Skip to content

පටුනට යන්න

භූත ආත්මයන්ගේ පිහිට පැතීම සැබෑ අධ්‍යාත්මයට මඟද?

භූත ආත්මයන්ගේ පිහිට පැතීම සැබෑ අධ්‍යාත්මයට මඟද?

භූත ආත්මයන්ගේ පිහිට පැතීම සැබෑ අධ්‍යාත්මයට මඟද?

මිනිස් අවශ්‍යතා, භෞතික එනම් පෙනෙන දේවලට පමණක් සීමා වී නැත. අප තුළ ගැඹුරු අධ්‍යාත්මික කාරණා පිළිබඳව ප්‍රශ්න හටගන්නේ එනිසාය. මෙයට නිදසුන් වශයෙන් ජීවිතයේ අරමුණ කුමක්ද? මිනිසා දුක් විඳින්නේ මන්ද? මරණයෙන් පසුව කුමක් සිදු වේද වැනි ප්‍රශ්න සඳහන් කළ හැක. මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු සොයන අවංක සිතැති බොහෝදෙනෙකු සිතන්නේ මළවුන් සමඟ කතා කිරීමෙන් තම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත හැකියි කියාය. මළවුන් භූත ආත්ම බවට පත් වී ඇති බව විශ්වාස කරන ඔවුහු, මෙම භූත ආත්ම සමඟ සම්බන්ධ වීමට ආත්ම බන්ධනකරුවන්ගෙන් පිහිට පතති. මේ ආකාරයට ආත්ම බන්ධන ක්‍රියාවල නිරත වීම හඳුන්වන්නේ භූතවාදය වශයෙනි.

ලෝකයේ බොහෝදෙනෙකු භූතවාදයේ නිරත වන අතර ඇතමෙක් තම භූතවාදී ක්‍රියාවන් සිදු කිරීම සඳහා පල්ලියකට හෝ වෙන යම් පූජනීය ස්ථානයකට රැස් වෙති. අපි දැන් මොහොතකට බ්‍රසීලය වෙතට අවධානය යොමු කරමු. එම රටෙහි භූතවාදයේ නියැලෙන 40,00,000ක පමණ සෙනඟක්, 19වන සියවසේ විසූ ප්‍රංශ ජාතික ප්‍රවීණයෙකු මෙන්ම දාර්ශනිකයෙකු වූ ඊපෝලීට් ලෙයොන් ඩෙනිස්යැ රීවේයි පිළියෙළ කළ ඉගැන්වීම් සංග්‍රහය අනුගමනය කරන බවට සොයාගෙන ඇත. රීවේයි, ඇලන් කාර්ඩෙක් යන ව්‍යාජ නම භාවිත කරමින් විවිධ කෘතීන් ප්‍රකාශයට පත් කළ අතර ඔහු මුල්ම වරට භූතවාදය ගැන උනන්දුවක් දැක්වූයේ 1854දීය. ඔහු තම සිතේ පහළ වූ විවිධ ප්‍රශ්න ආත්ම බන්ධනකරුවන් සමඟ සාකච්ඡා කරමින් තම දැනුම පුළුල් කරගත්තේය. මෙලෙස රැස් කරගත් තොරතුරු 1857දී ප්‍රකාශයට පත් කළ භූත ආත්ම නමැති තම කෘතියෙහි ඔහු ඇතුළත් කළේය. ආත්ම බන්ධනකරුවන් සහ ශුභාරංචිය භූතවාදයේ ඇසින් යන කෘතීන්ද ඔහු විසින් ලියන ලදි. (සිංහලට පරිවර්තනය කර නොමැත)

