සිරිල් සහ මෙතෝඩියස්—හෝඩියක් සැකසූ බයිබල් පරිවර්තකයෝ
සිරිල් සහ මෙතෝඩියස්—හෝඩියක් සැකසූ බයිබල් පරිවර්තකයෝ
“අපව ජාතියක් වශයෙන් ක්‍රිස්තියානි කර තිබුණත්, අපට මඟ පෙන්වන්න කිසිවෙකු නොමැත. ග්‍රීක් බස හෝ ලතින් බස අපට නුහුරුය. . . . එම භාෂාවල අකුරුවත්, එහි තේරුමවත් අපට නොවැටහේ. එබැවින් ශුද්ධ ලියවිල්ලේ වදන් හඳුනාගෙන ඒවායෙහි අරුත වටහා දිය හැකි ගුරුවරුන් අප වෙත එවුව මැනව.” —මොරේවියාහි කුමරු වන රස්ටිස්ලෆ්, පො.යු. 862දීය.
ස්ලාවික් භාෂා කුලයට අයත් භාෂාවන් කතා කරන මිලියන 435 ඉක්මවා ගොස් ඇති වත්මන් ජන පිරිස තමන්ගේම භාෂාවෙන් බයිබල් පරිවර්තනයක් කියවීමේ භාග්‍යය ලබා සිටිත්. a මොවුන්ගෙන් මිලියන 360ක්ම සිරිලික් හෝඩිය භාවිත කරති. එනමුත්, සියවස් 12කට කලින් පැවති තත්වය මීට වඩා සහමුලින්ම වෙනස් විය. ඔවුන්ගේ මුතුන්මිත්තන් කතා කළ උපභාෂාවට ලිඛිත ස්වරූපයක්වත්, හෝඩියක්වත් නොතිබිණ. මෙම තත්වයට පිළියමක් යෙදුවේ සිරිල් සහ මෙතෝඩියස් යන සහෝදරයන් දෙදෙනාය. මොවුන් දෙදෙනාගේ නව අදහස් මෙන්ම නිර්භීත වෑයම දේවවචනයට ප්‍රිය කරන සැමදෙනාගේම පැසසුමට ලක් වනු නියතය. බයිබලය ආරක්ෂා කිරීමටත් පතළ කිරීමටත් දිගු කලක් පුරා දරා ඇති උත්සාහය පොතකට සමාන කරනවා නම්, ඔවුන්ගේ මෙම ප්‍රයත්නය තවත් කුහුල දනවන පරිච්ඡේදයක් මෙන්ය. මෙම පුරුෂයන් දෙදෙනා කවුරුන්ද? ඔවුන් මුහුණ දුන්නේ කවර බාධාවලටද?
“දාර්ශනිකයා” සහ ආණ්ඩුකාරයා
මුලින්ම කොන්ස්ටන්ටින් යන නමින් හඳුන්වනු ලැබූ සිරිල් (පො.යු. 827-869) සහ මෙතෝඩියස් (පො.යු. 825-885) ග්‍රීසියේ තෙසලොනිකාවල විසූ වංශවත් පවුලක උපන්නෝය. එවකට තෙසලොනිකාවේ භාෂා දෙකක් එනම් ග්‍රීක් භාෂාවද, ස්ලාවික් භාෂාවද භාවිත කෙරිණ. තෙසලොනිකාවල ස්ලාවික් ජාතිකයන් බොහෝදෙනෙකු සිටි නිසාත්, ස්ලාවික් පුරවැසියන් සහ අවට ජීවත් වූ ස්ලාවික් ප්‍රජාවන් අතර කිට්ටු සම්බන්ධයක් පැවති නිසාත්, දකුණුදිග ස්ලාවික් ජනතාවගේ භාෂාව හොඳින් දැන තේරුම්ගැනීමේ ප්‍රස්තාව සිරිල් සහ මෙතෝඩියස්ට ලැබුණා කියා පැවසිය හැක. ඇරත් මෙතෝඩියස් ගැන ලියූ එක්තරා චරිත රචකයෙකු පවසන්නේ ඔහුගේ මව ස්ලාවික් ජාතික තැනැත්තියක් බවය.
