Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ නැවත පිහිටෙවූ සෙනඟ ලොව පුරා ඔහුට ප්‍රශංසාව ගෙන දෙයි

යෙහෝවාගේ නැවත පිහිටෙවූ සෙනඟ ලොව පුරා ඔහුට ප්‍රශංසාව ගෙන දෙයි

යෙහෝවාගේ නැවත පිහිටෙවූ සෙනඟ ලොව පුරා ඔහුට ප්‍රශංසාව ගෙන දෙයි

‘සියලු ජනයන් යෙහෝවාගේ නාමය කියා යාච්ඤා කරන පිණිස, ඔවුන්ට පවිත්‍ර භාෂාවක් දෙන්නෙමි.’—ශෙපනියා 3:9.

1. යූදා සහ වෙනත් ජාතීන් දරුණු විනාශයකට මුහුණ දෙන බවට පැවසූ වදන් ඉටු වූයේ මන්ද?

 යෙහෝවා ශෙපනියාට ආනුභාවය දී ප්‍රකාශ කිරීමට දුන් විනිශ්චමය පණිවිඩ මොනතරම් ප්‍රබලද! එම පණිවිඩවල ඇතුළත් වූ දරුණු විනාශයක් පිළිබඳ වදන් යූදා සහ එහි අගනුවර වන යෙරුසලම මත ඉටු වූයේ, එහි පාලකයන් සහ සෙනඟගෙන් බොහෝදෙනෙකු යෙහෝවාගේ කැමැත්ත කරමින් නොසිටි නිසාය. පිලිස්තිවරුන්, මෝවබ්වරුන් හා අම්මොන්වරුන් වැනි අසල්වැසි ජාතීන්ද යෙහෝවාගේ උදහසට ලක් විය. එයට හේතුව වූයේ ඔවුන් සියවස් ගණනාවක් පුරා යෙහෝවාගේ සෙනඟට කුරිරු ලෙස හිංසා පීඩා කිරීමයි. ඒ හේතුව නිසාම නැවත කවදාවත් ශක්තිමත් විය නොහැකි ලෙස අෂූරියේ බලයද බිඳ දමන ලදි.

2. පෙනෙන විදිහට ශෙපනියා 3:8හි සඳහන් වදන් මගින් අමතනු ලැබුවේ කාවද?

2 කෙසේවෙතත්, හරි දෙය කිරීම සඳහා නැඹුරුවාවක් දැක්වූ අයද සිටියහ. දුෂ්ටයන්ට එරෙහිව දෙවිගේ විනිශ්චය ක්‍රියාත්මක වන තෙක් ඔවුහු මහත් ඕනෑකමින් බලා සිටියහ. පෙනෙන විදිහට මෙම වදන් මගින් අමතනු ලැබුවේ ඔවුන්ව විය හැක. “කොල්ල ගැනීමට මා නැගිටින දවස දක්වා මා ගැන බලාසිටින්නැයි [යෙහෝවා කියන්නේය]. මක්නිසාද මාගේ නියමය නම් ජාතීන් රැස්කොට, රාජ්‍යවල් එකතු කොට, මාගේ කෝපය වන මාගේ මුළු බලවත් උදහස ඔවුන් කෙරෙහි වැගිරවීමය; එසේය, මගේ ජ්වලිත ගින්නෙන් මුළු පොළොව විනාශවන්නේය.”—ශෙපනියා 3:8.

“පවිත්‍ර භාෂාවක්” කාටද?

3. ශෙපනියා ආනුභාවය ලැබුවේ කුමන පණිවිඩය ප්‍රකාශ කිරීමටද?

3 ශෙපනියා ප්‍රකාශ කළේ යෙහෝවාගෙන් ලැබුණු විනාශය පිළිබඳ පණිවිඩය පමණක් නොවේ. බලාපොරොත්තු ජනිත කරවන අපූර්ව පණිවිඩයක් ගැනද ප්‍රකාශ කිරීමට ඔහුට දෙවිගේ ආනුභාවය ලැබිණ. යෙහෝවාට දිගටම ඇදහිලිවන්තව සේවය කරමින් සිටි අයට එය සැනසිල්ල ගෙන දෙන පණිවිඩයක් විය. ශෙපනියා 3:9හි සඳහන් වන පරිදි යෙහෝවා දෙවි මෙසේ ප්‍රකාශ කළේය. “සියලු ජනයන් [යෙහෝවාගේ] නාමයට යාච්ඤාකොට, එක්සිත්ව [උරෙන් උර ගැටී ඔහුට, NW] සේවයකරන පිණිස, ඔවුන්ට පවිත්‍ර භාෂාවක් දෙන්නෙමි.”

