Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ විනිශ්චය දවස ළඟයි!

යෙහෝවාගේ විනිශ්චය දවස ළඟයි!

යෙහෝවාගේ විනිශ්චය දවස ළඟයි!

‘යෙහෝවාගේ මහත් දවස ළංව තිබේ. ඒක ඉතා ඉක්මනට එන්නේය.’—ශෙපනියා 1:14.

1. දෙවි ශෙපනියා මාර්ගයෙන් දුන් අනතුරු ඇඟවීම කුමක්ද?

 යෙහෝවා දෙවි දුෂ්ටයන්ට විරුද්ධව පියවර ගැනීමට ආසන්නයි. ඔහුගේ මෙම අනතුරු ඇඟවීමට සවන් දෙන්න! ‘මම මනුෂ්‍යයාව නැති කර දමන්නෙමි. භූමිය මතු පිටින් මනුෂ්‍යයාව සිඳදමන්නෙමි.’ (ශෙපනියා 1:3) පරමාධිපති ස්වාමි වූ යෙහෝවා තම අනාගතවක්තෘ ශෙපනියා මාර්ගයෙන් එම වදන් පැවසූ අතර, ඔහු ඇදහිලිවන්ත හෙසකියා රජුගේ මුනුපුරාගෙත් මුනුපුරා විය හැක. යහපත් රජෙකු වූ යොෂියාගේ දවස්වල කළ එම ප්‍රකාශය යූදා දේශයේ වාසය කරමින් සිටි දුෂ්ටයන්ට ප්‍රිය ඉපදවූ පණිවිඩයක් නොවීය.

2. යොෂියා ගත් ක්‍රියාමාර්ගය යෙහෝවාගේ විනිශ්චය දවස ක්‍රියාත්මක වීම වැළැක්වීමට හේතුවක් නොවූයේ මන්ද?

2 ශෙපනියා පැවසූ අනාවැකිය නිසා, බොරු නමස්කාරයෙන් දූෂ්‍ය වී තිබූ යූදා දේශය පවිත්‍ර කිරීමේ අවශ්‍යතාව යොවුන් වියේ පසු වූ යොෂියාගේ සිතට කාවැදුණු බව නිසැකය. එහෙත්, බොරු ආගම යූදා දේශයෙන් තුරන් කර දැමීමට රජ ගත් ක්‍රියාමාර්ගය මගින්, ජනයා අතර පැවති දුෂ්ටකම් සහමුලින්ම නැති කර දැමීමට හෝ “නිදොස් ලේවලින් යෙරුසලම පිරෙවු” ඔහුගේ සීයා වූ මනස්සේ රජුගේ පාප මකා දැමීමට හෝ නොහැකි විය. (2 රාජාවලිය 24:3, 4; 2 ලේකම් 34:3) මේ නිසා යෙහෝවාගේ විනිශ්චය දවස ක්‍රියාත්මක වීම ගැන කිසිදු සැකයක් නොතිබිණ.

3. ‘යෙහෝවාගේ උදහස් දවසේදී’ අපේ ජීවිත ආරක්ෂා කරගත හැකි බවට නිසැක විය හැක්කේ මන්ද?

3 එහෙත්, ගරුබිය දනවන යෙහෝවාගේ විනිශ්චය දවසින් ඇතැම් අය බේරී ජීවත් වනු ඇත. එමනිසා, දෙවිගේ අනාගතවක්තෘවරයා ජනයාගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටියි. “නියමය ඉෂ්ටවෙන්ට පළමුවෙන්ද, දවස බොල් මෙන් පහවී ගොස් [යෙහෝවාගේ] බලවත් උදහස නුඹලා පිටට පැමිණෙන්ට පළමුවෙන්ද, [යෙහෝවාගේ] උදහස් දවස නුඹලා පිටට පැමිණෙන්ට පළමුවෙන්ද, නැමී යටත්වෙන්න. [යෙහෝවාගේ] විනිශ්චය ඉෂ්ටකළාවූ දේශයේ මොළොක් ගුණ ඇති සියල්ලෙනි, [ඔහුව] සොයන්න; ධර්මිෂ්ඨකම සොයන්න, මොළොක් ගුණය සොයන්න. සමහරවිට නුඹලා [යෙහෝවාගේ] උදහස් දවසේදී සඟවනු ලබනවා ඇත.” (ශෙපනියා 2:1-3) යෙහෝවාගේ විනිශ්චය දවස ක්‍රියාත්මක වන කාලයේදී අපේ ජීවිත ආරක්ෂා කරගැනීම ගැන මනසේ තබාගනිමින්, අපි දැන් ශෙපනියාගේ පොතේ සඳහන් දේවල් සලකා බලමු. මෙම පොත ලියනු ලැබුවේ පො.යු.පෙ. 648ට කලින් යූදා දේශයේදීය. මෙය අප සියලුදෙනාම මුළු හදින්ම අවධානය යොමු කළ යුතු දෙවිගේ ‘අනාවැකිමය වදන්වලට’ අයත් කොටසකි.—2 පේතෘස් 1:18ආ, 20, NW.

