Skip to content

පටුනට යන්න

දෙවි මෙන් ඔබටත් ප්‍රීතිය භුක්ති විඳිය හැකියි

දෙවි මෙන් ඔබටත් ප්‍රීතිය භුක්ති විඳිය හැකියි

දෙවි මෙන් ඔබටත් ප්‍රීතිය භුක්ති විඳිය හැකියි

‘සහෝදරයෙනි, සුවසේ [දිගටම ප්‍රීතියෙන්, NW] සිටින්න. එවිට ප්‍රේමයේ හා සමාදානයේ දෙවි නුඹලා සමඟ සිටින්නේය.’—2 කොරින්ති 13:11.

1, 2. (අ) බොහෝදෙනෙක් ප්‍රීතියෙන් නොසිටින්නේ මන්ද? (ආ) ප්‍රීතිය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? අපට එය වැඩි වර්ධනය කරගත හැක්කේ කෙසේද?

 ගැටලු ප්‍රශ්නවලින් පිරි මේ කාලයේ සන්තෝෂ වීමට ලැබෙන අවස්ථා ඉතාමත් අල්ප බව බොහෝදෙනෙකුගේ අද්දැකීම වී තිබේ. තමන් හෝ තමන් ප්‍රේම කරන කෙනෙකු යම් විපතකට මුහුණ දුන් විට ඔවුන්ට ඇති වන හැඟීම පුරාණයේ විසූ යෝබ්ට ඇති වූ හැඟීම හා සමාන විය හැක. ඔහු මෙසේ පැවසුවේය. “ස්ත්‍රියගෙන් උපන් මනුෂ්‍යයා ස්වල්ප දවසක් පවතින්නාවූ කරදරයෙන් පූර්ණවූ කෙනෙක්ය.” (යෝබ් 14:1) “කටයුතු කිරීමට අසීරු මේ අර්බුදකාරි කාලයේ” මිනිසුන්ට මුහුණ දීමට සිදු වන ගැටලු ප්‍රශ්නවලින් ක්‍රිස්තියානීන්ද නිදහස් වී නැත. මේ නිසා යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරන අය පවා ඇතැම් අවස්ථාවලදී අධෛර්යයට පත්වීම ගැන පුදුම විය යුතු නැත.—2 තිමෝති 3:1, NW.

2 කෙසේවෙතත්, දුෂ්කරතා මැද පවා ප්‍රීතියෙන් සිටීමට ක්‍රිස්තියානීන්ට පුළුවන. (ක්‍රියා 5:40, 41) මෙය සත්‍යයක් විය හැකි ආකාරය තේරුම්ගැනීම සඳහා මුලින්ම ප්‍රීතිය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියා සලකා බලමු. “වර්තමානයේ යම් යහපත් දෙයක් භුක්ති විඳිමින් සිටින නිසා හෝ අනාගතයේදී භුක්ති විඳීමට බලාපොරොත්තුවෙන් සිටීම නිසා ඇති වන හැඟීම” ප්‍රීතිය කියා හැඳින්විය හැක. a මේ අනුව, දැන් අපි භුක්ති විඳිමින් සිටින යහපත් දේවල් ගැනත් අනාගතයේදී දෙවිගේ නව ලොවේදී අප ලබන ආශීර්වාද ගැනත් සිතන විට අපට ප්‍රීති විය හැක.

3. සෑම කෙනෙකුටම ප්‍රීතියෙන් සිටීමට අඩුම තරමින් හේතු දෙක තුනක්වත් තිබෙනවා කියා පැවසිය හැක්කේ මන්ද?

3 යම් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වුවත්, සෑම කෙනෙකුටම ප්‍රීතියෙන් සිටීමට හේතු තිබෙන අතර, ඒවා අගය කොට සැලකිය යුතුය. පියෙකුට ඔහුගේ රැකියාව අහිමි විය හැක. මෙවන් අවස්ථාවක ඔහු දැඩි මානසික පීඩනයකින් පෙළෙයි. තම පවුලේ අයගේ අවශ්‍යතා සැපයීමට හැකි සෑම දෙයක්ම ඔහු කරයි. කෙසේවෙතත්, ඔහු නිරෝගී නම් ඒ ගැන ඔහුට සතුටු වීමට පුළුවන. මන්ද ඔහුට වෙහෙස මහන්සි වී වැඩ කර යම් මුදලක් උපයා ගැනීමට එය මහත් රුකුලක් වන නිසාය. එමෙන්ම යම් සහෝදරියක් බලාපොරොත්තු නොවූ ලෙස දරුණු අසනීපයකට ගොදුරු වූවායයි සිතමු. මෙවන් අවස්ථාවක ප්‍රේමනීය මිතුරන් හා පවුලේ සාමාජිකයන් තමාගේ රෝගී තත්වය වටහාගෙන තමාව දිරිමත් කරන විට, ඇයට ඒ ගැන සතුටු වීමට පුළුවන. සැබෑ ක්‍රිස්තියානීන් සියලුදෙනාම විවිධාකාර ගැටලු ප්‍රශ්නවලට මුහුණ දුන්නත්, “සන්තෝෂවත් දෙවි” වන යෙහෝවාව හා “සන්තෝෂවත් එකම අධිපති” වන යේසුස් ක්‍රිස්තුස්ව දැන හඳුනාගන්න ලැබීමේ වරප්‍රසාදය ගැන ඔවුන්ට ප්‍රීති විය හැක. (1 තිමෝති 1:11; 6:15NW) යෙහෝවා සහ යේසුස් ක්‍රිස්තුස් තරම් සන්තෝෂයෙන් සිටින වෙන කිසිවෙකු නැත. අද පොළොවේ පවතින තත්වය යෙහෝවා මුලින්ම අරමුණු කළ ආකාරයට වඩා හාත්පසින්ම වෙනස් වී තිබුණත්, තමන් භුක්ති විඳින ප්‍රීතිය සොරාගැනීමට ඔවුන් එයට ඉඩ දී නැත. අපටත් දිගටම අපේ ප්‍රීතිය පවත්වාගත හැකි ආකාරය සම්බන්ධයෙන් බොහෝ දෑ ඔවුන්ගේ ආදර්ශයෙන් ඉගෙනගත හැක.

