Skip to content

පටුනට යන්න

දෙවිගේ පුදුම ක්‍රියාවලට අවධානය දෙන්න

දෙවිගේ පුදුම ක්‍රියාවලට අවධානය දෙන්න

දෙවිගේ පුදුම ක්‍රියාවලට අවධානය දෙන්න

‘මාගේ දෙවි වූ යෙහෝවා, ඔබ විසින් කළ පුදුම ක්‍රියාද, අප කෙරෙහි ඇති ඔබගේ සිතිවිලිද බොහෝය. ඒවා ඔබ ඉදිරියෙහි පිළිවෙළින් තැබිය නොහැකිය [කිසිවෙකු ඔබ හා සැසඳිය නොහැක, NW].’—ගීතාවලිය 40:5.

1, 2. දෙවිගේ පුදුම ක්‍රියා ගැන අපට තිබෙන සාක්ෂි මොනවාද? මෙය අපව පෙලඹවිය යුත්තේ කුමක් කිරීමටද?

 ඔබ බයිබලය කියවන විට දෙවි පුරාණයේ සිටි ඔහුගේ සෙනඟ වූ ඉශ්‍රායෙල්වරුන් වෙනුවෙන් කළ පුදුම ක්‍රියා ඔබේ අවධානයට යොමු වන බව නිසැකයි. (යෝෂුවා 3:5; ගීතාවලිය 106:7, 21, 22) යෙහෝවා පුරාණයේදී මෙන් මේ කාලයේදී මිනිසුන්ගේ කටයුතුවලට මැදිහත් නොවුණත්, අප අවට තිබෙන දේවලින් ඔහුගේ පුදුම ක්‍රියාවලට සාක්ෂි ඕනතරම් දැකගන්න පුළුවන්. මේ නිසා ගීතිකාකරු පැවසූ මේ වදන්ම පැවසීමට අපටත් හොඳ හේතු තිබෙනවා. ‘යෙහෝවා, ඔබගේ කර්මාන්ත කොපමණ නානාප්‍රකාරද! ඔබ මේ සියල්ල ප්‍රඥාවෙන් සෑදුවේය. පොළොව ඔබගේ සම්පත්තියෙන් පූර්ණය.’—ගීතාවලිය 104:24; 148:1-5.

2 මැවුම්කරු කර තිබෙන දේවල් සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි තිබුණත්, ඒවා සැලකිල්ලට නොගන්න අය හා ප්‍රතික්ෂේප කරන අය අද වැඩියි. (රෝම 1:20) ඒ වුණත්, අපි මැවුම්කරුගේ පුදුම ක්‍රියා ගැන කල්පනා කර බලා, දෙවිගේ තත්වයට සාපේක්ෂව අපේ තත්වය කුමක්ද යන්න තේරුම්ගැනීමත් ඔහුට අපෙන් ඉටු විය යුතු දේවල් මොනවාද යන්න තීරණය කිරීමත් යෝග්‍යයි. මේ සඳහා යෝබ් 38 සිට 41 දක්වා පරිච්ඡේදවල සඳහන් දේවල් කදිම පසුබිමක් සපයනවා. යෙහෝවා යෝබ්ගේ අවධානයට යොමු කළ ඔහුගේ පුදුම ක්‍රියාවලින් සමහරක් ගැන ඒ පරිච්ඡේදවල සඳහන් වෙනවා. දෙවි යෝග්‍ය ලෙස ඇසූ ප්‍රශ්න කිහිපයකට අවධානය යොමු කරන්න.

බලවත් මෙන්ම පුදුම ක්‍රියා

3. යෝබ් 38:22, 23, 25-29 දක්වා සඳහන් වදන්වලට අනුව දෙවි ඇසුවේ කුමන දේවල් ගැනද?

3 එක් අවස්ථාවකදී දෙවි යෝබ්ගෙන් මෙසේ ඇසුවා. “කැලඹීමේ කාලයටද යුද්ධ හා සටනේ දවසටද මා විසින් ඉතුරුකර තබා තිබෙන හිම ගබඩා ළඟට නුඹ පැමින්නෙහිද? නොහොත් ගල්වැසි [හිම වැසි, NW] ගබඩා දුටුවෙහිද?” හිම සහ හිම වැසි ලෝකයේ බොහෝ ප්‍රදේශවල වාසය කරන අයගේ ජීවිතවලට බලපානවා. දෙවි තවදුරටත් මෙසේ ඇසුවා. “මනුෂ්‍යයෙකු නැති දේශයකටත් කිසි මනුෂ්‍යයෙකු නැති කාන්තාරයටත් වැසි වස්වා, වනයද පාළු තැන්ද සනහා, තෘණ වැවෙන්ට සැලැස්වීමට, වර්ෂාවට පාරවල්ද අකුණුවල විදුලියට මාර්ගයක්ද විවරකළේ කවුද? වර්ෂාවට පියෙක් ඇද්ද? පිනි බින්දු ඉපදෙවුවේ කවුද? හිමකැට කාගේ ගැබෙන් නික්මුණාද? අහසේ සිනිඳු හිම ජනිතකළේ කවුද?”—යෝබ් 38:22, 23, 25-29.

