Skip to content

පටුනට යන්න

ආලෝකයෙහි ගමන් කරන අය ලබන ප්‍රීතිය

ආලෝකයෙහි ගමන් කරන අය ලබන ප්‍රීතිය

ආලෝකයෙහි ගමන් කරන අය ලබන ප්‍රීතිය

‘එන්න, අපි යෙහෝවාගේ ආලෝකයෙහි ගමන් කරමු.’—යෙසායා 2:5.

1, 2. (අ) ආලෝකය කොතරම් වැදගත්ද? (ආ) අන්ධකාරයෙන් පොළොව වැසී යන බවට කර තිබෙන අනතුරු ඇඟවීම බරපතළ දෙයක් ලෙස සැලකිය යුත්තේ මන්ද?

 යෙහෝවා ආලෝකයෙහි උල්පතයි. බයිබලයෙහි ඔහුව හඳුන්වන්නේ ‘දවාලෙහි එළියක් පිණිස ඉරද, රාත්‍රියෙහි එළියක් පිණිස සඳ සහ තාරකාවලට නියෝගද දෙන’ තැනැත්තා ලෙසය. (යෙරෙමියා 31:35; ගීතාවලිය 8:3) අපට ආලෝකය සපයන හිරු මැව්වේ ඔහුය. අතිමහත් න්‍යෂ්ටික බලාගාරයක් බඳු හිරු මගින් විශාල බලශක්තියක් නිපදවන අතර, ඉන් කොටසක් ආලෝකය සහ තාපය ලෙස මුදාහැරේ. හිරු එළිය ලෙස අපට ලැබෙන්නේ එම ශක්තියෙන් ඉතාමත් සුළු ප්‍රමාණයක් වුවත්, ජීවීන්ගේ පැවැත්ම රඳා පවතින්නේ ඒ මතයි. හිරු එළිය නොමැතිව අපට ජීවත් විය නොහැකි වන අතර, පෘථිවිය ජීවීන්ගෙන් තොර ග්‍රහයෙකු වනු ඇත.

2 ඉහත සඳහන් කළ දෑ මතකයේ තබාගැනීමෙන් අනාගතවක්තෘ යෙසායා විස්තර කළ තත්වයේ තිබූ බරපතළකම තේරුම්ගැනීමට ආලෝකය සම්බන්ධයෙන් ඉහත සඳහන් කළ දෑ මතක තබාගැනීම අපට උපකාරවත් වේ. “[බලව], පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය” කියා ඔහු පැවසුවේය. (යෙසායා 60:2) මෙහි සඳහන් අන්ධකාරය සැබෑ අන්ධකාරයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. යම් දවසක හිරු, සඳු හා තරු යනාදියෙන් ආලෝකය නිකුත් නොවන බව යෙසායා අදහස් කළේ නැත. (ගීතාවලිය 89:36, 37; 136:7-9) ඔහු කතා කරමින් සිටියේ ආත්මික අන්ධකාරයක් ගැනය. මෙම ආත්මික අන්ධකාරය මාරාන්තිකයි. භෞතික ආලෝකය නොමැතිව ජීවත් විය නොහැකි සේ, ආත්මික ආලෝකය නොමැතිවද අපට ජීවත් විය නොහැක.—ලූක් 1:78ආ, 79.

3. යෙසායාගේ වදන් සැලකිල්ලට ගැනීමේදී, ක්‍රිස්තියානීන් කුමක් කළ යුතුද?

3 යෙසායා පැවසූ වදන් ඉටු වූයේ පුරාණයේ විසූ වැසියන් අතර වුවත්, අදදිනද එම වදන් මහ පරිමාණයකින් ඉටු වන නිසා, ඒ ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. අදදිනද ලෝකය ආත්මික අන්ධකාරයෙන් වැසී තිබේ. මෙවන් අනතුරුදායක තත්වයක් පවතින අවස්ථාවක ආත්මික ආලෝකයේ තිබෙන වටිනාකම කියා නිම කළ නොහැක. මේ නිසා ක්‍රිස්තියානීන් යේසුස්ගේ මෙම උපදේශයට අවනත විය යුතුයි. “නුඹලාගේ ආලෝකය [මනුෂ්‍යයන්] ඉදිරියේ බබළාවා.” (මතෙව් 5:16) අන්ධකාරයේ සිටින මොළොක් ගුණැති අයට ජීවනයට යන මාර්ගයට පිවිසීම සඳහා උපකාර කිරීමෙන් ඔවුන්ට ආලෝකය සපයන්න ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ට හැක.—යොහන් 8:12.

ඉශ්‍රායෙල්හි අඳුරු යුගයක්

4. යෙසායා පැවසූ අනාවැකිමය වදන් මුලින්ම ඉටු වූයේ කවදාද? එහෙත් ඔහු ජීවත් වූ කාලය තුළ පැවතියේ කිනම් තත්වයක්ද?

