Skip to content

පටුනට යන්න

යමෙක් ඔබව වරදවා වටහාගෙන ඇත්නම් . . .

යමෙක් ඔබව වරදවා වටහාගෙන ඇත්නම් . . .

යමෙක් ඔබව වරදවා වටහාගෙන ඇත්නම් . . .

ඇන්ටෝනියෝගේ ඔළුව හොඳටම අවුල් වෙලයි තිබුණේ. ඔහුගේ හොඳම මිතුරෙක් වන ලියනාඩෝ එකපාරටම ඔහුව ගණන් ගන්නේ නැතුව ගියා. a ලියනාඩෝව මුණගැසුණ අවස්ථා කිහිපයකදීම ඔහුගෙන් කොහොමද කියලා ඇහුවාම ඇන්ටෝනියෝට කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. තවත් අවස්ථාවලදී ඔවුන් දෙදෙනා අතර වැඩි ගනුදෙනුවක් තිබුණේත් නැහැ. තමා කරපු හෝ කියපු යම් දෙයක් ලියනාඩෝ වරදවා තේරුම්ගෙන ඇති කියලා ඇන්ටෝනියෝ කල්පනා කරන්න පටන්ගත්තා. ඒ මොකක්ද කියා නම් ඔහුට හිතාගන්න බැරුව ගියා.

එකිනෙකා අතර වරදවා වටහාගැනීම් ඇතිවීම ජීවිතයේ සාමාන්‍ය දෙයක්. සමහර වැරදි වැටහීම් පහසුවෙන්ම විසඳාගත හැකි ඒවායි. හැබැයි වෙනත් ඒවා අපව අන්ත කලකිරීමට පත් කරන්න පුළුවන්. අප ගැන ඇති වී තිබෙන වැරදි අදහස නැති කර දැමීමට නොහැකි වූ විට අප තුළ කේන්තියක් පවා ඇති විය හැකියි. ඇත්තෙන්ම මිනිසුන් එකිනෙකාව වරදවා වටහාගන්නේ ඇයි? එයින් ඇති වන්නේ කොයි වගේ ප්‍රතිඵලද? ඔබ කළ කී දෙයක් යමෙක් වරදවා වටහාගෙන ඇත්නම් ඔබට කරන්න පුළුවන් මොනවාද? අනිත් අය අප ගැන සිතන දේවල් පිළිබඳව අප ඒ තරම් කරදර විය යුතුද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න අපි දැන් වෑයම් කරමු.

වෙනස් කළ නොහැකි යථාර්ථයක්

අනිත් අය අපේ ඇතුළාන්ත හැඟීම් හෝ චේතනා නොදන්න නිසා, කවුරුහරි කෙනෙක් කවදාහරි අප කරන කියන යමක් වැරදියට තේරුම්ගනීවි කියා අප බලාපොරොත්තු විය යුතුයි. වරදවා වටහාගැනීම් ඇතිවීමට ඕන තරම් හේතු තිබෙනවා. සමහරවිට අපේ අදහස් පැහැදිලිව ප්‍රකාශ කරන්න අපි අසමත් වෙන්න පුළුවන්. අවට ශබ්දයක් නැත්නම් වෙන යම් බාධාවක් හින්දා අප කතා කරද්දී අනිත් අයට සම්පූර්ණයෙන් අවධානය දෙන්න බැරිව යන්න පුළුවන්.

