Skip to content

පටුනට යන්න

අපේ ශක්තියත් ප්‍රීතියත් යෙහෝවාගේ මඟෙහි දිගටම රැඳීමයි

අපේ ශක්තියත් ප්‍රීතියත් යෙහෝවාගේ මඟෙහි දිගටම රැඳීමයි

ජීවිත කතාව

අපේ ශක්තියත් ප්‍රීතියත් යෙහෝවාගේ මඟෙහි දිගටම රැඳීමයි

පැවසුවේ ලුවීජි ඩී. වැලන්ටිනෝ

‘මාර්ගය මෙයයි, මෙහි ගමන් කරන්න’ කියා යෙහෝවා අපට උපදෙස් දෙනවා. (යෙසායා 30:21) මම බව්තීස්ම වෙලා අවුරුදු හැටක් වෙනවා. එදා ඉඳන් මේ උපදෙස අනුගමනය කිරීම තමයි මගේ එකම ඉලක්කය. මේ ඉලක්කය මුලින්ම තිබුණේ 1921දී ඉතාලියේ ඉඳන් අමෙරිකාවේ ඔහයෝ, ක්ලීව්ලන්ඩ් නුවර පදිංචියට ආව මගේ දෙමාපියන්ටයි. මගේ අයියා මයික්, නංගි ලිඩියා සහ මම ඇති දැඩි වුණේ ක්ලීව්ලන්ඩ්වල.

මගේ දෙමාපියන් එක එක ආගම්වලට ගියත් ඒ එකක්වත් එයාලගේ හිතට ඇල්ලුවේ නැහැ. වර්ෂ 1932දී දවසක් තාත්තා ඉතාලි භාෂාවෙන් ප්‍රචාරය කළ ගුවන් විදුලි වැඩසටහනකට ඇහුම්කන් දුන්නා. එය යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රචාරය කළ වැඩසටහනක්. තාත්තාට ඒ වැඩසටහන හොඳට හිතට ඇල්ලුවා. පස්සේ වැඩි තොරතුරු ලබාගන්න නියූ යෝක් නුවර යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයට තාත්තා ලිව්වා. ඊට පස්සේ එහි හිටිය ඉතාලි ජාතික සාක්ෂිකරුවෙක් අපිව හම්බ වෙන්න ආවා. පැය ගණනක් තිස්සේ සාකච්ඡා කළාට පස්සේ මේක තමයි සැබෑ ආගම කියලා මගේ දෙමාපියන්ට තේරුණා.

අම්මයි තාත්තායි ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වෙන්න පටන්ගත්තා. ඒ වගේම සංචාරක අවේක්ෂකයන්ට අපේ නිවසේ නවාතැන් දුන්නා. ඒ කාලයේ මම පොඩි කොල්ලෙක් වුණත් මේ සංචාරක අවේක්ෂකයන් මටත් දේශනා සේවයේ හවුල් වෙන්න ඉඩ දුන්නා. ඒ විතරක් නෙවෙයි, යෙහෝවාට පූර්ණ කාලීනව සේවය කිරීම ගැන හිතලා බලන්නත් ඔවුන් මාව පෙලඹෙව්වා. අපිව බැහැදකින්න ආව අයගෙන් එක්කෙනෙක් තමයි දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන කෙරී ඩබ්. බාබර්. වැඩි කල් නොගොස් 1941 පෙබරවාරි මාසයේ මම බව්තීස්ම වුණා. එතකොට මට වයස අවුරුදු දාහතරයි. වර්ෂ 1944දී මම ක්ලීව්ලන්ඩ්වල පුරෝගාමියෙක් හැටියට සේවය ආරම්භ කළා. මේ අතර මගේ අයියයි නංගියි දෙන්නත් සත්‍යය මාර්ගයේ ගමන් කරන්න පටන්ගත්තා. මගේ අයියා මයික් මරණය දක්වාම යෙහෝවාට සේවය කළ අතර ලිඩියා අවුරුදු 28ක් පුරා ඇගේ ස්වාමිපුරුෂයා වූ හැරල්ඩ් වයිඩ්නර් සමඟ සංචාරක සේවයේ යෙදුණා. දැන් ඔවුන් විශේෂ පූර්ණ කාලීන සේවකයන් ලෙස සේවය කරනවා.