4-6. හිම පිළිබඳ මිනිසාගේ දැනුම සීමිතයි කියා පැවසිය හැක්කේ මන්ද?

4 කාර්යබහුල සමාජයක ජීවත් වන කෙනෙකුට හා බාධාවකින් තොරව ඉක්මනින් ගමන් බිමන් යෑමට අවශ්‍ය කෙනෙකුට නම් හිම ගැටලුවක් විය හැකියි. තවත් බොහෝදෙනෙක් හිම සලකන්නේ ශීත ඍතුවේදී විශේෂ ක්‍රියාකාරකම්වල නියැලෙන්න හොඳ අවස්ථාවක් සලසා දෙන කදිම දෙයක් හැටියටයි. දෙවි ඇසූ ප්‍රශ්නය ගැන කල්පනා කර බැලීමේදී, ඔබ සිතන්නේ කුමක්ද? ඔබ හිම ගැන කොතරම් දුරකට දන්නවාද? ඒවායේ පෙනුම ගැන කියන්න පුළුවන් මොනවාද? විශාල හිම වැටියක් මොන වගේද කියා අපි දන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඡායාරූපවලින් දැක තිබෙන්න පුළුවන්. ඒ වුණත් හිම පතනයේදී පොළොවට වැටෙන හිම මල් ගැන අපි දන්නේ මොනවාද? ඒවායේ පෙනුම මොන වගේද කියා ඔබ දන්නවාද? ඒවා සෑදෙන ආකාරය ඔබ පරීක්ෂා කර බලා තිබෙනවාද?

5 සමහර අය දශක ගණනාවක් පුරා හිම මල් ගැන අධ්‍යයනය කරමින් ඡායාරූප ගෙන තිබෙනවා. එක හිම මලක් ඉතාමත්ම කුඩා අයිස් කැට 100කින් පමණ සමන්විත විය හැකි අතර, මේවා නිශ්චිත අලංකාර හැඩයන් ගන්නවා. එක් පොතක (Atmosphere) හිම මල් ගැන මෙසේ සඳහන් වෙනවා. “හිම මල්වල අසීමිත විවිධත්වයක් තිබෙන බව බොහෝදෙනෙක් දන්නවා. විද්‍යාඥයන් කියා සිටින්නේ එකම හැඩයේ හිම මල් දෙකක් සෑදීම සොබාදහමේ නීති මගින් තහනම් කර නැති බවයි. එනමුත් කවදාවත් එක සමාන හිම මල් දෙකක් සොයාගෙන නැහැ. විල්සන් ඒ. බෙන්ට්ලි අණ්වීක්ෂයක් යොදාගනිමින් හිම මල් ගැන අවුරුදු හතළිහකට වඩා වැඩි කාලයක් පුරා පුළුල් පරීක්ෂණ පැවැත්වූවත් ඔහුට කවදාවත් එක සමාන හිම මල් දෙකක් සොයාගන්න ලැබී නැහැ.” එක හා සමාන හිම මල් දෙකක් කලාතුරකින් සම්බ වුණත්, හිම මල්වල තිබෙන අසීමිත විවිධත්වයේ පුදුමසහගතබව අඩු කිරීමට එය හේතුවක් වේවිද?

6 දෙවි ඇසූ ප්‍රශ්නය මතක් කරගන්න. “හිම ගබඩා ළඟට නුඹ පැමින්නෙහිද?” බොහෝදෙනෙක් සිතන්නේ හිම ගබඩා සෑදී තිබෙන්නේ වලාකුළුවලින් කියායි. අසීමිත විවිධත්වයකින් යුත් හිම කැට ගැන විස්තරයක් සකස් කිරීම සඳහා හෝ ඒවා බිහි වූ ආකාරය හරියටම තේරුම්ගැනීම සඳහා ඔබ හිම ගබඩාවකට ඇතුල් වෙන ආකාරය ඔබට සිතින් මවාගන්න පුළුවන්ද? විද්‍යාත්මක තොරතුරු ඇතුළත් එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙනවා. “සෙල්සියස් අංශක -40ක පමණ උෂ්ණත්වයකදී වලාකුළුවල තිබෙන ජල බින්දු අයිස් බවට පත්වීම සඳහා අවශ්‍ය වන අයිස් අංශුවල ස්වභාවය හා ඒවා මුලින්ම ඇති වූ ආකාරය තවමත් පැහැදිලි නැහැ.”—ගීතාවලිය 147:16, 17; යෙසායා 55:9, 10.

7. වැස්ස ගැන මිනිසාට තිබෙන්නේ මොන වගේ දැනුමක්ද?