4 පොළොව වසාගනු ලබන අන්ධකාරය සම්බන්ධයෙන් යෙසායා පැවසූ වදන් මුලින්ම ඉටු වූයේ යූදා දේශය පාළු වී, එහි වැසියන්ව බබිලෝනියේ වහල්භාවයට ගෙන ගිය කාලයේදීය. කෙසේවෙතත්, මෙය සිදුවීමටත් කලින් සිටම, එනම් යෙසායා ජීවත් වූ කාලයේදීද ඉශ්‍රායෙල් ජාතියෙන් බහුතරයක් සිටියේ ආත්මික අන්ධකාරයේය. මේ නිසා තම රටවැසියන්ව මෙසේ උනන්දු කරවීමට යෙසායා පෙලඹිණ. ‘අහෝ යාකොබ්ගේ වංශය, එන්න, අපි යෙහෝවාගේ ආලෝකයෙහි ගමන් කරමු.’—යෙසායා 2:5; 5:20.

5, 6. යෙසායාගේ කාලයේ පැවති අඳුරුසහගත තත්වයට හේතු වූයේ මොනවාද?

5 යෙසායා යූදා දේශයෙහි අනාවැකි පැවසුවේ “යූදාහි රජවරුන්වූ උස්සියාගේද යෝතාම්ගේද ආහාස්ගේද හෙසකියාගේද [දවස්වලදීය].” (යෙසායා 1:1) එම කාලයේදී දේශපාලනික නොසන්සුන්තාවක් පැවති අතර, ආගමික වංචාවන්ද, යුක්තිය නොපිට පෙරළමින් දිළිඳුන්ට පීඩා කිරීම්ද බහුලව සිදු විය. යෝතාම් වැනි ඇදහිලිවන්ත රජවරුන්ගේ පාලන කාලවලදී පවා උස් ස්ථාන බොහොමයක බොරු දෙවිවරුන්ට පූජාසන සාදා තිබිණ. නොඇදහිලිවන්ත රජවරුන්ගේ පාලන කාලවලදී තත්වය තවත් දරුණු විය. උදාහරණයක් හැටියට, දුෂ්ට ආහාස් රජු මොලෙක් දෙවියාට තම දරුවාව පවා පූජා කිරීමට තරම් දුර දිග ගියේය. ආත්මික අර්ථයෙන් ගත් කල ඒ කාලය මොනතරම් දැඩි අන්ධකාරයකින් වැසී තිබුණාද!—2 රාජාවලිය 15:32-34; 16:2-4.

6 අවට ජාතීන් අතර පැවතියේද අඳුරුසහගත තත්වයකි. මෝවබ්වරු, ඒදොම්වරු සහ පිලිස්තිවරු යූදා දේශය අල්ලාගැනීම සඳහා එහි දේශ සීමා අසලටම පැමිණ සිටියහ. ඉශ්‍රායෙල්හි උතුරු රාජ්‍යය හා යූදා රාජ්‍යය අතර ඥාති සම්බන්ධයක් තිබුණත්, උතුරු රාජ්‍යය ප්‍රසිද්ධියේ යූදා රාජ්‍යයට සතුරුකම් පෑවේය. යූදා රාජ්‍යයට උතුරු දෙසින් පිහිටි සිරියාවද යූදාහි සාමයට තර්ජනයක් විය. මේ සියල්ලටම වඩා භයානක වූයේ දේශ අත් පත් කරගැනීමට මාන බලමින් සිටි කෲර අෂූරියයි. යෙසායා අනාවැකි පවසමින් සිටි කාලයේදී අෂූරිය ඉශ්‍රායෙල් ජාතිය අතුගා දැමූ අතර, යූදා දේශය එම ඉරණමින් බේරුණේ අනූනවයෙනි. එක් අවස්ථාවක යෙරුසලම හැර යූදාහි පිහිටි බලකොටුවලින් සෑම එකක්ම අෂූරියයන්ගේ අතට පත් වී තිබිණ.—යෙසායා 1:7, 8; 36:1.

7. ඉශ්‍රායෙල් හා යූදා වැසියන් තෝරාගත්තේ කුමන මාර්ගයක ගමන් කිරීමටද? යෙහෝවා එයට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

7 දෙවි සමඟ ගිවිසුමක් ඇති කරගෙන සිටි සෙනඟ වන ඉශ්‍රායෙල් සහ යූදා එතරම්ම දරුණු විපත් අද්දැකීමට හේතුව වූයේ ඔවුන් දෙවිට පක්ෂපාත නොවීමයි. හිතෝපදේශ පොතෙහි සඳහන් අය හා සමානව ඔවුහුද ‘අන්ධකාරයේ මාර්ගවල යන පිණිස අවංක මාර්ග අත්හැරියහ.’ (හිතෝපදේශ 2:13) එහෙත් යෙහෝවා ඔවුන් සමඟ උදහස් වුවත්, තම සෙනඟව සම්පූර්ණයෙන්ම අත්හැරියේ නැත. ඔහු තමන්ට ඇදහිලිවන්තව සේවය කිරීමට වෑයම් කළ අයට ආත්මික ආලෝකය සැපයීම සඳහා යෙසායා ඇතුළු තවත් අනාගතවක්තෘවරුන්ව ඔවුන් වෙතට යැව්වේය. මෙම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් සපයන ලද ආලෝකය මොනතරම් අනර්ඝ දෙයක් වූවාද කියනවා නම්, එය ජීවනය ගෙන දෙන ආලෝකයක් විය!

