Skip to content

පටුනට යන්න

ළමා වියේ කටුක අද්දැකීම් ජීවිතය ජයගැනීමට බාධාවක් නොවෙයි

ළමා වියේ කටුක අද්දැකීම් ජීවිතය ජයගැනීමට බාධාවක් නොවෙයි

ළමා වියේ කටුක අද්දැකීම් ජීවිතය ජයගැනීමට බාධාවක් නොවෙයි

නිකලස් නමැති පුද්ගලයාට කුඩා කල සිටම කැරලිගැසීමට නැඹුරුවාවක් තිබුණි. a කාලයක් ගිය පසු ඔහු අද්දකිමින් සිටි ව්‍යාකූල තත්වය නිසා මත්ද්‍රව්‍ය භාවිතයටත් බේබදුකමටත් ඔහු ඇබ්බැහි විය. නිකලස් තම අතීතය මෙසේ සිහිපත් කරයි. “මගේ තාත්තා බේබද්දෙක්. එයා මගේ නංගිටයි මටයි දුන්න දුක කියන්න වචන නැහැ.”

මලින්ඩාගේ දෙමාපියන් නම්බුකාර ලෙස ජීවත් වන ආගම දහමට ලැදි නිතර පල්ලි යන අයයි. ඒත්, ඔවුන් අමුතු ක්‍රියාකාරකම්වල යෙදුණු ලබ්ධියකට සම්බන්ධ වී සිටියේය. “ඔවුන්ගේ ලබ්ධියට අයිති සමහරක් ක්‍රියා මට හුඟක් නරක විදිහට බලපෑවා. ඒවා මගේ පුංචි මනසට වද දුන්නා.” දැන් තිස් ගණන්වල පසු වන මලින්ඩා තම ළමා වියේ ශෝචනීය අද්දැකීම් විස්තර කළේ එලෙසයි. තවදුරටත් ඇය පවසන්නේ මෙසේයි. “මට මතක ඇති කාලයක ඉඳලා මට තිබුණේ බලාපොරොත්තුවක් නැතිකමේ සහ නොවටිනාකමේ හැඟීම්.”

බොහෝදෙනෙකු තම ළමා වියේදී බලහත්කාරකම්වලට හා දෙමාපියන්ගේ නොසැලකිල්ලට ලක් වී තිබෙන අතර වෙනත් නොයෙකුත් දුක් ගැහැටවලටද මුහුණ දී තිබේ. එම අද්දැකීම් සුළුවට සිතිය හැකි දේවල් නොවේ. මන්ද ළමා වියේ ලබන කටුක අද්දැකීම් නොමැකෙන මතක සටහන් විය හැකියි. නමුත් දෙවිගේ වචනයේ ඇති සත්‍යය ඉගෙනීමට සහ ප්‍රීතිය භුක්ති විඳීමට එවන් අමිහිරි අද්දැකීම් බාධාවක් කරගනිමින්, කෙනෙකු ජීවිත කාලයටම අඳුරු ආගාධයකට වැටිය යුතුද? නිකලස් සහ මලින්ඩා ළමා වියේ කටුක අද්දැකීම් ලබා තිබුණත් දෙවිට පක්ෂපාත වීමෙන් ඔවුන්ට ජීවිතය ජයගත නොහැකිද? මෙයට පිළිතුරු දීමට මත්තෙන් යූදාහි රජ කෙනෙකු වූ යොෂියාගේ ආදර්ශය සලකා බලන්න.

බයිබල් ආදර්ශයක්

යොෂියා රජ අවුරුදු 31ක් යූදාහි රජකම් කළේ පොදු යුගයට පෙර හත්වන සියවස (පො.යු.පෙ. 659-629) තුළදීය. තම පියාව ඝාතනය කරනු ලැබූ නිසා ඔහුට රජකම භාරගැනීමට සිදු විය. එකල යූදාහි පැවතියේ ඉතාමත් දූෂිත තත්වයකි. යුදය සහ යෙරුසලම බාල් වන්දනාවේ තෝතැන්නක් වූ අතර ඇතමෙකු අම්මොන්වරුන්ගේ ප්‍රධාන දෙවියෙකු වූ මල්කාම්ගේ නාමයෙන් දිවුරුවේය. යුදයේ අධිපතියෝ “ගොරවන සිංහයෝ” මෙන්ද විනිශ්චයකාරයෝ “සැන්දෑ වෘකයෝ” මෙන්ද වූ බව එවකට සිටි දෙවිගේ අනාගතවක්තෘවරයෙකු වූ ශෙපනියා පැවසීය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් දේශය පුරාම ප්‍රචණ්ඩත්වය සහ වංචාව සුලභව දක්නට ලැබිණ. ඔවුන් සිතුවේ ‘යෙහෝවා යහපතවත් නපුරවත් කරන්නේ නැති’ බවයි.—ශෙපනියා 1:3-2:3; 3:1-5.

