Skip to content

පටුනට යන්න

පාවුල් ශුද්ධවන්තයන්ට සහනාධාර ලැබෙන්න සලස්වයි

පාවුල් ශුද්ධවන්තයන්ට සහනාධාර ලැබෙන්න සලස්වයි

පාවුල් ශුද්ධවන්තයන්ට සහනාධාර ලැබෙන්න සලස්වයි

සැබෑ ක්‍රිස්තියානීන්ගේ ජීවිතයේ ප්‍රධාන තැන ගන්නේ ආත්මික කාරණාය. කෙසේවෙතත්, සෙසු ජනයාගේ ශුභසිද්ධිය ගැනද ඔවුහු විශේෂ සැලකිල්ලක් දක්වති. එමනිසා බොහෝවිට පීඩා දුෂ්කරතා මධ්‍යයෙහි සිටින ජනයාට උපකාර කරන්න ඔවුන් ඉදිරිපත් වේ. සෙසු ඇදහිලිවන්තයන්ට මෙලෙස උපකාර කරන්න ක්‍රිස්තියානීන් පෙලඹෙන්නේ මන්ද?ඔවුන් තුළ තිබෙන සහෝදර ප්‍රේමය නිසාය.—යොහන් 13:34, 35.

පාවුල්ටද තම ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් කෙරෙහි අව්‍යාජ ප්‍රේමයක් තිබිණ. ප්‍රේමයෙන් පෙලඹුණු පාවුල් අකායේ, ගලාතියේ, මකිදෝනියේ හා ආසියාවේ සභාවලින් සහනාධාර එකතු කිරීමට සැලසුම් යෙදුවේය. සහනාධාර එකතු කිරීමේ අවශ්‍යතාවක් ඇති වූයේ මන්ද?එය සංවිධානය කළේ කෙසේද?සහනාධාර ලැබූ අය දැක්වූයේ කුමන ප්‍රතිචාරයක්ද?එමෙන්ම සිදු වූ දේ ගැන අප උනන්දුවක් දැක්විය යුත්තේ මන්ද?

යෙරුසලමේ සභාව තුළ පැවති තත්වය

පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසෙන් පසු, විවිධ ප්‍රදේශවලින් යෙරුසලමට පැමිණි යුදෙව්වරු මෙන්ම යුදෙව් ආගමට හැරුණු බොහෝදෙනෙක් සත්‍ය නමස්කාරය ගැන තව තවත් ඉගෙනගැනීමට ආශාවක් දැක්වූහ. ඒ සඳහා ඔවුන් යෙරුසලමෙහි ටික කාලයක් නැවතී සිටීමට තීරණය කර තිබිණ. ඔවුන්ගේ අවශ්‍යතාවන් පිරිමැසීමට සෙසු නමස්කාරකයන් කැමැත්තෙන්ම ඉදිරිපත් විය. (ක්‍රියා 2:7-11, 41-44; 4:32-37) ඒ කාලයේ දැඩි දේශානුරාගී හැඟීම් තිබූ යුදෙව්වන් මැර කල්ලි සංවිධානය කරමින් කැරලිකාරිත්වයට දිරි දුන් නිසා යෙරුසලමේ වැසියන් අතරේ පවා ගැටුම් පැවතුණා විය හැක. මෙවැනි තත්වයන්ට මුහුණ දුන් ක්‍රිස්තියානීන්ට විවිධ අවශ්‍යතාවන් පැනනැඟුණු බවට නිසැකය. එමනිසා අසරණ තත්වයක සිටි වැන්දඹුවන්ට දිනපතාම සහනාධාර සැපයීමට සැලසුමක් යොදා තිබිණ. (ක්‍රියා 6:1-6) එපමණක් නොව, හෙරොද් රජ ක්‍රිස්තියානි සභාවට දැඩි ලෙස පීඩා කරන්න පටන්ගත් අතර, පොදු යුගයේ 40ගණන්වල මැද භාගයේ පමණ යුදයේ දරුණු සාගතයක් හටගත්තේය. යේසුස්ගේ ගෝලයන්ට මෙය බලපෑවේ කෙසේද?පාවුල් විස්තර කළ ආකාරයට ඔවුන් “දුක්,” “පීඩා” හා “දේපල කොල්ලකෑම” වැනි දේවලට මුහුණ දුන්නායයි සිතිය හැක.—හෙබ්‍රෙව් 10:32-34; ක්‍රියා 11:27-12:1.

