Skip to content

පටුනට යන්න

ආත්මය කෙරෙහි සිත යොමු කරමින් ජීවත් වන්න!

ආත්මය කෙරෙහි සිත යොමු කරමින් ජීවත් වන්න!

ආත්මය කෙරෙහි සිත යොමු කරමින් ජීවත් වන්න!

‘ආත්මය කෙරෙහි සිත යොමු කිරීම ජීවනයට මඟ පාදයි.’—රෝම 8:6NW.

1, 2. බයිබලය “මාංසය” සහ “ආත්මය” අතර ගෙනහැර දක්වන පැහැදිලි වෙනස කුමක්ද?

 මාංසික ආශාවන් පිනවාගැනීම ගැන උදම් අනන සදාචාරය පිරිහුණු සමාජයක දෙවිගේ ප්‍රමිති රක්ෂා කරමින් සදාචාර සම්පන්න පුද්ගලයෙකු ලෙස ජීවත් වීම සුළු පටු අභියෝගයක් නොවේ. කෙසේවෙතත්, ශුද්ධ ලියවිලිවල “මාංසය” සහ “ආත්මය” අතර පැහැදිලි වෙනස්කමක් තිබෙන බව දක්වා ඇති අතර, පව්කාර මාංසයේ ආශාවන් මගින් පාලනය වීමට ඉඩහැරීමෙන් යමෙකු අද්දකින දරුණු ප්‍රතිවිපාක මෙන්ම දෙවිගේ ශුද්ධාත්මයේ බලපෑමට යටත් වීමෙන් අද්දකින ආශීර්වාදද පැහැදිලි කර තිබේ.

2 මීට උදාහරණයක් වශයෙන් යේසුස් පැවසූ මෙම වදන් ගෙනහැර දැක්විය හැක. “ජීවත්කරන්නේ ආත්මයය; මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වෙයි.” (යොහන් 6:63) ප්‍රේරිත පාවුල් ගලාතිවරුන්ට මෙසේ ලීවේය. “මාංසය [ආත්මයට] විරුද්ධවද [ආත්මය] මාංසයට විරුද්ධවද ආශාකරයි. නුඹලා කැමතිවන දේ නොකරන ලෙස මොව්හු එකිනෙකාට විරුද්ධවෙති.” (ගලාති 5:17) පාවුල් තවදුරටත් මෙසේ පැවසුවේය. “තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපාගන්නේය; [ආත්මය] සඳහා වපුරන්නා [ආත්මයෙන්] සදාකාල ජීවනය කපාගන්නේය.”—ගලාති 6:8.

3. වැරදි දේවල් කිරීමට තිබෙන නැඹුරුවාවට වහල් නොවී සිටීමට අවශ්‍ය වන්නේ කුමක්ද?

3 අපවිත්‍ර “මාංසික තෘෂ්ණා” හා අපේ පව්කාර මාංසය මගින් ඇති කරන විනාශකාරි බලපෑම් මුලිනුපුටා දැමීමට දෙවිගේ ශුද්ධාත්මයට නොහොත් ඔහුගේ ක්‍රියාකාරික බලයට හැක. (1 පේතෘස් 2:11) “මාංසය කෙරෙහි සිත යොමු කිරීම මරණයට මඟ පාදයි. එහෙත් ආත්මය කෙරෙහි සිත යොමු කිරීම ජීවනයට හා සමාදානයට මඟ පාදයි” කියා පාවුල් ලීවේය. එයින් පැහැදිලි වන්නේ වැරදි දේවල් කිරීමට තිබෙන නැඹුරුවාවට වහල් නොවී සිටීමට දෙවිගේ ආත්මයේ උපකාරය අත්‍යවශ්‍ය වන බවයි. (රෝම 8:6) ආත්මය කෙරෙහි සිත යොමු කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

“ආත්මය කෙරෙහි සිත යොමු කිරීම”

4. “ආත්මය කෙරෙහි සිත යොමු කිරීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

4 පාවුල් “ආත්මය කෙරෙහි සිත යොමු කිරීම” ගැන සඳහන් කිරීමේදී යොදාගත් ග්‍රීක් වචනයෙන් “සිතන ආකාරය, මානසික නැඹුරුවාව, . . . ඉලක්කය, අභිලාෂය හා ප්‍රයත්නය” යනාදිය අදහස් වේ. එම ග්‍රීක් වචනයේ ක්‍රියා පදයෙන් “සිතීම හා යම් රටාවකට අනුව මනස යොමු කිරීම” අදහස් වේ. මේ අනුව ආත්මය කෙරෙහි සිත යොමු කිරීම යන්නෙන් අදහස් වන්නේ යෙහෝවාගේ ක්‍රියාකාරික බලය මගින් පාලනය වීමයි. එහි බලපෑමට යටත් වීමයි. අප කැමැත්තෙන්ම අපේ සිතුවිලි, නැඹුරුවාවන් හා අභිලාෂයන් දෙවිගේ ශුද්ධාත්මය මගින් පාලනය වීමට ඉඩහැරීමද එයින් අදහස් කෙරේ.

