Skip to content

පටුනට යන්න

සැබෑ ක්‍රිස්තියානි ධර්මය බලවත් ලෙස වර්ධනය වෙයි

සැබෑ ක්‍රිස්තියානි ධර්මය බලවත් ලෙස වර්ධනය වෙයි

සැබෑ ක්‍රිස්තියානි ධර්මය බලවත් ලෙස වර්ධනය වෙයි

“බලගතු ලෙස [යෙහෝවාගේ] වචනය [දිගටම, NW] වර්ධනයවී, බලවත්වුණේය.”—ක්‍රියා 19:20.

1. මුල් සියවසේ ක්‍රිස්තියානි ධර්මයේ සිදු වූ වර්ධනය විස්තර කරන්න.

 ශුද්ධාත්මයෙන් ශක්තිය ලැබූ මුල් සියවසේ ක්‍රිස්තියානීහු දැවෙන ජ්වලිතයකින් දෙවිගේ වචනය ප්‍රකාශ කළහ. ඒ ගැන ඉතිහාසඥයෙක් මෙසේ සඳහන් කළේය. “මුළු රෝම අධිරාජ්‍යය පුරාම ක්‍රිස්තියානි ධර්මය කැපීපෙනෙන වේගයකින් ව්‍යාප්ත වී තිබිණ. පොදු යුගයේ 100 වන විට මධ්‍යධරණී මුහුද දක්වා වූ සෑම පළාතකම පාහේ ක්‍රිස්තියානි සභාවන් දක්නට තිබිණ.”

2. ශුභාරංචියේ වර්ධනයට බාධා කරන්න සාතන් උත්සාහ කළේ කෙසේද? මේ ගැන පුරෝකථනය කර තිබුණේ කෙසේද?

2 මුල් ක්‍රිස්තියානීන් අතර සිදු වූ වර්ධනය අඩාළ කිරීමට සාතන්ට නොහැකි විය. එහෙත් ඔහු ඇතැම් ක්‍රිස්තියානීන්ට ඇදහිල්ල අත්හැර යෑමට සැලැස්වීම මගින් ශුභාරංචියේ වර්ධනයට බාධා ඇති කළේය. මෙවන් දෙයක් සිදු වන බව යේසුස් කිරිඳි සහ තිරිඟු උපමාව මගින් පුරෝකථනය කර තිබුණේය. (මතෙව් 13:24-30, 36-43) බොරු ගුරුවරුන් සභාව තුළින්ම නැඟිට සැබෑ ක්‍රිස්තියානි ධර්මය විනාශ කර දමන නිකායන් පිහිටුවන බවට ප්‍රේරිත පේතෘස්ද අනතුරු අඟවා තිබිණ. (2 පේතෘස් 2:1-3) මේ ගැන ප්‍රේරිත පාවුල්ද විශේෂ අනතුරු ඇඟවීමක් කරමින් යෙහෝවාගේ මහත් දවසට කලින් ඇදහිල්ල අත්හැර යෑමක් සිදු වන බව සඳහන් කළේය.—2 තෙසලෝනික 2:1-3.

3. ප්‍රේරිතයන්ගේ මරණින් පසු සිදු වූයේ කුමක්ද?

3 ප්‍රේරිතයන්ගේ මරණින් පසු, මිථ්‍යා දෘෂ්ටික ඉගැන්වීම් හා දර්ශනවාදී මත මගින් ශුභාරංචිය යටපත් වෙන්න පටන්ගත්තේය. පුරෝකථනය කළ පරිදි බොරු ගුරුවරු සත්‍යයේ නිර්මල පණිවිඩය විකෘති කොට දක්වමින් එය දූෂ්‍ය කළහ. සැබෑ ක්‍රිස්තියානි ධර්මය ටිකෙන් ටික වැළලී ගොස් එහි ව්‍යාජ ප්‍රතිරූපය වන ක්‍රිස්තියානි ලෝකය මතු විය. බයිබලය පොදු ජනයා අතට පත්වීම වැළැක්වීම සඳහා වෑයම් කළ පූජක පන්තියක්ද බිහි විය. ක්‍රිස්තියානීන් කියා හඳුන්වාගත් පිරිස් දිනෙන් දින වැඩි වුවත් ඔවුන්ගේ නමස්කාරය නිර්මල තත්වයක නොතිබිණ. ලොව පුරාම වර්ධනය වෙමින් බලගතු සංවිධානයක් බවට පත් වූ ක්‍රිස්තියානි ලෝකය බටහිර සංස්කෘතිය මත දැඩි බලපෑමක් ඇති කිරීමට සමත් විය. එහෙත් ඊට දේවාශීර්වාදයවත් ශුද්ධාත්මයේ මඟ පෙන්වීමවත් තිබුණේ නැත.