පෞද්ගලිකත්වයන් හා ප්‍රතික්‍රියා කරන විධි එකිනෙකට වෙනස් වන නිසාත් ප්‍රශ්න ඉස්මතු වෙනවා. උදාහරණයකට, ඒ තරම් ඉදිරියට එන්නේ නැති ලැජ්ජාශීලී කෙනෙක් හරිම අහංකාරයි කියා හංවඩු ගසන්න ඉඩ තිබෙනවා. ඒ වගේම, අතීත අද්දැකීම් නිසා කෙනෙක් යම් විශේෂිත වූ තත්වයන් යටතේ අසාමාන්‍ය ප්‍රතිචාරයක් දක්වනවා විය හැකියි. එවැනි කෙනෙකුට කාරණා දෙස නිවැරදිව බැලීමට නොහැකි වන්නේ තම හැඟීම්වලට යටපත් වී ක්‍රියා කරන නිසයි. ඒ විතරක් නෙවෙයි, භාෂාව හසුරුවන ආකාරය හා සංස්කෘතික බලපෑම්ද කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වන නිසා අනිත් අය සැමවිටම අප කියන්න හදන දේ නිවැරදිව තේරුම්ගනියි කියා සිතන්න අපහසුයි. මෙහිදී, කට කතා හා ඕපාදූපත් අමතක කරන්න බැහැ! මේ සෑම දෙයක්ම සලකා බලද්දී අප කරන කියන දේවල් සැමවිටම අපට උවමනා කරන විදිහටම තේරුම්ගනීවි කියා සිතිය හැකිද? ඇත්තෙන්ම නැහැ. හැබැයි මෙම කාරණා දැනගත්ත පමණින්, තමන්ගේ චේතනා පිළිබඳ වැරදි වැටහීමක් ඇති වී තිබෙනවායයි හැඟෙන කෙනෙකුට එයින් යම් සහනයක් ලැබෙන්නේ නැති බව අප පිළිගත යුතුයි.

උදාහරණයක් සලකා බලන්න. ඇනා කට්ටියක් ඉදිරියේ ඇගේ මිතුරියක් ගැන යමක් පැවසුවා. ඇත්තෙන්ම එය පැවසීමේදී ඇය තුළ කිසිම නපුරු චේතනාවක් තිබුණේ නැහැ. හැබැයි ඇය හීනෙකින්වත් නොසිතූ දෙයක් සිදු වුණා. එතැන සිටි කෙනෙක් ඇනා පැවසූ දේට ලුණු ඇඹුල් දමා ඇනාගේ මිතුරිය වෙත ගොස් එය ඇගේ කනේ තිබ්බා. මෙයින් හොඳටම කේන්ති ගිය මිතුරිය කිහිපදෙනෙක් ඉදිරියේම ඇනාට බැණ වැදුණා. එක්තරා පිරිමියෙක් ඇය කෙරෙහි දක්වපු උනන්දුව ගැන ඇනා ඊර්ෂ්‍යාවෙන් සිටිනවා කියාත් එම මිතුරිය චෝදනා කළා. ඇනාගේ චේතනා සම්පූර්ණයෙන්ම වරදවා වටහාගෙනයි තිබුණේ. ඇත්තෙන්ම ඇනා ඇගේ මිතුරියට තත්වය පැහැදිලි කර දෙන්න කොතරම් වෑයම් කළත් කිසිම ඵලක් වුණේ නැහැ. එම සිද්ධිය සෑහෙන සිත් වේදනාවකට මඟ පෑදූ අතර වැරදි වැටහීම නැති කර දැමීමට හුඟ කාලයක් ගත වුණා.

සාමාන්‍යයෙන් කෙනෙක් ඔබව විනිශ්චය කරන්නේ ඔහු ඔබේ චේතනා තේරුම්ගන්නා ආකාරයෙනුයි. ඔබේ චේතනා වරදවා වටහාගන්නා විට ඔබේ සිතට වේදනාවක් දැනෙන එක සාධාරණයි. ඇතැම්විට ඔබ ගැන වැරදි වැටහීමක් ඇතිවීමට කිසිම හේතුවක් නැහැයි කියා සිතෙන විට ඔබට කේන්තියක් පවා දැනිය හැකියි. ඔබ දකින විදිහට එවැනි වරදවා වටහාගැනීමක් අසාධාරණයි, එහෙමත් නැත්නම් පදනම් විරහිතයි. සමහරවිට ඔබව වරදවා වටහාගෙන තිබෙන්නේ ඔබ දෙස විවේචනාත්මකව බලන නිසා කියාත් ඔබට හැඟෙන්න පුළුවන්. ඔබව වරදවා වටහාගෙන ඇත්තේ ඔබේ හිත මිතුරෙක් නම් එය විශේෂයෙන්ම වේදනාකාරි විය හැකියි.

