Skip to content

පටුනට යන්න

ආලෝකයට ප්‍රිය කරන අය ලබන ගැළවීම

ආලෝකයට ප්‍රිය කරන අය ලබන ගැළවීම

ආලෝකයට ප්‍රිය කරන අය ලබන ගැළවීම

“[යෙහෝවා] මාගේ ආලෝකයත් ගැළවීමත්ය; මම කාට භයවන්නෙම්ද?”—ගීතාවලිය 27:1.

1. යෙහෝවා සපයන ජීවනදායක සැපයුම් මොනවාද?

 මහ පොළොව මත ජීවයේ පැවැත්ම රඳා පවතින සූර්යාලෝකයේ උල්පත යෙහෝවාය. (උත්පත්ති 1:2, 14) ආත්මික ආලෝකයේ උල්පතද ඔහුය. සාතන්ගේ ලෝකය පුරා පැතිරී තිබෙන මාරාන්තික අන්ධකාරය නැති කර දමන්නේ එම ආත්මික ආලෝකයයි. (යෙසායා 60:2; 2 කොරින්ති 4:6; එපීස 5:8-11; 6:12) ආලෝකයට ප්‍රිය කරන අයට ගීතිකාකරු පැවසූ මෙම වදන්ම පැවසිය හැක. “[යෙහෝවා] මාගේ ආලෝකයත් ගැළවීමත්ය; මම කාට භයවන්නෙම්ද?” (ගීතාවලිය 27:1අ) කෙසේවෙතත්, යේසුස් මේ පොළොව මත විසූ කාලයේදී ඇතමුන්ට මුහුණ දීමට සිදු වූවාක් මෙන් අදදින අන්ධකාරයට ප්‍රිය කරන අයට දෙවිගේ අප්‍රසාදයට ලක් වන විනිශ්චයකට මුහුණ දීමට සිදු වේ.—යොහන් 1:9-11; 3:19-21, 36.

2. පුරාණ කාලයේදී යෙහෝවා සැපයූ ආලෝකය ප්‍රතික්ෂේප කළ අයටත්, ඔහුගේ වචනයට සවන් දුන් අයටත් සිදු වූයේ කුමක්ද?

2 යෙසායාගේ කාලයේදී යෙහෝවා සමඟ ගිවිසුමක් ඇති කරගෙන සිටි සෙනඟගෙන් බොහෝදෙනෙක් ආත්මික ආලෝකය ප්‍රතික්ෂේප කළහ. මෙහි ප්‍රතිඵලයක් හැටියට ඉශ්‍රායෙල්හි උතුරු රාජ්‍යය අද්දුටු විනාශය යෙසායා දුටුවේය. පොදු යුගයට පෙර 607දී යෙරුසලම හා එහි දේවමාළිගාව විනාශ කර, එහි වැසියන්ව වහල්භාවයට ගෙනයන ලදි. කෙසේවෙතත්, ඒ කාලයේ සිටි ඇදහිල්ල අත්හැර ගිය අයගේ බලපෑම්වලට එරෙහිව සිටීම සඳහා යෙහෝවාගේ වචනයට සවන් දුන් අයව ශක්තිමත් කරන ලදි. පොදු යුගයට පෙර 607දී වහල්භාවයට රැගෙන ගිය අය අතරින් තමන්ට සවන් දෙන අයට නිදහස ලබා දෙන බවට යෙහෝවා පොරොන්දු විය. (යෙරෙමියා 21:8, 9) අදදින ආලෝකයට ප්‍රිය කරන අපට ඒ කාලයේදී සිදු වූ දේවලින් බොහෝ දෑ ඉගෙනගත හැක.—එපීස 5:5.

ආලෝකයෙහි ගමන් කරන අය ලබන සතුට

3. අදදින අපට තිබෙන නිසැකකම කුමක්ද? අප ප්‍රේම කරන “ධර්මිෂ්ඨ ජාතිය” කුමක්ද? එම ‘ජාතියට’ තිබෙන “බලවත් නුවර” කුමක්ද?

3 “අපට බලවත් නුවරක් ඇත; තාප්ප හා පවුරු පිණිස [දෙවි] ගැළවීම [නියම කරන්නේය]. විශ්වාසකම පවත්වන ධර්මිෂ්ඨ ජාතිය ඇතුල්වෙන පිණිස දොරවල් අරින්න.” (යෙසායා 26:1, 2) මෙම වදන් මහත් ප්‍රීතියෙන් ගායනා කරනු ලැබුවේ යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසය තැබූ සෙනඟ විසිනි. යෙසායාගේ කාලයේ විසූ ඇදහිලිවන්ත යුදෙව්වරු තමන්ගේ සෙසු රටවැසියන් මෙන් බොරු දෙවිවරුන් වෙත හැරෙනවා වෙනුවට, තමන්ට ආරක්ෂාව සැපයිය හැකි එකම ජීවමාන තැනැත්තා හැටියට යෙහෝවාගේ උපකාරය පැතූහ. අදදින සිටින අපටද එවන් නිසැකකමක් තිබේ. එපමණක්ද නොව, අපි යෙහෝවාගේ “ධර්මිෂ්ඨ ජාතිය” වන ‘දෙවිගේ ඉශ්‍රායෙල්ට’ ප්‍රේම කරන්නෙමු. (ගලාති 6:16; මතෙව් 21:43) මෙම ජාතියට අයත් අය විශ්වාසවන්තව ජීවත් වන නිසා යෙහෝවාද ඔවුන්ට ප්‍රේම කරයි. දෙවිගේ ඉශ්‍රායෙල්ට “බලවත් නුවරක්” එනම්, නුවරක් බඳු සංවිධානයක් තිබීම යෙහෝවාගේ ආශීර්වාද ඔවුන්ට ලැබී ඇති බවට සාක්ෂියකි. මෙම සංවිධානය ඔවුන්ව ආරක්ෂා කරයි. ඔවුන්ට අවශ්‍ය සහය ලබා දෙයි.

