Skip to content

පටුනට යන්න

සැබෑ සතුටට මඟ

සැබෑ සතුටට මඟ

සැබෑ සතුටට මඟ

බෞද්ධ ආගමික නායකයෙකු වන දලෙයි ලාමා මෙසේ පැවසීය. “මම හිතන විදිහට අපේ ජීවිතයේ මූලික පරමාර්ථය සතුට සොයා යෑමයි.” එමෙන්ම මනස හා හෘදය පුහුණු කිරීමෙන් හෝ හික්මවාගැනීමෙන් සතුට ළඟා කරගත හැකි බව තමා විශ්වාස කරනවා කියාද ඔහු පැහැදිලි කළේය. තවද “අපිට පූර්ණ සතුට ළඟා කරගැනීමට අවශ්‍ය වන්නේ මනස විතරයි” යයිද ඔහු පැවසුවේය. එබැවින්, ඔහුගේ චින්තනය වන්නේ දෙවි කෙනෙකු කෙරෙහි විශ්වාසය තැබීම අනවශ්‍යය යන්නය. a

මීට වෙනස්ව, දෙවි කෙරෙහි ස්ථිර ඇදහිල්ලක් තිබූ මෙන්ම සියවස් ගණනාවක් පුරා ජීවත් වූ මිලියන ගණන් සෙනඟකගේ හදවත්වලට කාවදින සේ ඉගැන්වීම් කළ යේසුස් ගැන සලකා බලන්න. යේසුස් මනුෂ්‍යයන්ගේ සතුට කෙරෙහි උනන්දුවක් දැක්වීය. ඔහු ප්‍රසිද්ධ කන්ද උඩ දේශනාව පටන්ගත්තේ ආශීර්වාද වාක්‍ය නවයක් සමඟිනි. ඒ සෑම වාක්‍යයක්ම අවසන් වන්නේ “. . . සන්තෝෂවත් වන්නෝය” කියාය. (මතෙව් 5:1-12NW) කන්ද උඩ දේශනාව දෙන විට ඔහු තම ශ්‍රාවකයන්ට ඔවුන්ගේ මනස් හා හෘදයන් සෝදිසි කිරීමට, පවිත්‍ර කරගැනීමට හා හික්මවාගැනීමට ඉගැන්වූ අතර ප්‍රචණ්ඩකාරි, දුරාචාර හා ආත්මාර්ථකාමී සිතුවිලි වෙනුවට සාමකාමී, පිරිසිදු සහ ප්‍රේමනීය චේතනා ඇති කරගැනීමටද ඉගැන්නුවේය. (මතෙව් 5:21, 22, 27, 28; 6:19-21) ඔහුගේ ගෝලයෙකු පසුව අවවාද කළ පරිදි අප ‘සැබෑ, ගරුකටයුතු, සාධාරණ, පිරිසිදු, ආදරණීය, යහපත්, ගුණවත් හා ප්‍රශංසාත්මක’ දේවල් දිගටම “මෙනෙහි” කළ යුතුයි.—පිලිප්පි 4:8.

සැබෑ සතුට රඳා තිබෙන්නේ අන්‍යයන් සමඟ ඇති කරගන්නා සබඳතා මත බව යේසුස් දැනගෙන සිටියේය. අප සාමාන්‍යයෙන් සමූහ වාසයට ලැදි මනුෂ්‍යයන් වන බැවින්, අප හුදෙකලා වේ නම් නැතහොත් අප අවට සිටින්නන් සමඟ නිතර ගැටුම් ඇති කරගනී නම් ඇත්තෙන්ම අපට සැබෑ සතුටක් අත් විඳිය නොහැක. අපට සතුටක් ඇති වන්නේ අන්‍යයන් අපට ප්‍රේම කරනවා නම් හා අපද අන්‍යයන්ට ප්‍රේම කරනවා නම් පමණි. එවැනි ප්‍රේමයකට පදනම සපයන්නේ දෙවි සමඟ ඇති අපේ සබඳතාව බව යේසුස් ඉගැන්නුවේය. මේ අනුව බලන කල යේසුස්ගේ ඉගැන්වීම දලෙයි ලාමාගේ චින්තනයට වඩා හාත්පසින්ම වෙනස් එකකි. මන්ද යේසුස් ඉගැන්නුවේ, දෙවිගෙන් ඈත්ව මනුෂ්‍යයන්ට සැබෑ සතුටක් ලැබිය නොහැකි බවයි. එය එසේ වන්නේ මන්ද?—මතෙව් 4:4; 22:37-39.