සිර දඬුවමෙන් ලද දිරිය

කඩුවලින් හීවැල් තලාගන්න කියා යෙසායා 2:4හි පවසන දෙයට අනුව ක්‍රියා කළ නිසා 1945 මුල් භාගයේදී ඔහයෝවල කිලිකොත් නගරයේ ඇති ඒකාබද්ධ සිරගෙයකට යන්න මට සිදු වුණා. සිර කර තිබූ සාක්ෂිකරුවන්ට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ බයිබල් ප්‍රකාශන සීමිත ප්‍රමාණයක් විතරයි ලබාගන්න අවසර දීලා තිබුණේ. ඒත් ළඟපාත සභාවක සාක්ෂිකරුවන් ඔවුන්ගේ ආත්මික අවශ්‍යතා සපුරාගන්න ඔවුන්ට උපකාර කළා. එයාලා උපකාර කළේ සිර කුටිය ළඟ තිබුණු වෙල් යායේ සඟරා පොත් පත් කිහිපයක් දාලා යෑමෙන්. පහුවදා උදේ සිරකරුවන්ව වැඩ කරන තැනට අරගෙන යනකොට ඔවුන් ඒවා අහුලගෙන කොහොමහරි සිරගෙදරට සඟරා ටික ගෙනියනවා. මම සිරගෙදරට එනකොට ප්‍රකාශන ලබාගැනීමට එතරම්ම දරුණු තහංචි දමා තිබුණේ නැහැ. ඒ කාලයේදී තමයි යෙහෝවා දෙන ආත්මික ආහාරවල අගය මට දැනුණේ. අදටත් මුරටැඹ සඟරාවක් හරි පිබිදෙව්! සඟරාවක් හරි අතට ගත්තාම ඒ කාලේ මට ආපහු මතක් වෙනවා.

අපිට සිර කුටිය ඇතුළේ සභා රැස්වීම් පවත්වන්න අවසර දුන්නත් සාක්ෂිකරුවන් නොවන අයට සහභාගි වෙන්න ඉඩ දුන්නේ නැහැ. තහංචි දැම්මත් සමහර බන්ධනාගාර නිලධාරීන් සහ සිරකරුවන් හොරෙන් සහභාගි වුණ අතර කිහිප දෙනෙක් සත්‍යය පිළිගත්තා. (ක්‍රියා 16:30-34) මේ අතර සහෝදර ඒ. එච්. මැක්මිලන්ගේ බැහැදැකීම් දිරිගැන්වීමක් වුණා. අපි සිරගෙදර ලබන අද්දැකීම් අපතේ යන දෙයක් නොවෙයි, ඒක අපේ අනාගත පැවරුම් සඳහා හොඳ පුහුණුවක් කියලා ඔහු හැම තිස්සේම කිව්වා. ඒ වැඩිවියේ පසු වූ සහෝදරයා මගේ හිත සැනසුවා විතරක් නොවෙයි යෙහෝවාගේ මඟෙහි දිගටම යන්නත් දිරිගැන්නුවා.

මගේ දුක සැප බෙදාගන්න කෙනෙක් සොයාගත්තා

දෙවන ලෝක මහා යුද්ධය අවසන් වෙනකොට අපිට නිදහස ලැබුණා. ඊට පස්සේ මම පූර්ණ කාලීන සේවය පටන්ගත්තා. ඒත් මගේ තාත්තා 1947 මියගිය නිසා පවුලේ වියහියදම් පිරිමහන්න මට රස්සාවක් කරන්න සිදු වුණා. මේ නිසා මම වෛද්‍යමය අවශ්‍යතාවන්ට සරිලන පරිදි සම්බාහනය කරන විදිහ ඉගෙනගත්තා. මටයි මගේ භාර්යාවටයි අවුරුදු 30කට පස්සේ දුෂ්කර කාලයන්ට මුහුණ දෙන්න සිදු වුණ විට ඒ ලබාගත් පුහුණුව උපකාරවත් වුණා. ආ! මට වැරදුණා. මගේ කතාව පිළිවෙළකට කියන්නේ නැතුව මං තැනින් තැනට පනිනවා. මම ඉස්සෙල්ලාම කියන්නම් මගේ භාර්යාව ගැන.

