Skip to content

පටුනට යන්න

බලන්න! දෙවිගේ පුදුම ක්‍රියා

බලන්න! දෙවිගේ පුදුම ක්‍රියා

බලන්න! දෙවිගේ පුදුම ක්‍රියා

“නිශ්චලව සිට [දෙවිගේ] පුදුම ක්‍රියා කල්පනාකරන්න.”—යෝබ් 37:14.

1, 2. වර්ෂ 1922දී කළ විස්මිත සොයාගැනීම කුමක්ද? මෙම සොයාගැනීම කළ පුද්ගලයන් තුළ ඇති වූ හැඟීම කුමක්ද?

 පුරා විද්‍යාඥයෙකු සහ ඉංග්‍රීසි ජාතික සාමිවරයෙකු එකට එකතු වී අවුරුදු ගණනාවක් පුරා නිධානයක් සොයමින් සිටියා. වර්ෂ 1922 නොවැම්බර් 26වනදා පුරා විද්‍යාඥ හවඩ් කාටර්ට හා කානාවන් සාමිවරයාට ඔවුන් සොයමින් සිටි නිධානය සම්බ වුණා. මිසරයේ පාලකයන්ගේ දේහයන් තැන්පත් කර තිබූ ප්‍රසිද්ධ තැනිතලා භූමියේදී සොයාගත් එම නිධානය වූයේ ඵාරාවෝ ටූටාංකමන්ගේ සොහොන් ගෙයයි. ඔවුන් දෙදෙනා එක්ව මුද්‍රා කර තිබූ දොරටුවක් සිදුරු කළා. කාටර් ඉටි පන්දමක් දල්වාගෙන ඇතුලට එබිකම් කර බැලුවා.

2 පසුව තම අද්දැකීම විස්තර කරමින් කාටර් මෙසේ පැවසුවා. “සොහොන් ගෙය ඇතුලේ තිබුණේ මොනවාද කියලා දැනගන්න තුරු කානාවන් සාමිවරයාට ඉවසීමක් තිබුණේ නැහැ. ‘මොනවාද ඔයාට පේන්නේ?’ කියලා නොඉවසිලිමත්ව එයා මගෙන් අහපු අවස්ථාවේදී, මේ වචන දෙක පවා මගේ කටින් පිට වුණේ අමාරුවෙන්. ‘පුදුම දේවල්!’” මෙම සොහොනේ තිබූ වටිනා දේවල් දහස් ගණන අතර රත්තරන්වලින් සෑදූ මිනි පෙට්ටියක්ද තිබුණා. සමහරවිට මෙම “පුදුම දේවල්” අතරින් කිහිපයක් ඡායාරූපවලින් හෝ කෞතුකාගාරයකදී ඔබ දැක තිබෙන්න පුළුවන්. ඒ වුණත්, කෞතුකාගාරයක තිබෙන එවන් පුදුම දේවල් සහ ඔබේ ජීවිතය අතර කිසිදු සම්බන්ධයක් නැහැ. මේ නිසා අපි වෙනත් පුදුම දේවල් කෙරෙහි අපේ අවධානය යොමු කරමු. මේ දේවල් ඔබේ ජීවිතයට සම්බන්ධ වන අතර, ඒවා සලකා බැලීමෙන් ඔබට මහත් ප්‍රයෝජන අත් කරගත හැකියි.

3. අපට ප්‍රයෝජනවත් විය හැකි පුදුම දේවල් ගැන තොරතුරු අපට දැනගත හැක්කේ කොතැනින්ද?

3 මේ පුදුම දේවල් මොනවාද කියා සොයා බැලීම සඳහා සියවස් ගණනාවකට කලින් ජීවත් වූ මිනිසෙකු ගැන අපි මුලින්ම සලකා බලමු. මේ මිනිසා අද සිටින ජනප්‍රියතම සිනමා තරුවකට, ක්‍රීඩකයෙකුට, රාජකීය පෙළපතකින් පැමිණෙන කෙනෙකුට වඩා අවධානය ලැබිය යුතු පුද්ගලයෙක්. ඔහුව හඳුන්වා ඇත්තේ නැඟෙනහිර දිශාවේ සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා ශ්‍රේෂ්ඨතම තැනැත්තා කියායි. ඔබ ඔහුව නමින් අඳුනනවා ඇති. ඔහු යෝබ්. බයිබලයේ අඩංගු එක පොතක සම්පූර්ණයෙන්ම ලියා තිබෙන්නේ ඔහු ගැනයි. කොහොමවුණත්, යම් කාරණයක් සම්බන්ධයෙන් යෝබ්ව නිවැරදි කළ යුතු බව, ඔහු ජීවත් වූ කාලයේ සිටි එලීහු නම් තරුණයාට පෙනී ගියා. යෝබ් තමා කෙරෙහිත් තමා අවට සිටි අය කෙරෙහිත් ඕනෑවට වඩා අවධානය යොමු කර තිබෙනවා කියා එලීහු පැවසුවා. මේ ගැන යෝබ් 37වන පරිච්ඡේදයේ සඳහන් වන අතර, එහි අඩංගු තොරතුරු හා නැණවත් උපදෙස් අපි සෑම කෙනෙකුටම ප්‍රයෝජනවත් විය හැකියි.—යෝබ් 1:1-3; 32:1–33:12.

