Skip to content

පටුනට යන්න

‘ස්වාමීන් සැබවින්ම නැඟුටුණා!’

‘ස්වාමීන් සැබවින්ම නැඟුටුණා!’

‘ස්වාමීන් සැබවින්ම නැඟුටුණා!’

යේසුස්ගේ ගෝලයන්ට ඔවුන්ගේ ස්වාමීන්ව මරා දැමූ විට මොනතරම් වේදනාවක් දැනෙන්න ඇද්ද? අරිමාතියේ යෝසෙප් විසින් සොහොන් ගෙයි තැන්පත් කරනු ලැබූ යේසුස්ගේ නිසල කය මෙන් ඔවුන්ගේ බලාපොරොත්තුද මිලින වී ගියේය. එමෙන්ම රෝමානු නීති මගින් යුදෙව්වන් පිට පටවා තිබූ බරෙන් යේසුස් යුදෙව්වන්ව නිදහස් කරගනී යන අපේක්ෂාවද භංග වී ගියේය.

සියල්ල ඉන් නිම වුණි නම්, මෙසියස්ගේ අනුගාමිකයන් වීමට සිටි බොහෝදෙනෙකු වාගේම යේසුස්ගේ ගෝලයන්ද සමහරවිට අතුරුදහන් වීමට ඉඩ තිබිණ. එහෙත් යේසුස් සිටියේ ජීවමානවයි! ශුද්ධ ලියවිලිවලට අනුව, ඔහුගේ මරණින් ටික දවසකට පසු ඔහු අවස්ථා කීපයකදීම තම අනුගාමිකයන් ඉදිරියේ පෙනී සිටියේය. එබැවින් ඔවුන්ගෙන් සමහරෙක් ‘ස්වාමීන් සැබවින්ම නැඟුටුණා’ කියා පැවසූහ.—ලූක් 24:34.

යේසුස් මෙසියස් බවට වූ තමන්ගේ විශ්වාසය වෙනුවෙන් කතා කිරීමට ගෝලයන්ට සිදු විය. එසේ කිරීමේදී, ඔහුගේ මෙසියස්භාවය ඔප්පු කිරීමට ස්ථිර සාක්ෂියක් වශයෙන් විශේෂයෙන්ම ඔවුහු ඔහු මළවුන්ගෙන් නැවත නැඟිටි බව සඳහන් කළහ. සැබවින්ම, “ස්වාමිවූ [යේසුස්ගේ] නැවත-නැගිටීම ගැන ප්‍රේරිතයෝ මහත් බලයෙන් සාක්ෂිදුන්නෝය.”—ක්‍රියා 4:33.

සමහරවිට සොහොන්ගෙය තුළ මළ සිරුර තිබූ බව පැවසීමෙන් හෝ එය එහි තිබූ බව පිළිගැනීමට ගෝලයෙකුට සැලැස්වීම මගින් හෝ මෙම නැවත නැඟිටීම ප්‍රෝඩාවක් බව කවරෙකු හෝ ඔප්පු කර තිබුණි නම්, ක්‍රිස්තු ධර්මය උපන් ගෙයිම වැළලී යන්ට ඉඩ තිබිණ. එහෙත් එය එසේ වූයේ නැත. ක්‍රිස්තුස් ජීවමානව සිටි බව දත් යේසුස්ගේ අනුගාමිකයන් ඔහුගේ නැවත නැඟිටීම ගැන සෑම තැනකම පතළ කරමින් ගිය අතර, බොහෝදෙනෙක් නැවත නැඟිටුණාවූ ක්‍රිස්තුස් කෙරෙහි අදහාගත්හ.

යේසුස්ගේ නැවත නැඟිටීම කෙරෙහි ඔබටත් විශ්වාසය තැබිය හැක්කේ මන්ද? මෙය ඇත්ත සිද්ධියක් බවට තිබෙන සාක්ෂි මොනවාද?

සාක්ෂි සලකා බැලිය යුත්තේ මන්ද?

