Skip to content

පටුනට යන්න

ආත්මික පාරාදීසය හඳුනාගනිමු

ආත්මික පාරාදීසය හඳුනාගනිමු

ආත්මික පාරාදීසය හඳුනාගනිමු

බ්‍රසීලයේ කුඩා නගරයක ඇති දැඩි වූ ගුස්ටාවෝ බාල කාලයේ සිටම ඉගෙනගෙන තිබුණේ යහපත් අය මරණයෙන් පසු ස්වර්ගයට යන බවයි. a විශ්වාසවන්තව සිටින මිනිසා යම් දිනෙක භූමික පාරාදීසයක පරිපූර්ණ ජීවිතයක් භුක්ති විඳින බවට වූ දෙවිගේ අරමුණ ඔහු දැන සිටියේ නැත. (එළිදරව් 21:3, 4) ඔහු නොදත් දේවල් අතර තවත් දෙයක්ද විය. එනම් දැන් පවා ඔහුට ආත්මික පාරාදීසයක සිටිය හැකි බව ඔහු නොදැන සිටියේය.

ඒ ආත්මික පාරාදීසය ගැන ඔබ අසා ඇද්ද? එය කුමක්ද කියාත්, එහි කොටසක් වීමට කරන්න අවශ්‍ය වන්නේ මොනවාද කියාත් ඔබ දන්නවාද? සැබෑ සන්තෝෂය භුක්ති විඳීමට යමෙකුට ඕනෑ නම්, එම පාරාදීසය ගැන දැනගැනීම අත්‍යවශ්‍යය!

ආත්මික පාරාදීසය සොයා

දැන් පවා පුද්ගලයෙකුට පාරාදීසයක ජීවත් විය හැකි බව පැවසීම යථාර්ථවාදී නොවන යමක් මෙන් දිස් විය හැක. ඇත්තෙන්ම මෙලොව පාරාදීසයක් බව පැවසිය හැකිද? පුරාණ හෙබ්‍රෙව් රජෙකු විස්තර කළ දේ අද බහුතරයකගේ අද්දැකීම වී තිබේ. ඔහු පැවසුවේ, “පීඩා ලබන්නන්ගේ කඳුළු දුටිමි, ඔවුන් සනසන්නෙක්ද නොවීය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේය, නුමුත් සනසන්නෙක් නොසිටියේය” කියාය. (දේශනාකාරයා 4:1) අදදින දූෂිත දේශපාලනික, ආගමික සහ ආර්ථික ක්‍රමයකට හසු වී මිලියන සියගණනක් දුක් විඳින අතර, ඔවුන්ව ‘සනසන්න’ කෙනෙක් නැත. තවත් බොහෝදෙනෙක් තම වියදම් පිරිමසාගැනීමටත්, දරුවන් ඇති දැඩි කිරීමටත් මහත් සටනක යෙදෙති. ඔවුන් ජීවිතය ගැටගසා ගන්නේ අපමණ දේවල නිරත වීමෙනි. ඔවුන්ව සැනසිය හැකි කෙනෙකු සිටියා නම්! ඔවුන්ගේ බර සැහැල්ලු කරගත හැකි වූවා නම්! ඇත්තෙන්ම, මේ සියලුදෙනාම දිවි ගෙවන්නේ පාරාදීසයක නම් නොවේ.

එසේ නම් ආත්මික පාරාදීසයක් කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? “පාරාදීසය” නමැති සිංහල වචනය සෑදී ඇත්තේ ග්‍රීක්, පර්සියානු සහ හෙබ්‍රෙව් වචනවලිනි. මේ සෑම වචනයකම උද්‍යානයක් හෝ වත්තක්, නිස්කලංක විශ්‍රාම ස්ථානයක් යන අදහස ගැබ්ව ඇත. යම් දිනෙක පව් රහිත මිනිස් සංහතියට වාසය කිරීම සඳහා පෘථිවිය උද්‍යානයක් බඳු භෞතික පාරාදීසයක් වන බවට බයිබලයෙහි පොරොන්දු වේ. (ගීතාවලිය 37:10, 11) මෙම කාරණය සැලකිල්ලට ගනිද්දී, ආත්මික පාරාදීසය ගතට සුවයක් ගෙන දෙන, සිතට සැනසීමක් ගෙන දෙන පරිසරයක් බවත්, එය දෙවි සහ තම අසල්වැසියා සමඟ සමාදානයෙන් කල් ගෙවීමට අවකාශ සලසන යමක් බවත් අපට පෙනී යයි. මෙවන් පාරාදීසයක් අදදින පවතින අතර, දිනෙන් දින සංඛ්‍යාවෙන් වැඩි වන ජන සමූහයක් එයින් සහනය ලබති. මෙම කාරණය ගුස්ටාවෝට මනාව අවබෝධ විය.