4. එලීහු යෝබ් 37:14හි සඳහන් උපදේශය දීමට හේතු වූයේ කුමක්ද?

4 පීඩා විඳිමින් සිටි යෝබ්ව සැනසීමට ඔහුගේ මිතුරන්යයි කියාගත් මිනිසුන් තිදෙනෙක් පැමිණියා. ඔවුන් යෝබ් ඉදිරියෙහි කළ දිගු කතාවලින් පෙන්වා දීමට වෑයම් කළේ යෝබ් සිතින් හෝ ක්‍රියාවෙන් යම් වැරදි කර තිබෙනවා කියායි. (යෝබ් 15:1-6, 16; 22:5-10) ඔවුන් අතර සිදු වූ මේ සංවාදය අවසන් වන තෙක් එලීහු ඉවසිලිමත්ව බලා සිටියා. පසුව ඔහු තීක්ෂ්ණ බුද්ධිය පාවිච්චි කරමින් නැණවත් ලෙස කතා කළා. ඔහු සඳහන් කළ වටිනා කරුණු රාශිය අතරින් විශේෂ අවධානයක් දිය යුතු මෙම මූලික කාරණය සැලකිල්ලට ගන්න. “යෝබ්, මීට ඇහුම්කන්දීගන සිටින්න. නිශ්චලව සිට [දෙවිගේ] පුදුම ක්‍රියා කල්පනාකරන්න.”—යෝබ් 37:14.

පුදුම ක්‍රියා කළ තැනැත්තා

5. ‘දෙවිගේ පුදුම ක්‍රියා’ යනුවෙන් එලීහු සඳහන් කළ ප්‍රකාශයට අයත් වන්නේ කුමක්ද?

5 යෝබ් ගැනවත්, එලීහු ගැනවත්, වෙනත් අය ගැනවත් කල්පනා කරන්න කියා එලීහු යෝබ්ට පැවසුවේ නැති බව සැලකිල්ලට ගන්න. එලීහු නැණවත් ලෙස යෝබ්ගෙනුත් අපෙනුත් මහත් ඕනෑකමින් ඉල්ලා සිටියේ යෙහෝවා දෙවිගේ පුදුම ක්‍රියා ගැන කල්පනා කරන්න කියායි. ඔබ සිතන විදිහට ‘දෙවිගේ පුදුම ක්‍රියාවලට’ ඇතුළත් වන්නේ මොනවාද? සාමාන්‍යයෙන් ඔබේ සැලකිල්ල යොමු විය හැක්කේ ඔබේ සෞඛ්‍යය, මූල්‍යමය තත්වය, අනාගතය, පවුලේ අය, රැකියා ස්ථානයේ සෙසු සේවකයන් හා අසල්වාසීන් කෙරෙහි විය හැකියි. කෙසේවෙතත්, දෙවිගේ ක්‍රියා ගැනත් කල්පනා කර බැලිය යුත්තේ ඇයි? යෙහෝවාගේ බලයෙන් හා ප්‍රඥාවෙන් අප අවට ඇති භෞතික මැවිල්ල ක්‍රියාත්මක වෙන ආකාරය දෙවිගේ පුදුම ක්‍රියාවලට අයත් වෙනවා. (නෙහෙමියා 9:6; ගීතාවලිය 24:1; 104:24; 136:5, 6) මෙම කාරණය පැහැදිලි කරගැනීම සඳහා යෝෂුවා පොතෙහි සඳහන් කරුණකට අවධානය යොමු කරන්න.

6, 7. (අ) යෙහෝවා මෝසෙස්ගේ හා යෝෂුවාගේ කාලයේදී කළ පුදුම දේවල් මොනවාද? (ආ) මෝසෙස්ගේ හා යෝෂුවාගේ කාලයේදී සිදු වූ මෙම පුදුම දේවලින් එකක් හෝ ඔබ සියැසින් දුටුවා නම් ඔබට ඇති වන හැඟීම ඔබ විස්තර කරන්නේ කෙසේද?

6 යෙහෝවා පුරාණ මිසරය පිට පීඩා ගෙනාවා. අවසානයේදී මෝසෙස්ට ඉශ්‍රායෙල්වරුන්ව නිදහස කරා ගෙන යෑමට හැකි වන පරිදි රතු මුහුද දෙබෑ කළා. (නික්මයාම 7:1–14:31; ගීතාවලිය 106:7, 21, 22) මේ හා සමාන සිද්ධියක් ගැන යෝෂුවා තුන්වන පරිච්ඡේදයේ සඳහන් වෙනවා. මෝසෙස්ගෙන් පසු දෙවිගේ සෙනඟව පොරොන්දු දේශය කරා ගෙන යෑමේදී මූලිකත්වය ගත් යෝෂුවාට සෙනඟව විශාල ගඟක් හරහා ගෙන යෑමට සිදු වුණා. ඒ අවස්ථාවේදී යෝෂුවා සෙනඟට මෙසේ පැවසුවා. “හෙට [යෙහෝවා] නුඹලා අතරේ පුදුම දේ කරන්ට යන නිසා පවිත්‍රවෙන්න.” (යෝෂුවා 3:5) මේ පුදුම දේ කුමක්ද?

