රාජ්‍යයේ ශුභාරංචිය—එය කුමක්ද?
රාජ්‍යයේ ශුභාරංචිය—එය කුමක්ද?
ඉකුත් වසරේ ලොව පුරා රටවල් 235ක බාල, මහලු 60,35,564දෙනෙක් අන්‍යයන්ට ඒ ගැන කතා කිරීමට පැය 117,12,70,425ක් ගත කළහ. එය ප්‍රකාශ කරනවාට අමතරව ඔවුන් විසින් එය ප්‍රචාරය කිරීමට හා පැහැදිලි කිරීමට මුද්‍රිත පොත් පත් මිලියන 700කට වඩා මහජනතාව අතට පත් කරන ලදි. ඔවුහු එය ප්‍රචලිත කිරීමට ශ්‍රව්‍ය හා දෘශ්‍ය කැසට් පට දහස් ගණනක්ද බෙදාහැරියහ. “එය” කුමක්ද?
“එය” නම් දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචියයි. ඇත්තෙන්ම, අද අප දකින පරිමාණයෙන් “රාජ්‍යයේ මේ ශුභාරංචිය” මනුෂ්‍ය ඉතිහාසයේ පෙර කවරදාකවත් දේශනා කර නැත.—මතෙව් 24:14.
මෙම ලෝක ව්‍යාප්ත දේශනා කිරීමෙහි හා ඉගැන්වීමෙහි යෙදී සිටින සියල්ලෝ ස්වේච්ඡා සේවකයෝය. ලෞකික ඇසකින් බලන කල, ඔවුන් එම කර්තව්‍ය සඳහා නුසුදුස්සන් මෙන් පෙනිය හැක. එසේ නම්, ඔවුන්ගේ ධෛර්යයවන්තභාවයට හා සාර්ථකත්වයට හේතුව කුමක්ද? එයට ප්‍රධානතම හේතුවකි, ඔවුන් ප්‍රකාශ කරමින් සිටින ආරංචිය මනුෂ්‍යවර්ගයාට ලැබෙන ආශීර්වාද පිළිබඳ ශුභාරංචියක් වන නිසා එමගින් අන්‍යයන් තුළ ප්‍රබල බලපෑමක් ඇතිවීම. සියලු මනුෂ්‍යයන් ඉතා ආශාවෙන් බලා සිටින්නේ සන්තෝෂය, ආර්ථික දුෂ්කරතාවලින් නිදහස, හොඳ රජයක්, සාමය හා සුරක්ෂිතභාවය මෙන්ම කොහොමටවත් වෙන්න බැරි දෙයක්යයි සිතෙන සදහටම ජීවත් වීම යනාදි ආශීර්වාද ලබාගැනීමටයි. ජීවිතයේ අරුත හා අරමුණ සොයමින් සිටින්නන්ට මෙය ඇත්තෙන්ම ශුභාරංචියක් වේ. ඔව්, රාජ්‍යය පිළිබඳ ශුභාරංචියේ පණිවිඩයට හිතකර ප්‍රතිචාරයක් දක්වා, ඒ අනුව ක්‍රියා කරනවා නම් මේ සියලු ආශීර්වාද මෙන්ම ඊටත් වඩා වැඩි ආශීර්වාද ඔබ සතු විය හැක.
රාජ්‍යය යනු කුමක්ද?
එහෙත්, ශුභාරංචිය වශයෙන් ප්‍රකාශ කෙරෙන රාජ්‍යය කුමක්ද? එය මිලියන සංඛ්‍යාත සෙනඟකට උගන්වා තිබෙන යාච්ඤාවේ සඳහන් වන රාජ්‍යයයි. එම යාච්ඤාවේ මෙසේ පැවසේ. “එහෙයින් නුඹලා මෙසේ යාච්ඤාකරන්න:—ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.”—මතෙව් 6:9, 10.
එය හෙබ්‍රෙව් දිවැසිවරයෙකු වූ දානියෙල් සියවස් 25කට වඩා වැඩි කලකට පෙර පැවසූ රාජ්‍යයයි. ඔහු මෙසේ ලිවීය. “ස්වර්ගයේ [දෙවි] කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් [පිහිටුවන්නේය]. ඒකේ ආණ්ඩුව අන් සෙනගකට අත්අරිනු නොලබන්නේය; . . . ඒක ඒ සියලු රාජ්‍යවල් පොඩිකර නැති කරන්නේය, එයද සදාකාලේටම පවතින්නේය.”—දානියෙල් 2:44, 45ආ.
