Skip to content

පටුනට යන්න

යෙහෝවාට දිගටම ප්‍රීතියෙන් සේවය කරන්න

යෙහෝවාට දිගටම ප්‍රීතියෙන් සේවය කරන්න

යෙහෝවාට දිගටම ප්‍රීතියෙන් සේවය කරන්න

“[ස්වාමීන්] තුළ නිතරම ප්‍රීතිවෙන්න. ප්‍රීතිවෙන්නැයි නැවතත් කියමි.”—පිලිප්පි 4:4.

1, 2. තමන් සතු සෑම දෙයක්ම අහිමි වුවත් තම ප්‍රීතිය අහිමි කර නොගැනීමට එක් ඇදහිලිවන්ත පවුලකට හැකි වූයේ කෙසේද?

 සියරා ලියොන්හි ජීවත් වන හැත්තෑ හැවිරිදි ක්‍රිස්තියානියෙකු වන ජේම්ස් ඔහුගේ ජීවිත කාලය පුරාම වෙහෙස මහන්සි වී වැඩ කළේය. තමන් ඉතිරි කරගත් මුදලින් කාමර හතරක් සහිත චාම් නිවසක් මිල දී ගත් විට ඔහුට ඇති වූයේ කියා නිම කළ නොහැකි සතුටකි. කෙසේවෙතත්, ජේම්ස් ඔහුගේ පවුලේ අය සමඟ එම නිවසේ පදිංචි වී ටික කලකට පසු එම රටේ සිවිල් යුද්ධයක් ඇති විය. එම යුද්ධය නිසා ඔවුන්ගේ නිවස ගිනිබත් විය. ඔවුන්ගේ නිවස ඔවුන්ට අහිමි වුවත්, ඔවුන්ගේ ප්‍රීතිය අහිමි නොවීය. එයට හේතුව කුමක්ද?

2 ජේම්ස් හා ඔහුගේ පවුලේ අය වැඩියෙන්ම සිතුවේ තමන්ට අහිමි වූ දෙය ගැන නොව, නමුත් ඒ වන විටත් ඔවුන් සතුව තිබූ දෙය ගැනය. මේ ගැන තම අදහස් පළ කරමින් ජේම්ස් මෙසේ පවසයි. “අපි ඉතාමත් වේදනාකාරි අද්දැකීමකට මුහුණ දෙමින් සිටියත් නොකඩවා රැස්වීම්වලට ගියා. බයිබලය කියෙව්වා. එකට එකතු වෙලා යාච්ඤා කළා. අපිට තිබුණු ටික දෙය වුණත් අපි අනිත් අයත් එක්ක බෙදාගත්තා. යෙහෝවා සමඟ තිබෙන අපේ වටිනා සම්බන්ධතාව ගැන වැඩියෙන් සිතපු නිසා අපිට පුළුවන් වුණා අපේ ප්‍රීතිය දිගටම පවත්වගන්න.” තමන් භුක්ති විඳින උතුම්ම ආශීර්වාදය වන යෙහෝවා සමඟ තිබෙන සමීප සම්බන්ධතාව ඇතුළු අනෙකුත් ආශීර්වාද ගැන නිතරම සිතීම නිසා මේ ඇදහිලිවන්ත ක්‍රිස්තියානි පවුලට “දිගටම ප්‍රීතියෙන්, [NW]” සිටීමට හැකි විය. (2 කොරින්ති 13:11) එම ඛේදනීය සිද්ධියට විඳදරාගැනීමෙන් යුක්තව මුහුණ දීම ඔවුන්ට ලෙහෙසි දෙයක් නොවූ බව අමුතුවෙන් කිව යුතු නැත. කෙසේවෙතත්, ඔවුහු යෙහෝවාට කරන සේවයෙන් ලබන ප්‍රීතිය නැති කර නොගත්හ.

3. මුල් සියවසේ සිටි ඇතැම් ක්‍රිස්තියානීන් ඔවුන්ගේ ප්‍රීතිය රැකගත්තේ කෙසේද?

