපවීමට එකඟව ජීවත් වෙමින් සිටියේ නැත. මෙහි ප්‍රතිඵලයක් හැටියට, අවසානයේදී දෙවි ඔවුන්ව අත්හැරියේය. අදදින ‘යෙහෝවාව සෙවීමට’ අයත් වන්නේ, ඔහුගේ භූමික සංවිධානය සමඟ කිට්ටු ඇසුරක් පවත්වමින් ඔහු සමඟ උණුසුම් පෞද්ගලික සබඳතාවක් ගොඩනඟාගෙන, එය දිගටම පවත්වාගැනීමයි. දෙවි කාරණා දෙස බලන ආකාරය වටහාගැනීමත්, ඔහුට හැඟෙන ආකාරය ගැන සාවධානව සිටීමත් එයට ඇතුළත් වේ. අප යෙහෝවාව සොයන්නේ පරෙස්සමින් ඔහුගේ වචනය අධ්‍යයනය කර, එය මෙනෙහි කිරීමෙන් හා එහි අඩංගු උපදෙස් ජීවිතයට අදාළ කරගැනීමෙනි. අප යෙහෝවාගේ මඟ පෙන්වීම පතා හැඟීමෙන් යුතුව යාච්ඤා කරමින් ඔහු ශුද්ධාත්මය මගින් දෙන මඟ පෙන්වීමට අනුව කටයුතු කරන විට ඔහු සමඟ තිබෙන අපේ සබඳතාව තව තවත් ශක්තිමත් වේ. එමෙන්ම, ‘අපේ මුළු හෘදයෙන්ද, මුළු ආත්මයෙන්ද, මුළු ශක්තියෙන්ද’ ඔහුට සේවය කිරීමට අප තුළ පෙලඹීමක්ද ඇති වේ.—ද්විතීය කථාව 6:5; ගලාති 5:22-25; පිලිප්පි 4:6, 7; එළිදරව් 4:11.

6. අපට ‘ධර්මිෂ්ඨකම සෙවිය’ හැක්කේ කෙසේද? මේ ලෝක ක්‍රමය තුළ පවා එය කළ හැකි දෙයක් වන්නේ මන්ද?

6 ශෙපනියා 2:3හි සඳහන් දෙවන අවශ්‍යතාව වන්නේ ‘ධර්මිෂ්ඨකම සෙවීමයි.’ අපගෙන් බොහෝදෙනෙක් බව්තීස්මවීමට සුදුසුකම් ලබාගැනීම සඳහා තමන්ගේ ජීවිතවල විශාල වෙනස්කම් සිදු කළහ. එහෙත් දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති අනුව ජීවත් වීම අපේ ජීවිත කාලය පුරාම කළ යුතු දෙයකි. මේ සම්බන්ධයෙන් මුලදී හොඳ දියුණුවක් පෙන්නුම් කළ සමහර අය පසු කලකදී මේ ලෝකයේ දූෂ්‍ය කරවන දේවලට හවුල් වී ඇත. අද අප ජීවත් වන්නේ ලිංගික දුරාචාරය, බොරු කීම හා වෙනත් පාප සාමාන්‍ය දේවල් හැටියට සලකන සමාජයක නිසා ධර්මිෂ්ඨකම සෙවීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. එහෙත්, යෙහෝවාව සතුටු කිරීමට දැඩි ආශාවක් තිබෙනවා නම්, ලෝකයේ ආකාරයට දේවල් කිරීමට ඇති වන ඕනෑම නැඹුරුවාවකට එරෙහිව සිටීමට අපට පුළුවන. යූදාහි වැසියෝ අභක්තික අසල්වැසි ජාතීන්ගේ ජීවන රටාව අනුව හැඩගැසීම නිසා දෙවිගේ අනුමැතිය අහිමි කරගත්හ. එනිසා අපි ලෝකයේ ආකාරයට අනුව හැඩ ගැසීමෙන් වැළකී, “දෙවිගේ කැමැත්තට අනුව සැබෑ ධර්මිෂ්ඨකමින්ද, පක්ෂපාතකමින්ද මවන ලද අලුත් පෞද්ගලිකත්වය” අප තුළ වර්ධනය කරගනිමින් ‘දෙවිව අනුකරණය’ කරන්නෝ වෙමු.—එපීස 4:24; 5:1NW.