5. අප ශුද්ධාත්මයේ බලපෑමට යටත් විය යුත්තේ කොතෙක් දුරකටද?

5 පාවුල් ‘ආත්මයේ දාසයන්’ වීම ගැන කතා කළ අවස්ථාවේදී, අප ශුද්ධාත්මයේ බලපෑමට කොතෙක් දුරට යටත් විය යුතුද යන්න ගැන අවධාරණය කළේය. (රෝම 7:6NW) ක්‍රිස්තියානීන් යේසුස්ගේ මිදීමේ මිල පූජාව කෙරෙහි ඇදහිල්ල තබන නිසා පාපයේ ආධිපත්‍යයෙන් නිදහස් වී ඇත. මේ අනුව, ඔවුන් කලින් දාසයන් මෙන් සිටි තත්වය සම්බන්ධයෙන් “මිය ගොස් [NW]” තිබේ. (රෝම 6:2, 11) එලෙස සංකේතාත්මක ලෙස මිය ගොස් සිටින අය තවමත් ජීවත් වෙමින් සිටිති. ඔවුහු දැන් “ධර්මිෂ්ඨකමේ දාසයන්” ලෙස ක්‍රිස්තුස්ව අනුගමනය කළ හැකි තත්වයක සිටිති.—රෝම 6:18-20.

කැපීපෙනෙන වෙනසක්

6. “ධර්මිෂ්ඨකමේ දාසයන්” බවට පත් වන අය තුළ සිදු වන්නේ කිනම් වෙනසක්ද?

6 ‘පාපයේ දාසයන්ව’ සිටි අය දෙවිට සේවය කිරීම සඳහා “ධර්මිෂ්ඨකමේ දාසයන්” බවට පත්වීමේදී සිදු වන වෙනස කැපීපෙනෙනසුලුය. එවන් වෙනසක් සිදු කළ සමහරුන් ගැන පාවුල් මෙසේ ලීවේය. “ස්වාමීවූ යේසුස් [ක්‍රිස්තුස්ගේ] නාමයෙන්ද අපගේ [දෙවිගේ ආත්මය] තුළද නුඹලා සෝදනු ලැබුවහුය, ශුද්ධකරනු ලැබුවහුය, ධර්මිෂ්ඨකරනු ලැබුවහුය.”—රෝම 6:17, 18; 1 කොරින්ති 6:11.

7. යෙහෝවා දේවල් සලකන ආකාරයට අපත් දේවල් සැලකීම වැදගත් වන්නේ මන්ද?

7 අප තුළ එවැනි කැපීපෙනෙන වෙනසක් සිදු කරගැනීම සඳහා මුලින්ම අප යෙහෝවා දේවල් දෙස බලන ආකාරය ඉගෙනගත යුතුයි. සියවස් ගණනාවකට පෙර ගීතිකාකාර දාවිත් මෙසේ මහත් උනන්දුවෙන් දෙවිට කන්නලව් කළේය. “[යෙහෝවා,] ඔබගේ මාර්ග මට දැක්වුවමැනව; . . . ඔබගේ සැබෑකමෙහි මා හසුරුවමින් මට ඉගැන්නුව මැනව.” (ගීතාවලිය 25:4, 5) යෙහෝවා දාවිත්ට සවන් දුන්නේය. අදදින සිටින ඔහුගේ සේවකයන් විසින්ද කරනු ලබන එවන් යාච්ඤාවලට උත්තර දීමට ඔහුට පුළුවන. දෙවිගේ මාර්ග හා ඔහු ලබා දෙන සත්‍යය පවිත්‍රය, එමෙන්ම ශුද්ධය. එනිසා අපවිත්‍ර මාංසික ආශාවන් මගින් අපව පරීක්ෂාවට පොලඹවනු ලබන විට, දෙවිගේ මාර්ග ගැන මෙනෙහි කිරීම අපට ඉමහත් උපකාරයක් වනු ඇත.

දෙවිගේ වචනය මගින් ඉටු කෙරෙන අතිවැදගත් කාර්යය

8. අප බයිබලය අධ්‍යයනය කළ යුත්තේ මන්ද?