ගුස්ටාවෝ වයස අවුරුදු 12දී රෝමානු කතෝලික පූජකයෙකු වීමට තීරණය කළේය. තම දෙමාපියන්ගේ අනුමැතිය ඇතුව, ඔහු සෙමනේරියකට බැඳුණේය. යෞවනයන්ගේ සිත් දිනාගැනීමට පල්ලියේ සංවිධානය කළ සංගීත සංදර්ශන, නාට්‍යයන් සහ දේශපාලනික කටයුතුවලට ඔහු හවුල් විය. පූජකයෙකු මහජනයා වෙනුවෙන් ඇප කැප වී වැඩ කළ යුතු බවත්, තමාට විවාහ විය නොහැකි බවත් ඔහු දැන සිටියේය. එනමුත් ගුස්ටාවෝ දැන හඳුනාගෙන සිටි පූජකයන් සහ සෙමනේරි ශිෂ්‍යයන් කිහිපදෙනෙක්ම අනාචාරමය ක්‍රියාවල නිරත වූහ. මෙවැනි පරිසරයක කල් ගෙවීමෙන් බෙහෙවින් පීඩාවට පත් වූ ගුස්ටාවෝ මත්පැන්හි පිහිට පැතුවේය. තමා ආත්මික පාරාදීසයක් සොයා මෙතෙක් ගිය ගමන අසාර්ථක එකක් බව ඔහුට පැහැදිලිව පෙනිණ.

කෙසේවෙතත්, දිනක් භූමික පාරාදීසයක් ගැන කතා කළ බයිබලය මත පදනම් පත්‍රිකාවක් ගුස්ටාවෝ කියෙව්වේය. එම පත්‍රිකාව ජීවිතයේ අරමුණ ගැන කල්පනා කිරීමට ඔහු තුළ පෙලඹීමක් ඇති කළේය. ඔහු මෙසේ පවසයි. “මම නිතර නිතර බයිබලය කියෙව්වත්, ඒක තේරුම්ගන්න බැරි වුණා. දෙවිගේ නමවත් මම බයිබලයේ දැක්කේ නැහැ.” සෙමනේරියෙන් ඉවත් වූ ඔහු, යෙහෝවාගේ සාක්ෂිකරුවන් මුණගැසී, බයිබලය තේරුම්ගැනීමට උපකාර කරන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. එතැන් පටන් ඔහු සෑහෙන ආත්මික දියුණුවක් ලැබූ අතර, වැඩි කල් නොගොස් තම ජීවිතය දෙවිට කැප කළේය. ගුස්ටාවෝ ආත්මික පාරාදීසයක් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියා ක්‍රමානුකූලව අවබෝධ කරගනිමින් සිටියේය.

දෙවිගේ නාමයට සෙනඟක්

යෙහෝවා යන දෙවිගේ නාමය බයිබල් ශිෂ්‍යයෙකු නිකම්ම දැනගත යුතු කරුණකට වඩා වැඩි යමක් බව ගුස්ටාවෝ දැනගත්තේය. (නික්මයාම 6:3) එය සැබෑ නමස්කාරයේ අතිවැදගත් අංගයක් ලෙස සැලකිය හැක. යේසුස් තම අනුගාමිකයන්ට ඉගැන්නුවේ “ස්වර්ගයෙහි [සිටින] අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා” කියා යාච්ඤා කිරීමටයි. (මතෙව් 6:9) ක්‍රිස්තියානීන් බවට පත් වූ අන්‍යජාතිකයන් ගැන කතා කරමින් ශ්‍රාවක යාකොබ් මෙසේ පැවසීය. ‘දෙවි තමන්ගේ නාමය දැරීමට විජාතීන් අතුරෙන් සෙනඟක් තෝරාගන්නා පිණිස ක්‍රියා කළේය.’ (ක්‍රියා 15:14, නව අනුවාදය) මුල් සියවසේ ‘තම නාමය දැරූ සෙනඟ’ වූයේ ක්‍රිස්තියානි සභාවයි. දෙවිගේ නාමය දරන සෙනඟක් අදදින සිටීද? ඔව්. ඒ සෙනඟ යෙහෝවාගේ සාක්ෂිකරුවන් බව ගුස්ටාවෝ ක්‍රමක්‍රමයෙන් තේරුම්ගත්තේය.