පොදු යුගයේ 49 වන විට තත්වය ඊටත් වඩා දරුණු අතට හැරී තිබිණ. එබැවින් පාවුල් මූලික අවධානය දිය යුත්තේ අන්‍යජාතිකයන්ට දේශනා කිරීමටයි යන කාරණය පිළිගනිමින් පේතෘස්, යාකොබ් හා යොහන් ඔහුගෙන් ‘දිළිඳුන් සිහි කරන ලෙසද’ ඉල්ලා සිටියහ. පාවුල් එසේ කිරීමට දැඩි උත්සාහයක් දැරූ බවට ප්‍රබල සාක්ෂි ඇත.—ගලාති 2:7-10.

සහනාධාර කටයුතු සංවිධානය කිරීම

පාවුල් යුදයේ සිටි දුගී සහෝදර සහෝදරියන් සඳහා සම්මාදම් එකතු කිරීමට සැලසුම් කළේය. පොදු යුගයේ 55දී පමණ ඔහු කොරින්ති සභාවෙන් ඉල්ලා සිටියේ මෙසේ කිරීමටය. “ශුද්ධවන්තයන් උදෙසා සම්මාදම්කිරීම ගැන, ගලාතියේ සභාවලට මා නියමකළ ලෙස නුඹලාත් කරන්න. . . . සතියේ පළමුවෙනිදා නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ කාරණා සඵලවන ප්‍රකාරයට රැස්කොට තම තමා ළඟ යමක් තබාගනීවා. . . . [එවිට] යෙරුසලමට ගෙනයන පිණිස සුදුස්සෝයයි නුඹලා සිතන තැනැත්තන් ලියුම් ඇතුව යවන්නෙමි.” (1 කොරින්ති 16:1-3) ඉන් අවුරුද්දකට පමණ පසු පාවුල් සඳහන් කළේ, මකිදෝනියේ මෙන්ම අකායේ සභාවල ක්‍රිස්තියානීන්ද සහනාධාර සැපයීමේ වැඩ පිළිවෙළට සහයෝගය දක්වමින් සිටින බවය. එමෙන්ම එකතු කරන ලද සම්මාදම් යෙරුසලමට ගෙන යන විට ආසියාවේ සභාවල නියෝජිතයන්ද එයට එක් වූ බව පැවසේ. එයින් ඇඟවෙන්නේ ආසියාවේ සහෝදරයන් පවා යම් ආකාරයකින් දායක වූ බවය.—ක්‍රියා 20:4; 2 කොරින්ති 8:1-4; 9:1, 2.

තමන්ට දිය හැකි ප්‍රමාණයට වඩා දීමට කිසිවෙකුට බල කළේ නැත. ඒ වෙනුවට, යෙරුසලමේ සහ යුදයේ ශුද්ධවන්තයන් අතර සිටි අගහිඟකම් තිබූ අයගේ අවශ්‍යතාවන් පිරිමැසීමට යමක් කමක් තිබූ අය ඔවුන්ගේ වැඩිමනත් දේ පරිත්‍යාග කළහ. එය, සහෝදරයන් අතර සම තත්වයක් ඇති කළේය. (2 කොරින්ති 8:13-15) පාවුල් සහෝදරයන්ට පවසා තිබුණේ, “කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස [දෙන්න]. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට [දෙවි ප්‍රේම කරන්නේය]” කියාය.—2 කොරින්ති 9:7.

ප්‍රේරිත පාවුල් කොරින්තිවරුන්ට පරිත්‍යාගශීලී වීමට උනන්දු කළේ හොඳ පදනමක් ඇතුවයි. යේසුස් ‘ඔවුන් ධනවත් වන පිණිස ඔවුන් උදෙසා [ආත්මික ආකාරයකින්] දිළිඳු වූ’ බව ඔහු පැහැදිලි කර දුන්නේය. (2 කොරින්ති 8:9) ඔවුන්ට දීමේ ස්වභාවයක් වර්ධනය කරගැනීමට එය කොතරම් ප්‍රබල හේතුවක්ද! එමෙන්ම දෙවි, “ත්‍යාගශීලී වන පිණිස” ඔවුන්ව බහුල ලෙස ධනවත් කළ නිසා, ශුද්ධවන්තයන්ගේ අවශ්‍යතාවන් සැපයීමට යම් ආකාරයකින් දායක වීම යෝග්‍ය දෙයක් විය.—2 කොරින්ති 9:10-12, නව අනුවාදය.