3 ජේම්ස්ට හා ඔහුගේ පවුලේ අයට මුහුණ දීමට සිදු වූ පීඩාවලට සමාන පීඩාවන්ට මුහුණ දීමට මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන්ටද සිදු විය. කෙසේවෙතත්, හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් ගැන මෙසේ ලිවීමට ප්‍රේරිත පාවුල්ට හැකි විය. “නුඹලාගේ දේපල කොල්ලකෑම ප්‍රීතියෙන් ඉවසුවහුය.” ඔවුන්ගේ ප්‍රීතියට හේතුව දක්වමින් පාවුල් මෙසේ සඳහන් කළේය. “වඩා උතුම්වූ පවතින්නාවූ වස්තුවක් නුඹලාට ඇති බව [නුඹලා දනිහුය].” (හෙබ්‍රෙව් 10:34, අකුරු ඇල කළේ අපය) මෙයින් පැහැදිලි වන්නේ මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන්ට ස්ථිර බලාපොරොත්තුවක් තිබූ බවයි. කිසිවෙකුට කොල්ල කෑ නොහැකි සදාකල් පවතින දෙවිගේ ස්වර්ගික රාජ්‍යය තුළ “ජීවනයේ ඔටුන්න” තමන්ට හිමි වන බවට ස්ථිර බලාපොරොත්තුවක් ඔවුන්ට තිබිණ. (එළිදරව් 2:10) ක්‍රිස්තියානීන් වශයෙන් අපේ බලාපොරොත්තුව ස්වර්ගික ජීවිතය හෝ භූමික ජීවිතය හෝ වේවා අප යම් වේදනාකාරි අද්දැකීම්වලට මුහුණ දෙන විට අපේ ප්‍රීතිය රැකගැනීමට එම බලාපොරොත්තුව අපට මහත් ශක්තියක් වේ.

“බලාපොරොත්තුවෙහි ප්‍රීතිවෙන්න”

4, 5. (අ) “බලාපොරොත්තුවෙහි ප්‍රීතිවෙන්න” කියා පාවුල් රෝමවරුන්ට දුන් උපදේශය ඉතාමත් කාලෝචිත එකක් වූයේ මන්ද? (ආ) ක්‍රිස්තියානියෙකු තුළ තිබෙන රාජ්‍යයේ බලාපොරොත්තුව ඔහුගේ දෘෂ්ටියෙන් බොඳ වී යෑමට හේතු විය හැක්කේ මොනවාද?

4 සදාකාල ජීවනය නමැති “බලාපොරොත්තුවෙහි ප්‍රීතිවෙන්න” කියා ප්‍රේරිත පාවුල් සෙසු ඇදහිලිවන්තයන්ව දිරිමත් කළේය. (රෝම 12:12) ඇත්තෙන්ම රෝමවරුන් සිටි තත්වය ගැන සලකා බලන කල එම උපදේශය කාලෝචිත එකක් විය. පාවුල් විසින් එවන ලද ලිපිය ලැබීමෙන් දශකයකට වඩා අඩු කාලයක් ඇතුළත දරුණු හිංසා පීඩාවලට මුහුණ දීමට ඔවුන්ට සිදු විය. එමෙන්ම නීරෝ අධිරාජ්‍යයාගේ නියෝගය මත ඇතැමුන්ට මරණය ගෙන දෙන කුරිරු වධ හිංසාද පමුණුවන ලදි. එම හිංසා පීඩා මැද තම ස්ථාවරය රැකගැනීමට ඔවුන්ට හැකි වූයේ දෙවි පොරොන්දු කර තිබූ ජීවනයේ ඔටුන්න කෙරෙහි ඔවුන් විශ්වාසය තබා තිබූ නිසාය. අද අප මුහුණ දෙමින් සිටින දේවල් ගැන කුමක් කිව හැකිද?

