මගේ ජීවිතේ සෑම දවසකම මාව ශක්තිමත් කළේ යෙහෝවායි
ජීවිත කතාව
මගේ ජීවිතේ සෑම දවසකම මාව ශක්තිමත් කළේ යෙහෝවායි
පැවසුවේ ෆොරෙස්ට් ලී
අපේ ග්‍රැමෆෝන් ටිකයි බයිබල් පොත් පතුයි රාජසන්තක කළා. කැනඩාවට පත් කර තිබූ අලුත් ආණ්ඩුකාරයෙකු ලවා යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ වැඩ කටයුතු තහනම් කරවගන්න අපේ විරුද්ධකාරයන්ට දෙවන ලෝක මහා යුද්ධය හොඳ තුරුන්පුවක් වුණා. මෙය සිදු වුණේ 1940දීයි.
අපි සිදු වෙච්ච දෙයින් භය වුණේ නැහැ. පොත් පත් ගබඩා කරලා තිබුණ තැනින් හිතේ හැටියට පොත් පත් ගෙන්න ගෙන දේශනා සේවය දිගටම කරගෙන ගියා. තාත්තා ඒ අවස්ථාවේ මෙහෙම කිව්වා. “දේශනා කරන්න කියලා යෙහෝවා අපිට අණ කරලා තියෙනවා. ඒ නිසා මේ වැඩේ අපි ලෙහෙසියෙන් නවත්වන්නේ නැහැ.” ඒ වචන ටික මට කවමදාකවත් අමතක වෙන්නේ නැහැ. මම එතකොට අවුරුදු දහයක විතර කොලු ගැටයෙක්. අපේ යෙහෝවා දෙවි තම පක්ෂපාත අයව ශක්තිමත් කරනවාය යන කාරණය අපගේ මනසේ රඳවාගැනීමට අපට උපකාරවත් වුණේ දේවසේවය සඳහා තාත්තාට තිබූ අධිෂ්ඨානය සහ ජ්වලිතයයි.
ඊළඟ වතාවේදී පොලිසිය අපිව නවත්වලා පොත් පත් විතරක් නෙමෙයි අපේ තාත්තාවත් පොලිසියට අරන් ගියා. අම්මයි දරුවෝ හතර දෙනයි තනි වුණා. මෙය සිදු වුණේ 1940 සැප්තැම්බර්වල සස්කච්වාන්වලදීයි. ඒ සිද්ධිය වෙලා වැඩි දවසක් යන්න කලින් බයිබලයේ ඉගැන්වීම් මත පුහුණු කරලා තිබුණ මගේ හෘදය සාක්ෂියට එකඟව කොඩියට ආචාර නොකිරීමත් ජාතික ගීය නොගැයීමත් වගේ දේවල් නිසා මාව පාසැලෙන් අස් කෙරුවා. ඊට පස්සේ තැපැල් මාර්ගයෙන් ඉගෙනීමේ කටයුතු කරන්න පටන්ගත්තා. මේ නිසා දේශනා සේවයේ වැඩියෙන් හවුල් වීමට අවශ්‍ය කාලය සොයාගන්න පුළුවන් වුණා.