4, 5. (අ) අධර්මිෂ්ඨයන්ට සිදු වූයේ කුමක්ද? (ආ) එයින් ප්‍රයෝජන ලැබුවේ කවුද? එයට හේතු වූයේ කුමක්ද?

4 පවිත්‍ර භාෂාව නොලැබූ සෙනඟක්ද සිටිනු ඇත. ඔවුන් ගැන අනාවැකියෙහි මෙසේ සඳහන් වේ. “මම එකල නුඹේ උඩඟුවූ ප්‍රීතිමත්වන්නන් නුඹ තුළෙන් පහකරන්නෙමි.” (ශෙපනියා 3:11) මේ අනුව, දෙවිගේ නීති නොසලකා හරිමින් අධර්මිෂ්ඨකම් කරන උඩඟු අයව පහ කර දැමීය. එයින් ප්‍රයෝජන ලැබුවේ කවුද? ශෙපනියා 3:12, 13හි මෙසේ සඳහන් වේ. “මම නුඹ තුළ යටහත්වූ දිළිඳුවූ සෙනගක් ඉතිරිකරන්නෙමි, ඔව්හු [යෙහෝවාගේ] නාමය කෙරෙහි විශ්වාසය තබන්නෝය. ඉශ්‍රායෙල්ගෙන් ඉතිරි අය අයුතුකමක් නොකරන්නෝය, බොරු නොකියන්නෝය; වංචා දිවක් ඔවුන්ගේ මුඛවල සම්බ නොවන්නේය. මක්නිසාද ඔව්හු කිසිවෙකු විසින් භයගන්වනු නොලැබ, කෑම කා නිදාගන්නෝය.”

5 පුරාණ යුදයේ සිටි ඇදහිලිවන්ත ඉතිරි කොටසක් ප්‍රයෝජන ලැබීමට නියමිතව තිබිණ. ඔවුන් ප්‍රයෝජන ලැබීමට හේතුව වූයේ මෙම වදන්වලට එකඟව ඔවුන් කටයුතු කර තිබීමය. ‘යෙහෝවාගේ විනිශ්චය ඉෂ්ට කළා වූ දේශයේ මොළොක් ගුණ ඇති සියල්ලෙනි, යෙහෝවාව සොයන්න, ධර්මිෂ්ඨකම සොයන්න, මොළොක් ගුණය සොයන්න. සමහරවිට නුඹලාව යෙහෝවාගේ උදහස් දවසේදී සඟවනු ලබනවා ඇත.’—ශෙපනියා 2:3.

6. ශෙපනියාගේ අනාවැකියේ මුල් ඉටුවීමේදී සිදු වූයේ කුමක්ද?

6 ශෙපනියාගේ අනාවැකියේ මුල් ඉටුවීමේදී, පො.යු.පෙ. 607දී යූදා දේශය විනාශ කර, එහි සෙනඟව වහල්භාවයට ගෙන යන්න බබිලෝනිවරුන්ට ඉඩහැරීමෙන් නොඇදහිලිවන්ත යුදෙව්වන්ට දෙවි දඬුවම් කළේය. යෙරෙමියා ඇතුළු සමහර අය එම විනාශයෙන් ආරක්ෂා වූ අතර, තවත් අය වහල්භාවයේ සිටියදී පවා යෙහෝවාට ඇදහිලිවන්තව සේවය කළහ. පොදු යුගයට පෙර 539දී මේදීයවරු හා පර්සියානුවෝ කෝරෙෂ් රජගේ නායකත්වය යටතේ බබිලෝනිය අල්ලාගත්හ. ඉන් අවුරුදු දෙකකට පමණ පසු, ඉතිරිව සිටි යුදෙව්වන්ට ආපසු සිය මව් බිමට යෑමට අවසර දෙමින් කෝරෙෂ් නියෝගයක් නිකුත් කළේය. කලක් ගතවීමෙන් පසු යෙරුසලමේ දේවමාළිගාව නැවත ගොඩනැඟූ අතර, සෙනඟට ව්‍යවස්ථාවේ සඳහන් දේවල් ඉගැන්වීම සඳහා පූජකයන්ගේ වැඩකටයුතු නැවත ආරම්භ කරන ලදි. (මලාකී 2:7) මෙසේ යළි පිහිටවනු ලැබූ ඉතිරි යුදෙව්වන් ඇදහිලිවන්තව සිටින තුරු යෙහෝවා ඔවුන්ට සෞභාග්‍යවත් කාලයක් උදා කර දුන්නේය.