ඔවුන් කිසිදාක තම ප්‍රීතිය අහිමි කරගෙන නැත

4, 5. (අ) මුල් මිනිස් යුවළ තමන්ට අකීකරු වූ විට යෙහෝවා ප්‍රතික්‍රියා කළේ කෙසේද? (ආ) යෙහෝවා මිනිසුන් සම්බන්ධයෙන් දිගටම ඒකාන්ත ආකල්පයක් තබාගත්තේ කෙසේද?

4 ආදම් සහ ඒව ඒදන් උයනේ ජීවත් වූ කාලයේදී පරිපූර්ණ ශාරීරික හා මානසික සෞඛ්‍යයක් භුක්ති වින්දෝය. ඔවුන් කළ සෑම දෙයක්ම සාර්ථක විය. මේ සෑම දෙයකටම වඩා ඔවුන්ට තිබූ උතුම්ම වරප්‍රසාදය වූයේ, යෙහෝවා සමඟ නිතර අදහස් හුවමාරු කරගැනීමට තිබූ හැකියාවයි. ඔවුන් සෑමදාම සන්තෝෂයෙන් ජීවත් වීම දෙවිගේ කැමැත්ත විය. ඔව්, ඔවුන් ඉදිරියෙහි තිබුණේ ප්‍රීතිමත් අනාගතයකි! එහෙත් දෙවි ඔවුන්ට මොනතරම් යහපත් දේවල් සපයා තිබුණත් ඔවුන් ඒවායින් සෑහීමට පත් වූයේ නැත. ඔවුහු දෙවි තහනම් කර තිබූ “යහපත හා නපුර දැනගැනීමේ ගහෙන්” අනුභව කළහ. ඔවුන් දෙදෙනාගෙන් පැවතෙන්නන් වන අපේ සතුට සොරාගන්න සෑම දෙයකටම හේතුව වී තිබෙන්නේ එදා ඔවුන් කළ ඒ අකීකරු ක්‍රියාවයි.—උත්පත්ති 2:15-17; 3:6; රෝම 5:12.

5 කෙසේවෙතත්, ආදම් සහ ඒව තමන් කළ යහපත් දේවල් අගය නොකළත්, තම ප්‍රීතිය අහිමි කරගැනීමට යෙහෝවා එය හේතුවක් කරගත්තේ නැත. අඩුම තරමින් ඔවුන්ගෙන් පැවතෙන ටිකදෙනෙක් හෝ තමන්ට කීකරු වෙමින් සේවය කරයි කියා නිසැකකමක් ඔහුට තිබිණ. ඒ ගැන ඔහුට මොනතරම් නිසැකකමක් තිබුණාද කියනවා නම්, ආදම් සහ ඒවගෙන් පැවතෙන කීකරු මිනිසුන්ව ගළවාගැනීම පිළිබඳ තම අරමුණ ගැන ඔවුන්ගේ කුළුඳුල් දරුවා බිහිවීමට කලින්ම ඔහු ප්‍රකාශ කළේය. (උත්පත්ති 1:31; 3:15) ආදම් සහ ඒව දෙවිට අකීකරු වූ දා සිට මේ දක්වා ගත වී තිබෙන සියවස් ගණනාව පුරා ඔවුන්ගෙන් පැවතෙන බොහෝදෙනෙකු ඔවුන්ගේ අඩි පාරේ ගමන් කළත්, දෙවි මිනිසුන්ව අත්හැර නැත. තමාට තිබෙන ප්‍රේමය නිසා ‘තමන්ගේ සිත ප්‍රීතිමත් කිරීමට’ අවංක වෑයමක් දරන මිනිසුන් කෙරෙහි ඔහු අවධානය යොමු කර තිබේ.—හිතෝපදේශ 27:11; හෙබ්‍රෙව් 6:10.