7. අපට ‘මොළොක් ගුණය සෙවිය’ හැක්කේ කෙසේද?

7 ශෙපනියා 2:3හි සඳහන් තුන්වන අවශ්‍යතාව වන්නේ ‘මොළොක් ගුණය සෙවීමයි.’ යෙහෝවාගේ උදහස් දවසේදී අපව සඟවනු ලබනවා දැකීමට අපට වුවමනා නම්, අප එම අවශ්‍යතාවද සපුරාලිය යුතුයි. මොළොක් ගුණය නොමැති තරුණ හා මහලු ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂය සමඟම උරෙන් උර ගැටී වැඩ කිරීමට දිනපතාම අපට සිදු වේ. ඔවුන් මුදු මොළොක්භාවය සලකන්නේ දුර්වල ලක්ෂණයක් ලෙසය. යටහත් පහත් වීම සලකන්නේ විශාල දුර්වලකමක් ලෙසය. ඔවුන් සෑහීමට පත් නොවේ. ආත්මාර්ථකාමිය. තම මතයේම එල්බගෙන සිටී. ඔවුන් වෑයම් කරන්නේ තමන්ගේ පෞද්ගලික “අයිතිවාසිකම්” හා තමන් කැමති දේවල් කෙසේ හෝ ලබාගන්නයි. එවැනි ආකල්පවල බලපෑමට අප හසු වුවහොත් එය මොනතරම් කනගාටුදායකද! ‘මොළොක් ගුණය සෙවීමට’ කාලය මෙයයි. අපට මෙය කළ හැක්කේ කෙසේද? දෙවිට යටත් වීමෙන්ද, ඔහුගෙන් ලැබෙන හික්මවීම් පිළිගැනීමෙන්ද, ඔහුගේ කැමැත්තට එකඟව ජීවත් වීමෙන්ද අපට ‘මොළොක් ගුණය සෙවිය’ හැක.

සඟවනු ලබන්නේ “සමහරවිට” යයි පවසන්නේ මන්ද?

8. ශෙපනියා 2:3හි සඳහන් “සමහරවිට” යන වචනයෙන් අඟවන්නේ කුමක්ද?

8 ශෙපනියා 2:3හි සඳහන් මෙම වදන් සැලකිල්ලට ගන්න. “සමහරවිට නුඹලා [යෙහෝවාගේ] උදහස් දවසේදී සඟවනු ලබනවා ඇත.” “දේශයේ [පොළොවේ, NW] මොළොක් ගුණ ඇති” අයව අමතන විට “සමහරවිට” යන වචනය යොදාගෙන තිබෙන්නේ ඇයි? එම මොළොක් ගුණ ඇති අය ඒකාන්ත පියවර ගෙන තිබුණත්, තමන් කෙරෙහි ඕනෑවට වඩා විශ්වාසය තැබීමට කිසිම හේතුවක් නොතිබිණ. එමෙන්ම ඔවුන් තමන්ගේ ඇදහිලිවන්ත ජීවිත මාර්ගයේ අවසානයට පැමිණ තිබුණේද නැත. ඔවුන්ගෙන් සමහරදෙනෙකු පාපයට වැටීමට ඉඩ තිබිණ. අපටත් එය අදාළ වේ. යේසුස් පැවසුවේ “අන්තිමය දක්වා ස්ථිරව [විඳදරාගෙන, NW] සිටින්නාම ගැළවෙන්නේය” කියාය. (මතෙව් 24:13) යෙහෝවාගේ උදහස් දවසේදී අප ලබන ගැළවීම රඳා පවතින්නේ අප ඔහුගේ ඇස් හමුවෙහි දිගටම හරි දෙය කිරීම මතයි. එසේ කිරීමට ඔබ ස්ථිර ලෙස අදිටන් කරගෙන සිටිනවාද?