වර්ෂ 1949 සැන්දෑ වරුවක මම රාජ්‍ය ශාලාවේ ඉන්දැද්දී දුරකථනය නාද වුණා. මම රිසීවරය අතට ගත්තාම ලස්සන කටහඬක් ඇති කෙනෙක් මෙහෙම කිව්වා. “මගේ නම ක්‍රිස්ටීන් ගෙන්චර්. මම යෙහෝවාගේ සාක්ෂිකාරියක්. මම රස්සාවක් හොයාගන්න ක්ලීව්ලන්ඩ්වලට ආවා. මට රැස්වීම්වලට එන්න ඕනේ.” අපේ රාජ්‍ය ශාලාව ඇය ඉන්න තැන ඉඳලා අපේ රාජ්‍ය ශාලාවට තියෙන දුර වැඩි වුණත් ඇගේ කටහඬට මගේ හිත ගිය නිසා අපේ ශාලාවේ ලිපිනය දීලා ඉරිදා රැස්වීමට එන්න කියලා ඇයට කිව්වා. එම ඉරිදා මට තමයි ප්‍රසිද්ධ කතාව දෙන්න නියම වෙලා තිබුණේ. මම තමයි ඉරිදා රැස්වීමට මුලින්ම ආව පුද්ගලයා. ඒත් අලුත් සහෝදරියක් නම් ඇවිත් හිටියේ නැහැ. කතාව දීලා ඉවර වෙනකම්ම සැරෙන් සැරේ දොර දිහා බැලුවා, ඒත් ඇය ආවේ නැහැ. ඊළඟ දවසේ මම ඇයට දුරකථනයෙන් කතා කළා. ඇයට බස් එකේ එන්න දන්නේ නැති නිසා පැමිණෙන්න බැරි වුණා කියා පැවසුවා. එනිසා, එන විදිහ හරියටම කියා දෙන්න මම ඇයව මුණගැහෙන්න ගියා.

මට දැනගන්න ලැබුණා ඇගේ දෙමාපියන් චෙකොස්ලෝවැකියාවේ සිට අමෙරිකාවට පදිංචියට ආව අය කියලා. එයාලා බයිබල් ශිෂ්‍යයන් සමඟ ඇසුරු කරන්න පටන් අරන් තියෙන්නේ මළ අය කොහේද? (ඉංග්‍රීසියෙන්) යන මාතෘකාවෙන් තියෙන පොත් පිංචය කියෙව්වාට පස්සේ. ඇගේ දෙමාපියන් බව්තීස්ම වෙලා තියෙන්නේ 1935දීයි. වර්ෂ 1938දී අමෙරිකාවේ පෙන්සිල්වේනියාවේ ක්ලයිමර් නගරයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක මුලසුන භාර අවේක්ෂකයෙක් හැටියට ක්‍රිස්ටීන්ගේ තාත්තා සේවය කරලා තියෙනවා. ක්‍රිස්ටීන් බව්තීස්ම වෙලා තියෙන්නේ 1947දීයි; එතකොට එයාගේ වයස අවුරුදු 16යි. හොඳ ආත්මික මනසක් තිබුණ ඒ රූමත් සහෝදරිය ගැන ආදරයක් ඇති වෙන්න මට වැඩි කල් ගියේ නැහැ. අපි 1950 ජූනි 24වෙනිදා අතිනත ගත්තා. එදා ඉඳන්, හැම අවස්ථාවකම දෙවිගේ රාජ්‍යයට මුල් තැනක් දෙන්න කැමැත්තක් දැක්වූ ක්‍රිස්ටීන් මගේ විශ්වාසවන්ත සහකාරිය වුණා. මේ ගුණ යහපත් සහෝදරිය මගේ හවුල්කාරිය වීම ගැන මම යෙහෝවාට ස්තුති කරනවා.—හිතෝපදේශ 31:10.

නොසිතූ දෙයක්

වර්ෂ 1951 නොවැම්බර් 1වෙනිදා ඉඳන් අපි දෙන්නා පුරෝගාමි සේවය කරන්න පටන්ගත්තා. අවුරුදු දෙකකට පස්සේ ඔහයෝ ටොලිඩෝවල තිබුණ සමුළුවකදී හියුගෝ රයිම සහ ඇල්බර්ට් ශ්‍රෝඩර් මිෂනාරි සේවය සඳහා කැමැත්තක් දැක්වූ පුරෝගාමින් කණ්ඩායමක් සමඟ කතා කළා. අපිත් ඒ කණ්ඩායමේ හිටියා. නමුත් අපිට උනන්දු කළේ ක්ලීව්ලන්ඩ්වල දිගටම පුරෝගාමි පැවරුම කරන්න කියලයි. මාසයකට පස්සේ, 1954 පෙබරවාරිවල පටන්ගන්න 23වන වොච්ටවර් ගිලියද් පාසැලට සහභාගි වෙන්න අපිට ආරාධනාවක් ලැබුණා. අපිට දැනුණ සතුට කියා නිම කරන්න බැහැ!

