Skip to content

පටුනට යන්න

ඉන්දියාවේ “විවිධත්වයන් මැද එක්සත්” වූවෝ

ඉන්දියාවේ “විවිධත්වයන් මැද එක්සත්” වූවෝ

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

ඉන්දියාවේ “විවිධත්වයන් මැද එක්සත්” වූවෝ

ඉන්දියාවේ ජාතීන්ගේ සංකලනය විස්තර කිරීමට “විවිධත්වයන් මැද එක්සත්කම”යන ජනප්‍රිය උද්‍යෝග පාඨය යොදාගෙන තිබේ. විවිධ ජාතීන්, ආගම්, භාෂා සහ සංස්කෘතීන් අතර පමණක් නොව ඇඳුම් පැළඳුම් හා ආහාර පානාදිය අතරද විවිධත්වයක් දක්නට ඇති දැවැන්ත රටක එක්සත්කම පවත්වාගැනීම සුළු පටු කාරණයක් නොවේ. එහෙත් එය ඉන්දියාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පරිපාලන කටයුතු මෙහෙයවන ස්ථානය තුළ දැකගත හැකි දෙයකි. ප්‍රාන්ත හා ප්‍රාදේශීය රාජ්‍යයන් බොහොමයකින් පැමිණි විවිධ භාෂා කතා කරන ස්වේච්ඡා සේවකයන් එකට ජීවත් වෙමින්, එකට වැඩ කරමින් මෙහි එක්සත්ව කල් ගෙවයි.

• එය සනාථ කරගැනීමට ඉන්දියාවේ වයඹ කෙළවරට වෙන්න පිහිටි පන්ජාබ්හි ජීවත් වන රාජ්රාණී නම් තරුණියගේ අද්දැකීම සලකා බලමු. ඇය පාසැල් යන කාලයේ, ඇගේ පංතියේ සිටි මිතුරියක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගෙන තිබිණි. එපමණක් නොව, එම ගැහැනු ළමයා රාජ්රාණී තුළද බයිබලය පිළිබඳව උනන්දුවක් පුබුදුවාලීමට වෙරදරා ඇත. ඒ කාලයේදී මුරටැඹ සඟරාව පන්ජාබි භාෂාවෙන් නොතිබිණ. මේ නිසා ඉංග්‍රීසි භාෂාව පිළිබඳව අල්ප දැනුමක් තිබූ එම මිතුරිය සඟරාවේ කරුණු තමාට පරිවර්තනය කර දෙන මෙන් රාජ්රාණීගෙන් ඉල්ලා සිටියාය. තම මිතුරියට පරිවර්තනය කර දුන් දේ රාජ්රාණීට කොතරම් තදින් බලපෑවාද කිවහොත්, ඇය යෙහෝවා දෙවිට ඇගේ ජීවිතය කැප කිරීම දක්වා ප්‍රගතියක් ලැබුවේ ඇගේ දෙමව්පියන්ගේ විරුද්ධවාදීකම් මධ්‍යයේදීමය. දැන් ඇය ඉන්දියාවේ බෙතෙල් ගෘහයේ සේවය කරන අතර සත්‍යය වෙතට ඇගේ දෙනෙත විවර කිරීමට මඟ පෑදූ මුල් කාර්යයේ එනම් ක්‍රිස්තියානි ප්‍රකාශන පන්ජාබි භාෂාවට පරිවර්තනය කිරීමේ කාර්යයේම නිරතව සිටින්නීය.