වර්ෂ 1948දී කැනඩාවේ නැඟෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ සේවය කිරීම සඳහා පුරෝගාමීන් ලෙස හඳුන්වන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන සේවකයන්ට ආරාධනයක් කළා. මම පුරෝගාමී සේවයේ යෙදෙන්න හැලිෆැක්ස්, නෝවා ස්කෝෂියා, කෙප් වුල්ෆ් සහ ප්‍රින්ස් එඩ්වඩ් දූපත්වලට ගියා. ඊළඟ අවුරුද්දේදී, ටොරොන්ටෝවේ යෙහෝවාගේ
සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සති දෙකකට සේවය කිරීමට ලැබුණු ආරාධනාව මම පිළිගත්තා. එම සති දෙකේ පුහුණුව අවුරුදු හයක් පුරා සාර්ථක සේවයක් කරන්න මට හුඟාක් උපකාරවත් වුණා. මේ කාලයේදී තමයි මං වගේම යෙහෝවාට ප්‍රේම කළ ම’නාව මට මුණගැහුණේ. ඉන්පසු 1955දී අපි විවාහ වෙලා, ඔන්ටේරියෝහි මිල්ටන්වල පදිංචි වුණා. වැඩි කාලයක් යන්න ඉස්සර එහේ සභාවක් පිහිටෙව්වා. අපේ නිවසේ යට තට්ටුව රාජ්‍ය ශාලාව හැටියට පාවිච්චි කළා.අපේ සේවය පුළුල් කිරීමට ආශාව
ගත වුණ අවුරුදු තුළදී අපිට දරුවෝ හය දෙනෙක් ලැබුණා. කුලුඳුල්ම දරුවා තමයි මිරියම් දුව. දෙවෙනියා ශාමෙන්. ශාමෙන්ට පස්සේ මාර්ක්, ඇනට් ඊට පස්සේ, ග්‍රාන්ට්. බාලයා ග්ලෙන්. මම වැඩට ගිහින් ගෙදර එන්නේ පොඩි එවුන් ටික ම’නාත් එක්ක සාලේ බිම ඉඳගෙන බයිබලය ගැන ඉගෙනගන්න හැටි බලන්න ආසාවෙන්. ම’නා එයාලට බයිබලය ගැන කියලා දෙමින් යෙහෝවාට ඇත්තටම ආදරය කිරීමේ අවශ්‍යතාවය එයාලගේ පුංචි හිත්වලට ඇතුල් කළා. ඇයට ස්තුතිවන්ත වෙන්න අපේ දරුවන්ට පොඩි කාලේ ඉඳන්ම බයිබලය ගැන හොඳ දැනුමක් තිබුණා.
දේවසේවය සඳහා තාත්තාට තිබුණ ජ්වලිතය මගේ ජීවිතයට තදින්ම බලපෑවා. ඒක කවමදාකවත් අමතක වෙන්නේ නැති දෙයක්. (හිතෝපදේශ 22:6) යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට පවුල් පිටින්ම මධ්‍යම සහ දකුණු අමෙරිකාවට ගිහිල්ලා එහේ දේශනා සේවයට උපකාර කරන්න කියලා 1968දී ආරාධනයක් ඉදිරිපත් කෙරුවා. අපේ පවුල මේ ආරාධනය පිළිගත්තා. එතකොට අපේ දරුවෝ ටික හිටියේ අවුරුදු පහත් දහතුනත් අතර වයස් මට්ටම්වල. අපි කවුරුවත් ස්පාඤ්ඤ භාෂාවේ එක වචනයක්වත් අඩුම තරමින් දැනගෙන හිටියේ නැහැ. ලබා දුන්න මඟ පෙන්වීම්වලට අනුව මම විවිධ රටවල්වලට ගිහිල්ලා ඒ ඒ තැන්වල ජීවත් වෙන්න පුළුවන්ද කියලා හොයලා බැලුවා. එහෙම ගිහිල්ලා ආවට පස්සේ යාච්ඤාපූර්වකව ඒ ගැන කල්පනා කර බැලුවා. ඊට පස්සේ තීරණය කළා නිකරාග්වාවලට යන්න.