අද පවතින අන්ධකාරය

8, 9. අද ලෝකයේ පවතින අන්ධකාර තත්වයට හේතු වී තිබෙන්නේ මොනවාද?

8 යෙසායාගේ කාලයේ පැවති තත්වය අද පවතින තත්වයට බෙහෙවින් සමානය. අපේ කාලයේ සිටින පාලකයන් යෙහෝවාවත් ඔහු පත් කර තිබෙන රජු වන යේසුස් ක්‍රිස්තුස්වත් ප්‍රතික්ෂේප කර තිබේ. (ගීතාවලිය 2:2, 3) ක්‍රිස්තියානි ලෝකයේ ආගමික නායකයන් ඔවුන්ගේ රැළ මුළා කර ඇත. එම නායකයන් දෙවිට සේවය කරන බව කියා සිටියත්, ඔවුන්ගෙන් බොහෝදෙනෙක් ජාතිවාදය, යුද්ධය, ධනය හා ප්‍රසිද්ධ පුද්ගලයන්ව දේවත්වයෙහිලා සැලකීමට අනුබල දෙති. එපමණක්ද නොව ඔවුන් මිනිසුන්ට උගන්වන්නේ මිථ්‍යාවන් මත පදනම් වූ දේවල්ය.

9 ලෝකයේ බොහෝ තැන්වල ක්‍රිස්තියානි ලෝකයේ ආගම් වෙනත් වර්ගවලට අයත් මිනිසුන්ව සමූලඝාතනය (වාර්ගික ශුද්ධීකරණය) කරනු ලබන යුද්ධ සහ සිවිල් ආරවුල්වලට සම්බන්ධ වී ඇත. එමෙන්ම, බොහෝ පල්ලි බයිබලය මත පදනම් සදාචාර ප්‍රමිතිවලට අනුබල දෙනවා වෙනුවට, වේශ්‍යාකම හා සමලිංගික සේවනය වැනි දුරාචාර ක්‍රියාවලට අනුග්‍රහය දක්වයි. බයිබලයේ සඳහන් ප්‍රමිති ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, ක්‍රිස්තියානි පල්ලිවලට අයත් ජනයාගේ තත්වය පුරාණයේ විසූ ගීතිකාකරු විසින් සඳහන් කරන ලද මිනිසුන්ගේ තත්වයට සමාන වී ඇත. ඔහු මෙසේ සඳහන් කළේය. “ඔව්හු නොදනිති, තේරුම්ද නොගනිති; අන්ධකාරයෙහි ඔබ මොබ හැසිරෙති.” (ගීතාවලිය 82:5) ඇත්තෙන්ම, පුරාණයේ තිබූ යුදය මෙන් ක්‍රිස්තියානි ලෝකයද ඝන අන්ධකාරයක පවතී.—එළිදරව් 8:12.

10. අද පවතින අන්ධකාර ලෝකය තුළ ආලෝකය බැබළෙන්නේ කෙසේද? මොළොක් ගුණැති අය ඉන් ප්‍රයෝජන ලබන්නේ කෙසේද?

10 ලෝකය අන්ධකාරයෙන් වැසී තිබුණත් යෙහෝවා මොළොක් ගුණැති අයගේ යහපත සඳහා ආලෝකය විහිදුවාලමින් සිටියි. ඔහු එම ආලෝකය සැපයීම සඳහා පොළොව මත සිටින ඔහුගේ ආලේප ලත් සේවකයන්ගෙන් සමන්විත ‘විශ්වාස වූ නුවණ ඇති දාසයාව’ යොදාගනිමින් සිටින අතර, ඔවුහු ‘ආලෝකවල් මෙන් ලෝකයේ බැබළෙමින්’ සිටිති. (මතෙව් 24:45; පිලිප්පි 2:15) මෙම දාස පන්තියට දශලක්ෂ ගණනක් වන ‘වෙනත් බැටළුවන්ගෙන්’ සහයෝගය ලැබේ. ඔවුහුද දෙවිගේ වචනය වන බයිබලය මත පදනම් ආත්මික ආලෝකය විහිදුවති. (යොහන් 10:16) මේ අන්ධකාර ලෝකය තුළ එම ආලෝකය මගින් මොළොක් ගුණැති අයට බලාපොරොත්තුවක් සපයන අතර, දෙවි සමඟ සබඳතාවක් ඇති කරගැනීමටත් මලපත්වලින් වැළකී සිටීමටත් උපකාර කෙරේ. මෙම ජීවනදායක ආලෝකයේ ප්‍රයෝජන කියා නිම කළ නොහැක.