ඒ දවස්වල නියූ යෝක් ලැන්සින්වල තිබුණ ගිලියද් පාසැලට යනකොට ක්‍රිස්ටීන් කොච්චර භයෙන්ද හිටියේ කිව්වොත් “හෙමින් යන්න, හෙමින් යන්න” කියලා දහසැරයක් විතර කිව්වා. ඉතිං මම ඇයට කිව්වා “මීට වඩා හෙමින් ගියොත් කාර් එක පාර මැද නතර වෙයි” කියලා. අපි පාසැලට ආවට පස්සේ භය ගතිය අඩු වුණා. සහෝදර නේදන් නෝර් පාසැලට සහභාගි වෙන්න ආව ශිෂ්‍යයන් සියලුදෙනාවම පිළිඅරගෙන එම ස්ථානය දැකබලා ගන්න පුංචි සංචාරයක් රැගෙන ගියා. ඒ අවස්ථාවේදී එම සහෝදරයා අපිට පෙන්වා දුන්නා වතුර සහ විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම කොහොමද රාජ්‍ය වැඩකටයුතුවලට දායක වෙන්නේ කියලා. ඒ අවවාදය මගේ හිතට හොඳින් කා වැදුණා. අදත් අපි එම උපදෙස පිළිපදිනවා.

රියෝ ඩි ජැනීරෝ බලා . . .

අපි 1954 දෙසැම්බර් 10වෙනිදා උපාධිය ලබාගත්තට පස්සේ හිම මිදුණ නියූ යෝක් නගරයේ ඉඳන් හිරු රැස්වලින් නැහැවුණු රියෝ ඩි ජැනීරෝ බලා පිටත් වුණා. අපිත් එක්ක මිෂනාරි යුවළක් වූ පීටර් කාබෙලෝ සහ එයාගේ භාර්යාව බිලිත් හවුල් වුණා. රියෝ ඩි ජැනීරෝ බලා ගිය එම ගුවන් ගමනේදී පුවටෝ රිකෝ, වෙනිසුවේලා සහ උතුරු බ්‍රසීලයේ බෙලම් නගරවලද නතර කරන නිසා පැය 24ක් ගත වෙනවා. ඒත් අපි ගිය අහස් යානයේ එන්ජිමේ දෝෂයක් නිසා පැය 36ක් ගත වුණා. කොහොමහරි අන්තිමේදී අපි ගුවන් තොටුපොළට ළඟා වෙද්දී දැක්කේ දැකුම්කලු දර්ශනයක්. නගරයේ විදුලි පහන් දිස් වුණේ හරියට කලු බිම් ඇතිරිල්ලක් මත ඇති දියමන්ති වගෙයි. ඒ විතරක් නෙවෙයි, ගුනබරා විලට වැටුණු සඳ රැස් නිසා විලේ දිය කඳ දිලිහෙමින් තිබුණා.

බෙතෙල් පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙක් අපි එනකම් ගුවන් තොටුපොළේ බලාගෙන හිටියා. අපිව උණුසුම් ලෙස පිළිගත්තාට පස්සේ ශාඛා කාර්යාලයට අපිව එක් කරගෙන ගියා. එදා අපි නිදාගන්නකොට උදේ 3ට විතර ඇති. පැය කිහිපයකට පස්සේ ඇසුණු සීනු නාදය අපේ මිෂනාරි පැවරුමේ පළවෙනි දවස ආරම්භ වුණා කියා අපට මතක් කළා.

ගිය හැටියේම පාඩමක් ඉගෙනගත්තා

ඉක්මනින්ම අපි හොඳ පාඩමක් ඉගෙනගත්තා. සාක්ෂිකාර පවුලක් ඔවුන් සමඟ සන්ධ්‍යාව ගත කිරීමට අපිට ආරාධනා කළා. අපි එම පවුල සමඟ සන්ධ්‍යාව ගත කර නැවතත් ශාඛාව බලා පිටත් වෙනකොට එම නිවසේ හිටිය සහෝදරයා කිව්වා, “තදේටම වහිනවා, ඔයාලට දැන් යන්න බැහැ” කියලා. එදා රෑ අපිට ඔහුගේ නිවසේ නතර වෙන්න කියලා පෙරැත්ත කළා. “අපි හිටිය රටෙත් වහිනවා තමයි” කියලා මම ඔහුට විහිළුවක් කරලා වැස්සේම එලියට බැස්සා.