4. අප ඇති කරගත යුතු මානසික ආකල්පය කුමක්ද?

4 ‘යෙහෝවා කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, යෙහෝවා කෙරෙහි විශ්වාස කරන බැවින් යෙහෝවා ඔහුව සමාදානයෙන් ආරක්ෂා කරන’ බව මෙම “නුවර” තුළ සිටින අය තේරුම්ගෙන සිටිති. තමන් කෙරෙහි විශ්වාසය තබමින් තමන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමට මුළු සිතින්ම සූදානම් වන අයට යෙහෝවා උපකාර කරයි. මේ නිසා යුදයේ සිටි ඇදහිලිවන්තයෝ යෙසායාගේ මෙම උපදේශයට අවනත වූහ. “සැමවිටම යෙහෝවා කෙරෙහි පූර්ණ විශ්වාසය තබන්න. මක්නිසාද යාහ් නම් යෙහෝවා සදාකාල පර්වතයක්ය [NW].” (යෙසායා 26:3, 4; ගීතාවලිය 9:10; 37:3; හිතෝපදේශ 3:5) එම උපදේශයට අවනත වන ආකාරයේ මානසික ආකල්පයක් තිබෙන අය, උපකාරය පතා පර්වතයක් බඳු එකම රක්ෂස්ථානය වන “යාහ් නම් යෙහෝවා” වෙතට සැමවිටම හැරෙති. මේ නිසා ඔවුහු ඔහු ලබා දෙන ‘සමාදානය’ භුක්ති විඳිති.—පිලිප්පි 1:2; 4:6, 7.

දෙවිගේ සතුරන් මත පැමිණි නින්දාව

5, 6. (අ) පුරාණ බබිලෝනිය නින්දාවට පත් වූයේ කෙසේද? (ආ) ‘මහා බබිලෝනිය’ නින්දාවට පත් වූයේ කෙසේද?

5 යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන අය දුක් විඳීම ගැන කුමක් කිව හැකිද? ඔවුන් බිය විය යුතු නැත. යෙහෝවා යම් කලකට ඔවුන්ට දුක් වේදනා විඳීමට ඉඩහැර තිබුණත්, ඔහු සැනසිල්ල සපයයි. ඔහු කෙරෙහි විශ්වාසය තබන අයට පීඩා කරන අයට ඔහුගේ විනිශ්චයට මුහුණ දීමට සිදු වනු ඇත. (2 තෙසලෝනික 1:4-8; 2 තිමෝති 1:8-10) ‘උස් වූ නගරයකට’ සිදු වූ දෙය සලකා බලන්න. මේ ගැන යෙසායා මෙසේ පවසයි. ‘යෙහෝවා උසස්ථානය වන උස් වූ නගරයේ වැසියන් හෙළා දැමුවේය. ඔහු එය පහත් කරන්නේය. බිමටම ඒක පහත් කර ධූලියටම පමුණුවන්නේය. පාදය ඒක පාගන්නේය. දිළිඳුන්ගේ පාදත් දුර්වලයන්ගේ අඩිත් ඒක පාගනවා ඇත.’ (යෙසායා 26:5, 6) මෙහි සඳහන් උස් වූ නගරය බබිලෝනිය විය හැක. මෙම නගරයේ වාසය කළ අය දෙවිගේ සෙනඟට පීඩා කළහ. එහෙත් බබිලෝනියට සිදු වූයේ කුමක්ද? එය පො.යු.පෙ. 539දී මේදියවරුන්ගේ හා පර්සියානුවන්ගේ අතට පත් විය. එය මොනතරම් නින්දාවක් වූවාද!