එසේ නම්, ශුභාරංචිය යනු සියලු දුෂ්ටකම් පහ කර දෙවි විසින් සාමයෙන් මුළු පොළොවම පාලනය කරනු ලබන රාජ්‍යය හෝ ආණ්ඩුව පිළිබඳ ආරංචියයි. එමගින් මනුෂ්‍යවර්ගයා හා පොළොව සඳහා මැවුම්කරුගේ මුල් අරමුණ ඉටු කරනු ඇත.—උත්පත්ති 1:28.
“ස්වර්ගරාජ්‍යය ළඟය”
වසර 2,000කට පමණ පෙර රාජ්‍යයේ ශුභාරංචිය මුලින්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලැබුවේ පෙනුමෙන් හා ක්‍රියාවෙන් අන් අයගේ මහත් අවධානයට ලක් වූ තැනැත්තෙකු විසිනි. ඔහු යුදෙව් පූජක සෙකරියාගේ සහ ඔහුගේ භාර්යාව වූ එලිසබෙත්ගේ පුත්‍ර යොහන් බව්තීස්තය. ඔහුව පූර්වාදර්ශනය කළ එලියා මෙන් යොහන් ඔටුරෝම වස්ත්‍රයක් හැඳ, ඉඟටියේ හම්පටියක් බැඳ සිටියේය. එහෙත් බොහෝදෙනෙකු ඔහු වෙත ඇදී ගියේ ඔහුගේ පණිවිඩය නිසාය. ඔහු පැවසුවේ “පසුතැවිලිවෙන්න; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ළඟය” කියාය.—මතෙව් 3:1-6.
යොහන්ට සවන් දුන් යුදෙව්වන් සැබෑ දෙවි වූ යෙහෝවාගේ නමස්කාරකයන් බව ප්‍රකාශ කළ අයයි. ජාතියක් වශයෙන් ඔවුන්ට ඊට වසර 1,500කට පමණ පෙර මෝසෙස් මාර්ගයෙන් ව්‍යවස්ථාව ලැබී තිබිණ. ඔවුහු ඒ වන විටත් යෙරුසලමේ පිහිටි මනස්කාන්ත දේවමාළිගාව තුළ ව්‍යවස්ථාවට අනුව පූජා ඔප්පු කරමින් සිටියහ. යුදෙව්වන්ට හැඟුණේ දෙවිගේ නෙත් හමුවේ තම නමස්කාරය නිසැකවම නිවැරදියි කියාය.
කෙසේවුවත්, යොහන්ට සවන් දෙන විට තමන් සිතා සිටි තරමටම තමන්ගේ ධර්මය නිවැරදි නැති බව ඇතැම් ජනයාට වැටහෙන්නට විය. යුදෙව් ආගමික ඉගැන්වීම් තුළට ග්‍රීක් සංස්කෘතිය හා එහි දර්ශනයන් ක්‍රම ක්‍රමයෙන් ඇතුළු විය. දෙවි මෝසෙස් මගින් දුන් ව්‍යවස්ථාව, මනුෂ්‍යයන් බිහි කළ විශ්වාසයන් හා සම්ප්‍රදායන් නිසා දූෂණය වී, අවලංගු කාසියක් මෙන් වී තිබිණ. (මතෙව් 15:6) හිතක් පපුවක් නැති කෲර ආගමික නායකයන් නිසා නොමඟ ගිය ජනයාගෙන් වැඩිදෙනෙක් තවදුරටත් දෙවිට පිළිගත හැකි ආකාරයකින් නමස්කාරයෙහි යෙදුණේ නැත. (යාකොබ් 1:27) දෙවිට හා මෝසෙස්ගේ ව්‍යවස්ථාවට එරෙහිව සිදු කළ පාපවලට ඔවුන් පසුතැවිලි විය යුතු විය.
ඒ කාලයේදී, යුදෙව්වන් බොහෝදෙනෙක් පොරොන්දු වූ මෙසියස් නැතහොත් ක්‍රිස්තුස්ගේ පෙනී සිටීම අපේක්ෂා කළ අතර, යොහන් ගැන මෙසේ කල්පනා කළහ. ‘ඔහු ක්‍රිස්තුස් වෙන්න බැරිද?’ කෙසේවුවත්, යොහන් තමා ක්‍රිස්තුස් නොවන බව පවසා ඔවුන්ගේ අවධානය වෙනත් කෙනෙකු වෙතට යොමු කරවමින් ඔහු ගැන මෙසේ පැවසීය. ‘ඔහුගේ වහන්වල පටිය මුදන්ටවත් මම නොවටිමි.’ (ලූක් 3:15, 16) යොහන් යේසුස්ව තම ගෝලයන්ට හඳුන්වා දුන්නේ “අන්න, ලෝකයේ පාපය දුරුකරන [දෙවිගේ] බැටළු පැටියාණෝ!” කියායි.—යොහන් 1:29.