7, 8. ශෙපනියා 3:14-17හි සඳහන් අනාවැකිමය වදන් අදාළ වූයේ කාටද? ඔබේ පිළිතුරට හේතු සපයන්න.

7 එම යළි පිහිටුවීමේ ප්‍රීතිය භුක්ති විඳින අය ගැන ශෙපනියා මෙසේ පුරෝකථනය කළේය. ‘සියොන් දියණියෙනි, ගී කියන්න; ඉශ්‍රායෙල්, ඝෝෂා කරන්න; යෙරුසලමේ දියණියෙනි, මුළු සිතින් සන්තෝෂ වී ප්‍රීතිමත් වෙන්න. යෙහෝවා නුඹේ විනිශ්චයන් පහ කළේය. නුඹේ සතුරන් පිටත හෙළුවේය. ඉශ්‍රායෙල් රජ වූ යෙහෝවා නුඹ තුළ [අතරෙහි, NW] සිටින්නේය. නුඹ තවත් විපත්තියට භය නොවන්නෙහිය. ඒ කාලයේදී යෙරුසලමට කියනුයේ, භය නොවන්න. සියොන්, නුඹේ අත් හෙළා වැටී නොතිබේවා. නුඹේ දෙවි වූ යෙහෝවා නුඹ තුළ [ඔබ අතරෙහි, NW] සිටින්නේය. ඔහු ගළවන්නට බලවත් වූ තැනැත්තාය. ඔහු සන්තෝෂයෙන් නුඹ කෙරෙහි ප්‍රීති වී, තමන්ගේ ප්‍රේමයෙහි නිශ්චලව සිටින්නේය. ප්‍රීති ඝෝෂාවෙන් නුඹ කෙරෙහි ප්‍රීතිමත් වන්නේය.’—ශෙපනියා 3:14-17.

8 එම අනාවැකිමය වදන්වලින් යොමු දක්වන්නේ බබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් වී ආපසු තමන්ගේ මුතුන්මිත්තන්ගේ දේශයට පැමිණි යුදෙව්වන්ගේ ඉතිරි කොටසටයි. ශෙපනියා 3:18-20හි සඳහන් වදන්වලින් ඒ බව පැහැදිලි වේ. එහි අපට මෙසේ කියවීමට තිබේ. “මංගල්‍ය රැස්වීම ගැන ශෝකවන්නන් [යෙහෝවා වන මම] රැස්කරන්නෙමි, ඔව්හු නුඹට අයිතිව සිටියෝය. එහි නින්දාව ඔවුන්ට බරක් විය. ඒ කාලයේදී නුඹට පීඩාකරන සියල්ලන්ට මම ප්‍රතිඵල දෙන්නෙමි. කොරගසගසා යන්නන් ගළවා, පන්නාදැමූවන් රැස්කොට, ඔවුන් ලජ්ජාව වින්දාවූ සියලුම දේශවල ඔවුන් ප්‍රශංසාවක්ද නාමයක්ද වෙන්ට සලස්වන්නෙමි. මා විසින් නුඹලා රැස්කරන ඒ කාලයෙහිම නුඹලා ඇතුළට ගෙනෙන්නෙමි. මක්නිසාද මම නුඹලාගේ ඇස් හමුයෙහි නුඹලාගේ වහල්කම පහකරන විට, පොළොවේ සියලු ජනයන් අතරෙහි නුඹලා නාමයක්ද ප්‍රශංසාවක්ද කරන්නෙමියි [යෙහෝවා කියන්නේය].”

9. යුදා අද්දුටු දෙය සලකා බලන කල යෙහෝවා ඔහුගේ නාමය උත්කෘෂ්ටවත් කළේ කෙසේද?

9 දෙවිගේ සෙනඟගේ සතුරන්ව සිටි අවට ජාතීන් මොනතරම් විස්මිත වූවාද කියා සිතා බලන්න! බලවත් බබිලෝනිය විසින් යූදා වැසියන්ව වහල්භාවයට ගෙන ගිය අවස්ථාවේදී, නිදහස ලැබීම පිළිබඳ කිසිම බලාපොරොත්තුවක් පෙනෙන්න නොතිබිණ. එපමණක්ද නොව, ඔවුන් වාසය කළ දේශය සම්පූර්ණයෙන්ම පාළුවට ගොස් තිබිණ. කෙසේවෙතත්, දෙවිගේ මහත් බලය නිසා අවුරුදු 70කට පසුව ආපසු තමන්ගේ මව් බිමට එන්න ඔවුන්ට හැකි වූ අතර, ඔවුන්ට සතුරුකම් පෑ ජාතීන් විනාශ විය. ඇදහිලිවන්ත යුදෙව්වන්ගේ ඉතිරි කොටසව නැවත ඔවුන්ගේ මව් බිමට ගෙන ඒමෙන් යෙහෝවා ඔහුගේ නාමය මොනතරම් උත්කෘෂ්ට තත්වයකට පත් කළාද! ඔහු ඔවුන්ව ‘සියලු ජනයන් අතරෙහි නාමයක්ද ප්‍රශංසාවක්ද’ කළේය. එම යළි පිහිටුවීම යෙහෝවාටත් ඔහුගේ නාමය දරන අයටත් මොනතරම් ප්‍රශංසාවක් ගෙනාවාද!