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ රටවල් සහ ප්‍රදේශ 235ක ක්‍රියාශීලීව සේවය කරති. මිලියන හයකට වඩා වැඩියෙන් සිටින දේවසේවකයන් ඇතුළුව උනන්දුව දක්වන තවත් මිලියන අටක් පමණ ඔවුන්ගේ රැස්වීම්වලට සහභාගි වී ඇත. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය” යන යේසුස්ගේ වදන් ඉටු කරන ඔවුන් ප්‍රසිද්ධ වී සිටින්නේ ඔවුන් කරමින් සිටින දේවසේවය සම්බන්ධයෙනි. (මතෙව් 24:14) යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ ආශ්‍රය කිරීමේදී තමා ආත්මික පාරාදීසය සොයාගත්තා කියා ගුස්ටාවෝට හැඟුණේ මන්ද? ඔහු මෙසේ පිළිතුරු දෙයි. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර තිබෙන තත්වය සමඟ මම ලෝකයේ සහ විශේෂයෙන්ම සෙමනේරියේ දුටු දේවල් සසඳලා බැලුවහම, සාක්ෂිකරුවන් අතර තිබෙන ප්‍රේමය විශේෂයි කියලා මට පෙනී ගියා.”

යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන වෙනත් අය ඒ හා සමාන අදහස් දක්වා ඇත. තරුණ බ්‍රසීල කාන්තාවක් වන මිරියම් මෙසේ පැවසුවාය. “සන්තෝෂයෙන් සිටින්නේ කොහොමද කියලා මම දැනගෙන හිටියේ නැහැ. මගේ පවුලෙවත් සන්තෝෂයක් තිබුණේ නැහැ. මම සැබෑ ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම ඉගෙනගත්තේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන්.” ක්‍රිස්ට්යාන් නමැති තැනැත්තා මෙසේ පැවසීය. “මම ඉඳහිට ආත්ම බන්ධන ක්‍රියාවල නිරත වුණත්, ආගම කියන දේ ගැන එතරම් තැකීමක් මට තිබුණේ නැහැ. මම වැදගත් කොට සැලකුවේ සමාජයේ මට තියෙන පිළිගැනීම සහ ඉන්ජිනේරුවෙකු වශයෙන් මං කරපු රැකියාවයි. මගේ භාර්යාව යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත් විට, ඈ තුළ වෙනසක් දැකගැනීමට මට පුළුවන් වුණා. ඇයව හම්බ වෙන්න ආව ක්‍රිස්තියානි ස්ත්‍රීන් තුළ තිබුණු සතුට සහ උද්‍යෝගයත් මගේ සිතගත්තා.” විවිධ පුද්ගලයන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් මෙයාකාරයෙන් පවසන්නේ මන්ද?

