මිනිස් දුර්වලකම් ජයගැනීම
මිනිස් දුර්වලකම් ජයගැනීම
“මාංසය කෙරෙහි සිත යොමු කිරීම මරණයට මඟ පාදයි.”—රෝම 8:6, NW.
1. ඇතමුන් මිනිස් සිරුර සලකන්නේ කෙසේද? අප සැලකිල්ලට ගත යුත්තේ කුමන ප්‍රශ්නයද?
“මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි.” (ගීතාවලිය 139:14) ගීතිකාකාර දාවිත් එම වදන් පැවසුවේ යෙහෝවාගේ මැවිල්ලක් වන මිනිස් සිරුර ගැන කල්පනා කරමින් සිටි අවස්ථාවේදීය. හොඳ හේතු ඇතුව කරන ලද එම ප්‍රශංසාවට පටහැනි ලෙස අදහස් පළ කරන ආගමික ගුරුවරු අදදින සිටිති. ඔවුන් මිනිස් සිරුර සලකන්නේ පාපය සැඟවී තිබෙන ස්ථානයක් ලෙසය. සිරුර සම්බන්ධයෙන් මෙවන් අදහස් පළ කර තිබේ. එය “නොදැනුවත්කම වසං කරන, දුෂ්චරිතයට පදනම සපයන, දූෂණයට අත වනන යමකි. අඳුරු ගුහාවකි. ජීවිතයෙන් සියලු සැප සොරාගන්නා යමකි. පණ ඇති මළ සිරුරකි. ජංගම සොහොන් ගෙයකි.” “මාගේ මාංසය තුළ කිසි යහපතක් වාසය නොකරන බව දනිමි” කියා ප්‍රේරිත පාවුල් පැවසූ බව ඇත්තය. (රෝම 7:18) එහෙත් අප ගැළවිය නොහැකි ලෙස පව්කාර සිරුරක වහලුන් වී සිටින බව එයින් අදහස් වෙනවාද?
2. (අ) “මාංසය කෙරෙහි සිත යොමු කිරීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) දෙවිව සතුටු කිරීමට කැමති අය තුළ “මාංසය” සහ “ආත්මය” අතර පවතින සටන කුමක්ද?
2 ඇතැම් අවස්ථාවලදී ශුද්ධ ලියවිල්ලේ මිනිස් සිරුර ගැන සඳහන් කිරීමේදී, එයට ‘මාංසය’ කියාද යොමු දක්වා ඇත. (1 රාජාවලිය 21:27) කැරලිකාර ආදම්ගෙන් පැවතෙන පව්කාරයන් වශයෙන් මිනිසාගේ අසම්පූර්ණ ස්වභාවය දැක්වීම සඳහාද “මාංසය” යන වචනය ශුද්ධ ලියවිල්ලේ භාවිත කර තිබේ. (එපීස 2:3; ගීතාවලිය 51:5; රෝම 5:12) අප ඔහුගෙන් පැවතෙන්නන් වන නිසා ‘මාංසයේ දුර්වලකම්’ අපට ඔහුගෙන් උරුම වී ඇත. (රෝම 6:19) “මාංසය කෙරෙහි සිත යොමු කිරීම මරණයට මඟ පාදයි” කියා පාවුල් අනතුරු ඇඟෙව්වේය. (රෝම 8:6) “මාංසය කෙරෙහි සිත යොමු කිරීම” යන්නෙන් අදහස් කරන්නේ පව්කාර මාංසයේ ආශාවන්ට අපව පාලනය කිරීමට ඉඩ දී ඊට එකඟව කටයුතු කිරීමය. (1 යොහන් 2:16) මේ අනුව අප දෙවිව සතුටු කිරීමට වෑයම් කරන විට, අපේ ආත්මිකත්වය හා අපේ පව්කාර ස්වභාවය අතර නිරන්තර ගැටුමක් ඇති වේ. අපේ පව්කාර ස්වභාවය “මාංසයේ ක්‍රියා” කිරීමට අපව පොලඹවාගැනීම සඳහා ප්‍රබල වෑයමක් දරයි. (ගලාති 5:17-23; 1 පේතෘස් 2:11) තමන් තුළ පවතින මෙම පීඩාකාරි ගැටුම ගැන විස්තර කිරීමෙන් පසු, පාවුල් මෙසේ හැඟීම්බරව පැවසුවේය. “අනේ, මම කාලකණ්ණි මනුෂ්‍යයෙක්ය! මේ මරණයේ ශරීරයෙන් මා මුදන්නේ කවුද?” (රෝම 7:24) පාවුල් කිසිම පිළිසරණක් නොමැතිව පරීක්ෂාවලට ගොදුරු වූවාද? නැත කියා බයිබලය අවධාරණයෙන් යුතුව පිළිතුරු දෙයි.