වූඩු, මායා කර්මය, අනවින සහ සාතන් වන්දනාව වැනි දේවල් භූතවාදයේ විවිධ අංග වේ. කෙසේවෙතත්, ඇලන් කාර්ඩෙක්ගේ අනුගාමිකයන් පවසන්නේ ඔවුන් එවැනි දේවල නිරත වන්නේ නැති බවය. ඔවුන්ගේ පොත් පත්වල නිතරම පාහේ බයිබල් පාඨ කියවීමට ඇති අතර ඔවුන් යේසුස්ව පිළිගන්නේ “සියලුම ජනයාගේ ගුරු සහ ආදර්ශකයා” ලෙසය. එමෙන්ම ඔවුහු යේසුස්ගේ ඉගැන්වීම් “දෙවිගේ ව්‍යවස්ථාවේ වඩාත්ම නිර්මල පැහැදිලි කිරීම” වශයෙන්ද පිළිගනිති. තවද ඇලන් කාර්ඩෙක් විශ්වාස කළේ ආත්ම බන්ධනය පිළිබඳ ලියවිලි දෙවි මනුෂ්‍යවර්ගයාට දී ඇති තුන්වන එළිදරව්ව බවය. ඔහු පළමුවෙනි එළිදරව්ව මෝසෙස්ගේ ඉගැන්වීම් වශයෙන්ද දෙවෙනි එළිදරව්ව යේසුස්ගේ ඉගැන්වීම් වශයෙන්ද නම් කළේය.

භූතවාදය බහුතරයකගේ සිත්ගන්නේ එය අසල්වැසි ප්‍රේමයට හා පුණ්‍ය කටයුතුවලට දිරි දෙන නිසාය. භූතවාදීන්ගේ එක් විශ්වාසයක් වන්නේ “පුණ්‍ය කටයුතුවල නිරත වීමෙන් තොරව ගැළවීමක් ලැබිය නොහැකි” බවයි. එමනිසා ඔවුන් සමාජ සේවය වෙනුවෙන් තම කාලය, ශ්‍රමය කැප කරමින් රෝහල්, පාසැල් හා වෙනත් ආයතන පිහිටුවීමට අත හිත දෙන්නේය. ඔවුන්ගේ වෑයම් අප අගය කළ යුතු බව ඇත්තයි. එහෙත්, ඔවුන්ගේ විශ්වාසයන් බයිබලයේ සඳහන් කර ඇති යේසුස්ගේ ඉගැන්වීම්වලට එකඟ වේද? අපි දැන් මළවුන්ට ඇති බලාපොරොත්තුව හා දුක් වේදනා ඇතිවීමට හේතුව පිළිබඳව භූතවාදීන් විශ්වාස කරන දේ බයිබලයේ ඉගැන්වීම් සමඟ සසඳා බලමු.

මළවුන්ට ඇත්තේ කිනම් බලාපොරොත්තුවක්ද?

බොහෝ භූතවාදීන් පුනරුත්පත්තිය විශ්වාස කරන්නේය. භූතවාදයට සම්බන්ධ එක් ප්‍රකාශනයක පවසා ඇත්තේ මෙසේය. “දිව්‍ය යුක්තිය පිළිබඳව අපේ සංකල්පයට එකඟ වන එකම ඉගැන්වීම පුනරුත්පත්තියයි. අපට අනාගතය පහදා දෙන, ජීවිතය ගැන බලාපොරොත්තුවක් ලබා දෙන එකම ඉගැන්වීම එයයි.” භූතවාදීන් විශ්වාස කරන්නේ, සමනලයෙකු කෝෂය අත්හැර යන්නාක් මෙන් මරණයේදී “අවතාරයක් බඳු යමක්” ශරීරය අත්හැර යනවා කියාය. උපත ලැබීමට සුදුසු තැනක් සොයමින් සැරිසරන අවතාරය පසු කලෙක නැවත මිනිස් ලොවේ ඉපදෙනවා කියාත්, එසේ සිදු වන්නේ පෙර ආත්මයක හෝ භවයක කළ පාප ශෝධනය කිරීම සඳහායි කියාත් ඔවුහු විශ්වාස කරති. කෙසේවෙතත්, නැවත උත්පත්තියක් ලබන එම පුද්ගලයාට තම පෙර ජීවිතයේදී කළ පාප ගැන කිසිදු මතකයක් නොමැති බව ඔවුන් පැහැදිලි කර දෙන්නේය. “දෙවියන් අතීතය වසං කිරීමට තීරණය කළා” යයි කාර්ඩෙක්ගේ එක් කෘතියක පැහැදිලි කර තිබිණ.