යෙහෝවාගේ නමස්කාරය වැජඹෙයි

10, 11. යළි පිහිටුවීම හා සම්බන්ධ ශෙපනියාගේ අනාවැකියේ මහත් ඉටුවීම සිදු වන්නේ කවදාද? අප මෙය දන්නේ කෙසේද?

10 යේසුස් ක්‍රිස්තුස් සැබෑ නමස්කාරය සඳහා ඉශ්‍රායෙල්ගේ ඉතිරි කොටසක් එකතු කළ කාලය වන පොදු යුගයේ මුල් සියවසේදී තවත් යළි පිහිටුවීමක් සිදු විය. එහෙත්, යළි පිහිටුවීම හා සම්බන්ධ මහත් ඉටුවීම සිදුවීමට තිබුණේ ඉදිරි කාලයේදී නිසා මුල් සියවසේ සිදු වූ යළි පිහිටුවීම අනාගත යළි පිහිටුවීමක පෙර ඡායාවක් විය. මීකාගේ අනාවැකියේ මෙසේ පුරෝකථනය කර තිබේ. “මතු දවස්වලදී [දවස්වල අවසාන භාගයේදී, NW] [යෙහෝවාගේ] ගෘහයේ පිහිටි කන්ද කඳුවල මුදුනේ පිහිටුවනු ලබන්නේය, හෙල්වලට වඩා උසස්වන්නේය; ජනයෝ එය කරා ගලාගන එන්නෝය.”—මීකා 4:1.

11 මෙය සිදු වන්නේ කවදාද? එම අනාවැකියෙහි සඳහන් වන පරිදි ‘දවස්වල අවසාන භාගයේදීය,’ එනම් මේ ‘අන්තිම දවස්වලදීය.’ (2 තිමෝති 3:1) මෙය සිදු වන්නේ වර්තමාන දුෂ්ට ක්‍රමය අවසන් වීමට කලින්, ජාතීන් බොරු දෙවිවරුන්ට නමස්කාර කරමින් සිටින කාලයේදීය. මීකා 4:5හි මෙසේ සඳහන් වේ. “සියලු ජනයෝ තම තමුන්ගේ දෙවිවරුන්ගේ නාමයෙන් හැසිරෙන්නෝය.” සැබෑ නමස්කාරකයන් ගැන කුමක් කිව හැකිද? මීකාගේ අනාවැකියෙහි එම ප්‍රශ්නයට මෙසේ උත්තර සපයයි. “අපිද අපේ දෙවිවූ [යෙහෝවාගේ] නාමයෙන් සදාකාලයටම හැසිරෙන්නෙමු.”

12. මේ අන්තිම දවස්වලදී සැබෑ නමස්කාරය ඉතා උසස් ලෙස පිහිටුවා තිබෙන්නේ කෙසේද?

12 මෙම අන්තිම දවස්වලදී ‘යෙහෝවාගේ ගෘහය පිහිටි කන්ද කඳුවල මුදුනේ පිහිටුවනු ලබන්නේය.’ යෙහෝවාගේ සැබෑ නමස්කාරය ඉතාමත් උසස් ලෙස යළි පිහිටුවා තිබේ. එය කවදාවත් බිඳ හෙළිය නොහැක. සෙසු සියලුම ආගම්වලට වඩා එය ශ්‍රේෂ්ඨ තත්වයක පවතී. මීකාගේ අනාවැකියෙහි පුරෝකථනය කර තිබෙන පරිදි “ජනයෝ එය කරා ගලාගන එන්නෝය.” සැබෑ ආගමෙහි ඉගැන්වීම්වලට අනුව ජීවත් වන අය ‘ඔවුන්ගේ දෙවි වන යෙහෝවාගේ නාමයෙන් සදාකාලයටම හැසිරෙන්නෝය.’

13, 14. මේ ලෝකය ‘දවස්වල අවසාන භාගයට’ පා තැබුවේ කවදාද? එදා සිට සැබෑ නමස්කාරයට සිදු වී තිබෙන්නේ කුමක්ද?