9. තරුණ යොෂියා හරි දෙය කිරීම සඳහා ගත් පියවර කුමක්ද?

9 පෙනෙන විදිහට ශෙපනියා පැවසූ වදන්වලට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් යොෂියා රජ ‘යෙහෝවාව සෙවීමට’ පෙලඹුණේය. මේ සම්බන්ධයෙන් ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ සඳහන් වේ. “ඔහුගේ රජකම්කිරීමේ අටවෙනි අවුරුද්දේ, ඔහු බාලව සිටියදීම [අවුරුදු 16දී පමණ], තමාගේ පියවූ දාවිත්ගේ [දෙවිව] සොයන්ට [පටන්ගත්තේය].” (2 ලේකම් 34:3) යොෂියා ගැන අපට තවදුරටත් මෙසේ කියවීමට තිබේ. “දොළොස්වෙනි අවුරුද්දේදී [යොෂියා වයස අවුරුදු 20දී පමණ] උස්තැන්ද අෂේරා කණුද කැපූ රූපද වාත්තු රූපද පහකර, යූදා සහ යෙරුසලම පිරිසිදුකරන්ට පටන්ගත්තේය. ඔහු ඉදිරිපිටදී බාල්ගේ පූජාසන කඩාදමනලද්දේය.” (2 ලේකම් 34:3, 4) මෙයින් පැහැදිලි වන්නේ යොෂියා ‘ධර්මිෂ්ඨකම සෙවීමට’ පියවර ගත් බවයි. රූප නමස්කාරය මෙන්ම බොරු ආගම් හා බැඳි වෙනත් දේවල් සියල්ලම යූදා දේශයෙන් නැති කර දමමින් යෙහෝවාව සතුටු කිරීමට නිහතමානීව පියවර ගැනීමෙන් ඔහු ‘මොළොක් ගුණයද සෙව්වේය.’ නිර්මල නමස්කාරය නඟා සිටුවීම සඳහා ඔහු කළ දේවල් ගැන මොළොක් ගුණැති සෙසු අය මොනතරම් සතුටු වෙන්න ඇද්ද!

10. පොදු යුගයට පෙ. 607දී යූදා දේශයට සිදු වූයේ කුමක්ද? එහෙත් ආරක්ෂා වූයේ කවුද?

10 යොෂියාගේ පාලන සමයේදී යුදෙව්වන් බොහෝදෙනෙක් ආපසු යෙහෝවා වෙතට හැරී ආවෝය. කෙසේවෙතත්, ඔහුගේ මරණින් පසු බොහෝදෙනෙක් දෙවි සම්පූර්ණයෙන්ම පිළිකුල් කළ, වැරදි දේවල් නැවතත් කරන්න පටන්ගත්හ. ප්‍රතිඵලයක් ලෙස, යෙහෝවා කලින් අණ කර තිබූ ලෙසම බබිලෝනිවරු පො.යු.පෙ. 607දී යූදා දේශය අල්ලාගෙන, එහි අගනුවර වූ යෙරුසලම විනාශ කළහ. එහෙත් ඒ විනාශයෙන් ආරක්ෂා වූ අයද සිටියහ. අනාගතවක්තෘ යෙරෙමියා, ඉතියෝපීය එබෙද්-මෙලෙක්, යෝනාදාබ්ගේ පෙළපතින් පැමිණි අය හා දෙවිට ඇදහිලිවන්තව සේවය කළ තවත් අය යෙහෝවාගේ උදහස් දවසේදී සඟවනු ලැබූහ.—යෙරෙමියා 35:18, 19; 39:11, 12, 15-18.

දෙවිගේ සතුරෝ මෙය සැලකිල්ලට ගනිත්වා!