ඔබේ ආත්මික අවශ්‍යතා ගැන සිතන්න

එක් ආශීර්වාද වාක්‍යයක මෙසේ පැවසේ. “තම ආත්මික අවශ්‍යතා ගැන සාවධානව සිටින අය සන්තෝෂවත් වන්නෝය.” (මතෙව් 5:3NW) යේසුස් එසේ පැවසුවේ මන්ද? හේතුව සත්වයන්ට මෙන් නොව අපට ආත්මික අවශ්‍යතා ඇති බැවිනි. දෙවිගේ ස්වරූපයෙන් මවන ලද අපට ප්‍රේමය, යුක්තිය, දයාව හා ප්‍රඥාව වැනි දිව්‍ය ගුණාංග යම් දුරකට වර්ධනය කරගත හැක. (උත්පත්ති 1:27; මීකා 6:8; 1 යොහන් 4:8) එමෙන්ම අපගේ ආත්මික අවශ්‍යතාවලට, අපගේ ජීවිතවලට අර්ථයක් තිබීමේ අවශ්‍යතාවද ඇතුළත්ය.

එවැනි ආත්මික අවශ්‍යතා පිරිමසාගත හැක්කේ කෙසේද? ලෝකෝත්තර භාවනාව හෝ තමා ගැනම භාවනා කිරීම මගින් එය ඉටු කරගත නොහැක. යේසුස් මෙසේ පැවසුවේය. “මනුෂ්‍යයා [දෙවිගේ] මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය.” (මතෙව් 4:4) යේසුස් එලෙස පැවසුවේ අපේ ජීවිතයට වැදගත් වන ‘සියලුම වචනවල’ උල්පත දෙවි බව කාවැද්දවීමටය. එමනිසා සමහර ප්‍රශ්නවලට උත්තර සොයාගැනීමට අපට උපකාර කළ හැක්කේ දෙවිට පමණි. අදදින එය අවබෝධ කරගෙන සිටීම විශේෂයෙන්ම වැදගත් වේ. ඊට හේතුව, ජීවිතයේ අරමුණ හා සන්තෝෂයට මඟ පිළිබඳව සංකල්පයන් හතු පිපෙන්නාක් මෙන් බිහි වෙමින් තිබෙන නිසාය. යහපත් සෞඛ්‍යයක් මෙන්ම ධනය හා සතුට ලබා දෙන බවට පාඨකයන්ට පොරොන්දු වන පොත් සඳහා සාප්පුවල විශාල පෙදෙසක් වෙන් කර තිබේ. සතුට ලබා දීම සඳහා විශේෂ අන්තර්ජාල අඩවිද තිබේ.

