Skip to content

පටුනට යන්න

‘ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයා සන්තෝෂවත්ය’

‘ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයා සන්තෝෂවත්ය’

‘ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයා සන්තෝෂවත්ය’

ඔහු කවියෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක් සහ රජෙක්. ඔහුගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 200 ඉක්මවා ගියේය. පොළොවේ රජකම් කරමින් සිටි රජවරුන් අතරින් ධනවත්ම රජ වූයේ ඔහුයි. එමෙන්ම ඔහු සතු වූ ප්‍රඥාවද සුප්‍රසිද්ධ විය. ඔහුව බැහැදැකීමට පැමිණි රැජිනක් පුදුමයට පත් වී, “සැබවින් අර්ධයක්වත් මට නොකියන ලද්දේය. ඔබගේ ප්‍රඥාවත් යසසත් අභිවෘද්ධියත් මා ඇසූ කීර්තියට වඩා මහත්ව තිබේ” කියා පැවසීය. (1 රාජාවලිය 10:4-9) ඒ පුරාණ ඉශ්‍රායෙලයේ රජ වූ සාලමොන් සතුව තිබූ යසස හා ප්‍රඥාව පිළිබඳ විස්තරයකි.

සාලමොන් ධනයෙනුත් ප්‍රඥාවෙනුත් නොඅඩුව ආශීර්වාද ලද්දෙකි. එමනිසා මේ දෙකින් වැදගත් දෙය කුමක්ද කියා තීරණය කිරීමට ඔහු නියම සුදුස්සෙකි. ඔහු ඒ ගැන මෙසේ තම අදහස් දැක්වීය. “ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයාද ඥානය ලබාගන්න මනුෂ්‍යයාද වාසනාවන්තයෝය [සන්තෝෂවත්ය, NW]. මක්නිසාද එහි ප්‍රයෝජනය රිදීවල ප්‍රයෝජනයටත් එහි ලාභය පිරිසිදු රනටත් වඩා හොඳය. ඈ රතුකැටවලට වඩා අනර්ඝය. නුඹේ සියලුම ප්‍රිය දේ ඈට සමානකළ නොහැක.”—හිතෝපදේශ 3:13-15.

නමුත් ප්‍රඥාව සොයාගන්නේ කොහෙන්ද? ධනයට වඩා ප්‍රඥාව වටිනාකමෙන් වැඩිවීමට හේතුව කුමක්ද? එය සතු සිත්ගන්නා ගුණාංග මොනවාද? යන ප්‍රශ්නවලට සාලමොන් විසින් රචිත හිතෝපදේශ අටවන පරිච්ඡේදය, ඉතා සිත්ගන්නාසුලු ආකාරයකින් පිළිතුරු සපයයි. එහි ප්‍රඥාව විස්තර කර ඇත්තේ කතා කිරීමට සහ ක්‍රියා කිරීමට හැකි පුද්ගලයෙකු ලෙසයි. එනම් ප්‍රඥාව පුද්ගලාරෝපණය කර තිබේ. එමෙන්ම ප්‍රඥාවම තමාගේ සිත්ගන්නාසුලුබව සහ වටිනාකම ගෙනහැර දක්වයි.

“ප්‍රඥාතොමෝ මොර නොගසන්නීද?”

අටවන පරිච්ඡේදය ආරම්භ වන්නේ ප්‍රශ්නාර්ථයක ස්වරුපයෙනි. “ප්‍රඥතොමෝ මොර නොගසන්නීද? ඥානයද [තේරුම්ගැනීමේ ශක්තියද, NW] ඇගේ හඬ නොනගින්නීද?” (අකුරු ඇල කළේ අපය.) a ඔව් අඳුරු ස්ථානවල සැඟවී, තනි වී සිටින අද්දැකීම් නැති තරුණයෙකුව මුළා කිරීමට කරන සල්ලාල ස්ත්‍රියකගේ කෙඳිරීම්වලට වෙනස්ව ප්‍රඥාව සහ ඥානය මහත් හඬින් මොර දෙයි. (හිතෝපදේශ 7:12) “ඈ මග අසල උස් තැන්වල මුදුනෙත් මංසන්ධිවලත් සිටින්නීය; නගරයට පැමිණෙන වාසල් ළඟත් පිවිසෙන දොරවලත් ඈ [ශබ්ද නගන්නීය].” (හිතෝපදේශ 8:1-3) ප්‍රඥාවේ බලවත් හඬ ප්‍රසිද්ධ ස්ථානවල පැහැදිලිව ඇසේ. එම හඬ දොරටු, හරස් පාරවල් හා නගරයට පිවිසෙන ස්ථාන අසල පහසුවෙන්ම ශ්‍රවණය කිරීමට හැකි අතර මිනිසුන්ට එයට ප්‍රතිචාරය දැක්වීමටද හැක.