8 දෙවිගේ වචනය වන බයිබලය ඔහුගේ ආත්මයේ ආනුභාවයෙන් ලියා තිබේ. මේ නිසා ඔහුගේ ආත්මය අප තුළ ක්‍රියාත්මක වීමට සැලැස්විය හැකි වැදගත් මාර්ගයක් වන්නේ හැකි නම් දිනපතාම බයිබලය කියවීම හා අධ්‍යයනය කිරීමයි. (1 කොරින්ති 2:10, 11; එපීස 5:19) බයිබල් සත්‍යයන් හා ප්‍රතිපත්ති අපේ මනස් හා හදවත්වල පුරවාගෙන සිටීම මගින් අපේ ආත්මිකත්වයට එල්ල වන ප්‍රහාර හමුවෙහි නොසැලී සිටීමට හැකි වේ. නරක දෙයක් කිරීමට අප තුළ පෙලඹීමක් ඇති වන විට, ශුද්ධ ලියවිල්ලේ සඳහන් සිහිගැන්වීම් හා ප්‍රතිපත්ති අපට මතක් කර දීමට දෙවිගේ ආත්මයට හැක. මෙය දෙවිගේ කැමැත්තට එකඟව සිටීමට අප ගෙන තිබෙන අධිෂ්ඨානය ශක්තිමත්ව තබාගැනීමට මහත් රුකුලකි. (ගීතාවලිය 119:1, 2, 99; යොහන් 14:26) මේ නිසා වැරදි දේවල් කිරීමට පෙලඹෙන ආකාරයෙන් අපව මුළා කිරීමට කිසිවෙකුට නොහැක.—2 කොරින්ති 11:3.

9. යෙහෝවා සමඟ තිබෙන අපේ සබඳතාව රැකගැනීමට අප ගෙන තිබෙන අධිෂ්ඨානය ශක්තිමත්ව තබාගැනීමට බයිබල් අධ්‍යයනය උපකාරවත් වන්නේ කෙසේද?

9 බයිබලය මත පදනම් ප්‍රකාශනවල උපකාරය ඇතුව අප උනන්දුවෙන් ශුද්ධ ලියවිල්ල දිගටම අධ්‍යයනය කරන විට දෙවිගේ ආත්මය අපේ මනස් හා හදවත් කෙරෙහි බලපැවැත්වීමට පටන්ගනියි. මෙහි ප්‍රතිඵලයක් හැටියට යෙහෝවාගේ ප්‍රමිති කෙරෙහි අපට තිබෙන ගෞරවය තව තවත් ගැඹුරු වේ. දෙවි සමඟ තිබෙන අපේ සබඳතාව අපේ ජීවිතයේ වඩාත්ම වැදගත් දෙය බවට පත් වේ. ඒ නිසා, වැරදි දෙයක් කිරීමට පොලඹවන පරීක්ෂාවකදී එයින් මොනතරම් වින්දනයක් ලැබිය හැකිද යන්න ගැන සිතීමෙන් අපි වැළකී සිටින්නෙමු. අප මුලින්ම සිතන්නේ යෙහෝවා කෙරෙහි තිබෙන අපේ පක්ෂපාතකම රැකගැනීම ගැනය. දෙවි සමඟ තිබෙන අපේ සබඳතාව අප ඉතා ගැඹුරින් අගය කරනවා නම්, එය පලුදු කිරීමට හෝ බිඳදැමීමට මඟ පාදන ඕනෑම නැඹුරුවාවකට එරෙහිව සටන් කිරීමට අප පෙලඹෙනු ඇත.

“ඔබගේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේම කරම්ද!”

10. ආත්මය කෙරෙහි සිත යොමු කර තබාගැනීම සඳහා යෙහෝවාගේ ව්‍යවස්ථාවට කීකරු වීම අවශ්‍ය වන්නේ මන්ද?