11. මේ කාලයේදී දෙවිට ඇදහිලිවන්තව සිටීම අභියෝගයක් වන්නේ මන්ද? යෙහෝවාගේ සෙනඟගේ සතුරන් සැලකිල්ලට ගත යුත්තේ කුමක්ද?

11 අද පවතින දුෂ්ට ක්‍රමය පිට යෙහෝවාගේ උදහස් දවස පැමිණෙන තෙක් අප බලා සිටින අතරේදී අපට “අනේකාකාර පරීක්ෂාවලට” මුහුණ දීමට සිදු වේ. (යාකොබ් 1:3) ආගමික නිදහස උසස් කොට සලකනවා කියා පවසන රටවල් ගණනාවක සිටින කූට උපායන් යොදන පූජකයන්, ලෞකික බලධාරීන් සමඟ තිබෙන ඔවුන්ගේ සමීප සබඳකම් යොදාගනිමින් දෙවිගේ සෙනඟට දරුණු හිංසා පීඩා පමුණුවා තිබේ. කිසිම ප්‍රතිපත්තියක් නොමැති මේ මිනිසුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව “භයානක කල්ලියක්” කියා හංවඩු ගසා ඇත. ඔවුන් කරන දේවල් දෙවිගෙන් සැඟවී නැත. දෙවිගේ දඬුවමින් මොවුන්ට ගැළවිය නොහැක. අතීතයේදී දෙවිගේ සෙනඟට සතුරුකම් පෑ පිලිස්තිවරුන් වැනි ජාතීන්ට සිදු වූ දෙය අද සිටින ඔහුගේ සතුරන් සැලකිල්ලට ගත යුතුය. ශෙපනියාගේ අනාවැකියේ තවදුරටත් මෙසේ සඳහන් වේ. “ගාසා අත්හරිනු ලබන්නේය, අෂ්කෙලොන් පාළුවක් වන්නේය. ඔව්හු මද්දහන් වේලාවේ අෂ්දොද්වරුන් එළවා දමන්නෝය, එක්‍රොන්ද උදුරනු ලබන්නේය.” පිලිස්තියට අයත් නගරවල් වූ ගාසා, අෂ්කෙලොන්, අෂ්දොද් සහ එක්‍රොන් සහමුලින්ම විනාශ විය.—ශෙපනියා 2:4-7.

12. පිලිස්තිවරුන්ට, අම්මොන්වරුන්ට හා මෝවබ්වරුන්ට සිදු වූයේ කුමක්ද?

12 අනාවැකියෙහි තවදුරටත් මෙසේ සඳහන් වේ. “මාගේ සෙනගට නින්දාකළාවූ, ඔවුන්ගේ සීමාවට විරුද්ධව උඩඟුවුණාවූ මෝවබ්ගේ නින්දාකිරීමත් අම්මොන් පුත්‍රයන්ගේ අපහාස වචනත් ඇසීමි.” (ශෙපනියා 2:8) මිසරය සහ කූෂ් දේශය බබිලෝනීය හමුදාවේ ප්‍රහාරයට ලක් වූ බව සැබෑවකි. එහෙත් ආබ්‍රහම්ගේ සහෝදරයාගේ පුත්‍රයා වූ ලොත්ගෙන් පැවතෙන්නන් වූ මෝවබ් සහ අම්මොන් යන ජාතීන්ට එරෙහිව දෙවිගේ විනිශ්චය ක්‍රියාත්මක වූයේ කෙසේද? යෙහෝවා මෙසේ පුරෝකථනය කළේය. “මෝවබ් සොදොම මෙනුත් අම්මොන් පුත්‍රයෝ ගොමොරාව මෙනුත් [වන්නෝය].” ලොත්ගේ දූවරු දෙදෙනා මෝවබ්වරුන්ගේ සහ අම්මොන්වරුන්ගේ මිත්තණියන් වූහ. ඔවුන්ගේ මිත්තණියන් සොදොම් සහ ගොමොරාවේ විනාශයෙන් ආරක්ෂා වූවත්, අහංකාර මෝවබ්වරුන්ව සහ අම්මොන්වරුන්ව දෙවිගේ විනිශ්චය දවසේදී සඟවනු ලැබුවේ නැත. (ශෙපනියා 2:9-12; උත්පත්ති 19:16, 23-26, 36, 37) අද පිලිස්තිය සහ එහි නගර පිහිටා තිබෙන්නේ කොහේද? උඩඟු මෝවබ්වරුන් සහ අම්මොන්වරුන් ගැන කුමක් කිව හැකිද? ලෝකයේ අස්සක් මුල්ලක් නෑර සෙව්වත් ඔබට ඔවුන්ව සොයාගත නොහැක.