ආත්මික පාරාදීසය හඳුනාගනිමු

යෙහෝවාගේ සාක්ෂිකරුවන් කැපීපෙනීමට හේතු වන එක් කාරණයක් නම් බයිබල් දැනුම ලබාගැනීම සම්බන්ධයෙන් ඔවුන් සතු ආකල්පයයි. බයිබලය සැබෑ බවත් එය දෙවිගේ වචනය බවත් ඔවුහු ඒකාන්තයෙන්ම විශ්වාස කරති. නමුත්, ඔවුන්ගේ ආගමේ මූලික ඉගැන්වීම් පමණක් දැනගැනීමෙන් ඔවුන් සෑහීමට පත් වන්නේ නැත. බයිබලය කියවීමට සහ පෞද්ගලිකව එය අධ්‍යයනය කිරීමට අඛණ්ඩව ක්‍රියාත්මක වන වැඩසටහනක් ඔවුන්ට ඇත. පුද්ගලයෙකු යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ ආශ්‍රය කිරීමට කාලය ගන්නා තරමටම, දෙවි සහ බයිබලය තුළින් එළිදරව් කර ඇති ඔහුගේ කැමැත්ත පිළිබඳව තව තවත් දැනුම ලබාගත හැකි වේ.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් එවන් දැනුම් සම්භාරයකින් පිරී සිටින බැවින්, සාමාන්‍යයෙන් ජනයාගේ ප්‍රීතිය සොරාගන්නා මිථ්‍යා විශ්වාසයන් සහ හානිකර වෙනත් අදහස්වලින් ඔවුහු නිදහස්ව සිටිති. ‘සැබෑව නුඹලා නිදහස් කරන්නේය’ යන යේසුස්ගේ වදන් සත්‍යයක් බව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට පෙනී ගොස් ඇත. (යොහන් 8:32) වරෙක ආත්ම බන්ධන ක්‍රියාවල නිරත වූ ෆෙර්නාන්ඩූ මෙසේ පවසයි. “සදාකාල ජීවනය ගැන ඉගෙනගැනීමෙන් මගේ සිතට පුදුම සහනයක් දැනුණා. අම්මාව, තාත්තාව, එහෙමත් නැත්නං මාව මරණයට ගොදුරු වෙයි කියලා මං භයෙනුයි හිටියේ.” භූතයන් සහ පර ලොව ගැන පැවති විශ්වාසයන් නිසා බියෙන් සිටි ඔහු සත්‍යය දැනගැනීම තුළින් නිදහස ලැබුවේය.

බයිබලයට අනුව, දෙවි පිළිබඳ දැනුම ලබාගැනීම හා පාරාදීසය අත් කරගැනීම අතර කිට්ටු සම්බන්ධයක් තිබේ. අනාගතවක්තෘ යෙසායා මෙසේ පැවසීය. “මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, [යෙහෝවා] ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.”—යෙසායා 11:9.

කෙසේවෙතත්, යෙසායා පුරෝකථනය කළ සමාදානය අද්දැකීමට දැනුම ලබාගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. පුද්ගලයෙකු ඉගෙනගන්නා දේට අනුව ක්‍රියා කිරීමද වැදගත්ය. ෆෙර්නාන්ඩූ මෙසේ අදහස් දැක්වීය. “පුද්ගලයෙක් ආත්මයේ ඵල නිපදවන කොට, ඒ පුද්ගලයාත් ආත්මික පාරාදීසයේ වර්ධනයට දායක වෙනවා.” ෆෙර්නාන්ඩූ කතා කරමින් සිටියේ ක්‍රිස්තියානියෙකු නිපදවිය යුතු යහපත් ඵල වන ‘ආත්මයේ ඵල’ ලෙස හැඳින්වූ ප්‍රේරිත පාවුල්ගේ වදන් ගැනය. පාවුල් ඒවා ලැයිස්තුගත කළේ මෙලෙසය. “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, [බොහෝ, NW] ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම [ඇදහිල්ල, NW], මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම [ආත්ම-දමනය, NW].”—ගලාති 5:22, 23.

මෙවැනි ගුණාංග විදහාපෙන්වීමට වෑයම් කරන පුද්ගලයන්ගෙන් සෑදුණු සමාජයක් සමඟ ඇසුරු කිරීම පාරාදීසයක් තුළ ජීවත් වනවාට සමාන කර ඇත්තේ මන්දැයි ඔබට තේරුණාද? අනාගතවක්තෘ ශෙපනියා පුරෝකථනය කළ ආත්මික පාරාදීසය පවතිනු ඇත්තේ එවැනි පුද්ගලයන් සමූහයක් අතරය. ඔහු මෙසේ පැවසීය. “ඉශ්‍රායෙල්ගෙන් ඉතිරි අය අයුතුකමක් නොකරන්නෝය, බොරු නොකියන්නෝය; වංචා දිවක් ඔවුන්ගේ මුඛවල සම්බ නොවන්නේය, මක්නිසාද ඔව්හු කිසිවෙකු විසින් භයගන්වනු නොලැබ, කෑම කා නිදාගන්නෝය.”—ශෙපනියා 3:13.