“පුනරුත්පත්තිය ප්‍රතික්ෂේප කිරීම ක්‍රිස්තුස්ගේ වචන ප්‍රතික්ෂේප කිරීමකි” කියා ඇලන් කාර්ඩෙක් තවදුරටත් අදහස් දැක්වීය. කෙසේවෙතත්, යේසුස් “පුනරුත්පත්තිය” යන වචනය සඳහන් කළේවත් එවැනි සංකල්පයක් ගැන කතා කළේවත් නැත. (22 පිටුවේ ඇති “බයිබලය පුනරුත්පත්තිය පිළිබඳ ඉගැන්වීමට දිරි දෙයිද?” යන කොටස බලන්න.) යේසුස් කතා කළේ මළවුන්ගේ නැවත නැඟිටීම ගැනය. ඇත්තෙන්ම, ඔහු මිහිපිට සිටියදී තුන්දෙනෙකුවම නැවත නැඟිටෙවූ බව වාර්තා වේ. එනම්, නායින් නුවර වැන්දඹුවකගේ පුත්‍රයා, සිනගෝගයේ මුලාදෑනියෙකුගේ දියණිය සහ ඔහුගේ කිට්ටු මිතුරෙකු වූ ලාසරුස්ය. (මාර්ක් 5:22-24, 35-43; ලූක් 7:11-15; යොහන් 11:1-44) යේසුස් “නැවත නැඟිටීම” යන්නෙන් අදහස් කළේ කුමක්ද කියා සොයා බැලීමට ඔහු එවන් ආශ්චර්යයක් සිදු කළ එක් අවස්ථාවක් සලකා බලමු.

ලාසරුස්ගේ නැවත නැඟිටීම

තම මිත්‍ර ලාසරුස් අසනීපයෙන් පෙළන බව යේසුස්ට ආරංචි විය. දින දෙකක් ගත වූ පසු, “අපගේ මිත්‍රවූ ලාසරුස් සැතපී ඉන්නේය; ඔහු පුබුදුවන පිණිස යමි” කියා යේසුස් තම ගෝලයන්ට පැවසුවේය. යේසුස් කී දේ ගෝලයෝ වටහා නොගත්හ. එමනිසා “ලාසරුස් මැරිලාය” කියා ඔහු පැහැදිලිව ප්‍රකාශ කළේය. යේසුස් ලාසරුස්ගේ නිවසට පැමිණෙන විට ඔහු මිය ගොස් දවස් හතරක්ම ගත වී තිබිණ. කෙසේවෙතත්, සොහොන් ගේ මත හේත්තු කර තිබූ ගල අහකට ගන්නයයි යේසුස් අණ දුන්නේය. ඉන් අනතුරුව ඔහු “ලාසරුස් පිටතට එන්න” කියා මහත් ශබ්දයකින් කීවේය. එවිට අදහාගන්න බැරි දෙයක් සිදු විය. “මැරී සිටි තැනැත්තේ පිටතට ආවේය; ඔහුගේ අත්පා වස්ත්‍රවලින් බැඳ මුහුණද රෙදිකඩකින් ඔතා තිබුණේය. මොහු මුදා යන්ට හරින්නැයි [යේසුස්] ඔවුන්ට [කීවේය].”—යොහන් 11:5, 6, 11-14, 43, 44.

මෙහිදී පුනරුත්පත්තියක් සිදු නොවූ බව ඉතා පැහැදිලිය. යේසුස් පැවසුවේ මිය ගිය ලාසරුස් සැතපී සිටින බවයි. එනම්, සිහි නැති තත්වයක සිටිනවා යන්නයි. බයිබලය පැහැදිලි කරන ආකාරයට ‘ඔහුගේ කල්පනාව නැති වී’ ගොස් තිබූ අතර, ඔහු සිටියේ ‘කිසිවක් නොදන්නා’ තත්වයකයි. (ගීතාවලිය 146:4; දේශනාකාරයා 9:5) ලාසරුස්ව නැවත නැඟිටුවන විට පුනරුත්පත්තියේදී සිදු වෙනවායයි පැවසෙන ආකාරයේ දෙයක් සිදු වූයේ නැත. නැවත ජීවනය ලැබුවේ වෙනත් පුද්ගලයෙකු නොව ලාසරුස්මය. ඔහුගේ පෞද්ගලිකත්වය, වයස සහ මතකයන් කිසිදු ආකාරයකින්වත් වෙනස් වී තිබුණේ නැත. ඔහු වියෝ දුකින් පෙළුණු තම ප්‍රේමනීයයන් සමඟ නැවත එක් වී මිය යෑමට කලින් ගත කළ ජීවිතයම යළි ආරම්භ කළේය.—යොහන් 12:1, 2.