අන් අය ඔබ ගැන වැරදි නිගමනයකට එළඹී ඇති බව හැඟෙන විට ඔබට කේන්ති යන එක සාධාරණයි. කෙසේවෙතත්, අනිත් අයගේ අදහස්වලට ඔබ ගරු කළ යුතු බව මතක තබාගන්න. අනිත් අයගේ අදහස් සුළු කොට තැකීම ක්‍රිස්තියානි ලක්ෂණයක් නොවන අතර, අප කරන කියන දේවලින් අන් අයට හානියක් සිදු කිරීමෙන් අප වැළකී සිටීමට උත්සාහ කළ යුතුයි. (මතෙව් 7:12; 1 කොරින්ති 8:12) ඒ නිසා ඇතැම් අවස්ථාවලදී ඔබ ගැන ඇති වී තිබෙන වැරදි අදහස නිවැරදි කළ යුතුයයි ඔබට හැඟිය හැකියි. හැබැයි උවමනාවට වඩා ඔබව වරදවා වටහාගත් තැනැත්තාගේ අනුමැතිය ලබාගැනීමට උත්සහ කරන්න එපා. ප්‍රතිචාරයක් නැත්නම් ඔහු ඉදිරියේ වැඳ වැටීම අවශ්‍ය නැහැ. එයින් ඔබේ ආත්ම ගරුත්වය නැති වී යා හැකි අතර ඔබ තනි වී ඇතැයි යන හැඟීම ඇතිවීමට පවා ඉඩ තිබෙනවා. ඔබේ සැබෑ වටිනාකම තීරණය වන්නේ අන්‍යයන් ඔබව තක්සේරු කරන ආකාරය අනුව නොවන බව මතක තබාගන්න.

අනික් අතට, ඔබ ගැන කර තිබෙන විවේචනයන් යම් දුරකට සාධාරණ බව ඔබට තේරුම් යා හැකියි. යථාර්ථය පිළිගැනීම වේදනාකාරි විය හැකි නමුත් අවංකව තමාගේම අසම්පූර්ණකම්, අඩු පාඩුකම් පිළිගැනීමෙන් අපටම යහපතක් සිදු විය හැකියි. ඇත්තෙන්ම එයින් වටිනා පාඩමක් ඉගෙනගත හැකි අතර, ඔබේ අඩු පාඩුකම් හදාගන්න පවා එය ඔබව පොලඹවන්න පුළුවන්.

හානිකර ප්‍රතිඵල ඇති වූ විට

වරදවා වටහාගැනීමකින් සැමවිටම නරක ප්‍රතිඵල අත් වෙන්නේ නැහැ. නිදසුනකට, ආපන ශාලාවක සිටින මිනිසෙක් මහා හයියෙන් කතා කරනවා නම්, ඔහු එහෙම කරන්නේ අනිත් අයගේ අවධානය ඇදගන්නයි කියා ඔබ සිතිය හැකියි. නැත්නම් ඔහුට පිස්සු කියා නිගමනය කරන්න පුළුවන්. හැබැයි මෙහෙම සිතා බලන්න. සමහරවිට ඔහු කන් ඇසීම දුර්වල කෙනෙක් එක්ක කතා කරනවා විය නොහැකිද? තවත් නිදසුනක් සලකා බලන්න. ඔබ සාප්පුවකින් බඩු මිල දී ගන්නා විට, සාප්පුව බලාගන්න කාන්තාව පොඩ්ඩක්වත් සුහදශීලී නැහැයි කියා ඔබට සිතෙන්න පුළුවන්. සමහරවිට ඇය අසනීපයෙන් පසු වෙනවා විය නොහැකිද? ඔව්, එවැනි අවස්ථාවලදී අපි වැරදි නිගමනවලට එළඹෙන්න පුළුවන්. හැබැයි එයින් කල්පවතින හානියක් සිදු වන්නේ නැහැ. එහෙත්, ඇතැම් අවස්ථාවලදී එයින් ඉතා දරුණු ප්‍රතිඵල ඇති විය හැකියි. ඈත අතීතයේ සිදු වූ සිද්ධීන් දෙකක් නිදසුන් ලෙස ගන්න.