ප්‍රේමයේ අතිවැදගත් කාර්යය

පාවුල් සඳහන් කළ ආත්මයේ ඵල අතුරින් මුල්ම එක ප්‍රේමය බව ඔබ දුටුවා විය හැක. බයිබලයෙහි මෙම ගුණාංගය ගැන කරුණු රැසක් සඳහන්ව ඇත. ඒ සම්බන්ධයෙන් යේසුස් මෙසේ පැවසීය. “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහන් 13:35) යෙහෝවාගේ සාක්ෂිකරුවෝ සර්ව සම්පූර්ණ අය නොවෙත්. යේසුස්ගේ ප්‍රේරිතයන් අතර සිදු වූවාක් මෙන් ඔවුන් අතරද විටින් විට පෞද්ගලික ගැටලු ඉස්මතු වේ. එනමුත්, ඔවුන්ට එකිනෙකා සඳහා ඇත්තේ බලවත් ප්‍රේමයකි. එමනිසා, එම ගුණාංගය වර්ධනය කිරීමට දරන උත්සාහයේදී ශුද්ධාත්මයේ උපකාර ඉල්ලා ඔවුහු යාච්ඤා කරති.

ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් භුක්ති විඳින ආශ්‍රය අද්විතීයය. ඔවුන් අතර, ජාති භේද, කුල භේද ආදිය නැත. ඇත්තෙන්ම, පසුගිය 20වන සියවසේ අවසානයේදී, වාර්ගික ශුද්ධීකරණය සහ ජාතික සමූලඝාතන ව්‍යාපාර මැද පවා සාක්ෂිකරුවෝ, තම ජීවිතය පරදුවට තබමින් එකිනෙකාගේ දිවි රක්ෂා කිරීමට කටයුතු කළෝය. ඔවුන් “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත්” පැමිණියත් ඔවුන් අතර තිබෙන සමඟිය ඔබ පෞද්ගලිකව අද්දකින තෙක් තේරුම් නොගනු ඇත.—එළිදරව් 7:9.

දෙවිගේ කැමැත්ත කරන්නන් අද්දකින පාරාදීසය

ආත්මික පාරාදීසයේ, ගිජුකම, දුරාචාරය සහ ආත්මාර්ථය සඳහා කිසිදු ඉඩක් නොමැත. මේ සම්බන්ධයෙන් ක්‍රිස්තියානීන්ට මෙසේ අවවාද කර තිබේ. “නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, [දෙවිගේ] කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.” (රෝම 12:2) අප පිරිසිදු හා සදාචාර ප්‍රමිතිවලට එකඟව ජීවිත ගත කරමින්, වෙනත් ආකාරවලින් දෙවිගේ කැමැත්ත කරන විට, අපි ආත්මික පාරාදීසය ගොඩනැඟීමට දායක වෙමු. තවද අප තුළ සන්තෝෂයක් ඇති කරවීමටද එය හේතුවක් වේ. මෙය සැබෑවක් බව වටහාගත් කාලා මෙසේ පවසයි. “වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා කාටවත් අත නොපා ජීවත් වෙන්න තාත්තා මට කියලා දුන්නා. විශ්ව විද්‍යාලයේ ඉගෙනගෙන මම යම් තත්වයකට ආවත්, මට පවුල තුළ සමඟිය හා සුරක්ෂිතභාවය අද්දකින්න බැරි වුණා. ඒක දේවවචනයෙන් විතරයි ලැබෙන්නේ.”

කෙසේවෙතත්, අප ආත්මික පාරාදීසයක් භුක්ති වින්ද පළියට ජීවිතයේ එදිනෙදා ගැටලු ඉවත් වනවා යන්න ඉන් අදහස් නොවේ. ක්‍රිස්තියානීන්ට අසනීප ඇති වේ. ඔවුන් ජීවත් වන රටෙහි සිවිල් අරගල තිබිය හැක. බොහෝදෙනෙකු දුගීකමින් බැට කා තිබේ. එනමුත්, යෙහෝවා දෙවි සමඟ කිට්ටු සම්බන්ධයක් තිබෙන නිසා, අවශ්‍ය පිහිටෝපකාර සඳහා ඔහු දෙස බැලීමේ අස්වැසිල්ල අපට ඇත. මෙම සම්බන්ධය ආත්මික පාරාදීසයේ අතිවැදගත් අංගයක් බව මතක තබාගන්න. යෙහෝවා අපෙන් ඉල්ලා සිටින්නේ ‘ඔහු පිට අපගේ බර තබන්න’ කියාය. ඇත්තෙන්ම, ඉතා දුෂ්කර තත්වයන් මධ්‍යයෙහි වුවත්, යෙහෝවා තමන්ට පුදුම ලෙස සවියක් වී ඇති ආකාරය ගැන කීමට බොහෝදෙනෙකුට පුළුවන. (ගීතාවලිය 55:22; 86:16, 17) දෙවි තමාට නමස්කාර කරන අය සමඟ “මරණ සෙවණේ මිටියාවත” මැදින් යෑමට පවා පොරොන්දු වේ. (ගීතාවලිය 23:4) දෙවි අපට උපකාර කිරීමට නිතරම සෑදී සිටින බවට නිසැකව සිටීමෙන්, ආත්මික පාරාදීසයේදී අප සතුව තිබිය යුතු අතිවැදගත් දෙයක් වන ‘කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවිගේ සමාදානය’ රැකගැනීමට අපට හැකි වේ.—පිලිප්පි 4:7.