නිකරාග්වාවල සේවය කිරීම
වර්ෂ 1970දී අපි අපේ අලුත් නිවසට ගියා. සති තුනක් යනකොට රැස්වීමක පුංචි කොටසක් ඉදිරිපත් කිරීමට මට අවස්ථාවක් ලැබුණා. ඒ වෙනකොට ඉගෙනගත්තු ස්පාඤ්ඤ වචන දෙක තුනත් එක්ක මම කොහොමහරි කතාව දී ගත්තා. හැබැයි මම කතාව ඉවර කරලා තියෙන්නේ මුළු සභාවටම සෙනසුරාදා උදේ 9.30ට මගේ ගෙදර බියර් එකක් බොන්න එන්න කියලයි! ස්පාඤ්ඤ භාෂාවෙන් ක්ෂේත්‍ර සේවයට කියන වචනය සවීසියෝ. මම කියලා තියෙන්නේ බියර් එකට කියන වචනේ සර්වාසා කියලා. භාෂාව ඉගෙනගන්න එක නම් ඇත්තෙන්ම අභියෝගයක් වුණා!
මුලදී, මම ඉදිරිපත් කිරීමක් අතේ ලියාගෙන නිවසට යන අතරතුර ඒක සුදානම් වෙනවා. මම කියන්නේ, “පොත ගත්තොත් නොමිලේ බයිබල් පාඩමක් ලැබෙනවා” කියලයි. දවසක් මගෙන් පොතක් ලබාගත්තු එක පුද්ගලයෙක් රැස්වීමට ඇවිල්ලා කිව්වා මම මොනවාද කියන්න හැදුවේ කියලා තේරුම්ගන්න ඕනේ හින්දයි එයා රැස්වීමට ආවේ කියලා. මේ පුද්ගලයා පසුව යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වුණා. ප්‍රේරිත පාවුල් තේරුම්ගත්තා වගේ අවංක හදවත් තුළ සත්‍යයේ බීජ වර්ධනය වීමට සලස්වන්නේ දෙවිමයි කියන එකට මේක හොඳ සාක්ෂියක්.—1 කොරින්ති 3:7.
නිකරාග්වාවේ අගනුවර වූ මනග්වාවල අවුරුදු දෙකක් හිටියට පස්සේ, අපිට නිකරාග්වාවල දකුණු
පැත්තට පැවරුමක් ලැබුණා. එහිදී අපි රීවාස් සභාව සමඟත් ළඟපාත උනන්දුව දක්වපු අය හිටිය පොඩි කණ්ඩායම් සමඟත් වැඩ කළා. මෙම කණ්ඩායම් සමඟ අපි වැඩ කරන කොට පැත්‍රෝ පාන්යා කියලා විශ්වාසවන්ත මහලු සහෝදරයෙක් මාත් සමඟ සේවයේ හවුල් වුණා. එක කණ්ඩායමක් හිටියේ නිකරාග්වා විලෙහි යමහල් දූපතක. එහි එකම එක සාක්ෂිකාර පවුලක් හිටියා.ඒ පවුලට එච්චර සල්ලි බාගේ තිබුණේ නැහැ. ඒත් අපි ආව එක අගය කරන්න සෑහෙන මහන්සියක් ගත්තා. අපි එහෙ යනකොට හවස් වෙලා තිබුණත් අපිට ඒ අය කෑම ලැහැස්ති කරලා තිබුණා. අපි සතියක් විතර එහෙ නතර වෙලා ඉන්දැද්දී බයිබල් ඉගැන්වීම්වලට කැමැත්තක් දැක්වූ අය එයාලගේ කෑම බීම අපත් සමඟ බෙදාගත්තා. එම සතියේ ඉරිදා ප්‍රසිද්ධ කතාවට 101දෙනෙක් සහභාගි වුණාම අපිට දැනුණ සතුට කියලා නිම කරන්න බැහැ.