6 වර්ෂ 1919 සිට ‘මහා බබිලෝනියට’ සිදු වී තිබෙන දෙය යෙසායා පැවසූ අනාවැකිමය වදන්වලින් මැනවින් විස්තර කෙරෙයි. එම වසරේදී යෙහෝවාගේ සෙනඟ ආත්මික වහල්භාවයෙන් නිදහස ලැබූ විට උසස් තත්වයක තිබූ එම නගරය පහත වැටීමෙන් නින්දාවට පත් විය. (එළිදරව් 14:8) ඊට පසු සිදු වූ දෙය නිසා කලින් සිදු වූවාටත් වඩා මහත් නින්දාවකට ඔවුන් ලක් විය. ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත කුඩා කණ්ඩායම කලින් තමන්ව යටත් කරගෙන සිටි මහ බබිලෝනිය ‘පාගා දමන්න’ පටන්ගත්තේය. වර්ෂ 1922දී ඔවුහු ක්‍රිස්තියානි ලෝකය මත පැමිණෙන විනාශය ගැන ජනයාට දැනුම් දීම ආරම්භ කළහ. එමෙන්ම එළිදරව් 8:7-12 දක්වා වගන්තිවල සඳහන් දේවදූතයන් හතරදෙනා හොරණෑ පිඹින විට සිදු වූ දේවල් හා එළිදරව් 9:1–11:15 දක්වා පුරෝකථනය කර තිබෙන දුක් තුන පිළිබඳ ප්‍රකාශයන් එදා සිට ජනයාට පැවසීම ආරම්භ කරන ලදි.

“ධර්මිෂ්ඨයාගේ මාර්ගය ඇදනැති මාර්ගයක්ය”

7. යෙහෝවා සපයන ආලෝකයට ප්‍රිය කරන අයට ලැබෙන මඟ පෙන්වීම කුමක්ද? ඔවුන් බලාපොරොත්තු තබන්නේ කවුරුන් මතද? එමෙන්ම ඔවුන් ගෞරවයෙන් සලකන්නේ කුමක්ද?

7 ආලෝකයට ප්‍රිය කරන අයට යෙහෝවා ගැළවීම සපයන අතර, ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීමද ලබා දෙයි. යෙසායා ඊළඟට පවසන මෙම වදන්වලින් ඒ බව පැහැදිලි වේ. “ධර්මිෂ්ඨයාගේ මාර්ගය ඇදනැති මාර්ගයක්ය. ඍජුගුණාන්විතවූ [තැනැත්තාණෙනි, ඔබ] ධර්මිෂ්ඨයාගේ මාවත [හසුරුවන්නේය]. එසේය, [යෙහෝවා], ඔබගේ විනිශ්චයවල මාර්ගයෙහි අපි ඔබ ගැන බලාසිටියෙමු; අපේ ආත්මයේ ආශාව ඔබගේ නාමය හා ඔබගේ සංඥා නාමය කෙරෙහිය.” (යෙසායා 26:7, 8) යෙහෝවා ධර්මිෂ්ඨ දෙවි කෙනෙකු වන නිසා ඔහුට නමස්කාර කරන අය ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් විය යුතුය. ඔවුන් මෙසේ ජීවත් වන විට යෙහෝවා ඔවුන්ට මඟ පෙන්වීම ලබා දෙමින් ඔවුන්ගේ මාවත හසුරුවයි; එනම් ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගැනීමට උපකාර කරයි. ඔහුගේ මඟ පෙන්වීම්වලට අවනත වීමෙන් මොළොක් ගුණැති අය පෙන්වන්නේ තමන් යෙහෝවා කෙරෙහි බලාපොරොත්තු තබා තිබෙන බවත් මුළු හදින්ම ඔහුගේ නාමය, එනම්, ඔහුගේ “සංඥා” නාමයට ගෞරව කරන බවත්ය.—නික්මයාම 3:15.

8. අප ආදර්ශයට ගත යුතු යෙසායා විදහාපෙන්වූ ආකල්පය කුමක්ද?

8 යෙසායා ඊළඟට මෙසේ පවසයි. “මාගේ ආත්මයෙන් මම රාත්‍රියෙහි ඔබ කෙරෙහි ආශාවීමි; එසේය, මා තුළ මාගේ ආත්මයෙන් අලුයම ඔබ සොයන්නෙමි. මක්නිසාද ඔබගේ විනිශ්චයන් පොළොවේ ඇතිකල්හි ලෝ වැසියෝ ධර්මිෂ්ඨකම ඉගෙනගනිති.” මෙම වදන්වලින් පැහැදිලි වන්නේ යෙසායා යෙහෝවාගේ නාමය ඉතා උතුම් කොට සැලකූ බවයි. (යෙසායා 26:9) ඔහු ‘ඔහුගේ ආත්මයෙන්ම’ යෙහෝවා කෙරෙහි ආශාවක් නොහොත් ලැදියාවක් දැක්වුවේය. අනාගතවක්තෘවරයා තම හද පත්ලෙන් නැඟෙන අදහස් ප්‍රකාශ කරමින් හා දැඩි ඇල්මකින් යෙහෝවාගේ මඟ පෙන්වීම සොයමින් නිසසල රාත්‍රියේ ඔහුට යාච්ඤා කරන ආකාරය සිතින් මවාගැනීමට වෑයම් කරන්න. එය මොනතරම් කදිම ආදර්ශයක්ද! එපමණක්ද නොව, යෙහෝවා අතීතයේ කළ විනිශ්චයන් සලකා බැලීමෙන් යෙසායා ධර්මිෂ්ඨකම ඉගෙනගත්තේය. යෙහෝවාගේ කැමැත්ත තේරුම්ගැනීමට නිතරම සූදානම්ව සිටීමේ අවශ්‍යතාව ඔහු කළ දෙයින් අපට සිහිගැන්වෙයි.