6, 7. තම ප්‍රීතිය අහිමි කර නොගැනීමට යේසුස්ට උපකාරවත් වූයේ කුමක්ද?

6 යේසුස් ගැන කුමක් කිව හැකිද? ඔහු සැමවිටම ප්‍රීතියෙන් සිටියේ කෙසේද? බලවත් අදෘශ්‍යමාන පුද්ගලයෙකු ලෙස ස්වර්ගයේ වාසය කරද්දී, යේසුස්ට, පොළොවේ සිටින මිනිසුන් කටයුතු කරන ආකාරය හොඳින් දැකගත හැකි විය. ඔවුන්ගේ අසම්පූර්ණකම් පැහැදිලිව දැක දැකත්, යේසුස් ඔවුන්ට ප්‍රේම කළේය. (හිතෝපදේශ 8:31) පසුකලෙක ඔහු මිනිසෙකු ලෙස මිනිසුන් ‘අතර වාසය කරමින්’ සිටි කාලයේදීද ඔවුන් සම්බන්ධයෙන් ඔහුට තිබූ ආකල්පයෙහි කිසිදු වෙනසක් සිදු නොවීය. (යොහන් 1:14) පව්කාර මිනිසුන්ට එලෙස සැලකීමට දෙවිගේ පරිපූර්ණ පුත්‍රයාට හැකි වූයේ කෙසේද?

7 මේ සඳහා යේසුස්ට උපකාරවත් වූ ප්‍රධානතම දෙය වන්නේ තමන්ගෙන් මෙන්ම අන් අයගෙන් අපේක්ෂා කළ දේවල් ගැන ඔහු සාධාරණ වීමයි. තමන්ට මුළු මනුෂ්‍යවර්ගයාවම හරවාගන්න නොහැකි බව ඔහු දැනසිටියේය. (මතෙව් 10:32-39) මේ නිසා එක් අවංක පුද්ගලයෙකු හෝ රාජ්‍ය පණිවිඩයට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ විට ඔහු සතුටු විය. ඇතැම් අවස්ථාවලදී ඔහුගේ ගෝලයන් කටයුතු කළ ආකාරය හා ඔවුන්ට තිබූ ආකල්ප ගැන ඔහුට සතුටට පත් විය නොහැකි වුවත්, දෙවිගේ කැමැත්ත කිරීමට ඔවුන්ට අවංක ආශාවක් තිබූ බව දැන සිටි නිසා යේසුස් ඔවුන්ට දිගටම ප්‍රේම කළේය. (ලූක් 9:46; 22:24, 28-32, 60-62) යේසුස් සිය ස්වර්ගික පියාට කළ යාච්ඤාවේදී, “ඔව්හු ඔබගේ වචනය රක්ෂා කළෝය” යයි පවසමින් තම ගෝලයන් ගත් ඒකාන්ත ක්‍රියා මාර්ගය කැටි කර දැක්වුවේය.—යොහන් 17:6.

8. අපේ ප්‍රීතිය දිගටම රැකගැනීමේදී යෙහෝවාව සහ යේසුස්ව අනුකරණය කළ හැකි මාර්ග කිහිපයක් නම් කරන්න.

8 සන්තෝෂය අහිමි කර නොගැනීම සම්බන්ධයෙන් යෙහෝවා දෙවි සහ යේසුස් තබා තිබෙන කදිම ආදර්ශය ගැන මහත් ඕනෑකමින් සිතා බැලීමෙන් අප සියලුදෙනාටම ප්‍රයෝජන අත් කරගත හැකි බව නිසැකයි. අප බලාපොරොත්තු වූ ආකාරයට දේවල් සිදු නොවූ විට අධික ලෙස කනස්සල්ලට පත් නොවී සිටීමෙන් යෙහෝවාගේ ආදර්ශය අපට තවත් කිට්ටුවෙන් අනුකරණය කළ හැකිද? එමෙන්ම අප දැන් මුහුණ දෙමින් සිටින තත්වයන් ගැන ඒකාන්ත ආකල්පයක් ඇතුව සිටීමෙන්ද අප අන් අයගෙන් මෙන්ම අපගෙන් අපේක්ෂා කරන දේවල් සම්බන්ධයෙන් සාධාරණ වීමෙන්ද දැනට වඩා කිට්ටුවෙන් යේසුස්ගේ අඩි පාරේ ගමන් කිරීමට අපට හැකිද? මෙම ප්‍රතිපත්තිවලින් සමහරක් ප්‍රායෝගිකව අදාළ කරගත හැකි එක් පැත්තක් ගැන සලකා බලමු. මෙය අපගේ ක්‍රිස්තියානි දේවසේවය හා සම්බන්ධයි. ලොව පුරා ජ්වලිතව දේවසේවයෙහි හවුල් වන ක්‍රිස්තියානීන් එය ඉතා අගය කොට සලකන බව අපට විශ්වාසයි.

දේවසේවය ගැන ඒකාන්ත ආකල්පයක් ඇතුව සිටින්න

9. යෙරෙමියාගේ ප්‍රීතිය යළි පණගැන්වූයේ කෙසේද? ඔහුගේ ආදර්ශය අපට උපකාරවත් විය හැක්කේ කෙසේද?