7 යෙහෝවා යොර්දාන් ගඟේ විශාල ජල කඳ දෙබෑවීමට සලස්වා, දහස් ගණනක් වූ පුරුෂයන්, ස්ත්‍රීන් හා දරුවන්ට ගඟෙන් එතර වීමට මඟ සලසා දුන් බව වාර්තාවේ සඳහන් වෙනවා. (යෝෂුවා 3:7-17) ගඟ දෙබෑ වී, මිනිසුන් සියලුදෙනාම ආරක්ෂා සහිතව එගොඩට යනවා අපි බලා සිටියා නම්, එම සිද්ධිය මොනතරම් පුදුමසහගතද කියා අපට හැඟෙනවාට කිසිම සැකයක් නැහැ. මැවිල්ල පාලනය කිරීම සඳහා දෙවි සතු බලය එයින් මනාව පැහැදිලි වුණා. අද අපිටත් ඒ වගේ පුදුම දේවල් දකින්න තිබෙනවා. මේ පුදුම දේවලින් සමහරක් මොනවාද කියාත්, අපි ඒවා ගැන කල්පනා කර බැලිය යුත්තේ ඇයි කියාත් දැනගැනීමට යෝබ් 37:5-7හි සඳහන් දෙය සලකා බලමු.

8, 9. යෝබ් 37:5-7හි සඳහන් පුදුම දේවල් මොනවාද? අපි මේ දේවල් ගැන කල්පනා කර බැලිය යුත්තේ ඇයි?

8 එලීහු මෙසේ පැවසුවා. ‘දෙවි ස්වකීය හඬින් පුදුම ලෙස ගර්ජනා කරයි. අප නොදන්න මහත් දේ කරයි.’ දෙවි “පුදුමලෙස” කරන දේවල් කියද්දී එලීහුගේ මනසේ තිබුණේ මොනවාද? ඔහු හිම සහ වර්ෂාව ගැන සඳහන් කරනවා. මේවාට ගොවියෙකුගේ වැඩ නතර කර දමන්න පුළුවන්. දෙවිගේ ක්‍රියා ගැන කල්පනා කර බැලීමට එමගින් ඔහුට කාලය ලැබෙන අතර, එසේ කිරීමට හොඳ හේතුවක්ද තිබෙනවා. අපි ගොවිතැන් නොකරනවා වෙන්න පුළුවන්. ඒ වුණත්, අපි මේ පොළොවේ ජීවත් වෙන ප්‍රදේශය අනුව වැස්ස හෝ හිම පතනය අපිට බලපානවා. වැස්ස හා හිම පතනයට පුළුවන් අපේ වැඩවලට බාධා පමුණුවන්න. මෙම පුදුම ක්‍රියා පිටුපස සිටින්නේ කවුද, මේවායින් කියාපාන්නේ මොනවාද කියා කල්පනා කර බලන්න අපි කාලය ගන්නවාද? ඔබ කවදා හෝ එලෙස කල්පනා කර තිබෙනවාද?

9 යෝබ් 38වන පරිච්ඡේදය කියවන විට, යෙහෝවා දෙවි යෝබ්ගෙන් අර්ථවත් ප්‍රශ්න අසමින් එලීහු අවධානයට යොමු කළ අදහස්වලට සමාන අදහස් ඉදිරිපත් කළ ආකාරය අපේ සැලකිල්ලට යොමු විය හැකියි. අපේ මැවුම්කරු මේ ප්‍රශ්න ඉදිරිපත් කළේ යෝබ්ට වුණත්, එම ප්‍රශ්න අපේ ආකල්ප, පැවැත්ම මෙන්ම අනාගතය කෙරෙහි බලපායි. එනිසා දෙවි යෝබ්ගෙන් ඇසූ ප්‍රශ්න මොනවාද කියාත් ඒවා අපිට බලපාන්නේ කෙසේද කියාත් බලමු. මේ සඳහා යෝබ් 37:14හි අපෙන් උදක්ම ඉල්ලා සිටින දෙය කරමු.

10. යෝබ් 38වන පරිච්ඡේදය අප කෙරෙහි කිනම් බලපෑමක් ඇති කළ යුතුද? එම පරිච්ඡේදයෙහි ඉස්මතු කර තිබෙන්නේ කිනම් ප්‍රශ්නද?

