Skip to content

පටුනට යන්න

“මහජන සෞඛ්‍යය අනතුරේ හෙළන සැඟවුණු රකුසෙක්”

“මහජන සෞඛ්‍යය අනතුරේ හෙළන සැඟවුණු රකුසෙක්”

“මහජන සෞඛ්‍යය අනතුරේ හෙළන සැඟවුණු රකුසෙක්”

එක්සත් ජනපදයේ අන්තර්ජාලයේ සැරිසරන වැඩිහිටියන් අතරින් තුනෙන් පංගුවක්ම යම් ආකාරයක කාමුක වෙබ් අඩවියකට පිවිසී ඇති බව හෙළි වී තිබේ. මෙම පුදුමයට පත් කරවන තොරතුරු හෙළි වූයේ අන්තර්ජාලය ඔස්සේ පවත්වන කාමුක සබඳතා පිළිබඳව මෑතකදී කළ සමීක්ෂණයකින්ය. අද සමාජයේ කාමුක හැඟීම්වලට වහල් වී සිටින විශාල පිරිසක් තම ආශාවන් සංසිඳුවාගන්නේ අන්තර්ජාලය මාර්ගයෙනි. “මෙය මහජන සෞඛ්‍යය අනතුරේ හෙළන සැඟවුණු රකුසෙක් වගේ. ඒකෙන් ඇති වෙන අහිතකර බලපෑම් දැන් එන්න එන්නම වැඩි වෙනවා. මොකද අවදානමක් තියෙනවා කියලා තේරෙන්නේ සුළු පිරිසකටයි” කියා සමීක්ෂණය පැවැත්වූ මනෝචිකිත්සක ඇල් කූපර් පැවසුවේය.

කාමුක අඩවි නමැති රකුසාට වැඩියෙන්ම ගොදුරු වන්නේ කවුද? “ජීවිත කාලය පුරාම තම ලිංගික ආශාවන් මැඩපවත්වාගෙන ඇති, නැත්නම් සීමා කර ඇති අයයි” කියා වෛද්‍ය කූපර් පිළිතුරු දෙයි. මේ අය “අහම්බෙන් වාගේ [අන්තර්ජාලය තුළින්] තම ආශාවන් සංසිඳවාගැනීමට පහසු මඟක් සොයාගන්නවා” කියා ඔහු තවදුරටත් පැහැදිලි කරන්නේය.

අන්තර්ජාලයට පිවිසී, ඒ ඔස්සේ කාමුක සබඳතා පවත්වන බහුතරයක් සිතන්නේ එහි කිසිදු හානියක් නැතැයි කියාය. ඔවුන් දරන මතය නිවැරදිද? හොඳයි, මත්ද්‍රව්‍ය ගන්නා කෙනෙකු ගැන සිතා බලන්න. ඔහු මත්ද්‍රව්‍යවලට ක්‍රමක්‍රමයෙන් පුරුදු වී ඒවාට ඇබ්බැහි වේ. ඒ හා සමානව, කාමුක අඩවිවලට වහල් වී සිටින බොහෝදෙනෙකු ඒ පුරුද්දට වැටී තිබෙන්නේ ක්‍රමක්‍රමයෙන් වන අතර, පසුව තම ආශාවන් වැඩි වැඩියෙන් සංසිඳවාගැනීමට ඔවුන් අලුත් වෙබ් අඩවි සොයා යයි. සමහර අවස්ථාවලදී එම ආශාවන් සංසිඳවාගැනීමට ඔවුන් තම රැකියා හා විවාහ සබඳතා පවා පරදුවේ තබයි!

කෙසේවෙතත්, දෙවිව සතුටු කිරීමට කැමැත්තක් දක්වන අයට කාමුක වෙබ් අඩවිවලට පිවිසීමෙන් වැළකී සිටීමට තවත් හොඳ හේතුවක් ඇත. එනම් දේවවචනයෙහි සඳහන් මෙම අවවාදයයි. “පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූපවැඳීමවූ තණ්හාවත් නසන්න. මේ දේවල් නිසා [දෙවිගේ] උදහස අකීකරුකමේ පුත්‍රයන් පිටට පැමිණෙන්නේය.” (කොලොස්සි 3:5, 6) අපිරිසිදු කාමරාගය “නසන්න” නම් යමෙකු යෙහෝවා දෙවි කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් වර්ධනය කරගත යුතුය. (ගීතාවලිය 97:10) මහජන සෞඛ්‍යය අනතුරේ හෙළන කාමුක වෙබ් අඩවි වෙතට තමා ආකර්ෂණය වෙනවායයි යමෙකුට දැනෙනවා නම්, ඔහු දේවවචනය වන බයිබලය අධ්‍යයනය කර යෙහෝවා කෙරෙහි ඇති තම ප්‍රේමය තව තවත් ශක්තිමත් කිරීමට වෑයම් කළ යුතුයි. ඔබේ ප්‍රදේශයේ ඇති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවට ගොස් ඔවුන් සමඟ ආශ්‍රය කිරීමද, දෙවිව සතුටු කිරීමට කෙනෙකු තුළ තිබෙන අධිෂ්ඨානය තවත් ශක්තිමත් කිරීමට මහත් සේ දායක වේ.