Skip to content

පටුනට යන්න

හානිකර හැඟීම්වලින් යටපත් නොවීමට මඟ

හානිකර හැඟීම්වලින් යටපත් නොවීමට මඟ

හානිකර හැඟීම්වලින් යටපත් නොවීමට මඟ

● “සැබවින් මාගේ සිත පවිත්‍ර කරගැනීමත් නිදොස්කමින් මාගේ අත් සේදීමත් නිෂ්ඵලවිය; මක්නිසාද දවස මුළුල්ලේම පීඩාකරනු ලැබීමි, උදයක් පාසා තරවටුද ලැබීමි” කියා ආසාප් කලකිරීමකින් පැවසුවා.—ගීතාවලිය 73:13, 14.

● ‘අහෝ මට දැන් දුක් වේ! යෙහෝවා මාගේ වේදනාවට ශෝකය එකතු කළේය. මාගේ සුසුම්ලෑමෙන් වෙහෙසව සිටිමි. සහනයක් මට ලැබී නැත’ කියමින් බාරුක් දුක් වුණා.—යෙරෙමියා 45:3.

● ‘මට නායොමියයි නොකියා මාරායයි කියන්න. මක්නිසාද සර්වපරාක්‍රම තැනැත්තා මා අතිතික්තකමට පැමිණෙව්වේය. මම සම්පූර්ණව පිටත්ව ගියෙමි, යෙහෝවා මා හිස් අතින් නැවත ගෙනාවේය. යෙහෝවා මට විරුද්ධව සාක්ෂි දී සර්වපරාක්‍රම තැනැත්තා මට පීඩා පමුණුවා තිබෙද්දී, නුඹලා මට නායොමිය කියන්නේ මක්නිසාදැයි’ කියමින් නායොමි ශෝක වුණා.—රූත් 1:20, 21.

යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයන් අධෛර්යයට මෙන්ම අන්ත කලකිරීමට පත් වූ අවස්ථා ගණනාවක් බයිබලයෙහි වාර්තා වී තිබෙනවා. කලින් කලට, අසම්පූර්ණ මනුෂ්‍යයන් වන අපි තුළත් එවැනි හැඟීම් හටගන්නවා. අනික් අතට, යමෙක් ජීවිතයේ දුක්ඛදායක අද්දැකීම්වලට මුහුණ දී ඇත්නම් ඔහු තුළ නිතරම පාහේ අධෛර්යයට පත්වීමේ හැඟීම් පහළ වෙන්න පුළුවන්. ඇතැම්විට එවැනි කෙනෙක් නිතරම තමා ගැනම අනුකම්පාවක් ඇති කරගන්නත් පෙලඹෙයි.

ඇත්තෙන්ම මෙවැනි හැඟීම් පාලනය නොකරනවා නම් එය අන්‍යයන් සමඟ හා යෙහෝවා දෙවි සමඟ තිබෙන අපේ සබඳතාවට හානියක් විය හැකියි. තමා ගැනම සිතමින් නිතරම ළත වූ ක්‍රිස්තියානි කාන්තාවක් මෙසේ පිළිගන්නවා. “මං සභාවේ අය එක්ක ආශ්‍රය කරන්න තරම් සුදුසු තත්වයක හිටියේ නැහැයි කියලා මට හිතුණ හින්දා, මං නිතරම වාගේ සුහද හමුවීම්වලට කළ ආරාධනා ප්‍රතික්ෂේප කෙරුවා.” එවැනි හැඟීම් ජීවිතයට කොතරම් හානිකර විය හැකිද කියා ඔබ දැක්කාද? එවැනි හැඟීම්වලින් ජයගන්නේ කෙසේද කියා අපි දැන් සලකා බලමු.

යෙහෝවාට ළං වන්න

ආසාප් තමා තුළ තිබූ වියවුල්සහගත හැඟීම් නොවළහා ප්‍රකාශ කළා. ඔහුට හැඟුණු ආකාරය ගැන ගීතාවලිය 73වන පරිච්ඡේදයේ කියවීමට තිබෙනවා. දුෂ්ටයන්ගේ සමෘද්ධිමත් ජීවිත තම ජීවිතයත් සමඟ සසඳා බලද්දී ඔහුට ඔවුන් කෙරෙහි යම් ඊර්ෂ්‍යාවක් දැනුණා. දෙවිව නොසලකා හැර උඩඟු, සාහසික ජීවිත ගත කරමින් සිටි අයට කිසිදු හානියක් සිදු නොවන බව ආසාප්ට හැඟුණ නිසා, ඔහු නිගමනය කළේ නිර්දෝෂ ජීවිතයක් ගත කිරීම නිෂ්ඵල දෙයක් බවයි.—ගීතාවලිය 73:3-9, 13, 14.