යේසුස්ගේ නැවත නැඟිටීම සම්බන්ධයෙන් සුවිශේෂ හතරෙහිම සඳහන් වේ. (මතෙව් 28:1-10; මාර්ක් 16:1-8; ලූක් 24:1-12; යොහන් 20:1-29) a ක්‍රිස්තුස්ව මළවුන්ගෙන් නැඟිටුවීම සම්බන්ධයෙන් ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලේ වෙනත් කොටස්වලද ස්ථිරත්වයකින් කතා කරයි.

යේසුස්ගේ අනුගාමිකයන් ඔහුගේ නැවත නැඟිටීම ගැන ප්‍රකාශ කිරීම පුදුම විය යුතු දෙයක් නොවේ. දෙවි විසින් ඔහුව ඇත්තෙන්ම ජීවනයට නැඟිටුවනු ලැබුවා නම්, ලෝකයා මෙතෙක් අසා තිබෙන පුදුමයෙන් පුදුමයට පත් කරවන ආරංචිය එයයි. ඉන් අදහස් වෙන්නේ දෙවි පවතින බවයි. එපමණක්ද නොව, යේසුස් දැනුත් ජීවමානව සිටින බව ඉන් අදහස් වේ.

එය අපට බලපාන්නේ කෙසේද?යේසුස් මෙසේ යාච්ඤා කළේය. “මින් අදහස් කරන්නේ සදාකාල ජීවනයය, එනම් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත්, ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3, NW) ඔව්, යේසුස් හා ඔහුගේ පියා පිළිබඳව ජීවනදායක දැනුම ලබාගන්න අපට හැක. අපට මියයෑමට සිදු වුවත්, එම දැනුම අදාළ කරගන්නවා නම්, අපටත් නැවත නැඟිටීමක් ලැබිය හැකි බවට යේසුස්ගේ නැවත නැඟිටීම සහතිකයක් සපයයි. (යොහන් 5:28, 29) රජවරුන්ගේ රජ මෙන්ම දෙවිගේ මහිමාන්විත පුත්‍රයා වූ යේසුස් ක්‍රිස්තුස්ගේ හස්තයේ පවතින දෙවිගේ ස්වර්ගික රාජ්‍යය යටතේ පාරාදීස පොළොවක සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව සිටීමට අපට හැක.—යෙසායා 9:6, 7; ලූක් 23:43; එළිදරව් 17:14.

එසේනම්, සැබෑවටම යේසුස් මළවුන්ගෙන් නැඟුටුණාද යන ප්‍රශ්නය පිළිබඳ සැබෑව දැනගැනීම අත්‍යවශ්‍යයි. එය දැන් අපේ ජීවිතයටත්, මතු අපේ බලාපොරොත්තුවලටත් බලපායි. යේසුස් මියගොස් නැවත නැඟිටි බවට පැති හතරකින් ලැබෙන සාක්ෂි සෝදිසි කර බලන්නයයි අප ඔබට ආරාධනා කරන්නේ ඒ හේතුවෙනි.

යේසුස් කණුවක් මත මියගියේය

මේ ගැන සැක කරන ඇතැම් අය පවසන්නේ කණුවක් මත ඇණ ගැසුවත් යේසුස් ඇත්තටම මියගියේ නැත කියාය. තවදුරටත් ඔවුන් පවසන්නේ ඔහු පණ අදිමින් සිටි අතර සොහොනේ තිබූ සිසිල්භාවය නිසා යළි ප්‍රාණවත් වූවා කියාය. එහෙත්, මේ සම්බන්ධයෙන් සොයාගත හැකි සෑම තොරතුරකින්ම ඔප්පු වන්නේ සොහොනේ තැන්පත් කළේ යේසුස්ගේ මළ සිරුර බවයි.