දායක වූවන් දැරූ ආකල්පය

පළමුවන සියවසේ ශුද්ධවන්තයන්ට සහනාධාර සැපයූ අයගේ ආකල්පය සලකා බැලීමෙන් අපට බොහෝ දෑ උගත හැක. යෙහෝවාට සේවය කළ තම සහෝදර සහෝදරියන් අතරින් අසරණ වී සිටි අය ගැන සැලකිල්ල දැක්වීමට වඩා වැඩි දෙයක් එයට ඇතුළත් විය. එයින් ඇඟවූයේ යුදෙව් ජාතික ක්‍රිස්තියානීන් හා අන්‍යජාතික ක්‍රිස්තියානීන් අතර කිට්ටු බැඳීමක් තිබූ බවය. ඔව්, සම්මාදම් දීම හා ඒවා භාරගැනීම ඔවුන් අතර තිබූ සහෝදරත්වයේ හැඟීමට, එකමුතුකමට හා මිත්‍රත්වයට ප්‍රබල සාක්ෂියකි. ඔවුහු ද්‍රව්‍යමය දේවල් පමණක් නොව, ආත්මික දේවල් පවා බෙදාගත්හ.—රෝම 15:26, 27.

මකිදෝනියේ සහෝදරයන් පවා සෑහෙන දුගී තත්වයක සිටි බැවින් පාවුල් සහනාධාර සපයන මෙන් මුලදී ඔවුන්ගෙන් නොඉල්ලුවා විය හැක. කොහොමවුණත් ඔවුහු “උපස්ථානකිරීමට පංගුකාරයන්වීමේ ප්‍රසාදය බොහෝ කන්නලව් ඇතුව” පාවුල්ගෙන් ඉල්ලා සිටියහ. ඔව්, ‘බොහෝ දුක් විඳීම නමැති පරීක්ෂාවේදී’ පවා ඉතා සතුටින් ඔවුහු ‘තමුන්ගේ පුළුවන්කමටත් වඩා දුන්නෝය.’ (2 කොරින්ති 8:1-4) රෝම පුරවැසියන්ට තහනම් කළ ආගමක් අදහන බවට වූ චෝදනාවද ඔවුන්ගේ මහත් පරීක්ෂාවට ඇතුළත් විය. එමනිසා, ඔවුන් හා සමානව දුක් විඳින යුදයේ සහෝදරයන්ගේ තත්වය තේරුම්ගනිමින් අනුකම්පාව දැක්වූයේ ඇයි කියා අපට සිතාගත හැක.—ක්‍රියා 16:20, 21; 17:5-9; 1 තෙසලෝනික 2:14.

මකිදෝනියේ සහෝදරයන්ව දිරිගැන්වීමට පාවුල් කලින් කොරින්තිවරුන්ගේ උද්‍යෝගිමත් ආදර්ශය ගෙනහැර දැක්වුවත්, පසුව කොරින්තිවරුන් තුළ තිබූ උද්‍යෝගය හීන වී ගිය බව පෙනේ. ඒ නිසා දැන් පාවුල් කොරින්තිවරුන්ව දිරිගැන්වීමට උපයෝගී කරගන්නේ මකිදෝනියේ සහෝදරයන්ගේ ආදර්ශයයි. අවුරුද්දකට කලින් පටන්ගත් දේ අවසන් කළ යුතු බව ඔවුන්ට මතක් කර දීමට පාවුල්ට සිදු විය. එයට හේතුව කුමක්ද?—2 කොරින්ති 8:10, 11; 9:1-5.