පසු කලෙක, ලාසරුස් නැවත මැරුණේය. එසේ නම්, ඔහුව නැවත නැඟිටීමෙන් ඉටු වූයේ කුමක්ද කියා ප්‍රශ්නයක් පැනනැඟිය හැක. යේසුස් කළ අනිත් නැවත නැඟිටීම් මෙන්ම එයද, තම ඇදහිලිවන්ත සේවකයන්ව අනාගතයේදී නැවත නැඟිටුවන බවට යෙහෝවා දී ඇති පොරොන්දුව කෙරෙහි අපේ විශ්වාසය ගොඩනංවයි. තවද යේසුස් සිදු කළ එම ආශ්චර්යයන් ඔහු පැවසූ මෙම වදන්වල සත්‍යතාව තහවුරු කරයි. “නැවත-නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත්වන්නේය.”—යොහන් 11:25.

අනාගතයේදී සිදු කරන එම නැවත නැඟිටීම ගැන යේසුස් මෙසේ පැවසුවේය. “සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ, යහපත්කම් කළාහු ජීවනයේ නැවත-නැගිටීමටත් නපුරුකම් කළාහු විනිශ්චයේ නැවත-නැගිටීමටත් පිටත්ව එන්නෝය.” (යොහන් 5:28, 29) ලාසරුස් නමැති පුද්ගලයා නැවත නැඟිටුණාක් මෙන්ම අනාගතයේදීද මිය ගිය පුද්ගලයන්ගේ නැවත නැඟිටීමක් සිදු වනු ඇත. මෙහිදී, කුණු වී ක්‍රමක්‍රමයෙන් වෙනත් ජීවීන්ගේ කොටස් බවට පත් වූ මළ සිරුරු යළි පණගන්වා ඒවාට අවතාරයක් වැනි යමක් ඇතුල් කිරීම සිදු නොවේ. ඇත්තෙන්ම, අසීමිත ප්‍රඥාවක් මෙන්ම බලයක් ඇති විශ්වයේ මැවුම්කරුට මළවුන්ව නැඟිටුවීම අපහසු කාර්යයක් නොවේ.

නැවත නැඟිටීම පිළිබඳ යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම තුළින් එක් එක් පුද්ගලයන් කෙරෙහි දෙවි දක්වන ප්‍රේමය හෙළි වන්නේ නැද්ද? දැන් කලින් සඳහන් කළ දෙවෙනි ප්‍රශ්නයට අපේ අවධානය යොමු කරමු.

අප දුක් විඳින්නේ ඇයි?

බොහෝවිට, මිනිස් දුක් වේදනාවලට හේතුව වන්නේ බුද්ධිය පාවිච්චි නොකරන, අද්දැකීම් නොලත්, දුෂ්ට මිනිසුන් විසින් සිදු කරන දේවල්ය. කෙසේවෙතත්, මිනිසාට කිසිම අන්දමකින්වත් පාලනය කළ නොහැකි ඛේදජනක සිදුවීම් ගැන කුමක් කිව හැකිද? ඒවාට වගකිව යුත්තේ කවුද? හදිසි අනතුරු සිදුවීමට සහ ස්වාභාවික ආපදාවන් ඇතිවීමට හේතුව කුමක්ද? ආබාධිත දරුවන් මෙලොවට බිහි වන්නේ මන්ද? පුද්ගලයෙකු මෙවැනි දේවල් අද්දකින්නේ සිදු කළ වරදකට වන්දි ගෙවීමක් වශයෙන් කියා ඇලන් කාර්ඩෙක් විශ්වාස කළේය. “අපට දඬුවමක් ලැබී ඇත්නම් ඉන් අදහස් වන්නේ අප විසින් යම් වරදක් සිදු කර ඇති බවය. එම වරද මේ ජීවිතයේදී සිදු කළ එකක් නොවේ නම් පෙර ජීවිතයකදී සිදු කළ එකක් විය යුතුය” කියා ඔහු ලීවේය. එබැවින් භූතවාදීන් මෙසේ යාච්ඤා කිරීමට පුරුදු වී තිබේ. “ස්වාමිනි, ඔබ අතේ කිසිදු අයුක්තියක් නොමැත. ඔබ මා කෙරෙහි පමුණුවා ඇති මෙම විපත්තිය මට ලැබිය යුත්තකි . . . අතීතයේ සිදු කළ පාපවලට වන්දියක් වශයෙන්ද, ඔබ තුමාගේ යහපත් කැමැත්තට මා තුළ ඇති පක්ෂපාතකම පරීක්ෂා කිරීමක් වශයෙන්ද පිළිගනිමින් මම එයට බැගෑපත්ව යටත් වන්නෙමි.”—ශුභාරංචිය භූතවාදයේ ඇසින්.