“ඔබගේ නාමයට ප්‍රශංසා කරන්නෙමි”

11. යෙහෝවා යෙසායාගේ දවස්වලදී මඟ පෙන්වීම ලබා දුන්නේ කෙසේද?

11 යෙසායා ජීවත් වූයේ අඳුරු කාලයකයි. පසු කාලයේදී බබිලෝනිවරුන් යෙහෝවාගේ සෙනඟව වහල්භාවයට ගෙන යන විට යූදාහි පැවති තත්වය යෙසායාගේ කාලයේ පැවති තත්වයටත් වඩා අඳුරුසහගත විය. මේ කාලපරිච්ඡේදයන් දෙකෙහිම යෙහෝවා ඔහුගේ සෙනඟට කෙබඳු ආකාරයේ මඟ පෙන්වීමක් දුන්නාද? මෙහිදී ඔහු ඔවුන්ට නිවැරදි මඟ පෙන්වීම සපයනවාට අමතරව, ඔවුන් සම්බන්ධයෙන් තමන් අරමුණු කර තිබෙන දෙය ඉටු කරන ආකාරය ගැන කල්තියා පැහැදිලිව දැනුම් දුන්නේය. මීට උදාහරණයක් වශයෙන් යෙසායා 25 සිට 27 දක්වා පරිච්ඡේදවල සඳහන් මවිතකර අනාවැකි සලකා බලන්න. ඒ කාලයේදී යෙහෝවා කාරණා හැසිරෙවූ ආකාරය ගැනත් අදදින ඔහු කාරණා හසුරුවන ආකාරය ගැනත් එම පරිච්ඡේදවල අඩංගු දේවලින් දැනගත හැක.

12. යෙසායා මුළු හදින්ම කළ ප්‍රකාශය කුමක්ද?

12 මුලින්ම යෙසායා මෙසේ ප්‍රකාශ කරයි. ‘යෙහෝවා ඔබ මාගේ දෙවිය. මම ඔබ උසස් කර ඔබගේ නාමයට ප්‍රශංසා කරන්නෙමි.’ මෙය මුළු හදින්ම කළ මොනතරම් උතුම් ප්‍රශංසාවක්ද! එවන් ප්‍රශංසාවක් ඇතුළත් යාච්ඤාවක් ඉදිරිපත් කිරීමට අනාගතවක්තෘ තුළ පෙලඹවීමක් ඇති කළේ කුමක්ද? මෙයට ප්‍රධානතම හේතුව එම වගන්තියේ දෙවන කොටසෙහි සඳහන් වන අතර අපට එහි මෙසේ කියවීමට තිබේ. ‘ඔබ [යෙහෝවා] පුදුම දේ එනම් පුරාතන මන්ත්‍රණ විශ්වාසයෙන්ද සැබෑකමෙන්ද ඉෂ්ට කළේය.’—යෙසායා 25:1.

13. (අ) යෙහෝවාව අගය කිරීමට යෙසායා තුළ පෙලඹීමක් ඇති කළේ කිනම් දැනුමද? (ආ) යෙසායාගේ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

13 යෙසායාගේ කාලය වන විට යෙහෝවා ඉශ්‍රායෙල්වරුන් වෙනුවෙන් පුදුම දේවල් බොහොමයක් කර තිබූ අතර, ඒවා ලියවිලිවල වාර්තා වී තිබිණ. එම ලියවිලිවල තිබූ දේවල් යෙසායා හොඳින් දැන සිටි බව පැහැදිලිය. උදාහරණයක් හැටියට, යෙහෝවා ඔහුගේ සෙනඟව මිසරයේ වහල්භාවයෙන් මුදවාගත් බවත් රතු මුහුද අසලදී මහත් කෝපයෙන් ඔවුන් පසුපස හඹා ගිය ඵාරාවෝගේ හමුදාව අතින් ඔවුන්ව ගළවාගත් බවත් ඔහු දැන සිටියේය. යෙහෝවා පාළුකරයේදී සිය සෙනඟට මඟ පෙන්වීම සපයමින් ඔවුන්ව පොරොන්දු දේශයට ගෙන ආ බවත් ඔහු දැන සිටියේය. (ගීතාවලිය 136:1, 10-26) එම ඉතිහාසගත වාර්තාවලින් පැහැදිලි වූයේ යෙහෝවා දෙවි විශ්වාසවන්ත, රඳා පැවතිය හැකි කෙනෙකු බවය. ඔහුගේ “මන්ත්‍රණ” එනම්, ඔහු අරමුණු කරන සියල්ලම ඉටු වෙයි. යෙසායාට ආලෝකයෙහි දිගටම ගමන් කිරීමට දෙවි විසින් සපයන ලද නිවැරදි දැනුම මහත් ශක්තියක් විය. මේ සම්බන්ධයෙන් ඔහු අපට කදිම ආදර්ශයක් සපයයි. අප පරෙස්සමින් දෙවිගේ වචනය අධ්‍යයනය කරමින් එහි සඳහන් දෑ අපේ ජීවිතවලට අදාළ කරගන්නවා නම්, අපටත් දිගටම ආලෝකයෙහි ගමන් කළ හැක.—ගීතාවලිය 119:105; 2 කොරින්ති 4:6.