ඇතමුන් අන්ධකාරයට ප්‍රිය කරයි

9, 10. යෙහෝවා තමන්ගේ නොඇදහිලිවන්ත ජාතියට කරුණාව පෙන්වූයේ කෙසේද? එහෙත් ඔවුන් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

9 යෙහෝවා යූදා වැසියන්ට අධික ලෙස ප්‍රේමනීය කරුණාව පෙන්වුවත්, සියලුදෙනාම එයට හිතකර ප්‍රතිචාරයක් නොදැක්වීම කනගාටුදායකය. බොහෝ අවස්ථාවලදී වැඩිදෙනෙක් කැරලිකාර ක්‍රියාමාර්ගයක් ලුහුබඳිමින් ඇදහිල්ල අත්හැරියහ. යෙහෝවා සැපයූ සත්‍යයේ ආලෝකයට ඔවුන් ප්‍රිය කළේ නැත. මේ ගැන යෙසායා මෙසේ පැවසුවේය. “දුෂ්ටයාට කරුණාව ලැබෙන නුමුත් ඔහු ධර්මිෂ්ඨකම ඉගෙනගන්නේ නැත; යුක්තිය ඇති දේශයෙහිත් ඔහු අපරාධ ක්‍රියාකරනවා ඇත, ඔහු [යෙහෝවාගේ] මහන්තත්වයද නොදක්නේය.”—යෙසායා 26:10.

10 යෙහෝවා යෙසායාගේ කාලයේදී යුදෙව්වරුන්ව ඔවුන්ගේ සතුරන් අතින් ගළවාගත්තත්, යෙහෝවා කළ දෙය වැඩිදෙනෙකු පිළිගත්තේ නැත. යෙහෝවා ඔවුන්ට සාමකාමී කාලයක් ලබා දුන් විට මේ ජාතිය එයට ස්තුතිවන්ත වූයේ නැත. මේ නිසා, ‘වෙනත් ස්වාමිවරුන්ට’ සේවය කරන පිණිස යෙහෝවා ඔවුන්ව අත්හැරියේය. අවසානයේදී පො.යු.පෙ. 607දී යුදෙව්වන්ව වහල්භාවයට ගෙන යෑමට යෙහෝවා බබිලෝනිවරුන්ට ඉඩහැරියේය. (යෙසායා 26:11-13) කෙසේවෙතත්, කලක් ගතවීමෙන් පසු, හික්මවීමක් ලැබූ එම ජාතියෙන් කොටසකට ආපසු සිය මව් බිමට පැමිණීමට හැකි විය.

11, 12. (අ) යුදෙව්වන්ව යටත් කරගත් අයගේ අනාගතය කෙබඳු එකක් වීද? (ආ) වර්ෂ 1919දී, යෙහෝවාගේ ආලේප ලත් සේවකයන්ව තම අණසක යටතේ තබාගෙන සිටි අයගේ අනාගතය කෙබඳු එකක් වීද?

11 යුදෙව්වන්ව යටත් කරගත් අය ගැන කුමක් කිව හැකිද? යෙසායාගේ මෙම අනාවැකිමය වදන්වලින් එම ප්‍රශ්නයට උත්තරයක් ලැබේ. “මළාවූ ඔව්හු ජීවත්නොවන්නෝය; නැසීගියාවූ ඔව්හු නොනැගිටින්නෝය. එසේය, ඔබ ඔවුන් විමසා බලා ඔවුන් විනාශකොට, ඔවුන් ගැන මුළු සිහිවීම නැති [කළේය].” (යෙසායා 26:14) බබිලෝනිය පො.යු.පෙ. 539දී වැටීමෙන් පසු, ඇයට අනාගතයක් නොතිබිණ. කලක් ගතවීමෙන් පසු එම නගරය දැකගත නොහැකි විය. ඇය ‘නැසී ගිය’ අතර, ඇගේ විශාල අධිරාජ්‍යය ගැන දැනගත හැක්කේ ඉතිහාස පොත්වලින් පමණි. මේ ලෝකයේ බලවතුන් කෙරෙහි බලාපොරොත්තු තබන අයට එය මොනතරම් ප්‍රබල අනතුරු ඇඟවීමක්ද!

12 දෙවි 1918දී සිය ආලේප ලත් සේවකයන්ව ආත්මික වහල්භාවයට ගෙන යෑමට ඉඩහැර, පසුව 1919දී ඔවුන්ව නිදහස් කරගත් විට එම අනාවැකියේ ඇතැම් අංග ඉටු විය. කලක් ඔවුන්ව තම අණසක යටතේ තබාගෙන සිටි අයගේ, විශේෂයෙන්ම ක්‍රිස්තියානි ලෝකයේ අනාගතය ඔවුන් නිදහස ලැබූ දා පටන් අඳුරු විය. එහෙත් යෙහෝවාගේ සෙනඟ මහත් ආශීර්වාද භුක්ති විඳින්න පටන්ගත්තේය.