පරීක්ෂාවල හා පාපයේ නියම ස්වභාවය
3. බොහෝදෙනෙකු පාපය සහ පරීක්ෂාවන් සලකන්නේ කෙසේද? එහෙත් බයිබලය එවන් ආකල්පයකට එරෙහිව අනතුරු අඟවන්නේ කෙසේද?
3 අද බොහෝදෙනෙක් පාපය කියා දෙයක් තිබෙනවා කියා පිළිනොගනිති. සමහරුන් “පාපය” සලකන්නේ මිනිසුන් අතින් සිදු වන අඩුපාඩුකම් විස්තර කිරීමට යොදාගනු ලැබූ අද භාවිතයේ නැති වචනයක් ලෙසයි. “එකිනෙකා තම තමාගේ ශරීරයේදී කළාවූ දේවල ඵල, ඒ දේ යහපත් වුවත් අයහපත් වුවත්, කළ දේවල හැටියට ලබන පිණිස, අප සියල්ලෝම [ක්‍රිස්තුස්ගේ] විනිශ්චයාසනය ඉදිරියෙහි ප්‍රකාශවෙන්ට ඕනෑය” යන කාරණය ඔවුහු තේරුම් නොගනිති. (2 කොරින්ති 5:10) තවත් අය පරීක්ෂාකාරි තත්වයන් සැහැල්ලුවට ගනිති. සමහරුන් ජීවත් වෙන්නේ ක්ෂණික වින්දනයට මුල් තැන දෙන සංස්කෘතියක විය හැක. එවැනි අයට කෑම බීම හෝ ලිංගික සබඳතා හෝ විනෝදය හෝ වෙනත් එවැනි දේවල්වලින් විගස තෘප්තියක් ලැබීමට වුවමනාය. තමන්ගේ වුවමනාව හැකි විගස ඉටු කරගැනීමට ඔවුන්ට අවශ්‍යය. (ලූක් 15:12) “සැබවින් ජීවනයවූ ඒ ජීවනය” භුක්ති විඳින කාලයේදී ලබන ප්‍රීතිය අමතක කරන ඔවුන් සිතන්නේ ක්ෂණික වින්දනය ගැන පමණි. (1 තිමෝති 6:19) කෙසේවෙතත්, අපට ආත්මිකව හා වෙනත් ආකාරවලින් හානි ඇති කළ හැකි දේවලින් වැළකී සිටීම සඳහා කල්පනාකාරිව සිටීමටත්, දුර දක්නා නුවණින් කටයුතු කිරීමටත් බයිබලය අපට අවශ්‍ය මඟ පෙන්වීම සපයයි. දේවානුභාවයෙන් ලියවී තිබෙන හිතෝපදේශයක මෙසේ සඳහන් වේ. “නුවණැත්තා විපත්තිය දැක සැඟවෙයි; අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති.”—හිතෝපදේශ 27:12.
4. පළමුවන කොරින්ති 10:12, 13හි පාවුල් දුන් අවවාදය කුමක්ද?
4 දුරාචාරය සම්බන්ධයෙන් නම් දරා තිබූ නගරයක් වූ කොරින්තියේ විසූ ක්‍රිස්තියානීන්ට පාවුල් ලියූ අවස්ථාවේදී, පරීක්ෂාවලට හා පාපයේ බලපෑමට හසුවීම ගැන අනතුරු ඇඟෙව්වේය. ඔහු ඔවුන්ට මෙසේ පැවසුවේය. “තමා කෙලින් සිටින්නේයයි සිතන තැනැත්තේ නොවැටෙන්ට බලාගනීවා. මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් [දෙවි] විශ්වාස කෙනෙක්ය. [ඔහු] නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද [සාදා දෙන්නේය].” (1 කොරින්ති 10:12, 13) අප තරුණ අය හෝ මහලු අය වුවත්, ස්ත්‍රීන් හෝ පුරුෂයන් වුවත් අප සියලුදෙනාටම පාසැලේදී හෝ රැකියා ස්ථානයේදී හෝ වෙනත් තැන්වලදී බොහෝ පරීක්ෂාවලට මුහුණ දීමට සිදු වේ. එනිසා, අපි පාවුල් පැවසූ වදන් පරීක්ෂා කර බලමින්, ඒවායින් අපට ඉගෙනගත හැකි දෑ සලකා බලමු.
පමණට වඩා තමන් කෙරෙහි විශ්වාසය නොතබන්න
5. තමන් ගැන පමණට වඩා විශ්වාස කිරීම අනතුරුදායක වන්නේ මන්ද?