7 වැස්ස ගැන කුමක් කිව හැකිද? මේ ගැන දෙවි යෝබ්ගෙන් මෙසේ ඇසුවා. “වර්ෂාවට පියෙක් ඇද්ද? පිනි බින්දු ඉපදෙවුවේ කවුද?” කලින් සඳහන් කළ විශ්වකෝෂයේ වැස්ස ගැන මෙසේ සඳහන් වෙනවා. “වායුගෝලයේ තිබෙන වාෂ්ප හා අංශුවල විවිධත්වය නිසාත්, වායුගෝලීය ක්‍රියාකාරිත්වය ඉතා සංකීර්ණ නිසාත් වලාකුළු සෑදෙන ආකාරය හා වැස්ස ඇති වන ආකාරය ගැන විස්තරාත්මක පොදු මතයක් ඉදිරිපත් කළ නොහැකි බව පෙනී ගොස් තිබෙනවා.” විද්‍යාඥයන් සරල යෙදුම් යොදාගනිමින් විස්තරාත්මක මත ඉදිරිපත් කර තිබුණත්, ඇත්තෙන්ම ඔවුන්ට වැස්ස ගැන සම්පූර්ණ පැහැදිලි කිරීමක් කළ නොහැකියි. කොහොමවුණත්, වැස්ස මොනතරම් අත්‍යවශ්‍ය දෙයක්ද කියා ඔබ දන්නවා. වැස්ස පොළොවට අවශ්‍ය ජලය ලබා දෙනවා. ගස්වැල් පෝෂණය කරනවා. ජීවිතය පවත්වාගන්න හැකි වී තිබෙන්නේ වැස්ස නිසයි.

8. පාවුල් ක්‍රියා 14:17හි සඳහන් වන ආකාරයට අදහස් දැක්වීම යෝග්‍ය වන්නේ ඇයි?

8 ප්‍රේරිත පාවුල්ගේ නිගමනය සමඟ ඔබ එකඟ වන්නේ නැද්ද? මේ පුදුමසහගත දේවල් සිදුවීමට සලස්වන තැනැත්තා ගැන එම පුදුම දේවල් මගින් කියාපාන දේ සොයා බැලීමට ඔහු අනිත් අයව උනන්දු කළා. ඔහු යෙහෝවා දෙවි ගැන මෙසේ පැවසුවා. ‘දෙවි අහසෙන් වර්ෂාව සහ සාරවත් කාලවල් නුඹලාට දී කෑමෙන්ද සන්තෝෂයෙන්ද නුඹලාගේ සිත් පුරවමින් යහපත්කම් කළ බැවින් තමන් ගැන සාක්ෂි නොදී නොසිටියේය.’—ක්‍රියා 14:17; ගීතාවලිය 147:8.

9. දෙවිගේ පුදුම ක්‍රියාවලින් ඔහු සතු අසීමිත බලය දැකගත හැක්කේ කෙසේද?

9 එවන් පුදුමසහගත හා ප්‍රයෝජන ගෙන දෙන දේවල් කරන තැනැත්තාට අසීමිත ප්‍රඥාවක් හා බලයක් තිබෙන බවට කිසිම සැකයක් නැහැ. ඔහුට මොනතරම් බලයක් තිබෙනවාද කියා මේ උදාහරණයෙන් පෙනී යනවා. සෑම දවසකම ගිගුරුම් සහිත වැසි කුණාටු 45,000ක් ඇති වන බව ගණන් බලා තිබෙනවා. අවුරුද්දකට සිදු වන එවන් කුණාටු ගණන දශලක්ෂ 16කට වැඩියි. මේ මොහොතේ පවා ලෝකයේ ඇතැම් ස්ථානවල ගිගුරුම් සහිත වැසි කුණාටු 2,000ක් පමණ ඇති වෙමින් තිබෙනවා. ගිගුරුම් සහිත වැසි කුණාටු ඇතිවීමේදී සංකීර්ණ වලාකුළු පද්ධතිය තුළ ඇති වනකැලඹීම හේතුවෙන් නිපදවෙන ශක්තිය, දෙවන ලෝක මහා යුද්ධයේදී හෙළන ලද න්‍යෂ්ටික බෝම්බවල අන්තර්ගත ශක්තිය මෙන් දහගුණයකටත් වඩා වැඩියි. මෙම ශක්තියෙන් යම් ප්‍රමාණයක් විදුලි කෙටීම් සිදු වන විට ඔබට දැකගන්න පුළුවන්. බිය උපදවන මේ විදුලි කෙටීම් මගින් නයිට්‍රජන් අඩංගු සංයෝග මුදාහරියි. මෙම සංයෝග පස මගින් උරාගෙන ගස්වැල්වලට අවශ්‍ය ස්වාභාවික පොහොර ලබා දෙනවා. මෙයින් පැහැදිලි වෙන්නේ විදුලි කෙටීම් මගින් ශක්තිය මුදවාහරිනවා පමණක් නොව, මිනිසුන්ට ප්‍රයෝජනද ගෙන දෙන බවයි.—ගීතාවලිය 104:14, 15.

ඔබේ නිගමනය කුමක්ද?

10. යෝබ් 38:33-38 දක්වා සඳහන් ප්‍රශ්නවලට ඔබ උත්තර දෙන්නේ කොහොමද?