යෙහෝවාට අපිව රැකබලා ගැනීමට ඇති හැකියාව සහ බලය ගැන මට දැනුණ තවත් අවස්ථාවක් තමයි කොස්ටාරිකා මායිමට කිට්ටුව පිහිටි කඳුකරයේ තිබුණ කණ්ඩායම බැහැදකින්න ගිය අවස්ථාව. අපි එහේ යන්න හිටිය දවසේ පැත්‍රෝ මාව එක්ක ගෙන යන්න එනකොට මැලේරියාව හැදිලා මම ඇඳේ. “මට යන්න බැහැ පැත්‍රෝ” කියලා මම කිව්වා. එතකොට ඒ සහෝදරයා එයාගේ අත මගේ නළල උඩ තියලා කිව්වා, “ඔයාට තදේට උණ. ඒත් යන්නම වෙනවා. මොකද සහෝදරයෝ ඔයා එනකම් මඟ බලාගෙන ඉන්නවා” කියලා. ඊට පස්සේ ඔහු යාච්ඤාවක් කිව්වා. ඒ යාච්ඤාව තමයි මම මෙච්චර කාලයකට අහලා තියෙන ලස්සනම, හෘදයාංගම යාච්ඤාව.
පස්සේ මම ඔහුට කිව්වා, මම විනාඩි දහයකින් ඇඳගෙන එනකම් “ඔයා ගිහිල්ලා මොනවා හරි බොන්න.” කියලා. අපි එහෙ හිටිය සාක්ෂිකාර පවුල් දෙකක් හමු වෙන්න ගියා. එයාලා අපිට ඉහළින්ම සැලකුවා. මට එතරම් සනීපයක් තිබුණේ නැති වුණත් අපි එයාලත් එක්ක ඊළඟ දවසේ දේශනා සේවයේත් ගියා. අපේ ඉරිදා රැස්වීමට සියදෙනෙකුට වඩා ආවම අපිට මොනතරම් දිරිගැන්වීමක් ලැබුණාද කියලා මොහොතකට හිතන්න!
නැවතත් මාරු වුණා
වර්ෂ 1975දී අපේ හත්වන දරුවා වොන් ඉපදුණා. අපිට ටිකක් අතමිට හිඟ වුණ නිසා ඊළඟ අවුරුද්දේ ආපහු කැනඩාවට යන්න අපිට සිද්ධ වුණා. යෙහෝවා අපිට ශක්තිය සපයන ආකාරය නිකරාග්වාවල ඉන්දැද්දී හොඳට අද්දැක්ක නිසා මට ඒ රට අත්හැරලා යන්න ගොඩක් අමාරු වුණා. අපි එහෙන් පිටත් වෙනකොට අපේ සභාවලට අයත් බල ප්‍රදේශයේ 500කට වඩා පිරිසක් රැස්වීම්වලට සහභාගි වෙමින් සිටියා.
කාලයකට ඉස්සර මිරියම්ටයි මටයි විශේෂ පුරෝගාමීන් හැටියට නිකරාග්වාවල පැවරුම ලැබුණාම මිරියම් මගෙන් මෙහෙම ඇහුවා. “තාත්ති, කවදා හරි දවසක ඔයාට කැනඩාවට යන්න සිද්ධ වුණොත් මට මෙහේ නතර වෙන්න ඉඩ දෙනවාද?” මේ පැවරුම අත්හැරලා යන අදහසක් මගේ තුන් හිතකවත් තිබුණේ නැති නිසා, “ඇයි නැත්තේ, ඔයාට පුළුවන්” කියලා මම කිව්වා. ඉතිං අපි එහෙන් පිටත් වෙනකොට මිරියම් එයාගේ පූර්ණ කාලීන පැවරුම දිගටම කරගෙන යන්න එහේ නතර වුණා. කාලයක් ගියාට පස්සේ එයා ඇන්ඩෘ රීඩ් එක්ක විවාහ වුණා. ඒ දවස්වල බෘක්ලින් නුවර පැවැත්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මිෂනාරි පාසැලේ 77වන ගිලියද් පංතියට සහභාගි වෙන්න 1984දී එයාලට ආරාධනාවක් ලැබුණා. නිකරාග්වාවේ හිටපු මිෂනාරිවරු එක්ක ආශ්‍රය කිරීමෙන් ඒ සේවය සඳහා ඇගේ හිතේ ඇති වුණ ආශාව දැන් ඉෂ්ට වෙලා තියෙනවා. අද මිරියම් එයාගේ ස්වාමිපුරුෂයත් සමඟ ඩොමිනිකන් ජනරජයේ සේවය කරමින් ඉන්නවා.