5 “තමා කෙලින් සිටින්නේයයි සිතන තැනැත්තේ නොවැටෙන්ට බලාගනීවා” කියා පාවුල් සඳහන් කරයි. සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීමට අපට තිබෙන හැකියාව සම්බන්ධයෙන් පමණට වඩා අප කෙරෙහි විශ්වාසය තැබීම හානිකරය. මෙසේ තමන් කෙරෙහි විශ්වාසය තැබීමෙන් හෙළි වන්නේ පාපයේ නියම ස්වභාවය හා බලය තමන් හරි හැටි හඳුනාගෙන නොමැති බවයි. මෝසෙස්, දාවිත්, සාලමොන් හා ප්‍රේරිත පේතෘස් වැනි අයත් පාපයේ බලපෑමට හසු වූවා නම්, අපත් එහි බලපෑමට හසු නොවේයයි සිතිය හැකිද? (ගණන් කථාව 20:2-13; 2 සාමුවෙල් 11:1-27; 1 රාජාවලිය 11:1-6; මතෙව් 26:69-75) “ප්‍රඥාවන්තයා භයව නපුරෙන් ඉවත් වෙයි; එහෙත් අඥානයා උඩඟුකම් පාමින් සැක නැතුව සිටියි [තමන් ගැන නුවමනා ලෙස විශ්වාස කරයි, NW]” කියා හිතෝපදේශ 14:16හි සඳහන් වේ. යේසුස්ද මෙසේ පැවසුවේය. “ආත්මය නම් කැමතිය, නුමුත් මාංසය බෙලහීනය.” (මතෙව් 26:41) අසම්පූර්ණ මිනිසුන් සියලුදෙනා තුළම වැරදි ආශාවන් ඇති වන නිසා, අප පාවුල්ගේ අනතුරු ඇඟවීම සුළු කොට නොසලකමින් පරීක්ෂාවලට එරෙහිව සටන් කළ යුතුය. එසේ නොකළහොත්, අපි පාපයට හසුවීමේ අවදානමක සිටින්නෙමු.—යෙරෙමියා 17:9.
6. අප පරීක්ෂාවලට සූදානම් විය යුත්තේ කුමන අවස්ථාවේදීද? කෙසේද?
6 අනපේක්ෂිතව මුහුණ දීමට සිදු විය හැකි ගැටලුවලට කලින්ම සූදානම් වීම නැණවත් දෙයකි. තමාගේ රාජ්‍යයේ ආරක්ෂාව සඳහා බලකොටු තැනීමට හොඳම කාලය සාමකාමී වාතාවරණයක් පවතින අවස්ථාව බව ආසා රජු තේරුම්ගත්තේය. (2 ලේකම් 14:2, 6, 7) සතුරු ප්‍රහාරයක් එල්ල වන අවස්ථාවේදී, ඊට සූදානම් වීමට කොහොමටවත් කාලයක් නැති බව ඔහු දැන සිටියේය. ඒ හා සමානව, පරීක්ෂාවලට මුහුණ දීමට සිදු වන අවස්ථාවලදී කළ යුතු දේ සම්බන්ධයෙන් නැණවත් තීරණ ගත හැක්කේ, හැඟීම්වලට වහල් වී නොසිටින හා සාමකාමී මනසක් තිබෙන අවස්ථාවලදීයි. (ගීතාවලිය 63:6) දානියෙල් සහ ඔහුගේ දේවබියැති මිතුරන් යෙහෝවාගේ ව්‍යවස්ථාවට කීකරු වීමට තීරණය කළේ රජුගේ ප්‍රණීත භෝජන අනුභව කිරීම සඳහා ඔවුන් කෙරෙහි දැඩි බලපෑමක් ඇතිවීමටත් කලින්ය. මේ නිසා ඔවුහු තමන්ගේ විශ්වාසයන් රැකගැනීම ගැනත් අපවිත්‍ර ආහාර අනුභව නොකිරීම ගැනත් දෙගිඩියාවෙන් පසු නොවූහ. (දානියෙල් 1:8) සදාචාරාත්මකව පවිත්‍රව සිටීමට අප ගෙන තිබෙන අධිෂ්ඨානය, පරීක්ෂාවන්ට අප මුහුණ දීමට කලින්ම ශක්තිමත් කරගනිමු. එසේ කිරීමෙන් පාපයේ බලපෑම්වලට එරෙහිව සිටීමට අවශ්‍ය ශක්තිය අපට ලැබෙනු ඇත.
7. වෙනත් අය පරීක්ෂාවලට සාර්ථකව මුහුණ දී තිබෙන බව දැනගන්න ලැබීම සහනයක් ගෙන දෙන දෙයක් වන්නේ මන්ද?