රියෝ නගරය වටේටම තියෙන්නේ කඳු. වැහි වතුර ඉක්මනට එකතු වෙලා නගරයට ගලාගෙන එන නිසා නගරය ගං වතුරට යට වෙනවා. වැඩි වෙලාවක් යන්න කලින් අපේ දණ හිස ළඟට වෙනකම්ම වතුර පිරුණා. ඒ වගේම ශාඛාව ළඟ තිබුණ පාරවල් විශාල ගංගාවන් වෙලා. වතුර අපේ පපුව ළඟට වෙනකම්ම තිබුණා. බෙතෙල් එකට ගියේ හොඳටම නාගෙන. ඊළඟ දවසේ ක්‍රිස්ටීන්ට උණ සන්නිපාතය හැදුණා. ඒ හැදිච්ච උණේ නිසා ඇති වුණ ශාරීරික දුර්වලකම හුඟ කාලයක් යනකම්ම තිබුණා. මිෂනාරි සේවය කරද්දී ඒ රටේ ඉන්න අයගේ උපදෙස් පිළිපදින්න ඕනේ කියන එකට මේක හොඳ පාඩමක්.

මිෂනාරි සහ සංචාරක සේවය

ආරම්භයේදීම කඩුල්ලක් පනින්න සිදු වුණත් අපි අපේ ක්ෂේත්‍ර සේවය උනන්දුවෙන් කරන්න පටන්ගත්තා. අපි පෘතුගීසි භාෂාවෙන් ඉදිරිපත් කිරීමක් ලියාගෙන මුණගැහෙන අයට ඒක කියවනවා. ටික කාලයක් යද්දී අපි ඒ භාෂාව කතා කිරීමේ දියුණුවක් ලැබුවා. එක ගෙහිමියෙක් ක්‍රිස්ටීන්ට කිව්වා, “මට ඔයා කියන දේ තේරෙනවා. ඒත් ඔයාගේ මහත්තයා කියන දේ මට තේරෙන්නේ නැහැ” කියලා. තවත් ගෙහිමියෙක් මට කිව්වා, “ඔයා කියන දේ තේරෙනවා. ඒත් නෝනා මොනවද කියන්නේ කියලා තේරුම්ගන්න බැහැ” කියලා. ඒ වගේ දේවල් අහන්න ලැබුණත් මුල් සති කිහිපය තුළදී මුරටැඹ සඳහා දායක සියයකට වඩා ලබාගන්න පුළුවන් වුණාම අපිට පුදුම සතුටක් දැනුණා. බ්‍රසීලයේ ගත වුණ පළමු අවුරුද්ද තුළ අපි එක්ක බයිබලය පාඩම් කළ කිහිපදෙනෙක් බව්තීස්ම වුණා. අපේ මිෂනාරි පැවරුම කොතරම් ප්‍රතිඵලදායකද කියලා එයින් ඔප්පු වුණා.

වර්ෂ 1950 මැද භාගයේදී විතර බ්‍රසීලයේ සභාවන් බොහෝමයක සුදුසුකම් තිබෙන සහෝදරයන් හිටියේ නැති නිසා නිසි පිළිවෙළකින් කරන චාරිකා අවේක්ෂකයන්ගේ බැහැදැකීම් තිබුණේ නැහැ. මේ නිසා 1956දී සැවෝ පවුලෝ ජනපදයේ චාරිකා සේවය සඳහා මට පැවරුමක් දුන්නා. ඒ වෙනකොට මම භාෂාව ඉගෙනගනිමිනුයි හිටියේ. ඒ විතරක් නෙවෙයි මම පෘතුගීසි භාෂාවෙන් අඩුම තරමින් ප්‍රසිද්ධ කතාවක්වත් දීලා තිබුණේ නැහැ.

අපි ගිය පළවෙනි සභාවට අවුරුදු දෙකකින් චාරිකා අවේක්ෂකයෙක් පැමිණිලා තිබුණේ නැති නිසා ප්‍රසිද්ධ කතාව අහන්න හැමෝම ලොකු ආසාවකින් හිටියා. මම කතාව සූදානම් කරද්දී කතාවට අදාළ කරුණු තියෙන ඡේද, පෘතුගීසි භාෂාවෙන් තිබුණ මුරටැඹ සඟරාවලින් කපලා කොළයක අලවගත්තා. චාරිකා සතියේ ඉරිදා දවසේ රාජ්‍ය ශාලාව පිරිලා තිබුණා. මිනිස්සු වේදිකාව උඩත් ඉඳගෙන හිටියා. හැමෝම මහත් ආසාවකින් පුල පුලා බලාගෙන හිටියේ මම කතාව දෙනකම්. හැබැයි ඒක කතාවකට වඩා කියවීමක් කිව්වොත් වඩාත් නිවැරදියි. මම කතාව දෙන ගමන් ඉඳලා හිටලා ඔලුව උස්සලා බැලුවා. මට පුදුම හිතුණා; මොකද කවුරුවත් හෙළවෙන්නේ නැතුව හිටියා. අඩුම තරමින් ළමයිවත් හෙළ වුණේ නැහැ. හැමෝම පුදුමයෙන් වගේ මගේ දිහා බලාගෙන හිටියා. ‘මගේ පෘතුගීසි භාෂාව කොච්චර දියුණු වෙලාද! බලන්න හැමෝම හොඳට අහගෙන ඉන්නවා’ කියලා මම මටම කියාගත්තා. අවුරුදු කිහිපයකට පස්සේ, මම ඒ සභාවට ආයෙත් වතාවක් ගියාම මගේ මුල් කතාවට සවන් දුන් සහෝදරයෙක් ඇවිත් මට මෙහෙම කිව්වා, “ඔයාට මතකද ඔයා දුන්න ප්‍රසිද්ධ කතාව? අපිට ඒ කියපු එක වචනයක්වත් තේරුණේ නැහැ.” එතකොට මම ඒ සහෝදරයාට කිව්වා, අඩුම තරමින් මටවත් ඒ කතාව තේරුණේ නැහැ කියලා.