අම්මොන්හි රජ නාහාෂ් මිය ගියාට පසු සිංහාසනය හිමි කරගත්තේ ඔහුගේ පුත් හානූන්. ඔහුව සැනසීමේ අදහසින් දාවිත් ඔහු වෙතට පණිවුඩකරුවන් කිහිපදෙනෙක්ව යැව්වා. හැබැයි දාවිත් පණිවුඩකරුවන්ව එවා තිබෙන්නේ අම්මොන් දේශයේ ඔත්තු බලන්නයයි සිතා, හානූන් පණිවුඩකරුවන්ව නින්දාවට පත් කළ අතර පසුව ඉශ්‍රායෙල්ට විරුද්ධව යුද්ධ කරන්නද කටයුතු යෙදුවා. එම යුද්ධයෙන් අඩුම තරමින් 47,000දෙනෙක්වත් මිය ගියා! මේ සියල්ල සිදු වූයේ හොඳ චේතනාවකින් කළ යමක් වරදවා වටහාගැනීම හේතුවෙනුයි.—1 ලේකම් 19:1-19.

එම සිද්ධියට කලින් ඉශ්‍රායෙල්හි සිදු වූ එක්තරා සිද්ධියක් පිළිබඳව සලකා බලමු. ඒ අවස්ථාවේදීත් වරදවා වටහාගැනීමක් සිදු වුණත් එයින් ඇති වූයේ හාත්පසින්ම වෙනස් ප්‍රතිඵලයක්. රූබෙන් හා ගාද් ගෝත්‍ර මෙන්ම අර්ධ ගෝත්‍රයක් වූ මනස්සේ ගෝත්‍රයද යොර්දාන් ගඟ අසල විශාල පූජාසනයක් ඉදි කළා. ඉශ්‍රායෙල්හි ඉතිරු ගෝත්‍ර සිතුවේ තම සහෝදරයන් යෙහෝවාට ද්‍රෝහි වී බොරු නමස්කාරයට වැටී ඇති බවයි. එමනිසා ඔවුන්ට විරුද්ධව යුද්ධ කරන්න පවා ඔවුන් සූදානම් වුණා. හැබැයි යුධ පියවර ගැනීමට පෙර තම සහෝදරයන් වෙත ඔවුන් පණිවුඩකරුවන් යවා, පූජාසනය ඉදි කිරීම නොඇදහිලිකාර ක්‍රියාමාර්ගයක් වශයෙන් හෙළා දුටුවා. ඔවුන්ට පූජාසනය ගොඩනඟන්නන්ගෙන් ලැබුණේ බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරයක්. සැබෑ නමස්කාරය අත්හැරීමට ඔවුන් කිසිවිටෙක අදහස් නොකළ බවත් ඔවුන් පූජාසනයක් ගොඩනැඟුවේ යෙහෝවා කෙරෙහි තිබෙන භක්තිය හා ඇදහිල්ල ප්‍රකාශ කිරීමට බවත් ඔවුන් පැහැදිලි කර දුන්නා. කලින් සඳහන් කළ සිද්ධියේදී මෙන් මේ අවස්ථාවේදීත් අහිංසක ජීවිත ගණනාවක් විනාශ වීමට ඉඩ තිබුණා. හැබැයි ප්‍රඥාවන්ත ක්‍රියා මාර්ගයක් ගැනීම, එය වැළැක්වීමට හේතු වුණා.—යෝෂුවා 22:10-34.