10 සර්වපරාක්‍රම දෙවි ප්‍රශ්න අසන්නේ ඔබෙන් කියා සිතන්න. බොහෝදෙනෙක් දෙවිගේ පුදුම ක්‍රියා ගැන කල්පනා කරන්නේ නැහැයි යන කාරණයට ඔබ එකඟ විය හැකියි. යෙහෝවා අපෙන් අසන ප්‍රශ්න ගැන සඳහන් වන යෝබ් 38:33-38 දක්වා අපිට මෙසේ කියවීමට තිබෙනවා. “නුඹ අහසේ නියෝග දන්නවාද? නොහොත් ඒකේ ආණ්ඩුබලය පොළොව කෙරෙහි පිහිටුවන්ට නුඹට පුළුවන්ද? වතුර රාශියක් නුඹ පිටට පැමිණෙන හැටියට වලාකුල්වලට නුඹේ හඬ නගන්ට පුළුවන්ද? විද්‍යුත්ලතා [විදුලි කෙටීම්, NW] නික්මයන ලෙස ඒවා යවන්ට නුඹට පුළුවන්ද? ඒවා: අපි මෙහියයි නුඹට කියනවා ඇද්ද? අධ්‍යාත්මයෙහි [වලා පටලවල, NW] ප්‍රඥාව තැබුවේ කවුද? නොහොත් සිතට [අහසේ වස්තුවලට, NW] නුවණ දුන්නේ කවුද? ධූලි කැටි ගැසෙන කල්හිද, පිඩලි එකට ඇලෙන කල්හිද, ප්‍රඥාවෙන් වලාකුල් ගනින්ට කාට පුළුවන්ද? අහසේ භාජනවලින් දිය වගුරුවන්ට කාට පුළුවන්ද?”

11, 12. දෙවි පුදුම ක්‍රියා කරන තැනැත්තා බව තහවුරු කරන සාක්ෂි කිහිපයක් සඳහන් කරන්න.

11 එලීහු යෝබ්ගෙන් ඇසූ කාරණාවලින් අපි සලකා බැලුවේ ස්වල්පයක් පමණයි. ඒ වගේම “පුරුෂයෙකු මෙන්” උත්තර දෙන්න කියා පවසමින් යෙහෝවා යෝබ්ගෙන් ඇසූ ප්‍රශ්නවලින්ද අපි අවධානය යොමු කළේ ටිකකට පමණයි. (යෝබ් 38:3) “ටිකක්” කියා අපි කියන්නේ යෙහෝවා අවධානයට යොමු කරවන මැවිල්ලේ තවත් කැපීපෙනෙන අංග බොහොමයක් යෝබ් 38 සහ 39 යන පරිච්ඡේදවල සඳහන් වෙන නිසයි. උදාහරණයක් හැටියට, අහසේ තිබෙන තාරකා රාශි ගැන ඔහු සඳහන් කළා. ඒ සියල්ලක්ම පාලනය කරන නීති ගැන දන්නේ කවුද? (යෝබ් 38:31-33) යෙහෝවා යෝබ්ගේ අවධානය සිංහයා, කපුටා, [කඳු] එළුවා, වල් කොටළුවා [සීබ්‍රා], කුළු හරකා, පැස්බරා, අශ්වයා හා උකුස්සා වැනි සතුන් කෙරෙහිද යොමු කළා. මේ හැම සතෙකුගේම ගතිලක්ෂණ ගැනත් උන් ජීවත් වෙන ආකාරය හා බෝවෙන ආකාරය ගැනත් සම්පූර්ණ පර්යේෂණයක් කර තිබෙනවාද කියා දෙවි යෝබ්ගෙන් ඇසුවා. ඔබ අශ්වයන්ට හා වෙනත් සතුන්ට කැමති නම්, වෙනත් වේලාවක මේ පරිච්ඡේද කියවීමෙන් ඔබට යම් ආස්වාදයක් ලබාගත හැක.—ගීතාවලිය 50:10, 11.

12 ඔබට පුළුවන් යෝබ් 40 සහ 41 පරිච්ඡේද පසුව පරීක්ෂා කර බලන්න. සතුන් වර්ග දෙකක් ගැන යෙහෝවා නැවතත් යෝබ්ගෙන් ඇසූ ප්‍රශ්න ඒ පරිච්ඡේදවල සඳහන් වෙනවා. මේ සතුන්ගෙන් එකෙක් වන හිපපොටේමසාට තිබෙන්නේ (බෙහෙමොත්) අතිවිශාල ශක්තිමත් සිරුරකි. අනික් සතා වන්නේ නයිල් නදියේ සිටින ශක්තිසම්පන්න කිඹුලායි (ලෙවියාතාන්). මැවිල්ලේ පුදුමසහගතභාවයට සාක්ෂියක් සපයන මේ සෑම සතෙක් ගැනම කල්පනා කර බැලීම වටිනවා. අප පැමිණිය යුතු නිගමනය කුමක්ද කියා අපි දැන් සලකා බලමු.

13. දෙවි ඇසූ ප්‍රශ්න යෝබ් කෙරෙහි ඇති කළේ කිනම් බලපෑමක්ද? මේ දේවල් අප කෙරෙහිත් ඇති කළ යුත්තේ කිනම් බලපෑමක්ද?