නගරයක් විනාශ කර දමයි

14. නුවරක් ගැන පැවසූ අනාවැකිය කුමක්ද? එම නුවර කුමක් විය හැකිද?

14 යෙහෝවාගේ මන්ත්‍රණයක් ගැන යෙසායා 25:2හි සඳහන් වේ. අපට එහි මෙසේ කියවීමට තිබේ. “ඔබ නුවරක් පස් ගොඩකටද බලකොටු නුවරක් ජරාවාස ගොඩකටද විදේශීන්ගේ මාළිගාවක් නුවරක් නොවන ලෙසද [හැරෙව්වේය]; ඒක කවදාවත් ගොඩනගනු නොලබන්නේය.” මේ නුවර කුමක්ද? යෙසායා මෙහිදී අනාවැකිමය ආකාරයෙන් කතා කරමින් සිටියේ බබිලෝනිය ගැන විය හැක. ඇත්තෙන්ම, කලින් පැවසූ ලෙසම බබිලෝනිය පස් ගොඩක් බවට පත් වූ දවස උදා විය.

15. අද පවතින “මහත් නුවර” කුමක්ද? ඉදිරියේදී එයට සිදු වන්නේ කුමක්ද?

15 යෙසායා සඳහන් කළ නුවරට සමාන නුවරක් අද තිබේද? තිබේ. “පොළොවේ රජුන් කෙරෙහි රජකම්කරන මහත් නුවර” ගැන එළිදරව් පොතේ සඳහන් වේ. (එළිදරව් 17:18) මේ මහත් නුවර වන්නේ “මහා බබිලෝනිය” එනම්, බොරු ආගම්වලින් සමන්විත ලෝක ව්‍යාප්ත අධිරාජ්‍යයයි. (එළිදරව් 17:5) යෙහෝවාගේ සෙනඟ විසින් කරනු ලබන රාජ්‍යය දේශනා කිරීමේ වැඩයට විරුද්ධවාදිකම් එල්ල කිරීමේදී පෙරමුණ ගන්නා පූජකයන්ගෙන් සමන්විත ක්‍රිස්තියානි ලෝකය අදදින මහා බබිලෝනියේ ප්‍රධාන කොටස වේ. (මතෙව් 24:14) කෙසේවෙතත්, පුරාණයේ පැවති බබිලෝනිය මෙන් මහා බබිලෝනියද විනාශ වන දවස වැඩි ඈතක නොවේ. එය නැවත කවදාවත් දැකගත නොහැකි වනු ඇත.

16, 17. පුරාණයේදී මෙන්ම නවීන කාලවලදී යෙහෝවාගේ සතුරන් ඔහුව ගෞරවයට පත් කර ඇත්තේ කෙසේද?

16 යෙසායා “බලකොටු නුවර” ගැන පවසන අනාවැකියෙහි තවදුරටත් සඳහන් වන්නේ මොනවාද? යෙහෝවාව අමතමින් යෙසායා මෙසේ පවසයි. “බලවත් සෙනග ඔබට ගෞරවකරන්නෝය, භයානක ජාතීන්ගේ නගරයද ඔබට භයවන්නේය.” (යෙසායා 25:3) මෙම සතුරු නගරය එනම්, “භයානක ජාතීන්ගේ නගරය” යෙහෝවාව ගෞරවයට පත් කළේ කෙසේද? බබිලෝනියේ බලසම්පන්නම රජු වූ නෙබුකද්නෙශර්ට සිදු වූ දෙය මතකද? තමාගේ බෙලහීනත්වය තේරුම්ගැනීමට ඉවහල් වූ ඔහුගේ සිතුවිලි වෙනස් කළ අද්දැකීමෙන් පසු, යෙහෝවාගේ ශ්‍රේෂ්ඨත්වය හා අතිමහත් බලය පිළිගැනීමට ඔහුට සිදු විය. (දානියෙල් 4:34, 35) යෙහෝවා ඔහුගේ බලය පාවිච්චි කරන කාලයේදී ඔහුගේ සතුරන්ට අකමැත්තෙන් වුවත් ඔහුගේ බලවත් ක්‍රියා පිළිගැනීමට සිදු වනු ඇත.

