Skip to content

පටුනට යන්න

ජාත්‍යන්තර සංගමයක් අන්‍යයන්ට සරණ වේ

ජාත්‍යන්තර සංගමයක් අන්‍යයන්ට සරණ වේ

ජාත්‍යන්තර සංගමයක් අන්‍යයන්ට සරණ වේ

බලන බලන හැම පැත්තෙම සෙනඟ පිරිලා. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් වයසක අයයි. මේ අයගෙන් සමහරු මොනතරම් අබල දුබලද කියනවා නම් ඔවුන්ට ඇවිදගන්නත් අමාරුයි. ඒ වගේම ගර්භිණී මව්වරුන් හා කුඩා දරුවන් ඉන්න තරුණ යුවළයන්ද සිටිනවා. මොවුන් හැමෝම සිවිල් යුද්ධ, ස්වාභාවික විපත් හෝ එවැනි වෙනත් දේවල් නිසා තමන්ගේ රටවල් අත්හැර අසල්වැසි රටක සරණ පතා යෑමට සිදු වූ සරණාගතයන්. මොවුන් අතර පුරුෂයන්, ස්ත්‍රීන් හා දරුවන් යන හැමෝම ඉන්නවා. සමහරුන්ට පිට පිට කීප වතාවක්ම තම වාසස්ථාන අත්හැර යෑමට සිදු වී තිබෙනවා. අභ්‍යන්තර ගැටුමකට අරඅඳින බව හෝ ස්වාභාවික විපතක් සිදුවීමට යන බව සැල වූ වහාම ඔවුන් ගෙනියන්න පුළුවන් අඩුම කුඩුම ටික එකතු කරගෙන, දරුවන්වත් රැගෙන ආරක්ෂිත ස්ථානයකට පලා යනවා. පසුව, තත්වය හොඳ අතට හැරුණු විට සරණාගතයන් බොහෝදෙනෙක් තම නිවාස පිළිසකර කරන්නත්, යළි එහි ජීවිතය අරඹන්නත් හැරී එනවා.

ගත වූ වසර ගණනාව තුළ, මධ්‍යම අප්‍රිකානු ජනරජය රටවල් කීපයකම සරණාගතයන්ට තම දොරටු විවෘත කර තිබෙනවා. මෑතකදී, යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙකු ඇතුළු දහස් සංඛ්‍යාත සෙනඟකට, යුද්ධයෙන් දෙදරා ගිය ප්‍රජාතන්ත්‍රවාදී කොංගො ජනරජයේ සිට ආරක්ෂාව පතා මධ්‍යම අප්‍රිකානු ජනරජයට පලා යෑමට සිදු වුණා.

සහෝදරයන් සරණක් වේ

මානව දයාව පෙන්වීමට සංවිධානය වීම වරප්‍රසාදයක් ලෙසයි මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාක්ෂිකරුවන් සැලකුවේ. පැමිණෙන ක්‍රිස්තියානි සහෝදරයන් සඳහා ඔවුන් ආරක්ෂිත නවාතැන් පහසුකම් සැලසුවා. මුලදී, පෞද්ගලික නිවාසවල කාමර ලබා දුන්නත් සරණාගතයන්ගේ සංඛ්‍යාව වැඩි වූ නිසා විකල්ප විධිවිධානයක් යෙදිය යුතු බව පැහැදිලි වුණා. ඒ නිසා ඔවුන් සමහර රාජ්‍ය ශාලා නවාතැන් බවට පරිවර්තනය කළා. අමතර ආලෝකය සැපයීමට, ජල නළ සවි කිරීමට හා නවාතැන් ගන්න අයගේ පහසුව තකා බිමට සිමෙන්ති දැමීමට ප්‍රාදේශීය සාක්ෂිකරුවන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. මෙම තාවකාලික නවාතැන් පිහිටුවීමට ප්‍රාදේශීය සහෝදරයන් සමඟ සරණාගතයන්ද හරි හරියට වැඩ කළා. පැමිණෙන්නන්ට ජීවනදායක ආත්මික ආහාර ලබා දීම සඳහා, ක්‍රිස්තියානි රැස්වීම් සියල්ලම ලින්ගාලා භාෂාවෙන් පැවැත්වීමට සැලසුම් යෙදුවා. ප්‍රාදේශීය සාක්ෂිකරුවන් හා අමුත්තන් සහයෝගයෙන් වැඩ කිරීමෙන් පෙනී ගියේ, ජාත්‍යන්තර සහෝදරත්වය සැබවින්ම පවතින දෙයක් බවයි.