යේසුස් එවැනි දෙයක් ඉගැන්වූයේ නැත. “කාලයත් හදිසි කාරණාත් ඔවුන් සියල්ලන්ට [සිද්ධ වෙනවා]” යන ශුද්ධ ලියවිලි පාඨය ඔහු හොඳින් දැන සිටියේය. (දේශනාකාරයා 9:11) ඇතැම් අවස්ථාවලදී කිසිම හේතුවක් නොමැතිව නරක දේවල් සිදු වන බවත්, ඒවා සැමවිටම පාපවලට දඬුවමක් වශයෙන් සිදු නොවන බවත් ඔහු දැන සිටියේය.

යේසුස් මිහිපිට සිටියදී සිදු වූ එක් සිද්ධියක් සලකා බලන්න. ‘[යේසුස්] යද්දී, උපන්දා පටන් අන්ධ වූ මනුෂ්‍යයෙකුව දුටුවේය. ඔහුගේ ගෝලයෝ: රබ්බි, මොහු අන්ධව ඉපදීමට පව් කළේ කවුද? මොහුද? මොහුගේ මවුපියෝදැයි ඇසුවෝය. යේසුස් උත්තර දෙමින්: දෙවිගේ ක්‍රියා මොහු කෙරෙහි ප්‍රකාශ වන පිණිස මිස මොහුවත් මොහුගේ මවුපියන්වත් පව් කළ නිසා නොවේ. ඔහු මෙසේ කියා බිමට කෙළ ගසා, එයින් මඩ සාදා ඒවා ඔහුගේ ඇස්වල ගා: නුඹ ගොස් සිලෝවම් පොකුණෙන් සෝදාගන්නැයි ඔහුට කීවේය. එවිට ඔහු ගොස් සෝදාගෙන පෙනීම ලැබ ආවේය.’—යොහන් 9:1-3, 6, 7.

එම මනුෂ්‍යයා උපතෙන්ම උරුම කරගත් ආබාධය ගැන ඔහුවත් ඔහුගේ දෙමව්පියන්වත් වගකිව යුතු නැති බව යේසුස්ගේ වදන්වලින් පැහැදිලි වේ. එමෙන්ම, එම මනුෂ්‍යයා පෙර ජීවිතයකදී කළ යම් පාපයකට වන්දි ගෙවීමක් වශයෙන් එය සිදු වූවායයි කියන අදහසට යේසුස් කොහෙත්ම අනුබල දුන්නේ නැත. සෑම මනුෂ්‍යයෙකුම පාපය උරුම කරගන්නා බව යේසුස් දැන සිටියේය. ඒත්, මනුෂ්‍යයන් උරුම කරගන්නේ ආදම්ගේ පාපය මිස, තමන් ඉපදීමට කලින් සිදු කළ පාපයක් නොවේ. ආදම්ගේ පාපය හේතුවෙන් සියලුම ජනයා ඉපදෙන්නේ ශාරීරික වශයෙන් අසම්පූර්ණවය. එමනිසා ඔවුන්ට අසනීපවලට හා මරණයට කවදා හෝ මුහුණ දීමට සිදු වේ. (යෝබ් 14:4; ගීතාවලිය 51:5; රෝම 5:12; 9:11) යේසුස්ව මෙලොවට එවන ලද්දේ එම තත්වයෙන් අපව මුදවාගැනීමටයි. යොහන් බව්තීස්ත යේසුස්ව ‘ලෝකයේ පාපය දුරු කරන දෙවිගේ බැටළු පැටියා’ කියා හැඳින්වූයේ එනිසාය.—යොහන් 1:29. a