“අපි ලෙහෙසියෙන් නවත්වන්නේ නැහැ” කියලා තාත්තා කියපු වචන ටික මගේ හිතේ තවමත් රැව්පිළිරැව් දෙනවා. අපි 1981 වෙනකොට කොහොම හරි සල්ලි ටිකක් ඉතුරු කරගෙන නැවතත් මධ්‍යම අමෙරිකාවට ගියා. මෙදා පාර අපි ගියේ කොස්ටාරිකාවලට. එහේ සේවය කරමින් ඉන්දැද්දී අලුතෙන් ඉදි කෙරෙමින් තිබුණ ශාඛා කාර්යාලය ගොඩනැඟීමේ වැඩවලට හවුල් වෙන්න අපිට ආරාධනාවක් ලැබුණා. ඒත් 1985දී අපේ ග්‍රාන්ට් පුතාට අසනීප වුණ නිසා නැවතත් කැනඩාවට යන්න සිද්ධ වුණා. ඒත් ග්ලෙන් කොස්ටාරිකාවේ ශාඛා කාර්යාලයේ ගොඩනැඟීමේ වැඩවලත් ඇනටුයි ශාමෙනුයි විශේෂ පුරෝගාමීන් හැටියටත් සේවය කරමින් එහේ නතර වුණා. එහෙන් පිටත්ව එනකොට කොස්ට රිකාවෙන් සදහටම සමුගත්තා කියලා අපි කවමදාකවත් හිතුවේ නැහැ.
කරදරකාරි දවස්වලට මුහුණ දීම
වර්ෂ 1993 සැප්තැම්බර් 17වෙනිදා හොඳට ඉර පායලා තිබුණ දවසක්. එදා මගේ ලොකු පුතයි මමයි
අපේ ගෙයි වහල සෙවිලි කළා. අපි වැඩ කරන ගමන් වෙනදා පුරුද්දට වගේ ආත්මික දේවල් ගැනත් කතා කළා. කොහොම හරි ඒ වේලාවේ මම වහලෙන් පෙරළිලා බිමට වැටුණා. මට සිහිය එනකොට මම දැක්කේ ඇස් කඩාගෙන යන එළියක් සහ සුදු ඇඳුම් ඇඳගත්තු මිනිස්සු ටිකක් විතරයි. මම හිටියේ රෝහලේ හදිසි සත්කාර ඒකකයේ.බයිබලයේ ලේ සම්බන්ධයෙන් කියා ඇති දේ මගේ ඔළුවේ තිබුණ නිසා මම එක පාරටම “ලේ එපා, ලේ එපා” කියලා කෑගැහැව්වා. (ක්‍රියා 15:28, 29) ඒ වේලාවේ මගේ දුව ශාමෙන්, “තාත්ති භය වෙන්න එපා, අපි ඔක්කොම තාත්ති ළඟ” කියලා කියනකොට මට දැනුණ ශක්තිය කොයිතරම්ද කියලා කියන්න මට වචන නැහැ. මගේ වෛද්‍ය නියෝග පත වෛද්‍යවරු බැලුව නිසා ඒගොල්ලෝ මට ලේ දෙන්න ගියේ නැහැයි කියලා මට දැනගන්න ලැබුණා. මගේ බෙල්ල කැඩිලා තිබුණ නිසා මට මොනවත් කරගන්න බැරි තත්වයකට වැටුණා. අඩුම තරමින් මගේ හුස්ම පොදවත් තනියෙන් ගන්න බැරුව ගියා.