13 දෙවි යෝබ්ගෙන් ඇසූ ප්‍රශ්නවලින් යෝබ්ට ඇති වූ බලපෑම ගැන යෝබ් 42වන පරිච්ඡේදයේ සඳහන් වෙනවා. කලින් යෝබ් අනවශ්‍ය ලෙස අවධානය යොමු කළේ ඔහු කෙරෙහි සහ අනිත් අය කෙරෙහියි. නමුත් දෙවි ඔහුව නිවැරදි කරන ආකාරයෙන් ප්‍රශ්න ඇසූ අවස්ථාවේදී, ඔහු තමාගේ අදහස් වෙනස් කරගත්තා. යෝබ් පසුතැවිලි වූ ආකාරය ගැන අපට මෙසේ කියවීමට තිබෙනවා. “[ඔබට] සියල්ලම පුළුවන් බවත් ඔබගේ කිසි අදහසක් වලක්වන්ට බැරි බවත් දනිමි. දැනගැන්ම නැතිකමෙන් මන්ත්‍රණය අඳුරුකරන මොහු කවුද? එබැවින් මට නොතේරෙන්නාවූ, මා දැනනොගත්, මට ඉතා පුදුමවූ දේවල් කීවෙමි.” (යෝබ් 42:2, 3) දෙවිගේ ක්‍රියා ගැන කල්පනා කර බැලීමෙන් පසු ඒවායේ පුදුමසහගතබව තමාටද පෙනී යනවා කියා යෝබ් පැවසුවා. දෙවිගේ මැවිල්ල තුළ දක්නට තිබෙන පුදුමසහගත දේවල් ගැන කල්පනා කර බැලීමෙන් පසු, දෙවිගේ අතිමහත් ප්‍රඥාව සහ බලය ගැන අප තුළත් යෝබ් තුළ ඇති වුණා හා සමාන හැඟීමක් ඇති විය යුතුයි. මෙහි පරමාර්ථය විය යුත්තේ කුමක්ද? දෙවිගේ අතිමහත් ප්‍රඥාව සහ බලය හොඳින් ඒත්තුගැනීම පමණක්ද? නැත්නම් ඊට වඩා දෙයක් කරන්න අපි තුළ පෙලඹීමක් ඇති විය යුතුද?

14. දෙවිගේ පුදුම ක්‍රියාවන් ගැන දාවිත්ට හැඟුණේ කෙසේද?

14 දෙවිගේ පුදුම ක්‍රියා ගැන දාවිත් කළ ප්‍රකාශයක් ගීතා 86වන ගීතිකාවේ සඳහන් වෙනවා. මීට කලින් ගීතිකාවක ඔහු මෙසේ සඳහන් කළා. ‘අහස දෙවිගේ මහිමය ප්‍රකාශ කරයි. ගුවන්තලය ඔහුගේ හස්ත කර්මාන්තය දක්වයි. දවාල දවාලට කතා කරයි. රාත්‍රිය රාත්‍රියට ඥානය දක්වයි.’ (ගීතාවලිය 19:1, 2) දාවිත් එතනින් නතර වුණේ නැහැ. ඔහු තවදුරටත් පැවසූ දේවල් ගැන ගීතාවලිය 86:10, 11හි අපට මෙසේ කියවීමට තිබෙනවා. ‘ඔබ උතුම්ය, ආශ්චර්ය ක්‍රියා කරයි. ඔබ පමණක් දෙවිය. යෙහෝවා, ඔබගේ මාර්ගය මට උගන්වන්න. ඔබගේ සැබෑකමෙහි හැසිරෙන්නෙමි. ඔබගේ නාමයට භය වෙන පිණිස මාගේ සිත එකඟ කරන්න.’ මැවුම්කරුගේ පුදුම ක්‍රියාවන් ගැන කල්පනා කරන විට දාවිත් තුළ මැවුම්කරු කෙරෙහි ගෞරවාන්විත බියක් ඇති වුණා. එසේ වීමට හේතුව ඔබට තේරුම්ගන්න පුළුවන්. මේ පුදුමසහගත දේවල් කරන තැනැත්තාව අසතුටට පත් කරන්න දාවිත් කොහොමටවත්ම කැමති වුණේ නැහැ. අප තුළත් එම හැඟීමම තිබිය යුතුයි.

15. දෙවි කෙරෙහි දාවිත් තුළ ඇති වූ ගෞරවාන්විත බිය යෝග්‍ය එකක් වූයේ ඇයි?

15 ඒ වගේම, සර්වපරාක්‍රම දෙවිට අසීමිත බලයක් තිබෙන නිසා, ඔහුගේ අප්‍රසාදයට ලක් වන අයට එරෙහිව එම බලය යොදාගන්න ඔහුට පුළුවන් බව දාවිත් තේරුම්ගත් බවට සැකයක් නැහැ. එවන් අයට නම් එම බලය විනාශකාරි දෙයක් හැටියටයි පෙනෙන්නේ. දෙවි යෝබ්ගෙන් මෙසේ ඇසුවා. “කැලඹීමේ කාලයටද යුද්ධ හා සටනේ දවසටද මා විසින් ඉතුරුකර තබා තිබෙන හිම ගබඩා ළඟට නුඹ පැමින්නෙහිද? නොහොත් ගල්වැසි ගබඩා දුටුවෙහිද?” හිම, හිම වැසි, ගිගුරුම් සහිත වැසි, සුළඟ හා විදුලි කෙටීම් යන මේ සියල්ලම දෙවිගේ අවි ගබඩාවේ තිබෙනවා. මේ ස්වාභාවික බලයන් මගින් මොනතරම් විනාශයක් කරන්න පුළුවන්ද!—යෝබ් 38:22, 23.