තවද යේසුස්ට පසු කලෙක එම මනුෂ්‍යයාව සුව කිරීමට හැකි වන පිණිස දෙවි වුවමනාවෙන්ම එම මනුෂ්‍යයාව අන්ධයෙකු වශයෙන් ඉපදීමට සැලැස්සූ බවද යේසුස් කොයිම ආකාරයකින්වත් ඇඟවූයේ නැත. දෙවි එවැනි දෙයක් සිදු කළා නම් එය කොතරම් කෲර ක්‍රියාවක් වනු ඇද්ද! එපමණක්ද නොව, එය ප්‍රෝඩාවක්ද වේ. එවැනි ක්‍රියාවකින් දෙවිව ප්‍රශංසාවට ලක් වෙයි කියා අපට කොහෙත්ම සිතිය නොහැක. කෙසේවෙතත්, බයිබල් වාර්තාවට අනුව අන්ධ මනුෂ්‍යයාව සුව කිරීමෙන් ‘දෙවිගේ ක්‍රියා ප්‍රකාශ’ විය. යේසුස් කළ වෙනත් සුව කිරීම්වලින් ඔප්පු වුණාක් මෙන්ම මෙයින්ද දුක් විඳින ජනයාට දෙවි සැබවින්ම ප්‍රේම කරන බව ඔප්පු විය. එමෙන්ම නියමිත කාලයේදී දුක් වේදනා හා අසනීප නැති කරන බවට දෙවි දී තිබෙන පොරොන්දුවේ විශ්වාසවන්ත බවද එමගින් සහතික වේ.—යෙසායා 33:24.

අපේ ස්වර්ගීය පියා මනුෂ්‍යයන් වෙතට දුක් වේදනා පමුණුවනවා වෙනුවට ‘තමන්ගෙන් ඉල්ලන්නන්ට යහපත් දේවල්’ දෙන බව දැනගැනීම මොනතරම් සහනයක්ද! (මතෙව් 7:11) අපේ මහෝත්තම දෙවි අන්ධයන්ගේ ඇස් පැහැදීමට, බිහිරන්ගේ කන් ඇරීමට සහ කොර අයට මුවෙකු මෙන් දුව පැන යෑමට සලස්වනවා යන තම පොරොන්දුව ඉටු කරද්දී මොනතරම් ප්‍රශංසාවක් ලබනු ඇද්ද!—යෙසායා 35:5, 6.

සැබෑ අධ්‍යාත්මයට මඟ

“මනුෂ්‍යයා [දෙවිගේ] මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය” කියා යේසුස් පැවසුවේය. (මතෙව් 4:4) භූත ආත්මයන්ගෙන් උපකාර පැතීම සැබෑ අධ්‍යාත්මයට මඟ නොවේ. ඒ සඳහා එකම මඟ වන්නේ දේවවචනය වන බයිබලය කියවා ඒ අනුව අපේ ජීවිතය සකස් කරගැනීමය. ඇත්තෙන්ම, ඇලන් කාර්ඩෙක් දෙවිගේ ව්‍යවස්ථාවේ මුල්ම එළිදරව්ව වශයෙන් පිළිගත් ලියවිල්ලේ එවැනි ක්‍රියා එක එල්ලේ හෙළා දකියි.—ද්විතීය කථාව 18:10-13.