9 යෙහෝවා කැමති අපි ඔහුට ප්‍රීතියෙන් සේවය කරනවා දකින්නයි. අපි සේවයෙන් ලබන ප්‍රීතිය රඳා පැවතිය යුත්තේ අපි ලබන ප්‍රතිඵල මත නොවේ. (ලූක් 10:17, 20) අනාගතවක්තෘ යෙරෙමියා වසර ගණනාවක් පුරා දේශනා කළේ යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු ප්‍රදේශයකයි. තමා දේශනා කළ පණිවිඩය මිනිසුන් ප්‍රතික්ෂේප කිරීම ගැන ඕනෑවට වඩා සිතූ විට ඔහුගේ ප්‍රීතිය අහිමි විය. (යෙරෙමියා 20:8) එහෙත් මිනිසුන්ට පැවසීම සඳහා තමාට ලැබී තිබෙන පණිවිඩය මොනතරම් අනර්ඝද කියා මෙනෙහි කළ විට ඔහුගේ ප්‍රීතිය යළි පණගැන්විණ. යෙරෙමියා යෙහෝවාට මෙසේ පැවසුවේය. “ඔබගේ වචන සම්බවූ විට මම ඒවා කෑවෙමි; ඔබගේ වචන මට ප්‍රීතියක් සහ සිතට සතුටක් විය. මක්නිසාද, සේනාවල දෙවිවූ [යෙහෝවා], ඔබගේ නාමය මා කෙරෙහි කියනු ලැබේ.” (යෙරෙමියා 15:16) මෙසේ, දෙවිගේ වචනය මිනිසුන්ට දේශනා කිරීම සඳහා තමන්ට ලැබී තිබූ වරප්‍රසාදය ගැන යෙරෙමියා සතුටු විය. අප සම්බන්ධයෙන්ද මෙය සැබෑවක් වේ.

10. අපේ බලප්‍රදේශයේ සිටින අය දැන් සවන් නුදුන්නත් අත්නෑර දිගටම ප්‍රීතියෙන් අපිට අපේ සේවය කරගෙන යා හැක්කේ කෙසේද?

10 බොහෝදෙනෙක් ශුභාරංචිය ප්‍රතික්ෂේප කළත් අත්නෑර දිගටම ප්‍රීතියෙන් දේවසේවයෙහි නිරත වීමට අපට හොඳ හේතු තිබේ. සමහර අය තමන්ට සේවය කිරීමට තීරණය කරයි කියා දැඩි විශ්වාසයක් යෙහෝවාට තිබූ බව මතක තබාගන්න. ටිකදෙනෙක් හෝ විශ්වනීය පරමාධිපත්‍යය පිළිබඳ මත භේදයට ලක් වී තිබෙන කාරණය තේරුම්ගෙන, රාජ්‍ය පණිවිඩයට යහපත් ප්‍රතිචාරයක් දක්වයි යන බලාපොරොත්තුව යෙහෝවා මෙන් අපත් කිසිදා අත් නොහැරිය යුතුය. එමෙන්ම මිනිසුන් මුහුණපාන තත්වයන් වෙනස් වන බවද අප අමතක නොකළ යුතුය. අනපේක්ෂිත ලෙස අර්බුදකාරි තත්වයන්ට මුහුණ දීමට සිදු වන විට, කිසිම දෙයකින් අඩුවක් නැති අය පවා ජීවිතයේ අරමුණ ගැන මහත් ඕනෑකමින් කල්පනා කර බැලිය හැක. එවන් පුද්ගලයෙකු ‘ඔහුගේ ආත්මික අවශ්‍යතා ගැන සාවධානව සිටින’ විට ඔහුට උපකාර කිරීමට ඔබ සූදානම්ද? (මතෙව් 5:3NW) සමහරවිට ඔබ ඊළඟ වතාවේ ඔබේ බලප්‍රදේශයේ දේශනා කරද්දී ශුභාරංචියට සවන් දීමට කැමති කෙනෙකුව හමුවීමට පුළුවන.

11, 12. එක් නගරයක දේශනා කිරීම සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ගේ අද්දැකීම විස්තර කරන්න. එයින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

11 අපේ බලප්‍රදේශයේ සිටින අයගේ තත්වයන්ද වෙනස් විය හැක. මේ අද්දැකීම සලකා බලන්න. දරුවන් සිටින තරුණ විවාහක යුවළයන් කණ්ඩායමක් කුඩා නගරයක ජීවත් වෙමින් සිටි අතර, සාක්ෂිකරුවන් ඔවුන්ව හමුවීමට ගිය විට, ඒ සෑම කෙනෙක්ම පැවසුවේ “අපි කැමති නැහැ” කියාය. මේ පවුල් අතර කිට්ටු සබඳතාවක් තිබිණ. යම් කෙනෙක් රාජ්‍ය පණිවිඩය ගැන සොයා බලන්න උනන්දුවක් දැක්වුවා නම්, අසල්වැසියෝ එම තැනැත්තාව විගස හමු වී සාක්ෂිකරුවන් සමඟ නැවත සාකච්ඡා කරන්න එපා කියා පවසමින් එම තැනැත්තාව අධෛර්යයට පත් කළහ. එම නගරයේ දේශනා කිරීම මොනතරම් අමාරුද කියා ඔබට අමුතුවෙන් කිව යුතු නැත. කෙසේවෙතත්, සාක්ෂිකරුවෝ අත්නෑර එම නගරයේ දේශනා කළහ. එහි ප්‍රතිඵලය කුමක්ද?