5 ක්‍රිස්තියානීන් වශයෙන් හිංසා පීඩාවලට ලක්වීමට සිදු වන බව අපි දනිමු. (2 තිමෝති 3:12) එපමණක්ද නොව, අපගෙන් ඕනෑම කෙනෙකුට “කාලයත් හදිසි [කාරණාවලටත්]” මුහුණ දීමට සිදු විය හැකි බව අපි දනිමු. (දේශනාකාරයා 9:11) අපි ප්‍රේම කරන කෙනෙක් හදිසි අනතුරකින් මිය යා හැක. දරුණු රෝගයක් නිසා දෙමාපියෙකු හා කිට්ටු මිත්‍රයෙකු මරණයට පත්වීමට පුළුවන. රාජ්‍ය බලාපොරොත්තුව නිරතුරුවම අපේ මනසෙහි දීප්තිමත්ව තබාගන්නේ නැත්නම්, එවන් වේදනාකාරි අද්දැකීමකට මුහුණ දීමට සිදු වන විට අපේ ආත්මිකත්වය බිඳ වැටීමට ඉඩ තිබේ. මේ නිසා අප අපගෙන්ම මෙසේ අසාගැනීම සුදුසුයි. ‘මම “බලාපොරොත්තුවෙහි ප්‍රීති” වෙනවාද? ඒ ගැන මෙනෙහි කිරීමට නිතර කාලය ගන්නවාද? අනාගත පාරාදීසය සැබෑවක් වන බව මට ස්ථිරද? මම ඒ පාරාදීසයේ ජීවත් වෙනවා මගේ සිතේ මැවෙනවාද? මම මුලින්ම සත්‍යය දැනගත් කාලයේදී වත්මන් ක්‍රමයේ අවසානය දකින්න මා තුළ තිබූ ආශාව එදා වගේම තවමත් තිබෙනවාද?’ අන්තිමට සඳහන් කළ ප්‍රශ්නය ගැන අප බැරෑරුම් ලෙස කල්පනා කර බැලිය යුතුයි. මන්ද වර්තමානයේ අප භුක්ති විඳිමින් සිටින දේවල් දෙවිගේ නව ලොව පිළිබඳ අපේ බලාපොරොත්තුවට බලපාන බැවිනි. අප යම් ප්‍රමාණයක නිරෝගි සෞඛ්‍යයක් භුක්ති විඳින කෙනෙක් හෝ ඉහළ ආදායමක් ලබන කෙනෙක් වන්න පුළුවන. නැත්නම් අප ජීවත් වන්නේ ආහාර හිඟකම් නොමැති ප්‍රදේශයක හෝ යුද්ධවලින්වත් ස්වාභාවික විපත්තිවලින්වත් තර්ජනයක් එල්ල නොවන ප්‍රදේශයක විය හැක. අප මෙවන් තත්වයක සිටීම නිසා දෙවිගේ නව ලොව පැමිණීමේ හදිසි අවශ්‍යතාව අපේ දෘෂ්ටියෙන් බොඳ වී යෑමට ඉඩ තිබේ.

6. (අ) පාවුල් හා සීලස් දුක් පීඩා විඳිමින් සිටි අවස්ථාවේදී ඔවුන් වැඩියෙන්ම සිත යොමු කළේ කුමක් කෙරෙහිද? (ආ) පාවුල්ගේ හා සීලස්ගේ ආදර්ශය අදදින සිටින අපට දිරිගැන්වීමක් වන්නේ කෙසේද?

6 “දුක් පීඩාවලදී විඳදරාගන්න” කියා පාවුල් රෝමවරුන්ට තවදුරටත් උපදෙස් දුන්නේය. (රෝම 12:12NW) දුක් පීඩා විඳීම පාවුල්ට අමුතු දෙයක් නොවීය. “මකිදෝනියට ඇවිත්” එහි සිටින මිනිසුන්ට යෙහෝවා ගැන ඉගෙනගැනීමට උපකාර කරන්න කියා මිනිසෙක් තමාට ආරාධනා කරනවා පාවුල් දර්ශනයකින් දුටුවේය. (ක්‍රියා 16:9) එම ආරාධනාව පිළිගත් පාවුල් ලූක්වද සීලස්වද තිමෝතිවද කැටුව යුරෝපය බලා නැව් නැංගේය. මෙම ජ්වලිතවත් මිෂනාරිවරුන්ට එහිදී මුහුණ දීමට සිදු වූයේ කුමන දේවලටද? පීඩාවලටයි! මකිදෝනියේ පිහිටි නගරයක් වූ පිලිප්පියේ දේශනා කරමින් සිටි අවස්ථාවක, පාවුල්ට හා සීලස්ට හොඳටම තලා සිරගත කරන ලදි. පිලිප්පියේ සිටි සමහරු රාජ්‍ය පණිවිඩයට උදාසීන ප්‍රතිචාරයක් දැක්වුවා පමණක් නොව, දැඩි විරෝධතාද එල්ල කළහ. මෙවැනි තත්වයකට මුහුණ දීමට සිදු වූ නිසා එම ජ්වලිතවත් මිෂනාරිවරුන් ඔවුන්ගේ ප්‍රීතිය අහිමි කරගත්තාද? නැත. ඔවුන්ට තදින් පහර දී සිරගත කළත් “පාවුල්ද සීලස්ද යාච්ඤාකරමින් [දෙවිට] ගී කීවෝය.” (ක්‍රියා 16:25, 26, අකුරු ඇල කළේ අපය) මිනිසුන් තමන්ට පහර දෙන විට දැනුණ වේදනාව පාවුල්ගේ හා සීලස්ගේ ප්‍රීතියට හේතුවක් වූයේ නැති බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත්, මේ මිෂනාරිවරුන් දෙදෙනා වැඩියෙන්ම සිත යොමු කළේ ඒ වේදනාව කෙරෙහි නොව, නමුත් යෙහෝවා කෙරෙහි හා ඔහු ඔවුන්ට කර තිබූ ආශීර්වාද කෙරෙහිය. ‘දුක් පීඩා මැද [ප්‍රීතියෙන්] විඳදරාගැනීමෙන්’ පාවුල් හා සීලස් පිලිප්පියේ මෙන්ම වෙනත් ප්‍රදේශවල සිටි සහෝදරයන්ට කදිම ආදර්ශයක් තැබූහ.