ප්‍රේමනීය ලෙස කාරණා පැහැදිලි කර දීම

මෙම වාර්තා දෙක සන්සන්දනය කර බැලීම ප්‍රයෝජනදායකයි. එයින් වැදගත් කාරණයක් අවධාරණය කෙරෙනවා. එනම්, එකිනෙකා සමඟ කතා කර කාරණා පැහැදිලි කරගැනීම තමයි ඥානවන්තම දේ. අන්තිමට සඳහන් කළ සිද්ධියේදී දෙපාර්ශ්වයම කතා කළ හින්දා කීදෙනෙකුගේ ජීවිත බේරෙන්න ඇද්ද කියා සිතා බලන්න. බොහෝ අවස්ථාවලදී යමෙකුගේ චේතනා වරදවා වටහාගැනීම මරණයත් ජීවිතයත් අතර කාරණයක් නොවුණත්, මිත්‍රත්වයන් නැති වී යාමට එය හේතු විය හැකි බව මතක තබාගන්න. ඒ නිසා කෙනෙක් ඔබට වරදක් කර ඇති බව හැඟෙනවා නම් ඔබ තත්වය හරියට තේරුම්ගෙන ඇද්ද කියා ප්‍රථමයෙන් සිතා බලන්න. එසේත් නැත්නම් ඔබ කාරණා සම්පූර්ණයෙන්ම වරදවා වටහාගෙන ඇද්ද? අනිත් කෙනාට තිබුණේ මොන වගේ චේතනාවක්ද? ඔහුව විනිශ්චය නොකර ඔහුගෙන්ම අසන්න. ඒ වගේම, යමෙක් ඔබව වරදවා වටහාගෙන ඇති බව හැඟෙනවා නම් උඩඟු නොවී ඔහු සමඟ විවෘතව ඒ ගැන කතා කරන්න.

වරදවා වටහාගැනීම් නිරාකරණය කිරීමට දිරිගන්වමින් යේසුස් මෙසේ පැවසුවා. “එබැවින් නුඹේ පඬුර පූජාසනය ළඟ පුදන කල්හි, නුඹේ සහෝදරයා නුඹ කෙරෙහි යම් විරුද්ධයක් ඇති බව එහිදී නුඹට සිහිවී නම්, නුඹේ පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට නුඹේ සහෝදරයා හා සමගිවී, පසුව ඇවිත් නුඹේ පඬුර පුදන්න.” (මතෙව් 5:23, 24) ඔව්, අනිත් අය එක්ක ඒ ගැන කතා කරනවා වෙනුවට අදාළ පුද්ගලයා වෙතට ගොස් ඔහු සමඟ ගැටලුව නිරාකරණය කිරීම තමයි හරි දේ. ඇතැම්විට එම පුද්ගලයා එක්ක තිබෙන ගැටලුව ගැන වෙනත් කෙනෙක් සමඟ කතා කළ බව ඔහුට ආරංචි වුණොත් තත්වය ඊටත් වඩා උග්‍ර වෙන්න ඉඩ තිබෙනවා. (හිතෝපදේශ 17:9) ඔබේ ඉලක්කය විය යුත්තේ ප්‍රේමයෙන් ප්‍රශ්නය විසඳාගෙන නැවතත් සාමකාමී වාතාවරණයක් ඇති කරගැනීමයි. එමනිසා ඔහු වෙතට ගොස්, කලබල නොවී, පහසුවෙන් තේරුම්ගත හැකි ආකාරයකට තත්වය පැහැදිලි කර දෙන්න. චෝදනාත්මක ස්වරයකින් කතා නොකොට ඇති වී තිබෙන ගැටලුව ගැන ඔබට හැඟෙන්නේ කොහොමද කියා කාරුණිකව පැහැදිලි කර දෙන්න. ඊට පස්සේ ඔබේ පෞද්ගලික මතයන් පසෙක දමා ඔහුට කියන්න තිබෙන දේට සවන් දෙන්න. ඔහුගේ චේතනාවන් විනිශ්චය කිරීමට ඉක්මන් වෙන්න එපා. ප්‍රේමය ‘සියල්ල විශ්වාස කරයි’ යන කරුණ මතක තබාගනිමින් ඔහුව අනවශ්‍ය ලෙස සැක කිරීමෙන්ද වළකින්න.—1 කොරින්ති 13:7.