කිසිදු ලැජ්ජා භයකින් තොරව දුෂ්ටකම් කරන අය සැපවත් ජීවිත ගත කරන බව ඔබත් දැක තිබේද? ඒ ගැන ඔබ කලකිරී ඇද්ද? ආසාප් මෙවැනි හානිකර හැඟීම්වලින් ජයගත්තේ කෙසේද? ඔහු මෙසේ පවසයි. “මා විසින් [දෙවිගේ] ශුද්ධ ස්ථානයට ගොස් ඔවුන්ගේ අන්තිමය ගැන කල්පනා කරන තෙක්, එය මට අධික වේදනා සහිත විය; එය දැනගත හැකි කෙසේදැයි සිතමින් සිටියෙමි.” (ගීතාවලිය 73:16, 17) ආසාප් තම නිෂේධාත්මක හැඟීම් පලවාහැරීමට ඒකාන්ත පියවර ගත්තා. ඔහු යෙහෝවාට යාච්ඤා කරමින් තම සිතේ තිබෙන සෑම දෙයක්ම ප්‍රකාශ කළා. ප්‍රේරිත පාවුල් පසු කලෙක පැවසූ ආකාරයට “ජම්මික” නැත්නම් මාංසික ‘මනුෂ්‍යයාව’ යටපත් කරමින්, ඇතුළාන්තයේ පැවති ‘ආත්මික මනුෂ්‍යයාව’ යළි පුබුදුවාලීමට ආසාප් සමත් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු කාරණා දෙස නැවතත් ආත්මික දෘෂ්ටියකින් බැලූ අතර, යෙහෝවා දුෂ්ටකමට පිළිකුල් කරන බවත් යථා කාලයේදී දුෂ්ටයන් දඬුවම් ලබන බවත් ඔහු වටහාගත්තා.—1 කොරින්ති 2:14, 15.

ජීවිතය දෙස යථාර්ථවාදීව බැලීමට බයිබලය සපයන උපකාරයෙන් ප්‍රයෝජන ගැනීම කොතරම් වැදගත්ද! දුෂ්ටයන්ගේ ක්‍රියා තමන් දකින බව යෙහෝවා අපට මෙසේ මතක් කර දෙනවා. “නොරැවටෙන්න; [දෙවිට] සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය. . . . [එබැවින්] යහපත්කම්කිරීමට මැළිනොවෙමු.” (ගලාති 6:7-9) යෙහෝවා දුෂ්ටයන්ව “ලිස්සන තැන්වල” තබන අතර, ඔහු ‘ඔවුන්ව විනාශයට හෙළන්නේය.’ (ගීතාවලිය 73:18) අවසානයේදී දිව්‍ය යුක්තිය රජයයි.

ඔබ නිරතුරුවම යෙහෝවාගේ ආත්මික මේසයෙන් ආහාර අනුභව කරමින් ඔහුගේ සෙනඟ සමඟ ආශ්‍රය කිරීමට උත්සාහ කරනවා නම් ඔබේ ඇදහිල්ල ශක්තිමත් වන බව නිසැකයි. ඒ වගේම එතුළින් ලැබෙන මහත් දිරිගැන්වීම හේතුවෙන් ඔබ තුළ ඇති වන නිෂේධාත්මක හැඟීම් පලවාහැරීමටද හැකි වෙයි. (හෙබ්‍රෙව් 10:25) ඔබ ආසාප් මෙන් දෙවිට ළංවීමට උත්සාහ කරනවා නම් ඔහු ප්‍රේමනීය ලෙස ඔබව උසුලන ආකාරය ඔබත් අද්දකිනවා නියතයි. ‘මම නිතරම ඔබ සමඟය. ඔබ මාගේ දකුණත අල්ලාගත්තේය. ඔබගේ මන්ත්‍රණයෙන් ඔබ මට මඟ පෙන්වන්නේය, පසුව තේජසට මා පිළිගන්නේය’ කියා ආසාප් නිසැකකමින් ප්‍රකාශ කළා. (ගීතාවලිය 73:23, 24) ළමා වියේදී ලිංගික අතවරයකට ලක් වූ එක් ක්‍රිස්තියානි ස්ත්‍රියක් මෙම වචනවල සත්‍යතාව අද්දැක තිබෙනවා. “සභාව එක්ක කිට්ටුවෙන් ආශ්‍රය කරද්දී මම ජීවිතය දිහා වෙනත් කෝණයකින් බලන්න ඉගෙනගත්තා. ක්‍රිස්තියානි වැඩිමහල්ලන් ප්‍රේමනීය මනුෂ්‍යයන් බව මට තේරුණා. ඒගොල්ලන් ක්‍රියා කළේ පොලිස්කාරයන් වගේ නෙවෙයි, එඬේරුන් වගේ” කියා ඇය පැහැදිලි කර දෙයි. ඔව්, සානුකම්පිත ලෙස ක්‍රියා කරන වැඩිමහල්ලන් හානිකර හැඟීම් නැති කර දැමීම සඳහා අතිවැදගත් කාර්යයක් ඉටු කරයි.—යෙසායා 32:1, 2; 1 තෙසලෝනික 2:7, 8.