සිරිල්ගේ පියාගේ අභාවයෙන් පසු ඔහු බයිසන්ටයින් අධිරාජ්‍යයේ අගනුවර වූ කොන්ස්තන්තිනෝපල් බලා ගියේය. එහිදී රාජකීය සරසවියේ අධ්‍යාපනයක් ලැබූ ඔහු, සුප්‍රසිද්ධ විශාරදයන් කිහිපදෙනෙකු සමඟද ඇසුරු කළේය. කල් යත්ම, ඔහු බයිසන්ටයින් අධිරාජ්‍යයේ වඩාත්ම කැපීපෙනුණු පල්ලිය වූ ආජියා සෝෆියාහි පුස්තකාලයාධිපති ලෙස පත් වූ අතර, පසුව දර්ශන පීඨයේ මහාචාර්යවරයෙකු බවටද පත් විය. ශාස්ත්‍රීය ක්ෂේත්‍රය තුළ සිරිල් දැක්වූ දස්කම් හේතුවෙන්, ඔහුට දාර්ශනිකයා යන නාමය පට බැඳුණේය.
ඒ අතරවාරයේදී, මෙතෝඩියස් තම පියාගේ වෘත්තිය වූ දේශපාලනික පරිපාලන ක්ෂේත්‍රයට යොමු විය. කල් යත්ම, ස්ලාවික් ජාතිකයන් කිහිපදෙනෙකුම ජීවත් වූ බයිසන්ටයින් දිස්ත්‍රික්කයක ආණ්ඩුකාර පදවිය ඔහුට හිමි විය. කෙසේවෙතත්, පසුව ඔහු සුළු ආසියාවේ
බිතිනියාවේ පූජකාරාමයකට ගියේය. පොදු යුගයේ 855දී, ඔහුගේ සොහොයුරු සිරිල්ද එහිදී ඔහු හා එක් විය.පොදු යුගයේ 860දී, කොන්ස්තන්තිනෝපල්හි බිෂොප්වරයා මෙම සහෝදරයන් දෙදෙනාව දූත මෙහෙවරක් සඳහා විදේශගත කළේය. ඔවුන්ව යවනු ලැබුවේ කළු මුහුදට ඊශාන දෙසින් වාසය කළ ජනතාවක් වූ කසාර් ජාතිකයන් වෙතටය. මොවුන් ඉස්ලාම් ධර්මය, යුදෙව් ධර්මය සහ ක්‍රිස්තු ධර්මය අතර තේරීමක් කිරීම සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් සිටි ජනතාවකි. තම ගමනේදී, සිරිල් කලකට ක්‍රිමියෙහි කෙර්සනිස්වල නැවතුණේය. ඇතැම් විශාරදයන් විශ්වාස කරන්නේ, ඔහු එහිදී හෙබ්‍රෙව් සහ සමාරිතානු භාෂාව ඉගෙනගෙන, හෙබ්‍රෙව් භාෂාවේ ව්‍යාකරණ රීති අඩංගු පොතක් කසාර්වරුන්ගේ භාෂාවට පරිවර්තනය කළ බවයි.
මොරේවියාවෙන් ඉල්ලීමක්
මොරේවියාහි (එනම් නූතන නැඟෙනහිර චෙචියා, බටහිර ස්ලොවේකියාව සහ බටහිර හංගේරියාව පිහිටි ප්‍රදේශයේ) කුමරු වන රස්ටිස්ලෆ්, පො.යු. 862දී, මෙම ලිපියෙහි මුල්ම ඡේදයෙහි දක්වා ඇති පරිදි ශුද්ධ ලියවිල්ල ඉගැන්වීමට ගුරුවරුන් එවන ලෙසට, බයිසන්ටයින් අධිරාජ්‍යයා වූ IIIවන මයිකල්ගෙන් ඉල්ලීමක් කළේය. මොරේවියාහි ස්ලාවික් භාෂාව කතා කරන පුරවැසියන්ට ඒ වන විට පල්ලි ඉගැන්වීම් හඳුන්වා දී තිබුණේ නැඟෙනහිර ෆ්‍රැන්ක් රාජ්‍යයෙන් (දැන් ජර්මනිය සහ ඔස්ට්‍රියාව) පැමිණි මිෂනාරිවරුන් විසිනි. කෙසේවෙතත්, ජර්මානු ගෝත්‍රිකයන් වෙතින් එල්ල වූ දේශපාලනික සහ ආගමික බලපෑම ගැන රස්ටිස්ලෆ් සැලකිලිමත් විය. කොන්ස්තන්තිනෝපලය සමඟ ආගමික සම්බන්ධතා පැවැත්වීමෙන් තම ජාතියේ දේශපාලනික සහ ආගමික ස්වාධීනත්වය රැකගැනීමට හැකි වෙයි කියා ඔහු අපේක්ෂා කළේය.
මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, අධිරාජ්‍යයා මෙතෝඩියස්ව සහ සිරිල්ව මොරේවියාවට යැවීමට තීරණය කළේය. මෙවැනි දූත මෙහෙවරක පෙරමුණ ගැනීමට මෙම සහෝදරයන් දෙදෙනා ශාස්ත්‍රීය වශයෙන්, අධ්‍යාපනික වශයෙන් සහ භාෂා දැනුම අතින් සමර්ථව සිටි බව අවිවාදයෙන්ම පැවසිය හැක. මොරේවියාව බලා යෑමට අධිරාජ්‍යයා ඔවුන්ට උනන්දු කළේය. නවවන සියවසේ චරිත රචකයෙකු පවසන පරිදි “ඔබ දෙදෙනාම තෙසලොනිකාවෙහි වැසියන් වන නිසා, ස්ලාවික් භාෂාව ගැන හසළ දැනුමක් ඔබ සතු විය යුතු” බවට අධිරාජ්‍යයා තර්ක කළේය.
හෝඩියක් සහ බයිබල් පරිවර්තනයක් බිහි වේ
මොරේවියාව බලා ගමන් කිරීමට පෙර ගත වූ මාස කිහිපයේදී, සිරිල් ස්ලාවික් ජාතිකයන්ට ලිඛිත හෝඩියක් සකසා දීමෙන් තම කාර්යයට සූදානම් විය. භාෂාවක විවිධ උච්චාරණ ශබ්දයන් හඳුනාගැනීමට ඔහු දක්ෂයෙකු වූ බව පැවසේ. ඔහු ග්‍රීක් සහ හෙබ්‍රෙව් අක්ෂර යොදාගනිමින්, ස්ලාවොනික් b භාෂාවෙහි සෑම ශබ්දයක්ම නියෝජනය කිරීම සඳහා වෙනම අකුරක් සැපයීමට උත්සාහ කළේය. එවැනි හෝඩියක් හඳුන්වා දීමට අඩිතාලමක් දැමීම සඳහා හෙතෙම ඒ වන විටත් වර්ෂ ගණනාවක් පුරා වෙහෙස මහන්සි වී තිබූ බව ඇතැම් පර්යේෂකයන්ගේ මතයයි. එනමුත්, සිරිල් සකස් කළ හෝඩියේ නියම පිළිවෙළ කුමක්ද යන්න පිළිබඳව යම් සැකයන් පවතී.—“සිරිලික්ද ග්ලැගලිඩික්ද?” යන කොටුව බලන්න.
ඒ කාලයේදීම, සිරිල් කඩිනම් බයිබල් පරිවර්තන ව්‍යාපෘතියක් දියත් කළේය. අලුතෙන් සැකසූ හෝඩිය යොදාගනිමින් “පටන්ගැන්මේදී වාක්‍යය සිටියේය . . .” කියා සඳහන් වන යොහන්ගේ සුවිශේෂයේ මුල්ම වගන්තිය ග්‍රීක් භාෂාවෙන් ස්ලාවොනික්වලට පරිවර්තනය කළ බවට ජන ප්‍රවාදයේ පවතී. ඉන්පසුව සිරිල් සුවිශේෂ සතරද, පාවුල්ගේ ලිපිද, ගීතාවලියද පරිවර්තනය කළේය.