කෙසේනමුත්, ඒ දේවල් සම්බන්ධයෙන් බොහෝවිට මිනිස් චින්තනය දෝෂ සහිත තත්වයක පවතී. එය ආත්මාර්ථකාමී ආශාවන්ට හෝ අහංකාරයට දිරි දෙයි. සීමිත දැනුමක් හා අද්දැකීම් මත ගොඩනැඟී තිබෙන එය බොහෝවිට රඳා පවතින්නේ මිථ්‍යා අදහස් මතය. උදාහරණයක් වශයෙන්, පෞද්ගලික සුභසාධනය සඳහා උපදෙස් සපයන පොත් පත්වල ලේඛකයෝ “මනෝ ස්වභාවයේ පරිණාමය” යන න්‍යාය මත පදනම්ව ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට දැන් වැඩි නැඹුරුවාවක් දක්වති. ඔවුන් එසේ කරන්නේ මිනිස් චින්තනය හටගත්තේ මුතුන්මිත්තෙකු වන සත්වයෙකුගෙන්ය යන උපකල්පනයට අනුවය. කෙසේවෙතත්, අපේ මැවුම්කරුව තඹේකටවත් මායිම් නොකරන ලද න්‍යායක් මත පදනම්ව සතුට සෙවීමට දරන වෑයම නිෂ්ඵල වන අතර, එහි අවසාන ප්‍රතිඵලය වන්නේ අපේක්ෂාභංගත්වයට පත්වීමය. පුරාණ අනාගතවක්තෘවරයෙක් මෙසේ පැවසීය. “ප්‍රඥාවන්තයෝ ලජ්ජාවට [පත් වන්නෝය.] . . . මෙන්න, ඔව්හු [යෙහෝවාගේ] වචනය එපාකළෝය; ඔවුන් තුළ ඇති ප්‍රඥාව කුමක්ද?”—යෙරෙමියා 8:9.

අපව නිර්මාණය කර තිබෙන ආකාරයත්, අපට සැබෑ සතුට ලබා දෙන්නේ කුමක්ද කියාත් යෙහෝවා දෙවි දනී. මිනිසාව මැවීමට හේතුවත්, ඔවුන්ගේ අනාගතය කෙබඳු එකක් වේවිද කියාත් දන්නා ඔහු එම තොරතුරු බයිබලය තුළින් අපට ලබා දෙන්නේය. එම ආනුභාවය ලත් පොත තුළින් ඔහු හෙළි කරන දේවල් වෙත හරි ආකල්පයකින් එළඹෙන පුද්ගලයන් ඊට සුදුසු ප්‍රතිචාරයක් දක්වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් සතුට අද්දකී. (ලූක් 10:21; යොහන් 8:32) යේසුස්ගේ ගෝලයන් දෙදෙනෙකුගේ අද්දැකීම වූයේ එයයි. ඔහු මියගිය පසු ඔවුන් සිටියේ ශෝකයෙනි. එහෙත් මනුෂ්‍යවර්ගයාගේ ගැළවීම සඳහා දෙවිගේ අරමුණ තුළ තමාට ඉටු කිරීමට තිබෙන වැඩ කොටස සම්බන්ධයෙන්, නැවත නැඟිටුණු යේසුස්ම ඔවුන්ට පැවසූ විට ඔවුහු මෙසේ කීහ. “[ඔහු] අප සමඟ මගදී කථාකළ කල්හිත් ලියවිලි අපට තෝරාදුන් කල්හිත් අපේ සිත් දෑවා නොවේද?”—ලූක් 24:32.

එලෙස අපේ ජීවිතය හැසිරවීමට බයිබල් සත්‍යයට අප ඉඩහරින විට අපේ ප්‍රීතිය වැඩි වේ. මේ අනුව බලන කල, සතුට දේදුන්නකට සමාන කළ හැක. කාලගුණික තත්වයන් යහපත්ව තිබෙන විට එය පායන අතර, කාලගුණික තත්වයන් උපරිම යහපත් තත්වයකට පත් වන විට එහි දීප්තිය දෙගුණ තෙගුණ වී ඇත්තෙන්ම දේදුනු දෙකක් බවට පත් වේ. එසේනම් දැන් අපි බයිබලයේ සඳහන් දේ අදාළ කරගැනීමෙන් අපේ සතුට වැඩි කරගත හැකි ආකාරය සම්බන්ධයෙන් උදාහරණ කීපයක් සලකා බලමු.