• ඉන්දියාවේ නිරිතදිග දිශාවේ පිහිටි කේරල ප්‍රදේශයේ ජීවත් වූ බිජෝ ගැන මදකට සලකා බලන්න. බිජෝ අධ්‍යාපනය ලබමින් සිටි උසස් පාසැලේ පැවති දේශාභිමානී උත්සවයකදී මධ්‍යස්ථව සිටීම නිසා ඔහුව පාසැලෙන් නෙරපා දමන ලදි. පසුව මෙම කාරණය උසාවියට ඉදිරිපත් කෙරුණු අතර නඩුව දිග්ගැස්සුණි. එහෙත් අවසානයේදී, නිර්මල නමස්කාරය සඳහා විජයග්‍රහණයක් සනිටුහන් කරමින් එය කෙළවරට පත් විය. බිජෝට නැවතත් පාසැල් යාමට මං විවර විය. a පසුව ඔහු විශ්වවිද්‍යාලයටද ඇතුල් විය. නමුත් එහි පැවති දුරාචාරයට දිරි දුන් වාතාවරණය ඔහුගේ හෘදය සාක්ෂියට වද දුන් හෙයින් බිජෝ පළමු වාරයේදීම විශ්වවිද්‍යාලීය අධ්‍යාපනයට ආයුබෝවන් කීය. දැන් අවුරුදු දහයක් පුරා බෙතෙල් ගෘහයේ සේවය කරමින් සිටින ඔහු පවසන්නේ උසස් අධ්‍යාපනය ලුහුබඳිනවා වෙනුවට විවිධත්වයන් මැද එක්සත් වූ බෙතෙල් පවුලේ සාමාජිකයෙකු වීමෙන් තමන්ට බොහෝ ආශීර්වාද භුක්ති විඳීමට හැකි වී තිබෙන බවයි.

• අවුරුදු හැත්තෑවට වඩා වයසැති නොර්මා සහ ලිලි වැන්දඹුවන් වූයේ බොහෝ කාලයකට පෙරය. ඔවුන් අවුරුදු හතළිහකට වඩා වැඩි කාලයක් පුරා පූර්ණ කාලීන සේවයේ යෙදී තිබේ. ලිලි දෙමළ භාෂා පරිවර්තකයෙක් ලෙස අවුරුදු විස්සක් පුරා ශාඛා කාර්යාලයේ සේවය කරමින් සිටියි. නොර්මා ඇගේ සැමියා මිය ගිය පසු එනම් දැනට අවුරුදු දහතුනකට කලින් බෙතෙල් ගෘහයේ සේවයට පැමිණියාය. කාර්යක්ෂම හා යුතුකම් නොපිරිහෙළා ඉටු කරන සේවිකාවන් හැටියට මොවුන් දෙදෙනා කදිම ආදර්ශයක් තබමින් මුළු පවුලේ එක්සත්භාවයට කදිම අත්වැලක් සපයයි. ඔවුන් බෙතෙල් ගෘහය බැහැදකින්න පැමිණෙන අමුත්තන්ව පිළිගන්නේ හද පිරි සතුටෙනි. බෙතෙල් පවුලේ තරුණ සාමාජිකයන්ගේ ඇසුර ප්‍රීතියෙන් භුක්ති විඳිමින් තම ක්‍රිස්තියානි ජීවිතයේ අතීත අත්දැකීම් ඔවුන් හා බෙදාගනියි. එමෙන්ම තරුණ සාමාජිකයන්ද මාරුවෙන් මාරුවට තම නේවාසික කාමරවලට ඔවුන්ට ආරාධනා කිරීමෙන් සහ අවශ්‍යතා ඇති විට තම උපකාරය පිරිනැමීමෙන් ඔවුන්ව අගය කරන බව පෙන්වයි. මොනතරම් කැපීපෙනෙනසුලු ආදර්ශයන්ද!

අරගල හා එකඟ නොවීම් නිසා විවිධ ප්‍රදේශ තුළ නොයෙකුත් මතභේදයන් පැවතුණත් ඒවා ජයගෙන ඇති ඉන්දියාවේ එක්සත් බෙතෙල් පවුලේ සාමාජිකයන් ස්වේච්ඡා සේවකයන් ලෙස අන් අයට සේවය කරන්නේ ඉතාමත් ප්‍රීතියෙනි.—ගීතාවලිය 133:1.

[පාදසටහන]

a වර්ෂ 1987,නොවැම්බර් 1වෙනිදා මුරටැඹ කලාපයේ (ඉංග්‍රීසියෙන්) 21වන පිටුව බලන්න.

[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

පසුතලය: Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.