‘ඔබ සෙනඟ වැඩි කර තිබේ’

13, 14. වර්ෂ 1919 සිට යෙහෝවාගේ ආලේප ලත් සේවකයන් අද්දකින මහඟු ආශීර්වාද මොනවාද?

13 වර්ෂ 1919දී දෙවි සිය ආලේප ලත් සේවකයන් විදහාපෙන්වූ පසුතැවිල්ලට ආශීර්වාද කරමින් ඔවුන්ට වර්ධනයක් ලබා දුන්නේය. මුලින්ම, දෙවිගේ ඉශ්‍රායෙල්ට අයත් ඉතිරි අයව එක්රැස් කිරීම කෙරෙහි අවධානය යොමු කළ අතර, පසුව ‘වෙනත් බැටළුවන්ගෙන්’ යුත් “මහත් සමූහයක්” එක්රැස් කිරීමට පටන්ගත්තේය. (යොහන් 10:16; එළිදරව් 7:9) මෙම ආශීර්වාද ගැන යෙසායාගේ අනාවැකියෙහි මෙසේ පුරෝකථනය කර තිබිණ. ‘යෙහෝවා ඔබ සෙනඟ වැඩි කළේය. ඔබ සෙනඟ වැඩි කර ගෞරවය ලබාගත්තේය. ඔබ දේශයේ සියලු මායිම්ද විශාල කළේය. යෙහෝවා, විපතේදී ඔවුහු ඔබ දෙස බැලුවෝය. ඔබගෙන් ඔවුන්ට දඬුවම පැමුණුන විට ඔවුහු කන්නලව්වක් වැගිරෙව්වෝය.’—යෙසායා 26:15, 16.

14 අද දෙවිගේ ඉශ්‍රායෙල්ගේ මායිම් පොළොවේ සතර දිග් භාගයේම ව්‍යාප්ත වී තිබෙන අතර, දශලක්ෂ හයක් පමණ වන මහත් සමූහයක් ඔවුන් හා එක්ව ජ්වලිතව ශුභාරංචිය දේශනා කිරීමේ වැඩයෙහි හවුල් වෙයි. (මතෙව් 24:14) මෙය යෙහෝවාගෙන් ලැබී තිබෙන මොනතරම් උතුම් ආශීර්වාදයක්ද! මෙයින් යෙහෝවාගේ නාමයට ගෙනෙන ප්‍රශංසාව කියා නිම කළ නොහැක! අදදින එම නාමය රටවල් 235ක අසන්න ලැබේ. මෙය ඔහුගේ පොරොන්දුවක විශිෂ්ට ඉටුවීමකි.

15. වර්ෂ 1919දී සිදු වූ සංකේතාත්මක නැවත නැඟිටීම කුමක්ද?

15 යූදාට බබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් වීමට යෙහෝවාගේ උපකාරය අවශ්‍ය විය. ඔවුන්ගේම හැකියාවෙන් එය කළ නොහැකි දෙයක් විය. (යෙසායා 26:17, 18) ඒ හා සමානව, 1919දී සිදු වූ දෙවිගේ ඉශ්‍රායෙල්ගේ නිදහස් වීම යෙහෝවාගේ උපකාරය ඔවුන්ට තිබූ බවට සාක්ෂියක් විය. ඔහුගේ උපකාරය නොමැතිව එවන් නිදහසක් කවදාවත්ම අපේක්ෂා කළ නොහැකි විය. ඔවුන් සිටි තත්වයෙහි සිදු වූ එම වෙනස මොනතරම් විස්මිතද කියනවා නම්, යෙසායා එය මළවුන්ගෙන් නැවත නැඟිටීමකට සමාන කරයි. “ඔබගේ මළාහු ජීවත්වන්නෝය; මාගේ මළකඳන් නැගිටිනවා ඇත. ධූලියෙහි වසන්නෙනි, පිබිදී ගී කියන්න. මක්නිසාද ඔබගේ පිනි පලාජාතිවල පිනි මෙන්ය, පොළොව සහ මළවුන් පිට ඔබ ඒවා බසින්ට [සලස්වන්නේය]” කියා ඔහු පවසයි. (යෙසායා 26:19; එළිදරව් 11:7-11) මියගිය කෙනෙකු මෙන් කිසිවක් කළ නොහැකිව සිටි අය නැවත ප්‍රාණවත් වී නොයෙකුත් කාර්යයන්වල ක්‍රියාශීලීව හවුල් වනු ඇත!