13. නිනිවයේ කළ කැණීම්වලින් සොයාගෙන තිබෙන්නේ මොනවාද?

13 ශෙපනියාගේ කාලයේදී අෂූරිය අධිරාජ්‍යය ප්‍රබල තත්වයක පසු විය. පුරාවිද්‍යාඥ ඔස්ටන් ලෙයාඩ්, අෂූරියේ අගනුවර වූ නිනිවයේ පිහිටි රජමාළිගාවේ කොටසක් තම කැණීම්වලදී සොයාගත්තේය. ඒ ගැන විස්තර කරමින් ඔහු මෙසේ ලීවේය. “එහි සිවිලිම් . . . හරි හතරැස් කොටස්වලට වෙන් කර, මල් හා සත්ව රූප ඒවායේ පින්තාරු කර තිබිණ. සමහර කොටස්වල ඇත් දළ ඔබ්බවා තිබිණ. සෑම කොටසකම කෙළවර ඉතාමත් අලංකාර ලෙස නිමවා තිබිණ. කුලුනුවල හා කාමර බිත්තිවල රන් හා රිදී ආලේප කර තිබූ බව සිතිය හැක. ලීවලින් කරන ලද වැඩ සඳහා ඉතාමත් වටිනා දැව වර්ග භාවිත කර ඇත. ඒ අතර කිහිරි ගස්වල ලී විශේෂ තැනක් ගත්තේය.” කෙසේවෙතත්, ශෙපනියාගේ අනාවැකියේ සඳහන් වූවාක් මෙන් අෂූරිය විනාශ වීමට නියමිතව තිබිණ. එහි අගනුවර වූ නිනිවය ‘පාළුවීමට’ තිබිණ.—ශෙපනියා 2:13.

14. නිනිවය ගැන පැවසූ ශෙපනියාගේ අනාවැකිය ඉටු වූයේ කෙසේද?

14 ශෙපනියා නිනිවයේ විනාශය ගැන අනාවැකිය පවසා අවුරුදු 15කට පසු ඒ බලවත් නුවර විනාශ වී, එහි රජමාළිගාව බිමට සමතලා විය. ඒ අහංකාර නුවර දූවිලි ගොඩක් බවට පත් විය. එහි විනාශය ගැන විචිත්‍රවත් ලෙස පුරෝකථනය කිරීමේදී යොදාගත් මෙම වචනවලින්, එම විනාශය මොනතරම් දරුණු එකක් වූවාද කියා පැහැදිලි වේ. “කරවැල් කොකාද ඉත්තෑවාද එහි පේකඩවල රැය පසුකරන්නෝය. උන්ගේ හඬ කවුළුවල ඇසෙන්නේය; එළිපතුවල පාළුකම ඇතිවන්නේය.” (ශෙපනියා 2:14, 15) නිනිවයේ සුවිසල් මන්දිර කරවැල් කොකුන්ගේ හා ඉත්තෑවන්ගේ වාසස්ථාන බවට පත් විය. නගරයේ මාවත්වල කලින් ඇසුණු වෙළඳුන්ගේ, රණවිරුවන්ගේ හා පූජකයන්ගේ හඬ තවදුරටත් ඇසෙන්නේ නැත. කලින් මහත් ඝෝෂාකාරි වූ මේ නගරයෙන් ඇසෙන්නේ බිය උපදවන හඬකි. ඇතැම්විට මෙය විලාප නඟන කුරුල්ලෙකුගේ හඬක් හෝ වේගයෙන් හමා යන සුළඟ මගින් ඇති කළ තැතිගන්වන හඬක් විය හැක. දෙවිගේ සතුරන්ටද ඒ හා සමාන ඉරණමක් අත් වේවා!