යෙහෝවා ඔහුගේ අත දිගු කළේය

4, 5. ශෙපනියා 1:1-3හි සඳහන් වදන් යූදා දේශයේ සිටි දුෂ්ටයන් කෙරෙහි ඉටු වූයේ කෙසේද?

4 ශෙපනියාට දැන්වූ ‘යෙහෝවාගේ වචනය’ ආරම්භ වන්නේ අනතුරු ඇඟවීමකිනි. දෙවි මෙසේ පවසයි. “මම භූමිය මතුපිටින් සියලු දේ සහමුලින් නැතිකරන්නෙමියි [යෙහෝවා කියන්නේය]. මනුෂ්‍යයා සහ මෘගයා නැතිකරන්නෙමි; ආකාශයේ පක්ෂීන්ද මුහුදේ මත්ස්‍යයන්ද දුෂ්ටයන් ඇතුළුව පැකිලවන දේවල්ද නැතිකරන්නෙමි; භූමිය මතුපිටින් මනුෂ්‍යයා සිඳදමන්නෙමියි [යෙහෝවා කියන්නේය].”—ශෙපනියා 1:1-3.

5 ඔව්, යෙහෝවා යූදා දේශයේ පැවති ඉතාමත් දරුණු දුෂ්ටකම් තුරන් කර දැමීමට පියවර ගනිමින් සිටියේය. දෙවි “භූමිය මතුපිටින් සියලු දේ සහමුලින් නැති [කර දැමීමට]” යොදාගත්තේ කාවද? පෙනෙන විදිහට ශෙපනියා අනාවැකි පළ කළේ යොෂියා රජු පාලනය ආරම්භ කළ පො.යු.පෙ. 659 මුල්භාගයේදී නිසා, එම වදන් ඉටු වූයේ පො.යු.පෙ. 607දී යූදා දේශය හා එහි අගනුවර වූ යෙරුසලම පාළු කරනු ලැබූ බබිලෝනිවරුන් තුළිනි. එම කාලයේදී යූදා දේශයේ සිටි දුෂ්ටයන්ව ‘නැති කර දැමීමක්’ සිදු විය.

6-8. ශෙපනියා 1:4-6හි පුරෝකථනය කර තිබෙන්නේ කුමක් ගැනද? මෙම අනාවැකිය පුරාණ යූදා දේශය තුළ ඉටු වූයේ කෙසේද?

6 දෙවි විසින් බොරු නමස්කාරකයන්ට විරුද්ධව ගනු ලබන ක්‍රියාමාර්ගය ගැන ශෙපනියා 1:4-6හි මෙසේ පුරෝකථනය කර තිබේ. “මම යූදාටත් යෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධව මාගේ අත දිඟුකරන්නෙමි; බාල්ගේ ඉතිරි පංගුවද, පූජකයන් සමග කපුවන්ගේ නාමද, ගෙවල් මුදුනේ සිට අහස් සේනාවට නමස්කාරකරන්නන්ද, [යෙහෝවාට] දිවුරා මල්කාම් නමිනුත් දිවුරා නමස්කාරකරන්නන්ද, [යෙහෝවා] වෙතින් පසුබටවූවන්ද, [යෙහෝවා] නොසෙවුවාවූ, [ඔහුගෙන්] විභාග නොකළාවූ අයද මේ ස්ථානයෙන් සිඳදමන්නෙමි.”

7 යෙහෝවාගේ අත යූදා සහ යෙරුසලමේ වැසියන්ට එරෙහිව දිගු කර තිබිණ. කානානිවරුන් සශ්‍රීකත්වයේ දෙවි ලෙස සැලකූ බාල්ට නමස්කාර කරන්නන්ව විනාශ කර දැමීමට යෙහෝවා අදිටන් කරගෙන සිටියේය. විවිධ ප්‍රදේශවල මිනිසුන්ගේ වැඳුම් පිදුම් ලැබූ දෙවි දේවතාවුන්වද හැඳින්වූයේ බාල් කියාය. එයට හේතු වූයේ යම් ස්ථානයක අරක්ගෙන එම ප්‍රදේශය පුරා දැඩි බලපෑමක් ඇති කිරීමට එම දේවතාවුන්ට හැකියාවක් තිබූ බව ඔවුන්ට නමස්කාර කළ අය විශ්වාස කළ නිසාය. උදාහරණයක් හැටියට, මෝවබ්වරු හා මිදියන්වරු බාල්පෙයෝර් යන නමින් හැඳින්වූ දෙවියන්ට නමස්කාර කළහ. (ගණන් කථාව 25:1, 3, 6) යූදා දේශය පුරා සිටි බාල් පූජකයන්වත් ඔවුන් සමඟ මිත්‍රකම් පැවැත්වීමෙන් දෙවිගේ ව්‍යවස්ථාව උල්ලංගනය කළ ලෙවීවරුන්වත් යෙහෝවා විනාශ කර දැමුවේය.—නික්මයාම 20:2, 3.