භයානක කාලවල ආරක්ෂාව

16, 17. (අ) පොදු යුගයට පෙර 539දී බබිලෝනිය විනාශ වන විට එයින් ගැළවීම සඳහා යුදෙව්වන් කළ යුතුව තිබුණේ කුමක්ද? (ආ) අදදින ‘ඇතුල් ගෙවල්වලින්’ නියෝජනය කෙරෙන්නේ කුමක් විය හැකිද? ඒවා අපට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

16 යෙහෝවාගේ සේවකයන්ට නිරතුරුවම ඔහුගේ ආරක්ෂාව අවශ්‍ය වේ. ළඟදීම ඔහු සාතන්ගේ ලෝකයට එරෙහිව අන්තිම වතාවට සිය හස්තය දිගු කරන අතර, එවිට වෙන කවරදාකටත් වඩා ඔහුගේ නමස්කාරකයන්ට ඔහුගේ උපකාරය අවශ්‍ය වනු ඇත. (1 යොහන් 5:19) එම භයානක කාලය ගැන යෙහෝවා අපට මෙසේ අනතුරු අඟවයි. “මාගේ සෙනග එන්න, නුඹලාගේ ඇතුල් ගෙවලට ගොස් නුඹලාගේ දොරවල් වසාගන, කෝපය පහවයන තුරු ස්වල්ප මොහොතක් සැඟවී ඉන්න. මක්නිසාද මෙන්න, [යෙහෝවා] පොළෝ වාසීන්ගේ අපරාධ ගැන ඔවුන්ට දඬුවම්කරන්ට තමන්ගේ ස්ථානයෙන් නික්මී [එන්නේය]. පොළොවද එහි මැරුම්කෑවුන් තවත් වසා නොගෙන එහි වැගිරෙවූ ලේ ප්‍රකාශකරනවා ඇත.” (යෙසායා 26:20, 21; ශෙපනියා 1:14) එම අනතුරු ඇඟවීම මගින්, පො.යු.පෙ. 539දී බබිලෝනිය විනාශ වන විට එයින් ගැළවෙන ආකාරය යුදෙව්වන්ට පෙන්වා දෙන ලදි. එයට අවනත වූ අය තමන්ගේ නිවෙස්වලට වී සිටින්නට ඇත. එනිසා වීදි ඔස්සේ ජයග්‍රාහී ලෙස ඉදිරියට එමින් සිටි සොල්දාදුවන්ගෙන් ඔවුන් ආරක්ෂා විය.

17 අදදින, එම අනාවැකියෙහි සඳහන් ‘ඇතුල් ගෙවල්වලින්’ නියෝජනය කෙරෙන්නේ ලොව පුරා පිහිටි යෙහෝවාගේ සෙනඟගෙන් සමන්විත දසදහස් ගණනක් වූ සභාවන් බව සිතිය හැක. අදදින එම සභාවන් දෙවිගේ සෙනඟට ආරක්ෂාව සපයයි. ප්‍රේමනීය වැඩිමහල්ලන්ගේ රැකවරණය ලබමින් තම සහෝදරයන් අතර සිටීම ආරක්ෂාවක් බව ක්‍රිස්තියානීහු තේරුම්ගෙන සිටිති. (යෙසායා 32:1, 2; හෙබ්‍රෙව් 10:24, 25) වත්මන් ක්‍රමයෙහි අවසානය ආසන්න වී තිබෙන නිසා එය විශේෂයෙන් සැබෑවක් වේ. අවසානයෙන් බේරී ජීවත් වීම රඳා පවතින්නේ කීකරුකම මතය.—ශෙපනියා 2:3.

18. යෙහෝවා ළඟදීම ‘මුහුදේ ඉන්න දීර්ඝයාව මරන්නේ’ කෙසේද?

18 එම කාලය ගැන යෙසායා මෙසේ පුරෝකථනය කරයි. “ඒ දවසෙහි [යෙහෝවා] තමන්ගේ තදවූ මහත්වූ බලවත්වූ කඩුවෙන් ශීඝ්‍ර සර්පයාවූ ලෙවියාතන්ටත් වක්වෙවීයන සර්පයාවූ ලෙවියාතන්ටත් දඬුවම්කර, මුහුදේ ඉන්න දීර්ඝයාද [මරන්නේය].” (යෙසායා 27:1) අදදින ‘ලෙවියාතන්ගෙන්’ සංකේතවත් කරන්නේ කුමක්ද? පෙනෙන විදිහට, මේ සත්වයාගෙන් බොහෝදුරට සංකේතවත් වන්නේ “පුරාණ සර්පයා” වන සාතන් හා ඔහුගේ ආධිපත්‍යය යටතේ පවතින දුෂ්ට ක්‍රමයයි. සාතන් දෙවිගේ ඉශ්‍රායෙල්ට එරෙහිව සටන් කිරීම සඳහා යොදාගන්නේ මෙම දුෂ්ට ක්‍රමයයි. (එළිදරව් 12:9, 10, 17; 13:14, 16, 17) වර්ෂ 1919න් පසු දෙවිගේ සෙනඟව තමන්ගේ ග්‍රහණය යටතේ තබාගැනීමට ලෙවියාතන්ට නොහැකි විය. ඉදිරියේදී, ලෙවියාතන්ව නැවත කිසිදා දැකගත නොහැකි වන සේ විනාශ කරනු ඇත. (එළිදරව් 19:19-21; 20:1-3, 10) මෙසේ යෙහෝවා “මුහුදේ ඉන්න [දීර්ඝයාව]” මරන්නේය. මේ අතරතුර යෙහෝවාගේ සෙනඟට එරෙහිව ලෙවියාතන් ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයක් කොහෙත්ම සාර්ථක නොවනු ඇත. (යෙසායා 54:17) එම සහතිකය මගින් මොනතරම් සැනසිල්ලක් සපයයිද!