යොෂියා කුමනාකාරයේ පාලකයෙක් වීද? බයිබල් පිටපත්කරුවෙකු වූ එස්රා මෙසේ ලියා තිබේ. ‘[යොෂියා] යෙහෝවාගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කරමින්, දකුණටවත් වමටවත් නොහැරී, තමාගේ පිය වූ දාවිත්ගේ මාර්ගවල හැසුරුණේය.’ (2 ලේකම් 34:1, 2) පෙනෙනාකාරයට යෙහෝවාගේ ඇස් හමුවේ හරිව තිබුණ දේ කිරීමෙන් යොෂියා සාර්ථකත්වයක් ලැබුවේය. නමුත් ඔහු හැදුණ වැඩුණ පවුල් පසුබිම කෙබඳුද කියා ඔබ දන්නවාද?

ළමා විය සුන්දරද නැතහොත් කටුකද?

පොදු යුගයට පෙර 667දී යොෂියා උපත ලබන විට ඔහුගේ පියා වූ ආමොන්ගේ වයස අවුරුදු දහසයකි. එකල යුදයේ රජකම හොබවමින් සිටියේ ඔහුගේ සීයා වූ මනස්සේ රජය. මනස්සේ යුදයේ රජකම් කළ රජවරුන් අතරින් දුෂ්ටම රජයි. ඔහු බාල් දෙවිවරුන්ට පූජාසන ගොඩනඟමින් ‘යෙහෝවාගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළේය.’ ඔහු තමාගේ පුත්‍රයන් ගිනි මැදින් යැවීය. නිමිති බැලීම, ශාස්ත්‍ර කීම හා මායම් වැනි භූත ක්‍රියාවන්ට ඔහු උල්පන්දම් දුන් අතර නිරපරාදේ අහිංසකයන්ගේ ලේ වැගිරෙව්වේය. ඒ විතරක් නොවෙයි, ඔහු තමන් තැනූ අෂේරා රූපයද යෙහෝවාගේ ගෘහයට ගෙනාවේය. ඇත්තෙන්ම ඔහු යුදයේ සහ යෙරුසලමේ වැසියන්ව, ‘යෙහෝවා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් විනාශ කර දැමූ ජාතීන්ට වඩා නපුරුකම් කරන්න’ පෙලඹවීය.—2 ලේකම් 33:1-9NW.

මනස්සේගේ දුෂ්ට කල් ක්‍රියාව නිසා විලංගු දමා ඔහුව බබිලෝනියට රැගෙන යෑමට යෙහෝවා අෂූරිවරුන්ට ඉඩ දුන්නේය. කෙසේවෙතත්, සිරභාරයේ සිටින විට ඔහු පසුතැවිලි වී නිහතමානිව යෙහෝවාගෙන් සමාව අයැදීය. ඔහු උපකාරය ඉල්ලා කළ අයැදීම දෙවි පිළිගත් අතර නැවතත් ඔහුව යෙරුසලමේ රජකමට පත් කළේය. එවිට මනස්සේ හරි දේ කිරීමට පියවර ගත් නිසාවෙන් යම් තාක් දුරකට සාර්ථක ප්‍රතිඵල නෙළාගැනීමට ඔහුට හැකි විය.—2 ලේකම් 33:10-17.

මනස්සේගේ දුෂ්ටකමත් පසුව ඔහු පසුතැවිලි වීමත් ඔහුගේ පුත්‍ර ආමොන්ට බලපෑවේ කෙසේද? ඔහු ඉතාමත් දුෂ්ට කෙනෙකු විය. මනස්සේ පසුතැවී ඔහු විසින්ම නොමඟ යැවූ ජාතිය නැවත හැරවීමට උත්සාහ කළ විට ආමොන් ඊට කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වීය. ඔහු අවුරුදු විසිදෙකේදී රජ වූ අතර ‘තමාගේ පිය වූ මනස්සේ කළාක් මෙන් යෙහෝවාගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළේය.’ යෙහෝවා ඉදිරියෙහි නිහතමානි නොවී “ආමොන් වඩ වඩා අපරාධකෙළේය.” (2 ලේකම් 33:21-23) ආමොන් යුදයේ රජකමට පත් වන විට ඔහුගේ පුත් යොෂියාගේ වයස අවුරුදු හයකි. යොෂියාගේ ළමා කාලය කොතරම් කටුක වන්න ඇද්ද කියා අපට සිතාගත හැකිය.