13 බයිබල් අනාවැකිවල සඳහන් සිද්ධීන් ඉටුවීමෙන් තහවුරු වන්නේ, මේ ලෝකය 1914දී ‘දවස්වල අවසාන භාගයට’ නොහොත් අන්තිම දවස්වලට පා තබා තිබෙන බවයි. (මාර්ක් 13:4-10) යෙහෝවා ස්වර්ගික බලාපොරොත්තුව තිබෙන ඇදහිලිවන්ත ආලේප ලත් අයගේ ඉතිරි කොටසව සැබෑ නමස්කාරයේ යෙදීම සඳහා එක්රැස් කිරීමට පටන්ගත් බව ඉතිහාසය පෙන්වා දෙයි. එම එක්රැස් කිරීමෙන් පසුව, පාරාදීස පොළොවක ජීවත් වීමේ බලාපොරොත්තුවෙන් සිටින “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත්” සමන්විත “මහත් සමූහයක්” එක්රැස් කිරීමට පටන්ගෙන තිබේ.—එළිදරව් 7:9.

14 පළමුවන ලෝක මහා යුද්ධය සිදු වූ දා සිට මේ කාලය දක්වා, යෙහෝවාගේ නාමය දරන අය විසින් කරන නමස්කාරය දෙවිගේ මඟ පෙන්වීම යටතේ බලවත් ලෙස ඉදිරියටම ඇදී ගොස් තිබේ. පළමුවන ලෝක මහා යුද්ධයෙන් පසු දහස් ගණනකින් සමන්විත වූ යෙහෝවාගේ නමස්කාරකයන්, අද වන විට දශලක්ෂ හයක් දක්වා වැඩි වී ඇති අතර, ඔවුහු රටවල් 235ක පිහිටි සභාවන් 91,000කට පමණ නමස්කාරය සඳහා එක්රැස් වෙති. මෙම රාජ්‍ය ප්‍රචාරකයෝ ප්‍රසිද්ධියේ දෙවිව ප්‍රශංසාවට පත් කිරීම සඳහා සෑම වසරකම පැය බිලියනයකට වැඩි ප්‍රමාණයක් වැය කරති. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය” යනුවෙන් යේසුස් පැවසූ අනාවැකිමය වදන් ඉටු කරන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් බව පැහැදිලිය. —මතෙව් 24:14.

15. ශෙපනියා 2:3 මේ කාලයේදී ඉටු වෙමින් තිබෙන්නේ කෙසේද?

15 ‘නුඹේ දෙවි වූ යෙහෝවා නුඹ තුළ [අතරෙහි, NW] සිටින්නේය. ඔහු ගළවන්නට බලවත් වූ තැනැත්තාය’ කියා ශෙපනියා 3:17හි සඳහන් වේ. මේ අන්තිම දවස්වල යෙහෝවාගේ සේවකයන් අද්දකින ආත්මික සමෘද්ධියට ප්‍රධානතම හේතුව වන්නේ ඔවුන්ගේ සියලු බලැති දෙවි ඔවුන් “අතරෙහි” සිටීමයි. අද සැබෑවක් වී තිබෙන මෙය, පො.යු.පෙ. 537දී පුරාණ යූදා දේශය යළි පිහිටෙවූ කාලයේදී සිදු වූ දෙයට සමානය. මේ අනුව ශෙපනියා 2:3හි ප්‍රධාන ඉටුවීම අපේ කාලයේදී සිදු වන ආකාරය අපට දැකගත හැක. එහි මෙසේ සඳහන් වේ. ‘මොළොක් ගුණ ඇති සියල්ලෙනි, යෙහෝවාව සොයන්න.’ මෙහිදී ‘සියල්ලන්’ කියා යොමු දැක්වූයේ පො.යු.පෙ. 537දී බබිලෝනියේ වහල්භාවයෙන් නිදහස ලබා ආපසු තම මව් බිමට පැමිණි යුදෙව්වන්ගේ ඉතිරි කොටසටයි. මේ කාලයේදී ‘සියල්ලන්ගෙන්’ නියෝජනය වන්නේ රාජ්‍යය දේශනා කිරීමේ කාර්යයට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් ‘යෙහෝවාගේ ගෘහයේ කන්දට’ ගලා එන පොළොව පුරා වෙසෙන සියලු ජාතීන්ගෙන් යුත් මොළොක් ගුණැති අයවයි.

සැබෑ නමස්කාරය වර්ධනය වෙයි

16. මේ කාලයේ සිටින යෙහෝවාගේ සේවකයන් අද්දකින සමෘද්ධිමත් තත්වය ගැන අපේ සතුරන්ට හැඟෙන්නේ කෙසේද?