10 ආත්මය කෙරෙහි සිත යොමු කර තබාගැනීමට නම් දෙවිගේ වචනය පිළිබඳ දැනුම පමණක් ප්‍රමාණවත් නොවේ. සාලමොන් රජුට යෙහෝවාගේ ප්‍රමිති ගැන හොඳ අවබෝධයක් තිබුණත් ඔහුගේ ජීවිතයේ අවසාන භාගයේදී එම ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමට ඔහු අපොහොසත් විය. (1 රාජාවලිය 4:29, 30; 11:1-6) අප ආත්මික මේරූ පුද්ගලයන් නම් බයිබලයෙහි සඳහන් දේවල් දැන සිටිනවා පමණක් නොව, නමුත් දෙවිගේ ව්‍යවස්ථාවට මුළු හදින්ම කීකරු වීමේ අවශ්‍යතාවද අපි තේරුම්ගන්නෙමු. ඉන් අදහස් වන්නේ අප යෙහෝවා දී තිබෙන ප්‍රමිති පරෙස්සමින් පරීක්ෂා කරමින් ඒවා ජීවිතයට අදාළ කරගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරිය යුතු බවයි. එවන් ආකල්පයක් තිබූ ගීතිකාකරු මෙසේ ගායනා කළේය. “ඔබගේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේමකරම්ද! දවස මුළුල්ලේම ඒක මාගේ භාවනාවය.” (ගීතාවලිය 119:97) දෙවිගේ ව්‍යවස්ථාවට අනුකූලව අපේ ජීවිත හැඩගස්වා ගැනීමට අප තුළ අවංක ආශාවක් තිබෙනවා නම්, අපි දෙවිගේ ගුණාංග විදහාපෙන්වීමට වෑයම් කරන්නෙමු. (එපීස 5:1, 2) වැරදි ක්‍රියාවලින් මිදීමට ක්‍රමයක් නැතැයි සිතමින් ඒවාට ඇදී යනවා වෙනුවට අපි ආත්මයේ ඵල විදහා පෙන්වන්නෙමු. එමෙන්ම යෙහෝවාව සතුටු කිරීමට තිබෙන ආශාව, පිළිකුල්සහගත ‘මාංසයේ ක්‍රියාවලට’ හවුල් වීමෙන්ද අපව වළක්වයි.—ගලාති 5:16, 19-23; ගීතාවලිය 15:1, 2.

11. වේශ්‍යාකම තහනම් කරමින් යෙහෝවා නීතියක් පනවා තිබෙන්නේ අපේම ආරක්ෂාව සඳහා බව ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?

11 යෙහෝවාගේ ව්‍යවස්ථාව සඳහා ගැඹුරු ගෞරවයක් හා ප්‍රේමයක් වර්ධනය කරගැනීමට අපට හැක්කේ කෙසේද? මෙය කළ හැකි එක් ක්‍රමයක් වන්නේ යෙහෝවාගේ ව්‍යවස්ථාවට කීකරු වීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන පරෙස්සමින් සිතා බැලීමයි. ලිංගික සබඳතා විවාහක කලත්‍රයන්ට පමණක් සීමා කරමින් වේශ්‍යාකම හා කාමමිථ්‍යාචාරය තහනම් කරන දෙවිගේ නීතිය සැලකිල්ලට ගන්න. (හෙබ්‍රෙව් 13:4) මෙම නීතියට කීකරු වීමෙන් අපට යම් යහපත් දෙයක් අහිමි වෙනවාද? අපේ ප්‍රේමනීය ස්වර්ගික පියා අපට ප්‍රයෝජන ගෙන දෙන යම් දෙයක් අපගෙන් වළක්වන නීතියක් පනවයිද? ඇත්තෙන්ම නැහැ! යෙහෝවා දී තිබෙන සදාචාරාත්මක ප්‍රමිතිවලට අනුව ජීවත් නොවන බොහෝදෙනෙකු අද්දකින දේවල් ගැන සිතා බලන්න. ඔවුන් අනවශ්‍ය ගැබ්ගැනීම් නිසා ගබ්සා කරගෙන තිබේ. එසේත් නැත්නම් විවාහ වීමට තරම් සුදුසු වයසක නොසිටියත් විවාහ වී තිබෙන අතර, ඔවුන්ගේ විවාහ ජීවිතයේ ප්‍රීතිය දැකිය නොහැක. බොහෝදෙනෙකුට ස්වාමිපුරුෂයෙකු හෝ භාර්යාවක නොමැතිව දරුවන් ඇති දැඩි කිරීමට සිදු වී තිබේ. එපමණක්ද නොව, වේශ්‍යාකම් කරන අය ලිංගිකව බෝවන රෝගවලට නිරාවරණය වීමේ අවදානමක සිටිති. (1 කොරින්ති 6:18) යෙහෝවාට සේවය කරන කෙනෙකු වේශ්‍යාකම් කළොත්, ඔහු හෝ ඇය මානසිකව දැඩි වේදනාවක් අද්දැකිය හැක. තමන්ගේ හෘදය සාක්ෂිය වද දෙන නිසා ඇති වන වේදනාවන් යටපත් කරගැනීමට දරන වෑයම හේතුවෙන් එම පුද්ගලයාට රාත්‍රියේ නින්ද නොයයි. ඔහු නිතරම සිත් වේදනාවෙන් සිටියි. (ගීතාවලිය 32:3, 4; 51:3) එසේනම්, වේශ්‍යාකම තහනම් කරන නීතියක් යෙහෝවා පනවා තිබෙන්නේ අපගේම ආරක්ෂාව සඳහා බව පැහැදිලි නැද්ද? ඔව්, සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීමෙන් ප්‍රයෝජන අත් කරගත හැකි බව නිසැකයි!