සරල ජීවිතයක් ගත කරන්න

පළමුව, ධනසම්පත් සම්බන්ධයෙන් යේසුස් දුන් උපදෙස සලකා බලන්න. ධනසම්පත් පසුපස හඹා යෑම ජීවිතයේ මූලික පරමාර්ථය කරගැනීමේ අවදානම පෙන්වා දුන් පසු ඔහු සිත්ගන්නා ප්‍රකාශයක් කළේය. ඔහු මෙසේ පැවසීය. “එහෙයින් නුඹේ ඇස පැහැදිලි නම්, නුඹේ මුළු ශරීරය එළිය වන්නේය.” (මතෙව් 6:19-22) ඇත්තටම ඔහු පැවසුවේ, අප සමහරුන් මෙන් කෑදර ලෙස ධනය, බලය හෝ වෙනත් දේවල් පසුපස හඹා යනවා නම් වඩා වැදගත් වන දේවල් අහිමි වී යනු ඇති බවය. ඇරත්, තවත් අවස්ථාවක යේසුස් මෙසේද පැවසීය. “මනුෂ්‍යයෙකුට කොපමණ දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැත.” (ලූක් 12:15) දෙවි සමඟ ඇති අපේ සබඳතාව මෙන්ම පවුලේ කටයුතු සහ ඒ හා සම්බන්ධ වෙනත් කාරණා යන සැබවින්ම වැදගත් වන දේවලට අප මුල් තැන දෙනවා නම්, අපේ “ඇස” බාධාවකින් තොරව ‘පැහැදිලිව’ තිබෙනු ඇත.

ඇත්තෙන්ම, යේසුස් නිර්දේශ කළේ තපස් ජීවිතයක් ගත කිරීමට නොවේ. මන්ද ඔහු පවා තාපසයෙකු නොවීය. (මතෙව් 11:19; යොහන් 2:1-11) ඒ වෙනුවට ඔහු ඉගැන්නුවේ ජීවිතය යනු ධනසම්පත් එකතු කරන එක පමණක්ය යන දෘෂ්ටිය දරන අයට අනිවාර්යයෙන්ම යමක් අහිමි වන බවය.

තරුණ කාලයේදීම ධනවතුන් බවට පත් වූ ඇතැමෙකු ගැන අදහස් දක්වමින් අ.එ.ජ. සැන්ෆ්‍රැන්සිස්කෝහි මනෝ රෝග චිකිත්සකයෙකු පැවසුවේ, මුදල් නිසා අන්තිමේදී ඔවුන් “මානසික පීඩනයට හා වියවුල්සහගත තත්වයකට” මුහුණ දුන් බවය. ඔවුන් “සල්ලිවලට ගෙවල් දෙක තුනක් ගන්නවා. කාර් එකක් ගන්නවා. දකින දකින දේවල් ගන්න සල්ලි වියදම් කරනවා. ඒත් බලාපොරොත්තු වුණ තරමටම ඔවුන්ට ඒ දේවලින් සතුටක් ලැබෙන්නේ නැතිකොට, ඔවුන් කලකිරෙනවා. ඔවුන්ට හිස්බවක් දැනෙනවා. ගත කරන්න ඕන මොන වගේ ජීවිතයක්ද කියලා ඔවුන්ට පැහැදිලි අවබෝධයක් නැහැ” කියාද ඔහු පැවසීය. ඊට වෙනස්ව, ද්‍රව්‍යමය අතින් ජීවිතය සරල කරගෙන ආත්මික දේවලට කාලය වෙන් කරන්න කියා යේසුස් දුන් උපදෙස පිළිපදින්නන්ට සැබෑ සතුට ලැබීමට තිබෙන ඉඩ කඩ වැඩිය.