7 “මනුෂ්‍යා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත” කියා පාවුල් පැවසූ වදන් අපට මහත් සැනසිල්ලක් සපයයි. (1 කොරින්ති 10:13) ප්‍රේරිත පේතෘස් මෙසේ ලීවේය. “ලෝකයෙහි සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන, නුඹලාගේ ඇදහිල්ලෙහි ස්ථිරව සිට, යක්ෂයාට විරුද්ධව සිටින්න.” (1 පේතෘස් 5:9) තවත් අය අප මුහුණ දෙනවා හා සමාන පරීක්ෂාවලට මුහුණ දී, දෙවිගේ උපකාරය ඇතුව ඒවායින් ජයගෙන තිබේ. අපටද එසේ කළ හැක. කෙසේවෙතත්, සැබෑ ක්‍රිස්තියානීන් ජීවත් වන්නේ සදාචාරය පිරිහුණු ලෝකයක නිසා කුමන හෝ අවස්ථාවක අප පරීක්ෂාවකට ලක් වෙයි කියා සිතිය හැක. එසේනම්, මිනිස් දුර්වලකම්වලින් හා පාපයට වැටීමට ඇති වන පරීක්ෂාවලින් අපට ජයගත හැකි බවට නිසැක විය හැක්කේ කෙසේද?
අපට පරීක්ෂාවලට එරෙහිව සිටිය හැකියි!
8. පරීක්ෂාවලින් වැළකී සිටීමට උපකාරවත් වන මූලික ක්‍රමයක් විස්තර කරන්න.
8 “පාපයට වහලුන් වීමෙන්” නිදහස් විය හැකි මූලික ක්‍රමයක් නම් හැකි සෑම අවස්ථාවකදීම පරීක්ෂාවලින් වැළකී සිටීමයි. (රෝම 6:6, NW) හිතෝපදේශ 4:14, 15හි අපගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටියි. “දුෂ්ටයන්ගේ මාවතට ඇතුල් නොවන්න. නපුරු මිනිසුන්ගේ මාර්ගයෙහි ගමන්නොකරන්න. එයින් වැළකී, එහි නොගොස්, එයින් අහකට හැරී යන්න.” අප පාපයට හසු විය හැක්කේ කුමන තත්වයන් යටතේද කියා බොහෝ අවස්ථාවලදී අපි කල්තියා දනිමු. එනිසා අපට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය වන්නේ ‘අහකට හැරී යෑමයි.’ එනම්, අප තුළ වැරදි ආශාවන් හා අපවිත්‍ර සිතුවිලි ඇති කරවන පුද්ගලයන්ගෙන්, තත්වයන්ගෙන් හා ස්ථානවලින් ඉවත්ව සිටීමයි.
9. බයිබල් ප්‍රතිපත්ති කඩ කිරීමට පොලඹවන තත්වයන්ගෙන් මීදි පලා යෑම ගැන ශුද්ධ ලියවිල්ලෙහි අවධාරණය කර තිබෙන්නේ කෙසේද?
9 පරීක්ෂාවලින් ජයගත හැකි තවත් මූලික ක්‍රමයක් වන්නේ අපව වැරදි දෙයකට පොලඹවන අවස්ථාවලින් මිදී පලා යෑමයි. “වේශ්‍යාකම කෙරෙන් පලා දුවන්න” කියා පාවුල් උපදෙස් දුන්නේය. (1 කොරින්ති 6:18) ඔහු මෙසේද සඳහන් කළේය. “රූප ඇදහීම කෙරෙන් පලා දුවන්න.” (1 කොරින්ති 10:14) ද්‍රව්‍යමය වස්තුවලට තිබෙන අධික තෘෂ්ණාවෙන් මෙන්ම “යෞවන වයසේ තෘෂ්ණාවලින්” පලා යන්න කියාද ප්‍රේරිතවරයා තිමෝතිට අවවාද කළේය.—2 තිමෝති 2:22; 1 තිමෝති 6:9-11.
10. පරීක්ෂාකාරි අවස්ථාවලින් පලා යෑමේ තිබෙන වටිනාකම පෙන්වා දෙන එකිනෙකට වෙනස් ආදර්ශ දෙක කුමක්ද?