සරණාගත පවුල් සැමවිටම පැමිණියේ එකට නොවෙයි. සමහර අවස්ථාවල, වෙන් වෙන්න සිදු වූ පවුල් සාමාජිකයන්ට හැකි වුණා ගමනාන්තයේදී එක් වන්න. කරදරයක් නැතුව පැමිණි අයගේ නම් ලැයිස්තුවක් සෑම රාජ්‍ය ශාලාවකම තබා තිබුණා. ඒ වන විටත් පැමිණ නොසිටි අයව සොයාගැනීමට විධිවිධාන යොදනු ලැබුවා. පැමිණෙමින් සිටි සාක්ෂිකරුවන්ට උපකාර කිරීමට හා අතරමං වී ඇති අයව සෙවීමට, මෙම රට තුළ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු මෙහෙයවන ශාඛා කාර්යාලය මගින් දිනකට වාහන තුන බැගින් පිටත් කර යැව්වා. මෙම වාහනවල “වොච් ටවර්—යෙහෝවාගේ සාක්ෂිකරුවන්” කියා ලොකු අකුරෙන් ගහලා තිබුණා.

තම දෙමාපියන් මඟහැරී ගිය සරණාගත දරුවන් හත්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වෑන් රථයක් දුටු විට ඔවුන්ට දැනුණ ප්‍රීතිය ගැන සිතා බලන්න. ඒ මොහොතෙම ඔවුන් වාහනය වෙත දුව ගොස් තමන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් බව පැවසුවා. සහෝදරයෝ ඔවුන්ව වෑන් රථයට නංවාගෙන රාජ්‍ය ශාලාවකට කැටුව ගිය අතර, ඔවුන්ට යළි ඔවුන්ගේ පවුල් සාමාජිකයන් හා එක්වීමට හැකි වුණා.

අවංක ක්‍රිස්තියානීන්ට කීප වතාවක්ම මෙවැනි තත්වයන්ට සාර්ථකව මුහුණ දීමට හැකි කරවූයේ කුමක්ද? ශුද්ධ ලියවිල්ලේ පුරෝකථනය කර ඇති ආකාරයට අපි ජීවත් වන්නේ අන්තිම දවස්වල බව ඔවුන්ට සක්සුදක් සේ පැහැදිලි වී තිබෙන නිසා, මෙවැනි තත්වයන්ට සාර්ථකව මුහුණ දීමට ඔවුන්ට හැකි වී තිබෙනවා.—2 තිමෝති 3:1-5; එළිදරව් 6:3-8.

වැඩි කල් නොගොස් යෙහෝවා දෙවි යුද්ධය, වෛරය, ප්‍රචණ්ඩත්වය සහ අරගල තුරන් කරන බව ඔවුන් දන්නවා. සරණාගතයන් වීමේ ගැටලුව මළ ඉතිහාසයක් බවට පත් වේවි. එය සිදු වන තුරු, 1 කොරින්ති 12:14-26හි සඳහන් ප්‍රේරිත පාවුල්ගේ අවවාදයට එකඟව යෙහෝවාගේ සාක්ෂිකරුවන් අන්‍යයන් ගැන සැලකිලිමත් වීමට වෑයමක් දරනවා. ගංගාවන්, දේශ සීමාවන්, භාෂාවන් සහ දුර බැහැර ප්‍රදේශයන් හේතුවෙන් වෙන්වීමට සිදු වුවත් ඔවුන් අන්‍යයන් ගැන සැලකිලිමත් වන නිසා යමෙකුගේ අවශ්‍යතාවකදී විගස ක්‍රියාත්මක වෙනවා.—යාකොබ් 1:22-27.

[30වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

අප්‍රිකාව

මධ්‍යම අප්‍රිකානු ජනරජය

ප්‍රජාතන්ත්‍රවාදී කොංගො ජනරජය

[හිමිකම් විස්තර]

Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.

[30වන පිටුවේ පින්තූර]

රාජ්‍ය ශාලා තුනක් ඔවුන්ව පිළිගැනීමට සූදානම් කර තිබුණා

[31වන පිටුවේ පින්තූරය]

විගස මුළුතැන්ගෙයි පහසුකම් ඉදි කරනු ලැබුවා

[31වන පිටුවේ පින්තූරය]

බොහෝදෙනෙක් පැමිණියා

[31වන පිටුවේ පින්තූර]

උපන් ගමන් සරණාගතයන්