තීතස් කලින් කොරින්තියේ සම්මාදම් එකතු කිරීමට වැඩ පිළිවෙළක් දියත් කර තිබුණත් ඔහුගේ ප්‍රයත්නයට බාධා කරන විවිධ ගැටලු ඉස්මතු විය. මකිදෝනියේ සිටි පාවුල් සමඟ මේ ගැන සාකච්ඡා කළ පසු, තීතස් සම්මාදම් එකතු කිරීමේ වැඩය අවසන් කිරීමේ අරමුණින් තවත් සහෝදරයන් දෙදෙනෙකු සමඟ නැවතත් කොරින්තියට ගියේය. ඇතැම්විට පාවුල් කොරින්තිවරුන්ගෙන් අනිසි ලාභ ප්‍රයෝජන ලබන්න වෑයම් කළ බව ඇතමෙකු ඇඟවීමට උත්සාහ දැරුවා විය හැක. පාවුල් එම වැඩය අවසන් කිරීමට විශ්වාසවන්ත පුරුෂයන් තුන්දෙනෙකුව කොරින්තිවරුන් වෙතට යැව්වේ ඒ නිසා වන්නට පුළුවන. “මෙසේ, අපේ සේවයෙන් ඉෂ්ටකරන මේ දීමනාව ගැන කිසිවෙක් අපට දෝෂාරෝපණය නොකරන පිණිස ප්‍රවේසම්වෙමුව. මක්නිසාද [යෙහෝවා] ඉදිරියෙහි පමණක් නොව මනුෂ්‍යයන් ඉදිරියෙහිත් ගරුකටයුතු දේ කරන්ට සිතට ගනිමුව” කියා පාවුල් එය පැහැදිලි කළේය.—2 කොරින්ති 8:6, 18-23; 12:18.

සහනාධාර අවශ්‍ය අයගේ අතට පත් කිරීම

පොදු යුගයේ 56 වසන්ත සමයේදී, එකතු කරන ලද සම්මාදම් යෙරුසලමට ගෙන යෑමට කාලය එළඹිණ. සම්මාදම් කළ අය විසින්ම නියෝජිත පිරිසක් තෝරගත් අතර පාවුල්ද ඔවුන් අතර විය. ක්‍රියා 20:4හි එය මෙසේ විස්තර කරයි. “පුරස්ගේ පුත්‍රවූ බෙරීයයේ සෝපතර්ද තෙසලෝනිකවරුන්ගෙන් අරිස්තාර්කස් සහ සෙකුන්දස්ද දර්බයේ ගායස් සහ තිමෝතියස්ද ආසියාවේ තුඛීකස් සහ ත්‍රොපීමස්ද ඔහු සමඟ ආසියාව දක්වා ගියෝය.” පෙනෙන ආකාරයට ලූක්ද ඔවුන් අතර සිටියේය. සමහරවිට ඔහු පිලිප්පියේ ක්‍රිස්තියානීන්ව නියෝජනය කළා විය හැක. අඩුම තරමින් නියෝජිතයන් නවදෙනෙකුවත් සිටින්නට ඇත.

“සෑහෙන ලොකු මුදලක් එකතු වුණායයි සිතන්න පුළුවන්. මන්ද සුළු මුදලක් ගෙන යෑමට පාවුල් මෙන්ම සෙසු සේවකයන් ඒ තරම් ලොකු නියෝජිත පිරිසක් තෝරාගෙන කාලය, ශ්‍රමය හා මුදල් වැය කරාවි කියා සිතන්න අමාරුයි” කියා විශාරද ඩීටර් ජියෝජි අදහස් දැක්වීය. එම නියෝජිත පිරිස මුදල ආරක්ෂා කළා පමණක් නොවෙයි, වංකකම පිළිබඳව ඇති විය හැකි චෝදනාවලින් පාවුල්ටද ආරක්ෂාව සැපයූහ. යවනු ලැබූ අය යෙරුසලමේ ශුද්ධවන්තයන් ඉදිරියේ අන්‍යජාතික සභාවන් නියෝජනය කළහ.

නියෝජිත පිරිස කොරින්තියේ සිට සිරියාවට යාත්‍රා කිරීමට තීරණය කර තිබූ අතර, ඔවුන් බලාපොරොත්තුවෙන් සිටියේ පාස්කු මංගල්‍ය කාලය වන විට යෙරුසලමට පැමිණීමටයි. නමුත් පාවුල්ගේ සතුරන් ඔහුව මරන්න කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවට ලැබූ ආරංචිය නිසා ගමන් මඟ වෙනස් කිරීමට සිදු විය. (ක්‍රියා 20:3) සමහරවිට පාවුල්ගේ සතුරන් එම මුහුදු ගමනේදී ඔහුව නැති කර දැමීමට සැලසුම් කළා විය හැකියි.