8 ‘අහස් සේනාවට වැඳ නමස්කාර කළ’ අයවද දෙවි විනාශ කළේය. පෙනෙන විදිහට ඔවුහු ජ්‍යොතිඃශාස්ත්‍රය හා සම්බන්ධ ක්‍රියාවල හවුල් වෙමින් හිරුට නමස්කාර කළහ. (2 රාජාවලිය 23:11; යෙරෙමියා 19:13; 32:29) ‘මල්කාම්ගේ නමිනුත් යෙහෝවාගේ නමිනුත් දිවුරීමෙන්’ සැබෑ නමස්කාරය බොරු නමස්කාර සමඟ මිශ්‍ර කිරීමට තැත් කළ අයට එරෙහිවද යෙහෝවා උදහස් විය. ඇතැම්විට, මල්කාම් යන නම, අම්මොන්වරුන්ගේ ප්‍රධාන දෙවියා වූ මොලෙක්ව හැඳින්වීමට යොදාගත් තවත් නමක් විය හැක. දරුවන්ව පූජා කිරීම, මොලෙක්ට කළ නමස්කාරයේ අංගයක් විය.—1 රාජාවලිය 11:5; යෙරෙමියා 32:35.

ක්‍රිස්තියානි ලෝකයේ විනාශය අත ළඟයි!

9. (අ) ක්‍රිස්තියානි ලෝකය වරදකරුවෙකු වී සිටින්නේ කුමකටද? (ආ) යූදාහි සිටි ඇදහිල්ල එපා කළ අයට වෙනස්ව, අපේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?

9 යූදා දේශයේ පැවති ඒ සෑම දෙයකින්ම අපේ මතකයට නැංවෙන්නේ බොරු ආගම හා බැඳි නොයෙක් දේවල් හා ජ්‍යොතිඃශාස්ත්‍රයේ බහුල ලෙස යෙදී සිටින ක්‍රිස්තියානි ලෝකයයි. පූජකයන්ගේ අනුබලය ලැබෙන යුද්ධය නමැති පූජාසනය මත දශලක්ෂ ගණනකගේ ජීවිත පූජා කිරීමේදී ක්‍රිස්තියානි ලෝකය සිදු කරන දෙය ඇත්තෙන්ම පිළිකුල් සහගතයි! අපි කවදාවත් යෙහෝවාගේ මඟ පෙන්වීම නොසොයමින් හා උදාසීන වෙමින් ‘ඔහු වෙතින් පසුබට වූ’ යූදාහි සිටි ඇදහිල්ල එපා කළ අය හා සමාන නොවෙමු. අපි දිගටම දෙවි ඉදිරියෙහි අපේ අඛණ්ඩතාව පවත්වාගනිමු.

10. ශෙපනියා 1:7හි සඳහන් වදන්වල අනාවැකිමය වැදගත්කම ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?