10 ඉශ්රායෙල්හි දාවිත් රජ පාපයට හසු වූ අවස්ථාව සලකා බලන්න. ඔහු සිය මාළිගාවේ පිහිටි සඳලුතලයේ සිට වටපිටාව බලමින් සිටි අවස්ථාවේදී රූමත් ස්ත්‍රියක් දිය නානවා දුටුවේය. ඒ අවස්ථාවේදී ඔහුගේ හෘදය තෘෂ්ණාවෙන් පිරුණේය. සඳලුතලයෙන් බැස, ඒ පරීක්ෂාකාරි තත්වයෙන් පලා යෑමට ඔහුට හැකියාව තිබිණ. එහෙත්, එසේ කරනවා වෙනුවට ඔහු බැත්-ෂෙබා නම් ඒ ස්ත්‍රිය ගැන සොයා බැලුවේය. එහි ප්‍රතිඵල විනාශකාරි විය. (2 සාමුවෙල් 11:1-12:23) මීට වෙනස්ව, තමා සමඟ සයනය කිරීමට තම ස්වාමියාගේ දුෂ්චරිතවත් භාර්යාව ඇවිටිලි කළ විට යෝසෙප් එයට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? මේ පිළිබඳ වාර්තාවෙහි අපට මෙසේ කියවීමට තිබේ. “ඈ දවසින් දවස යෝසෙප්ට කථාකළ නුමුත් ඔහු ඈ සමග සයනයකරන්ටවත් ඈ ළඟ සිටින්ටවත් ඈට ඇහුම්කන් නුදුන්නේය.” මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සඳහන් අණ පනත් ඒ වන විට දී නොතිබුණත්, යෝසෙප් ඇයට මෙසේ උත්තර දුන්නේය. “මම මේ මහත් දුෂ්ටකම කර [දෙවිට] විරුද්ධව කෙසේ පව්කරන්නෙම්ද?” දවසක් ඈ ඔහුව අල්ලාගෙන මෙසේ පැවසුවාය. “මා සමග සයනයකරන්න.” යෝසෙප් එතැන නතර වී, ඇයට කාරණා පැහැදිලි කර දීමට උත්සාහ කළාද? නැත. ඔහු “පිටතට පලා ගියේය.” මෙහිදී ලිංගික සබඳතා පැවැත්වීමට ඇති කළ පරීක්ෂාවට හසු නොවී යෝසෙප් පලා ගියේය.—උත්පත්ති 39:7-16.
11. අපට යම් පරීක්ෂාවකට නැවත නැවත මුහුණ දීමට සිදු වෙනවා නම් කුමක් කළ හැකිද?
11 පලා යෑම බියගුලු ක්‍රියාවක් ලෙස ඇතැම් අවස්ථාවලදී සලකනු ලැබුවත්, පරීක්ෂාකාරි තත්වයකින් ඉවත්ව යෑම සෑමවිටම ගත හැකි නැණවත් ක්‍රියාමාර්ගය වේ. අප රැකියාව කරන ස්ථානයේදී යම් පරීක්ෂාවකට අපට නැවත නැවත මුහුණ දීමට සිදු විය හැක. අපේ රැකියාව වෙනස් කරන්න අපට නොහැකි වුවත්, පරීක්ෂාවට පොලඹවන අවස්ථාවලින් ඉවත්ව සිටීමට වෙනත් ක්‍රම තිබිය හැක. වැරදියි කියා අප දන්න ඕනෑම දෙයකින් අප පලා යා යුතු අතර, හරි දෙය පමණක් කිරීමට අප අදිටන් කරගත යුතුයි. (ආමොස් 5:15) වෙනත් අවස්ථාවලදී, පරීක්ෂාවකින් පලා යෑමට කාමුක දර්ශන ඇතුළත් අන්තර්ජාලයේ වෙබ් අඩවිවලට පිවිසීමෙන් වැළකීම හා විනෝද වීම සඳහා නුසුදුසු ස්ථානවලට යෑමෙන් වැළකී සිටීම ඇතුළත් විය හැක. එසේත් නැත්නම්, යම් සඟරාවක් විසි කර දැමීම හෝ දැන් සිටින මිතුරන් අත්හැර දමා දෙවිට ප්‍රේම කරන හා ඔබට උපකාර කළ හැකි මිතුරන්ව සොයාගැනීම මෙයට ඇතුළත් විය හැක. (හිතෝපදේශ 13:20) අපව පාපයට හසු කරගන්න මාන බලන පරීක්ෂාව කුමක් වුවත්, එය ප්‍රතික්ෂේප කිරීමට අප අදිටන් කරගන්නවා නම්, අපි නැණවත් පුද්ගලයෝ වන්නෙමු.—රෝම 12:9.
යාච්ඤාව උපකාරවත් වන අයුරු
12. ‘අපව පරීක්ෂාවට නොපමුණුවන්න’ කියා යාච්ඤා කරන විට අප දෙවිගෙන් ඉල්ලන්නේ කුමක්ද?