17 යෙහෝවාගේ බලවත් ක්‍රියා පිළිගැනීමට මහා බබිලෝනියට සිදු වූවාද? ඔව්. පළමු ලෝක මහා යුද්ධය පැවති කාලයේදී යෙහෝවාගේ ආලේප ලත් සේවකයෝ පීඩා මැද දේශනා කළහ. වර්ෂ 1918දී වොච් ටවර් සමිතියේ ප්‍රධාන නිලධාරීන්ව සිරගත කළ විට ඔවුන් ආත්මිකව වහල්භාවයට පත් විය. සංවිධානාත්මකව සිදු කළ දේශනා සේවය සම්පූර්ණයෙන්ම වාගේ නතර විය. එහෙත් 1919දී යෙහෝවා සිය ආත්මය සපයමින් ඔවුන්ව යළි පිහිටෙව්වේය. මෙහි ප්‍රතිඵලයක් හැටියට ජනාවාස මුළු පොළොව පුරා ශුභාරංචිය දේශනා කිරීමට දුන් බලපැවරුම ඉටු කිරීමට ඔවුහු යළි ක්‍රියාත්මක වූහ. (මාර්ක් 13:10) මේ සෑම දෙයක් ගැනමත් මෙය ඔවුන්ගේ විරුද්ධවාදීන්ට බලපාන ආකාරය ගැනත් එළිදරව් පොතෙහි පුරෝකථනය කර ඇත. මෙම විරුද්ධවාදීන් ‘භයපත්ව, ස්වර්ගයේ දෙවිට ගෞරව දුන්’ බව එහි සඳහන් වේ. (එළිදරව් 11:3, 7, 11-13) මින් අදහස් කරන්නේ ඔවුන් සෑම කෙනෙකුම සත්‍යය වැලඳගත් බව නොවේ. එහෙත් යෙසායා පුරෝකථනය කර තිබුණාක් මෙන් ඒ අවස්ථාවේදී යෙහෝවා කළ පුදුම ක්‍රියාව පිළිගැනීමට ඔවුන්ට සිදු විය.

“අසරණයාට බලකොටුවක්”

18, 19. (අ) යෙහෝවාගේ සෙනඟගේ අඛණ්ඩතාව බිඳහෙළීමට විරුද්ධවාදීන්ට නොහැකි වී තිබෙන්නේ මන්ද? (ආ) ‘කෲර පාලකයන්ගේ ජය ගීය යටපත් කරනු ලබන්නේ’ කෙසේද?

18 ආලෝකයෙහි ගමන් කරන අය සමඟ යෙහෝවා කරුණාවන්ත ලෙස කටයුතු කරන ආකාරයට අවධානය යොමු කරමින් යෙසායා දැන් යෙහෝවාට මෙසේ පවසයි. “[ඔබ] භයානකයන්ගේ චණ්ඩ මාරුතය තාප්පයකට ගසන කුණාටුවක් මෙන් තිබියදී දුප්පතාට [අසරණයාට, NW] බලකොටුවක්ව දිළිඳාට ඔහුගේ විපත්තියේදී බලකොටුවක්ව, කුණාටුවේදී රක්ෂාස්ථානයක්ව, ග්‍රීෂ්මයේදී සෙවණක්ව [සිටියේය]. වියළි තැනක ග්‍රීෂ්මය මෙන් ඔබ අන් දේශක්කාරයන්ගේ ඝෝෂාව [පහ කරන්නේය]; වලාකුළක සෙවණ කරණකොටගෙන ශ්‍රීෂ්මය පහවයන්නාක්මෙන් භයානකයන්ගේ [කෲර පාලකයන්ගේ, NW]ජයගීය යටත්කරනු ලැබේ.”—යෙසායා 25:4, 5.

19 සැබෑ නමස්කාරකයන්ගේ අඛණ්ඩතාව බිඳහෙළීම සඳහා 1919 සිට කෲර පාලකයන් හැකි සෑම උත්සාහයක්ම දරා තිබුණත්, ඔවුන් සාර්ථක වී නැත. එයට හේතුව කුමක්ද? යෙහෝවා ඔහුගේ සෙනඟගේ බලකොටුව හා රක්ෂස්ථානය වී සිටීමයි. ඔහු දැඩි හිරු රශ්මියකට සම කළ හැකි පීඩා හමුවේ සිය සෙනඟට සෙවණ සපයන අතර, චණ්ඩ මාරුත හමුවෙහි නොසැලී තිබෙන ශක්තිමත් තාප්පයක් මෙන් ස්ථිරව සිටියි. දෙවිගේ ආලෝකයෙහි ගමන් කරන අපි ‘කෲර පාලකයන්ගේ ජය ගීය යටපත් කරනු ලබන’ කාලය දෙස මහත් නිසැකකමින් බලා සිටින්නෙමු. යෙහෝවාගේ සතුරන් මේ පොළොවෙන් තුරන් වී යන දවස පැමිණෙන තෙක් අපි මහත් උනන්දුවෙන් බලා සිටින්නෙමු.