ආමොන්ගේ සේවකයන් කුමන්ත්‍රණයක් දියත් කර ඔහුව ඝාතනය කළ නිසා ඔහුගේ පාලනය අවුරුදු දෙකකට සීමා විය. නමුත් දේශයේ වැසියන් ආමොන්ගේ කුමන්ත්‍රණකරුවන්ව මරා ඔහුගේ පුත්‍ර යොෂියාව රජකමට පත් කළේය.—2 ලේකම් 33:24, 25.

යොෂියාට තම ළමා වියේ මුල් අවුරුදුවල කටුක අද්දැකීම් ලැබීමට සිදු වුවත්, ඔහු යෙහෝවාගේ ඇස් හමුවේ හරිව තිබුණ දේ කිරීමට පෙලඹුණි. ඔහුගේ පාලන සමය ඉතාමත් සාර්ථක එකකි. ඒ පිළිබඳව බයිබලයේ මෙසේ කියවීමට තිබේ. “මෝසෙස්ගේ මුළු ව්‍යවස්ථාව ලෙස තමාගේ මුළු සිතින්ද තමාගේ මුළු ආත්මයෙන්ද තමාගේ මුළු ශක්තියෙන්ද [යෙහෝවා] වෙතට හැරුණාවූ ඔහු හා සමාන රජෙක් ඔහුට පළමුවෙන්වත් ඔහුට පසුවවත් නොසිටියේය.”—2 රාජාවලිය 23:19-25.

ළමා වියේදී කටුක අද්දැකීම් ලැබූ අයට යොෂියා මොනතරම් අගනා ආදර්ශයක්ද! ඔහුගේ දිරිගන්වනසුලු ආදර්ශයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? හරි මාර්ගය තෝරාගෙන එහි ගමන් කිරීමට යොෂියාට උපකාරවත් වුණේ කුමක්ද?

යෙහෝවාව සෙවීම

යොෂියාට තම කුඩා වියේදී යහපත් ගුරු හරුකම් ලැබුණේ වැරදි මාර්ගයක ගොස් පසුතැවිලි වී සිටි ඔහුගේ සීයා වූ මනස්සේගෙන්ය. නමුත් ඔවුන් දෙදෙනාගේ ඇසුර කොතරම් සමීපව තිබුණාද කියාවත් මනස්සේ ඔහුගේ වැරදි මාර්ගය නිවැරදි කරගන්නා විට යොෂියා සිටියේ කිනම් වයස් මට්ටමකද කියාවත් බයිබලයේ පවසන්නේ නැත. යුදෙව් පවුල් අතර මනා සබඳතාවයක් තිබුණ නිසා, මනස්සේ තම මුනුබුරාගේ හදවතේ සැබෑ දෙවි වන යෙහෝවා කෙරෙහිත් ඔහුගේ වචනය කෙරෙහිත් යම් ගරු බියක් ඇති කිරීම මගින් තම මුනුබුරාව ඔහු වටා පැවති දූෂිත තත්වයෙන් ගළවාගැනීමට ප්‍රයත්නයක් දැරුවා විය හැක. සත්‍යයයයි පිළිගත් කාරණා යොෂියාගේ හදවතේ පැලපදියම් කිරීමට ගත් උත්සාහය සහ වෙනත් යහපත් ගුරු හරුකම් නිසා අවසානයේදී යහපත් ප්‍රතිඵල ලැබිණි. යුදයේ රජකම් කළ අටවෙනි අවුරුද්දේදී, පහළොස්වන වියේ පසු වූ යොෂියා යෙහෝවාව සෙවීමටත් ඔහුගේ කැමැත්ත කිරීමටත් පටන්ගත්තේය.—2 ලේකම් 34:1-3.