මේ සෑම පියවරක්ම ගත්තාට පසුව පවා සිතේ ඇති වී තිබෙන දුක හෝ වෙනත් නිෂේධාත්මක බලපෑම් නැති කිරීම අපහසු විය හැකියි. එවැනි තත්වයකදී කුමක් කළ හැකිද? අවශ්‍ය නම් අවංක ලෙස සමාව ඉල්ලන්න. ඒ වගේම ඔබ දෙදෙනා අතර යළි හොඳ සබඳතාවක් ගොඩනැඟීමට ගත හැකි සෑම සාධාරණ පියවරක්ම ගන්න. සෑම අවස්ථාවකදීම වරද නිසා වේදනා විඳින පුද්ගලයා මෙම උපදෙස් පිළිපැදීමට වෑයම් කළ යුතුයි. “එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙන්න; [යෙහෝවා] නුඹලාට කමාවුණාක්මෙන් නුඹලාත් කරන්න. මේ සියල්ලට උඩින් ප්‍රේමය නැමති සම්පූර්ණකමේ බැම්ම බැඳගන්න.”—කොලොස්සි 3:13, 14; 1 පේතෘස් 4:8.

අපි අසම්පූර්ණව සිටින තාක් කල් වරදවා වටහාගැනීම්, සිත් රිදවීම් දිගටම ඇති වෙයි. අසම්පූර්ණ නිසා අපි සියලුදෙනාගේම අතින් වැරදි සිදු වෙනවා. අපි සිත රිදවන හෝ අකාරුණික ආකාරයට කතා කරන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. බයිබලය එය මෙසේ පැහැදිලි කර දෙනවා. “යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය.” (යාකොබ් 3:2) යෙහෝවා අපේ සීමාවන් ගැන හොඳ අවබෝධයකින් සිටින නිසා ඔහු අපට මෙම උපදෙස් සපයා තිබෙනවා. “කෝපවීමට නුඹේ සිතින් ඉක්මන් නොවෙන්න. මක්නිසාද කෝපය පවතින්නේ අඥානයන්ගේ ළයෙහිය. මනුෂ්‍යයන් කියන සියලුම වචනවලට නුඹේ සිත යොමු නොකරන්න; එසේ කළොත් සමහරවිට නුඹේ වැඩකාරයා නුඹට දෙස්කියන බව නුඹ අසනවා ඇත. මක්නිසාද නුඹත් නොයෙක් වර අනුන්ට දෙස් කිවු බව නුඹේ සිත දන්නේය.”—දේශනාකාරයා 7:9, 21, 22.

‘සිත් කිරා බලන්නේ යෙහෝවායි’