16, 17. දෙවි සතු ගරු බිය දනවනසුලු බලය පැහැදිලි වන්නේ කුමන දේවලින්ද? ඔහු අතීතයේදී එවන් බලයක් යොදාගත්තේ කෙසේද?

16 කලින් සඳහන් කළ ස්වාභාවික බලයන් නිසා ඔබේ ප්‍රදේශයේ සිදු වූ චණ්ඩ මාරුතයක් හෝ සුළි සුළඟක් හෝ ගංවතුරක් ගැන ඔබට මතක් වෙනවා ඇති. මෙම ස්වාභාවික බලයන් මොනතරම් ප්‍රබලද කියා තේරුම්ගැනීමට 1999 වසර අවසානයේදී නිරිත දිග යුරෝපයේ සිදු වූ දරුණු සුළි සුළඟ ගැන සලකා බලන්න. ඒ දරුණු සුළි සුළඟ ගැන කාලගුණ විද්‍යාඥයන් පවා මවිත වුණා. පැයට කිලෝමීටර් 200ක පමණ වේගයෙන් මේ සුළි සුළඟ හමද්දී ගෙවල් දහස්ගණනක වහලවල් ගැළවී ගියා. ලයිට් කණු ඇද වැටුණා. රථවාහන පෙරළුණා. මේ ගැන නිකමට සිතා බලන්න. මේ සුළඟ නිසා ගස් කෝටි 27ක් මුලින් උදුරා වැටුණා, නැත්නම් ඒවාවල අතු කඩා වැටුණා. පැරිස් නුවර අසල තිබෙන වෙර්සයි උද්‍යානයේ ගස් 10,000ක් ඒ සුළි සුළඟ නිසා කඩා වැටුණා. නිවාස දශලක්ෂ ගණනක විදුලිය ඇණහිටියා. මරුමුවට පත් වූ පිරිස සියයකට ආසන්නයි. මේ හැම දෙයක්ම සිදු වුණේ සුළු වේලාවකට පැවති සුළි සුළඟක් නිසයි. මොනතරම් ප්‍රබල බලයක්ද!

17 සුළි සුළං කියන්නේ හදිසියේම ඇති වන කිසිවෙකුට පාලනය කළ නොහැකි දෙයක් කියා සමහරුන් කියන්න පුළුවන්. එහෙත් ඕනෑම දෙයක් කිරීමට බලය තිබෙන පුදුම ක්‍රියා කරන තැනැත්තා එවැනි ස්වාභාවික බලයන් පාලනයකින් යුතුව නිශ්චිත අරමුණක් සඳහා යොදාගන්න විට කුමක් සිදු විය හැකිද? ආබ්‍රහම්ගේ කාලයේදී දෙවි එවැනි දෙයක් කළා. මුළු පොළොවේම විනිශ්චයකාරයා සොදොම සහ ගොමොරාව කියන නගර දෙකේ සිදු වූ දුෂ්ටකම්වලට දඬුවම් කරන බව ඇදහිලිවන්ත ආබ්‍රහම්ට දැනගන්න ලැබුණා. එම නගර දෙකේ විසූ අය මොනතරම් දූෂිත දේවල් කළාද කියනවා නම්, ඒවා නිසා පීඩා විඳි අයගේ කන්නලව්වලට සවන් දෙන්න දෙවි තීරණය කළා. විනාශයට කැප කළ මේ නගර දෙකේ සිටිය ධර්මිෂ්ඨයන්ට එයින් ඉවත් වීම සඳහා දෙවි කටයුතු පිළියෙළ කළා. මේ ගැන බයිබලයේ සඳහන් ඓතිහාසික වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා. ‘යෙහෝවා සොදොම පිට සහ ගොමොරාව පිට ඔහු වෙතින් අහසෙන් ගෙන්දගම් සහ ගිනිද වස්සවා’ ඒවා විනාශ කළේය. මෙයත් දෙවිගේ පුදුම ක්‍රියාවක්. මෙහිදී දෙවි දුෂ්ටයන්ව විනාශ කළත් ධර්මිෂ්ඨයන්ව ආරක්ෂා කළා.—උත්පත්ති 19:24.

18. යෙසායා 25වන පරිච්ඡේදයේ සඳහන් පුදුම දෙය කුමක්ද?