හෙතෙම තනිවමද වැඩ කළේ? මෙම කාර්යයේදී මෙතෝඩියස් ඔහුගේ සහයට සිටියා විය යුතුය. තවද, කේම්බ්‍රිජ් මධ්‍යකාලීන ඉතිහාසය යන ඉංග්‍රීසියෙන් ප්‍රකාශිත පොතෙහි මෙසේ සඳහන් වේ. “[සිරිල්ගේ] උපකාරයට තවත් අය සිටි බව සිතාගත හැක. මුලින්ම ඔහුගේ උපකාරයට පැමිණියේ ග්‍රීක් බසින් අධ්‍යාපනය ලැබූ ස්ලාවික් ජාතික අය විය යුතුයි. පැරණිතම පරිවර්තන පරීක්ෂා කර බැලීමෙන් හෙළි වන්නේ . . . සංස්කාරකයන්ට ස්ලාවොනික් භාෂාවේ ඌරුව පිළිබඳව මනා දැනුමක් තිබුණු බවය. ඇත්තෙන්ම ඔහුගේ උපකාරයට සිටි අය ස්ලාවික් ජාතිකයන් වූ බවත්, පරිවර්තනයේ ගුණයට හේතුව ඔවුන්ගේ දායකත්වය බවත් මින් තහවුරු වේ.” එනමුදු අප ඉදිරියට බලන්න යන පරිදි, එම බයිබල් පරිවර්තනය සම්පූර්ණ කළේ මෙතෝඩියස් විසිනි.
“උකුස්සෙකුට හිරිහැර කරන කපුටන් මෙන්”
පොදු යුගයේ 863දී මොරේවියාහි තම මෙහෙය ආරම්භ කළ සිරිල් සහ මෙතෝඩියස්ව එහිදී සාදරයෙන් පිළිගනු ලැබීය. බයිබලය සහ පල්ලියේ වෙනත් ලියවිලි පරිවර්තනය කිරීමට අමතරව, අලුතෙන් සැකසූ ස්ලාවොනික් හෝඩිය ස්වදේශිකයන් කිහිපදෙනෙකුට ඉගැන්වීමද ඔවුන්ගේ මෙහෙයට ඇතුළත් විය.
මෙය පහසු කාර්යයක් වූ බව පැවසිය නොහැක. මොරේවියාහි විසූ ෆ්‍රැන්ක් ජාතික පූජකයෝ ස්ලාවොනික් භාවිතයට දැඩි සේ විරුද්ධ වූහ. ඔවුන්ගේ මතය වූයේ නමස්කාරයට ලතින්, ග්‍රීක් සහ හෙබ්‍රෙව් පමණක් (තුන්-භාෂාවාදය) යෝග්‍ය බවය. එමනිසා, අලුතෙන් සැකසූ ලිඛිත භාෂාවට පාප්ගේ අනුමැතිය ලබාගැනීමේ අදහසින් මෙම සහෝදරයෝ දෙදෙනා පො.යු. 867දී රෝමය බලා ගමන් ගත්හ.
ඒ අතරතුර වැනිසියේදී, සිරිල් සහ මෙතෝඩියස් තුන් භාෂාවාදී පූජකයන් කිහිපදෙනෙකු සමඟ ගැටුණෝය. මධ්‍යකාලීන යුගයේ සිරිල්ගේ චරිතය ගැන විස්තර ලියන්නෙකු කියන්නේ වැනිසියේ බිෂොප්වරුන්, පූජකයන් සහ පැවිද්දන් “උකුස්සෙකුට හිරිහැර කරන කපුටන් මෙන්” ඔවුන්ට වාචිකව පහර දුන් බවය. එම වාර්තාවට අනුව, සිරිල් ප්‍රතිචාරය දැක්වූයේ “හොරණෑව අනුමාන ශබ්දයක් කරන්නේ නම්, යුද්ධයට සැරසෙන්නේ කවුද? එසේම නුඹලාත් තේරුම්ගන්ට පහසු වචන දිවෙන් කථා නොකළොත්, කියන දේ දැනගන්නේ කොහොමද? නුඹලා හුළඟට කථාකරන්නාක්මෙන් වේ” යන 1 කොරින්ති 14:8, 9හි වදන් සඳහන් කිරීමෙනි.
මෙම සහෝදරයන් දෙදෙනා රෝමයට පැමිණි විට, IIවන ඒඩ්‍රියන් පාප්වරයා, ස්ලාවොනික් භාෂාව භාවිත කිරීමට ඔවුන්ට පූර්ණ අනුමැතිය ලබා දුන්නේය. කෙසේවෙතත්, මාස කිහිපයකට පසු රෝමයේ සිටියදීම සිරිල් අසනීප විය. ඔහුගේ තත්වය අසාධ්‍ය වූ අතර මාස දෙකක් ගතවීමටත් කලින් වයස අවුරුදු 42දී ඔහු මළේය.