චාරිකා සේවයේ පළමු අවුරුද්දේදී මම නිතරම සෙකරියා 4:6 කියෙව්වා. එහි පවසන, ‘බලයෙන් නොව මාගේ ආත්මයෙන්ය’ කියන වචන නිතරම මට සිහිගැන්නුවා රාජ්‍ය වැඩකටයුතු සාර්ථක වීමට පිටුබලය ලැබෙන්නේ යෙහෝවාගේ ආත්මයෙන් කියලා. අපිට කඳු වැනි බාධක තිබුණත් අපි පුදුම වර්ධනයක් අද්දැක්කා.

බාධක මැද ආශීර්වාද අත් කරගනිමින්

චාරිකා සේවය කරනකොට ටයිප්රයිටරය, පොත් පත් දැමූ පෙට්ටි, සූට්කේස් සහ වෙනත් ගමන් මලු අරගෙන රට වටේ යන්න ඕනේ. ක්‍රිස්ටීන් අපේ හැම බඩුවකටම නොම්බර දමා තිබුණ නිසා බස් එකකින් තවත් එකකට මාරු වෙනකොට බඩු නැති වුණේ නැහැ. අපේ ඊළඟ නැවතුම් පොළ කරා යන්න දූවිල්ලෙන් නැහැවුණු පාරවල්වල පැය 15ක් පමණ ගමන් කරනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. සමහර අවස්ථාවල අපේ ඇඟේ මයිල් කෙළින් වෙනවා. විශේෂයෙන්ම එහෙම වෙන්නේ වැනෙන පාලමකින් බස් දෙකක් එක වෙලාවේ මාරු වෙනකොටයි. බස් දෙක මාරු වෙන්නේ ගෑවෙන නොගෑවෙන තරමටයි. අපි කෝච්චියෙන්, නැවෙන් සහ අශ්වයන්ගේ පිටේ පවා අපේ ගමන් ගියා.

වර්ෂ 1961 ඉඳන් මම දිස්ත්‍රික් අවේක්ෂකයෙක් ලෙස කටයුතු කළා. සභාවෙන් සභාවට යනවා වෙනුවට චාරිකාවෙන් චාරිකාවට ගියා. සතියකට සන්ධ්‍යාවන් කිහිපයක විවිධ ස්ථානවල අපි යෙහෝවාගේ සංවිධානයෙන් නිෂ්පාදනය කර තිබෙන චිත්‍රපටි පෙන්නුවා. එම චිත්‍රපටි පෙන්වන්න අපි කළ සැලසුම් කඩාකප්පල් කිරීමට පූජකයන් ගත් වෑයම් අසාර්ථක කිරීමට ඉක්මනින්ම ප්‍රායෝගික උපක්‍රම යොදන්න සිදු වුණා. එක නගරයක අපි කලින්ම වෙන් කරගෙන තිබුණ ශාලාව දෙන්න එපා කියලා එම ශාලාවේ අයිතිකරුට පූජකයෙක් තර්ජනය කරලා තිබුණා. මේ නිසා අපිට සිද්ද වුණා වෙන ශාලාවක් සූදානම් කරගන්න. ඒකට දවස් ගාණක් ගත වුණා. අපි කාටවත් අලුත් තැන ගැන කියන්නේ නැතුව මුලින් සූදානම් කළ තැනටම ආරාධනා කළා. වැඩසටහන පටන්ගන්න කලින් චිත්‍රපටිය නැරඹීමට කැමැත්තක් දැක්වූ අයට අලුත් තැනට යන්න කියා ක්‍රිස්ටීන් දැනුම් දුන්නා. ක්‍රියාත්මකව පවතින නව ලෝක සමාජය යන ඉතාමත් උචිත තේමාවකින් යුත් එම චිත්‍රපටිය පුද්ගලයන් 150දෙනෙක් විතර එම සැන්දෑවේ නැරඹුවා.