යෙහෝවාගේ උපකාරය ඉල්ලා යාච්ඤා කරන්න

12, 13. වැරදි ආශාවන් අපව ආක්‍රමණය කරන විට යාච්ඤා කිරීම සුදුසු වන්නේ මන්ද?

12 ආත්මය කෙරෙහි සිත යොමු කර තබාගැනීමට හෘදයාංගම යාච්ඤාවද අවශ්‍ය වේ. දෙවිගේ ආත්මයේ උපකාරය ඉල්ලා යාච්ඤා කිරීම සුදුසුයි. මන්ද යේසුස් මෙසේ පැවසුවේය. ‘නපුරු වූ නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දන්නේ නම්, ඊට කොපමණ වැඩියෙන් නුඹලාගේ ස්වර්ගීය පියා තමන්ගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය නොදෙන්නේද!’ (ලූක් 11:13) අපේ දුර්වලකම්වලින් ජයගැනීම සඳහා අප ආත්මය මත රඳා සිටින බව යාච්ඤාවලදී අපට පැවසිය හැක. (රෝම 8:26, 27) වැරදි ආශාවන් හා ආකල්ප අප කෙරෙහි බලපෑම් කරන බව අපට වැටහෙනවා නම් හෝ ප්‍රේමනීය සහෝදරයෙකු එවන් දෙයක් අප තුළ තිබෙන බව අපේ අවධානයට යොමු කරනවා නම්, අපේ යාච්ඤාවලදී මේ ගැටලුව ගැන විශේෂයෙන් සඳහන් කරමින්, එයින් ජයගැනීමට උපකාර කරන්න කියා දෙවිගෙන් ඉල්ලා සිටීම නැණවත් දෙයකි.

13 ධර්මිෂ්ඨ, නිර්මල, යහපත් හා ප්‍රශංසනීය දේවල් කෙරෙහි සිත යොමු කර තබාගැනීම සඳහා අපට උපකාර කරන්න යෙහෝවාට පුළුවන. අවංකව ඔහුට කන්නලව් කිරීම ඉතාමත් යෝග්‍ය වේ. මෙසේ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ‘දෙවිගේ සමාදානය’ අපේ හදවත් හා කල්පනා ශක්තිය ආරක්ෂා කරනවා ඇත. (පිලිප්පි 4:6-8) එමනිසා අපි “ධර්මිෂ්ඨකමද භක්තිවන්තකමද ඇදහිල්ලද ප්‍රේමයද ස්ථිරකමද මොළොක්ගුණයද [ලුහුබැඳීමට, NW]” උපකාරය ඉල්ලා යෙහෝවාට යාච්ඤා කරමු. (1 තිමෝති 6:11-14) අපේ ස්වර්ගික පියාගේ උපකාරය ලැබෙන නිසා, අප අද්දකින කාන්සාවන් හා පරීක්ෂාවන් අපට පාලනය කරගත නොහැකි තත්වයකට පත් නොවේ. එමෙන්ම දෙවි දෙන මනසේ සාමයද අපට අද්දැකීමට හැකි වේ.

ආත්මයට දුක් නොදෙන්න

14. දෙවිගේ ආත්මය සදාචාරාත්මකව පවිත්‍රව සිටීමට උපකාරවත් වන බලයක් වන්නේ මන්ද?

14 යෙහෝවාගේ මේරූ සේවකයෝ පාවුල්ගේ මෙම උපදේශය පෞද්ගලිකව අදාළ කරගනිති. ‘ආත්මය නොනිවන්න.’ (1 තෙසලෝනික 5:19) දෙවිගේ ආත්මය ‘ශුද්ධකමේ ආත්මයක්’ නිසා එය පවිත්‍රය, නිර්මලය, එමෙන්ම පරිශුද්ධය. (රෝම 1:5) එම ආත්මය අප තුළ ක්‍රියාත්මක වන විට ශුද්ධව හා පවිත්‍රව සිටීමට එය අප මත බලපෑමක් ඇති කරයි. දෙවිට කීකරු වන අය හැටියට සදාචාරාත්මකව පවිත්‍රව සිටීමට එය අපට උපකාරවත් වේ. (1 පේතෘස් 1:2) ඕනෑම අපවිත්‍ර ක්‍රියාවක් කිරීමෙන් අදහස් කරන්නේ එම ආත්මය නොසලකා හැර ඇති බවයි. එසේ කිරීමෙන් අත් වන ප්‍රතිඵල විනාශකාරි විය හැක. එසේ වන්නේ කෙසේද?

15, 16. (අ) අප විසින්දෙවිගේ ආත්මය දුකට පත් කළ හැක්කේ කෙසේද? (ආ) යෙහෝවාගේ ආත්මයට දුක් දීමෙන් අපට වැළකිය හැක්කේ කෙසේද?