කිසි දෙයක් කරගන්න බැරි තත්වයක ඉන්නකොට යෙහෝවාගේ ශක්තිය වෙනදාට වඩා වැඩියෙන් මට අවශ්‍ය වුණා. කෘත්‍රිම ශ්වසන නලයක් ඇතුල් කිරීම සඳහා කළ සැත්කම නිසා මට කතා කරන්න බැරිව ගියා. මම කියන්න හදන්නේ මොනවාද කියලා තේරුම්ගන්න, මගේ තොල් දිහා බලන්න අනිත් අයට සිදු වුණා.
මම ඇඳට වුණ දවසේ ඉඳන් වියහියදම්වලින් නම් කිසි අඩුවක් නැහැ. මගේ අසනීපයට යන වියහියදම් නිසා මගේ භාර්යාවටයි දරුවන්ටයි පූර්ණ කාලීන සේවය අත්හරින්න වෙයිද කියලා මම දාහතේ කල්පනා කෙරුවා. කොහොම හරි මාර්ක් මාස තුනකට රස්සාවක් හොයාගත්තා. ඒ ලැබුණ ආදායමෙන් වියදම් පිරිමහගන්න පුළුවන් වුණා. යෙහෝවාට ස්තුතිවන්ත වෙන්න මමයි, මගේ භාර්යාවයි හැර අනෙක් හැමෝටම පූර්ණ කාලීන සේවයේ දිගටම නිරත වෙන්න පුළුවන් වුණා.
රටවල් හයක හිටපු මාව දන්න හඳුනන අය මට ගොඩක් තැපැල් පත් හා ලියුම් එව්වා. ඇත්තෙන්ම යෙහෝවා මාව ශක්තිමත් කරමින් සිටියා කියා කියන්න පුළුවන්. මම මාස පහකට වඩා කාලයක් ඉස්පිරිතාලේ දැඩි සත්කාර ඒකකයේ ඉන්නකොට සභාවේ අය මගේ පවුලට කෑම බීම ආදිය සපයමින් උපකාර කළා. හැම හවස් වරුවකම වැඩිමහල්ලෙක් බයිබලය ඒ වගේම බයිබල් පොත් පත් සහ අද්දැකීම් පවා මට ඇහෙන්න කියෙව්වා. මගේ පවුලේ දෙන්නෙක් සභාවේ රැස්වීම් මාත් එක්ක සුදානම් වුණා. එනිසා වටිනා ආත්මික ආහාර එකක්වත් මට අතපසු වුණේ නැහැ.
මම රෝහලේ ඉන්නකොට විශේෂ එක්රැස්වීමකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. මට උපකාර කරන්න රෝහලේ නර්ස් කෙනෙකුයි හුස්මගැනීමට ආධාර කරන උපකරණ හසුරුවන කෙනෙක්වයි මාත් එක්ක මුළු දවස පුරාම තියන්න රෝහලේ අය සැලසුම් කෙරුවා. ආයෙත් වතාවක් මගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් සමඟ ඉන්න ලැබීම මොනතරම් නම් සතුටක්ද! මාත් එක්ක කතා කරන්න සිය ගණනක් පෝලිම් ගැහිලා හිටිය හැටි කවමදාකවත් මට අමතක වෙන්නේ නැහැ.
ආත්මිකත්වය පවත්වාගැනීම
ඒ අනතුර වෙලා අවුරුද්දක් විතර ගියාට පස්සේ මට ගෙදර යන්න පුළුවන් වුණා. ඒ ගියත් පැය 24ම මාව බලාගන්න කෙනෙක් ඉන්න අවශ්‍යයි. උපකරණ සවි කරපු වෑන් එකකින් තමයි මම රැස්වීම්වලට යන්නේ. රැස්වීමකට යනවා කියන්නේ ලොකු සටනක්. ඒ වුණත් මම රැස්වීමක් අතපසු කරන්නේ කලාතුරකින්. මම රෝහලෙන් ගෙදර ආවට පස්සේ එකම එක දිස්ත්‍රික් සමුළුවක්වත් අත්හැරියේ නැහැ.