10 අනාගතවක්තෘවරයා ඊළඟට පවසන වදන් යූදාහි සිටි වරදකරුවන්ට හා අපේ කාලයේ සිටින දුෂ්ටයන්ට එක සේ අදාළ වේ. ශෙපනියා 1:7හි මෙසේ සඳහන් වේ. ‘[පරමාධිපති, NW] ස්වාමි වූ යෙහෝවා ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්න. මක්නිසාද යෙහෝවාගේ දවස ළංව තිබේ. යෙහෝවා පූජාවක් පිළියෙළ කොට, තමන් විසින් කැඳවූ අය කැප කර තිබේ.’ පෙනෙන විදිහට මෙම ‘කැඳවූ අය’ වූයේ යූදාවරුන්ගේ සතුරන් වූ කල්දිවරුන්ය. “පූජාව” වූයේ යූදාවරුන් හා ඔවුන්ගේ අගනුවරය. මෙසේ, යෙරුසලම විනාශ කිරීමට දෙවි අරමුණු කර තිබෙන බව ශෙපනියා ජනයාට දැන්නුවේය. මෙම අනතුරු ඇඟවීම ක්‍රිස්තියානි ලෝකයේ විනාශයටද යොමු දක්වයි. ඇත්තෙන්ම, අද වන විට දෙවිගේ විනිශ්චය දවස ඉතාමත් ආසන්න වෙමින් තිබේ. මුළු ලෝකයම ‘පරමාධිපති ස්වාමි වූ යෙහෝවා ඉදිරියෙහි නිශ්ශබ්දව සිටිමින්’ ඔහු පවසන දෙයට සවන් දිය යුතුයි. ඔහු අද ලෝකයට කතා කරන්නේ යේසුස්ගේ අභිෂේක ලත් අනුගාමිකයන්ගෙන් සමන්විත “කුඩා රැළ” හා ඔවුන්ගේ ආශ්‍රිතයන් වන ‘වෙනත් බැටළුවන්’ මගිනි. (ලූක් 12:32; යොහන් 10:16) ඔවුන්ට සවන් නොදීමෙන් දෙවිගේ රාජ්‍යය මගින් කරන පාලනයට විරුද්ධ වන අය මේ පොළොවෙන් සහමුලින්ම තුරන් වන දවස ආසන්න වෙමින් තිබේ.—ගීතාවලිය 2:1, 2.

කෑ මොරගැසීමේ දවස අත ළඟයි!

11. ශෙපනියා 1:8-11හි සඳහන් වදන්වල හරය කුමක්ද?

11 යෙහෝවාගේ දවස ගැන ශෙපනියා 1:8-11හි තවදුරටත් මෙසේ සඳහන් වේ. “[යෙහෝවාගේ] පූජාවේ දවසේදී අධිපතීන්ටද රජුගේ පුත්‍රයන්ටද විදේශි ඇඳුම් අඳින සියල්ලන්ටද දඬුවම්කරන්නෙමි. ඒ දවසේම එළිපත්ත උඩින් පැන තමුන්ගේ ස්වාමිවරුන්ගේ ගෙවල් බලාත්කාරයෙන්ද ප්‍රයෝගයෙන්ද පුරවන සියල්ලන්ටත් දඬුවම්කරන්නෙමි. එම දවසේම මත්ස්‍ය දොරටුවෙන් ඝෝෂාවක්ද දෙවෙනි කොටසෙන් කෑමොරගැසීමක්ද හෙල්වලින් බිඳීම් ශබ්දයක්ද වන්නේයයි [යෙහෝවා කියන්නේය]. මක්තේෂ්හි වැසියෙනි, කෑමොරගසන්න, මක්නිසාද කානාන්හි සියලු සෙනග නාස්තිවී ගියාය. මුදල් රැස්කරගත් සියල්ලෝ සිඳදමනු ලැබුවෝය.”

12. සමහරුන් ‘විදේශීය ඇඳුම් ඇඳගෙන’ සිටින බව පෙන්වන්නේ කෙසේද?

12 යොෂියාට පසු යෙහෝවාහාස්, යෙහෝයාකිම් සහ යෙහෝයාඛින් යන රජවරු පාලනය කළහ. ඉන්පසු රජ වූයේ ශෙදෙකියාය. යෙරුසලම විනාශ වූයේ ඔහුගේ පාලන කාලයේදීය. යෙරුසලමේ වැසියන් එවන් දරුණු විනාශයකට මුහුණ දෙමින් සිටියත්, පෙනෙන විදිහට සමහරුන් විසින් තම අසල්වැසි ජාතීන්ගේ අනුග්‍රහය ලබාගැනීම සඳහා ‘විදේශීය ඇඳුම් අඳින ලදි.’ මේ හා සමානව අද සිටින බොහෝදෙනෙකු තමන් යෙහෝවාගේ සංවිධානයට අයත් නැති බව විවිධ ආකාරවලින් පෙන්වයි. මොවුන් සාතන්ගේ සංවිධානයේ කොටසක් බව පැහැදිලිව දැකගත හැකි අතර දෙවි මොවුන්ට දඬුවම් කරනු ඇත.

13. ශෙපනියාගේ අනාවැකියේ සඳහන් වූ පරිදි බබිලෝනිවරුන් යෙරුසලමට පහර දුන් විට සිදු වූයේ කුමක්ද?