4. දෙවිගේ අරමුණ කඩාකප්පල් කිරීමට සාතන් යෙදූ උපක්‍රම සාර්ථක නොවූයේ මන්ද?

4 කෙසේවෙතත්, යෙහෝවාගේ අරමුණ කඩාකප්පල් කර දැමීමට සාතන් යොදාගත් උපක්‍රම සාර්ථක නොවීය. ඇදහිල්ල අත්හැර යෑම සිදු වූ අඳුරු යුගයේදී පවා සැබෑ ක්‍රිස්තියානි ධර්මය ඇතැමුන් අතර නොනැසී පැවතිණ. බයිබලය පිටපත් කළ අය එය නිවැරදිව කිරීම සඳහා දැරුවේ මහත් වෙහෙසකි. ඔවුන්ගේ එම ප්‍රයත්නය නිසා බයිබලයේ සඳහන් විය යුතු දේවලින් කිසිවක් අත්හැරී නැත. මේ හේතුවෙන්, බයිබලයෙහි අඩංගු දේවල් ඉගැන්වීමට බලතල තිබෙන්නේ තමන්ටයි කියා පැවසූ අය එහි සඳහන් පණිවිඩය විකෘති කොට දැක්වීමට උත්සාහ කළද, එහි පණිවිඩය ආරක්ෂා විය. මෙහිදී, සියවස් ගණනාවක් පුරා නිර්භීතව දෙවිගේ වචනය පරිවර්තනය කොට බෙදාහැරිය ජෙරොම්, ටින්ඩේල් වැනි විද්වතුන්ව අපට අමතක කළ නොහැක. ඔවුන්ගේ කාර්යය නිසා දශලක්ෂ ගණනකට බයිබලයේ තිබෙන දේවල් සොයා බැලීමට අවස්ථාව ලැබිණ. මෙහි ප්‍රතිඵලයක් හැටියට සැබෑ ක්‍රිස්තියානි ධර්මයට එකඟ නොවූ, විවිධ ක්‍රිස්තියානි ආගම් බිහි විය.

5. “සැබෑ දැනගැන්ම” ගැන අනාගතවක්තෘ දානියෙල් පුරෝකථනය කළේ කුමක්ද?

5 අවසානයේදී, දානියෙල් පොතෙහි පුරෝකථනය කර තිබුණාක් මෙන් ‘[සැබෑ, NW] දැනගැන්ම වැඩි විය.’ මෙවන් දෙයක් සිදු වූයේ ‘අන්තිම කාලයේදීය.’ එනම් අප ජීවත් වෙමින් සිටින මේ කාලයේදීය. (දානියෙල් 12:4) ලොව පුරා සිටින සත්‍යයට ඇලුම් කරන්නන්ට සැබෑ දෙවි ගැනත් ඔහුගේ අරමුණ ගැනත් නිවැරදි දැනුමක් ලබාගැනීම සඳහා, ශුද්ධාත්මය ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දුන්නේය. ඇදහිල්ල අත්හැර ගිය අයගේ ඉගැන්වීම් සියවස් ගණනාවක් පුරා පැවතීමෙන් පසු, දෙවිගේ වචනය සියලු බාධක ජයගෙන ඉදිරියටම ගමන් කිරීමට පටන්ගත්තේය. නව ලොව පිළිබඳව ප්‍රීතිමත් බලාපොරොත්තුවක් ජනයා තුළ ඇති කරවමින් දැන් ශුභාරංචිය සෑම තැනකම ප්‍රකාශ කෙරේ. (ගීතාවලිය 37:11) නවීන කාලයේ දෙවිගේ වචනයේ වර්ධනය ගැන දැන් අපි සලකා බලමු.

අදදින දෙවිගේ වචනයේ වර්ධනය

6. වර්ෂ 1914 වන විට බයිබල් ශිෂ්‍යයන් තේරුම්ගත්තේ කිනම් සත්‍යයන්ද?

6 දහනවවන සියවස අගභාගයේදී බයිබල් ශිෂ්‍යයන්ගෙන් සමන්විත කණ්ඩායමක් බයිබලයේ තිබෙන සත්‍යය සෙවීමට දැඩි උනන්දුවක් දැක්වීය. අද ඔවුහු යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෙස ප්‍රසිද්ධව සිටිති. වර්ෂ 1914 වන විට බයිබලය ඔවුන්ට ජීවමාන පොතක් වී තිබිණ. මේ නිසා දෙවිගේ අරමුණ හා සම්බන්ධ අපූර්ව සත්‍යයන් තේරුම්ගැනීමට ඔවුන්ට හැකි විය. සදාකාල ජීවනයට මඟ සලසමින් යෙහෝවා සිය පුත්‍රයාව මේ පොළොවට එවීමෙන් මනුෂ්‍යවර්ගයාට පෙන්වූ ප්‍රේමය ඔවුන්ගේ හදවත්වලට තදින්ම කාවැදිණ. දෙවිගේ නාමය හා පෞද්ගලිකත්වය දැනගත් ඔවුන් එය අගය කරන්නට විය. එමෙන්ම “අන්‍යජාතීන්ගේ කාලවල්” අවසන් වී තිබූ බව වටහාගත් ඔවුහු, මනුෂ්‍යවර්ගයාට ආශීර්වාද ගෙනෙන දෙවිගේ රාජ්‍ය පාලනය ආසන්න බවට එය ලකුණක් බවත් තේරුම්ගත්හ. (ලූක් 21:24) එය මොනතරම් උතුම් ශුභාරංචියක්ද! මෙම ප්‍රබල සත්‍යයන් සෑම තැනකම සිටින සෑම කෙනෙකු සමඟම බෙදාගත යුතු විය. ජීවිත තිබුණේ අනතුරේ!