18 පසු කලෙක යෙහෝවා පුරාණ බබිලෝනිය නගරයට එරෙහිවද විනිශ්චමය තීන්දුවක් දුන්නා. යෙසායා 25වන පරිච්ඡේදයේ සඳහන් වන්නේ එම නගරය ගැන විය හැකියි. නගරයක් නටබුන්වලින් පිරී යන බවට දෙවි කළ පුරෝකථනය ගැන අපට මෙසේ කියවීමට තිබෙනවා. “ඔබ නුවරක් පස් ගොඩකටද බලකොටු නුවරක් ජරාවාස ගොඩකටද විදේශීන්ගේ මාළිගාවක් නුවරක් නොවන ලෙසද [හැරෙව්වේය]. ඒක කවදාවත් ගොඩනගනු නොලබන්නේය.” (යෙසායා 25:2) පුරාණ බබිලෝනිය පිහිටි ප්‍රදේශය අද බලන්න යන සංචාරකයන්ට එම වචනවල ඉටුවීම දැකගන්න පුළුවන්. බබිලෝනියේ විනාශය කාගෙවත් මැදිහත් වීමකින් තොරව අහම්බෙන් සිදු වූ දෙයක්ද? නැහැ. මෙවන් දෙයක් සිදු කළ තැනැත්තා සම්බන්ධයෙන් යෙසායා පැවසූ මෙම වදන් අපට කිසිම සැකයකින් තොරව පිළිගන්න පුළුවන්. ‘යෙහෝවා, ඔබ මාගේ දෙවිය. මම ඔබ උසස් කොට ඔබගේ නාමයට ප්‍රශංසා කරන්නෙමි. මක්නිසාද ඔබ පුදුම දේ එනම් පුරාතන මන්ත්‍රණ විශ්වාසයෙන්ද සැබෑකමෙන්ද ඉෂ්ට කළේය.’—යෙසායා 25:1.

අනාගතයේදී සිදු කරන පුදුම ක්‍රියා

19, 20. යෙසායා 25:6-8හි සඳහන් අනාවැකිය ඉටුවීමේදී අපට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද?

19 කලින් සඳහන් කළ අනාවැකිය පුරාණයේදී ඉටුවීමට සැලැස්වූයේ යෙහෝවා දෙවියි. ඔහු අනාගතයේදී තවත් පුදුම ක්‍රියා කරන්න යනවා. දෙවි සිදු කරන “පුදුම දේ” ගැන සඳහන් වන යෙසායා 25වන පරිච්ඡේදය තවදුරටත් සලකා බලන විට, අනාගතයේදී ඉටු වන අනාවැකියක් එහි අපට සොයාගත හැකියි. බබිලෝනිය සම්බන්ධයෙන් පැවසූ අනාවැකිය ඒ විදිහටම ඉටු වුණා වගේ මේ අනාවැකියත් ඉටු වන බව ස්ථිරයි. දෙවි පොරොන්දු කර තිබෙන “පුදුම දේ” කුමක්ද? ඒ ගැන යෙසායා 25:6හි මෙසේ සඳහන් වෙනවා. “සේනාවල [යෙහෝවා] මේ කන්දේදී සියලු ජනයන්ට සාරවූ දෙයින් මංගල්‍යයක්, එනම් රසවත් මුද්‍රිකපානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රිකපානයෙන්ද මංගල්‍යයක් [සාදන්නේය].”

20 දෙවි පොරොන්දු වී තිබෙන නව ලොවේදී එම අනාවැකිය ඉටු වන බව සහතිකයි. මේ අනාවැකිය ඉටු වෙන කාලයේදී, අද බොහෝදෙනෙකු පීඩා විඳින සියලුම ගැටලු ප්‍රශ්නවලින් මුළු මනුෂ්‍යවර්ගයාම නිදහස ලබන්න යනවා. දෙවි මෙතෙක් කර තිබෙන ඉතා පුදුම දනවන ක්‍රියාවලින් එකක් අනාගතයේදී කරන බවට යෙසායා 25:7, 8 වගන්තිවල මෙසේ සහතික කොට පවසනවා. ‘ඔහු මරණය සදාකාලයට ගිල දමන්නේය. ස්වාමි වූ යෙහෝවා සියලු මුහුණුවලින් කඳුළු පිස දමන්නේය. තමන් සෙනඟගේ නින්දාවද මුළු පොළොවෙන් පහ කරන්නේය. මක්නිසාද යෙහෝවාම ඒක කීවේය.’ පසුකලෙක ප්‍රේරිත පාවුල් එම පාඨය උපුටා දක්වමින් දෙවි මිය ගිය අයව නැවත නැඟුටුවන බව සඳහන් කළා. මෙය මොනතරම් පුදුමසහගත ක්‍රියාවක් වේවිද!—1 කොරින්ති 15:51-54.

21. මිය ගිය අය වෙනුවෙන් දෙවි අනාගතයේදී කරන පුදුම ක්‍රියාව කුමක්ද?

21 දුක් කඳුළු නැතිවීමට තවත් හේතුවක් වන්නේ මිනිසුන්ගේ හැම අසනීපයක්ම ඒ කාලයේදී නැති වී යෑමයි. යේසුස් මේ පොළොවේ සිටි කාලයේදී හුඟදෙනෙකුගේ රෝග සුව කළා. අන්ධයන්ට පෙනීම ලබා දුන්නා. බිහිරන්ට ඇසෙන්න සැලැස්සුවා. ආබාධිතයන්ව සුව කළා. අවුරුදු 38ක් තිස්සේ කොරව සිටි මිනිසෙකුව ඔහු සුව කළ බව යොහන් 5:5-9හි සඳහන් වෙනවා. සුවය ලැබූ ඒ මිනිසාව දුටු අය එය පුදුම ක්‍රියාවක් ලෙස සැලකුවා. ඇත්තෙන්ම එය පුදුම ක්‍රියාවක්! කෙසේවෙතත්, මිය ගිය අයව තමන් විසින් අනාගතයේදී නැවත නැඟිටුවීම ඊටත් වඩා පුදුම දනවන ක්‍රියාවක් වන බව යේසුස් ඔවුන්ට පැවසුවා. ඒ ගැන අපට මෙසේ කියවීමට තිබෙනවා. “මේ ගැන මවිත නොවෙන්න. මක්නිසාද සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ, යහපත්කම් කළාහු ජීවනයේ නැවත-නැගිටීමට . . . පිටත්ව එන්නෝය.”—යොහන් 5:28, 29.