10 තිස්අටවන පරිච්ඡේදයේ ආරම්භක වගන්තිවල මෙසේ සඳහන් වෙනවා. “[යෙහෝවා] කුණාටුවේ සිට යෝබ්ට උත්තරදෙමින් මෙසේ [කියයි]: අනුවණ වචනවලින් මන්ත්‍රණය අඳුරුකරන මොහු කවුද? ඉතින් පුරුෂයෙකු මෙන් නුඹේ ඉඟටිය බැඳගෙන, මා නුඹෙන් අසන විට මට කියන්න.” (යෝබ් 38:1-3) මෙම ප්‍රකාශය මගින් ඊළඟට පවසන දේවල් සඳහා අවශ්‍ය පසුබිම සකස් කරනවා. තමන් සිටින්නේ මුළු විශ්වයේම මැවුම්කරු ඉදිරියේ බවටත් තමන් ඔහුට ගණන් දිය යුතු බවටත් වූ යථාර්ථය තේරුම්ගෙන ඊට එකඟව තම සිතුවිලි සකස් කරගැනීමට එම ප්‍රකාශය යෝබ්ට උපකාරවත් වුණා. අපත් අපේ කාලයේ ජීවත් වන අයත් කළ යුත්තේ යෝබ් කළ දෙයයි. කලින් එලීහු සඳහන් කළ දේවලට සමාන දේවල් කෙරෙහි අවධානය යොමු කරවමින් දෙවි මෙසේ අසයි. “මා පොළොව පිහිටෙවු කල නුඹ කොතැන සිටියෙහිද? නුඹ දන්නෙහි නම් කියන්න. ඒකේ මිමි නියමකළේ කවුද? නුඹ දන්නෙහිද? නොහොත් ඊපිට ලනුව ඇද්දේ කවුද? ඒකේ අත්තිවාරම් දැමුවේ මොකක් පිටද? . . . ඒකේ කොනේ ගල තැබුවේ කවුද?”—යෝබ් 38:4-7.

11. යෝබ් 38:4-7හි සඳහන් දේවල් සලකා බලන විට, අපගේ සිතට කාවැදිය යුත්තේ කුමක්ද?

11 පොළොව මවන විට යෝබ් හිටියේ කොහේද? ඇත්තෙන්ම අපි හිටියේ කොහෙද? අපේ පෘථිවියේ සැලැස්ම නිර්මාණය කිරීමේදී, අඩි කෝදුවක් ගෙන එහි දිග පළල නියම කරමින් ගෘහ නිර්මාණ ශිල්පයෙක් වගේ අපෙන් කිසිම කෙනෙක් වැඩ කළාද? උත්තරය පැහැදිලියි. ඒ කාලයේ මිනිස් පුලුටක්වත් සොයාගන්න ලැබුණේ නැහැ. අපි ජීවත් වෙන පොළොව විශාල ගොඩනැඟිල්ලකට සමාන කරමින් “ඒකේ කොනේ ගල තැබුවේ කවුද” කියා දෙවි ඇසුවා. අපිට ජීවත් වෙන්න පුළුවන් වෙන විදිහට පොළොව පිහිටා තිබෙන්නේ සූර්යයාගේ සිට හරියටම නියම දුරින් කියා අපි දන්නවා. ඒ වගේම එහි ප්‍රමාණයද ඉතාමත් නිවැරදියි. අපේ පෘථිවි ග්‍රහයා මීට වඩා විශාල වුණා නම් හයිඩ්‍රජන් වායුව, අපේ වායුගෝලය තුළම රැඳේවි. එහෙම වුණා නම් කිසිම ජීවියෙකුට පොළොවේ ජීවත් වෙන්න බැහැ. ඒත් එහෙම දෙයක් වෙලා නැහැ. යම් කෙනෙක් විසින් “ඒකේ කොනේ ගල” නියමිත තැන තබා තිබෙන බව පැහැදිලියි. මේ සඳහා ගෞරවය හිමි විය යුත්තේ යෝබ්ටද? නැත්නම් අපිටද? එහෙම නැත්නම් යෙහෝවා දෙවිටද?—හිතෝපදේශ 3:19; යෙරෙමියා 10:12.

උත්තර දෙන්න පුළුවන් කාටද?

12. යෝබ් 38:6හි සඳහන් ප්‍රශ්නය මගින් අපට සිතීමට සලස්වන්නේ කුමක් ගැනද?

12 දෙවි යෝබ්ගෙන් මෙසේද ඇසුවා. “ඒකේ අත්තිවාරම් දැමුවේ මොකක් පිටද?” මෙය කල්පනා කර බැලීමට හොඳ ප්‍රශ්නයක් නොවේද? යෝබ් නොදැන සිටි ගුරුත්වය කියන වචනය අපිට හුරු පුරුදු වචනයක් විය හැකියි. අපි ජීවත් වෙන පොළොව නිසි ස්ථානයේ තබාගැනීමට උපකාරවත් වන්නේ දැවැන්ත සූර්යයාගේ ගුරුත්වාකර්ෂණයයි. පොළොවේ අත්තිවාරම නොසෙල්වී පවතින්නේ මෙනිසයි. ඒ වුණත්, ගුරුත්වය සම්පූර්ණයෙන්ම තේරුම්ගත් කෙනෙක් සිටිනවාද?

13, 14. (අ) ගුරුත්වය පිළිබඳව අප පිළිගත යුතු සත්‍යය කුමක්ද? (ආ) යෝබ් 38:6, 7හි සඳහන් දෙයට අප ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද?