ආත්මික පාරාදීසයට අපගේ දායකත්වය

බහුතරයක් අලංකාර උද්‍යානයකට යෑමෙන් යම් ආස්වාදයක් ලබයි. එහි තනා ඇති පාරවල් දිගේ ඇවිදීමට හෝ බංකුවක වාඩි වී අවට පරිසරයෙන් යම් ආස්වාදයක් ලබාගැනීමට ඔවුහු කැමති වෙති. ඒ හා සමානව, යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ ආශ්‍රය කිරීමෙන් බොහෝදෙනෙකු යම් ආස්වාදයක් ලබයි. එම ආශ්‍රයෙන් ඔවුහු යම් ප්‍රබෝධයක්, සමාදානයක් සහ දිරිගැන්වීමක් අද්දකිති. කෙසේවෙතත්, අලංකාර උද්‍යානයක සුන්දරත්වය රැකගැනීමට සෑහෙන වෑයමක් දැරිය යුතුය. සමානාකාරයෙන්, ඉතා පීඩාකාරි ලොවක වුවත්, ආත්මික පාරාදීසයක් පවතින්නේ, යෙහෝවාගේ සාක්ෂිකරුවන් එය රැකගැනීමට සෑහෙන වෑයමක් දරන නිසාත්, ඔවුන්ගේ වෑයම්වලට දෙවිගේ නොමද ආශීර්වාද ලැබෙන නිසාත්ය. එසේ නම්, එම පාරාදීසයට දායක වීමට අපට හැක්කේ කෙසේද?

මුලින්ම, අප යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාව සමඟ ඇසුරු කරමින්, ඔවුන් සමඟ බයිබලය අධ්‍යයනය කොට, ආත්මික පාරාදීසයට පදනම සපයන බයිබල් දැනුම ලබාගත යුතුය. කාලාගේ මෙම අදහස් සැලකිල්ලට ගන්න. “ආත්මික ආහාර නැත්නම්, ආත්මික පාරාදීසයක් නැහැ.” දෙවිගේ වචනය නිතිපතා කියවා, ඔබ කියවූ දේ ගැන සිතා බැලීම මීට ඇතුළත් වේ. මෙසේ ලබාගන්නා දැනුම නිසා ඔබ යෙහෝවා දෙවිට වඩාත් කිට්ටු වන අතර, ඔහුට ප්‍රේම කිරීමටද ඔබට හැකි වේ. එමෙන්ම යාච්ඤාවෙන් ඔහුට කතා කරන ආකාරය හා ඔහුගේ කැමැත්ත කරන අතරතුරේදී අවශ්‍ය ධෛර්යය ලබාගැනීමට ඔහුගේ ශුද්ධාත්මය සහ මඟ පෙන්වීම ඉල්ලන ආකාරයද ඔබට දැනගත හැකි වේ. නොකඩවා යාච්ඤා කිරීමේ අවශ්‍යතාව යේසුස් අපට අවධාරණය කළේය. (ලූක් 11:9-13) ‘නොකඩවා යාච්ඤා කරන්න’ කියා ප්‍රේරිත පාවුල්ද පැවසීය. (1 තෙසලෝනික 5:17) දෙවි ඔබට සවන් දෙන බවට අබ මල් රේණුවක තරම්වත් සැකයක් නොමැතිව ඔහුට යාච්ඤාවෙන් කතා කිරීමට ලැබීම අමිල වරප්‍රසාදයකි. මෙය ආත්මික පාරාදීසය දිගටම භුක්ති විඳීමට බෙහෙවින් දායක වේ.