7. අපේ යාච්ඤාවලට ස්තුති කිරීම ඇතුළත් විය යුත්තේ මන්ද?

7 තවද ‘යාච්ඤාවෙහි නොකඩවා පවතින්න’ කියා පාවුල් ලීවේය. (රෝම 12:12) ඔබ යම් අසහනකාරි තත්වයන්ට මුහුණ දෙන අවස්ථාවලදී යාච්ඤා කරනවාද? ඔබ යාච්ඤා කරන්නේ කුමක් ගැනද? සමහරවිට ඔබ ඔබේ ගැටලුව නිශ්චිතව සඳහන් කරමින් යෙහෝවාගේ උපකාරය ඉල්ලා යාච්ඤා කරනවා විය හැක. නමුත් ඔබේ යාච්ඤාවලදී ඔබ දැන් භුක්ති විඳිමින් සිටින ආශීර්වාදවලට ඔබේ ස්තුතියද ප්‍රකාශ කළ හැක. ගැටලුවලට මුහුණ දෙන විට යෙහෝවා අප වෙනුවෙන් කර තිබෙන යහපත් දේවල් ගැන කල්පනා කිරීම, ‘බලාපොරොත්තුවෙහි ප්‍රීතිවීමට’ අපට මහත් රුකුලකි. බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන් දාවිත් මෙසේ ලීවේය. “මාගේ දෙවිවූ [යෙහෝවා], ඔබ විසින් කළ පුදුම ක්‍රියාද, අප කෙරෙහි ඇති ඔබගේ සිතිවිලිද බොහෝය. ඒවා ඔබ ඉදිරියෙහි පිළිවෙළින් තැබිය නොහැකිය; ඒවා ප්‍රකාශකරන්ටත් ඒ ගැන කථා කරන්ටත් කැමැත්තෙමි, නුමුත් ඒවා ගණන්කරන්ට පුළුවන්වාටත් වැඩිය.” (ගීතාවලිය 40:5) දාවිත් මෙන් අපත් දෙවිගෙන් අපට ලැබී තිබෙන ආශීර්වාද ගැන නිතිපතා මෙනෙහි කරනවා නම් ප්‍රීතියෙන් සිටීම එතරම් අමාරු දෙයක් නොවන බව අපට වැටහෙනු ඇත.

දිගටම ඒකාන්ත ආකල්පයක් පවත්වාගන්න

8. ක්‍රිස්තියානියෙකු හිංසා පීඩාවලට ලක් වන විට ඔහුට දිගටම ප්‍රීතියෙන් සිටීමට උපකාරවත් වන්නේ කුමක්ද?