12 කාලය ගතවීමත් සමඟ එම නගරයේ ජීවත් වෙමින් සිටි දරුවන් වැඩිවියට පා තබා සිටි අතර ඔවුන්ගෙන් බොහෝදෙනෙක් විවාහ වී තමන්ගේම කියා නිවසක අලුත් ජීවිතයක් ආරම්භ කළහ. තමන්ගේ ජීවිතයෙන් සැබෑ සතුටක් නොලැබෙන බව තේරුම්ගත් ඔවුන්ගෙන් සමහරදෙනෙක් සත්‍යය සොයන්න පටන්ගත්හ. සාක්ෂිකරුවන් දේශනා කළ ශුභාරංචියට යහපත් ප්‍රතිචාරයක් දැක්වීමෙන් ඔවුන්ට සත්‍යය සොයාගැනීමට හැකි විය. මෙහි ප්‍රතිඵලයක් හැටියට, එම නගරයේ තිබූ කුඩා සභාව අවුරුදු ගණනාවකට පසු වර්ධනය වීමට පටන්ගත්තේය. අත්නෑර දේශනා කළ ප්‍රචාරකයන් ලැබූ ප්‍රීතිය ගැන සිතා බලන්න! රාජ්‍යයේ ශුභාරංචිය අත්නෑර දේශනා කිරීමෙන් අපටත් එවන් ප්‍රීතියක් භුක්ති විඳීමට හැකියාව ලැබේවා!

සෙසු ඇදහිලිවන්තයන් ඔබ ළඟින් සිටියි

13. අප අධෛර්යයට පත් වන අවස්ථාවලදී සැනසිල්ල පතා අපට යා හැක්කේ කා වෙතටද?

13 ඔබ ගැටලු ප්‍රශ්නවලින් මිරිකී සිටින විට හෝ අනපේක්ෂිත ලෙස දරුණු විපතකට මුහුණ පා සිටින විට ඔබට සැනසිල්ල ලබන්න පුළුවන් කාගෙන්ද? යෙහෝවාට තම ජීවිත කැප කර සිටින දශලක්ෂ ගණනක් දෙනා මුලින්ම පිහිට පතන්නේ ඔහුගෙනි. අනතුරුව ඔවුන් උපකාරය පතන්නේ තම ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ගෙනි. පොළොව මත සිටි කාලයේදී යේසුස් තම ගෝලයන්ගෙන් තමන්ට ලැබුණු සහය ඉතා අගය කොට සැලකුවේය. “මාගේ පරීක්ෂාවලදී මා සමඟම සිටි අය නම් නුඹලාය” කියා යේසුස් මිය යෑමට කලින් රාත්‍රියේදී ඔවුන්ට පැවසුවේය. (ලූක් 22:28) තම ගෝලයන් අසම්පූර්ණ අය වුවත්, ඔවුන් තමන්ට ලැදිව සිටීම දෙවිගේ පුත්‍රයාට සැනසිල්ලක් විය. අපටද සෙසු ඇදහිලිවන්තයන්ගෙන් ශක්තිය හා සැනසිල්ල ලබාගත හැක.

14, 15. තම පුතාගේ මරණයේ වේදනාකාරි අද්දැකීමට මුහුණ දීමට එක් විවාහක යුවළකට උපකාරවත් වූයේ කුමක්ද? ඔවුන්ගේ අද්දැකීමෙන් ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