20, 21. යෙහෝවා පිළියෙළ කරන්නේ කුමන ආකාරයේ භෝජන සංග්‍රහයක්ද? නව ලොවේදී භුක්ති විඳින්න යන මෙම භෝජන සංග්‍රහයට ඇතුළත් වන්නේ මොනවාද?

20 යෙහෝවා ඔහුගේ සෙනඟට ආරක්ෂාව සලසනවාට වඩා වැඩි යමක් කරයි. ඔවුන්ගේ ප්‍රේමනීය පියා වශයෙන් ඔහු ඔවුන්ගේ අවශ්‍යතා සපයයි. වර්ෂ 1919දී සිය සෙනඟව මහ බබිලෝනියෙන් නිදහස් කරගැනීමෙන් පසු, ඔහු ආත්මික ආහාර බහුල මහත් ජයග්‍රාහී භෝජන සංග්‍රහයක් ඔවුන්ට ලබා දුන්නේය. මේ ගැන යෙසායා 25:6හි මෙසේ පුරෝකථනය කර තිබුණේය. “සේනාවල [යෙහෝවා] මේ කන්දේදී සියලු ජනයන්ට සාරවූ දෙයින් මංගල්‍යයක්, එනම් රසවත් මුද්‍රිකපානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රිකපානයෙන්ද මංගල්‍යයක් [සාදන්නේය].” මේ භෝජන සංග්‍රහය භුක්ති විඳින්න ලැබීම මොනතරම් උතුම් ආශීර්වාදයක්ද! (මතෙව් 4:4) ඇත්තෙන්ම, ‘යෙහෝවාගේ මේසය’ ගුණයෙන් ඉහළ ආහාරවලින් පිරී ඉතිරී ගොස් තිබේ. (1 කොරින්ති 10:21) අපගේ ආත්මික පෝෂණය සඳහා අවශ්‍ය සෑම දෙයක්ම “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මගින් අපට සපයනු ලැබේ.

21 දෙවි විසින් පිළියෙළ කරනු ලබන මෙම මහත් භෝජන සංග්‍රහයට අමතරව තවත් දේවල් භුක්ති විඳීමට තිබේ. දැන් අප භුක්ති විඳින ආත්මික මංගල්‍යයෙන් අපට සිහිගන්වන්නේ දෙවි පොරොන්දු වී තිබෙන නව ලොවේදී ශාරීරික ආහාර කොතරම් බහුලව තිබේද යන්නයි. ඒ කාලයේදී පිළියෙළ කරනු ලබන ‘සාර වූ දේවලින් යුත් මංගල්‍යයේදී’ ආහාර බහුලව තිබෙනු ඇත. කිසිවෙකු ශාරීරිකව හෝ ආත්මිකව කුසගින්නෙන් නොසිටිනු ඇත. යේසුස් පැමිණ සිටින කාලයට අදාළ ‘ලකුණේ’ අංගයක් වශයෙන් පුරෝකථනය කර තිබෙන ‘ආහාර හිඟකම් [NW]’ නිසා කුසගින්නෙන් සිටින අපේ ප්‍රේමනීය සහෝදරයන්ට එය මොනතරම් සහනයක් වේවිද! (මතෙව් 24:3, 7) ගීතිකාකරුගේ මෙම වදන් ඔවුන්ට මොනතරම් සැනසිල්ලක් ගෙන දෙනු ඇද්ද! “පොළොවේ කඳු මුදුන්හි බොහෝ ශෂ්‍ය වන්නේය; එහි කරල් ලෙබනොන් මෙන් ලෙළ දෙන්නේය.”—ගීතාවලිය 72:16.

22, 23. (අ) දෙවි ඉවත් කරන “වැස්ම” නැතහොත් “තිරය” කුමක්ද? එය ඉවත් කරන්නේ කෙසේද? (ආ) ‘යෙහෝවාගේ සෙනඟ පිට පැමිණ තිබෙන නින්දාව’ ඉවත් කරනු ලබන්නේ කෙසේද?

22 යෙහෝවාගේ තවත් මවිතකර පොරොන්දුවක් කෙරෙහි දැන් අවධානය යොමු කරන්න. පාපය සහ මරණය ‘වැස්මකට’ නැතහොත් ‘තිරයකට’ සමාන කරමින් යෙසායා මෙසේ පවසයි. ‘යෙහෝවා මේ කන්දේදී සියලු ජනයන් කෙරෙහි වසා තිබෙන වැස්මත් සියලු ජාතීන් කෙරෙහි අතුරා තිබෙන තිරයත් නැති කර දමන්නේය.’ (යෙසායා 25:7) ඒ ගැන සිතා බලන්න! හුස්ම හිර කරන වැස්මක් මෙන් මනුෂ්‍යවර්ගයාව වෙළාගෙන තිබෙන පාපය සහ මරණය තවදුරටත් දක්නට ලැබෙන්නේ නැත. කීකරු හා ඇදහිලිවන්ත මිනිසුන් යේසුස්ගේ මිදීමේ මිල පූජාවේ ප්‍රයෝජන භුක්ති විඳින දවස දෙස අප බලා සිටින්නේ මොනතරම් ආශාවකින්ද!—එළිදරව් 21:3, 4.