13 ‘ගුරුත්වය ගැන බොහෝදෙනෙක් අසා තිබුණත්, මිනිසා ස්වාභාවික බලයන් අතරින් අඩුම අවබෝධයක් ලබා තිබෙන්නේ ගුරුත්වය ගැනයි’ කියා මෑතකදී ප්‍රකාශයට පත් කළ පොතක (The Universe Explained) සඳහන් වෙනවා. එම පොතේ තවදුරටත් මෙසේ සඳහන් වෙනවා. “පැහැදිලිව දැකිය හැකි මාධ්‍යයක උපකාරය නොමැතිව ගුරුත්වාකර්ෂණය හිස් අවකාශය හරහා ක්ෂණිකව ගමන් කරයි. කෙසේවෙතත්, ගුරුත්වය ගුරුත්ව අංශු කියා හඳුන්වන අංශුවලින් සෑදී ඇති තරංග ඔස්සේ ගමන් කිරීමට ඉඩ තිබෙන බව භෞතික විද්‍යාඥයන් මෑතක සිට අනුමාන කරන්න පටන්ගෙන තිබෙනවා. . . . ඒ වුණත්, මෙවැනි තරංග තිබෙනවාද නැද්ද කියා කිසිවෙකු ස්ථිරවම දන්නේ නැහැ.” ඇත්තෙන්ම ඒ ප්‍රකාශයෙන් අදහස් කරන දෙය ගැන නිකම් සිතා බලන්න!

14 යෙහෝවා යෝබ්ගෙන් එම ප්‍රශ්න ඇසූ දා සිට ගත වී තිබෙන අවුරුදු 3,000ක කාලය තුළ විද්‍යාව සෑහෙන දියුණුවක් ලබා තිබෙනවා. ඒ වුණත්, ගුරුත්වාකර්ෂණය ගැන සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරන්න අපිටවත් අතිදක්ෂ භෞතික විද්‍යාඥයන්ටවත් හැකි වී නැහැ. පෘථිවි ග්‍රහයා ඊට නියමිත කක්ෂයේ දිගටම ගමන් කරන්නේ ගුරුත්වය නිසයි. අපේ ජීවිතය රඳා පවතින්නෙත් මෙය මතයි. (යෝබ් 26:7; යෙසායා 45:18) මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ තේරුම්ගැනීමට දුෂ්කර දෙයක් වන ගුරුත්වය ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීමට සියලුදෙනාවම උනන්දු කිරීම සඳහා නොවෙයි. දෙවිගේ පුදුම ක්‍රියාවලින් එකක් වන මේ ගැන කල්පනා කර බැලීමෙන්, ඔහු ගැන ඔබ හිතන ආකාරය කෙරෙහි යම් බලපෑමක් ඇති විය යුතුයි. දෙවිගේ ප්‍රඥාව හා දැනුම ගැන ඔබ තුළ ගරුබියක් එමගින් ඇති වෙනවාද? අපි ඔහුගේ කැමැත්ත ගැන තව තවත් ඉගෙනගැනීමේ තිබෙන අවශ්‍යතාව ඔබට වැටහෙනවාද?

15-17. (අ) යෝබ් 38:8-11හි අවධානය යොමු කරවන්නේ කුමන දේවල් කෙරෙහිද? ඒවා සම්බන්ධයෙන් මතු වන්නේ කිනම් ප්‍රශ්නද? (ආ) සාගර සහ ඒවායේ ව්‍යාප්තිය ගැන අප පිළිගත යුත්තේ කුමක්ද?

15 මැවුම්කරු ප්‍රශ්න ඇසීම තවම නතර කර නැහැ. ඔහු දැන් මෙසේ අසයි. “මුහුද බිහිවී ගැබින් නික්ම ආ විට, ඒක දොරවලින් වසා තැබුවෙත් කවුද? මා විසින් වලාකුල් ඒකේ වස්ත්‍රයද ඝනාන්ධකාරය ඊට වෙළන පටියද කොට තබා, ඊට මාගේ මායිම නියමකර, අගුල් සහ දොරවල්ද තබා: මෙතැන් දක්වා එන්නෙහිය, මින් එහා නොයන්නෙහිය; නුඹේ උඩඟු රැළ පතර මෙහි නවතින්නේයයි කීවෙමි.”— යෝබ් 38:8-11.

16 මෙහි සඳහන් මුහුද වසා තබන දොරවල්වලට මහාද්වීප, සාගර හා වඩදිය බාදිය අයත් වෙනවා. මිනිසා මේ දේවල් ගැන කොතෙක් දුරට අධ්‍යයනය කර තිබෙනවාද? අවුරුදු දහස් ගණනක සිට මිනිසුන් ඒ දේවල් ගැන අධ්‍යයනය කර තිබෙන අතර, පසුගිය සියවස තුළ එය පුළුල් ලෙස කර තිබෙනවා. ඒ කාලයේදී මේ දේවල් ගැන නොදැන සිටි බොහොමයක් තොරතුරු දැන් සොයාගෙන තිබෙනවා කියා ඔබට සිතෙන්න පුළුවන්. ඒ වුණත්, ඔබ මේ 2001 වසර තුළදී මේ විෂය ගැන ලෝකයේ විශාල පුස්තකාලවල තිබෙන පොත් පත් පරීක්ෂා කර බැලුවත්, අලුතින්ම සොයාගෙන තිබෙන දේවල් දැනගැනීමට අන්තර් ජාලය භාවිත කළත් සොයාගන්න පුළුවන් මොනවාද?