භූතවාදීන් ඇතුළු බොහෝදෙනෙක් දෙවිව පරමාධිපති වශයෙන්ද, සදාකාලයෙන් සදාකාලයට සිටින, පරිපූර්ණ, කරුණාවන්ත, යහපත් මෙන්ම යුක්තිගරුක තැනැත්තෙකු වශයෙන්ද පිළිගනිති. ඒත් බයිබලයෙහි දෙවි පිළිබඳව ඊට වැඩි යමක් පවසා ඇත. ඔහුට යෙහෝවා යනුවෙන් පෞද්ගලික නාමයක් ඇති බවත්, යේසුස් කළාක් මෙන් අප එම නාමයට ගරු කළ යුතු බවත් එහි සඳහන් වේ. (මතෙව් 6:9; යොහන් 17:6) දෙවි සැබෑ පුද්ගලයෙකු බවත් මනුෂ්‍යයන්ට ඔහු සමඟ කිට්ටු සබඳතාවක් භුක්ති විඳිය හැකි බවත් එහි තවදුරටත් පැහැදිලි කර ඇත. (රෝම 8:38, 39) අප බයිබලය කියවද්දී දෙවි දයාන්විතයි කියාත්, ‘අපේ පාපවල ප්‍රකාරයට අප කෙරෙහි ක්‍රියා නොකරන, අපේ අයුතුකම්වල ප්‍රකාරයට විපාක නොදෙන’ කෙනෙකු කියාත් අපට දැනගන්න ලැබේ. (ගීතාවලිය 103:10) සර්වපරාක්‍රම දෙවි යෙහෝවා ඔහුගේ වචනය තුළින් තම ප්‍රේමය, උත්කෘෂ්ටභාවය හා සාධාරණත්වය හෙළි කරයි. කීකරු මනුෂ්‍යවර්ගයාව ආරක්ෂා කරන්නේද ඔවුන්ට මඟ පෙන්වන්නේද ඔහුය. ඇත්තෙන්ම යෙහෝවාව සහ ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස්ව දැනහඳුනා ගැනීමෙන් අපට “සදාකාල ජීවනය” අත් කරගත හැක.—යොහන් 17:3.

දෙවිගේ අරමුණු පිළිබඳව මෙන්ම ඔහුව සතුටු කිරීමට කුමක් කළ යුතුද යන්න පිළිබඳව අප දැනගත යුතු සෑම තොරතුරක්ම බයිබලයෙහි අඩංගු වේ. එමනිසා බයිබලය සුපරීක්ෂාකාරි ලෙස කියවන විට අපේ සිතෙහි පහළ වන ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන නිවැරදි පිළිතුරු ලබාගත හැක. හරි දේ කුමක්ද, වැරදි දේ කුමක්ද යන්න පිළිබඳවත් බයිබලය ස්ථිර මඟ පෙන්වීමක් සපයන අතර එය අනාගතය ගැන නොසෙල්වෙන බලාපොරොත්තුවක්ද ලබා දෙයි. දෙවි අනාගතයේදී මනුෂ්‍යවර්ගයා වෙනුවෙන් කරන්න යන්නේ කුමක්ද කියා විචිත්‍රවත් ලෙස එහි මෙසේ විස්තර කර ඇත. “[දෙවි මනුෂ්‍යයන්ගේ] ඇස්වලින් සියලු කඳුළු [පිස දමන්නේය]; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.” (එළිදරව් 21:3, 4) යෙහෝවා, උරුම වී ඇති පාපයෙන් මනුෂ්‍යයන්ව නිදහස් කරනු ලබන්නේ යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙනි. කීකරු ජනයා පාරාදීස පොළොවක සදාකල් ජීවත් වනු ඇත. ඒ කාලයේදී මිනිසා භෞතික අවශ්‍යතාවලින්ද අධ්‍යාත්මික අවශ්‍යතාවලින්ද සම්පූර්ණයෙන්ම සෑහීමට පත් වනු ඇත.—ගීතාවලිය 37:10, 11, 29; හිතෝපදේශ 2:21, 22; මතෙව් 5:5.

[පාදසටහන්වල]

a පාපය හා මරණය මෙලොවට ඇතුල් වූයේ කෙසේද කියා දැනගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති ප්‍රකාශනයේ 6වන පරිච්ඡේදය කියවන්න.

[22වන පිටුවේ කොටුව]

බයිබලය පුනරුත්පත්තිය පිළිබඳ ඉගැන්වීමට දිරි දෙයිද?

පුනරුත්පත්තිය නමැති ඉගැන්වීමට බයිබලය අනුබල දෙනවාද? පුනරුත්පත්තිය විශ්වාස කරන ඇතමෙකු පිළිගන්නේ එය ඊට අනුබල දෙන බවයි. ඔවුන් ගෙනහැර දක්වන බයිබල් පාඨ කිහිපයක් සලකා බලන්න.