දෙවිගේ අනුභාවය ලත් වචනය වන බයිබලය මාර්ගයෙන් පොළොව මත සිටින සෑම කෙනෙකුටම දේවප්‍රඥාව ලබාගත හැකිය යන කාරණය ප්‍රතික්ෂේප කළ හැක්කේ කාටද? “ඉතිහාසයේ මෙතෙක් වැඩියෙන්ම කියවා ඇති පොත බයිබලය” කියා ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා පවසයි. එය තවදුරටත් මෙසේද පවසයි. “වෙන කිසි පොතකට වඩා බයිබලයේ පිටපත් විශාල සංඛ්‍යාවක් බෙදාහැර තිබේ. ඒ වගේම බයිබලය වෙනත් කිසිම පොතකට වඩා වැඩි වාර ගණනක් සහ වැඩි භාෂා ගණනකට පරිවර්තනය කර තිබේ.” මුළු බයිබලයම හෝ එහි යම් කොටස් පමණක් භාෂා සහ උපභාෂා 2,100කට පමණ පරිවර්තනය කර තිබෙන නිසා මනුෂ්‍යවර්ගයාගෙන් සියයට 90කටත් වඩා වැඩි පිරිසකට තම මව් භාෂාවෙන්ම දෙවිගේ වචනයේ කොටසක් හෝ කියවීමට හැකියාව ලැබී තිබේ.

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ බයිබලයෙහි තිබෙන පණිවිඩය සෑම තැනකම ප්‍රසිද්ධියේ ප්‍රචාරය කරති. ඔවුහු රටවල් 235ක ක්‍රියාකාරි ලෙස දෙවිගේ රාජ්‍යය පිළිබඳව දේශනා කරන අතර දෙවිගේ වචනයේ අඩංගු සත්‍යය ජනයාට උගන්වති. බයිබලය මත පදනම් සඟරා වන මුරටැඹ සඟරාව භාෂා 140කින්ද, පිබිදෙව්! සඟරාව භාෂා 83කින්ද මුද්‍රණය කෙරේ. මේ එක් සඟරාවකින් පිටපත් මිලියන 20කටත් වඩා වැඩි සංඛ්‍යාවක් බෙදාහැරේ. ඇත්තෙන්ම ප්‍රඥාව ප්‍රසිද්ධ ස්ථානවල මොරගසමින් සිටිනවා කියා ඔබට සිතෙන්නේ නැද්ද?

“මනුෂ්‍ය පුත්‍රයන්ට මාගේ හඬ නඟමි”

පුද්ගලාරෝපණය කර ඇති ප්‍රඥාව මෙසේ පවසමින් තම කතාව ආරම්භ කරයි. “මනුෂ්‍යයෙනි, නුඹලාට අඬගසමි; මනුෂ්‍ය පුත්‍රයන්ට මාගේ හඬ පවත්වමි [නඟමි, NW]. අඥානයෙනි, ඥානය ලබාගන්න; මෝඩයෙනි, තේරුම් ඇති අය වෙන්න.”හිතෝපදේශ 8:4, 5.

ප්‍රඥාවේ හඬ ලෝක ව්‍යාප්තව ඇසෙයි. සියලු මනුෂ්‍යවර්ගයා සඳහා ආරාධනයක් ඉදිරිපත් කරමින් එය තම හඬ පතුරුවයි. අද්දැකීම් අඩු අයට ඥානය හෝ නුවණ ලබාගැනීමටත් මෝඩයන්ට තේරුම්ගැනීමේ හැකියාව ලබාගැනීමටත් එය ආරාධනා කරයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් බයිබලය සියලු මනුෂ්‍යවර්ගයා සඳහා ලියවී ඇති පොතක් කියා විශ්වාස කරන අතර තමන්ට මුණගැසෙන සෑම කෙනෙකුටම එහි අන්තර්ගතව ඇති ප්‍රඥාව සොයන ලෙස දිරිගන්වයි.