12 පාවුල් මෙම දිරිගන්වනසුලු සහතිකය සපයයි. “[දෙවි] විශ්වාස කෙනෙක්ය. [ඔහු] නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද [සාදා දෙන්නේය].” (1 කොරින්ති 10:13) යෙහෝවා අපට උපකාරය සපයන්නේ, පරීක්ෂාවලට සාර්ථකව මුහුණ දීමට ඔහුගේ උපකාරය ඉල්ලා අප කරන යාච්ඤාවලට උත්තර දීමෙන්ය. යේසුස් අපට මෙසේ යාච්ඤා කිරීමට ඉගැන්වුවේය. “අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප ගැළවුව මැනව.” (මතෙව් 6:13) එවන් හෘදයාංගම යාච්ඤාවලට සවන් දෙන යෙහෝවා අපව පරීක්ෂාවලදී අත් නොහරියි. ඔහු අපව සාතන්ගෙන් හා ඔහුගේ කපටි ක්‍රියාවලින් ගළවාගනියි. (එපීස 6:11, NW, පාදසටහන) පරීක්ෂාවන් හරියාකාරව හඳුනාගෙන, ඒවාට එරෙහිව සිටීම සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙන්න කියා අප දෙවිගෙන් ඉල්ලිය යුතුයි. අප පරීක්ෂාවකට මුහුණ දෙන විට, එයින් පරාජය වීමට ඉඩ නොහරින්න කියා අප ඔහුට කන්නලව් කරනවා නම්, “නපුරා” වන සාතන්ගේ ග්‍රහණයට හසු නොවන පිණිස ඔහු අපට උපකාර කරනු ඇත.
13. අප යම් පරීක්ෂාවකට නිතර නිතර මුහුණ දෙන විට කළ යුත්තේ කුමක්ද?
13 විශේෂයෙන්ම, අප යම් පරීක්ෂාවකට නිතරම ලක් වන විට මහත් ඕනෑකමින් යාච්ඤා කළ යුතුයි. සමහර පරීක්ෂාවන්වලට මුහුණ දීමේදී අපේ සිතුවිලි හා ආකල්ප සමඟ දැඩි සටනක් කිරීමට සිදු වේ. අප මොනතරම් දුර්වල අයද කියා එම අභ්‍යන්තර සටන අපට මතක් කර දෙයි. (ගීතාවලිය 51:5) උදාහරණයක් හැටියට, කලින් කරන ලද යම් නරක ක්‍රියාවක් අපට නිතර සිහිපත් වී, එය සිතට වද දෙනවා නම් කුමක් කිව හැකිද? නැවත ඒ නරක දෙය කිරීමට අප තුළ පෙලඹීමක් ඇති වුවහොත් ඇති වන තත්වය කුමක්ද? එවන් හැඟීම් නිකම්ම යටපත් කර දැමීමට වෑයම් කරනවා වෙනුවට ඒ ගැන යෙහෝවාට යාච්ඤා කරන්න. අවශ්‍ය නම් ඒ කාරණය ගැනම නිතර නිතර යාච්ඤා කරන්න. (ගීතාවලිය 55:22) සිය වචනය හා ශුද්ධාත්මය මගින් නරක සිතුවිලිවලින් අපේ මනස් පවිත්‍ර කරගැනීමට අපට උපකාර කරන්න ඔහුට පුළුවන.—ගීතාවලිය 19:8, 9.
14. මිනිස් දුර්වලකම්වලින් ජයගැනීම සඳහා යාච්ඤාව අත්‍යවශ්‍ය දෙයක් වන්නේ මන්ද?
14 ගෙත්සෙමන උයනේදී, නිදි කිරා වැටෙමින් සිටි සිය අනුගාමිකයන්ව දුටු යේසුස් ඔවුන්ගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටියේය. “නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව ඉඳ යාච්ඤාකරන්න. ආත්මය නම් කැමතිය, නුමුත් මාංසය බෙලහීනය.” (මතෙව් 26:41) පරීක්ෂාවක් අප හමුවට පැමිණිය හැකි විවිධ ස්වරූපයන් හඳුනාගැනීම සඳහා සුපරීක්ෂාකාරිව සිටීමත් එහි සූක්ෂ්මභාවය හොඳින් තේරුම්ගැනීමත් පරීක්ෂාවලින් ජයගැනීමට උපකාරවත් වේ. එමෙන්ම අප ප්‍රමාද නොකර පරීක්ෂාව ගැන යාච්ඤා කිරීමද ඉතාමත් වැදගත්ය. එසේ කිරීමෙන් පරීක්ෂාව සමඟ සටන් කිරීම සඳහා අපට ආත්මිකව හොඳින් සන්නද්ධව සිටිය හැක. අප පරීක්ෂාවට ලක් වන්නේ අපව පහසුවෙන්ම හසු කරගත හැකි දෙයක් මගින් නිසා අපට තනියම එය සමඟ සටන් කළ නොහැක. සාතන්ට එරෙහිව සිටීමේදී දෙවි දෙන ශක්තිය අපට ආරක්ෂාව සපයන ප්‍රබල අවියක් වන නිසා යාච්ඤාව අත්‍යවශ්‍යයි. (පිලිප්පි 4:6, 7) ‘සභාවේ වැඩිමහල්ලන්ගේ’ ආත්මික උපකාරය හා යාච්ඤාවද අපට අවශ්‍ය විය හැක.—යාකොබ් 5:13-18.