“පෙණ නඟින මුද්‍රිකපානය දෙන මිදිවත්තක්”

19. අද ඉතිරි කොටස සිටින තත්වය ගැන කුමක් කිව හැකිද?

19 යෙහෝවා සපයන මේ ආලෝකය ගැන සලකා බලන කල අපට ප්‍රීතිවීමට තිබෙන හේතු අපමණයි! යෙහෝවාගේ සෙනඟ අද්දකින ප්‍රීතිය යෙසායා මෙසේ සිත්ගන්නාසුලු අයුරින් විස්තර කරයි. “ඒ දවසෙහි ප්‍රියකරු [පෙණ නඟින මුද්‍රිකපානය දෙන, NW] මිදිවත්තක් ඇතිවේ, ඒ ගැන ගීතිකාකරන්න. [යෙහෝවා] වන මම ඒක ආරක්ෂාකරමි; මොහොතින් මොහොත ඊට වතුර වත් කරන්නෙමි. කිසිවෙක් ඊට අන්තරා නොකරන ලෙස මම රෑ දාවල් ඒක ආරක්ෂාකරන්නෙමි.” (යෙසායා 27:2, 3) යෙහෝවා ඔහුගේ “මිදිවත්ත” වන දෙවිගේ ඉශ්‍රායෙල්ගේ ඉතිරි කොටස සහ ඔවුන් හා එක්ව වෙහෙස මහන්සි වී සේවය කරන ඔවුන්ගේ ආශ්‍රිතයන්ව ආරක්ෂා කර තිබේ. (යොහන් 15:1-8) මෙහි ප්‍රතිඵලයක් වශයෙන් යෙහෝවාගේ නාමයට මහත් ප්‍රශංසාවක් ගෙන දෙන ඵලදාවක් හටගෙන තිබෙන අතර, පොළොව මත සිටින ඔහුගේ සේවකයෝ ඒ ගැන ඉමහත් සේ ප්‍රීති වෙති.

20. යෙහෝවා ක්‍රිස්තියානි සභාව ආරක්ෂා කරන්නේ කෙසේද?

20 යෙහෝවා කලක් සිය ආලේප ලත් සේවකයන් සමඟ කෝපයට පත්ව සිටියේය. මේ නිසා ඔහු 1918දී ඔවුන්ව ආත්මික වහල්භාවයට ගෙන යෑමට ඉඩහැරියේය. නමුත් දැන් ඔවුන් කෙරෙහි තිබූ ඔහුගේ කෝපය නිවී තිබෙන නිසා අපට සතුටු විය හැක. යෙහෝවාම මෙසේ පවසයි. “මා තුළ කෝපය නැත. කටුගස්ද ගොකටුද මට විරුද්ධව යුද්ධයට සිටියොත් යහපති! මම ඒවා පාගා එකට දවාදමන්නෙමි. නැතහොත් ඔහු මාගේ ශක්තිය අල්වාගෙන [බලකොටුවේ ආරක්ෂාව ලබා, NW] මා සමග සමාදාන වේවා; එසේය, මා සමග සමාදාන වේවා.” (යෙසායා 27:4, 5) ඔහුගේ මිදිවත්තෙන් “පෙණ නඟින මුද්‍රිකපානය” බහුල ලෙස නිපදවීම සඳහා යෙහෝවා වල් පැළෑටි වැනි කටු ගස් පාගා දවා දමයි. එනම් හානිකර බලපෑම්වලින් සිය මිදිවත්ත ආරක්ෂා කරයි. මේ සඳහා ක්‍රිස්තියානි සභාව තුළ තිබෙන සමෘද්ධිමත් තත්වය නැති කර දමන්න උත්සාහ කරන අයට යෙහෝවා සුදුසු විපාක දෙනු ඇත. අපි සියලුදෙනාම යෙහෝවාගේ අනුමැතිය හා ආරක්ෂාව ලැබීමට වෑයම් කරමින් ‘ඔහුගේ බලකොටුවේ ආරක්ෂාව ලබාගනිමු.’ මෙසේ කිරීමෙන් අපට දෙවි සමඟ සමාදාන විය හැක. මෙය මොනතරම් වැදගත් දෙයක්ද කියනවා නම්, යෙසායා එය දෙවරක් සඳහන් කරයි.—ගීතාවලිය 85:1, 2, 8; රෝම 5:1.

21. පොළොව ‘ඵලවලින්’ පිරී තිබෙන්නේ කෙසේද?

