Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබට මතකද?

මෑතකදී පළ වූ මුරටැඹ සඟරාවල ලිපි කියවීමෙන් ඔබ සතුටක් ලැබුවාද? එසේ නම් පහත සඳහන් ප්‍රශ්නවලට උත්තර සැපයිය හැකිදැයි බලන්න.

ප්‍රේරිත පාවුල් රෝම 5:3-5හි කරුණු කීපයක් ගෙනහැර දැක්වීමේදී බලාපොරොත්තුව යන කරුණ අවසානයට සඳහන් කළේ මන්ද?

පාවුල් ක්‍රිස්තියානීන් අද්දකින පීඩා, ඔවුන්ගේ විඳදරාගැනීම, අනුමැතිය ලත් තත්වය සහ බලාපොරොත්තුව වැනි කරුණු රැසක් ඉදිරිපත් කළේය. මෙහි පාවුල් සඳහන් කළ බලාපොරොත්තුව, කෙනෙකු බයිබලයෙන් මුලින්ම ලබන බලාපොරොත්තුව නොවේ. එය, යම් කලක් ගතවීමෙන් පසු ක්‍රිස්තියානියෙකු තුළ ගොඩනැඟෙන ශක්තිමත් වූත්, පුළුල් වූත්, ගැඹුරට මුල් බැසගත් බලාපොරොත්තුවයි.—12/15, පිටු 22-3.

පුරාණ ග්‍රීසියෙහි පැවති ධාවන තරඟ සම්බන්ධයෙන් අදදින ක්‍රිස්තියානියෙකු උනන්දුවක් දැක්විය හැක්කේ මන්ද?

එම තරඟවල ස්වභාවය හා පිළිවෙත් පිළිබඳව තේරුම්ගැනීමෙන් බයිබල් පද කීපයක්ම හොඳින් අවබෝධ කරගත හැක. ඒවායින් සමහරක් නම්, ‘තරඟයේ සියලු නීති රීති අනුව ක්‍රියා කිරීම,’ ‘සියලු බර අහක දමා යේසුස්ගේ ආදර්ශය දෙස බැලීම,’ ‘විඳදරාගැනීමෙන් යුතුව දිවීම’ හා ඔටුන්න හෝ ත්‍යාගය හිමි කරගැනීම වේ. (2 තිමෝති 2:5, නව අනුවාදය; 4:7, 8; හෙබ්‍රෙව් 12:1, 2NW; 1 කොරින්ති 9:24, 25; 1 පේතෘස් 5:4)—1/1, පිටු 28-30.

වර්ෂ 1914දී ශුභාරංචිය පතළ කිරීමට දියත් කළ නව ක්‍රමය කුමක්ද?

එම වසරේදී “මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය” එළිදක්වනු ලැබීය. සල රූ කාණ්ඩ සහ වර්ණ ගැන්වූ වීදුරු ස්ලයිඩ් කාච සියගණනක් ඇතුළත් කොටස් හතරකින් යුක්ත වූ එය වැඩි වශයෙන් පෙන්වනු ලැබුවේ තැටිගත කළ විස්තරාත්මක කතාද ඇතුළත්වය. ජනයාට බයිබලයේ ඇති පණිවිඩය ඉගැන්වීමට මෙම නාට්‍යයේ කාණ්ඩ 20ක් නිපදවා බොහෝ ස්ථානවලදී පෙන්වා ඇත.—1/15, පිටු 8-9.

පාලක මණ්ඩලය නීතික සංස්ථාවකට වඩා වෙනස් වන්නේ කෙසේද?

නීතික සංස්ථාවක අධ්‍යක්ෂකවරුන්ව පත් කරගන්නේ එහි සාමාජිකයන් විසින් වුවත්, පාලක මණ්ඩලය පත් කරනු ලබන්නේ මනුෂ්‍යයන් විසින් නොව නමුත් යේසුස් ක්‍රිස්තුස් විසින්ය. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් යොදාගනු ලබන විවිධ සංස්ථාවල අධ්‍යක්ෂකවරුන් පාලක මණ්ඩලයේ සාමාජිකයන් වීමට අවශ්‍යතාවක් නොමැත. මෑතකදී, පෙන්සිල්වේනියාවේ වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි මගින් පැවැත්වූ වාර්ෂික රැස්වීමේදී, අධ්‍යක්ෂකවරුන් හා නිලධාරීන් ලෙස සේවය කරමින් සිටි පාලක මණ්ඩලයේ සාමාජිකයෝ කැමැත්තෙන්ම එම තනතුරුවලින් ඉවත් වූහ. ‘වෙනත් බැටළුවන්’ අතරෙහි සිටින වගකිව යුතු සහෝදරයන්ව ඒ වෙනුවට පත් කරන ලදි. (යොහන් 10:16) මෙබැවින්, ආත්මික ආහාර පිළියෙළ කිරීමට සහ ලෝක ව්‍යාප්ත සහෝදරත්වයට වුවමනා කරන අනිකුත් ආත්මික අවශ්‍යතා බලාකියා ගැනීමට පාලක මණ්ඩලයට වැඩි කාලයක් ගත කළ හැක.—1/15, පිටු 29, 31.