හවායිහි ජීවත් වන ගොඩනැඟිලිකරුවෙකු වූ ටොම්, පැසිෆික් දූපත්වල සිටින ද්‍රව්‍යමය අතින් අගහිඟකම් ඇති අයගේ නමස්කාර ස්ථාන ඉදි කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. මෙම යටහත් පහත් මනුෂ්‍යයන් තුළ ටොම් යමක් දුටුවේය. “මේ දූපත්වල ජීවත් වෙන මගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් ඇත්තෙන්ම හිටියේ සතුටෙන්. සතුටට රහස මුදල්වත්, දේපොළවත් නෙවෙයි කියන එක හොඳින් වටහාගන්න ඒගොල්ලෝ මට උපකාර කළා” කියා ඔහු පැවසීය. එම දූපත්වල ඔහු සමඟ වැඩ කළ ස්වේච්ඡා සේවකයන්ව හොඳින් නිරීක්ෂණය කළ ඔහුට ඔවුන් මොනතරම් සතුටෙන්ද සිටින්නේ කියා දැකගත හැකි විය. “ඕනෙ නං ඒගොල්ලන්ට හොඳට මුදල් හම්බ කරගන්න තිබුණා. නමුත් ආත්මික දේවල් මුල් තැනට දාලා සරල ජීවිතයක් ගත කරන්න ඔවුන් තෝරගත්තා” කියා ටොම් පැවසුවේය. මේ ආදර්ශයන් දෙස බැලීමෙන් ටොම් ඔහුගේම ජීවිතය සරල කරගැනීමට පෙලඹුණු නිසා ඔහුගේ පවුල සඳහා මෙන්ම ආත්මික දේවල් සඳහා වැඩි කාලයක් වෙන් කිරීමට ඔහුට හැකි විය. ඔහුගේ මේ පෙලඹීම කවදාවත් පසුතැවිල්ලකට හේතු නොවීය.

සතුටෙන් සිටීම හා හීනමානයෙන් වැළකීම

සතුටෙන් සිටීමට නම් ආත්ම විශ්වාසයකින් සිටිය යුතු අතර හීනමානයෙන් වැළකිය යුතුය. මනුෂ්‍ය අසම්පූර්ණකම හා ඒ හේතුවෙන් ඇති වන දුර්වලකම් නිසා සමහරෙකු තමන් ගැනම නිෂේධාත්මක ආකල්පයක් දරන අතර, බොහෝදෙනෙකුට එවැනි හැඟීම් තිබෙන්නේ ඔවුන්ගේ ළමා අවදියේ පටන්ය. මුල්බැසගත් හැඟීම් ඉවත් කිරීම අමාරු දෙයක් විය හැකි මුත් එය කළ හැකි දෙයකි. දේවවචනය අදාළ කරගැනීම ඊට පිළියම වේ.

මැවුම්කරුට අප ගැන හැඟෙන ආකාරය පිළිබඳව බයිබලයේ පැහැදිලි කරයි. වෙන කෙනෙකුගේ හෝ අපේම දෘෂ්ටියට වඩා වැඩියෙන් ඔහුගේ දෘෂ්ටිය වැදගත් නොවේද? ප්‍රේමය පෙන්වීමේ පරිපූර්ණ ආදර්ශය වන දෙවි අප දෙස බලන්නේ අගතිසහගතව හෝ ද්වේෂසහගතව නොවේ. ඔහු බලන්නේ අපේ පිටාතර පෙනුම දෙස නොව ඇතුළාන්තයෙන් අප කුමනාකාරයේ පුද්ගලයන්ද, එමෙන්ම අප කුමනාකාරයේ පුද්ගලයන් වීමට ඉඩ තිබේද යන කාරණය දෙසය. (1 සාමුවෙල් 16:7; 1 යොහන් 4:8) ඇත්තවශයෙන්ම, ඔහුව සතුටු කිරීමට කැමති අය තුළ කුමන ආකාරයේ අසම්පූර්ණකමක් තිබුණත් ඔහු ඔවුන්ව සලකන්නේ අනර්ඝ, ප්‍රිය තැනැත්තන් වශයෙනි.—දානියෙල් 9:23; හග්ගයි 2:7.