වර්ෂ 1997දී මට යම් තරමකට කතා කිරීමේ හැකියාව ලැබුණා. මට සාත්තු කරන්න ආව නර්ස්ලාට මගේ බලාපොරොත්තුව ගැන කියනකොට සමහර අය ඇහුම්කන් දෙනවා. එක නර්ස් කෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—දේවරාජ්‍යයේ ප්‍රකාශකයෝ (ඉංග්‍රීසියෙන්) කියන පොත සම්පූර්ණයෙන්ම මට ඇහෙන්න කියෙව්වා. ඒ විතරක් නෙමෙයි මුරටැඹ පොත් පත්වල ලිපිත් මට ඇහෙන්න කියෙව්වා. මම කොම්පියුටරය මාර්ගයෙන් ලිපි ටයිප් කරනවා. ඒ සඳහා විශේෂයෙන් සැකසූ කුඩා ප්ලාස්ටික් කූරක් භාවිතා කරනවා. මට සෑහෙන්න මහන්සියක් දරන්න සිද්ධ වුණත් ඒ විදිහට හරි ක්ෂේත්‍ර සේවයට දායක වෙන්න ලැබෙන එක ලොකු දෙයක්.
සමහර අවස්ථාවලදී දැනෙන වේදනාව දරාගන්න හරිම අමාරුයි. ඒත් වෙනත් අය එක්ක මම බයිබල් සත්‍යය බෙදාගන්න කොටත් ඒ වගේම මගේ ආත්මික සහෝදරයන්ගෙන් මට දිරිගැන්වීම් ලැබෙන කොටත් මට සහනයක් දැනෙනවා. මගේ දකුණු අත වගේ ඉන්න භාර්යාවගේ උදව්වෙන් ඉඳලා හිටලා මම විදී සේවයේ යෙදෙනවා. ඇය තමයි මට කතා කරගන්න බැරුව යන වෙලාවට මං වෙනුවෙන් කතා කරන්නේ. කිහිපවිටක්ම මම උපකාරික පුරෝගාමී සේවය කළා. වැඩිමහල්ලෙක් හැටියට සේවය කරන එකත් ඇත්තෙන්ම සන්තෝෂයක්. රැස්වීම් වේලාවේදී ඒ වගේම මගේ ගෙදරදී සහෝදරයෝ මාව මුණගැහෙන්න එනකොට, මට පුළුවන් වෙලා තියෙනවා එයාලාට උපකාර සහ දිරිගැන්වීම් ලබා දෙන්න. ඒකෙන් මම ලොකු තෘප්තියක් ලබනවා.
මම ඉන්න තත්වයේ හැටියට මාව කලකිරීමට පත් වෙන්නේ නැහැයි කියන එක පුදුමයක්. ඒත්, මාව කලකිරෙන අවස්ථාවල මට ප්‍රීතිය නැවත ලබා දෙන්න කියලා මම යෙහෝවාගෙන් ඉල්ලනවා. මාව දිගටම ශක්තිමත් කරන්න කියලා යෙහෝවාට රෑ දවල් යාච්ඤා කරනවා. කාගෙන් හරි ලියුමක් ලැබෙන කොට, කවුරු හරි මාව බලන්න එනකොට මට පුදුම සතුටක් දැනෙනවා. මුරටැඹ සහ පිබිදෙව් සඟරා කියවීමෙනුත් මට දිරිගැන්වීම ලැබෙනවා. එක එක වේලාවන්වලට මාව බලාගන්න එන නර්ස්ලා මට ඇහෙන්න සඟරා කියවනවා. මම අනතුරට ලක් වුණ දවසේ ඉඳන් හත් වතාවක් මුළු බයිබලයම කැසට් පටි මගින් ඇහුවා. මේවා තමයි යෙහෝවා මාව ශක්තිමත් කිරීමට ලබා දුන් සැපයුම්.—ගීතාවලිය 41:3.