22. දිළිඳු අයට හා හිංසා පීඩාවලට ලක් වී සිටින අයට අනාගතය දෙස අපේක්ෂාසහගතව බැලිය හැක්කේ මන්ද?

22 මෙය පොරොන්දු වී තිබෙන්නේ යෙහෝවා නිසා එහි ඉටුවීම ගැන කිසිම සැකයක් නැහැ. යෙහෝවා ඔහු සතු අසීමිත බලය මනා පාලනයකින් යුතුව යොදාගන්නා විට එහි ප්‍රතිඵලය පුදුම දනවන්නක් බව ශුද්ධ ලියවිල්ල සහතික කරනවා. යෙහෝවා ඔහුගේ පුත්‍රයා හා තමන් පත් කර තිබෙන රජු වන යේසුස් ක්‍රිස්තුස්ව යොදාගනිමින් කරන්න යන දෙය ගැන ගීතාවලිය 72වන පරිච්ඡේදයේ සඳහන් වෙනවා. ඒ කාලයේදී ධර්මිෂ්ඨයා සඵල වන බවට එම අනාවැකිය අපිට සහතික කරනවා. පොළොව පුරාම සාමය පවතින්න යනවා. දිළිඳුන්ව හා තාඩන පීඩනවලට ලක් වූ අයව දෙවි මුදවාගන්න යනවා. ඔහු මෙසේ පොරොන්දු වෙනවා. “පොළොවේ කඳු මුදුන්හි බොහෝ ශෂ්‍ය වන්නේය; එහි කරල් [ඉපැරණි] ලෙබනොන් මෙන් ලෙළ දෙන්නේය. නුවර වැසියෝ පොළොවේ තෘණ මෙන් සඵලවන්නෝය.”—ගීතාවලිය 72:16.

23. දෙවිගේ පුදුම ක්‍රියා අපව පෙලඹවිය යුත්තේ කුමක් කිරීමටද?

23 යෙහෝවා පුරාණ කාලයේ කළ පුදුම දේවල්, අද කරමින් සිටින පුදුම දේවල් හා නුදුරු අනාගතයේදී කරන පුදුම දේවල් ගැන කල්පනා කර බලන්න අපිට ඕනතරම් හේතු තිබෙන බව පැහැදිලියි. අපේ නෑදෑයන් හා වෙනත් අය සමඟ අප මහත් උනන්දුවෙන් යම් දේවල් ගැන කතා කරන විට, ගීතාවලියෙහි සඳහන් මේ දෙය කෙරෙහි නිතර අවධානය යොමු කළ යුතුයි. “ආශ්චර්ය කිරීමේ එකම කර්තෘවූ, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ, [යෙහෝවා දෙවිට] ප්‍රශංසාවේවා. [ඔහුගේ] ශ්‍රීමත් නාමයට සදාකල් ප්‍රශංසාවේවා; මුළු පොළොව [ඔහුගේ] මහිමයෙන් පිරේවා. ආමෙන්, ආමෙන්.” (ගීතාවලිය 72:18, 19) අපි සියලුදෙනාම ‘ඔහුගේ මහිමය ජාතීන් අතරේද ඔහුගේ ආශ්චර්ය ක්‍රියා සියලු මනුෂ්‍යවර්ගයන් අතරේද ප්‍රකාශ කරමු.’—ගීතාවලිය 78:3, 4; 96:3, 4.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• යෝබ්ගෙන් අසන ලද ප්‍රශ්න මගින් මිනිසා සතු දැනුම සීමිත බව අවධාරණය කෙරෙන්නේ කෙසේද?

යෝබ් 37 සිට 41 දක්වා පරිච්ඡේදවල සඳහන් දෙවිගේ පුදුම ක්‍රියාවලින් ඔබේ සිත් ගත්තේ කුමන ක්‍රියාවන්ද?

• දෙවිගේ පුදුම ක්‍රියාවලින් සමහරක් සලකා බැලීමෙන් පසු, අප තුළ ඇති විය යුත්තේ මොන වගේ හැඟීමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූර]

ඔබව පුදුමයට පත් කළ හැකි විවිධත්වයකින් යුත් හිම කැටවල හා විදුලි කෙටීම්වල තිබෙන අතිමහත් බලය ගැන ඔබ සිතන්නේ කුමක්ද?

[හිමිකම් විස්තර]

snowcrystals.net

[13වන පිටුවේ පින්තූර]

වෙනත් අය සමඟ කතා බහ කරන විට දෙවිගේ පුදුම ක්‍රියා ගැනද කතා කිරීමට අමතක නොකරමු