7. නවීන කාලවලදී බයිබල් සත්‍යය බලවත් ලෙස වර්ධනය වී තිබෙන්නේ කෙසේද?

7 යෙහෝවා ආලේප ලත් ක්‍රිස්තියානීන් ස්වල්පදෙනාගේ උත්සාහයන්ට ආශීර්වාද කළේය. අදදින සැබෑ ක්‍රිස්තියානි ධර්මය වැලඳගෙන සිටින අයගේ ගණන දශලක්ෂ හය ඉක්මවා තිබේ. දෙවිගේ වචනය ලොව පුරාම ව්‍යාප්ත වී තිබෙන අතර, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ රටවල් 235ක සේවය කරති. එපමණක්ද නොව, බයිබල් සත්‍යය ආගමික හා වෙනත් ආකාරයේ සියලු බාධක ජයගනිමින් ප්‍රබල තත්වයක පවතී. ලොව පුරා දේශනා කිරීමේ කටයුතුවල සිදු වන වර්ධනය, රාජ්‍ය බලයෙන් යුතුව යේසුස් පැමිණ සිටින කාලය මේ කාලය බවට නිෂ්ප්‍රභ කළ නොහැකි සාක්ෂියකි.—මතෙව් 24:3, 14.

8. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලබා ඇති වර්ධනය ගැන ඇතමුන් පවසා තිබෙන්නේ කුමක්ද?

8 මුල් සියවසේ ක්‍රිස්තියානි ධර්මයේ මවිතකර වර්ධනය ගැන ඉතිහාසඥයන් විවිධ අදහස් පළ කළාක් මෙන් නවීන දින යෙහෝවාගේ සෙනඟ අද්දකින වර්ධනය ගැනත් බොහෝ විද්වතුන් අදහස් පළ කර තිබේ. එක්සත් ජනපදයේ විද්වතුන් දෙදෙනෙකු කළ ප්‍රකාශයක මෙසේ සඳහන් වේ. “පසුගිය අවුරුදු 75 තුළ යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලොව පුරා පුදුමසහගත ලෙස වර්ධනයක් ලබා තිබේ.” නැඟෙනහිර අප්‍රිකානු රටක පළ වන සඟරාවක සාක්ෂිකරුවන්ව හඳුන්වා තිබුණේ, “ජාත්‍යන්තර වශයෙන් මහත් කීර්තියක් ලබා තිබෙන, වේගවත් වර්ධනයක් ලබන ආගම් අතරින් එකක්” ලෙසය. තවද ඔවුන් “බයිබල් ඉගැන්වීම්වලට සම්පූර්ණයෙන්ම ඇලී සිටින කණ්ඩායමක් ලෙසද නම් දරා ඇති” බවත් එහි සඳහන් විය. යුරෝපයේ පළ වන කතෝලික සඟරාවකද “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පුදුමාකාර වර්ධනය” ගැන සඳහන් වී තිබිණ. මෙම වර්ධනයට හේතුව කුමක්ද?

අදදින ශුද්ධාත්මය ක්‍රියාත්මක වීම

9. (අ) අදදින දෙවිගේ වචනය බලවත් ලෙස වර්ධනය වීමට ප්‍රධානතම හේතුව කුමක්ද? (ආ) යෙහෝවා ඔහුගේ නමස්කාරයට සෙනඟව එක්රැස් කරමින් සිටින්නේ කෙසේද?