21 දෙවිගේ සෙනඟ භුක්ති විඳින තවත් ආශීර්වාද ගැන අනාවැකියෙහි මෙසේ සඳහන් වේ. “මතු පැමිණෙන දවස්වල යාකොබ් මුල් අදින්නේය; ඉශ්‍රායෙල් මල්ගෙන දළුලන්නේය. ඔවුන් පොළෝතලය ඵලයෙන් පුරවනවා ඇත.” (යෙසායා 27:6) මෙම වගන්තියෙහි සඳහන් දෙය 1919 සිට ඉටු වී තිබෙන අතර, එය යෙහෝවාගේ බලයට අපූර්ව සාක්ෂියකි. ආලේප ලත් ක්‍රිස්තියානීන් ‘ඵලවලින්’ එනම්, පෝෂ්‍යදායී ආත්මික ආහාරවලින් පොළොව පුරවා තිබේ. සදාචාරයෙන් පිරිහී ගොස් තිබෙන මේ ලෝකයෙහි ඔවුහු ප්‍රීතියෙන් දෙවිගේ උසස් ප්‍රමිති අඛණ්ඩව රක්ෂා කරති. මහත් වර්ධනයක් ලබා දීමෙන් යෙහෝවා ඔවුන්ට දිගටම ආශීර්වාද කරයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් දශලක්ෂ ගණනක් වූ වෙනත් බැටළුවන්ගෙන් යුත් ඔවුන්ගේ ආශ්‍රිතයෝ ‘රෑ දාවල් දෙවිට සේවය කරති.’ (එළිදරව් 7:15) “ඵල” භුක්ති විඳීමටත් ඒවා අනිත් අය සමඟ බෙදාගැනීමටත් අප සතු වරප්‍රසාදය කිසිදා සුළු කොට නොතකමු.

22. ආලෝකයට ප්‍රිය කරන අය භුක්ති විඳින ආශීර්වාද මොනවාද?

22 පොළොව අන්ධකාරයෙන්ද ජාතීන් තද අන්ධකාරයෙන්ද වැසී තිබෙන මේ තීරණාත්මක කාලයේදී යෙහෝවා ඔහුගේ සෙනඟ මත ආත්මික ආලෝකය හෙළීම ගැන අප ඔහුට මොනතරම් ස්තුතිවන්ත විය යුතුද! (යෙසායා 60:2; රෝම 2:19; 13:12) එසේ දෙවි සපයන ආලෝකයට ප්‍රිය කරන අය මේ කාලයේදී මනසේ සාමය හා ප්‍රීතිය භුක්ති විඳිති. එපමණක්ද නොව, අනාගතයේදී ඔවුන් සදාකාල ජීවනයටද පංගුකාරයන් වනු ඇත. එසේනම්, ආලෝකයට ප්‍රිය කරන අපි, දෙවිට ප්‍රශංසා කිරීමට තිබෙන හොඳ හේතු සැලකිල්ලට ගෙන, ගීතිකාකරුගේ මෙම වදන් ප්‍රතිරාවය කරමින් මුළු හදින්ම යෙහෝවාව පැසසුමට ලක් කරමු. ‘යෙහෝවා මාගේ ජීවිතයේ ශක්තියය; මම කාට බිය වන්නෙම්ද? යෙහෝවා කෙරෙහි බලා සිටින්න. ශක්තිමත් වෙන්න. ඔබගේ සිත ධෛර්යවත් වේවා; එසේය, යෙහෝවා කෙරෙහි බලා සිටින්න.’—ගීතාවලිය 27:1ආ, 14.

ඔබට මතකද?

• යෙහෝවාගේ සෙනඟට හිංසා පීඩා කරන අයට අනාගතයේදී සිදු වන්නේ කුමක්ද?

• යෙසායා වර්ධනය පිළිබඳව පැවසූ අනාවැකිය කුමක්ද?

• අප රැඳී සිටිය යුතු ‘ඇතුල් ගෙවල්’ මොනවාද? අප එහි සිටිය යුත්තේ මන්ද?

• යෙහෝවාගේ සෙනඟ අද සිටින තත්වය, ඔහුව පැසසුමට ලක් කිරීමට හේතුවක් වන්නේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[22වන පිටුවේ කොටුව]

අලුත් ප්‍රකාශනයක්

මෙම පාඩම් ලිපි දෙකෙහි සාකච්ඡා කළ තොරතුරුවලින් බොහොමයක් 2000/2001 දිස්ත්‍රික් සමුළු වැඩසටහනේ එක් කතාවකදී ඉදිරිපත් කරන ලදි. එම කතාව අවසානයේදී යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I නමැති අලුත් ප්‍රකාශනය මුදාහරින ලදි. පිටු 416කින් සමන්විත මෙම පොතෙහි, යෙසායා පොතේ මුල් පරිච්ඡේද 40හි තිබෙන සෑම වගන්තියක්ම විස්තර කර ඇත.

[18වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ “බලවත් නුවර” වන ඔහුගේ සංවිධානයෙහි සිටීමට අවසර ඇත්තේ ධර්මිෂ්ඨයන්ට පමණි

[19වන පිටුවේ පින්තූරය]

යෙසායා “රාත්‍රියෙහි” යෙහෝවාව සෙව්වේය

[21වන පිටුවේ පින්තූරය]

යෙහෝවා තම “මිදිවත්ත” ආරක්ෂා කරමින් එයින් අස්වැන්න බහුල ලෙස නිපදවීමට සලස්වයි