8 විවිධ පීඩාවලට මුහුණ දීමට සිදු වන විට නිතරම ඒකාන්ත ආකල්පයක් පවත්වාගන්න කියා සිය අනුගාමිකයන්ව දිරිමත් කරමින් යේසුස් මෙසේ පැවසුවේය. “මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩාකොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශීර්වාදලද්දෝය [සන්තෝෂවත්ය, NW].” (මතෙව් 5:11) එවන් තත්වයන් යටතේ සන්තෝෂ වීමට අපට තිබෙන හේතු මොනවාද? විරුද්ධවාදීකම් මැද ස්ථිරව සිටීමට අප සතු හැකියාව යෙහෝවාගේ ආත්මය අපට තිබෙන බවට සාක්ෂියකි. ප්‍රේරිත පේතෘස් ඔහුගේ කාලයේ සිටි සෙසු ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසුවේය. ‘ක්‍රිස්තුස්ගේ නාමය නිසා නින්දා කරනු ලබන්නහු නම් නුඹලා ආශීර්වාදලද්දහුය [සන්තෝෂවත්ය, NW]. මක්නිසාද මහිමයේ ආත්මය වන දෙවිගේ ආත්මය නුඹලා කෙරෙහි රඳන්නේය.’ (1 පේතෘස් 4:13, 14) යෙහෝවා ඔහුගේ ආත්මය මගින් විඳදරාගැනීමට උපකාර කරන නිසා අපට දිගටම ප්‍රීතියෙන් සිටීමට පුළුවන.

9. තමන්ගේ ඇදහිල්ල රැකගැනීම නිසා සිරගත වීමට සිදු වුවත් ප්‍රීතියෙන් සිටීමට තමන්ට හේතු තිබෙන බව වටහාගැනීමට සහෝදරයන් කිහිපදෙනෙකුට උපකාරවත් වූයේ කුමක්ද?

9 දරාගත නොහැකි වන තරමටම යම් වේදනාකාරි දේවලට මුහුණ දීමට සිදු වුවත් ප්‍රීතියෙන් සිටීමට අපට හොඳ හේතු තිබේ. මෙය සත්‍යයක් බව ඇඩොල්ෆ් පෞද්ගලිකව අද්දැක්කේය. ඔහු ජීවත් වන්නේ අවුරුදු ගණනාවක සිට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය වැඩකටයුතු තහනම් කර තිබෙන රටකයි. ඇඩොල්ෆ් සහ ඔහු සමඟ ඇසුරු කළ සෙසු ඇදහිලිවන්තයන් කිහිපදෙනෙකු බයිබලය මත පදනම් තම විශ්වාසයන් අත් නොහැරීම නිසා දිගු කාලයකට සිරගත කරන ලදි. සිරගෙදර ජීවිතය ඉතාමත් දුෂ්කර එකක් විය. නමුත් දෙවිට ස්තුති කිරීම සඳහා තමන්ට හොඳ හේතු තිබෙන බව පාවුල් හා සීලස් මෙන් ඇඩොල්ෆ් සහ ඔහු සමඟ ඇසුරු කළ සෙසු ඇදහිලිවන්තයෝද වටහාගත්හ. සිරගෙදර ගත කළ ජීවිතය තමන්ගේ ඇදහිල්ල තවත් ශක්තිමත් කරගැනීමට මෙන්ම ත්‍යාගශීලී වීම, සංවේදී වීම, සහෝදර සෙනෙහස යනාදි වටිනා ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරගැනීමටත් තමන්ට උපකාරවත් වූ බව ඔවුහු පැවසූහ. උදාහරණයක් හැටියට, සිරගෙදර සිටින සෙසු ඇදහිලිවන්තයෙකුට ඔහුගේ නිවසින් යම් පාර්සලයක් ලැබුණු විට ඔහු එය අනෙකුත් සහෝදරයන් සමඟ බෙදාගත්තේය. තමන්ට මේ දේවල් ලැබුණේ ‘සෑම යහපත් දීමක හා සෑම සම්පූර්ණ දීමනාවක’ උල්පත වන යෙහෝවාගෙන් බව ඔවුහු සැලකූහ. එසේ අන් අයට කරුණාව පෙන්වමින් තමන් සතු දෑ බෙදාගන්නාට මෙන්ම ඒවා ලබන්නන්ටද ප්‍රීතිය අත් විය. ඔවුන්ගේ ඇදහිල්ල බිඳ හෙළීමේ අරමුණින් ඔවුන්ව සිරගත කළත්, එහි ප්‍රතිඵලය වූයේ ඔවුන්ගේ ආත්මිකත්වය තව තවත් ශක්තිමත් වීමයි!—යාකොබ් 1:17; ක්‍රියා 20:35.