13 යූදා දේශයේ වැසියන්ව විනිශ්චයට ලක් කළ ‘ඒ දවස’ යෙහෝවා ඔහුගේ සතුරන්ට එරෙහිව විනිශ්චය ක්‍රියාත්මක කිරීමටත්, දුෂ්ටකම තුරන් කිරීමටත් සිය පරමාධිපත්‍යය තහවුරු කිරීමටත් යන දවසට සමානය. බබිලෝනිවරුන් යෙරුසලමට පහර දුන් අවස්ථාවේදී, මත්ස්‍ය දොරටුව දෙසින් කෑ මොරගැසීමක් විය. එම ස්ථානය මත්ස්‍ය දොරටුව කියා හැඳින්වූයේ මාළු වෙළඳපොළ ඒ අසල තිබූ නිසා විය හැක. (නෙහෙමියා 13:16) බබිලෝනීය හමුදාව දෙවෙනි කොටස කියා හැඳින්වූ කොටසට ඇතුල් විය. “හෙල්වලින් බිඳීම් ශබ්දයක්” ඇසීමෙන් අඟවන්නේ කල්දිවරුන් යෙරුසලමට ළඟා වෙමින් සිටින විට ඇසුණු ශබ්දය විය හැක. ඉහළ තයිරොපියානු නිම්නයේ පිහිටා තිබුණා කියා සිතිය හැකි මක්තේෂ්හි වැසියෝ “කෑමොර” ගැසූහ. ඔවුන් කෑමොර ගැසුවේ ඇයි? “මුදල් රැස්කරගත්” අයගේ ව්‍යාපාර ඇතුළුව සියලුම වාණිජ කටයුතු නතර වූ නිසාය.

14. තමන්ට නමස්කාර කරනවායයි කියන අය සම්බන්ධයෙන් යෙහෝවා කරන්නේ කෙබඳු පුළුල් පරීක්ෂණයක්ද?

14 යෙහෝවා තමන්ට නමස්කාර කරනවායයි කියන අය සම්බන්ධයෙන් කරන්නේ කෙබඳු පුළුල් පරීක්ෂණයක්ද? අනාවැකියෙහි තවදුරටත් ඒ ගැන මෙසේ සඳහන් වේ. “ඒ කාලයේදී මම පහන් දල්වා යෙරුසලම සෝදිසිකරන්නෙමි; තවද තමුන්ගේ මණ්ඩි පිට තදවී සිටින්නාවූ, [යෙහෝවා] යහපතවත් නපුරවත් කරන්නේ නැතැයි තමුන්ගේ සිත් තුළ සිතාගන්නාවූ මනුෂ්‍යයන්ට දඬුවම්කරන්නෙමි. ඔවුන්ගේ සම්පත් කොල්ලයක්ද ඔවුන්ගේ ගෙවල් පාළුවක්ද වන්නේය. එසේය, ඔවුන් ගෙවල් ගොඩනගන නුමුත් ඒවායේ වාසයකරන්නේවත් මිදිවතු වවන නුමුත් එයින් මුද්‍රිකපානය බොන්නේවත් නැත.”—ශෙපනියා 1:12, 13.

15. (අ) යෙරුසලමේ සිටි ඇදහිල්ල අත්හැර ගිය පූජකයන්ට සිදු වූයේ කුමක්ද? (ආ) අදදින බොරු ආගම්වල සිටින අයට ඉදිරියේදී සිදු වන්නේ කුමක්ද?

15 යෙරුසලමෙහි සිටි ඇදහිල්ල අත්හැර ගිය පූජකයෝ යෙහෝවාගේ නමස්කාරය බොරු නමස්කාරය සමඟ මිශ්‍ර කරමින් සිටියහ. අඳුර තමන්ට ආරක්ෂාවක් සලසයි කියා ඔවුන් සිතුවත්, මහත් එළියක් සපයන පන්දම් දල්වමින් අඳුරේ තිබෙන දේවල් සොයාගන්නාක් මෙන් දෙවි ඔවුන් ආත්මික අන්ධකාරයේ සිටින බව හෙළි කළේය. දෙවිගේ විනිශ්චය ක්‍රියාත්මක වූ විට කිසිවෙකුට එයින් පලා යා නොහැකි විය. තමන් ගැනම සෑහීමකට පත්ව සිටි එම ඇදහිල්ල අත්හැර ගිය අය වයින් දමන පීප්පයක තැන්පත් වී තිබෙන මණ්ඩි හා සමානය. දෙවි මිනිසුන්ගේ කටයුතුවලට මැදිහත් වන බවට කරන ලද කිසිම ප්‍රකාශයක් ඔවුහු ගණනකට නොගත්තෝය. එහෙත් ඔවුන්ට දෙවිගේ විනිශ්චයෙන් පලා යෑමට නොහැකි විය. ක්‍රිස්තියානි ලෝකයට අයත් අය හා යෙහෝවාගේ නමස්කාරය අත්හැර ගිය අය ඇතුළු බොරු ආගම්වල සිටින කිසිවෙකුට පලා යෑමට අවස්ථාවක් නොලැබෙනු ඇත. අප ජීවත් වන්නේ “අන්තිම දවස්වල” බව පිළි නොගන්න ඔවුහු, ‘යෙහෝවා යහපතවත් නපුරවත් කරන්නේ නැති’ බව සිතති. ඔවුන් සිටින්නේ මොනතරම් භයානක තත්වයකද!—2 තිමෝති 3:1-5; 2 පේතෘස් 3:3, 4, 10.