15. පිලිස්තිය, මෝවබ්, අම්මොන් සහ අෂූරිය යන දේශවලට සිදු වූ දෙයින් කුමක් ඉගෙනගත හැකිද?

15 පිලිස්තිය, මෝවබ්, අම්මොන් සහ අෂූරිය යන දේශවලට සිදු වූ දෙයින් අපට කුමක් ඉගෙනගත හැකිද? යෙහෝවාගේ සේවකයන් වශයෙන් අප, අපේ සතුරන්ට කොහෙත්ම බිය විය යුතු නැති බවය. තම සෙනඟට විරුද්ධවාදිකම් පාන අය කරන දේවල් සම්බන්ධයෙන් දෙවි දෙනෙත් පියාගෙන නැත. යෙහෝවා අතීතයේදී සිය සතුරන්ට එරෙහිව පියවර ගත්තාක් මෙන් ඉදිරියේදීද මුළු පොළොව කෙරෙහිම සිය විනිශ්චය ක්‍රියාත්මක කරනු ඇත. එහෙත් ‘සියලු ජාතීන්ගෙන් සමන්විත මහත් සමූහයක්’ බේරී ජීවත් වනු ඇත. (එළිදරව් 7:9) එසේ බේරී ජීවත් වන අය අතර ඔබටද සිටිය හැක. එහෙත් ඔබ ඔවුන් අතර සිටිනවාද නැද්ද යන්න රඳා පවතින්නේ ඔබ දිගටම යෙහෝවාවත්, ධර්මිෂ්ඨකමත්, මොළොක් ගුණයත් සෙවීම මතයි.

අහංකාර ලෙස වැරදි කරන්නන්ට දුක් වේ!

16. යූදාහි සිටි අධිපතීන් හා ආගමික නායකයන් ගැන ශෙපනියාගේ අනාවැකියේ සඳහන් වූයේ මොනවාද? එහි සඳහන් දේවල් ක්‍රිස්තියානි ලෝකයට ගැළපෙන්නේ මන්ද?

16 නැවත වතාවක් ශෙපනියාගේ අනාවැකිය යූදා සහ යෙරුසලම කෙරෙහි යොමු වෙයි. ශෙපනියා 3:1, 2හි මෙසේ සඳහන් වේ. “කැරළිකාරවූ, අපවිත්‍රවූ, පීඩාකරන්නාවූ නුවරට දුක්වේ! ඈ හඬට කීකරු නුවූවාය; අවවාදය පිළිනොගත්තාය; [යෙහෝවා] කෙරෙහි විශ්වාස නොකළාය; ඇගේ [දෙවිට] ළංවුණේ නැත.” යෙහෝවා සිය සෙනඟව හික්මවීමට දැරූ වෑයම නොසලකා හරින ලද අයට මුහුණ දීමට සිදු වූයේ මොනතරම් ඛේදනීය තත්වයකටද! කුරිරු අධිපතීන්ට, වංශාධිපතීන්ට හා විනිසුරුවන්ට අත් වූයේ නින්දාසහගත ඉරණමකි. ආගමික නායකයන්ගේ ලජ්ජාසහගත තත්වය ගැන ශෙපනියා මෙසේ මොරගසා පැවසුවේය. “ඇගේ ප්‍රොපේතවරු අහංකාර ද්‍රෝහි මනුෂ්‍යයෝය. ඇගේ පූජකයෝ ශුද්ධ දේ කෙලසුවෝය, ව්‍යවස්ථාව පෙරළුවෝය.” (ශෙපනියා 3:3, 4) අද ක්‍රිස්තියානි ලෝකයේ සිටින ප්‍රොපේතවරුන්ගේ හා පූජකයන්ගේ තත්වය එම වදන්වලින් මොනතරම් හොඳින් කියාපානවාද! ඔවුන් අහංකාර ලෙස ඔවුන්ගේ බයිබල් පරිවර්තනවලින් දෙවිගේ නාමය ඉවත් කර තිබෙන අතර, තමන් නමස්කාර කරනවායයි පවසන තැනැත්තා ගැන වැරදි තොරතුරු ඇතුළත් මූලධර්ම උගන්වා ඇත.