මොරේවියා සහ නීට්‍රා (දැන් ස්ලොවේකියාව) නම් නගරය අවට සිදු කිරීමට තිබූ කාර්යය සඳහා එහි යෑමට IIවන ඒඩ්‍රියන් පාප්වරයා මෙතෝඩියස්ව දිරිගැන්වීය. එම ප්‍රදේශයෙහි තම බලය තහවුරු කිරීමට ආශාවෙන් පසු වූ එම පාප්වරයා, ස්ලාවොනික් භාවිතය අනුමත කරන බවට සඳහන් ලිපි මෙතෝඩියස් අත යවමින්, ඔහුව අග්‍රබිෂොප්වරයා ලෙසද පත් කළේය. කෙසේවෙතත්, පො.යු. 870දී හර්මාන්රික් නමැති ෆ්‍රැන්ක් බිෂොප්වරයා, නීට්‍රාහි කුමාරයා වන ස්වාටප්ලුක්ගේ උපකාරය ඇතුව, මෙතෝඩියස්ව අත්අඩංගුවට ගත්තේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුව ගිනිකොනදිග ජර්මනියේ පූජකාරාමයක අවුරුදු දෙකහමාරකට සිරගත කර තබන ලදි. කෙසේවෙතත්, IIවන ඒඩ්‍රියන්ගේ අනුප්‍රාප්තිකයා වූ VIIIවන ජුවාම් පාප් මෙතෝඩියස්ව නිදහස් කරන ලෙසට අණ කළේය. අග්‍රබිෂොප්වරයා ලෙස මෙතෝඩියස්ට හිමි නිලය සහ බලප්‍රදේශය නැවත ලබා දුන් ඔහු, නමස්කාරයේදී ස්ලාවොනික් භාවිත කිරීම සඳහා තමාගේ අනුමැතිය ඇති බවට යළි තහවුරු කළේය.
කෙසේවෙතත්, ෆ්‍රැන්ක් පූජකයන්ගෙන් දිගටම විරුද්ධවාදිකම් එල්ල විය. තමා මිථ්‍යාග්‍රාහකයෙකු බවට කළ චෝදනා අසත්‍ය බව ඔප්පු කිරීමට මෙතෝඩියස් සමත් වූ අතර, අන්තිමේදී පල්ලියේ ස්ලාවොනික් භාවිත කළ යුතු බවට ඍජුව විධාන කළ නියෝගයක් VIIIවන ජුවාම් පාප්ගෙන් ලබාගැනීමට ඔහුට හැකියාව ලැබිණ. මෙතෝඩියස් “ගමන්වලින් , සාගින්නෙන්, දුක් ගාවිනාවලින්, එදිරිවාදිකම්වලින් සහ හිංසා පීඩාවලින් . . . මෙන්ම කෲර බන්ධනාගාරගත වීමකින් පවා” දුෂ්කරතා විඳි බව දැන් සිටින IIවන ජුවාම් පාවුලු පාප් පිළිගත්තේය. මෙම පීඩාවන් සියල්ල සිදු වූයේ රෝමයට අනුග්‍රහය දැක්වූ බිෂොප්වරුන් සහ කුමාරයන් අතින් නිසා, එය ඇත්තෙන්ම හාස්‍යයට කරුණකි.
මුළු බයිබලයම පරිවර්තනය කෙරේ
නිමක් නොමැතිව එල්ල වූ මෙම පීඩාවන් හමුවේ පවා, මෙතෝඩියස් ලඝුලේඛකයන් කිහිපදෙනෙකුගේ උපකාරය ඇතුව, පරිවර්තනය කිරීම සඳහා ඉතිරිව තිබූ බයිබල් කොටස් ස්ලාවොනික් භාෂාවට පරිවර්තනය කළේය. මෙම දැවැන්ත කාර්යය ඔහු මාස අටක තරම් කෙටි කාලයකින් නිම කළ බවට මතයක් පවතී.