යේසුස්ව මරා දැමුවේ ප්‍රසිද්ධියේ බැවින්, ඔහු කණුව මත සිටිද්දී ඇත්තෙන්ම මියගිය බවට ඇසින් දුටු සාක්ෂි තිබේ. යේසුස්ව මරණයට පත් කිරීමට වගබලා ගත් රෝම සොල්දාදුවා විසින් ඔහු මියගිය බවට සහතික කරන ලදි. යේසුස් මියගිය බවට තීරණය දීම ඇතුළු සිය රාජකාරිය ඔහු ඉටු කළේ මනා පළපුරුද්දක් ඇතුවය. එපමණක්ද නොව, රෝමානු පාලක පොන්තියුස් පිලාත් යේසුස්ගේ මළ සිරුර වැළලීමට අරිමාතියේ යෝසෙප්ට භාර දුන්නේ ඔහු මියගිය බව ස්ථිර කරගත් පසුවය.—මාර්ක් 15:39-46.

සොහොන හිස්ව තිබුණි

හිස් වූ සොහොනෙන් ගෝලයන්ට යේසුස්ගේ නැවත නැඟිටීම පිළිබඳව මුල් සහතිකය ලැබුණු අතර, මෙම සාක්ෂිය අවිවාදයෙන් පිළිගැනීමට සිදු වී තිබේ. යේසුස්ව වළලනු ලැබුවේ කලින් භාවිත නොකළ අලුත්ම සොහොන් ගෙයකය. එය තිබුණේ ඇණ ගැසූ ස්ථානයට නුදුරින් වූ අතර එවකට එය පහසුවෙන්ම සොයාගත හැකි තැනක් විය. (යොහන් 19:41, 42) යේසුස් මියගිය පසු දෙවන දින උදෑසන ඔහුගේ මිත්‍රයන් සොහොන ළඟට ගිය විට ඔහුගේ සිරුර එහි නොතිබූ බවට සුවිශේෂ වාර්තා සියල්ලම එකඟ වේ.—මතෙව් 28:1-7; මාර්ක් 16:1-7; ලූක් 24:1-3; යොහන් 20:1-10.

හිස් සොහොන දැකීමෙන් යේසුස්ගේ මිත්‍රයෝ පමණක් නොව ඔහුගේ සතුරෝද මහත් සේ පුදුමයට පත් වූහ. ඔහුව මරා වළලා දැමීමට ඔහුගේ සතුරෝ දිගු කලක් පුරා වෙහෙසෙමින් සිටියෝය. ඔවුන්ගේ අභිප්‍රාය ඉටු කරගත් පසු රැකවලෙකු තැබීමට හා සොහොන මුද්‍රා කිරීමට ඔවුහු වගබලා ගත්හ. කෙසේනමුත්, සතියේ පළමු දින උදෑසන වන විට එය හිස්ව තිබිණ.

යේසුස්ගේ මිතුරන් විසින් ඔහුගේ සිරුර සොහොනෙන් ඉවතට රැගෙන යනු ලැබීද? එසේ වූවායයි සිතිය නොහැක. මන්ද ඔහුව මරා දැමූ පසු ඔවුන් දැඩි ශෝකයකින් සිටි බව සුවිශේෂවල සඳහන් වන බැවිනි. තවද, ඔහුගේ ගෝලයන් වංචාවක් සිදු කළා නම්, පීඩා විඳීමට හා මරු දැකීමට සිදු වන බව දැන දැනම එහි යයි කියා සිතිය නොහැක.

එසේනම්, සොහොන හිස් කළේ කවරෙක්ද? යේසුස්ගේ සතුරන් සිරුර රැගෙන ගියායයි සිතිය නොහැක. ඔවුන් එය රැගෙන ගියා වුවත්, යේසුස් නැවත නැඟිට ජීවමානව සිටින බවට ගෝලයන් කළ ප්‍රකාශයන් නිෂ්ප්‍රභ කිරීමට ඔවුන් යළි එය ඉදිරිපත් කරනු ඇත. එහෙත් එවැන්නක් සිදු වූයේ නැත. සොහොන හිස්වීමට සැලැස්වූයේ දෙවි බැවින් ඔවුන්ට කිසිවක් කිරීමට නොහැකි විය.