16 පොදු යුගයට පෙර 537දී දෙවිගේ සේවකයන් ඔවුන්ගේ මව් බිමට පැමිණ සැබෑ නමස්කාරය යළි පිහිටෙවූ විට අවට සිටි ජාතීන් පුදුම විය. එහෙත් ඒ යළි පිහිටුවීම සිදු වූයේ සුළු පරිමාණයෙනි. අද සිටින යෙහෝවාගේ සේවකයන්ගේ වර්ධනය, ඔවුන්ගේ ආත්මික සමෘද්ධිය හා ඔවුන්ගේ සංවිධානය ඉදිරියටම ගමන් කරන ආකාරය ගැන දෙවිගේ සෙනඟගේ සතුරන් ඇතුළු සමහර අය පවසන දේවල් ඔබට සිතාගත හැකිද? සෙනඟ යේසුස් වටා එක්රොක් වූ ආකාරය දුටු ඵරිසිවරුන්ට හැඟුණාක් මෙන් දෙවිගේ සේවකයන්ගේ සතුරන්ටද හැඟී යා හැක. “අන්න, ලෝකයා ඔහු පස්සේ ගියෝය” කියා ඵරිසිවරු කෝපයෙන් පැවසූහ.—යොහන් 12:19.

17. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන එක් ලේඛකයෙකු පැවසුවේ කුමක්ද? ඔවුන් ලබා තිබෙන වර්ධනය ගැන කුමක් කිව හැකිද?

17 ඔවුහුද විශ්වාස කරති නමැති පොතෙහි (ඉංග්‍රීසියෙන්) ලේඛකයා වන මහාචාර්ය චාර්ලස් එස්. බ්‍රේඩන් එහි මෙසේ සඳහන් කළේය. ‘යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෝකයේ සතර දිග් භාගයේම ඔවුන්ගේ පණිවිඩය ගැන සාක්ෂි දරා තිබේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැර වෙනත් කිසිම ආගමික කණ්ඩායමක් රාජ්‍යයේ ශුභාරංචිය පතුරුවාහැරීම සඳහා මේ තරම් ජ්වලිතයක් හා අඛණ්ඩ වෑයමක් දරා නැති බව අවංකවම පැවසිය හැක. ඔවුන්ගේ සංවිධානය තව තවත් වර්ධනය වන බව ස්ථිරයි.’ ඔහු සඳහන් කළ දෙය නිවැරදි බව කිසිම සැකයක් නැතිව කිව හැක! ඔහු මීට අවුරුදු 50කට කලින් එම වදන් ලියූ කාලයේදී ලොව පුරා දේශනා කිරීමෙහි හවුල් වෙමින් සිටි සාක්ෂිකරුවන් ගණන 3,00,000ක් පමණ විය. අද ලොව පුරා ශුභාරංචිය දේශනා කරමින් සිටින සාක්ෂිකරුවන්ගේ ගණන දශලක්ෂ හයක් කරා ළඟා වී ඇත. මෙය එදා සිටි ගණන මෙන් 20 ගුණයකට ආසන්නය. අද ඔහු සිටියා නම් මේ වර්ධනය ගැන කුමක් කියාවිද?

18. පවිත්‍ර භාෂාව යනු කුමක්ද? දෙවි එය දී තිබෙන්නේ කාටද?

18 දෙවි ඔහුගේ අනාගතවක්තෘ මාර්ගයෙන් පුරෝකථනය කළ අනාවැකියෙහි මෙම පොරොන්දුවද සපයා තිබේ. “එකල සියලු ජනයන් [යෙහෝවාගේ] නාමයට යාච්ඤාකොට, එක්සිත්ව [උරෙන් උර ගැටී ඔහුට, NW] සේවයකරන පිණිස, ඔවුන්ට පවිත්‍ර භාෂාවක් දෙන්නෙමි.” (ශෙපනියා 3:9) මේ අන්තිම දවස්වලදී යෙහෝවාගේ නාමය කියා යාච්ඤා කරන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් පමණි. ඔවුහු කිසිදා බිඳ හෙළිය නොහැකි ප්‍රේමයේ බැම්මෙන් වෙළී එක්සත්ව ඔහුට සේවය කරති. ඔව්, “උරෙන් උර ගැටී” ඔහුට සේවය කරති. යෙහෝවා පවිත්‍ර භාෂාව දී තිබෙන්නේ ඔවුන්ටය. දෙවි සහ ඔහුගේ අරමුණු ගැන සත්‍යය නිසියාකාරව තේරුම්ගැනීම එම පවිත්‍ර භාෂාවට ඇතුළත් වේ. සිය ශුද්ධාත්මය යොදාගනිමින් එම තේරුම්ගැනීමේ හැකියාව ලබා දිය හැක්කේ යෙහෝවාට පමණි. (1 කොරින්ති 2:10) යෙහෝවා සිය ආත්මය දී තිබෙන්නේ කාටද? “පාලකයා වන තමන්ට කීකරු වන අයට” මිස වෙන කිසිවෙකුට නොවේ. (ක්‍රියා 5:32, NW) සෑම කාරණයකදීම පාලකයා වන දෙවිට කීකරු වීමට සෑදී පැහැදී සිටින්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් පමණි. මේ හේතුව නිසා දෙවිගේ ආත්මය ඔවුන්ට ලැබී තිබෙන අතර, ප්‍රතිඵලයක් ලෙස යෙහෝවා හා ඔහුගේ මවිතකර අරමුණු පිළිබඳ සත්‍යය ඇතුළත් පවිත්‍ර භාෂාව කතා කිරීමට ඔවුන්ට හැකි වී තිබේ. ඔවුහු ලොව පුරා පුළුල් පරිමාණයකින් පවිත්‍ර භාෂාව යොදාගනිමින් යෙහෝවාව පැසසුමට ලක් කරති.