15 පාවුල් ලියූ මේ වදන් සැලකිල්ලට ගන්න. ‘දෙවිගේ ශුද්ධාත්මයට දුක් නොදෙන්න; මක්නිසාද එමගින් නුඹලා මිදීමේ දවසට මුද්‍රා කරනු ලැබුවහුය.’ (එපීස 4:30) ඇදහිලිවන්ත ආලේප ලත් ක්‍රිස්තියානීන් භුක්ති විඳින අමරණීය ස්වර්ගික ජීවිතයට මුද්‍රාවක් නොහොත් ‘අත්තිකාරමක්’ ලෙස යෙහෝවාගේ ආත්මය කටයුතු කරයි. (2 කොරින්ති 1:22; 1 කොරින්ති 15:50-57; එළිදරව් 2:10) ආලේප ලත් ක්‍රිස්තියානීන්ටත් භූමික බලාපොරොත්තුවක් තිබෙන ඔවුන්ගේ සහයකයන්ටත් ඇදහිලිවන්ත ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සැපයීමටත් වැරදිවලින් වැළකී සිටින්න උපකාර කරන්නත් දෙවිගේ ආත්මයට හැක.

16 බොරු කීමට, සොරකම් කිරීමට, නින්දාසහගත ලෙස හැසිරීමට හා එවැනි වෙනත් දේවල් කිරීමට ඇති වන නැඹුරුවාවන් ගැන ප්‍රේරිත පාවුල් අනතුරු ඇඟෙව්වේය. එවන් දේවල්වලට අප ඇදී යනවා නම් අපි දෙවිගේ වචනයේ සඳහන් ආත්මයේ ආනුභාවය යටතේ ලියා තිබෙන උපදෙස්වලට පටහැනිව ක්‍රියා කරන්නෙමු. (එපීස 4:17-29; 5:1-5) එසේ කිරීමෙන් අපි යම් ප්‍රමාණයකට දෙවිගේ ආත්මයට දුක් දෙන්නෙමු. එවන් දෙයක් අප අතින් සිදු වනවා දැකීමට අපගෙන් කිසිවෙක් කැමති නැති බව නිසැකය. අපගෙන් කවුරුන් හෝ වේවා යෙහෝවාගේ වචනයෙහි සඳහන් යම් උපදේශයක් නොසලකා හරිනවා නම්, හිතාමතාම පව් කිරීමට මඟ පාදන ආකල්ප හෝ ගතිලක්ෂණ අප තුළ වර්ධනය වීමට පටන්ගත හැක. මෙහි ප්‍රතිඵලය වන්නේ දෙවිගේ අනුමැතිය සම්පූර්ණයෙන්ම අහිමි වීමයි. (හෙබ්‍රෙව් 6:4-6) අප දැන් යම් පාපයක් නොකරනවා විය හැකියි. එහෙත්, අප ටිකෙන් ටික ඒ දෙසට ඇදී යා හැක. ශුද්ධාත්මයේ මඟ පෙන්වීමට විරුද්ධව කටයුතු කිරීමෙන් සිදු වන්නේ අප එය දුකට පත් කිරීමකි. මෙය ශුද්ධාත්මයේ ප්‍රභවය වන යෙහෝවාට විරුද්ධ වීමක් සහ ඔහුව දුකට පත් කිරීමක්ද වේ. තමන් අතින් එවන් දෙයක් සිදු වනවා දකින්න දෙවිට ප්‍රේම කරන කිසිවෙක් කැමති නැත. යෙහෝවාගේ ආත්මයට දුක් නොදී, ආත්මයට සිත යොමු කිරීමෙන් හා ඔහුගේ ශුද්ධ නාමය ගෞරවයට පත් කිරීම සඳහා උපකාර ඉල්ලා යෙහෝවාට යාච්ඤා කිරීමෙන් අපට යහපත් ප්‍රතිඵල අත් කරගත හැක.

දිගටම ආත්මය කෙරෙහි සිත යොමු කරන්න

17. අපට තබාගත හැකි ආත්මික ඉලක්ක සමහරක් මොනවාද? එම ඉලක්ක අත් කරගැනීමට වෑයම් කිරීම නැණවත් දෙයක් වන්නේ මන්ද?