කෙමෙන් කෙමෙන් කාලය ගෙවී යත්ම, ඉගෙනගන්නා දේ මගින් අපගේ ජීවිත හොඳ අතට හැරෙන අතර, ලබා ඇති ප්‍රයෝජන සම්බන්ධයෙන් අන්‍යයන්ටත් කතා කරන්න අප තුළ පෙලඹීමක් ඇති වෙනවාට සැකයක් නොමැත. එම පෙලඹීමේ ප්‍රතිඵලයක් වශයෙන්, “මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ [පියාට] ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා” යන යේසුස්ගේ ආඥාවට කීකරු වන්න අපට හැකි වේ. (මතෙව් 5:16) යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ දැනුම අන්‍යයන් සමඟ බෙදාගැනීම හා මනුෂ්‍යවර්ගයා සඳහා මොවුන් දෙදෙනා පෙන්වා ඇති මහත් ප්‍රේමය ප්‍රශංසාවට ලක් කිරීම මහත් සන්තෝෂයකට මඟ පෑදිය හැක.

මුළු පොළෝතලයම පරිසර දූෂණයෙන් තොර භූමික පාරාදීසයක්, විශ්වාසවන්ත මිනිසාට යෝග්‍ය නිවහනක් වන කාලය අතළඟය. කෙසේවෙතත්, “කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි කාලවල” අප සඳහන් කළ ආත්මික පාරාදීසය තිබීම, දෙවි තම බලයෙන් අනාගතයේදී ඉටු කරනු ඇති දෙයට ප්‍රබල සාක්ෂියකි.—2 තිමෝති 3:1NW.

ආත්මික පාරාදීසයේ සතුට භුක්ති විඳින අය යෙසායා 49:10හි සඳහන් මෙම වදන්වල ආත්මික ඉටුවීම දැන් පවා අද්දකිති. “ඔවුන්ට බඩගිනි නොවන්නේය, පිපාසා නොවන්නේය. මිරිඟු වැල්ලවත් අව්වවත් ඔවුන්ට පහර නොදෙන්නේය. මක්නිසාද ඔවුන්ට අනුකම්පාකරන [තැනැත්තා] ඔවුන් ගෙනගොස්, දිය උල්පත් ළඟින් ඔවුන් කැඳවාගෙන යනවා ඇත.” මෙය සැබෑවක් බව හෝසේ පවසන්නේ මහත් නිසැකකමිනි. සුප්‍රසිද්ධ සංගීතඥයෙකු වීමට මුලින් සිහින මැවුවද, ක්‍රිස්තියානි සභාව සමඟ දෙවිට සේවය කිරීමෙන් ඔහු වැඩි තෘප්තියක් ලැබීය. ඔහු මෙසේ පවසයි. “මගේ ජීවිතය දැන් හරිම අර්ථවත්. ක්‍රිස්තියානි සහෝදරත්වය තුළ මට දැනෙන්නේ පුදුම සුරක්ෂිතභාවයක්. මම යෙහෝවාව සලකන්නේ, විශ්වාසය තබන්න පුළුවන් ප්‍රේමනීය පියෙක් හැටියටයි.” හෝසේ පමණක් නොව, ඔහු හා සමාන තවත් මිලියන ගණන් අය භුක්ති විඳින සන්තෝෂය ගැන ගීතාවලිය 64:10හි මනාව විස්තර කරයි. එහි මෙසේ පැවසේ. ‘ධර්මිෂ්ඨයා යෙහෝවා තුළ සන්තෝෂ වන්නේය, ඔහු කෙරෙහි විශ්වාස කරන්නේය.’ ආත්මික පාරාදීසය විස්තර කිරීමට මොනතරම් කදිම වදන්ද!

[පාදසටහන]

a මෙහි සඳහන් කර ඇති පුද්ගලයන් සැබෑ චරිතයන් වුවත්, සමහර නම් වෙනස් කර ඇත.

[10වන පිටුවේ පින්තූරය]

ආත්මික පාරාදීසය භුක්ති විඳින අතරතුර, එය පුළුල් කිරීමටද ප්‍රයත්න දරන්න!