සංචාරක සේවය සඳහා දුෂ්කර ගම්මානවලට යන්න සෑහෙන කාලය වැය වුණා. නමුත් එම ප්‍රදේශවල ජීවත් වූ නිහතමානී සහෝදරයන් අපේ පැමිණීම ගොඩක් අගය කරමින් එයාලගේ පුංචි ගෙවල්වල අපට නවාතැන් දීමෙන් ආගන්තුක සත්කාරය පෙන්නුවා. අපිට ඔවුන් සමඟ එහෙම ඉන්න ලැබීම ගැන අපි යෙහෝවාට ස්තුති කළා. ඔවුන්ට උපකාර කිරීමෙන් අපිත් බොහෝ ආශීර්වාද ලැබුවා. (හිතෝපදේශ 19:17; හග්ගයි 2:7) බ්‍රසීලයේ අපේ අවුරුදු 21ක මිෂනාරි සේවයට නැවතීමේ ලකුණ තබන්න සිදු වුණාම අපිට දරාගන්න බැරි දුකක් දැනුණා.

කරදර දවස්වලදී පවා යෙහෝවා අපට මඟ පෙන්නුවා

වර්ෂ 1975දී ක්‍රිස්ටීන්ට සැත්කමක් කරන්න සිදු වුණා. එම සැත්කමෙන් පසු නැවත සංචාරක සේවය ආරම්භ කළත් ක්‍රිස්ටීන්ගේ සෞඛ්‍ය තත්වය එන්න එන්නම දරුණු වුණ නිසා ඇයට ප්‍රතිකාර කිරීමට අමෙරිකාවට යෑම නුවණට හුරුයි කියා සිතුණා. වර්ෂ 1976දී අපි කැලිෆෝනියාවේ ලෝං බීච් නගරයේ හිටිය මගේ අම්මගේ ගෙදර පදිංචියට ගියා. අවුරුදු විස්සක් විතර පිට රටක ජීවත් වුණ නිසා මේ වගේ තත්වයකට මුහුණ දෙන්නේ කොහොමද කියලා අපිට හිතාගන්නවත් බැරුව ගියා. මම සම්බාහනය කිරීම රැකියාවක් හැටියට කළ අතර ලැබුණ මුදල් ටිකෙන් වියහියදම් පිරිමහගත්තා. කැලිෆෝනියා රජයෙන් ක්‍රිස්ටීන්ට රෝහලේ ඇඳක් ලබා දුන්නත් වෛද්‍යවරුන් රුධිරය රහිතව ප්‍රතිකාර කරන්න අකමැති වුණ නිසා දවසින් දවස ඇගේ තත්වය දරුණු වුණා. ඒ වගේ අසරණ තත්වයක ඉන්දැද්දී අපිට යෙහෝවාගේ මඟ පෙන්වීම ගොඩක් අවශ්‍ය වුණා.

එක සන්ධ්‍යාවක් දේශනා සේවයේ යමින් ඉන්නකොට දොස්තර කෙනෙකුගේ සායනයක් මම දැක්කා. ගිහිල්ලා කතා කරන්න ඕනේ කියලා එකපාරටම මට හිතුණා. ඒ වෙලාවේ දොස්තර ගෙදර යන්න සූදානම් වෙලා හිටියත් ඔහු මට සායනයට එන්න කියා පැය දෙකක් පමණ මාත් එක්ක කතා කළා. ඊට පස්සේ ඔහු මෙහෙම කිව්වා. “මිෂනාරිවරයෙකු ලෙස ඔබ කරන සේවය මම අගය කරනවා. මම ඔයාගේ භාර්යාවට රුධිරය නොමැතිව ප්‍රතිකාර කරන්නම්. ප්‍රතිකාර සඳහා කිසිම ගෙවීමක් කරන්න අවශ්‍ය නැහැ.” ඒ කිව්ව වචන ටික මට අදහාගන්න බැරුව ගියා.

මෙම කරුණාවන්ත වෛද්‍යවරයා විශේෂඥයෙක්. ඔහු වැඩ කළ රෝහලට ක්‍රිස්ටීන්ව මාරු කළා. ඔහු කළ ප්‍රතිකාර නිසා ක්‍රිස්ටීන්ගේ තත්වය ඉක්මනින්ම හොඳ අතට හැරුණා. ඒ දුෂ්කර කාලයේදී යෙහෝවා අපිට මාර්ගය පෙන්නුවාට අපි ගොඩක් ස්තුතිවන්ත වුණා!