23 සතුට ප්‍රීතිය ඉතිරී යන ඒ කාලය ගැන කතා කරමින් දේවානුභාවය ලත් අනාගතවක්තෘවරයා අපට මෙසේ සහතික කරයි. ‘දෙවි මරණය සදාකාලයටම ගිල දමන්නේය. ස්වාමි වූ යෙහෝවා සියලු මුහුණුවලින් කඳුළු පිස දමන්නේය. තමන් සෙනඟගේ නින්දාවද මුළු පොළොවෙන් පහ කරන්නේය. මක්නිසාද යෙහෝවා ඒක කීවේය.’ (යෙසායා 25:8) කිසිවෙකු ස්වාභාවික හේතූන් නිසා මිය නොයනු ඇත. තමන් ප්‍රේම කළ කෙනෙකු මිය යෑම නිසා කිසිවෙකු වැලපෙන්නේ නැත. මේ වෙනස මොනතරම් ආශීර්වාදයක් වේවිද! දෙවි සහ ඔහුගේ සේවකයන් බොහෝ කාලයක සිට දරාගෙන තිබෙන නින්දා පහව යන අතර බොරු ප්‍රචාර තවදුරටත් අසන්න ලැබෙන්නේ නැත. මෙසේ වන්නේ යෙහෝවා එවන් නින්දාවල උල්පත වන බොරුවේ පියා යනුවෙන්ද හඳුන්වන සාතන් නමැති යක්ෂයා ඇතුළු ඔහුගේ වංශයේ සෑම කෙනෙකුවම විනාශ කර දමන නිසයි.—යොහන් 8:44.

24. ආලෝකයෙහි ගමන් කරන අය ඔවුන් වෙනුවෙන් යෙහෝවා කරන පුදුම ක්‍රියාවලට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?

24 යෙහෝවා සිය බලය යොදවමින් කරන්න යන දේවල් ගැන කල්පනා කර බලන විට, ආලෝකයේ ගමන් කරන අය මෙසේ හඬගා පැවසීමට පෙලඹෙති. ‘බලව! මේ අපේ දෙවිය. අපි ඔහු ගැන බලා සිටියෙමුව. ඔහු අප ගළවන්නේය. මේ තැනැත්තා යෙහෝවාය. අපි ඔහු ගැන බලා සිටියෙමුව. අපි ඔහුගේ ගැළවීම ගැන ප්‍රීති සන්තෝෂ වන්නෙමු.’ (යෙසායා 25:9) ධර්මිෂ්ඨ මිනිසුන් ප්‍රීති සන්තෝෂ වන කාලය වැඩි ඈතක නොවේ. යෙහෝවා අන්ධකාරය සම්පූර්ණයෙන්ම පහ කර දමනු ඇත. යෙහෝවා සදහටම සපයන ආලෝකයෙන් ඇදහිලිවන්තයන් නැහැවී යනු ඇත. මීටත් වඩා තේජාන්විත කාලයක් කෙනෙකුට බලාපොරොත්තු විය හැකිද? ඇත්තෙන්ම, නොහැකියි!

ඔබට පැහැදිලි කළ හැකිද?

• මේ කාලයේ ආලෝකයෙහි ගමන් කිරීම ඉතාමත් වැදගත් දෙයක් වන්නේ මන්ද?

• යෙසායා යෙහෝවාගේ නාමයට ප්‍රශංසා කළේ මන්ද?

• යෙහෝවාගේ සෙනඟගේ අඛණ්ඩතාව බිඳහෙළීමට සතුරන්ට කවදාවත්ම නොහැකි වන්නේ මන්ද?

• ආලෝකයෙහි ගමන් කරන අය භුක්ති විඳින්න යන මහඟු ආශීර්වාද මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[12, 13වන පිටුවේ පින්තූරය]

යූදා වැසියෝ මොලෙක්ට දරුවන්ව පූජා කළහ

[15වන පිටුවේ පින්තූර]

යෙහෝවාගේ බලවත් ක්‍රියා දැනගත් යෙසායා ඔහුගේ නාමයට ප්‍රශංසා කිරීමට පෙලඹිණ

[16වන පිටුවේ පින්තූරය]

ධර්මිෂ්ඨයන් සදහටම යෙහෝවා සපයන ආලෝකයෙන් නැහැවී යනු ඇත