පරීක්ෂාවලට එරෙහිව ක්‍රියාශීලීව සටන් කරන්න
15. පරීක්ෂාවකට එරෙහිව සිටීමේදී, ඊට අයත් වන්නේ මොනවාද?
15 හැකි සෑම අවස්ථාවකදීම පරීක්ෂාවකින් වැළකී සිටිනවාට අමතරව, එය අපෙන් පහව යන තෙක් හෝ පරීක්ෂාකාරි තත්වය වෙනස් වන තෙක් අප ක්‍රියාශීලීව එයට එරෙහිව සටන් කළ යුතුයි. සාතන් විසින් යේසුස්ව පරීක්ෂා කරනු ලැබූ අවස්ථාවේදී, සාතන් තමන්ව අත්හැර යන තෙක් යේසුස් ඔහුට එරෙහිව සිටියේය. (මතෙව් 4:1-11) “යක්ෂයාට විරුද්ධව සිටින්න. එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත” කියා ශ්‍රාවක යාකොබ් ලීවේය. (යාකොබ් 4:7) යක්ෂයාට එරෙහිව කරන අපගේ සටන පටන්ගන්නේ දෙවිගේ වචනයේ උපකාරය ඇතුව අපේ මනස ශක්තිමත් කරගැනීමෙන් හා ඔහුගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමට දැඩි අධිෂ්ඨානයක් ගැනීමෙනි. අපට පෞද්ගලිකව මුහුණ දීමට සිදු වන දුර්වලකම සමඟ සටන් කිරීමේදී ඒ සඳහා උපකාරවත් වන මූලික ශුද්ධ ලියවිලි පාඨ මතක තබාගෙන මෙනෙහි කිරීමෙන් එයට සාර්ථකව මුහුණ දීමට අපට හැකි වේ. අපේ දැඩි සැලකිල්ලට යොමු වී තිබෙන දේවල් ගැන කතා කළ හැකි මෙන්ම අප පරීක්ෂාවකට මුහුණ දෙන විට උපකාරය පැතිය හැකි වැඩිමහල්ලෙකු වැනි මේරූ ක්‍රිස්තියානියෙකු හමු වී ඒ ගැන කතා කිරීමත් නැණවත් දෙයකි.—හිතෝපදේශ 22:17.
16. අපට දිගටම සදාචාර සම්පන්න ජීවිතයක් ගත කළ හැක්කේ කෙසේද?
16 අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න කියා ශුද්ධ ලියවිල්ල අපට උනන්දු කරයි. (එපීස 4:24, NW) මෙයින් අදහස් කරන්නේ අපව හැඩගැස්වීමට හා අප තුළ වෙනස්කම් කිරීමට යෙහෝවාට ඉඩ දීමයි. පාවුල් ඔහුගේ හවුල් සේවකයෙකු වූ තිමෝතිට මෙසේ පැවසුවේය. “ධර්මිෂ්ඨකමද භක්තිවන්තකමද ඇදහිල්ලද ප්‍රේමයද ස්ථිරකමද මොළොක්ගුණයද පස්සේ යන්න [ලුහුබඳින්න, NW]. ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට සදාකාල ජීවනය අල්ලාගන්න, ඊට නුඹ කැඳවනු [ලැබුවෙහිය].” (1 තිමෝති 6:11, 12) දෙවිගේ පෞද්ගලිකත්වය හොඳින් හඳුනාගෙන, ඔහුගේ අවශ්‍යතාවන්ට අනුකූලව ජීවත් වීම සඳහා ඔහුගේ වචනය උනන්දුවෙන් අධ්‍යයනය කිරීමෙන් අපට ‘ධර්මිෂ්ඨකම ලුහුබැඳිය’ හැක. ශුභාරංචිය දේශනා කිරීම හා රැස්වීම්වලට යෑම වැනි ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වලින් පිරි කාලසටහනකට අනුව දේවල් කිරීම ඉතාමත් වැදගත් වේ. දෙවිට ළංවීමෙන් හා ඔහුගේ ආත්මික සැපයුම්වලින් පූර්ණ ප්‍රයෝජන ගැනීමෙන්, අපට ආත්මිකව වර්ධනය වීමටත් දිගටම සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීමටත් හැකි වේ.—යාකොබ් 4:8.