14 තම සභාවේ සහෝදර සහෝදරියන්ගේ සහය මොනතරම් වටිනවාද කියා ක්‍රිස්තියානි විවාහක යුවළක් වන මිෂෙල් හා ඩියැන් අද්දැකීමෙන් තේරුම්ගත්හ. විසිවන වියේ පසු වූ ශක්ති සම්පන්න තරුණයෙකු වූ ඔවුන්ගේ පුත් ජොනතන්ට අනාගත බලාපොරොත්තු රැසක් තිබිණ. කෙසේවෙතත්, ඔහුගේ මොළයේ පිළිකාවක් තිබෙන බවට ලක්ෂණ පහළ විය. ජොනතන්ගේ ජීවිතය ආරක්ෂා කරගැනීම සඳහා වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක් දැරුවත් එක් සැන්දෑවක ඔහුගේ තත්වය දරුණු අතට හැරුණේය. එදා ඔහු සිය අවසන් හුස්ම හෙළුවේය. මිෂෙල් හා ඩියැන් මොනතරම් ශෝකයට පත් වුවාද කියනවා නම්, එය වචනවලින් විස්තර කිරීම අසීරුය. එදින රාජ්‍ය ශාලාවේ පවත්වමින් තිබූ සේවා රැස්වීම අවසන් වෙන්න ආසන්න වෙමින් තිබූ බව ඔවුන් වේලාව බලන විට මතක් විය. මේ අවස්ථාවේදී ශෝකයෙන් ගිලී සිටියත්, රාජ්‍ය ශාලාවට තමන්ව රැගෙන යන්න කියා තමන් සමඟ සිටි වැඩිමහල්ලාගෙන් ඔවුන් ඉල්ලා සිටියේය. ඔවුන් රාජ්‍ය ශාලාවට පැමිණියේ ජොනතන්ගේ මරණය ගැන සභාවට නිවේදනය කළ වේලාවේදීමයි. රැස්වීමෙන් පසු සහෝදර සහෝදරියෝ දෑස්වල කඳුළු පුරෝගෙන සිටි මේ දෙමාපියන්ව වට කරගෙන ඔවුන්ට සැනසිල්ල ගෙන දෙන අයුරින් කතා කළහ. පසුව ඒ අවස්ථාව සිහිපත් කරමින් ඩියැන් මෙසේ පැවසුවාය. “අපි රාජ්‍ය ශාලාවට එනකොට අපිට තිබුණු දුක කියල නිම කරන්න බැහැ. ඒත් අපේ සහෝදර සහෝදරියන්ගෙන් ලැබුණු ශක්තිය නිසා අපේ දුක තුනී වුණා. අපේ දුක නැති කරල දාන්න ඔවුන්ට බැරි වුණත්, ඒ අවස්ථාවේදී අපිට දැනුණු දුක දරා ගන්න එයාලා අපිට උදව් කළා.”—රෝම 1:11, 12; 1 කොරින්ති 12:21-26.

15 තමන්ට මුහුණ දීමට සිදු වූ වේදනාකාරි අද්දැකීම නිසා මිෂෙල්ට හා ඩියැන්ට තම ආත්මික සහෝදර සහෝදරියන්ට වඩාත් ළංවීමට හැකි විය. එපමණක්ද නොව, ඔවුන් දෙදෙනාටද එකිනෙකාට වඩාත් කිට්ටු වීමට එය හේතුවක් විය. මේ ගැන මිෂෙල් මෙසේ පැවසුවේය. “මම මගේ භාර්යාවට වෙනදාටත් වඩා වැඩියෙන් ආදරය කරන්න පටන්ගත්තා. අධෛර්යයට පත් වන අවස්ථාවලදී අපි දෙන්න එකතු වෙලා බයිබල් සත්‍යයන් ගැනත් යෙහෝවා අපව උසුලන ආකාරය ගැනත් කතා කරනවා.” ඩියැන් තම අදහස් පළ කරමින් මෙසේ පැවසුවාය. “දැන් රාජ්‍ය බලාපොරොත්තුව අපට වෙනදාටත් වඩා ස්ථිරයි.”

16. අපෙන් අසන තෙක් බලා නොසිට අපේ අවශ්‍යතාවන් ගැන අපේ සහෝදරයන්ට පැවසීම සුදුසු දෙයක් වන්නේ මන්ද?

16 අපේ ජීවිතයේ දුෂ්කර අවස්ථාවලදී සෙසු සහෝදර සහෝදරියන් අපට “ශක්තිය සපයන ආධාරකයන්” වෙමින් අපේ ප්‍රීතිය දිගටම පවත්වාගැනීමට උපකාර කළ හැක. (කොලොස්සි 4:11NW) අපේ සිත්වල තිබෙන දේවල් ඔවුන්ට දැනගත නොහැක. එනිසා අපට උපකාරය අවශ්‍ය කරන අවස්ථාවලදී, ඒ බව ඔවුන්ට පැවසීම සුදුසුයි. එයට ප්‍රතිචාරයක් හැටියට අපේ සහෝදර සහෝදරියන් සැනසිල්ල සපයන ආකාරය කුමක් වුවත්, එය යෙහෝවාගෙන් ලැබෙන දෙයක් ලෙස සලකමින් අපේ අවංක අගය ප්‍රකාශ කළ හැක.—හිතෝපදේශ 12:25; 17:17.

ඔබේ සභාව දෙස නෙත් යොමු කරන්න

17. එක් තනි මාපියෙකුට මුහුණ දීමට සිදු වී තිබෙන අභියෝග මොනවාද? ඇය හා සමාන තත්වයන්ට මුහුණ දෙන අයව අප සැලකිය යුත්තේ කෙසේද?