කෙසේවෙතත්, ද්විතීය සම්මත ග්‍රන්ථ වන මකබිවරුන්ගේ පොත් ඔහු පරිවර්තනය කළේ නැත.සිරිල් සහ මෙතෝඩියස්ගේ පරිවර්තනයේ ගුණය නිවැරදිව මැන බැලීම අදදින පහසු කාර්යයක් නොවේ. මුල් පරිවර්තනය කළ කාලයට ආසන්නව ලියූ අත්පිටපත් ඇත්තේ අතළොස්සකි. එනමුත්, මෙම දුර්ලභ අත්පිටපත් පරීක්ෂා කළ වාග්වේදීන්ගේ මතය වන්නේ එම පරිවර්තනය ඉතා නිවැරදි, නැවුම්, ස්වාභාවික ඌරුවකින් නිමවා ඇත්තක් බවය. අපගේ ස්ලාවික් බයිබලය යන කෘතිය පවසන ආකාරයට, මෙම සහෝදරයන් දෙදෙනාට “අලුත් වචන සහ යෙදුම් කිහිපයක් ප්‍රබන්ධ කිරීමට සිදු විය . . . තවද මෙය කරන විට, ඔවුහු පුදුම දනවන නිරවද්‍යතාවක් රැකගත් අතර, ස්ලාවික් භාෂාවට ඉතා පුළුල් වාග්මාලාවක්ද අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක්ද දානය කළෝය.”
කල්පවත්නා උරුමයක්
පොදු යුගයේ 885දී මෙතෝඩියස් මියගිය පසු, ඔහුගේ ගෝලයන්ව ෆ්‍රැන්ක් විරුද්ධවාදීන් විසින් මොරේවියාවෙන් පලවාහරින ලදි. ඔවුහු සරණ පතා බොහීමියාවට, දකුණු පෝලන්තයට සහ බල්ගේරියාවට ගියෝය. කෙසේවෙතත්, සිරිල් සහ මෙතෝඩියස් කළ මෙහෙය දිගටම සිදු වූ අතර, එය පුළුල් කරනු ලැබීය. මෙම සහෝදරයන් දෙදෙනාගේ ප්‍රයත්නය හේතුවෙන් ලිඛිත ශෛලියක් සහ වඩාත් ස්ථිර පදනමක් ලැබූ ස්ලාවොනික් භාෂාව ජනප්‍රිය වී දියුණු වූ අතර, එය වෙනත් භාෂා කිහිපයකටම බෙදී ගියේය. වර්තමානයේ ස්ලාවික් භාෂා කුලයට නිශ්චිත භාෂා 13ක්ද, උපභාෂා බොහොමයක්ද ඇතුළත් වේ.
තවද සිරිල් සහ මෙතෝඩියස් බයිබලය පරිවර්තනය කිරීමට දැරූ නිර්භීත උත්සාහය වෙනත් ආකාරවලින්ද ඵල දැරීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ස්ලාවික් භාෂාවලින් වර්තමානයේ ලබාගත හැකි පරිවර්තන කිහිපයක්ම බිහි විය. මෙම භාෂාවන් කතා කරන මිලියන ගණනක්දෙනාට තම භාෂාවෙන්ම දේවවචනය කියවීමේ භාග්‍යය ලැබී ඇත. ඉතා දැඩි පීඩා මධ්‍යයෙහි වුවද, ‘අපේ දෙවිගේ වචනය සදාකාලේටම පවතින්නේය’ යන වදන් කොතරම් සැබෑ වී ඇද්ද!—යෙසායා 40:8.
[පාදසටහන්වල]
a ස්ලාවික් භාෂා නැඟෙනහිර සහ මධ්‍යම යුරෝපයේ භාවිත කෙරෙන අතර, ඒවාට රුසියානු, යුක්‍රේනියානු, සර්බියානු, පෝලන්ත, චෙක්, බල්ගේරියානු සහ ඒ හා සමාන භාෂාවන් ඇතුළත් වේ.
b මෙම ලිපියේ “ස්ලාවොනික්” යන යෙදුම භාවිත කර ඇත්තේ සිරිල් සහ මෙතෝඩියස් විසින් සිය කාර්යය සහ ලිඛිත කෘතීන් සඳහා යොදාගත් ස්ලාවික් උපභාෂාවට යොමු දැක්වීම සඳහාය. වර්තමානයේදී ඇතැම්හු මෙය “පරණ ස්ලාවොනික්” හෝ “පරණ පල්ලි ස්ලාවොනික්” යන යෙදුම්වලින් හඳුන්වති. පොදු යුගයේ 9වන සියවසේදී ස්ලාවික් ජාතිකයන්ට එක පොදු භාෂාවක් නොතිබූ බවට වාග්වේදීහු එකඟ වෙති.