10, 11. නොකඩවා කළ ප්‍රශ්න කිරීම්වලට හා අනතුරුව නියම කරනු ලැබූ දිගු කාලීන සිර දඬුවමකට සහෝදරියක් මුහුණ දුන්නේ කෙසේද?

10 එලා නමැති ක්‍රිස්තියානි සහෝදරියත් ජීවත් වන්නේ රාජ්‍ය වැඩකටයුතු තහනම් කර තිබෙන රටකයි. ඇය ක්‍රිස්තියානියෙකු වශයෙන් ඇගේ බලාපොරොත්තුව ගැන අන් අය සමඟ කතා කරමින් සිටි නිසා ඇයව අත්අඩංගුවට ගන්නා ලදි. මාස අටක් තිස්සේ කෙළවරක් නැතිව ඇගෙන් ප්‍රශ්න කර අවසානයේදී උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේදී වසර දහයක සිර දඬුවමක් ඇයට නියම කරනු ලැබීය. ඇයව සිරගත කළ සිරගෙදර යෙහෝවාට නමස්කාර කරන කිසිවෙක් නොවීය. ඇයට සිර දඬුවම නියම කළ අවස්ථාව වන විට ඇගේ වයස අවුරුදු 24කි.

11 තමාගේ තරුණ කාලයෙන් වැඩි හරියක් මෙලෙස සිර කුටියක ගත කිරීමේ අපේක්ෂාව එලාට අමිහිරි එකක් වූ බවට කිසිම සැකයක් නැත. කෙසේවෙතත්, තමා මුහුණ දෙමින් සිටි තත්වය වෙනස් කළ නොහැකි නිසා තමාගේ ආකල්පය වෙනස් කරගැනීමට ඇය තීරණය කළාය. මේ අනුව ඇය සිරගෙය සැලකුවේ තමාට සාක්ෂි දැරීමට ලැබී තිබෙන බල ප්‍රදේශයක් ලෙසය. “මම සාක්ෂි දැරීමෙහි මොනතරම් කාර්යබහුලව සිටියාද කියනවා නම්, මට නොදැනීම කාලය වේගයෙන් ගෙවී ගියා” කියා ඇය පවසයි. අවුරුදු පහකට වඩා වැඩි කාලයකට පසු, නැවතත් ඇගෙන් ප්‍රශ්න කරන්න පටන්ගන්නා ලදි. ඇගේ ඇදහිල්ල බිඳ හෙළීමට සිරගෙයි බිත්තිවලට නොහැකි බව තේරුම්ගත්, ඇගෙන් ප්‍රශ්න කළ නිලධාරීහු ඇයට මෙසේ පැවසූහ. “අපිට ඔයාව නිදහස් කරන්න බැහැ. මොකද ඔයා වෙනස් වෙලා නැහැ.” එලා ඔවුන්ට මෙසේ පැවසුවාය. “මම වෙනස් වෙලයි ඉන්නේ! දැන් මගේ අධිෂ්ඨානය මම සිරගෙදර ගත කළ මුල් දවස්වලට වඩා හුඟක් ස්ථිරයි. ඒ විතරක් නෙමෙයි මගේ ඇදහිල්ලත් කලින් තිබුණට වඩා ශක්තිමත්!” ඇය තවදුරටත් මෙසේ පැවසුවාය. “ඔයාලා මාව නිදහස් කරන්නේ නැත්නම්, මාව නිදහස් කරන්න හොඳයි කියලා යෙහෝවා තීරණය කරන දවස එන තෙක් මම මෙහෙ ඉන්නවා.” අවුරුදු පහමාරක් සිරගත වී සිටියත් එලාගේ ප්‍රීතිය සොරාගැනීමට කිසිවකට නොහැකි විය. මුහුණ දීමට සිදු වන තත්වය කුමක් වුවත් තම ප්‍රීතිය රැකගැනීමට ඇය ඉගෙනගත්තාය. ඇගේ අද්දැකීමෙන් ඔබට යමක් ඉගෙනගත හැකිද?—හෙබ්‍රෙව් 13:5.

12. දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන ක්‍රිස්තියානියෙකුට මනසේ සාමය ලබාගත හැකි වන්නේ කුමකින්ද?