17 බොහෝදෙනෙකුගේ පිළිගැනීමට ලක් වී තිබෙන ආශ්‍රේය ග්‍රන්ථයක මෙසේ සඳහන් වෙනවා. “පෘථිවි ග්‍රහයා මත පිහිටි මහාද්වීප, සාගරවල ව්‍යාප්තිය හා ගොඩබිමේ පිහිටි ඇතැම් භූ ලක්ෂණවල ව්‍යාප්තිය බොහෝ කලක සිට ගවේෂණවලට සහ උපකල්පනයන්වලට පාදක වී තිබෙන ඉතා සංකීර්ණ ක්ෂේත්‍රයක් වී තිබෙනවා.” සත්‍යය විය හැකි පැහැදිලි කිරීම් හතරක් එම විශ්වකෝෂයේ ඉදිරිපත් කර තිබෙන අතර, එම පැහැදිලි කිරීම් “බොහෝ උපකල්පන අතරින් සමහරක්” කියා එහි සඳහන් වෙනවා. උපකල්පනයක් කියා කියද්දී එයින් අදහස් වන්නේ “වෙනස්කම්වලට ලක් විය හැකි පැහැදිලි කිරීමකදී සපයන ප්‍රමාණවත් නොවන සාක්ෂිවලින් යුත් ප්‍රකාශයක්” බව ඔබ දන්නවා ඇති.

18. යෝබ් 38:8-11හි සඳහන් දේවල් සැලකිල්ලට ගැනීමේදී පැමිණිය හැකි නිගමනය කුමක්ද?

18 යෝබ් 38:8-11 දක්වා අසා තිබෙන ප්‍රශ්න මොනතරම් යෝග්‍යද කියා ඉහත සඳහන් කළ දේවලින් පැහැදිලි වන්නේ නැද්ද? අපේ පෘථිවි ග්‍රහයා තුළ තිබෙන මේ දේවල් සැලසුම් කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ අපගෙන් කිසිම කෙනෙකුට නොවන බව ස්ථිරයි. සඳෙහි ආකර්ෂණ ශක්තිය මගින් පරිසරයටත් අපටත් හානියක් නොවන විදිහට වඩදිය බාදිය ඇති වන පරිදි සඳ නියමිත ස්ථානයේ තැබුවේ අපි නොවෙයි. එය කළේ කවුද කියා ඔබ දන්නවා. ඒ දේවල් කරන්නේ පුදුම ක්‍රියා කරන තැනැත්තා මිස වෙන කවුද?—ගීතාවලිය 33:7; 89:9; හිතෝපදේශ 8:29; ක්‍රියා 4:24; එළිදරව් 14:7.

යෙහෝවාට හිමි ගෞරවය දෙන්න

19. යෝබ් 38:12-14 දක්වා කාව්‍යමය භාෂාවෙන් සඳහන් වී ඇති දෙය අපගේ අවධානය යොමු කරවන්නේ කුමක්ද වෙතටද?

19 යෝබ් 38:12-14 දක්වා සඳහන් දේවලින් වක්‍රව යොමු දක්වන්නේ පෘථිවිය භ්‍රමණය වන ආකාරය ගැනයි. මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගෞරවය කිසිම මිනිසෙකුට හිමි නොවේ. සෑම දවසකම මනබඳින අලංකාරවත් දර්ශනයක් මවමින් හිරු උදා වන්නේ පෘථිවියේ භ්‍රමණය නිසයි. හිරු උදා වෙද්දී අපේ පෘථිවි ග්‍රහයාගේ ලක්ෂණ වඩාත් පැහැදිලිව දැකගන්න පුළුවන්. මෙය හරියට මැටි පිඩක් අච්චුවකට දමන විට එහි විවිධ හැඩතල ඇති වනවා හා සමානයි. පෘථිවිය ගමන් කරන ආකාරය ගැන අපි නිකමට කල්පනා කර බැලුවොත්, ඒක නියමිත වේගයට වඩා වැඩි වේගයකින් ගමන් නොකිරීම ගැන අපි පුදුම වේවි. එවන් දෙයක් සිදු වූවා නම්, මොනවගේ විනාශයක් සිදු වේවිද? ඒ වගේම ඒක නියමිත වේගයට වඩා අඩු වේගයකින් ගමන් කරන්නෙත් නැහැ. අඩු වේගයකින් ගමන් කළා නම්, දිවා හා රාත්‍රි කාලය වැඩි වෙනවා පමණක් නොව, ජීවත් වෙන්න බැරි තරමට පොළොවේ අධික උෂ්ණ හා ශීතල තත්වයක්ද ඇති වෙනවා. පෘථිවිය ගමන් කළ යුතු නියමිත වේගය මිනිසුන් විසින් නියම නොකර දෙවි විසින්ම නියම කර තිබීම ගැන අපට අවංකවම සතුටු විය හැකියි.—ගීතාවලිය 148:1-5.