සමහර උදවියට තම ළමා වියේදී ආත්මික දේවල් දැනගැනීමට අවස්ථාව ලැබී ඇත්තේ අහම්බෙනි. මෙසේ දුර නෑයෙකුගෙන් හෝ අසල්වැසියෙකුගෙන් අසන්න ලැබුණ දේ පසුව මල් ඵල ගැන්විය හැක. ලිපිය ආරම්භයේ සඳහන් කළ මලින්ඩාට කරුණාවන්තව සැලකු මහලු වියේ පසු වූ අසල්වැසියෙකු මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ඇගේ නිවසටම ගෙනත් දුන්නේය. ඔහු ගැන සිහිපත් කරමින් ඇය මෙසේ කියයි. “මගේ අසල්වැසියා නිවාඩු දින පැවැත්වූයේ නැහැයි කියන කාරණය මගේ සිත් ගත්තා. මේක මට ගොඩක් වැදගත් වුණා. මොකද මගේ දෙමාපියන් සාමාජිකයන් වෙලා හිටිය ලබ්ධියට නොයෙකුත් වතාවන් සහ නිවාඩු දින සැමරීම් ඇතුළත් වෙලා තිබුණා.” අවුරුදු දහයක් පමණ ගත වූ පසු මිතුරියක් මලින්ඩාට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවේ පැවැත්වෙන ක්‍රිස්තියානි රැස්වීමකට ආරාධනා කළ විට මෙම අසල්වැසියාව ඇගේ සිහියට නැඟුණ අතර ඇය ඉක්මනින්ම ආරාධනය පිළිගත්තාය. සත්‍යය සෙවීමට එය ඇයට උපකාරවත් විය.

දෙවි ඉදිරියේ නිහතමානි වන්න

යුදයේ සිදු කළ ආගමික ප්‍රතිසංස්කරණය යොෂියාගේ පාලන සමයේ කැපීපෙනෙන අංගයක් විය. යූදා දේශයේ පැවති රූප වන්දනාව තුරන් කිරීමට සහ දේශය පවිත්‍ර කිරීමට අවුරුදු හයක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ පසු ඔහු යෙහෝවාගේ ගෘහය අලුත්වැඩියා කිරීම ආරම්භ කළේය. එම වැඩ කටයුතු කෙරෙමින් තිබෙන විට උත්තම පූජකයා වූ හිල්කියා වටිනා යමක් සොයාගත්තේය! ඔහුට ‘යෙහෝවාගේ ව්‍යවස්ථා පොතෙහි’ මුල් පිටපත සම්බ විය. පූජක හිල්කියා ලේකම්වරයා වූ ෂාපාන්ට එය භාර දුන් විට ඔහු ඒ ව්‍යවස්ථා පොත පිළිබඳව රජුට වාර්තා කළේය. එවිට විසිපස් හැවිරිදි යොෂියා තම අත් කරගැනීම් ගැන උඩඟු වූවාද?—2 ලේකම් 34:3-18.

“රජ වනාහි ව්‍යවස්ථාවේ වචන ඇසූ විට තමාගේ ඇඳුම් ඉරාගත්තේය” කියා එස්රා පවසයි. මෙය ඔහුගේ හදවතට දැනුණ දුක පිළිබිඹු කිරීමක් විය. මන්ද ඔහුගේ මුතුන්මිත්තන් දෙවිගේ අණපනත්වලට සම්පූර්ණයෙන් එකඟව කටයුතු කර නොතිබුණු බව ඔහු තේරුම්ගත්තේය. එය ඇත්තෙන්ම නිහතමානිකමේ සංකේතයක්! අනාගතවක්තෘවරියක් වූ හුල්දා මාර්ගයෙන් යෙහෝවාගෙන් ඒ ගැන විමසීමට රජ ඉක්මනින්ම මනුෂ්‍යයන් පස්දෙනෙකුව පිටත් කළේය. පණිවිඩකරුවන් ගෙනා වාර්තාව මෙසේයි. ‘යෙහෝවාගේ අණ පනත්වලට අකීකරු වූ බැවින් උදහස නුඹලා පිටට වගුරුවා තිබේ. නමුත් යොෂියා රජ, නුඹ යටහත් වූ බැවින් සියලු විපත් නුඹේ ඇස්වලින් නොදැක, නුඹේ සොහොනට නුඹ සමාදානයෙන් යන්නේය.’ (2 ලේකම් 34:19-28) යොෂියාගේ ආකල්පය පිළිබඳව යෙහෝවා දෙවි ඉතාමත් සතුටු විය.