පාවුල්ට වෙනත් ගැටලුද තිබිණ. ඔහු කොරින්තියෙන් පිටත් වීමට කලින් “යුදයෙහි සිටින අකීකරුවන්ගෙන් මා ගළවනු ලබන ලෙසත්, යෙරුසලම උදෙසා මා කරන උපස්ථානය ශුද්ධවන්තයන්ට ප්‍රසන්නවන ලෙසත්” යාච්ඤා කරන මෙන් ඔහු රෝමයේ ක්‍රිස්තියානීන්ගෙන් ඉල්ලා සිටියේය. (රෝම 15:30, 31) ශුද්ධවන්තයන් එම සම්මාදම් සතුටින් මෙන්ම ගැඹුරු අගයකින් යුතුව භාරගන්නා බවට කිසිම සැකයක් නැත. නමුත් තමා යෙරුසලමට පැමිණීම, යුදෙව්වන් අතර ප්‍රශ්නයකට තුඩු දිය හැකි බව පාවුල් දැනගෙන සිටි නිසා ඔහු ඒ ගැන කල්පනා කරමින් සිටියා විය හැකියි.

ප්‍රේරිත පාවුල් දුගී අයගේ අවශ්‍යතාවන් ගැන ඇත්තවශයෙන්ම සැලකිලිමත් විය. ඔහු සම්මාදම් භාර දුන්නේ කවදාද කියා ශුද්ධ ලියවිලිවල සඳහන් නොවුණත්, එය ලබා දීම එක්සත්කමට දායක වූ අතර, එමගින් තම යුදෙව් ජාතික සහෝදරයන්ගෙන් ලැබූ ආත්මික දීමනාවලට තම කෘතඥතාව පෙන්වන්න අන්‍යජාතික ක්‍රිස්තියානීන්ට අවස්ථාව ලැබුණේය. පාවුල් යෙරුසලමට පැමිණ වැඩි කල් යන්න කලින් ඔහු දේවමාළිගාවට ගිය අතර ඔහුගේ පැමිණීම කෝලහාලයකට තුඩු දුන්නේය. පාවුල්ව සිරභාරයට ගත් අතර, ආණ්ඩුකාරයන්ට මෙන්ම රජවරුන්ට සාක්ෂි දැරීමට එමගින් ඔහුට ප්‍රස්තාව ලැබිණ.—ක්‍රියා 9:15; 21:17-36; 23:11; 24:1-26:32.

අදදින සම්මාදම්

පළමුවන සියවසේ සිට මේ දක්වා බොහෝ දේවල් වෙනස් වී ඇතත් ක්‍රිස්තියානීන්ගේ සැලකිල්ලට භාජන විය යුතු ප්‍රතිපත්ති නම් වෙනස් වී නැත. අදදිනද අපට සෙසු ක්‍රිස්තියානීන්ගේ ආර්ථික අවශ්‍යතාවන් ගැන දැනුම් දෙයි. ඒ ගැන දැනුම් දීම, ඇත්තෙන්ම කළ යුතු දෙයකි. එමෙන්ම අවශ්‍යතාවන් තිබෙන අය වෙනුවෙන් සම්මාදම් දීමට අප කැමැත්තෙන්ම ඉදිරිපත් විය යුතු අතර, ඒ සඳහා අපව පෙලඹවිය යුත්තේ දෙවිටත් සෙසු ජනයාටත් තිබෙන අපගේ ප්‍රේමයයි.—මාර්ක් 12:28-31.

පළමුවන සියවසේ ශුද්ධවන්තයන් වෙනුවෙන් සහනාධාර දීම සැලසුම් කළ ආකාරයෙන් පෙන්වන්නේ, සහනාධාර සැපයීමේදී සංවිධානාත්මකව මෙන්ම සුළු වශයෙන්වත් වංකකමක් සිදු නොවන ආකාරයට කටයුතු කළ යුතු බවය. ඇත්තෙන්ම යෙහෝවා දෙවි තම සේවකයන්ගේ අවශ්‍යතාවන් මොනවාද කියා හොඳින් දන්නේය. එමෙන්ම දුෂ්කරතා මධ්‍යයෙහි වුණත් අන්‍යයන්ට ශුභාරංචිය කියා දීමට හැකි වන සේ ඔහු ඔවුන්ගේ අවශ්‍යතාවන් සපුරාලයි. (මතෙව් 6:25-34) අපේ ආර්ථික තත්වය කුමක් හෝ වේවා, යම් ආකාරයකින් අපේ සහෝදරයන්ට උපකාර කරන්න අප සියල්ලන්ටම හැකිය. එසේ කරනවා නම් ‘වැඩියෙන් තියෙන තැනැත්තාට වැඩියෙන් ලැබෙන්නේවත්, අඩුවෙන් තියෙන තැනැත්තාට අඩුවෙන් ලැබෙන්නේවත් නැත.’—2 කොරින්ති 8:15NW.