9 අදදින දෙවිගේ වචනය බලවත් ලෙස වර්ධනය වීමට ප්‍රධානතම හේතුව මුල් සියවසේදී මෙන් යෙහෝවාගේ ආත්මය ප්‍රබල ලෙස ක්‍රියාත්මක වීමයි. “මා එවූ [පියා] විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස වෙන කිසිවෙකුට මා ළඟට එන්ට බැරිය” කියා යේසුස් පැවසුවේය. (යොහන් 6:44) සදාකාල ජීවනයට නිසි නැඹුරුවාවක් දක්වන අයගේ සිත් පොලඹවමින් දෙවි ඔවුන්ව සත්‍යය වෙත ඇදගනු ලබන බව එම වදන්වලින් ඇඟවෙයි. සිය සාක්ෂිකරුවන් විසින් කරනු ලබන දේශනා කිරීමේ කාර්යය මගින් යෙහෝවා “සියලු ජාතීන් ආශාවෙන දේ,” එනම් පොළොව පුරා සිටින බැටළුගුණැති ජනයාව ඔහුගේ නිර්මල නමස්කාරයට එක්රැස් කරමින් සිටියි.—හග්ගයි 2:6, 7.

10. දෙවිගේ වචනයට ප්‍රතිචාරය දක්වා තිබෙන්නේ කෙබඳු ආකාරයේ ජනයාද?

10 දෙවිගේ වචනය පොළොව පුරා ගෙන යෑමට දෙවිගේ සෙනඟව ශක්තිමත් කර තිබෙන්නේ ශුද්ධාත්මයයි. එපමණක්ද නොව, ශුභාරංචියට යහපත් ප්‍රතිචාරයක් දැක්වීම සඳහා සියලු ආකාර මිනිසුන්වද එය පොලඹවා තිබේ. දෙවිගේ වචනය පිළිගෙන තිබෙන අය “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත්” පැමිණ තිබීමෙන් මෙය මනාව පැහැදිලි වේ. (එළිදරව් 5:9; 7:9, 10) දුප්පත් පොහොසත්, උගත් නූගත් අය ඔවුන් අතර සිටිති. මොවුන් අතර සිටින ඇතැම් අය දෙවිගේ වචනය පිළිගෙන තිබෙන්නේ යුධ හා දැඩි හිංසා පීඩා පවතින වාතාවරණයකදීය. තවත් අය එය පිළිගෙන තිබෙන්නේ සාමකාමී කාලවලදීය. සෑම ආණ්ඩු ක්‍රමයකටම හා සංස්කෘතියකටම අයත් අය මෙන්ම සිර මැදිරිවල හා මාළිගාවල සිටින ස්ත්‍රීන් සහ පුරුෂයන්ද ශුභාරංචියට යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබේ.

11. දෙවිගේ සෙනඟ අතර ශුද්ධාත්මය ක්‍රියාත්මක වන්නේ කෙසේද? අද දක්නට තිබෙන පැහැදිලි වෙනස කුමක්ද?

11 දෙවිගේ සෙනඟ අතර විවිධ පසුතලයන්ට අයත් අය සිටියත් ඔවුහු සමඟියෙන් වෙසෙති. (ගීතාවලිය 133:1-3) දෙවිට සේවය කරන අයගේ ජීවිත තුළ ශුද්ධාත්මය ක්‍රියා කරන බවට එය එක් සාක්ෂියකි. ඔහුට සේවය කරන අයට ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, කරුණාවන්තකම හා වෙනත් සිත්ගන්නාසුලු ගුණාංග විදහාපෙන්වීමට හැකි වී තිබෙන්නේ, දෙවිගේ ආත්මය යහපත් දේවල් කිරීමට ඔවුන් තුළ ප්‍රබල බලපෑමක් ඇති කරන නිසාය. (ගලාති 5:22, 23) බොහෝ කලකට පෙර අනාගතවක්තෘ මලාකී පුරෝකථනය කළ මෙම වදන්වල ඉටුවීම අද අපට පැහැදිලිව දැකගත හැක. “එකල ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේද [දෙවිට] සේවයකරන්නා සහ [ඔහුට] සේවය නොකරන්නා අතරේද ඇති වෙනස නුඹලා නැවත දකිනවා ඇත.”—මලාකී 3:18.

දෙවිගේ වචනය ජ්වලිතවත් සේවකයන් කෙරෙහි බලපවත්වයි

12. ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයෙහි නිරත වීම ගැන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට හැඟෙන්නේ කෙසේද? ඔවුන් සේවයේදී අපේක්ෂා කරන්නේ කෙබඳු ආකාරයේ ප්‍රතිචාරයක්ද?