17. මිනිසුන් සවන් දුන්නත් නැතත්, අප අත්නෑර දිගටම ශුභාරංචිය ප්‍රකාශ කළ යුත්තේ මන්ද?

17 යෙහෝවා තමන් කරන්න යන දෙය ගැන පුරාණයේ සිටි සෙනඟට බොහෝ වතාවක් අනතුරු ඇඟෙව්වේය. පසුතැවිලි වීම සඳහා සෙනඟව උනන්දු කරවීමට ඔහු ශෙපනියා, යෙරෙමියා හා තවත් අනාගතවක්තෘවරුන්ව යැව්වේය. ඔව් ‘යෙහෝවා කිසිම අධර්මිෂ්ඨකමක් නොකරන්නේය. නොවරදවා උදයක් පාසා ඔහු තමන්ගේ විනිශ්චය එළියට ගෙනෙන්නේය.’ සෙනඟ ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? “නුමුත් අධර්මිෂ්ඨයාට ලජ්ජාව නොදැනෙයි” කියා ශෙපනියා පැවසුවේය. (ශෙපනියා 3:5) මේ කාලයේද ඒ හා සමාන අනතුරු ඇඟවීමක් සිදු කෙරේ. ඔබ ශුභාරංචිය ප්‍රචාරය කරන්නෙක් නම්, එම අනතුරු ඇඟවීමේ කාර්යයේ ඔබත් හවුල් වෙමින් සිටියි. අත්නෑර දිගටම ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහි හවුල් වන්න! මිනිසුන් සවන් දුන්නත් නැතත්, ඔබ අත්නෑර දිගටම ඇදහිලිවන්තව එම කාර්යෙහි හවුල් වන තාක්කල්, දෙවි ඔබව සලකන්නේ සාර්ථකව සේවය කරගෙන යන කෙනෙකු ලෙසය. ඔබ ජ්වලිතව දෙවිගේ සේවයෙහි නිරත වනවා නම්, ලජ්ජා වීමට ඔබට කිසිම හේතුවක් නැත.

18. ශෙපනියා 3:6හි සඳහන් අනාවැකිය ඉටු වූයේ කෙසේද?

18 යෙහෝවාගේ විනිශ්චය ක්‍රිස්තියානි ලෝකය පාළු කිරීමට පමණක් සීමා නොවනු ඇත. යෙහෝවා පොළොවේ සිටින සියලුම ජාතීන්ට එරෙහිව විනිශ්චය ක්‍රියාත්මක කරයි. ඒ ගැන අපට මෙසේ කියවීමට තිබේ. “මම ජාතීන් සිඳදැමීමි, ඔවුන්ගේ පවුරු මුදුන් පාළුවී තිබේ; ඔවුන්ගේ වීථිවල කිසිවෙක් නොයන හැටියට ඒවා පාළුකළෙමි. . . . ඒවා නටබුන්වී තිබේ.” (ශෙපනියා 3:6) එම වදන් මොනතරම් විශ්වාසදායකද කියනවා නම්, යෙහෝවා එම වදන් පවසන්නේ ඒ වන විටත් ඒවා ඉටු වී තිබුණාක් මෙනි. පිලිස්තිය, මෝවබ් සහ අම්මොන් යන නගරවලට සිදු වූයේ කුමක්ද? අෂූරියේ අගනුවර වූ නිනිවය ගැන කුමක් කිව හැකිද? එම නගරවලට අත් වූ විනාශය අද සිටින ජාතීන්ට අනතුරු ඇඟවීමකි. දෙවිට සරදම් කරන්න කිසිවෙකුට නොහැක.