“මම සත්‍යය මිස අන් කිසිවක් නොකියමි”

ප්‍රඥාව මෙසේ අයදියි. “අසන්න, මම උදාර දේ පවසමි. මා මුවින් පවසන හැම දෙය ම සැබෑ ය. මම සත්‍යය මිස අන් කිසිවක් නොකියමි. දුෂ්ට කතා මට පිළිකුලකි. මා කියන කවර දේත් සාධාරණ ය, ඒවායෙහි ඇදකුද, හොරබොරු කිසිත් නැත.” ඔව්, ප්‍රඥාවේ ඉගැන්වීම් උසස්ය, අවංකය, සත්‍යවාදීය, ධර්මිෂ්ඨය. එහි කිසි ඇද කුදක් හොර බොරුවක් නැත. “නුවණැත්තන්ට ඒ සියල්ල සක්සුදක් සේ පැහැදිලි ය; දැනුම ඇත්තන්ට ඒවා හරි බව වැටහේ.”හිතෝපදේශ 8:6-9, නව අනුවාදය.

ඉතාමත් යෝග්‍ය ලෙස ප්‍රඥාව මෙසේ උනන්දු කරයි. “රිදීයට වඩා මාගේ ගුරුහරුකම් ද පෙරූ රනට වඩා ප්‍රඥාව ද පිළිගන්න. මන්ද, ප්‍රඥාව රතු කැටවලට වඩා අගනේ ය; ඊට සම කළ හැකි මිණිමුතු කිසිත් නැත.” (හිතෝපදේශ 8:10, 11, න. අ.) ධනයට වඩා ප්‍රඥාව වටිනාකමෙන් වැඩිවීමට හේතුව කුමක්ද?

‘රන්වලටත් වඩා මාගේ ඵලදාව හොඳය’

ප්‍රඥාවට සවන් යොමු කරන අයට එය පිරිනමන ත්‍යාගයන් රන්, රිදී හෝ රතු කැටවලටත් වඩා වටියි. මෙම ත්‍යාගයන් මොනවාද කියා ප්‍රඥාවම පැහැදිලි කර දෙයි. “ප්‍රඥාව වන මම නුවණ සමග වාසයකොට, දැනගැන්මද සිහිකල්පනාවද සොයා දැනගනිමි. [යෙහෝවා] කෙරෙහි භයවීම නම් නපුරට ද්වේෂකිරීමය. උඩඟුකමටත් අහංකාරයටත් නපුරු මාර්ගයටත් ප්‍රයෝග මුඛයටත් ද්වේෂකරමි.”හිතෝපදේශ 8:12, 13.

ප්‍රඥාව හිමි පුද්ගලයාට ඥානය සහ කල්පනා ශක්තිය අත් කරගත හැකියි. “ප්‍රඥාවේ පටන්ගැන්ම නම් [යෙහෝවා] කෙරෙහි භයවීම” නිසා, දේවප්‍රඥාව සතු පුද්ගලයෙකු තුළ දෙවි සඳහා ගරුභියක් ඇත. (හිතෝපදේශ 9:10) එමනිසා ඔහු යෙහෝවා පිළිකුල් කරන දේ පිළිකුල් කරයි. උඩඟුකම, අහංකාරය, දුරාචාර හැසිරීම, සහ අශීලාචාර කතා බහ වැනි නරක ගුණාංග සහ පුරුදු ඔහු තුළ දක්නට නැත. නරක දේ සඳහා ඔහු තුළ ඇති පිළිකුල නිසා ආත්මාර්ථකාමී ලෙස තම බලය පාවිච්චි කිරීමෙන්ද ඔහු වැළකී සිටියි. එසේ නම් ක්‍රිස්තියානි සභාවේ වගකීම් දරන අය සහ පවුල් මූලිකයන් ප්‍රඥාව සෙවීම කොතරම් ඥානවන්තද!

“මන්ත්‍රණය සහ සාරවූ ඥානය [ප්‍රායෝගික ප්‍රඥාව, NW] මට තිබේ” කියා ප්‍රඥාව තවදුරටත් පවසයි. “මම නුවණය, [තේරුම්ගැනීමය, NW] මට පරාක්‍රමය තිබේ. මා කරණකොටගෙන රජවරු රජකම්කරති, ආණ්ඩුකාරයෝද යුක්තිය නියමකරති. මා කරණකොටගෙන අධිපතීහුද උත්තමයෝද එනම් පොළොවේ සියලු විනිශ්චයකාරයෝද ආණ්ඩුකෙරෙති.” (හිතෝපදේශ 8:14-16) ප්‍රඥාව අත් කරගැනීමේ ප්‍රතිඵලයක් ලෙස තික්ෂ්ණ බුද්ධිය, තේරුම්ගැනීමේ හැකියාව සහ බලය ලබාගැනීමට හැකි වේ. මෙවැනි ගුණාංග පාලකයන්ට, උසස් නිලධාරීන්ට මෙන්ම අධිපතීන්ට ඉතා වැදගත් වේ. එසේ නම් වගකීම් උසුලන අයට සහ උපදෙස් පිරිනමන අයට ප්‍රඥාව ලබාගැනීම අත්‍යවශ්‍යයි.