12 යෙහෝවාගේ සාක්ෂිකරුවන් නිකම්ම පුරුද්දක් හැටියට පල්ලි යන අය මෙන් නොවේ. ඔවුහු ශුභාරංචිය දේශනා කිරීමෙහි ක්‍රියාශීලීව නිරත වෙති. මුල් ක්‍රිස්තියානීන් හා සමානව ඔවුහුද දෙවිගේ කැමැත්ත කිරීමට සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වෙමින්, යෙහෝවාගේ රාජ්‍යය ගැන අන් අයට ඉගැන්වීමට නිතර සෑදී පැහැදී සිටිති. දෙවිගේ හවුල් සේවකයන් වන ඔවුහු ශුද්ධාත්මයේ උපකාරය ඇතුව තවත් අයට යෙහෝවාට සේවය කිරීම සඳහා උපකාර කරමින්, යෙහෝවා නොඇදහිලිවන්ත ජනයාට දක්වන දයාව හා ප්‍රේමය විදහාපෙන්වති. ඔවුන් මෙය කරන්නේ ජනයාගේ උදාසීනකම්, සරදම් හා හිංසා පීඩා මැදය. මිනිසුන් ශුභාරංචියට දක්වන විවිධ ප්‍රතිචාරයන්ට මුහුණ දීමට යේසුස් ඔහුගේ අනුගාමිකයන්ව සූදානම් කළේය. ඔහු මෙසේ පැවසුවේය. “දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නොවේයයි නුඹලාට මා කී වචනය සිහිකරන්න. ඔව්හු මට පීඩාකළෝනම් නුඹලාටත් පීඩාකරන්නෝය; මාගේ වචනය රක්ෂාකළෝ නම් නුඹලාගේ වචනයත් රක්ෂාකරන්නෝය.”—යොහන් 15:20.

13. යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර බහුලව දක්නට තිබෙන නමුත්, ක්‍රිස්තියානි ලෝකයේ ආගම්වල දැකිය නොහැකි ලක්ෂණ මොනවාද?

13 අදදින සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් හා මුල් සියවසේ සැබෑ ක්‍රිස්තියානි ධර්මය වැලඳගත් අය අතර තිබෙන සමානතාව කාටත් පැහැදිලිව දැකගත හැක. ඒ හා සමානව යෙහෝවාගේ සාක්ෂිකරුවන් හා ක්‍රිස්තියානි ලෝකයේ ආගම් අතර අද පවතින මහත් වෙනසද කැපීපෙනෙනසුලුය. මුල් ක්‍රිස්තියානීන් ජ්වලිතව කළ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය ගැන සඳහන් කිරීමෙන් අනතුරුව එක් විද්වතෙක් කනගාටුවෙන් මෙසේ පැවසුවේය. “ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය, බව්තීස්ම වී සිටින සෑම ක්‍රිස්තියානියෙකුම තමාට පැවරී ඇති වගකීමක් ලෙස සලකන බව පෙනෙන්ට තිබිය යුතුය. එමෙන්ම ක්‍රිස්තියානීන් නොඇදහිලිවන්තයන්ට වෙනස්ව ශුභාරංචියට ඔබින ලෙස උසස් ප්‍රමිතිවලට අනුව තම ජීවිත හැඩගස්වාගත යුතුය. ඒ අනුව බලද්දී, ක්‍රිස්තියානි ධර්මයේ ඉදිරි ගමන සාර්ථක කරගැනීමට නම්, අද පල්ලියේ පවතින ක්‍රමයෙහි සැබෑ වෙනසක් සිදු කළ යුතුමය.” ක්‍රිස්තියානි ලෝකයේ ආගම්වල දැකිය නොහැකි ලක්ෂණ බොහොමයක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර බහුලව දක්නට තිබේ. ඔවුන්ගේ ඇදහිල්ල ජීවමානය. අව්‍යාජය. බයිබල් සත්‍යය මත පදනම් වන ඔවුන්ගේ ඇදහිල්ල ගැන සවන් දීමට කැමති ඕනෑම කෙනෙකු සමඟ ඒ පිළිබඳව කතා කිරීමට ඔවුහු නිතර සෑදී පැහැදී සිටිති.—1 තිමෝති 2:3, 4.

14. යේසුස් දේවසේවය සැලකුවේ කෙසේද? අදදින ඔහුගේ අනුගාමිකයන් විදහාපෙන්වන්නේ කිනම් ආකල්පයද?

14 යේසුස්ගේ ජීවිතයේ ප්‍රමුඛස්ථානය දේවසේවයට හිමිවීමෙන් පැහැදිලි වන්නේ ඔහු එය බැරෑරුම් වගකීමක් ලෙස සැලකූ බවය. යේසුස් පිලාත්ට මෙසේ පැවසුවේය. “ඒ පිණිස මම ඉපද සිටිමි, මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්ෂිදෙන පිණිසය.” (යොහන් 18:37) අද සිටින දෙවිගේ සෙනඟට හැඟෙන්නෙත් යේසුස්ට හැඟුණු ආකාරයටමය. ඔවුන්ගේ හදවතෙහි බයිබල් සත්‍යය කෙරෙහි දැඩි ඇල්මක් තිබෙන නිසා, ඔවුහු හැකි තරම් පිරිසකට එය කියා දීම සඳහා විවිධ ක්‍රම සොයති. අලුත් ක්‍රම සෙවීමට ඔවුන් මොනතරම් දක්ෂද කියා ඔවුන් සොයාගෙන තිබෙන ඇතැම් ක්‍රමවලින් පැහැදිලි වේ.