ජීවනයට හා සන්තෝෂයට මඟ “ලෝකයේ පාපය දුරුකරන” තැනැත්තා වන යේසුස් බව යොහන් සියලු මනුෂ්‍යයන්ට පෙන්වා දෙමින් සිටි බැවින්, එය ඇත්තෙන්ම ශුභාරංචියකි. ආදම් සහ ඒවගෙන් පැවතෙන නිසා සියලු මනුෂ්‍යයන් උපදින්නේ කුරිරු පාපය හා මරණය උරුම කරගෙනය. එය රෝම 5:19හි පැහැදිලි කරන්නේ මෙසේය. “එක මනුෂ්‍යයාගේ [ආදම්ගේ] අකීකරුකම කරණකොටගෙන බොහෝදෙනා පව්කාරයන් කරනු ලැබුවා සේම, එක්කෙනාගේ [යේසුස්ගේ] කීකරුකම කරණකොටගෙන බොහෝදෙනා ධර්මිෂ්ඨකරනු ලබන්නෝය.” පූජාවට ඉදිරිපත් කෙරෙන බැටළුවෙකු මෙන් ‘පාපය දුරු කිරීමටත්,’ මනුෂ්‍යයන් වැටී සිටින වළෙන් ගොඩගැනීමටත් යේසුස් ඉදිරිපත් විය. “පාපයේ කුලී නම් මරණයය; නුමුත් [දෙවිගේ] දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් [ක්‍රිස්තුස්] තුළ සදාකාල ජීවනයය” කියා බයිබලයේ පැහැදිලි කරයි.—රෝම 6:23.
මාර්ක් 1:14, 15හි ඇති බයිබල් වාර්තාව අපට මෙසේ පවසයි. ‘යොහන්ව පාවා දෙනු ලැබුවායින් පසු යේසුස් ගලීලයට පැමිණ දෙවිගේ ශුභාරංචිය දේශනා කරමින්, කාලය සම්පූර්ණ විය, දෙවිගේ රාජ්‍යය සමීපය. පසුතැවිලි වී ශුභාරංචිය අදහාගන්නයයි කීවේය.’
ඇත්තවශයෙන්ම, එදා මෙදා තුර ජීවත් වී ඇති ශ්‍රේෂ්ඨතම තැනැත්තා වූ යේසුස් පරිපූර්ණ මනුෂ්‍යයෙකු වශයෙන් ශුභාරංචිය දේශනා කිරීමේ කර්තව්‍යයෙහි නිරත විය.යේසුස්ගේ පණිවිඩයට ප්‍රතිචාරය දැක්වූ, ශුභාරංචිය කෙරෙහි ඇදහිල්ල පැවැත්වූ අයට මහඟු ආශීර්වාද ලැබිණ. යොහන් 1:12හි මෙසේ පවසයි. ‘යම් පමණ දෙනෙක් [යේසුස්ව] පිළිගත්තෝද, එනම් ඔහුගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවිගේ දරුවන් වෙන්ට ඔහු බලය දුන්නේය.’ දෙවිගේ දරුවන් වීමෙන්, නැතහොත් පුත්‍රයන් වීමෙන් ඔවුන්ට සදාකාල ජීවනය නමැති මහඟු විපාකය ලැබීමේ ප්‍රස්තාව විවෘත විය.—1 යොහන් 2:25.
එහෙත් රාජ්‍යයේ ආශීර්වාද ලැබීමේ වරප්‍රසාදය පළමුවන සියවසේ ජනයාට පමණක් සීමා නොවීය. කලින් සඳහන් කළ පරිදි, දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය මේ වන විටත් ජනාවාස පොළොව මුළුල්ලෙහිම ප්‍රකාශ කෙරෙන අතර ඒ පිළිබඳව උගන්වනු ලබයි. එබැවින්, රාජ්‍යයේ ආශීර්වාද ලබාගැනීමේ ද්වාරය තවමත් ඇරී තිබේ. එවන් ආශීර්වාද ලබාගැනීමට ඔබ කුමක් කළ යුතුද? ඒ ගැන පැහැදිලි කරන ඊළඟ ලිපියට පිය මනින්න.