20. යෝබ් 38:16, 18හි අසා තිබෙන ප්‍රශ්නවලට ඔබ ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?

20 දෙවි මේ ප්‍රශ්න ඇසුවේ ඔබගෙන් කියා සිතන්න. “නුඹ මුහුදේ උල්පත් ළඟට පැමිණියෙහිද? නොහොත් ගැඹුරේ රහස් තැන්වල ඇවිද්දෙහිද?” මුහුදු ගවේෂකයෙකුට පවා මේ ප්‍රශ්නයට සම්පූර්ණ උත්තරයක් දෙන්න බැහැ! “නුඹ පොළොවේ පළල කල්පනාකර බැලුවෙහිද? ඒ සියල්ල දන්නෙහිනම් කියන්න.” (යෝබ් 38:16, 18) ඔබ පොළොවේ සෑම තැනකටම ගොස් ඒවා ගවේෂණය කර තිබෙනවාද? පොළොවේ තිබෙන දර්ශනීය තැන් හා පුදුම දේවල් ගැන කල්පනා කර බලන්න අපිට කොතරම් කාලයක් ගත වෙයිද? එය මොනතරම් අපූර්ව අද්දැකීමක් වේවිද!

21. (අ) යෝබ් 38:20හි සඳහන් ප්‍රශ්න මගින් අවධානයට යොමු කරන විද්‍යාත්මක මත මොනවාද? (ආ) ආලෝකය පිළිබඳ සත්‍යය අපව පෙලඹවිය යුත්තේ කුමක් කිරීමටද?

21 යෝබ් 38:20හි සඳහන් තේරුම්ගන්න අමාරු මේ ප්‍රශ්නද සැලකිල්ලට ගන්න. “[එළිය] වාසයකරන තැනට යන මාර්ගය කොහේද? අන්ධකාරයේ ස්ථානයත් කොතැනද?” වැවක දැකිය හැකි රැල්ලක් නොහොත් තරංගයක් මෙන් ආලෝකය ගමන් කරන බවට වූ මතය බොහෝ කාලයක සිට පැවතුණු බව ඔබ දන්නවා විය හැකියි. එනමුත්, ආලෝකය ක්‍රියා කරන්නේ ශක්තිය අඩංගු පොකුරු ලෙස හෝ අංශු ලෙස කියා 1905දී ඇල්බට් අයින්ස්ටයින් මතයක් ඉදිරිපත් කළා. එම මතය සත්‍යයක්ද? ඒ ගැන එක විශ්වකෝෂයක මෙසේ අසා තිබුණා. “ආලෝකය කියන්නේ තරංගයක්ද නැත්නම් අංශුවක්ද?” මේ ප්‍රශ්නයට එහි මෙසේ උත්තර දී තිබෙනවා. “පෙනෙන විදිහට [ආලෝකය] මේ දෙකින් එකක්වත් නොවෙයි. එයට හේතුව මේ දෙවර්ගයම [තරංග හා අංශු] බෙහෙවින් එකිනෙකට වෙනස් වීමයි. ඒ ප්‍රශ්නයට දිය හැකි හොඳම උත්තරය වන්නේ ආලෝකය ඒ දෙකින් එකකටවත් අයත් වන්නේ නැහැ කියන එකයි.” මෙයින් පැහැදිලි වන්නේ දෙවිගේ පුදුම ක්‍රියා සම්පූර්ණයෙන්ම පැහැදිලි කරන්න මිනිසුන්ට නොහැකි බවයි. තත්වය මොකක් වුණත්, හිරුගෙන් නික්මෙන ආලෝකය නිසා අපිට දිගටම (ඍජුව හෝ වක්‍රව) උණුසුම ලැබෙනවා. අපිට ආහාර හා ඔක්සිජන් ලබාගන්න හැකි වී තිබෙන්නේ ගස්වැල් ආලෝකය උරාගන්න නිසයි. ආලෝකය නිසා අපිට කියවන්න පුළුවන්, අපි ආදරය කරන අයගේ මුහුණු දැකගන්න පුළුවන්. ඒ වගේම හිරු බැස යෑමක් වැනි රමණීය දර්ශනත් දකින්න පුළුවන්. ඇත්තෙන්ම අපි මේ දේවල් දකින විට, මේ සියල්ලක්ම දෙවිගේ පුදුම ක්‍රියා බව පිළිගත යුතු නැද්ද?—ගීතාවලිය 104:1, 2; 145:5; යෙසායා 45:7; යෙරෙමියා 31:35.

22. පුරාණයේ විසූ දාවිත්ට දෙවිගේ පුදුම ක්‍රියා ගැන ඇති වූ හැඟීම කුමක්ද?