යෙහෝවාගේ උපදෙස් පිළිගන්න

අනාගතවක්තෘ යෙරෙමියාගේ ලේකම් වූ බාරුක් තමාගේ පැවරුම හේතුවෙන් අද්දකිමින් සිටි මානසික පීඩනය නිසා සුසුම්ලෑමට පෙලඹුණා. කෙසේවෙතත්, යෙහෝවා ඉතා කරුණාවන්ත ලෙස බාරුක්ට යථාර්ථය පැහැදිලි කර දෙමින් මෙසේ පැවසුවා. “නුඹටම මහත් දේවල් ලබාගන්ට නුඹ සොයන්නෙහිද? එසේ නොසොයන්න. මක්නිසාද මාංසමයවූ සියල්ලන් පිටට විපත්තිය පමුණුවමි. නුමුත් නුඹ යන්නාවූ සියලුම ස්ථානවලදී නුඹේ ප්‍රාණය කොල්ලයක් කොට නුඹට දෙමි.”—යෙරෙමියා 45:2-5.

ඔහුගේ කලකිරීමට හේතුව ආත්මාර්ථකාමී ඉලක්ක ලුහුබැඳීමයි කියා යෙහෝවා ඉතා ඍජු ලෙස බාරුක්ට පැහැදිලි කර දුන්නා. බාරුක් තමාටම මහත් දේවල් සොයන්න වෑයම් කළ නිසා දෙවි ඔහුට දී තිබුණ පැවරුම ප්‍රීතියෙන් ඉටු කිරීමට ඔහු අසමත් වුණා. අධෛර්යයට පත් නොවීමට නම් කළ හැකි හොඳම දේ අපේ අවධානය වෙනතකට යොමු කළ හැකි දේවලින් වැළකී, ලද දෙයින් සතුටු වීමයි. එසේ කිරීමෙන් අපගේ සිතට සහනයක් ලබාගත හැකියි.—පිලිප්පි 4:6, 7.

නායොමි මෝවබ් දේශයෙහි ජීවත් වූ වැන්දඹුවක්. කල් යත්ම, ඇගේ පුතුන් දෙදෙනාත් මිය ගිය අතර ඇය මෝවබ් දේශයේ තනි වුණා. නායොමි තමා අද්දකිමින් සිටි ශෝකය, සමාජයෙන් තමාව වෙන් කරගැනීමට හේතුවක් කරගත්තේ නැහැ. කෙසේවෙතත්, විටින් විට නායොමි තමා මෙන්ම තම ලේලිවරුන් දෙදෙනා අද්දකිමින් සිටි තත්වය ගැන කලකිරීමට පත් වූ බවට සාක්ෂි තිබෙනවා. ලේලිවරුන් දෙදෙනාව තමන්ගේ නිවෙස් කරා යැවීමට වෑයම් කරද්දී ඇය ඔවුන්ට මෙසේ පැවසුවා. “[යෙහෝවාගේ] අත මට විරුද්ධව තිබෙන නිසා නුඹලාගේ දුකට වඩා මාගේ දුක මහත්ව තිබේ.” ඇය බෙත්ලෙහෙමට පැමිණියාම, ‘මට නායොමියයි [‘මාගේ ප්‍රසන්නකම’] නොකියා මාරායයි [“තික්ත”] කියන්න. මක්නිසාද සර්වපරාක්‍රම තැනැත්තා මා අතිතික්තකමට පැමිණෙව්වේය’ කියමින් නැවත වතාවක් දුක් වුණා.—රූත් 1:13, 20.

