Skip to content

පටුනට යන්න

දෙවිගේ නාමය පිට පැමිණි නින්දාව ඉවත් කෙරේ

දෙවිගේ නාමය පිට පැමිණි නින්දාව ඉවත් කෙරේ

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

දෙවිගේ නාමය පිට පැමිණි නින්දාව ඉවත් කෙරේ

“නුඹලා නපුරකරන්නෝයයි අන්‍යජාතීන් නුඹලාට විරුද්ධව කථාකරන නුමුත්, ඔවුන් නුඹලාගේ යහපත් ක්‍රියා දැක, විභාගකිරීමේ දවසේදී [දෙවිට] ගෞරවකරන පිණිස, ඔවුන් අතරේ නුඹලාගේ හැසිරීම ඔබිනලෙස පවත්වන්න” කියා දේවවචනය වන බයිබලය පවසයි. (1 පේතෘස් 2:12) මෙයට එකඟව, දෙවිගේ නාමය පිට යම් නින්දාවක් පැමිණවීමෙන් වැළකීම සඳහා, සැබෑ ක්‍රිස්තියානීහු තම හැසිරීම කදිම මට්ටමක පවත්වාගැනීමට වෑයම් කරති.

සැම්බියාවේ පිටිසර පෙදෙසක් වන සෙනන්ගාහි වෙසෙන පාසැල් ගුරුවරයෙකුගේ නිවසේ තිබූ ගුවන් විදුලි යන්ත්‍රයක් සොරකම් කර තිබිණ. ඒ ප්‍රදේශයෙහි යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේශනා කරමින් සිටි නිසා, ගුවන් විදුලි යන්ත්‍රය සොරකම් කළේ ඔවුන් කියා මෙම ගුරුවරයා චෝදනා කළේය. පොලිසියට ගිය ඔහු, තම ගුවන් විදුලි යන්ත්‍රය සාක්ෂිකරුවන් සොරකම් කළ බවට පැමිණිලි කළේය. සාක්ෂිකරුවන් තම නිවසට ඇතුල් වූ බවට සාක්ෂියක් වශයෙන්, බිම තිබී සොයාගත් පත්‍රිකාවක් ඔහු භාර දුන්නේය. කෙසේවෙතත්, පොලිසිය ඔහුගේ පැමිණිල්ල භාරගත්තේ නැත. නැවත තම නිවසට ගොස් හොඳට සෝදිසි කර බලන මෙන් ඔවුහු ඔහුට උපදෙස් දුන්හ.

මේ අතර වැඩිමහල් මණ්ඩලය, එම දිනයේදී ගුරුවරයාගේ නිවසට සහ අවට ගෙවල්වලට ගොස් දේශනා කළ සාක්ෂිකරුවන්ට දිරිගැන්වූයේ ගුරුවරයා හමු වී ඔහු සමඟ කාරණය ගැන කතා කිරීමටය. එයට අවනත වූ සහෝදරයන් කිහිපදෙනෙකු ගොස් ඔහුට පැවසුවේ, යෙහෝවාගේ නාමය පිට පැමිණි නින්දාව ඉවත් කිරීමට ඔවුන්ට වුවමනා බවය. ඔවුන් කළ එම සාකච්ඡාවේදී, ඔවුන් කියා සිටියේ ගුරුවරයාගේ නිවසට පැමිණි විට තරුණයෙකුව ඔවුන්ට හමු වූ බවත්, ඔහුට පත්‍රිකාවක් දී ගිය බවත්ය. දුන් විස්තරයට අනුව, ඒ තරුණයා කවුද කියා ගුරුවරයාට හඳුනාගත හැකි විය. ඇත්තෙන්ම ඒ තරුණයා ඔහුගේම පල්ලියේ සාමාජිකයෙකි. ගුරුවරයා තරුණයාව හමුවීමට ගොස් කාරණය ගැන කතා කළද, ඔහු වරද පිළිගත්තේ නැත. අනතුරුව, ගුරුවරයා එම තරුණයාගේ දෙමාපියන් සමඟ කාරණය සාකච්ඡා කර තම නිවස බලා ගියේය. පැයක් ඇතුළත, ඒ තරුණයාගේ මව සොරකම් කළ ගුවන් විදුලි යන්ත්‍රය නැවත භාර දුන්නාය!

තමා කලින් කළ චෝදනා ගැන මහත් සේ තැවුණු ගුරුවරයා, වැඩිමහල් මණ්ඩලය හමු වී, බොරු චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය. වැඩිමහල්ලෝ එම පසුතැවිල්ල භාරගත්තත්, හෙළි වූ දේ ප්‍රසිද්ධ කරන මෙන් ඉල්ලා සිටියෝය. එසේ කළේ සාක්ෂිකරුවන් නිර්දෝෂ බව සියල්ලන්ම දැනගන්නා පිණිසය. මේ අනුව, පාසැලේදී නිවේදනයක් කළ අතර, එයින් යෙහෝවාගේ නාමය පිට පැමිණි නින්දාව ඉවත් කරන ලදි. එම ප්‍රදේශයෙහි හිරිහැරයක් නොමැතිව දේශනා කිරීමේ ප්‍රස්තාව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට දිගටම විවෘතව පවතී.

[19වන පිටුවේ සිතියම්/පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

අප්‍රිකාව

සැම්බියාව

[හිමිකම් විස්තර]

Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.