16. යූදා කෙරෙහි දෙවිගේ විනිශ්චය ක්‍රියාත්මක වූ කාලයේදී සිදු වූයේ කුමක්ද? ඒ ගැන අප සතු දැනුම අපට බලපෑ යුත්තේ කෙසේද?

16 බබිලෝනිවරුන් ඇදහිල්ල අත්හැර ගිය යුදෙව්වන්ගේ වස්තුව බලහත්කාරයෙන් පැහැර ගන්න බවටත්, ඔවුන්ගේ නිවෙස් කඩා බිඳ දමන බවටත්, ඔවුන්ගේ මිදි ඵලදාව අයිති කරගන්න බවටත් ඔවුන්ට අනතුරු අඟවා තිබිණ. යූදා දේශය මත දෙවිගේ විනිශ්චය ක්‍රියාත්මක වූ විට ද්‍රව්‍යමය දේවල කිසිම වටිනාකමක් නොවීය. වර්තමාන ක්‍රමය මත යෙහෝවාගේ විනිශ්චය ක්‍රියාත්මක වන කාලයේදීද එය සැබෑවක් වනු ඇත. එනිසා අපි නිතරම ආත්මික මනසක් ඇතුව සිටිමු. යෙහෝවාට සේවය කිරීම අපේ ජීවිතයේ මුල් තැනට තැබීමෙන් ‘ස්වර්ගයෙහි වස්තු රැස් කරගනිමු.’—මතෙව් 6:19-21, 33.

‘යෙහෝවාගේ මහත් දවස ළංව තිබේ’

17. ශෙපනියා 1:14-16හි සඳහන් වන පරිදි යෙහෝවාගේ විනිශ්චය දවස කොතරම් ළඟද?

17 යෙහෝවාගේ විනිශ්චය දවස කොතරම් ළඟද? ශෙපනියා 1:14-16හි සඳහන් වන පරිදි දෙවි අපට මෙම සහතිකය සපයයි. “[යෙහෝවාගේ] මහත් දවස ළංව තිබේ, ඒක, එනම් [යෙහෝවාගේ] දවසේ ශබ්දය, ළංව ඉතා ඉක්මනට එන්නේය; එකල බලවතා තදලෙස කෑගසන්නේය. ඒ දවස වනාහි උදහස් දවසක්ය, දුක්ඛිතවූ විපත්ති දවසක්ය, නාස්තිවීමේ හා සුනත්වීමේ දවසක්ය, අන්ධකාරවූ කළුවරවූ දවසක්ය, වලාපටලද ඝනාන්ධකාරයද ඇති දවසක්ය, පවුරු ඇති නුවරවලටත් උස්වූ කොත්වලටත් විරුද්ධව හොරණෑ පිඹීමේද ඝෝෂාකිරීමේද දවසක්ය.”

18. යෙහෝවාගේ විනිශ්චය දවස ක්‍රියාත්මක වීමට තව බොහෝ කාලයක් තිබෙනවාය කියා අප නොසිතිය යුත්තේ මන්ද?

18 ‘යෙහෝවාගේ මහත් දවස ළංව තිබෙන’ බවට යූදාහි සිටි පව්කාර පූජකයන්ට, අධිපතීන්ට හා සෙනඟට අනතුරු අඟවන ලදි. යූදා දේශයට ‘යෙහෝවාගේ දවස ඉතා ඉක්මනට පැමිණෙමින් තිබුණේය.’ ඒ හා සමානව අපේ කාලයේදීද, දුෂ්ටයන් කෙරෙහි යෙහෝවාගේ විනිශ්චය ක්‍රියාත්මක වීමට තව බොහෝ කාලයක් තිබෙන බව කිසිවෙකු නොසිතිය යුතුයි. දෙවි යූදා දේශයට විරුද්ධව විගස පියවර ගත්තාක් මෙන්, ඔහුගේ විනිශ්චය දවස ‘ඉක්මනින්’ පැමිණෙනු ඇත. (එළිදරව් 16:14, 16) යෙහෝවා ඔහුගේ සාක්ෂිකරුවන් මගින් දුන් අනතුරු ඇඟවීම් නොසලකා හැරිය අයටත් සැබෑ නමස්කාරය වැලඳගැනීමට අසමත් වූ අයටත් ඒ කාලය මොනතරම් දුක්ඛිත කාලයක් වනු ඇද්ද!

