Skip to content

පටුනට යන්න

ලෝක සාමය ඇති කරන්න ආගම්වලට පුළුවන්ද?

ලෝක සාමය ඇති කරන්න ආගම්වලට පුළුවන්ද?

ලෝක සාමය ඇති කරන්න ආගම්වලට පුළුවන්ද?

වර්ෂ 2000 අගෝස්තු 28 සිට අගෝස්තු 31 දක්වා දිනවල, රටවල් 73ක නියෝජිතයන් 500දෙනෙකුට වඩා නියූ යෝක් නුවර රැස් වූහ. මොවුන් එක්සත් ජාතීන්ගේ ආයතනයේදී හමු වූයේ “සහස්‍රයේ ආගමික නායකයන්ගේ ලෝක සාම සමුළුව” පැවැත්වීම සඳහායි. මෙම නායකයන් සැරසී සිටි තලප්පාවන්, තද කහ පාට සිවුරු, පිහාටු සහිත හිස් වැසුම් හා කළු කබායන් වැනි දේවලින් ඔවුන් තුළ වූ විවිධ විශ්වාසයන් පිළිබිඹු විය. මොවුහු ඉස්ලාම්, ක්‍රිස්තියානි කණ්ඩායම්, ජෛන, ටාඕ, බහායි, බෞද්ධ, යුදෙව්, ශරතුස්ත්‍රවාදීන්, ෂින්ටෝ, සීක්, හින්දු, යන ආගම් නියෝජනය කළහ.

දින හතරක් පුරා පැවති මෙම සමුළුවේ මුල් දින දෙකේදී, නියෝජිතයන් පිරිස එක්සත් ජාතීන්ගේ ආයතනයේදී හමු විය. නමුත් මෙම සමුළුවට අනුග්‍රහය දැක්වූයෙත් සංවිධානය කළෙත් එක්සත් ජාතීන් නොව වෙනත් සංවිධානයන්ය. කෙසේවෙතත් එක්සත් ජාතීන් හා ආගමික නායකයන් දෙපාර්ශ්වයම එකට එකතු වී, දුප්පත්කම, ජාතිවාදය, පාරිසරික ප්‍රශ්න, යුද්ධය හා විනාශකාරි යුධායුදවලට අවසානයක් ගෙන ඒම පිළිබඳව සාකච්ඡා කළේය.

“ලෝක ව්‍යාප්ත සාම ගිවිසුම” ලෙස නම් කරන ලද ලියවිල්ලකට නියෝජිතයන් පිරිස අත්සන් තැබීය. අනතුරුව යුද්ධ හා සාහසික ක්‍රියාවන් වැනි “අපරාධයන් සමහර අවස්ථාවලදී සිදු කරන්නේ ආගමේ නාමයෙන්” කියා ඔවුන් පෙන්නුම් කළ අතර, එයට අත්සන් තබන අය “සාමය ලුහුබඳින එක්සත් ජාතීන්ට සහයෝගය දක්වන” බව ප්‍රකාශ කළේය. එහෙත් මෙහිදී ගත යුතු නිශ්චිත ක්‍රියාමාර්ග ගැන පැහැදිලි විසඳුමක් දක්නට නොතිබිණ.

දෙවන දින, සමුළුවේ මහ ලේකම් වන බාවා ජේන්, ප්‍රාරම්භක ඇමතුම අවසානයේදී පැවසුවේ, වසර කීපයකට පෙර එක්සත් ජාතීන්ගේ ආයතනයේ තමන් දුටු සිතුවමක් පිළිබඳ තම මතකය අවදි වූ බවය. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලයට වඩා උස මිනිසෙකු, එම ගොඩනැඟිල්ලට තට්ටු කරනවා එහි සිතුවම් කර තිබුණි. නමුත් දුර සිට එය දෙස බලන්නෙකුට පෙනුණේ එම මිනිසා ගොඩනැඟිල්ලට තට්ටු කරන්නාක් මෙන් නොව දොරකට තට්ටු කරමින් සිටින්නාක් මෙනි. තවද මෙම සිතුවම නම් කර තිබුණේ “සාමයේ කුමාරයා” කියාය. “එම සිතුවම දැක්ක මොහොතේ මගේ සිතට එය තදින් කාවැදුණා. එනිසා මම කීපදෙනෙකුගෙන්ම ඇසුවා එහි අර්ථය කුමක්ද කියලා. මම හිතන්නේ අදයි මට නියම පිළිතුර ලැබුණේ. ලෝකයේ සිටින සියලුම ආගමික නායකයන් අද මෙහි එකතු වී සිටිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය නමැති දොරට තට්ටු කරන සාමයේ කුමරුව නියෝජනය කරන්නේ මොවුන් කියලා මට සිතෙනවා” කියා බාවා ජේන් පවසා සිටියේය.

නමුත් බයිබලය පවසන්නේ වෙනත් දෙයකි. එහි පෙන්නුම් කරන්නේ සාමයේ කුමරු යේසුස් බවය. ඔහු මේ ලෝකයට සාමය ගෙන එන්නේය. නමුත් එය ගෙනෙන්නේ මේ ලෝකයේ දේශපාලනය හා ආගමික නායකයන්ගේ උත්සාහයන් තුළින් නොව, දෙවිගේ රාජ්‍යය තුළින්ය. මෙම රාජ්‍යය, දෙවිගේ ස්වර්ගික ආණ්ඩුව වේ. මෙම ආණ්ඩුව මගින් කීකරු මනුෂ්‍යවර්ගයා එක්සත් කරන අතර දෙවිගේ කැමැත්ත මේ පොළොවේ සිදු කරනවා ඇත.—යෙසායා 9:6; මතෙව් 6:9, 10.