අපගේ පසුබිම කුමක් වුවත්, සැබෑ දෙවි වන යෙහෝවා ඉදිරියෙහි නිහතමානි වෙමින් ඔහු කෙරෙහි හා ඔහුගේ වචනය වන බයිබලය කෙරෙහි ගෞරවාන්විත ආකල්පයක් අපට පෙන්විය හැකියි. ලිපිය ආරම්භයේ සඳහන් කළ නිකලස් කළේ එයයි. ඔහු ඒ පිළිබඳව මෙසේ පවසයි. “මත්ද්‍රව්‍ය සහ මත් පැන්වලට ඇබ්බැහි වීම නිසා මම ප්‍රශ්න ගොඩකට මැදි වෙලා හිටියත් බයිබලය ගැනත් ජීවිතයේ අරමුණ ගැනත් දැනගන්න මට ආසාවක් තිබුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව දැනහඳුනා ගත්තට පස්සේ මගේ ජීවිතය වෙනස් කරගෙන සත්‍යය ඉගෙනගත්තා.” ඔව්, අප හැදී වැඩුණ පසුබිම කුමක් වුවත් දෙවි කෙරෙහිත් ඔහුගේ වචනය කෙරෙහිත් ගෞරවාන්විත ආකල්පයක් අපට ඇති කරගත හැකියි.

යෙහෝවාගේ විධිවිධානයෙන් ප්‍රයෝජන ලබන්න

යොෂියාට යෙහෝවාගේ අනාගතවක්තෘවරුන් කෙරෙහි තිබුණේ ගැඹුරු ගෞරවයකි. ඔහු අනාගතවක්තෘවරියක් වූ හුල්දාගෙන් පමණක් නොව ඔහුගේ කාලයේ සිටි වෙනත් අනාගතවක්තෘවරුන්ගෙන්ද ඉමහත් දිරිගැන්වීමක් ලැබීය. එවකට යුදයේ පැවති රූප වන්දනාව යෙරෙමියා සහ ශෙපනියා ඉතා දැඩි ලෙස හෙළා දකිමින් කළ සේවය මෙහිදී උදාහරණයක් ලෙස දැක්විය හැක. ඔවුන්ගේ පණිවිඩයට ඇහුම්කන් දීමෙන් ලද දිරිගැන්වීම, බොරු නමස්කාරය අතුගා දැමීමට යොෂියා දියත් කළ මෙහෙයුමට මහත් රුකුලක් වූ බව නිසැකයි.—යෙරෙමියා 1:1, 2; 3:6-10; ශෙපනියා 1:1-6.

“ස්වාමියා” වූ යේසුස් ක්‍රිස්තුස්, නියම කලට ආත්මික ආහාර සැපයීමට ආලේප ලත් අනුගාමිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් “විශ්වාසවූ නුවණ ඇති දාසයා” ලෙස පත් කොට තිබේ. (මතෙව් 24:45-47) බයිබලයේ ඇති උපදෙස් පිළිපැදීමෙන් ලැබෙන ප්‍රයෝජන සහ එය අපගේ එදිනෙදා ජීවිතයට අදාළ කරගන්නා ආකාරය පෙන්වීමට දාස පංතිය යොදාගන්නේ බයිබලය මත පදනම් පොත් පත් සහ සභා විධිවිධානයයි. ඇත්තෙන්ම කෙනෙකුගේ මනසට තදින්ම කා වැදී ඇති අහිතකර ආකල්ප උදුරා දැමීමට යෙහෝවාගේ විධිවිධානය අපට කොතරම් උපකාරවත් වෙනවාද! කුඩා කල සිටම නිකලස් අධිකාරයට යටත් වීම ප්‍රතික්ෂේප කළේය. ඔහු දෙවිගේ වචනය තුළ ඇති සත්‍යය ඉගෙනගත් පසු පවා යෙහෝවාට හොඳින් සේවය කිරීමට මෙම දුර්වලකම ඔහුට බාධාවක් විය. මෙවැනි ආකල්පයන් ඉවත් කරගැනීම ඔහුට පහසු දෙයක් නොවීය. නමුත් කාලයාගේ ඇවෑමෙන් මෙම නිෂේධාත්මක හැඟීම් යටපත් කර දැමීමට ඔහු සමත් විය. එය කළේ කෙසේද කියා නිකලස් පැහැදිලි කරන්නේ මෙලෙසයි. “වැඩිමහල්ලන් දෙන්නෙක් මගේ ගැටලුව තේරුම් අරගෙන මට ඉතා කරුණාවන්ත ලෙස බයිබලයෙන් උපදෙස් දුන්නා. ඒ උපදෙස් මම ජීවිතයට අදාළ කරගත්තා. මට තවමත් ඉඳලා හිටලා කේන්ති යනවා. ඒත් අර දරුණු කැරලිකාර ස්වභාවය පාලනය කරන්න මට පුළුවන් වෙලා තියෙනවා.”