22 යෙහෝවාගේ පුදුම ක්‍රියා රාශියක් ගැන අපි දැන් සලකා බැලුවා. මෙමගින් අපි කෙරෙහි ඇති කරන්නේ වචනයක්වත් පිට කළ නොහැකි වන තරමටම දෙවි කෙරෙහි මහත් බියක්ද? කොහෙත්ම නැහැ. දෙවිගේ සියලුම ක්‍රියා තේරුම්ගන්න හා ඒ ගැන විස්තර කරන්න නොහැකි බව පුරාණයේ විසූ ගීතිකාකාර දාවිත් පිළිගත්තා. ඒ ගැන ඔහු මෙසේ ලිව්වා. ‘මාගේ දෙවි වූ යෙහෝවා, ඔබ විසින් කළ පුදුම ක්‍රියා බොහෝය. ඒවා ප්‍රකාශ කරන්ටත් ඒ ගැන කතා කරන්ටත් කැමැත්තෙමි. නුමුත් ඒවා ගණන් කරන්ට පුළුවන්වාටත් වැඩිය.’ (ගීතාවලිය 40:5) ඇත්තෙන්ම ඔහු මෙහිදී අදහස් කළේ දෙවිගේ ශ්‍රේෂ්ඨ ක්‍රියා ගැන කතා නොකර නිහඬව සිටීම ගැන නොවේ. ගීතාවලිය 9:1හි සඳහන් වන ඔහුගේ අධිෂ්ඨානයෙන් පැහැදිලි වන්නේ එම ක්‍රියා ගැන කතා කරන්න ඔහු තුළ මහත් ආශාවක් තිබූ බවයි. එහි මෙසේ සඳහන් වෙනවා. “[යෙහෝවාට] මාගේ මුළු සිතින් ස්තුති කරන්නෙමි; ඔබගේ ආශ්චර්ය ක්‍රියා සියල්ල දක්වා දෙන්නෙමි.”

23. දෙවිගේ පුදුම ක්‍රියා ගැන කල්පනා කරන විට ඔබව පෙලඹෙන්නේ කුමක් කරන්නද? අන් අයට උපකාර කරන්න ඔබට හැක්කේ කෙසේද?

23 දාවිත් තුළ ඇති වූ පෙලඹවීම අප තුළත් ඇති විය යුතු නැද්ද? දෙවිගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවල තිබෙන පුදුම සහගතභාවය ගැන අප කල්පනා කරන විට, ඔහු අප වෙනුවෙන් කර තිබෙන දේවල් ගැනත් ඉදිරියේදී අප වෙනුවෙන් කරන්න යන දේවල් ගැනත් කතා කිරීමට අප පෙලඹෙන්නේ නැද්ද? උත්තරය පැහැදිලියි. අපි ‘ඔහුගේ මහිමය ජාතීන් අතරේද ඔහුගේ ආශ්චර්ය ක්‍රියා සියලු මනුෂ්‍යවර්ගයන් අතරේද ප්‍රකාශ කළ’ යුතුයි. (ගීතාවලිය 96:3-5) අපි දෙවි ගැන ඉගෙනගෙන තිබෙන දේවල් අනිත් අයට කියා දීමෙන් නිහතමානී ලෙස ඔහුගේ පුදුම ක්‍රියා සඳහා අගය ප්‍රකාශ කරන්න අපට හැකියි. අප දෙවි ගැන කතා කරන අය හැදී වැඩී තිබෙන්නේ මැවුම්කරුගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන පසුබිමක වුවත්, අපි ඔවුන් සමඟ කතා කරන දැනුම වඩවන ඒකාන්ත තොරතුරු නිසා දෙවි ගැන දැනගන්න ඔවුන් තුළ ආශාවක් ඇති විය හැකියි. ඒ විතරක් නොවෙයි, “සියලු දේ මැවූ” පුදුම ක්‍රියා කරන යෙහෝවා දෙවි ගැන ඉගෙනගෙන ඔහුට සේවය කරන්නත් ඔවුන් පෙලඹෙන්න පුළුවන්.—එළිදරව් 4:11.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

යෝබ් 37:14හි සඳහන් උපදේශය මගින් ඔබ තුළ පෙලඹීමක් ඇති කරන්නේ දෙවිගේ කිනම් පුදුම ක්‍රියා ගැන කල්පනා කර බැලීමටද?

යෝබ් 37 සහ 38 යන පරිච්ඡේදවල විශේෂ කොට දක්වන දේවල් අතරින් විද්‍යාවට සම්පූර්ණයෙන් පැහැදිලි කළ නොහැකි දේවල් කීපයක් නම් කරන්න.

• දෙවිගේ පුදුම ක්‍රියා ගැන ඔබට ඇති වන හැඟීම කුමක්ද? එය ඔබට පොලඹවන්නේ කුමක් කිරීමටද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[7වන පිටුවේ පින්තූරය]

සාගරවල හා මහාද්වීපවල සීමා නියම කරමින් මුහුද සෑදුවේ කවුද?

[7වන පිටුවේ පින්තූරය]

පොළොවේ දෙවි මවා තිබෙන දර්ශනීය ස්ථාන සියල්ලම නරඹා තිබෙන්නේ කවුද?