සැබෑ ප්‍රඥාව සෑම කෙනෙකුටම ලබාගත හැකි දෙයක් වුවත් සෑම කෙනෙකුටම එය සොයාගත නොහැක. සමහරෙකුට එය පහසුවෙන්ම ලබාගැනීමට හැකියාව තිබියදීත් ඔවුහු එය ලබාගැනීම ප්‍රතික්ෂේප කරති. “මට ප්‍රේමකරන්නන්ට මම ප්‍රේමකරමි; මා සොයන්නන්ට මම සම්බවන්නෙමි.” (හිතෝපදේශ 8:17) ප්‍රඥාව ළඟා කරගත හැක්කේ අවංකවම එය සොයන අයට පමණයි.

ප්‍රඥාවේ මාර්ගයන් ඍජුය. එමෙන්ම ධර්මිෂ්ඨය. එය සොයන්නන්ට එමගින් හොඳ විපාක ලැබෙයි. “වස්තුවද ගෞරවයද එසේය, පවතින සම්පත්ද ධර්මිෂ්ඨකමද මා වෙත තිබේ. රන්වලටත් පිරිසිදු රත්රන්වලටත් වඩා මාගේ පලදාවද අනර්ඝ රිදීවලට වඩා මාගේ ආදායමද හොඳය. මට ප්‍රේමවෙන්නන්ට වස්තුව උරුමකරදෙන්ටද, ඔවුන්ගේ ගබඩා පුරවන්ටද, මම ධර්මිෂ්ඨකමේ මාර්ගයෙහිත් යුක්තියේ මාවත්වලත් හැසිරෙමි.”—හිතෝපදේශ 8:18-21.

අගනා ගුණාංග සහ නැණවත්බවේ විශේෂ ලක්ෂණ වන කල්පනා ශක්තිය, යටහත්කම, තීක්ෂ්ණ බුද්ධිය, ප්‍රායෝගික ප්‍රඥාව සහ තේරුම්ගැනීම වැනි දේට අමතරව ධනය සහ ගෞරවයත් ප්‍රඥාව විසින් එය ඇත්තන්ට දානය කරනු ලබයි. ප්‍රඥාවන්ත මිනිසෙක් ධර්මිෂ්ඨකමෙන් තම වස්තු රැස්කරගන්නා අතර ආත්මිකවද සඵල වෙයි. (3 යොහන් 2) එමෙන්ම ප්‍රඥාව කෙනෙකුව ගෞරවයට පත් කරයි. වඩාත්ම වැදගත් දෙය වන්නේ ඔහුගේ අත් කරගැනීම් පිළිබඳ ඔහුට තෘප්තිමත්භාවයක් දැනීමත් දෙවි ඉදිරියෙහි පිරිසිදු හෘදසාක්ෂියක් හා සුවදායී මනසක් ඇතුව සිටීමට හැකිවීමත්ය. ඔව්, ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයා සන්තෝෂවත්ය. ප්‍රඥාවේ ඵලදාව රනටත් රිදීවලටත් වඩා ඇත්තෙන්ම වටී.

කුමන පාඩුවක් හෝ විඳගෙන ධනය සොයා යන්න කියා පෙරැත්ත කරන ද්‍රව්‍යවාදී ලෝකයක සිටින අපට මෙම අවවාදය කොතරම් කාලෝචිතද! ප්‍රඥාවේ ඇති වටිනාකමත් අධර්මිෂ්ඨකමින් ධනය සෙවීමේ ඇති අන්තරාවත් ගැන තිබිය යුතු නිවැරදි දැක්ම කිසිවිටකත් නැති කර නොගනිමු. ධනය සොයාගැනීමට ගොස් ප්‍රඥාවේ සැපයුම් වන අපගේ ක්‍රිස්තියානි රැස්වීම්, බයිබලය සහ “විශ්වාසවූ නුවණ ඇති දාසයා” සපයන ප්‍රකාශන ඇසුරින් කරන පෞද්ගලික අධ්‍යයනය වැනි දේවල් කිසිවිටකත් අතපසු නොකරමු.—මතෙව් 24:45-47.