ඇත්තවශයෙන්ම, දෙවි අපේ දුර්වලකම් හා අප සිදු කරන පාප නොසලකා හරින්නේ නැත. අප හරි දේ කිරීමට වීර්යය කරනවා දැකීමයි ඔහුගේ අභිප්‍රාය. අප එසේ කරන විට ඔහු අපට උපකාර කරයි. (ලූක් 13:24) බයිබලයේ මෙසේ පවසයි. ‘පියෙක් තම දරුවන්ට අනුකම්පා කරන්නාක් මෙන් යෙහෝවා තමන් කෙරෙහි භය ඇත්තන්ට අනුකම්පා කරන්නේය.’ එහි මෙලෙසද පවසයි. ‘යෙහෝවා ඔබ අයුතුකම් ගණනට ගන්නේ නම්, ස්වාමිනි, කාට සිටින්ට හැක්කේද? නමුත් ඔබ කෙරෙහි භය ඇතුව සිටින පිණිස ඔබ වෙත කමාව ඇත්තේය.’—ගීතාවලිය 103:13; 130:3, 4.

එබැවින් දෙවිගේ දෘෂ්ටියෙන් ඔබ දෙස බැලීමට ඉගෙනගන්න. ඔහුට ප්‍රේම කරන අය තුළ හීනමානයේ හැඟීමක් ඇති වුවත්, ඔහු ඔවුන්ව ප්‍රිය කරන බවත්, ඔවුන්ව විශ්වාස කරන බවත් දැන සිටීම ඔවුනට තම සතුට වැඩි කරගැනීමට ඉමහත් රුකුලක් වේ.—1 යොහන් 3:19, 20.

සතුටට රහස බලාපොරොත්තුවයි

මෑතකදී ප්‍රචලිත වූ ස්ථිරසාර මනෝ ස්වභාවය යන සංකල්පයෙන් කියැවෙන්නේ, සර්වශුභවාදය සතුටට මඟ පෑදිය හැකි බවය. එම සර්වශුභවාදී හැඟීම් හටගන්නේ කෙනෙකුගේ ඒකාන්ත සිතුවිලිවලින් හා කෙනෙකු තම පෞද්ගලික හැකියාවන් ගැන කල්පනා කරන ආකාරයෙන් බව කියැවේ. ජීවිතය හා අනාගතය දෙස සර්වශුභවාදීව බැලීමෙන් අපේ සතුට දෙගුණ තෙගුණ වන බව නොපිළිගන්නේ සුළු පිරිසකි. කෙසේවුවද, එවැනි ශුභවාදී හැඟීම් ගොඩනැඟිය යුතු වන්නේ සිතේ ඇති වන ආශාවන් මත නොව නමුත් ස්ථිරසාර සාධක මතය. එහෙත්, කෙතරම් ශුභවාදී වුවත්, කෙතරම් ඒකාන්ත සිතුවිලි තිබුණත් බොහෝදෙනෙකුගේ සතුට සොරාගන්නාවූ දේවල් වන යුද්ධය, සාගින්න, ලෙඩ රෝග, පරිසර දූෂණය, මහලු විය හෝ මරණය ඉවත් නොවනු ඇත. කෙසේවුවද, සර්වශුභවාදී හැඟීම්වලින් යම් දුරකට යහපතක් සිදු වේ.