මගේ ජීවිතේ සිදු වෙච්ච වෙනස් වීම නිසා මට පුළුවන් වෙලා තියෙනවා අපේ උතුම් උපදේශකයා වන යෙහෝවා අපිට ජීවත් වෙන්න ඕන විදිහ පිළිබඳ දෙන උපදෙස් ගැන ටිකක් වැඩියෙන් කල්පනා කරන්න. දෙවි ඔහුගේ කැමැත්ත සහ අරමුණ පිළිබඳව, අර්ථවත් සේවයක් කිරීම සහ ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කිරීම පිළිබඳව උපදෙස් ඇතුළුව කරදර කාලවලට මුහුණ දෙන්න අවශ්‍ය ප්‍රඥාව ආදි සෑම දෙයක්ම ලබා දෙනවා. විශ්වාසවන්ත වගේම ගුණ යහපත් බිරිඳක් ලබා දීමෙන් යෙහෝවා මට ආශීර්වාද කරලා තියෙනවා. මගේ දරුවෝ ටික මට අවශ්‍ය හැම විටම ලබා දුන්න උදව් උපකාර මම ඇත්තෙන්ම අගය කරනවා. ඒ වගේම ඒ අය පූර්ණ කාලීන සේවයේ හවුල් වෙනවා දකින්න ලැබීමත් සතුටක්. වර්ෂ 2000 මාර්තු 11වෙනිදා අපේ මාර්ක් පුතයි එයාගේ භාර්යාව ඇලිසනුයි 108වන ගිලියද් පාසැලෙන් උපාධිය ලබාගෙන නිකරාග්වාවල සේවයට ගියා. ඔවුන් උපාධිය ලබන දවසේ ඒ උත්සවයට මටයි මගේ භාර්යාවටයි සහභාගි වෙන්න අවස්ථාවක් ලැබුණා. මම එක දෙයක් කියන්න කැමතියි. මම අත්විඳපු කරදර නිසා මගේ ජීවිතේ වෙනස් වුණත් මගේ හෘදය වෙනස් වුණේ නැහැ.—ගීතාවලිය 127:3, 4.
මට ලැබුණ ආත්මික උරුමය මගේ පවුලේ උදවියට දායාද කරන්න අවශ්‍ය ප්‍රඥාව ලබා දුන්නට මම යෙහෝවාට ස්තුතිවන්ත වෙනවා. “දේශනා කරන්න කියලා යෙහෝවා අපිට අණ කරලා තියෙනවා. ඒ නිසා මේ වැඩේ අපි ලෙහෙසියෙන් නවත්වන්නේ නැහැ” කියලා කිව්ව මගේ තාත්තාට තිබුණ ආකල්පයම මගේ දරුවන් තුළත් තියෙනවා දකිනකොට මට ශක්තියක් වගේම දිරිගැන්වීමක් ලැබෙනවා. ඇත්තටම යෙහෝවා මාවත් මගේ පවුලත් සෑම දවසකම ශක්තිමත් කරලා තියෙනවා.
[24වන පිටුවේ පින්තූරය]
තාත්තා, මගේ අයියලා සහ අක්කා, පුරෝගාමී සේවය කරන කාලේ අපේ ගේ හැටියට පාවිච්චි කළ රථය අසළ සිටගෙන. දකුණේ ඉන්නේ මම
[26වන පිටුවේ පින්තූරය]
මගේ භාර්යාව ම’නා සමඟ
[26වන පිටුවේ පින්තූරය]
මෑතකදී ගත් අපේ පවුලේ පින්තූරයක්
[27වන පිටුවේ පින්තූරය]
මම තවමත් ලිපි මගින් සාක්ෂි දරනවා