අධෛර්යය වීම් මැද නොසැලී සිටීමට ඉගෙනගැනීමේදී අපට සෝදිසි කර බැලිය හැක්කේ කුමන බයිබල් ආදර්ශ දෙකද?

එකක්, සාමුවෙල්ගේ මව් වූ හන්නාය. ඉශ්‍රායෙලයේ උත්තම පූජකයා වූ ඒලී විසින් ඇයව වැරදි ආකාරයෙන් විනිශ්චය කළ විට ඇය අධෛර්යයට පත්වීමට ඉඩ තිබිණ. එහෙත් ඒ වෙනුවට, ඇය අවංකව මෙන්ම ගෞරවනීයව ඔහුට කරුණු පැහැදිලි කළාය. එමෙන්ම, හන්නා ඒලී කෙරෙහි වෛර බැඳගත්තේ නැත. දෙවනි ආදර්ශය වන මාර්ක්ව ප්‍රේරිත පාවුල් මිෂනාරි ගමනට ඇතුළත් කර නොගත් අවස්ථාවේ ඔහු අධෛර්යයට පත් වූවා විය හැක. මෙම වරප්‍රසාදය තමාට අහිමි වී යෑම සම්බන්ධයෙන් කලකිරීමට පත් වෙනවා වෙනුවට ඔහු බාර්ණබස් සමඟ සංචාරයේ යෙදෙමින් ක්‍රියාශීලීව සේවයෙහි නියැලිණ.—2/1, පිටු 20-2.

පරිගණක මෘදුකාංග වැඩසටහන්වල පිටපත් අන්‍යයන්ට දීම හෝ ඔවුන්ගෙන් ලබාගැනීම සම්බන්ධයෙන් ක්‍රිස්තියානීන් පරෙස්සම් විය යුත්තේ මන්ද?

පරිගණක වැඩසටහන් (ක්‍රීඩා ඇතුළු) වැඩි ප්‍රමාණයකට බලපත්‍ර ඇති අතර, හිමිකරු නැතහොත් භාවිත කරන්නා වැඩසටහන භාවිත කළ යුත්තේ එම බලපත්‍රයේ සඳහන් නීතිවලට අනුකූලවයි. සාමාන්‍යයෙන් හිමිකම් නීතියට අනුව අන්‍යයන් සඳහා පිටපත් සෑදීම නීතිය උල්ලංගනය කිරීමකි. අප ඒවා නොමිලේ දෙන විට පවා එය අදාළ වේ. ක්‍රිස්තියානීන් ‘කායිසර්ගේ දේ කායිසර්ට දෙන්න’ යන නීතියට කීකරු වීම අවශ්‍යයි. (මාර්ක් 12:17)—2/15, පිටු 28-9.

සිරිල් සහ මෙතෝඩියස් යනු කවරහුද? ඔවුන් බයිබල් අධ්‍යයනය සඳහා දායක වූයේ කෙතරම් දුරකටද?

ඔවුන් නවවන සියවසේදී ග්‍රීසියේ තෙසලෝනිකාවෙහි උපන් සහෝදරයන් දෙදෙනෙකි. ඔවුහු ස්ලාවික් භාෂා සඳහා ලිඛිත හෝඩියක් සැකසූ අතර බයිබලයෙන් වැඩිහරියක් ස්ලාවොනික් භාෂාවට පරිවර්තනය කළහ.—3/1, පිටු 28-9.

‘ආත්මය කෙරෙහි සිත යොමු කිරීම’ යන ප්‍රකාශයෙන් අදහස් කරන්නේ කුමක්ද?—රෝම 8:6, NW.

ඉන් අදහස් කරන්නේ යෙහෝවාගේ ක්‍රියාකාරක බලය මගින් පාලනය වීම, එහි බලපෑමට යටත් වීම හා පෙලඹීමය. බයිබලය කියවීම හා පාඩම් කිරීම, දේවනීතිවලට මුළු හෘදයෙන් කීකරු වීම සහ දෙවිගේ ආත්මය ඉල්ලා යාච්ඤා කිරීම මගින් දෙවිගේ ආත්මය අප තුළ ක්‍රියා කිරීමට ඉඩ සැලසිය හැක.—3/15, 15වන පිටුව.

වරදවා වටහාගැනීමක් ඇති වූ විට අපට කුමක් කළ හැකිද?

කාරණය ප්‍රේමයෙන් විසඳාගැනීමට මං සෙවීම වැදගත්ය. එය සාර්ථක වන බවක් නොපෙනේ නම්, අධෛර්යය නොවන්න. ‘සිත් කිරා බලන’ යෙහෝවාගෙන් වටහාගැනීමේ හැකියාව හා උපකාරය පතන්න. (හිතෝපදේශ 21:2; 1 සාමුවෙල් 16:7)—4/1, පිටු 21-3.