මලින්ඩාත් තම ජීවිතයේ වැදගත් තීරණ ගන්නා විට වැඩිමහල්ලන්ගේ උපදෙස් පතයි. කුඩා කළ සිට තිබූ නොවටිනාකමේ හැඟීම් සමඟ පොර බදින විට මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල ලිපි ඇයට මහත් උපකාරයක් වී තිබේ. “සමහරක් ලිපිවල මගේ හිත් ගත් ඡේද හෝ වාක්‍යයන් තියෙනවා. ඒවා මටමයි ලියලා තියෙන්නේ කියලා මට හිතෙනවා. මම අවුරුදු නවයක් තිස්සේ ඒ වගේ මම ආස කරන ලිපි එකතු කරනවා. එකතු කරලා මට ඕනෑ වෙලාවක ගන්න පුළුවන් විදිහට පොතක් ඇතුළේ දාලා තියනවා.” දැනට ඇය ළඟ එවැනි පොත් තුනක් ඇති අතර එකතු කර ඇති ලිපි ප්‍රමාණය හාරසියයකි!

යහපත් පවුල් පසුබිමක් නොතිබුණත් එය තම ජීවිතය අඳුරු කරගැනීම සඳහා හේතුවක් කරගැනීමට කිසි කෙනෙකුට අවශ්‍ය නැති බව පැහැදිලිය. යෙහෝවාගේ උපකාරය ඇතිව ඔවුන්ට ආත්මිකව සාර්ථක විය හැකියි. වෙනත් විදිහකින් පවසනවා නම්, හොඳ පවුල් පසුබිමක ඇති දැඩි වීම පුද්ගලයෙකු අනිවාර්යයෙන්ම පක්ෂපාත කෙනෙකු වන බවට සහතිකයක් නොවන්නා සේම කටුක ළමා වියක් අද්දැකීම දේවභයැති කෙනෙකු වීමට බාධාවක්ද නොවෙයි.

දේවමාළිගාව අලුත්වැඩියා කරන අවස්ථාවේ ව්‍යවස්ථා පොත සම්බ වූ විට, යොෂියා ‘ගිවිසුමේ වචන ඉෂ්ට කරමින් යෙහෝවා අනුව යන බවටත් ඔහුගේ ආඥා, ශික්ෂා, පනත්, තමාගේ මුළු සිතින්ද තමාගේ මුළු ආත්මයෙන්ද පවත්වන බවටත් යෙහෝවා ඉදිරියෙහි ගිවිසුමක් කළේය.’ (2 ලේකම් 34:31) ඔහු ගත් අධිෂ්ඨානය මරණය දක්වා වෙනස් කළේ නැත. මලින්ඩා සහ නිකලස් ජීවිතයේ කටුක අද්දැකීම් ලැබුවත් ඔවුන් යෙහෝවා දෙවිට පක්ෂපාතව සිටීමට අධිෂ්ඨාන කරගෙන ඇති නිසා ජීවිතය ජයගැනීමට හැකි වී තිබේ. දෙවිට ළංවීමට සහ ඔහුට විශ්වාසවන්තව සේවය කිරීමට ඔබත් අදිටන් කරගන්න. යෙහෝවා දී තිබෙන පොරොන්දුව නිසා ඔබ සාර්ථකත්වයක් අද්දකින බව නිසැකයි. “භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ [දෙවිය]. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නමැති දකුණතින් නුඹ උසුලන්නෙමි.”—යෙසායා 41:10, 13.

[පාදසටහන]

a සමහර නම් වෙනස් කර ඇත.

[26වන පිටුවේ පින්තූර]

යොෂියා ළමා වියේදී කටුක අද්දැකීම් ලැබුවත් ඔහු යෙහෝවාව සෙවූ අතර ඔහුගේ ජීවිතය සාර්ථක කරගත්තේය

[28වන පිටුවේ පින්තූරය]

ඔබේ පෞරුෂත්වය බිඳ දමන මුල් බැසගත් අහිතකර පුරුදුවලින් ගොඩ ඒමට ඔබට උපකාර කරන්න වැඩිමහල්ලන්ට හැකියි

[28වන පිටුවේ පින්තූරය]

ඔබේ පක්ෂපාතකම පවත්වාගැනීම සඳහා උපකාර කිරීමට “මුරටැඹ” සහ “පිබිදෙව්!” සඟරාවන්ට හැකියි