“සියලු අනාගතවක්තෘවරුද ව්‍යවස්ථාවද යොහන් දක්වා අනාගතවාක්‍ය කීවෝය. . . . එන්ට සිටින එලියා මොහුය.”—මතෙව් 11:13, 14.

යොහන් බව්තීස්ත පුනරුත්පත්තියක් ලැබූ එලියාද? “නුඹ එලියාද” කියා යොහන්ගෙන් ඇසූ විට “එසේ නොවේ” කියා ඔහු ඉතා පැහැදිලිව පිළිතුරු දුන්නේය. (යොහන් 1:21) යොහන් “එලියාගේ ආත්මයෙන්ද බලයෙන්ද” මෙසියස්ට පෙරටුව යන බව පුරෝකථනය කර තිබිණ. (ලූක් 1:17; මලාකී 4:5, 6) එසේ නම්, යොහන් බව්තීස්තව එලියා කියා හැඳින්වීමට හේතු වූයේ ඔහු එලියා කළා හා සමාන පැවරුමක් ඉටු කළ නිසාය.

යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවිගේ රාජ්‍යය දකින්ට නොහැකියයි ඔහුට කීවේය. නුඹලා අලුතෙන් උපදින්ට ඕනෑයයි මා කීවාට පුදුම නොවන්න.’—යොහන් 3:3, 7.

පසු කලෙක යේසුස්ගේ ප්‍රේරිතයෙක් මෙසේද ලීවේය. ‘අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස්ගේ පිය වූ දෙවිට ප්‍රශංසා වේවා! මක්නිසාද ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස්ගේ නැවත නැඟිටීම කරණකොටගෙන ඔහු තමන්ගේ මහත් දයාව ලෙස අපව නැවත උත්පාදනය කළේය.’ (1 පේතෘස් 1:3-6; යොහන් 1:12, 13) යේසුස් නැවත උත්පාදනයක් ගැන කතා කරන විට ඔහු යොමු දැක්වූයේ පුනරුත්පත්තියකට නොව, නමුත් ඔහුගේ අනුගාමිකයන් ජීවත්ව සිටියදීම ආත්මික වශයෙන් අද්දකින වෙනසක් ගැනය.

“මිය ගිය පසු මිනිසෙක් සදාකල් ජීවත් වන්නේය. මිහිපිට මාගේ ජීවිතය අවසන් වූ විට මම බලා සිටින්නෙමි. මක්නිසාද මෙලොවට යළි පැමිණෙන්නෙමි.යෝබ් 14:14හි “ග්‍රීක් පරිවර්තනයක්.” (ශුභාරංචිය භූතවාදයේ ඇසින් යන කෘතියේ දක්වා ඇති පරිදි)

සිංහල පරිවර්තනයෙහි මෙම බයිබල් පාඨය කියවීමට ඇත්තේ මෙලෙසය. “මනුෂ්‍යයෙක් මැරුණාම ඔහු නැවත ජීවත්වේද? මාගේ නිදහස පැමිණෙන තෙක්, මාගේ සටනේ සියලු දවස්වල බලා සිටින්නෙමි.” මළවුන් බලා සිටින්නේ මිනි වළෙන් තමන්ව ‘නිදහස් කරන’ තෙක් කියා අවට පාඨ කියවීමෙන් පැහැදිලි වේ. (යෝබ් 14:13වන ඡේදය) එමෙන්ම ඔවුන් බලා සිටින්නේ නොපවතින හෙවත් අජීවි තත්වයකයි. මන්ද “මනුෂ්‍යයා මැරුණොත් මැරුණා ම යි.”—යෝබ් 14:10, නව අනුවාදය.

[21වන පිටුවේ පින්තූරය]

නැවත නැඟිටීමේ බලාපොරොත්තුව දෙවි එක් එක් පුද්ගලයා කෙරෙහි ගැඹුරු සැලකිල්ලක් දක්වන බවට සාක්ෂියකි

[23වන පිටුවේ පින්තූර]

දෙවි දුක් වේදනා මුළුමනින්ම නැති කරනු ලබන්නේය