[29වන පිටුවේ කොටුව]
සිරිලික්ද ග්ලැගලිඩික්ද?
සිරිල් ප්‍රබන්ධ කළ හෝඩියේ ස්වභාවය ගත් කල, එම හෝඩිය කුමන කුලයට අයත් වූවාද යන්න ගැන වාග්වේදීන්ට සැකයක් තිබිණ. එමනිසා ඒ සම්බන්ධයෙන් සෑහෙන මතභේදයක් පවතී. සිරිලික් ලෙස හඳුන්වා ඇති හෝඩියේ අක්ෂර ග්‍රීක් හෝඩියට කිට්ටු නෑකමක් දක්වන අතර, ග්‍රීක්වල නොමැති නමුත් ස්ලාවික් භාෂාවේ ඇති ශබ්දයන් නියෝජනය කිරීමට අමතර අක්ෂර කිහිපයක් ප්‍රබන්ධ කර තිබේ. කෙසේවෙතත්, ඉතා පැරණි ස්ලාවොනික් පිටපත් ලිවීමට ග්ලැගලිඩික් ලෙස හැඳින්වෙන ඉඳුරාම වෙනස් අක්ෂර මාලාවක් නැතහොත් හෝඩියක් භාවිත කර ඇත. බොහෝ විශාරදයන්ගේ මතයට අනුව සිරිල් සකස් කළේ මෙම අක්ෂර මාලාවයි. ග්ලැගලිඩික්හි භාවිත කෙරෙන අක්ෂර කිහිපයක්ම ග්‍රීක් හෝ හෙබ්‍රෙව් වැල් අකුරුවලට නෑකම් කියන අතර, තවත් සමහර අක්ෂර මධ්‍යකාලීන යුගයේ භාවිත කළ පිලි පාපිලිවලින් (අක්ෂර දැක්වීමට යෙදූ ලකුණුවලින්) පරිණාමය වී ඇත. එනමුත් ඉන් බහුතරය අභිනව මෙන්ම සංකීර්ණ නිර්මාණයන් ලෙස සැලකිය හැක. ග්ලැගලිඩික් හෝඩිය ඉතා සුවිශේෂී මෙන්ම නැවුම් නිර්මාණයක් බව පෙනී යයි. එනමුත් වර්තමානයේ භාවිත කරන රුසියානු, යුක්‍රේනියානු, සර්බියානු, බල්ගේරියානු සහ මැසිඩෝනියානු අක්ෂර මාලා පරිණාමය වී ඇත්තේ සිරිලික්වලිනි. මීට අමතරව තවත් භාෂා 22ක්ම සිරිලික්වලට නෑකම් කියයි. ඉන් සමහරක් ස්ලාවොනික් භාෂා නොවේ.
[සිරිලික් සහ ග්ලැගලිඩික් අක්ෂර]
[31වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
බෝල්ටික් මුහුද
(පෝලන්තය)
බොහීමියාව (චෙචියා)
මොරේවියාව (නැ. චෙචියා, බ. ස්ලොවේකියාව, බ. හංගේරියාව)
නීට්‍රා
නැඟෙනහිර ෆ්‍රැන්ක් රාජ්‍යය (ජර්මනිය සහ ඔස්ට්‍රියාව)
ඉතාලිය
වැනිසිය
රෝමය
මධ්‍යධරණී මුහුද
බල්ගේරියාව
ග්‍රීසිය
තෙසලොනිකාව
(ක්‍රිමියා)
කළු මුහුද
බිතිනියාව
කොන්ස්තන්තිනෝපල් (ඉස්තාන්බුල්)
[31වන පිටුවේ පින්තූරය]
සිරිලික් අකුරින් ලියන ලද 1581දී පළ වූ ස්ලාවොනික් බයිබලයක්
[හිමිකම් විස්තර]
බයිබලය: Narodna in univerzitetna knjiz̆nica-Slovenija-Ljubljana