15. ශුභාරංචිය ජනයා අතට පත් කිරීම සඳහා ඇතැම් සාක්ෂිකරුවන් අත්හදා බලා තිබෙන ඵලදායී ක්‍රමයක් පැහැදිලි කරන්න.

15 එක් දකුණු අමෙරිකානු රටක සිටින සාක්ෂිකරුවන් පිරිසක්, මිනිසුන්ට සත්‍යය කියා දීම සඳහා ඇමසන් ගඟේ අතු ගංගාවක් ඔස්සේ ගමන් කළහ. එහෙත් 1995දී එම ප්‍රදේශයේ සිවිල් ගැටුම් ඇතිවීම නිසා සාමාන්‍ය ජනයාට එම ගඟේ එහා මෙහා යෑම තහනම් කරන ලදි. නමුත් උනන්දුව දක්වන අයට දිගටම බයිබල් ප්‍රකාශන ලබා දීමට අදිටන් කරගත් සාක්ෂිකරුවෝ, රාජ්‍ය පණිවිඩය ගැන සඳහන් කරමින් තමන් විසින් ලියූ ලිපි ඇතුළුව මුරටැඹ සහ පිබිදෙව්! සඟරා හිස් ප්ලාස්ටික් බෝතල් තුළ දමා ගඟේ පා කර හැරියහ. සාමාන්‍ය ජනයාට ගඟේ එහා මෙහා යෑමට නැවතත් අවසර ලැබුණේ අවුරුදු හතරහමාරකට පසුවයි. ඒ කාලය වන තුරු, සාක්ෂිකරුවෝ ඉහත සඳහන් කළ ක්‍රමයට සත්‍යය ජනයාට දැනගන්න සැලැස්සූහ. තහනම ඉවත් කළ පසු, ඒ වන තුරු තමන්ට ප්‍රකාශන ලැබෙන්න සැලැස්වීම ගැන ගඟ දෙපස පදිංචි වී සිටින ජනයා සාක්ෂිකරුවන්ට ස්තුති කළහ. සාක්ෂිකාරයන්ව වැලඳගත් ස්ත්‍රියක් මෙසේ පවසන විට ඇගේ ඇස්වලින් කඳුළු ගලා ආවාය. “මට ආයේ කවදාවත් ඔයගොල්ලන්ව දකින්න ලැබෙයි කියල මම හිතුවේ නැහැ. කොහොමවුණත්, ගඟේ පාවෙලා ආව ප්ලාස්ටික් බෝතල්වල තිබුණු සඟරා දැක්කාම මම දැනගත්තා ඔයාලා මාව අමතක කරල නැහැ කියල.” තමන්ට ලැබුණු සඟරා තමන් කීප වතාවක්ම කියවූ බව ගඟ දෙපස පදිංචි වී සිටින තවත් අය පැවසූහ. ගඟේ පා වීගෙන එන දේවල් තාවකාලිකව රඳවා තබාගන්නා දිය සුළි, ගඟ අසබඩ පදිංචි වී සිටින බොහෝදෙනෙකුට ප්‍රයෝජනවත් විය. ඔවුන් එම දිය සුළි සැලකුවේ ඔවුන්ගේ “තැපැල් කාර්යාලය” ලෙසයි. උනන්දුව දැක්වූ අය නිතර ඔවුන්ගේ “තැපැල් කාර්යාලයට” ගොස් තමන්ට යම් ප්‍රකාශනයක් ලැබී තිබෙනවාද කියා සොයා බැලූහ.

16. ඕනෑම අවස්ථාවක අප සාක්ෂි දැරීමට සෑදී පැහැදී සිටිනවා නම්, ඇතැම් අවස්ථාවලදී ගෝලයන් සෑදීමට මඟ විවෘත වන බව පෙන්වන නිදසුනක් සපයන්න.