කෙසේවෙතත්, නායොමි ඇගේ ස්වාමිපුරුෂයාගේ වියෝව ගැන දිගටම ශෝක වෙමින් යෙහෝවාගෙන් සහ ඔහුගේ සෙනඟගෙන් වෙන් වී හුදෙකලා ජීවිතයක් ගත කළේ නැහැ. “[යෙහෝවා] තමන් සෙනගට භෝජනය දීමෙන් ඔවුන්ට කරුණාව පෙන්වූ බව” මෝවබ්හි සිටින විට ඇයට අසන්න ලැබුණා. (රූත් 1:6) ඇයට කළ හැකි හොඳම දේ වන්නේ යෙහෝවාගේ සෙනඟ සිටින ස්ථානයට ගොස් ඔවුන් සමඟ වාසය කිරීමයි කියා ඇය තේරුම්ගත්තා. එමනිසා තම ලේලි වන රූත් සමඟ නායොමි යූදා දේශයට පිටත් වූ අතර, පසුව ඔවුන්ගේ ඥාතියෙක් මෙන්ම ඇගේ මුදවන්නා වූ බෝවස් සමඟ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ඇය රූත්ට ඉතා දක්ෂ ලෙස මඟ පෙන්වුවා.

නායොමි හා සමානව වියෝ දුකින් පෙළෙන යෙහෝවාගේ පක්ෂපාත සේවකයන් ඔවුන්ගේ සිතේ ඇති වන ශෝකයට සාර්ථක ලෙස මුහුණ දෙන්නේ ක්‍රිස්තියානි සභාව තුළ ක්‍රියාශීලීව සිටීමෙනුයි. නායොමි කළාක් මෙන්, ඔවුන් ආත්මික කාරණාවලට මුල් තැන දෙන අතර, දිනපතාම දේවවචනය කියවනවා.

දිව්‍ය ප්‍රඥාව ක්‍රියාවට නැංවීමේ ප්‍රයෝජන

මෙම බයිබල් වාර්තා කියවීම ඉතාමත් ප්‍රයෝජනවත්. නිෂේධාත්මක හැඟීම් පහළ වූ විට ඒවාට සාර්ථක ලෙස මුහුණ දෙන්නේ කෙසේද කියා ඒවා අපට මඟ පෙන්වීමක් සපයයි. ආසාප් යෙහෝවාගේ මණ්ඩපයට ගොස් ඔහුගේ උපකාර පැතූ අතර යෙහෝවා මත ඉවසිලිවන්තව රඳා සිටියා. බාරුක්, ලැබූ උපදෙස් පිළිගත් අතර තමාගේ අවධානය වෙනතකට යොමු කිරීමට ද්‍රව්‍යවාදයට ඉඩහැරියේ නැහැ. නායොමි යෙහෝවාගේ සේවකයන් සමඟ ක්‍රියාශීලීව කටයුතු කළ අතර, තරුණ රූත්ට සැබෑ දෙවිගේ සේවය තුළ ලැබීමට නියමිත වූ වරප්‍රසාද අත් කරගන්න උපකාර කළා.—1 කොරින්ති 4:7; ගලාති 5:25ආ; 6:4.

අධෛර්යයට පත් වූ විට හෝ වෙනත් හානිකර හැඟීම් ඇති වූ විට, යෙහෝවා තම සේවකයන්ව පෞද්ගලිකව හෝ සමූහයක් වශයෙන් ආරක්ෂා කර ඇති විවිධ අවස්ථා ගැන මෙනෙහි කරන්න. යෙහෝවා ඔබ වෙනුවෙන් සපයා ඇති මිදීමේ මිලය නමැති ප්‍රේමයේ උතුම්ම ප්‍රකාශය ගැන මෙනෙහි කරන්න. ක්‍රිස්තියානි සහෝදරයන් විදහාපෙන්වන අව්‍යාජ ප්‍රේමය අගය කරන්න. ඉදිරියෙහි තිබෙන දෙවිගේ අලුත් ලෝකය තුළ ඔබේ ජීවිතය කුමනාකාරයේ එකක් වෙයිද කියා කල්පනා කර බලන්න. එවිට නිෂේධාත්මක හැඟීම්වලින් ඔබට ජයගත හැකියි. ඔබත් ආසාප් මෙන් මෙසේ ප්‍රතිචාරය දක්වයි කියා බලාපොරොත්තු වන්නෙමු. “[දෙවිට] ළංවීම මට යහපත. ඔබගේ සියලු ක්‍රියා ප්‍රකාශකරන පිණිස, [යෙහෝවා දෙවි] මාගේ සරණ කරගතිමි.”—ගීතාවලිය 73:28.