බයිබලයේ සර්වශුභවාදය යන වචනය භාවිත නොකිරීම සැලකිල්ලට ගත යුත්තකි. එහි ඊට වඩා ප්‍රබල වදනක් වන බලාපොරොත්තුව යන වචනය භාවිත කරයි. වයින්ස් කම්ප්ලීට් එක්ස්පොසිටරි ඩික්ෂනරි “බලාපොරොත්තුව” යන වචනය නිර්වචනය කර තිබෙන්නේ, “සතුටුදායක හා නිසැක අපේක්ෂාව, . . . යහපතක් වේය කියා සතුටෙන් බලා සිටීම” යනුවෙන් බයිබලයේ දක්වා තිබෙන ආකාරයටය. බයිබලයේ භාවිත වන බලාපොරොත්තුව යන වචනයෙන්, යම් තත්වයක් දෙස ශුභවාදීව බලනවාට වඩා වැඩි දෙයක් අදහස් කරයි. කෙනෙකු බලාපොරොත්තුව තබා තිබෙන දෙය වෙතටද එය යොමු දක්වයි. (එපීස 4:4, 5අ; 1 පේතෘස් 1:3අ, 5) උදාහරණයක් වශයෙන්, කලින් ඡේදයේ සඳහන් වූ අසතුටට හේතු වන සියලු දේවල් ළඟදීම නැති කර දමන්නේ එම ක්‍රිස්තියානි බලාපොරොත්තුවය. (ගීතාවලිය 37:9-11, 29) එහෙත් එය ඊටත් වඩා දේවල් සිදු කරයි.

ඇදහිලිවන්ත මනුෂ්‍යයන් පාරාදීස පොළොවක පරිපූර්ණ ජීවිතයකට පා තබන මොහොත එන තෙක් ක්‍රිස්තියානීහු ආශාවෙන් බලා සිටිති. (ලූක් 23:42, 43) එම බලාපොරොත්තුව සම්බන්ධයෙන් එළිදරව් 21:3, 4 මෙසේ පුළුල් අදහසක් ඉදිරිපත් කරයි. ‘මෙන්න, දෙවිගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරන්නේය. ඔවුහු ඔහුගේ සෙනඟ වන්නෝය. ඔහු ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.’

තම වත්මන් තත්වය එතරම් හිතකර නොවුවත්, එවැනි අනාගතයක් ලැබීමට අපේක්ෂා කරන ඕනෑම කෙනෙකුට සතුටෙන් සිටීම සඳහා සෑම අතින්ම එම බලාපොරොත්තුව හේතුවක් වේ. (යාකොබ් 1:12) මෙනයින් එය ඔබට විශ්වාස කළ හැකිද කියා බයිබලයෙන් සෝදිසි කර නොබලන්නේ මන්ද? දිනපතා බයිබලය කියවීමට කාලය ගත කරමින් ඔබේ බලාපොරොත්තුව තව තවත් ශක්තිමත් කරගන්න. එසේ කිරීමෙන් ඔබේ ආත්මිකත්වය වැඩිදියුණු වේ. එමෙන්ම ඔබේ සතුට සොරාගන්නාවූ දේවලින් වැළකීමට එය ඔබට උපකාරයක් වන අතර ඔබව සෑහීමටද පත් කරවයි. ඔව්, සැබෑ සතුටට රහස දෙවිගේ කැමැත්ත කිරීමය. (දේශනාකාරයා 12:13) බයිබල් නීති රීතිවලට කීකරු වෙමින් ගත කරන ජීවිතය සන්තෝෂවත් ජීවිතයකි. මන්ද යේසුස් මෙසේ පැවසීය. “දෙවිගේ වචනය අසා එය පවත්වන්නෝ සැබවින්ම සන්තෝෂවත් වන්නෝය!”—ලූක් 11:28NW.

[පාදසටහන]

a බෞද්ධ මතය වන්නේ දෙවි කෙනෙකු කෙරෙහි විශ්වාසය අනවශ්‍ය බවයි.

[5වන පිටුවේ පින්තූර]

ධන සම්පත් රැස් කිරීමෙන්, හුදෙකලා වීමෙන් හෝ මිනිසාගේ සීමිත දැනුම කෙරෙහි විශ්වාසය තැබීමෙන් සතුට ලැබිය නොහැක

[6වන පිටුවේ පින්තූරය]

දේවවචනයට කීකරු වෙමින් ගත කරන ජීවිතය සන්තෝෂවත් ජීවිතයකි

[7වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානි බලාපොරොත්තුව සතුට ගෙන දෙයි