“මුල පටන් සදාකාලයේ සිට පිහිටුවනු ලැබීමි”

හිතෝපදේශ අටවන පරිච්ඡේදයෙහි ප්‍රඥාව පුද්ගලාරෝපණය කර තිබෙන්නේ එම ගුණාංගය භාෂාලංකාරයෙන් විස්තර කිරීමට පමණක් නොවෙයි. එය යෙහෝවාගේ උතුම්ම මැවිල්ලකට සංකේත භාෂාවෙන් කරන යොමු දැක්වීමක්ද වේ. ප්‍රඥාව මෙසේ පවසයි. “[යෙහෝවා] තමන් පුරාතන ක්‍රියාවලට පළමුවෙන්, [ඔහුගේ] මාර්ගයේ පටන්ගැන්මේදී මා [පිහිටෙවුවේය.] පොළොව ඇතිවෙන්ට පළමුවෙන් මුල පටන් සදාකාලයේ සිට පිහිටුවනු ලැබීමි. ගැඹුරු තැන් නොතිබුණු කල, ජලයෙන් පිරුණු උල්පත් නැති කල, මම ඉපිද සිටියෙමි. කඳු පිහිටෙන්ට ප්‍රථමයෙන්, හෙල්වලට පළමුවෙන්, [ඔහු] පොළොව සහ කෙත්ද ලෝකයේ පළමු ධූලිද සාදන්ට පෙර මම ඉපිද සිටියෙමි.”හිතෝපදේශ 8:22-26.

පුද්ගලාරෝපණය කරන ලද ප්‍රඥාව පිළිබඳ ඉහත විස්තරය ශුද්ධ ලියවිලිවල සඳහන් “වාක්‍යය” යනුවෙන් යොමු දක්වා ඇති දෙයට හොඳින් ගැළපේ! “පටන්ගැන්මේදී වාක්‍යය සිටියේය, වාක්‍යය දෙවියන් හා සමඟ සිටියේය, වාක්‍යය දෙවි කෙනෙකුව සිටියේය” කියා ප්‍රේරිත පාවුල් ලියා තිබේ. (යොහන් 1:1NW) පුද්ගලාරෝපණය කරන ලද ප්‍රඥාව සංකේත භාෂාවෙන් යොමු දක්වන්නේ දෙවිගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ගේ මනුෂ්‍යත්වයට පෙර පැවැත්මටය. b

යේසුස් ක්‍රිස්තුස් ‘මුළු මැවිල්ලේ කුළුඳුලාය; මක්නිසාද ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නාවූ දේවල්ද නොපෙනෙන්නාවූ දේවල්ද යන සියල්ල ඔහු තුළ මවන ලද්දේය.’ (කොලොස්සි 1:15, 16) පුද්ගලාරෝපණය කරන ලද ප්‍රඥාව තවදුරටත් මෙසේ පවසයි. ‘ඔහු [යෙහෝවා] ස්වර්ගයන් පිහිටෙවූ කල එහි සිටියෙමි. ඔහු ගැඹුර මතුයෙහි චක්‍රයක් ඇන්ද කලද, ඉහළින් අහස පිහිටෙවූ කලද, ගැඹුරේ උල්පත් සවි වූ කලද, මුහුදේ ජලය එහි ඉම පසු කර නේන ලෙස ඔහු මායිම් තැබූ කලද, පොළොවේ අත්තිවාරම් ලකුණු කළ කලද, මම ඔහු වෙත ප්‍රධාන කර්මාන්තකාරයාව සිටියෙමි. සෑම කල්හිම ඔහු ඉදිරියෙහි නිතර සන්තෝෂ වෙමින්, මනුෂ්‍ය පුත්‍රයන් සමීපයෙහි ප්‍රීති වුණෙමි.’ (හිතෝපදේශ 8:27-31) අපගේ මැවුම්කරු වන යෙහෝවාගේ කුළුඳුල් පුත් යේසුස්, අහස සහ පොළොව මවන අවස්ථාවේදී ඔහුගේ පියාත් සමඟ සහයෝගයෙන් කටයුතු කළේය. යෙහෝවා පළමු මිනිසාව මැවූ අවස්ථාවේදී ඔහුගේ පුත්‍රයා ඔහුගේ ප්‍රධාන කර්මාන්තකරු ලෙස ඔහු සමඟ එම කාර්යයෙහි හවුල් විය. (උත්පත්ති 1:26) මේ සියල්ල දෙස බලන කල දෙවිගේ පුත්‍රයා මනුෂ්‍යයා කෙරෙහි ඇලුම්කමක් දැක්වීම පුදුමයක් නොවෙයි!