19, 20. (අ) යූදා සහ යෙරුසලමට එරෙහිව දෙවි ඔහුගේ උදහස වැගුරූ විට සිදු වූ විශේෂ සිද්ධීන් මොනවාද? (ආ) වර්තමාන ක්‍රමය පිට පැමිණෙන තෝරා බේරා කරනු ලබන විනාශය ගැන සලකා බලන විට කිනම් ප්‍රශ්න මතු වේද?

19 යූදා සහ යෙරුසලම දෙවිගේ උදහසට ලක් වූ විට, එය ඔවුන්ට “දුක්ඛිතවූ විපත්ති දවසක්” විය. බබිලෝනීය ආක්‍රමණිකයන් විසින් යූදා වැසියන්ට බොහෝ සෙයින් පීඩා කරන ලදි. මරණයේ හා විනාශයේ වේදනාව නිසා ඔවුහු මානසිකව දැඩි ලෙස පීඩා වින්දහ. ඒ “නාස්තිවීමේ සහ සුනත්වීමේ දවස” අඳුරු වලාවන්ගෙන් පිරි මහත් ඝනාන්ධකාරයෙන් වැසුණු දවසක් විය. දුමාරය හා මළ කඳන් සෑම තැනකම විසිරී තිබූ නිසා ඒ දේවල් සංකේතයක් පමණක් නොවීය. සැබවින්ම එවැනි තත්වයක් පැවතිණ. එය “හොරණෑ පිඹීමේද ඝෝෂාකිරීමේද දවසක්” විය. අනතුරු ඇඟවීම් කළත් ඒවායින් පලක් නොවීය.

20 බබිලෝනිවරුන් විශාල කුළු ගෙඩි භාවිත කරමින් යෙරුසලමේ “උස්වූ කොත්” බිඳ හෙළන විට, එහි සිටි මුරකරුවන් කර කියාගත නොහැකි තත්වයකට පත් විය. එලෙසම, දෙවි තෝරා බේරා කරනු ලබන විනාශයේදී භාවිත කිරීම සඳහා සූදානම් කර ඇති දෙවිගේ ස්වර්ගික අවි ගබඩාවේ තිබෙන අවි පාවිච්චි කරන විට, වර්තමාන දුෂ්ට ක්‍රමයට ආරක්ෂාව සැලසීම සඳහා සාදා තිබෙන කිසිම දෙයකින් ප්‍රයෝජනයක් නොලැබෙනු ඇත. ඔබේ බලාපොරොත්තුව මේ විනාශයෙන් බේරී ජීවත් වීමද? ‘තමන්ට ප්‍රේම කරන සියල්ලන් ආරක්ෂා කරන නමුත් සියලු දුෂ්ටයන් විනාශ කරන’ යෙහෝවාගේ පැත්තෙහි දිගටම සිටීමට ඔබ දැඩි අධිෂ්ඨානයක් ගෙන තිබෙනවාද?—ගීතාවලිය 145:20.

21, 22. ශෙපනියා 1:17, 18හි සඳහන් වදන් අපේ කාලයේදී ඉටු වනු ඇත්තේ කෙසේද?

21 ශෙපනියා 1:17, 18හි පුරෝකථනය කර තිබෙන විනිශ්චය දවස මොනතරම් භයානකද! එහි මෙසේ සඳහන් වේ. “[යෙහෝවාට] විරුද්ධව පව්කළ බැවින් ඒ මනුෂ්‍යයන් අන්ධයන්මෙන් ඇවිදින හැටියට මම ඔවුන් පිට විපත්ති පමුණුවන්නෙමි. ඔවුන්ගේ ලේ ධූලි මෙන්ද ඔවුන්ගේ මාංසය කසළ [බඩවැල් අසූචි, NW] මෙන්ද වගුරනු ලබන්නේය. [යෙහෝවාගේ] උදහස් දවසේදී ඔවුන්ගේ රිදී නිසාවත් ඔවුන්ගේ රන් නිසාවත් ඔවුන්ට ගැළවෙන්ට නුපුළුවන; [ඔහුගේ] ජ්වලිත ගින්නට මුළු දේශය විනාශවන්නේය. මක්නිසාද [ඔහු] දේශයේ [පොළොවේ, NW] වසන සියල්ලන් පිටට අන්තිමයක්, එනම් භයානක අන්තිමයක්, [පමුණුවන්නේය].”