19. පවිත්‍ර භාෂාව කතා කිරීමට අයත් වන්නේ කුමක්ද?

19 පවිත්‍ර භාෂාව කතා කිරීමට අයත් වන්නේ සත්‍යය විශ්වාස කිරීම හා එය අන් අයට ඉගැන්වීම පමණක් නොවේ. දෙවිගේ නීති හා ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීමද එයට අයත් වේ. යෙහෝවාව සෙවීමෙහි හා පවිත්‍ර භාෂාව කතා කිරීමෙහි පෙරමුණ ගෙන කටයුතු කරන්නේ ආලේප ලත් ක්‍රිස්තියානීන්ය. ඔවුන් මෙතෙක් කර තිබෙන සේවයෙන් ඉටු වී ඇති දේවල් ගැන සිතා බලන්න! ආලේප ලත් අයගේ ගණන 8,700 දක්වා අඩු වී තිබුණත්, දශලක්ෂ හයකට ආසන්න පිරිසක් යෙහෝවාව සෙවීමෙන් හා පවිත්‍ර භාෂාව කතා කිරීමෙන් ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරමින් සිටියි. යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තබන සියලු ජාතීන්ගෙන් සමන්විත මහත් සමූහයට අයත් වන ඔවුන්ගේ ගණන දිනෙන් දින වැඩි වේ. දෙවිගේ ආත්මික දේවමාළිගාවේ භූමික මළුවේ සිට පරිශුද්ධ සේවය පිරිනමමින් සිටින ඔවුන්, මේ අධර්මිෂ්ඨ ලෝකය මතට ඉක්මනින්ම පැමිණීමට නියමිත ‘මහත් පීඩාවෙන්’ බේරී ජීවත් වනු ඇත.—එළිදරව් 7:9, 14, 15.

20. ඇදහිලිවන්ත ආලේප ලත් අය හා මහත් සමූහයට අයත් අය ඉදිරියේදී හවුල් වන්නේ කුමන කාර්යයෙහිද?

20 දෙවිගේ ධර්මිෂ්ඨ නව ලොවට මුලින්ම ඇතුල් වන්නේ මහත් සමූහයයි. (2 පේතෘස් 3:13) යේසුස් ක්‍රිස්තුස්ගෙන් හා ඔහු සමඟ රජවරුන් හා පූජකයන් ලෙස සේවය කිරීම සඳහා ස්වර්ගික ජීවිතයකට නැවත නැඟිටවනු ලබන ආලේප ලත් 1,44,000දෙනාගෙන් සමන්විත නව ආණ්ඩු ක්‍රමයක් මගින් පොළොව පාලනය කරනු ඇත. (රෝම 8:16, 17; එළිදරව් 7:4; 20:6) මහත් පීඩාවෙන් බේරී ජීවත් වන අය, මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කිරීමේ කාර්යයෙහි හවුල් වෙමින් දෙවි දෙනු ලබන පවිත්‍ර භාෂාව දිගටම කතා කරනු ඇත. යෙසායා 54:13, 14හි සඳහන් මෙම වදන් ඔවුන්ටද අදාළ වේ. “නුඹේ සියලුම දරුවෝද [යෙහෝවා] විසින් උගන්වනු ලබන්නෝ වෙති; නුඹේ දරුවන්ගේ සමාදානයද මහත් වන්නේය. නුඹ ධර්මිෂ්ඨකමෙන් පිහිටුවනු ලබනවා ඇත.”