අලුත් පැවරුමක්

ක්‍රිස්ටීන් නැවත යථා තත්වයට ආවාම අපි ආයෙත් පුරෝගාමින් ලෙස සේවය කළා. ලෝං බීච් නගරයේ හිටිය බොහෝදෙනෙකුට යෙහෝවාගේ නමස්කාරකයන් වීමට උපකාර කිරීමෙන් අපි ප්‍රීතියක් අද්දැක්කා. වර්ෂ 1982දී අමෙරිකාවේ චාරිකා සේවය කිරීමට අපට පැවරුමක් ලැබුණ අතර අපිව ආයෙත් මේ සේවය සඳහා යොදාගත්තු එක ගැන යෙහෝවාට අපි ස්තුති කළා. මොකද ඒ සේවයට අපි හුඟාක් කැමතියි. අපි කැලිෆෝනියාවේ සහ නිව් ඉන්ග්ලන්ඩ්වල චාරිකා සේවය කළ අතර එම චාරිකාවට පෘතුගීසි භාෂාව කතා කරන සභාවන් ඇතුළත් වුණා. කාලයක් ගියාට පස්සේ බර්මියුඩාවත් අපේ චාරිකාවට අයිති වුණා.

සාර්ථක ලෙස ගෙවුණ සිව් වසරකට පස්සේ අපිට තවත් පැවරුමක් ලැබුණා. ඒ, විශේෂ පුරෝගාමින් ලෙස අවශ්‍යතාවය ඇති ඕනෑම තැනක සේවය කිරීමට ආරාධනයක්. අපේ සංචාරක සේවය නතර කරන්න වුණ එක ගැන දුකයි. ඒත් අපි තීරණය කළා අපේ අලුත් පැවරුම භාරගන්න. සංචාරක සේවයේ යෙදෙද්දී මම දැක්කා නිව් බෙඩ්ෆොර්ඩ් මැසචුසෙට්ස්වල පෘතුගීසි සභාවේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා අපි නිව් බෙඩ්ෆොර්ඩ් නගරයට ගියා.

අපි ඒ සභාවට ගියාම ලොකු පිළිගැනීමේ සාදයක් තිබුණා. ඔවුන් අපේ පැමිණීම අගය කළ බව එයින් පෙන්නුම් කළා. ඔවුන් අපිව පිළිගත් විදිහට අපේ ඇස්වලට කඳුලු ආවා. පුංචි දැරියන් දෙදෙනෙක් හිටිය යුවළක් අපි නවාතැනක් හොයාගන්න කල් අපිට එයාලගේ නිවසේ ඉන්න ඉඩ දුන්නා. මෙම විශේෂ පුරෝගාමි පැවරුම මගින් යෙහෝවා අපි හිතුවාටත් වඩා අපිට ආශීර්වාද කරලා තියෙනවා. වර්ෂ 1986 ඉඳන් මේ නගරයේ සිටින පුද්ගලයන් 40දෙනෙකුට සාක්ෂිකරුවන් වීමට අපි උපකාර කළා. ඒ හැමෝම අපේ ආත්මික පවුලේ සාමාජිකයන්. ඊට අමතරව, සභාවේ සහෝදරයන් පස්දෙනෙක් රැළ රැකබලා ගන්න එඬේරුන් ලෙස කටයුතු කරන තත්වය දක්වා දියුණු වෙනවා දකින්න ලැබීම ඇත්තෙන්ම සතුටක්. අපි කරන මේ සේවයත් හරියට ඵලදායී මිෂනාරි පැවරුමක් වගෙයි.

අපේ ජීවිත දිහා ආපසු හැරී බලනකොට අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. මොකද අපේ තරුණ කාලයේ ඉඳන් සත්‍යය අපේ ජීවන මාර්ගය කරගෙන තියෙනවා. දැන් ඉතිං අපි වයසයි, දුර්වලයි. ඒත් යෙහෝවාගේ මඟෙහි දිගටම ගමන් කිරීම තමයි තවමත් අපේ ශක්තිය සහ ප්‍රීතිය.

[26වන පිටුවේ පින්තූරය]

රියෝ ඩි ජැනීරෝවලට ආව අලුත

[28වන පිටුවේ පින්තූරය]

නිව් බෙඩ්ෆොර්ඩ් මැසචුසෙට්ස්වල අපේ ආත්මික පවුල