17 ඔබ සෙසු ඇදහිලිවන්තයන් දෙස මහත් ඕනෑකමින් බලන විට, ඔවුන්ව වෙනදාට වඩා වැඩියෙන් අගය කිරීමට ඔබට හැකි වන අතර, ඔවුන් සමඟ ඇසුරු කිරීමෙන් ප්‍රීතිය භුක්ති විඳිය හැකි බවද ඔබට වැටහෙනු ඇත. ඔබේ සභාව දෙස නෙත් යොමු කරන්න. ඔබට දක්නට තිබෙන්නේ මොනවාද? සත්‍යය මාර්ගයේ තම දරුවන්ව හදාවඩා ගැනීමට දැඩි වෙහෙසක් දරන තනි මාපියෙකු ඔබේ අවධානයට යොමු වනවාද? ඇය තබන කදිම ආදර්ශය කෙරෙහි ඔබ වැඩි අවධානයක් යොමු කර තිබෙනවාද? ඇය මුහුණ දෙන ගැටලුවලින් සමහරක් ගැන සිතා බලන්න. තනිකම, රැකියා ස්ථානයේ පුරුෂයන් කරන නුසුදුසු යෝජනා හා දැඩි ආර්ථික අපහසුතා එම ගැටලුවලින් සමහරක් බව තනි මාපියෙකු වන ජෙනීන් පවසයි. එක් එක් දරුවාට ඔහුටම ආවේනික වූ ගතිලක්ෂණ තිබෙන නිසා ඔවුන්ගේ හැඟීම් තේරුම්ගෙන, ඒ අනුව කටයුතු කිරීම තමාට මුහුණ දීමට සිදු වන දුෂ්කරම දෙය බව ඇය පවසයි. තමන් මුහුණ දෙන තවත් ගැටලුවක් ගැන ඇය මෙසේ සඳහන් කරයි. “ස්වාමිපුරුෂයා නැති අඩුව පුරවාගැනීම සඳහා පුතාව පවුලේ මූලිකයා හැටියට සැලකීමට ඇති වන පෙලඹීම පාලනය කරගන්න එක හරිම අමාරු දෙයක්. මට දුවෙකුත් ඉන්නවා. මගේ පෞද්ගලික ගැටලු ඇයට පවසමින් ඇයව අනවශ්‍ය ලෙස පීඩනයකට පත් නොකරන්නත් වගබලාගන්න ඕනෙ. ඒකත් ලෙහෙසි දෙයක් නෙමෙයි.” සාක්ෂිකරුවන් අතර සිටින දේවභක්තික තනි මාපියන් දහස් ගණනක් දෙනා මෙන් ජෙනීන්ද තම දූදරුවන් රැකබලා ගනිමින් ඔවුන්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතා සැපයීමට රැකියාවක් කරයි. එපමණක්ද නොව ඇය දරුවන් සමඟ බයිබල් පාඩමක්ද පවත්වයි. ඔවුන්ව දේවසේවයේ රැගෙන යමින් පුහුණු කරන අතර සභා රැස්වීම්වලටද රැගෙන එයි. (එපීස 6:4) තම අඛණ්ඩතාව රැකගැනීම සඳහා මේ පවුලේ අය දිනපතා දරන වෑයම් දැකීමෙන් යෙහෝවා මොනතරම් සතුටු වෙනවා ඇද්ද! අප අතරත් එවන් අය සිටිනවා දැකීමෙන් අපත් සතුටු වන්නේ නැද්ද?

18, 19. සභාවේ සිටින අය කෙරෙහි අපේ අගය තවත් වැඩියෙන් ප්‍රකාශ කළ හැකි ආකාරය පැහැදිලි කරන්න.

18 නැවතත් ඔබේ සභාවේ සිටින අය කෙරෙහි අවධානය යොමු කරන්න. “අත්නෑර” රැස්වීම්වලට පැමිණෙන ඇදහිලිවන්ත වැන්දඹු ස්ත්‍රීන් හා පුරුෂයන් ඔබේ අවධානයට ලක් විය හැක. (ලූක් 2:37NW) ඇතැම් අවස්ථාවලදී ඔවුන්ට තනිකමක් දැනෙනවාද? ඔව්, තම කලත්‍රයාගේ වියෝවීම නිසා කියා නිම කළ නොහැකි තනිකමක් ඔවුන්ට දැනෙන්න පුළුවන. එහෙත් ඔවුහු ක්‍රියාශීලීව යෙහෝවාට සේවය කරමින් අන් අය කෙරෙහිද සැලකිල්ලක් දක්වති. ඔවුන්ගේ මෙම ස්ථිර හා ඒකාන්ත ආකල්පය සභාවේ සිටින අයගේ ප්‍රීතිය තවත් වැඩි කරවයි. අවුරුදු 30කට වඩා වැඩි කාලයක් පූර්ණ කාලීන සේවයේ නියැලී සිටින සහෝදරියක් මෙසේ අදහස් පළ කළාය. “අවුරුදු ගණනාවක සිට බොහෝ දුෂ්කරතා මැද තවමත් යෙහෝවාට ඇදහිලිවන්තව සේවය කරන වයසක සහෝදර සහෝදරියන්ව දකින විට මට ලොකු සතුටක් දැනෙනවා.” ඇත්තෙන්ම, අප අතර සිටින වැඩිහිටි සහෝදර සහෝදරියන් යෞවනයන්ට මහත් දිරිගැන්වීමකි.