මෙතෙක් සිදු නොවූ ඉගැන්වීමේ පුළුල් වැඩපිළිවෙළක්

21, 22. (අ) ක්‍රියා 24:15හි සඳහන් වන ආකාරයට, පවිත්‍ර භාෂාව ඉගෙනගනු ඇත්තේ කවුද? (ආ) රාජ්‍ය පාලනය යටතේ, පොළොව පුරා මෙතෙක් සිදු නොවූ ආකාරයෙන් දියත් කරනු ලබන ඉගැන්වීමේ වැඩපිළිවෙළ කුමක්ද?

21 නව ලොවේදී පවිත්‍ර භාෂාව ඉගෙනගැනීම සඳහා විශාල කණ්ඩායමකට ප්‍රස්තාව උදා කර දෙනු ඇත. මොවුන් ගැන ක්‍රියා 24:15හි මෙසේ කියවීමට තිබේ. “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක් වන්නේය.” අතීතයේදී යෙහෝවා ගැන නිවැරදි දැනුමක් ලබාගැනීමට නොහැකිව මිය ගිය බිලියන ගණනක් සිටිති. යෙහෝවා ක්‍රමානුකූලව ඔවුන්ට නැවත මේ පොළොවේ ජීවත් වීමට අවස්ථාව ලබා දෙනු ඇත. නැවත නැඟිටවනු ලබන ඔවුන්ටද පවිත්‍ර භාෂාව ඉගැන්විය යුතුයි.

22 ඒ ඉගැන්වීමේ පුළුල් වැඩපිළිවෙළට හවුල් වෙන්න ලැබීම මොනතරම් උතුම් වරප්‍රසාදයක් වනු ඇද්ද! එය, ඉතිහාසයේ මෙතෙක් දියත් කර තිබෙන දැවැන්තම අධ්‍යාපනික වැඩපිළිවෙළ වනු ඇත. මෙය සිදු කරනු ලබන්නේ රාජ්‍ය බලය ලබා සිටින ක්‍රිස්තුස් යේසුස්ගේ ධර්මිෂ්ඨ පාලනය යටතේදීය. එම අධ්‍යාපනික වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් හැටියට අවසානයේදී මනුෂ්‍යවර්ගයා යෙසායා 11:9හි සඳහන් මෙම වදන්වල ඉටුවීම අද්දකිනු ඇත. “ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන් [යෙහෝවා] ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.”

23. යෙහෝවාගේ සෙනඟ හැටියට අප ඉමහත් සේ වරප්‍රසාද ලබා තිබෙන බව ඔබට පැවසිය හැක්කේ මන්ද?

23 මුළු පොළොවම යෙහෝවා පිළිබඳ දැනුමෙන් පිරී යන මවිතකර කාලය සඳහා සූදානම් වෙන්න ලැබීම, අන්තිම දවස්වල ජීවත් වන අපට මොනතරම් උතුම් වරප්‍රසාදයක්ද! එමෙන්ම ශෙපනියා 3:20හි සඳහන් අනාවැකිමය වදන්වල මහත් ඉටුවීම අදදින අද්දකින දෙවිගේ සෙනඟ අතර සිටින්න ලැබීම අප ලබා තිබෙන තවත් උතුම් වරප්‍රසාදයක් නොවේද! යෙහෝවා අපට දී තිබෙන සහතිකය ගැන එහි අපට මෙසේ කියවීමට තිබේ. “[මම] පොළොවේ සියලු ජනයන් අතරෙහි නුඹලා නාමයක්ද ප්‍රශංසාවක්ද කරන්නෙමි.”

ඔබේ පිළිතුර?

• ශෙපනියා පැවසූ යළි පිහිටුවීම පිළිබඳ අනාවැකියේ ඉටුවීම් මොනවාද?

• මේ අන්තිම දවස්වලදී සැබෑ නමස්කාරය වර්ධනය වෙමින් තිබෙන්නේ කෙසේද?

• නව ලොවේදී සිදු වන පුළුල් ඉගැන්වීමේ වැඩපිළිවෙළ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[25වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ සෙනඟ නිර්මල නමස්කාරය යළි පිහිටුවීම සඳහා ආපසු තමන්ගේ මව් බිමට ගියහ. මෙය අදදිනට අදාළ වන ආකාරය ඔබ දන්නවාද?

[26වන පිටුවේ පින්තූර]

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ “පවිත්‍ර භාෂාව” කතා කරමින් මිනිසුන්ට බයිබලයේ සඳහන් සහනය ගෙන දෙන පණිවිඩය ඉදිරිපත් කරති