17. අප පරීක්ෂාවකට මුහුණ දෙන විට දෙවි අපව අත් නොහරින බව අප දන්නේ කෙසේද?
17 අප මුහුණ දෙන කිසිම පරීක්ෂාවක්, අපට ඒ සමඟ කටයුතු කිරීමට දෙවි දී තිබෙන හැකියාව ඉක්මවා නොයන බවට පාවුල් සහතික කරයි. යෙහෝවා අපට එය ‘විඳදරාගත හැකි වන පිණිස මාර්ගය සලසා’ දෙනු ඇත. (1 කොරින්ති 10:13, NW) අප දිගටම දෙවි මත රඳා සිටිනවා නම්, අඛණ්ඩතාව රැකගැනීම සඳහා අවශ්‍ය ආත්මික ශක්තිය නොමැති වීමේ ප්‍රතිඵලයක් හැටියට පරීක්ෂාවකට හසු වන තත්වයකට පත්වීමට දෙවි ඉඩ නොහරියි. ඔහු වැරදියි කියා පවසා තිබෙන දේවල් කිරීම සඳහා ඇති වන පරීක්ෂාවලට එරෙහිව ක්‍රියාශීලීව කරන සටනේදී, අප ජයගන්නවා දකින්න ඔහු කැමතිය. එපමණක්ද නොව ඔහුගේ මෙම පොරොන්දුව කෙරෙහි අපට විශ්වාසය තැබිය හැක. “මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමි.”—හෙබ්‍රෙව් 13:5.
18. මිනිස් දුර්වලකම්වලට එරෙහිව කරන සටනින් අපට ජයගත හැකි බවට නිසැක විය හැක්කේ මන්ද?
18 මිනිස් දුර්වලකම්වලට එරෙහිව තමන් කරමින් සිටි සටනේ ප්‍රතිඵලය ගැන පාවුල්ට කිසිම සැකයක් නොතිබිණ. මෙම සටනේදී කිසිවෙකුගේ සරණක් නොමැතිව, තම මාංසික ආශාවන්ගේ ග්‍රහණයට හසු වී සිටින කෙනෙකු ලෙස ඔහු කවදාවත් තමන්ව සැලකුවේ නැත. මීට වෙනස්ව ඔහු මෙසේ පැවසුවේය. “මා දුවන්නේ සැකයෙන් මෙන් නොවේය; පහරදෙන්නේ හුළඟට පහරදෙන්නාක්මෙන් නොවේය. නුමුත් මාගේ ශරීරය දමනයකර වහල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනාකළාට පසු කොයිලෙසකින්වත් මාම එපාකරනු නොලබන පිණිසය.” (1 කොරින්ති 9:26, 27) අපේ අසම්පූර්ණ මාංසයට එරෙහිව කරන සටනේදී අපටද සාර්ථක ප්‍රතිඵල අත් කරගත හැක. අපේ ප්‍රේමනීය ස්වර්ගික පියා ශුද්ධ ලියවිලි පාඨ, බයිබලය මත පදනම් ප්‍රකාශන, ක්‍රිස්තියානි රැස්වීම් හා මේරූ ක්‍රිස්තියානීන් වැනි මාධ්‍යයන් මගින් අපට නිරතුරුවම සිහිගැන්වීම් සපයන අතර, එය අපට ධර්මිෂ්ඨකම ලුහුබැඳීමට ඉමහත් උපකාරයක් වේ. ඔහුගේ උපකාරය ඇතුව මිනිස් දුර්වලකම්වලට එරෙහිව කරන සටනින් අපට ජයගත හැක!
ඔබට මතකද?
• “මාංසය කෙරෙහි සිත යොමු කිරීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
• පරීක්ෂාවන් සඳහා අපට සූදානම් විය හැක්කේ කෙසේද?
• පරීක්ෂාවලට සාර්ථකව මුහුණ දීම සඳහා අපට කළ හැකි දේවල් මොනවාද?
• පරීක්ෂාවලට මුහුණ දීමේදී යාච්ඤාව මගින් කිනම් කාර්යභාරයක් ඉටු වේද?
• මිනිස් දුර්වලකම්වලට එරෙහිව කරන සටනින් ජයගත හැකි බවට අපට නිසැක විය හැක්කේ මන්ද?
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[10වන පිටුවේ පින්තූර]
අප පිළිසරණක් නොමැතිව අපේ මාංසික ආශාවන්වලට වහලුන් වී සිටිනවා කියා බයිබලය උගන්වන්නේ නැත
[12වන පිටුවේ පින්තූරය]
පාපවලින් වැළකී සිටිය හැකි ප්‍රධාන ක්‍රමයක් වන්නේ පරීක්ෂාවලින් මිදී පලා යෑමයි