කෙනෙක් ඔබ ගැන ඇති කරගෙන ඇති වැරදි අදහසක් නිවැරදි කිරීමට නොහැකි නම් කුමක් කළ යුතුද? අධෛර්යයට පත් නොවන්න. ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කිරීමට නිරන්තර උත්සාහයක් දරන්න. ඔබ දියුණු විය යුතු පැති හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් යෙහෝවාගේ උපකාරය පතන්න. ඔබේ සැබෑ වටිනාකම අන්‍යයන් ඔබ ගැන දරන ආකල්පය මත රඳා පවතින්නේ නැති බවත් මතක තබාගන්න. නිවැරදිව මෙන්ම සාධාරණව ‘සිත් කිරා බලන්නේ’ යෙහෝවා පමණයි. (හිතෝපදේශ 21:2) යේසුස්ව සලකා බලන්න. මිනිසුන් ඔහුව එපා කළා, සුළු කොට තැකුවා. හැබැයි යෙහෝවා ඔහුව සැලකුවේ එලෙසද? ඇත්තෙන්ම නැහැ. (යෙසායා 53:3) ඇතැම් අය ඔබ ගැන වැරදි විනිශ්චයන් කළත් ඔබට පුළුවන් යෙහෝවා ඉදිරියේ ‘ඔබේ සිත වගුරුවන්න.’ ‘යෙහෝවා මනුෂ්‍යයා බලන්නාක් මෙන් නොබලන’ බවත් ‘මනුෂ්‍යයා පිටාතර පෙනුම බැලුවත් යෙහෝවා බලන්නේ සිත’ බවත් අපට සහතික විය හැකියි. එමනිසා යෙහෝවා ඔබව තේරුම්ගන්නා බවට ඔබට නිසැකභාවයක් වර්ධනය කරන්න පුළුවන්. (ගීතාවලිය 62:8; 1 සාමුවෙල් 16:7) ඔබ දිගටම හරි දේ කරන්න වෑයම් කරනවා නම්, සමහරවිට ඔබ ගැන වැරදි වැටහීමක් ඇති කරගෙන තිබෙන පුද්ගලයා ඔහුගේ වැරැද්ද පිළිගනීවි.—ගලාති 6:9; 2 තිමෝති 2:15.

ඔබට ඇන්ටෝනියෝව මතකද? ඔහු ධෛර්යය අරගෙන බයිබලයේ උපදෙස් පිළිපැද්දා. ඔහු ලියනාඩෝ වෙතට ගිහින් ඔහුගේ සිත රිදවන්න තමන් යමක් කළාද කියා ඇසුවා. ලියනාඩෝ අන්දුන් කුන්දුන් වුණා. ඇන්ටෝනියෝ ඔහුගේ සිත රිදවන්න කිසිම දෙයක් කළේ නැති බවත්, ඔහු වෙනස් විදිහකට හැසිරුණා නම් එය උවමනාවෙන් කළ දෙයක් නොවන බවත් ඔහු පැවසුවා. ඔහුගේ වෙනසක් දැනෙන්න ඇත්තේ ඔහු ඒ දවස්වල වෙනත් කල්පනාවක හිටිය නිසා වෙන්න ඇති කියා පැහැදිලි කරමින් ඔහු ඇන්ටෝනියෝගෙන් සමාව ඉල්ලුවා. ඇන්ටෝනියෝ ඔහුත් එක්ක ඒ ගැන කතා කළ එකටත් ලියනාඩෝ තම ස්තුතිය ප්‍රකාශ කළා. මීට පස්සේ වෙනත් අයට එහෙම වෙනසක් දැනෙන විදිහට කටයුතු නොකරන්න තමන් පරෙස්සම් වෙනවා කියාත් ඔහු පොරොන්දු වුණා. එහි ප්‍රතිඵලය? ඔවුන් දෙදෙනාගේ මිත්‍රත්වය කලින් තිබූ තත්වයටම පත් වුණා.

අපව වරදවා තේරුම්ගන්නවාට අප කවුරුත් කැමති නැති බව ඇත්තයි. හැබැයි එය නිවැරදි කිරීමට පියවර ගෙන ඔබව වරදවා වටහාගෙන ඇති පුද්ගලයාට කාරණා පැහැදිලි කර දෙනවා නම් සහ ප්‍රේමය හා සමාව දීම පිළිබඳ ශුද්ධ ලියවිල්ලේ සඳහන් ප්‍රතිපත්ති පිළිපදිනවා නම්, ඔබටත් සතුටුදායක ප්‍රතිඵල නෙළාගත හැකි බව නිසැකයි.

[පාදසටහන]

a මෙම ලිපියේ සඳහන් ඇතැම් පුද්ගලයන්ගේ නම් වෙනස් කර තිබෙනවා.

[23වන පිටුවේ පින්තූර]

ප්‍රේමයෙන් කාරණා පැහැදිලි කර දීමටත් සමාව දීමටත් ඔබ වෑයම් කරනවා නම් සතුටුදායක ප්‍රතිඵල නෙළාගත හැකියි