“මාගේ වචන අසන මනුෂ්‍යයා සන්තෝෂවත්ය”

පුද්ගලාරෝපණය කරන ලද ප්‍රඥාව වන දෙවිගේ පුත්‍රයා මෙසේ පවසයි. “එබැවින් මාගේ පුත්‍රයෙනි, මට ඇහුම්කන්දෙන්න. මක්නිසාද මාගේ මාර්ග රක්ෂාකරන්නෝ වාසනාවන්තයෝය [සන්තෝෂවත්ය, NW]. ඉගැන්වීම එපා නොකොට, එය අසා නැණවත් වෙන්න. දවසින් දවස මාගේ දොරටු ළඟ බලාසිට, මාගේ දොරකඩ කණු ළඟ රැකවල්කර, මාගේ වචන අසන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය [සන්තෝෂවත්ය, NW]. මක්නිසාද මා සම්බවන අයට ජීවනය සම්බවෙයි, [යෙහෝවාගෙන්] කරුණාවද ලබාගන්නේය. නුමුත් මාගෙන් මුළාවයන්නා තමාගේම ප්‍රාණයට අනතුරුකරගන්නේය; මට වෛරවෙන සියල්ලෝම මරණයට ප්‍රේමවන්නෝය.”—හිතෝපදේශ 8: 32-36.

දෙවිගේ ප්‍රඥාව එලෙසින්ම විදහාපෙන්වන කෙනෙකි, යේසුස් ක්‍රිස්තුස්. එමනිසා ඔහු දෙවිගේ ප්‍රඥාවේ ප්‍රතිමූර්තිය කියා පැවසිය හැක. “[ඔහු] තුළ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් සියලු වස්තු නිධානකර ඇත්තේමය.” (කොලොස්සි 2:3) අප ඔහුට කිට්ටු අවධානයක් දෙමින් ඔහුගේ අඩි පාරේ ගමන් කළ යුතුයි. (1 පේතෘස් 2:21NW) ඔහුව ප්‍රතික්ෂේප කිරීම අප අපටම කරගන්නා විනාශයක් වන අතර එය මරණයට ප්‍රේමවීමකි. මන්ද “වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය.” (ක්‍රියා 4:12) එසේ නම්, අපගේ ගැළවීම සඳහා දෙවි සපයා ඇති සැපයුම වශයෙන් අපි යේසුස්ව පිළිගනිමු. (මතෙව් 20:28; යොහන් 3:16) එසේ කිරීම තුළින් ‘ජීවනය සහ යෙහෝවාගේ කරුණාව’ ලබාගැනීමට හැකි වන අතර අපට සන්තෝෂයද අත්විඳිය හැකියි.

[පාදසටහන්වල]

a “ප්‍රඥාව” සඳහා භාවිත කරන හෙබ්‍රෙව් වචනය ස්ත්‍රි ලිංග ස්වරූපයක් ගනී. එමනිසා සමහර පරිවර්තනවල ප්‍රඥාව සඳහා ස්ත්‍රි ලිංග ස්වරූපයේ සර්වනාම පද භාවිතා කරයි.

b මෙහිදී “ප්‍රඥාව” සඳහා යොදා ඇති හෙබ්‍රෙව් යෙදුමට ස්ත්‍රි ලිංග ස්වරූපයක් තිබුණත් දෙවිගේ පුත්‍රයාව නියෝජනය කිරීමට එය භාවිත කිරීමේදී ගැටීමක් ඇති නොවේ. මන්ද ‘දෙවි ප්‍රේමයය’ යන ප්‍රකාශයේදී භාවිතා කර ඇති “ප්‍රේමය” යන යෙදුමටත් ස්ත්‍රි ලිංග ස්වරූපයක් තිබේ. (1 යොහන් 4:8) එහෙත් දෙවිට යොමු දැක්වීමේදීත් එය භාවිත කෙරේ.

[26වන පිටුවේ පින්තූර]

වගකීම් උසුලන අයට ප්‍රඥාව තිබීම වැදගත්

[27වන පිටුවේ පින්තූර]

ප්‍රඥාව ලබාගැනීමට උපකාරවත් වන සැපයුම් අවතක්සේරු නොකළ යුතුයි