22 යෙහෝවා ශෙපනියාගේ දවස්වලදී කළාක් මෙන්, ‘පොළොවේ වසන සියල්ලන් පිටට,’ එනම් ඔහුගේ අනතුරු ඇඟවීමට අවනත නොවන අය පිටට විනාශය ඉක්මනින් ගෙනෙනු ඇත. ඔවුහු දෙවිට විරුද්ධව පව් කළ නිසා, කිසිවෙකුගේ පිහිටක් නොමැතිව අන්ධ මනුෂ්‍යයන් මෙන් ඇවිදිති. ඔවුන්ට ගැළවීමේ මාර්ගය සොයාගත නොහැක. යෙහෝවාගේ විනිශ්චය දවසේදී ඔවුන්ගේ ලේ කිසිම වටිනාකමක් නොමැති ‘ධූලි මෙන් වගුරුවනු’ ඇත. දෙවි පොළොව මත සිටින දුෂ්ටයන්ගේ මළ කඳන් හා බඩවැල් “අසූචි මෙන්” තැනින් තැන විසි කර දමන නිසා ඔවුන්ට අත් වන්නේ අවමන් සහගත විනාශයකි.

23. වැරදි කරන අයට ‘යෙහෝවාගේ උදහස් දවසින්’ ගැළවිය නොහැකි වුවත්, ශෙපනියාගේ අනාවැකිය සපයන බලාපොරොත්තුව කුමක්ද?

23 දෙවිට සහ ඔහුගේ සෙනඟට විරුද්ධව සටන් කරන කිසිවෙකුට ගැළවී යා නොහැක. යූදාහි සිටි වැරදි කළ අයට ඔවුන්ගේ රන් රිදී නිසා ජීවිත ආරක්ෂා කරගත නොහැකි විය. ක්‍රිස්තියානි ලෝකය ඇතුළු මුළු දුෂ්ට ක්‍රමය මත පැමිණෙන “[යෙහෝවාගේ] උදහස් දවසේදී” ඔවුන් රැස් කරගත් ධන සම්භාරයෙන් හා අල්ලස්වලින් කිසිම ආරක්ෂාවක් ලබාගත නොහැක. තීරණාත්මක අවසාන දවසේදී, දෙවි සියලුම දුෂ්ටයන්ව සමූලඝාතනය කරන විට ‘මුළු පොළොවම’ ඔහුගේ ජ්වලිත ගින්නට ගොදුරු වනු ඇත. දෙවිගේ අනාවැකිමය වදන් කෙරෙහි ඇදහිල්ල තබා තිබෙන නිසා, අප දැන් ජීවත් වන්නේ ‘අන්තිම කාලයේ’ අවසාන කෙළවරේ බව අපි ඒත්තුගෙන සිටින්නෙමු. (දානියෙල් 12:4) යෙහෝවාගේ විනිශ්චය දවස ළඟයි. ඔහු වැඩි කල් නොගොස් ඔහුගේ සතුරන්ගෙන් පළිගනු ඇත. එහෙත් ශෙපනියාගේ අනාවැකිය මගින් ගැළවීම පිළිබඳ බලාපොරොත්තුවක් ඉදිරිපත් කරයි. එමනිසා, යෙහෝවාගේ උදහස් දවසේදී අපව සඟවනු ලැබීමට නම්, අප කුමක් කළ යුතුද?

ඔබේ පිළිතුර?

• යූදා සහ යෙරුසලම සම්බන්ධයෙන් ශෙපනියා පැවසූ අනාවැකිය ඉටු වූයේ කෙසේද?

• ක්‍රිස්තියානි ලෝකය ඇතුළු වර්තමාන දුෂ්ට ක්‍රමයට ළඟදීම සිදු වන්නේ කුමක්ද?

• යෙහෝවාගේ විනිශ්චය දවසට තව බොහෝ කාලයක් තිබෙනවා කියා අප නොසිතිය යුත්තේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ විනිශ්චය දවස ආසන්න වෙමින් තිබූ බව ශෙපනියා නිර්භීතව ප්‍රකාශ කළේය

[හිමිකම් විස්තර]

King James and the Revised versions යන අනුවාද අඩංගු Self-Pronouncing Edition of the Holy Bible නමැති පොත ඇසුරෙනි

[15වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ දවස පැමිණියේ, යූදා සහ යෙරුසලම බබිලෝනිවරුන් විසින් පො.යු.පෙ. 607දී විනාශ කළ අවස්ථාවේදීයි

[16වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දුෂ්ටයන් පිටට විනාශය ගෙනෙන විට, බේරී ජීවත් වීමට ඔබ බලාපොරොත්තුවෙන් සිටිනවාද?