යෙහෝවාව සොයමින් සිටින්න

19. අපට අපගෙන්ම අසාගත හැක්කේ සිතුවිලි පුබුදුවාලන කිනම් ප්‍රශ්නද?

19 ශෙපනියාගේ කාලයේදී ‘තමුන්ගේ සියලු ක්‍රියාවල් දූෂ්‍ය කරගෙන’ සිටි දුෂ්ටයන්ට එරෙහිව යෙහෝවාගේ උදහස ඇවිළිණ. (ශෙපනියා 3:7) ඒ දෙයම අපේ කාලයේදීත් සිදුවීමට නියමිතය. යෙහෝවාගේ උදහස් දවස ආසන්න බවට ඇති සාක්ෂි ඔබ දකිනවාද? ඔබ දිනපතා ඔහුගේ වචනය කියවීමෙන් ‘යෙහෝවාව සොයමින්’ සිටිනවාද? දෙවිගේ ප්‍රමිතිවලට අනුකූලව සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීමෙන් ඔබ ‘ධර්මිෂ්ඨකම සොයමින්’ සිටිනවාද? දෙවි කෙරෙහිත් ගැළවීම සඳහා ඔහු පිළියෙළ කර තිබෙන විධිවිධානය කෙරෙහිත් යටහත් පහත් ආකල්පයක් ඇතුව සිටීමෙන් ඔබ ‘මොළොක් ගුණය සොයමින්’ සිටිනවාද?

20. ශෙපනියාගේ අනාවැකිය පැහැදිලි කළ මෙම ලිපි මාලාවේ අවසාන ලිපියේදී අප සලකා බලන්නේ කුමන ප්‍රශ්නද?

20 අප ඇදහිලිවන්තව දිගටම යෙහෝවාවත්, ධර්මිෂ්ඨකමත්, මොළොක් ගුණයත් සොයමින් සිටිනවා නම්, දැනුත්, ඔව් අපේ ඇදහිල්ල පරීක්ෂණයට ලක් වන මේ “අන්තිම දවස්වල” පවා අපට මහඟු ආශීර්වාද අපේක්ෂා කළ හැක. (2 තිමෝති 3:1-5; හිතෝපදේශ 10:22) සමහරවිට මතු දැක්වෙන ප්‍රශ්න අපට මතු විය හැක. ‘අද සිටින දෙවිගේ සේවකයන් හැටියට අප භුක්ති විඳින ආශීර්වාද මොනවාද? ඉතාමත් වේගයෙන් ළඟා වෙන යෙහෝවාගේ උදහස් දවසේදී සඟවනු ලබන අය අනාගතයේදී භුක්ති විඳින ආශීර්වාද ගැන ශෙපනියාගේ අනාවැකියෙහි සඳහන් වන්නේ මොනවාද?’

ඔබේ පිළිතුර?

• ජනයා ‘යෙහෝවාව සොයන්නේ’ කෙසේද?

• ‘ධර්මිෂ්ඨකම සෙවීමට’ අයත් වන්නේ මොනවාද?

• අපට ‘මොළොක් ගුණය සෙවිය’ හැක්කේ කෙසේද?

• අප යෙහෝවාවත්, ධර්මිෂ්ඨකමත්, මොළොක් ගුණයත් දිගටම සෙවිය යුත්තේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූරය]

බයිබලය අධ්‍යයනය කිරීමෙන් හා හැඟීමෙන් යුතුව යාච්ඤා කිරීමෙන් ඔබ යෙහෝවාව සොයමින් සිටිනවාද?

[21වන පිටුවේ පින්තූරය]

යෙහෝවාව දිගටම සෙවීම නිසා මහත් සමූහයක් ඔහුගේ උදහස් දවසින් බේරී ජීවත් වනු ඇත