සති කීපයකට පසු පේතෘස් මෙසේ සාක්ෂි දැරුවේය. ‘ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි, මේ වචන අසන්න—නුඹලාම දන්නා ලෙස නුඹලා අතරේ දෙවි විසින් නාසරිය යේසුස් ලවා කරවන ලද බලවත් ක්‍රියාවලින්ද පුදුමවලින්ද ලකුණුවලින්ද දෙවි විසින් ඒත්තුගනු ලැබූ මනුෂ්‍යයෙක් වූ එම යේසුස්, දෙවිගේ නියම වූ මන්ත්‍රණය සහ පෙර දැනගැන්ම ලෙස භාර දෙන ලදුව, නුඹලා ව්‍යවස්ථාව නොසලකන අය ලවා වධ කණුවෙහි ඇණගස්වා මැරවුවහුය. නමුත් දෙවි මරණ වේදනාවෙන් ඔහු මුදා නැඟිට්ටෙව්වේය. කුමක් හෙයින්ද ඔහු නවතාගන සිටින්ට මරණයට නුපුළුවන් විය. මක්නිසාද දාවිත් ඔහු ගැන කතා කරමින්: යෙහෝවා නිතරම මා ඉදිරියෙහි සිටිනවා දුටිමි; තවද මාගේ මාංසය බලාපොරොත්තුවෙන් වසන්නේය. මක්නිසාද ඔබ මාගේ ආත්මය පාතාලයේ නවතින්ටවත් ඔබගේ ශුද්ධ තැනැත්තා කුණු වෙන්ටවත් ඉඩ නොදෙන්නේයයි කීවේය.’ (ක්‍රියා 2:22-27) මෙම වදන් ඇසූ යේසුස්ගේ සතුරන් එය අමූලික බොරුවක් බව පවසමින් එයට විරුද්ධව නැඟී නොසිටීම සැලකිය යුත්තකි.

බොහෝදෙනෙක් නැවත නැඟිටුණු යේසුස්ව දකිති

සුවිශේෂ ලේඛක ලූක් ක්‍රියා පොතෙහි මෙසේ ලීවේය. ‘[යේසුස්] වධ වින්ද පසු සතළිස් දවසක් අතරතුරේ [ප්‍රේරිතයන්ට] පෙනෙමින්ද දෙවිගේ රාජ්‍යය ගැන කාරණා කියමින්ද බොහෝ ඔප්පු සාක්ෂිවලින් තමන්ම ජීවමානව ඔවුන්ට ප්‍රකාශ වූයේය.’ (ක්‍රියා 1:2, 3) උයනකදී, පාරකදී, ආහාර වේලක් ගනිමින් සිටියදී, තිබේරියස් මුහුද ළඟදී යන විවිධ අවස්ථාවලදී නැවත නැඟිටුණාවූ යේසුස්ව ගෝලයන් කිහිපදෙනෙකු විසින් දක්නා ලදි.—මතෙව් 28:8-10; ලූක් 24:13-43; යොහන් 21:1-23.

විවේචකයෝ මෙම පෙනී සිටීම්වල සත්‍යතාව පිළිබඳව ප්‍රශ්න කරති. ඒවා ලේඛකයන් විසින් ගොතන ලද්දක් කියා පවසන ඔවුහු ඒවාවල පෙනෙන්න තිබෙන වෙනස්කම් පිළිබඳවද සඳහන් කරති. ඇත්තෙන්ම, සුවිශේෂ වාර්තාවල තිබෙන සුළු වෙනස්කම් ලේඛකයන් අතර යම් කුමන්ත්‍රණයක් නොතිබූ බවට සාක්ෂියකි. ක්‍රිස්තුස්ගේ ජීවිතයේ මුල් කාලයේ සිදු වූ ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් එක් ලේඛකයෙකු නොලියූ යමක් වෙන සුවිශේෂයක තිබීමෙන් යේසුස් පිළිබඳ අපේ දැනුම පුළුල් වේ.