19 මෑතක සිට සභා රැස්වීම්වලට පැමිණෙන නවකයන් ගැන කුමක් කිව හැකිද? ඔවුන් රැස්වීම්වලදී අදහස් දක්වමින් තම ඇදහිල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන විට එයින් අපත් දිරිගැන්වීමක් ලබන්නේ නැද්ද? ඔවුන් බයිබලය පාඩම් කරන්න පටන්ගත් දා සිට ලබා තිබෙන වර්ධනය ගැන සිතන්න. ඔවුන් ගැන යෙහෝවා සතුටු වනවාට කිසිම සැකයක් නැත. ඔහු මෙන් අපත් ඒ ගැන සතුටු වනවාද? ආත්මිකව දියුණු වීමට ඔවුන් දරන වෑයම් පැසසුමට ලක් කරමින් අපි ඔවුන්ව අගය කරනවාද?

20. සභාවේ සිටින සෑම කෙනෙකුගේ අතින්ම වටිනා කාර්යයක් ඉටු වන බව පැවසිය හැක්කේ මන්ද?

20 ඔබ විවාහ වී සිටින කෙනෙක්ද? නැත්නම් තනිකඩයෙක් හෝ තනි මාපියෙක්ද? ඔබ පියා හෝ මව නැති දරුවෙක්ද? ඔබ වැන්දඹු පුරුෂයෙක් හෝ ස්ත්‍රියක්ද? ඔබ බොහෝ කාලයක සිට සභාව සමඟ ඇසුරු කරන කෙනෙක්ද නැත්නම් මෑතක සිට සභාව සමඟ ඇසුර කරන්න පටන්ගත් කෙනෙක්ද? ඔබ කුමන තත්වයක සිටියත් විශ්වාසවන්තව යෙහෝවාට සේවය කරමින් ඔබ තබන කදිම ආදර්ශය අප සියලුදෙනාටම මහත් දිරිගැන්වීමක් බව අමතක නොකරන්න. රැස්වීම්වලදී ගීතිකා ගායනා කරද්දී ඔබේ හඬත් එයට එක් කරන විටද, ඔබ අත උස්සා අදහසක් දක්වන විටද, දිව්‍යාණ්ඩු සේවා පාසැලේ කතාවක් දෙන විටද, අපේ සතුට වැඩි වන්නේය. වඩාත්ම වැදගත් දෙය වන්නේ ඔබ කරන එවන් දේවල් නිසා යෙහෝවාගේ සිත සතුටු වීමයි.

21. අපට හොඳ හේතු බොහොමයක් තිබෙන්නේ කුමක් කරන්නද? එහෙත් මෙහිදී පැනනඟින ප්‍රශ්න මොනවාද?

21 ගැටලුවලින් පිරි මේ කාලයේදී පවා අපේ සන්තෝෂවත් දෙවිට ප්‍රීතියෙන් සේවය කරන්න අපට පුළුවන. පාවුල්ගේ මෙම දිරිගැන්වීම සිතට ගැනීමට අපට හොඳ හේතු රාශියක් තිබේ. ‘සුවසේ [දිගටම ප්‍රීතියෙන්, NW] සිටින්න. එවිට ප්‍රේමයේ හා සමාදානයේ දෙවි නුඹලා සමඟ සිටින්නේය.’ (2 කොරින්ති 13:11) කෙසේවෙතත්, යම් ස්වාභාවික විපතකට, හිංසා පීඩාවලට හෝ දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට අපට සිදු වී තිබෙනවා නම් කුමක් කිව හැකිද? එවන් දුෂ්කර තත්වයන් මැද පවා අපේ ප්‍රීතිය දිගටම පවත්වාගත හැකිද? ඊළඟ ලිපිය සලකා බලන විට ඔබටම පුළුවන් යම් නිගමනයකට එළඹෙන්න.

[පාදසටහන්වල]

a යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්, it) නමැති පොතේ 2වන කාණ්ඩයේ 119වන පිටුව බලන්න.

ඔබට උත්තර දිය හැකිද?

• ප්‍රීතිය විස්තර කර තිබෙන්නේ කෙසේද?

• දිගටම ප්‍රීතියෙන් සිටීමට ඒකාන්ත ආකල්පයක් ඇතුව සිටීම උපකාරවත් වන්නේ කෙසේද?

• අපේ සභා බලප්‍රදේශය ගැන ඒකාන්ත ආකල්පයක් ඇතුව සිටීමට අපට උපකාරවත් විය හැක්කේ කුමක්ද?

• ඔබේ සභාවේ සිටින සහෝදර සහෝදරියන්ව ඔබට අගය කළ හැක්කේ කිනම් ආකාරවලින්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූර]

අපේ බලප්‍රදේශයේ සිටින මිනිසුන්ගේ තත්වයන් වෙනස් විය හැකියි

[12වන පිටුවේ පින්තූරය]

ඔබේ සභාවේ සිටින අය මුහුණ දෙන අභියෝග මොනවාද?