17 ආත්මය කෙරෙහි දිගටම සිත යොමු කර තබාගත හැකි එක් කදිම මාර්ගයක් නම් ආත්මික ඉලක්ක තබාගෙන ඒවා අත් කරගැනීමට වෑයම් කිරීමයි. අපේ අවශ්‍යතාවන්ට හා තත්වයන්ට අනුව අපේ අධ්‍යයන පුරුදු දියුණු කරගැනීම, දේශනා සේවයේ වැඩියෙන් හවුල් වීම, පුරෝගාමී සේවය, බෙතෙල් සේවය හෝ මිෂනාරි සේවය වැනි විශේෂ සේවා වරප්‍රසාදයක් සඳහා සුදුසුකම් වර්ධනය කරගැනීම අපේ ඉලක්කවලට ඇතුළත් කරගත හැක. මෙසේ කිරීමෙන් අපට ආත්මික දේවල් කෙරෙහි මනස යොමු කර තබාගැනීමටද අප තුළ තිබෙන දුර්වලකම්වලින් ජයගැනීමටද, වර්තමාන ක්‍රමයේ බොහෝදෙනෙකු තුළ දැකිය හැකි ද්‍රව්‍යවාදී ඉලක්ක හා ශුද්ධ ලියවිල්ල හෙළා දකින ආශාවන් පසුපස යෑමෙන් වැළකීමටද හැකි වේ. යේසුස් පැවසූ වදන් සැලකිල්ලට ගැනීමෙන් පැහැදිලි වන්නේ එසේ ආත්මික ඉලක්ක තබාගෙන කටයුතු කිරීම නැණවත් ක්‍රියාමාර්ගයක් බවයි. “පොළොවෙහි නුඹලාට වස්තු රැස්කර නොතබන්න; එහිදී කාවෝද මළකඩද ඒවා නාස්තිකරති, සොරුද උමංකැන සොරාගනිති. නුමුත් ස්වර්ගයෙහි නුඹලාට වස්තු රැස්කර තබා ගන්න; එහිදී කාවෝවත් මලකඩවත් ඒවා නාස්ති නොකරති, සොරු උමංකැන සොරා නොගනිති. මක්නිසාද නුඹේ වස්තුව යම් තැනෙක්හිද නුඹේ සිතත් එතැන්හිම වන්නේය.”—මතෙව් 6:19-21.

18. මේ අන්තිම දවස්වලදී ආත්මය කෙරෙහි සිත යොමු කර තබාගැනීම වැදගත් වන්නේ මන්ද?

18 ඇත්තෙන්ම මේ “අන්තිම දවස්වලදී” ගත හැකි නැණවත්ම ක්‍රියාමාර්ගය වන්නේ ආත්මය කෙරෙහි සිත යොමු කර තබාගනිමින් ලෞකික ආශාවන් මර්දනය කිරීමයි. (2 තිමෝති 3:1-5) මන්ද, “ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් [දෙවිගේ] කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.” (1 යොහන් 2:15-17) උදාහරණයක් හැටියට යෞවනයෙකු පූර්ණ කාලීන සේවය නමැති ඉලක්කය අත් කරගැනීමට වෑයම් කරනවා නම්, නව යොවුන් වියට හෝ තරුණ වියට පා තබන අවධියේදී අද්දකින අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට එය ඔහුට මහත් පිටිවහලක් විය හැක. මෙවන් කෙනෙකු පැහැදිලි ඉලක්කයක් ඇතුව යෙහෝවාට සේවය කරන නිසා ප්‍රතිපත්ති කඩ කිරීමට දැඩි බලපෑමක් එල්ල වුවත්, ඒවාට සාර්ථකව මුහුණ දීමට එවන් කෙනෙකුට හැක. එවන් පුද්ගලයෙකු ද්‍රව්‍යමය දේවල් ලුහුබැඳීම සඳහා හෝ යම් පාපයක හවුල් වීමෙන් වින්දනයක් ලැබීම සඳහා තමන්ගේ ආත්මික ඉලක්ක අත්හැර දැමීම සලකන්නේ මහත් අනුවණකමක් ලෙසය. ආත්මික මනසක් තිබූ මෝසෙස් “කලකට පාපයේ සැප භුක්තිවිඳීමට වඩා [දෙවිගේ] සෙනඟ සමඟ දුක්විඳීම [තෝරාගත්]” බව මතක තබාගන්න. (හෙබ්‍රෙව් 11:24, 26) තරුණ වුවත් මහලු වුවත් අප සැමට පව්කාර මාංසය කෙරෙහි නොව ආත්මය කෙරෙහි දිගටම සිත යොමු කර තබාගැනීමෙන් මෝසෙස් හා සමාන තේරීමක් කළ හැක.

19. දිගටම ආත්මය කෙරෙහි සිත යොමු කිරීමෙන් අපට අත් කරගත හැකි ප්‍රයෝජන මොනවාද?