නැවත නැඟිටුණාවූ යේසුස් පෙනී සිටි අවස්ථාවන් මනඃකල්පිතයන් වීද? බොහෝදෙනෙකු ඔහුව දුටු බැවින් ඒ ආශ්‍රිතව කෙරෙන ඕනෑම තර්කයක් බිඳ වැටේ. ධීවරයන්, ස්ත්‍රීන්, සාමාන්‍ය සේවකයෙක් හා සැක කළ තෝමස් ඔවුන් අතරේ සිටි කීපදෙනෙකි. තෝමස් යේසුස් මළවුන්ගෙන් නැඟිටුණු බව විශ්වාස කළේ නිෂ්ප්‍රභ කළ නොහැකි සාක්ෂියක් දුටුවායින් පසුවය. (යොහන් 20:24-29) අවස්ථා කීපයකදීම, යේසුස්ගේ ගෝලයන්ට නැවත නැඟිටුණාවූ තම ස්වාමීන්ව එකපාරටම හැඳිනගැනීමට නොහැකි විය. වතාවක, 500කට වැඩිදෙනෙක් ඔහුව දුටුවෝය. පසු කලෙක ප්‍රේරිත පාවුල් නැවත නැඟිටීම ඔප්පු කිරීමට එම සිද්ධිය ගෙනහැර පෑ අවස්ථාවේදීත් ඔවුන්ගෙන් වැඩිදෙනෙක් ජීවතුන් අතර සිටියෝය.—1 කොරින්ති 15:6.

ජනයා මත ජීවමාන යේසුස්ගේ බලපෑම

යේසුස්ගේ නැවත නැඟිටීම කුතුහලයෙන් සෙවිය යුතු හෝ විවාදයට ලක් කළ යුතු කාරණයක් පමණයි කියා නොසිතිය යුතුය. ඔහු ජීවමානව සිටිනවාය යන සත්‍යය සියලු තැන්හි සිටින ජනයාට බලපා තිබෙන්නේ ඒකාන්ත ආකාරයකටය. මුල් සියවසේ පටන් මේ දක්වා, ක්‍රිස්තු ධර්මය කෙරෙහි උදාසීනත්වයෙන් හෝ දැඩි වෛරයකින් පසු වූ අසංඛ්‍යාත පිරිසක් පසුව පූර්ණ නිසැකකමකින් එය සැබෑ ආගම බව පිළිගෙන තිබේ. ඔවුන්ව වෙනස් කිරීමට හේතු වූයේ කුමක්ද? ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කරද්දී, දෙවි යේසුස්ව මහිමාන්විත ආත්ම මැවිල්ලක් වශයෙන් යළි ජීවනයට නැඟිටෙවූ බව ඔවුන්ට ඔප්පු වීමය. (පිලිප්පි 2:8-11) ගැළවීම ලබා දීමට යෙහෝවා දෙවි විසින් සපයනු ලැබූ ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව කෙරෙහිත්, යේසුස් කෙරෙහිත් ඔවුන් ඇදහිල්ල තබා තිබේ. (රෝම 5:8) දෙවිගේ කැමැත්ත කිරීම මගින් හා යේසුස්ගේ ඉගැන්වීම්වලට එකඟව ජීවත් වීම මගින් එවැනි අයට නියම සතුට ලැබී ඇත.

පළමුවන සියවසේ සිටි ක්‍රිස්තියානීන්ගේ තත්වය සලකා බලන්න. ක්‍රිස්තියානීන්ට කීර්තිය, බලය හෝ ධනය අතින් වාසි ප්‍රයෝජන ලැබුණේ නැත. ඇතැම් අවස්ථාවලදී, මුල් ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් තමන්ගේ ඇදහිල්ල නිසා ‘තමන්ගේ දේපළ කොල්ලකෑම ප්‍රීතියෙන් ඉවසූහ.’ (හෙබ්‍රෙව් 10:34) ක්‍රිස්තියානීන්ට පරිත්‍යාගයන් කරමින්, පීඩා විඳිමින් තම ජීවිත ගත කිරීමට සිදු වූ අතර බොහෝ අයට තමන්ගේ ජීවිත පවා පරිත්‍යාග කිරීමට සිදු විය.