16 ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට යෙහෝවා දෙවිගේ හා බලසම්පන්න දේවදූතයන්ගේ මඟ පෙන්වීම හා අනුබලය ලැබේ. (එළිදරව් 14:6) සුදුසු ඕනෑම අවස්ථාවක සාක්ෂි දැරීමට අප සෑදී පැහැදී සිටිනවා නම්, ගෝලයන් සෑදීම සඳහා ඇතැම් අවස්ථාවලදී නොසිතූ ලෙස ප්‍රස්තාව උදා වේ. කෙන්යාවේ නයිරෝබි නුවර ගෙයින් ගෙට සාක්ෂි දරමින් සිටි සහෝදරියන් දෙදෙනෙකු දේශනා සේවය අවසන් කර එම ප්‍රදේශයෙන් පිටත්ව යෑමට සූදානම්ව සිටි අවස්ථාවේදී, තරුණ ස්ත්‍රියක් ඔවුන් ළඟට පැමිණ මෙසේ පැවසුවාය. “ඔයාලා වගේ අයත් එක්ක කතා කරන්න මටත් අවස්ථාවක් ලබා දෙන්න කියල මම යාච්ඤා කළා.” බයිබලය ගැන සාකච්ඡා කරන්න හැකි තරම් ඉක්මනට තමන්ගේ නිවසට පැමිණෙන්න කියා ඇය සහෝදරියන් දෙදෙනාගෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටි අතර එදාම ඇය සමඟ බයිබල් පාඩමක් ආරම්භ කරන ලදි. මේ තරම් හදිසිතාවකින් ඒ ස්ත්‍රිය සහෝදරියන් දෙදෙනා ළඟට පැමිණියේ ඇයි? ඊට සති දෙකකට පමණ කලින් ඇගේ කුඩා දියණිය මියගොස් තිබිණ. “මියගිය ප්‍රේමනීයයන්ට ඇති බලාපොරොත්තුව කුමක්ද?” නමැති පත්‍රිකාව කුඩා පිරිමි ළමයෙකුගේ අතේ තිබෙනවා දුටු ඇයට, එහි තිබූ දේවල් කියවා බලන්න මහත් ආශාවක් ඇති විය. එනිසා ඒ පිරිමි ළමයාගෙන් ඇය එය ඉල්ලා සිටියාය. ඇයට එය නොදුන් පිරිමි ළමයා තමාට එම පත්‍රිකාව දුන් සහෝදරියන් දෙදෙනාව ඇයට පෙන්වා තිබිණ. වැඩි කල් නොගොස් ආත්මික ප්‍රගතියක් ලැබූ මේ ස්ත්‍රියට ඇගේ කුඩා දියණිය අහිමි වීමේ දුක තුනී කරගැනීමට හැකි විය.

දෙවිගේ ප්‍රේමය බලවත්ව පැවතිය යුතුමය

17-19. දෙවි මිදීමේ මිල පූජාව මගින් මනුෂ්‍යවර්ගයාට පෙන්නුවේ කෙබඳු ආකාරයේ ප්‍රේමයක්ද?

17 ලොව පුරා දෙවිගේ වචනය වර්ධනය වීමත් ක්‍රිස්තුස් යේසුස්ගේ මිදීමේ මිල පූජාවත් අතර සමීප සබඳතාවක් තිබේ. මිදීමේ මිල පූජාව මෙන් දේශනා කිරීමේ කාර්යය මගින්ද සියලු මිනිසුන් කෙරෙහි ඇති යෙහෝවාගේ ප්‍රේමය ප්‍රකාශ කෙරේ. ප්‍රේරිත යොහන් දේවානුභාවයෙන් මෙසේ ලීවේය. ‘දෙවි ස්වකීය ඒකජාතක පුත්‍රයා දෙන තරම් ලෝකයාට ප්‍රේම කළේය. එසේ කළේ ඔහු කෙරෙහි අදහාගන්න සෑමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.’—යොහන් 3:16.

18 මිදීමේ මිල පූජාව සැපයීමෙන් යෙහෝවා මිනිසුන්ට පෙන්වා තිබෙන ඉමහත් ප්‍රේමය ගැන සිතා බලන්න. දෙවි ‘තමන්ගේ මැවිල්ලේ මුල වූ තැනැත්තා’ වන තම ආදරණීය ඒකජාතක පුත්‍රයා සමඟ යුග ගණනාවක් සමීප සබඳතාවක් භුක්ති වින්දේය. (එළිදරව් 3:14) සිය පියා කෙරෙහි යේසුස්ට තිබුණේ පුදුම ආදරයකි. යෙහෝවාද “ලෝකය මැවීමට පළමුවෙන්” තම පුත්‍රයාට ආදරය කළේය. (යොහන් 14:31; 17:24) එහෙත්, මිනිසුන්ට සදාකාල ජීවනය ලබාගත හැකි වන පිණිස යෙහෝවා තම ආදරණීය පුත්‍රයාව මරණයට පත් කිරීමට ඉඩහැරියේය. එසේ කිරීමෙන් දෙවි මනුෂ්‍යවර්ගයාට පෙන්නුවේ මොනතරම් විශිෂ්ට ප්‍රේමයක්ද!

19 යොහන් 3:17හි මෙසේ සඳහන් වේ. “[දෙවි පුත්‍රයාව] ලෝකයට එවුවේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා [ඔහු] කරණකොටගෙන ගළවනු ලබන පිණිසය.” මේ අනුව, දෙවි සිය පුත්‍රයාව ලෝකයට එව්වේ මනුෂ්‍යයන්ව විනිශ්චය කිරීමට නොව ඔවුන්ව ගළවාගැනීමේ කාර්යය ඉටු කිරීමටය. මෙය ප්‍රේරිත පේතෘස්ගේ මෙම වදන් සමඟ එකඟ වේ. “සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට [යෙහෝවා කැමති නැත].”—2 පේතෘස් 3:9.