19 “මාංසය කෙරෙහි සිත යොමු කිරීම දෙවි සමඟ සතුරුකමට මඟ පාදයි.” එහෙත් “ආත්මය කෙරෙහි සිත යොමු කිරීම ජීවනයට හා සමාදානයට මඟ පාදයි.” (රෝම 8:6, 7NW) අප දිගටම ආත්මය කෙරෙහි සිත යොමු කරනවා නම් කියා නිම කළ නොහැකි සාමයක් අපට භුක්ති විඳීමට පුළුවන. අපේ හදවත් හා මනස් අපේ පව්කාර නැඹුරුවාවන්ගේ බලපෑම්වලින් ආරක්ෂා කරගත හැක. වැරදි දේවල් කිරීමට ඇති වන පරීක්ෂාවලට එරෙහිව සිටීමට අපට හැකි වනු ඇත. එමෙන්ම මාංසය සහ ආත්මය අතර පවතින නිරන්තර සටනට සාර්ථකව මුහුණ දීම සඳහා දෙවිගේ උපකාරය අපට ලැබෙනු ඇත.

20. මාංසය සහ ආත්මය අතර පවතින සටනින් ජයගත හැකි බවට අපට නිසැක විය හැක්කේ මන්ද?

20 දිගටම ආත්මය කෙරෙහි සිත යොමු කර තබාගැනීමෙන් අපට ජීවිතයේ මෙන්ම ශුද්ධාත්මයේ උල්පත වන යෙහෝවා සමඟ ඉතා සමීප සබඳතාවක් පවත්වාගෙන යා හැක. (ගීතාවලිය 36:9; 51:11) යෙහෝවා දෙවි සමඟ තිබෙන අපේ සබඳතාව බිඳ හෙළීම සඳහා සාතන් සහ ඔහුගේ නියෝජිතයෝ ඔවුන්ට හැකි සෑම දෙයක්ම කරමින් සිටිති. අපේ මනස් පාලනය කිරීම තමන්ගේ අතට ගත හැකි නම්, එය දෙවි හා අප අතර සතුරුකමක් ඇති කිරීමට හා මරණයට මඟ පෑදීමට හේතු වන බව ඔවුහු දැන සිටිති. එනිසා ඔවුහු එය කිරීම සඳහා දිගටම වෑයම් කරති. එහෙත් මාංසය සහ ආත්මය අතර පවතින මේ සටනින් අපට ජයගත හැක. පාවුල් එයින් ජයගත්තේය. ඔහු කළ මෙම සටන ගැන ලියූ අවස්ථාවේදී මුලින්ම ඔහු මෙසේ ඇසුවේය. “මේ මරණයේ ශරීරයෙන් මා මුදන්නේ කවුද?” ඉන් අනතුරුව එයින් මිදෙන්න හැකි බව පෙන්වමින් ඔහු මෙසේ හැඟීමෙන් යුක්තව පැවසුවේය. ‘අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් කරණකොටගෙන දෙවිට ස්තුති කරමි.’ (රෝම 7:21-25) මිනිස් දුර්වලකම්වලින් ජයගැනීම සඳහා අවශ්‍ය දේවල් සැපයීම ගැන අපටත් ක්‍රිස්තුස් කරණකොටගෙන දෙවිට ස්තුති කළ හැක. එමෙන්ම සදාකල් ජීවත් වීමේ මවිතකර අපේක්ෂාව ඇතුව ආත්මය කෙරෙහි සිත යොමු කර තබාගැනීමට අපට උපකාර කිරීම ගැනද දෙවිට ස්තුතිවන්ත විය හැක.—රෝම 6:23.

ඔබට මතකද?

• ආත්මය කෙරෙහි සිත යොමු කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

• යෙහෝවාගේ ආත්මය අප තුළ ක්‍රියාත්මක වීමට සැලැස්විය හැක්කේ කෙසේද?

• පාපයට එරෙහිව අප කරන සටනින් ජයගැනීම සඳහා බයිබලය අධ්‍යයනය කිරීම, යෙහෝවාගේ ව්‍යවස්ථාවට කීකරු වීම හා යාච්ඤා කිරීම අත්‍යවශ්‍ය වීමට හේතු පැහැදිලි කරන්න.

• ජීවනයට යන මඟෙහි දිගටම රැඳී සිටීමට ආත්මික ඉලක්ක තබාගැනීම අපට උපකාරවත් විය හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ පින්තූරය]

අපේ ආත්මිකත්වයට එල්ල වන ප්‍රහාරවලින් ආරක්ෂා වීමට බයිබල් අධ්‍යයනය අපට උපකාරවත් වේ

[17වන පිටුවේ පින්තූරය]

පව්කාර ආශාවන්වලට යටත් නොවී සිටීම සඳහා යෙහෝවාගේ උපකාරය ඉල්ලා යාච්ඤා කිරීම සුදුසුයි

[18වන පිටුවේ පින්තූර]

ආත්මය කෙරෙහි සිත යොමු කර තබාගැනීමට ආත්මික ඉලක්ක උපකාරවත් වේ