සමහරුන්ට ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් බවට පත්වීමට පෙර කීර්තිය ලබාගැනීමට හා ධනය රැස් කරගැනීමට කදිම ප්‍රස්තාවන් තිබිණ. සුප්‍රසිද්ධ නීතිවේදියෙකු වූ ගමාලියෙල් යටතේ සිප්සතර හැදෑරූ තාර්සස්හි සාවුල් යුදෙව්වන් අතරේ කැපීපෙනෙන පුද්ගලයෙකු බවට පත්වීමට පටන්ගත්තේය. (ක්‍රියා 9:1, 2; 22:3; ගලාති 1:14) එහෙත්, සාවුල් පාවුල් බවට පත් වූයේය. ඔහු සහ වෙනත් බොහෝදෙනෙක් මේ ලෝකයෙන් ලැබෙන කීර්තිය හා බලය ප්‍රතික්ෂේප කළහ. මන්ද? ඔවුන් එසේ කළේ, දෙවිගේ පොරොන්දු මත පදනම් වූ සැබෑ බලාපොරොත්තුව පිළිබඳ පණිවිඩයක් ගැනත්, යේසුස් ක්‍රිස්තුස් මළවුන්ගෙන් නැඟිටුවනු ලැබූ බවත් ප්‍රකාශ කිරීමේ අරමුණෙනි. (කොලොස්සි 1:28) සත්‍යය මත පදනම්ව තිබූ දෙයක් වෙනුවෙන් ඔවුහු දුක් වේදනා විඳීමට කැමති වූහ.

අදදින සිටින මිලියන සංඛ්‍යාතය ගැන කීමට තිබෙන්නේද එයමය. ලොව පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවලදී ඔබට ඔවුන්ව හමු විය හැක. වර්ෂ 2001 අප්‍රියෙල් 8වන ඉරිදා හිරු බැස යෑමෙන් පසුව පවත්වනු ලබන ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමේ වාර්ෂික උත්සවයට පැමිණෙන ලෙස සාක්ෂිකරුවෝ ඉතා උනන්දුවෙන් ඔබට ආරාධනා කරති. එම උත්සවයට මෙන්ම රාජ්‍ය ශාලාවල පැවැත්වෙන බයිබල් අධ්‍යයනය සඳහා වූ ඔවුන්ගේ රැස්වීම් සියල්ලටද ඔබව සාදරයෙන් පිළිගැනීමට ඔවුහු සතුටෙන් සිටිති.

යේසුස්ගේ මරණය හා නැවත නැඟිටීම ගැන පමණක් නොව නමුත් ඔහුගේ ජීවිතය හා ඉගැන්වීම් ගැනත් ඉගෙන නොගන්නේ මන්ද? ඔහු වෙත පැමිණෙන්න කියා ඔහු අපට ආරාධනා කරයි. (මතෙව් 11:28-30) යෙහෝවා දෙවි හා යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ නිවැරදි දැනුම ලබාගැනීමට දැන්ම ක්‍රියාත්මක වන්න. එසේ කිරීමෙන් දෙවිගේ ප්‍රිය පුත්‍රයාගේ හස්තයේ පවතින දේවරාජ්‍යය යටතේ ඔබට සදා ජීවනය ලැබිය හැකිය.

[පාදසටහන]

a සුවිශේෂ වාර්තාවල නිරවද්‍යතාව පිළිබඳ සාක්ෂි සඳහා 2000 මැයි 15 මුරටැඹෙහි “සුවිශේෂ වාර්තා විශ්වාස කළ හැකිද?” යන තේමාවෙන් යුත් ලිපි බලන්න.

[7වන පිටුවේ පින්තූර]

යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ලෙස මිලියන සංඛ්‍යාතයක් සැබෑ සතුට ලබයි

[6වන පිටුවේ පින්තූරය]

From the Self-Pronouncing Edition of the Holy Bible, containing the King James and the Revised versions