20. ගැළවීම හා ශුභාරංචිය දේශනා කිරීම අතර තිබෙන සම්බන්ධය කුමක්ද?

20 මිනිසුන්ගේ ගැළවීම සඳහා නීතිමය වශයෙන් අවශ්‍ය වූ පදනම සැපයීමේදී යෙහෝවා මහත් කැප කිරීමක් කළේය. මේ නිසා හැකි තරම් මිනිසුන් පිරිසක් එයින් ප්‍රයෝජන ගන්නවා දැකීමට ඔහු කැමතිය. ඒ ගැන ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. “මක්නිසාද: [යෙහෝවාගේ] නාමයට යාච්ඤාකරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය. එසේ නම් ඔවුන් තමුන් විසින් අදහා නොගත්තාවූ කෙනෙකුට යාච්ඤාකරන්නේ කොහොමද? තමුන් නොඇසූවාවූ කෙනෙකු කෙරෙහි අදහන්නේ කොහොමද? දේශනාකරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද?”—රෝම 10:13, 14.

21. දේශනා කිරීමට අපට ලැබෙන අවස්ථා අප සැලකිය යුත්තේ කෙසේද?

21 ලොව පුරා සිදු කෙරෙමින් තිබෙන දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කාර්යයෙහි හවුල් වෙන්න ලැබීම මොනතරම් උතුම් වරප්‍රසාදයක්ද! මෙය ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එහෙත් තමන්ගේ විශ්වාසවන්ත සේවකයන් සත්‍යයට අනුව තමන්ගේ ජීවිත හැඩගස්වා ගනිමින් ශුභාරංචිය අනිත් අයත් සමඟ බෙදාගන්නවා දකින විට, යෙහෝවා ඉන් මොනතරම් සතුටක් ලබනවාද! මේ නිසා ඔබ කුමන තත්වයන් යටතේ සිටියත්, මේ කාර්යයෙහි හවුල් වීම සඳහා ඔබව පෙලඹවීමට දෙවිගේ ආත්මයට හා ඔබේ හදවතෙහි දෙවිට තිබෙන ප්‍රේමයට ඉඩ දෙන්න. ලොව පුරා දේශනා සේවයෙන් ඉටු කරගෙන තිබෙන දේවල්, “ධර්මිෂ්ඨකම වාසයකරන” තේජවත් ‘අලුත් අහස හා අලුත් පොළොව’ සම්බන්ධයෙන් යෙහෝවා දෙවි දී තිබෙන පොරොන්දුව ළඟදීම ඉටු වන බවට පැහැදිලි සාක්ෂියක් බවද මතක තබාගන්න.—2 පේතෘස් 3:13.

ඔබට මතකද?

• ඇදහිල්ල අත්හැර යෑමක් සිදු වුවත්, එය ශුභාරංචිය දේශනා කළ අයට තම කාර්යය කරගෙන යෑමට බාධාවක් නොවූයේ මන්ද?

• අපේ කාලයේදී දෙවිගේ වචනය බලවත් ලෙස වර්ධනය වී තිබෙන්නේ කෙසේද?

• අදදින දෙවිගේ ආත්මය ක්‍රියාත්මක වන්නේ කිනම් ආකාරවලින්ද?

• මිදීමේ මිලය හා ශුභාරංචිය දේශනා කිරීම අතර තිබෙන්නේ කිනම් සබඳතාවක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ ප්‍රස්තාරය/පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

විසිවන සියවසේ රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වර්ධනය

ප්‍රචාරකයන්ගේ සාමාන්‍යය (මිලියනවලින්)

6.0

5.5

5.0

4.5

4.0

3.5

3.0

2.5

2.0

1.5

1.0

0.5

1900 1910 1920 1930 1940 1950 1960 1970 1980 1990 2000

[15වන පිටුවේ පින්තූර]

ජෙරොම්

ටින්ඩේල්

ගුටන්බර්ග්

හියූස්

[හිමිකම් විස්තර]

ගුටන්බර්ග් සහ හියූස්: Story of Liberty, 1878 නමැති පොතෙන් උපුටාගන්නා ලදි

[15වන පිටුවේ පින්තූරය]

බයිබල් ශිෂ්‍යයන් 1920 ගණන්වල ශුභාරංචිය දේශනා කරමින්

[16, 17වන පිටුවේ පින්තූර]

ලොව පුරා වෙසෙන ජනයා ශුභාරංචියට යහපත් ප්‍රතිචාරයක් දක්වයි

[18වන පිටුවේ පින්තූරය]

යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව හා සමානව, දේශනා කිරීමේ කාර්යය මගින්ද යෙහෝවාගේ ප්‍රේමය කැපී පෙනෙයි