12 එවන් අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට එලාට අසාමාන්‍ය හැකියාවක් තිබුණා කියා අප නොසිතිය යුතුය. ඇයට සිර දඬුවම නියම කිරීමට කලින් ඇගෙන් ප්‍රශ්න කළ මාස කිහිපයේදී තමා මුහුණ දුන් දේවල් ගැන සඳහන් කරමින් ඇය මෙසේ පවසයි. “මට මතකයි මගේ දත් එකිනෙකට ගැටෙන්න පටන්ගත්තා. මට දැනුණේ මම හරියට බයෙන් ගුලි ගැසුණු අසරණ කුරුළු පැටියෙක් වගෙයි.” කෙසේවෙතත් යෙහෝවා කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් එලාට තිබිණ. ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් තබා කටයුතු කිරීමට ඇය ඉගෙනගත්තාය. (හිතෝපදේශ 3:5-7) මෙහි ප්‍රතිඵලයක් හැටියට වෙනදාටත් වඩා ඇයට දෙවි සැබෑ පුද්ගලයෙකු විය. ඇගේ අද්දැකීම විස්තර කරමින් ඇය තවදුරටත් මෙසේ පැවසුවාය. “ප්‍රශ්න කරන කාමරයට මම ඇතුල් වුණ හැම වතාවකම මගේ සිත සාමකාමීව තිබූ බව මට දැනුණා. . . . තත්වය වඩාත් දරුණු අතට හැරෙනකොට ඒ ඇතුළාන්ත සාමය තවත් වැඩි වුණා.” මෙම සාමයේ උල්පත වූයේ යෙහෝවායි. මේ සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් මෙසේ පැහැදිලි කරයි. “නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් [දෙවිට] දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ [දෙවිගේ] සමාදානය ක්‍රිස්තුස් [යේසුස්] තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.”—පිලිප්පි 4:6, 7.

13. අපට යම් දුක් පීඩාවලට මුහුණ දීමට සිදු වන විට, ඒවා විඳදරාගැනීමට අපට ශක්තිය ලැබෙන බවට ස්ථිර විය හැක්කේ මන්ද?

13 එලාට නිදහස ලැබීමෙන් පසුව පවා නොයෙකුත් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වුවත්, ඇය සැමවිටම ප්‍රීතියෙන් සිටියාය. ඇයට මෙසේ කිරීමට හැකි වූයේ ඇගේම ශක්තිය නිසා නොව, නමුත් යෙහෝවා ඇයට දුන් ශක්තිය නිසාය. ප්‍රේරිත පාවුල්ද මෙය අද්දැක්කේය. ඒ ගැන ඔහු මෙසේ ලීවේය. “[ක්‍රිස්තුස්ගේ] ශක්තිය මා කෙරෙහි පිහිටන පිණිස මාගේ දුර්වලකම් ගැන ඉතා සන්තෝෂයෙන් පාරට්ටුකරන්නෙමි. . . . මක්නිසාද මම දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි.”—2 කොරින්ති 12:9, 10.

14. ක්‍රිස්තියානියෙකුට පීඩාකාරි තත්වයන් තුළ පවා ඒකාන්ත ආකල්පයක් තබාගත හැකි ආකාරය පැහැදිලි කරන්න. එමෙන්ම එහි ප්‍රතිඵලය කුමක් විය හැකිද?

14 ඔබ පෞද්ගලිකව මුහුණ දිය හැකි පීඩාකාරි තත්වයන් අප දැන් සලකා බැලූ තත්වයන්ට වඩා වෙනස් විය හැක. කෙසේවෙතත්, ඕනෑම පීඩනයකට විඳදරාගැනීමෙන් යුතුව මුහුණ දීම පහසු දෙයක් නොවේ. උදාහරණයක් හැටියට, ඔබ රැකියාව කරන ස්ථානයේ ස්වාමියා අනිත් ආගම්වල සිටින අයගේ වැඩවලට වඩා නිතරම ඔබේ වැඩවල අඩුපාඩුකම් සොයන කෙනෙක් විය හැක. විසඳුමක් හැටියට වෙනත් රැකියාවක් සොයාගන්න ඔබට නොහැකි වන්න පුළුවන. මෙවන් අවස්ථාවක ඔබේ ප්‍රීතිය දිගටම පවත්වාගත හැක්කේ කෙසේද? ඇඩොල්ෆ් සහ ඔහු සමඟ සිරගතව සිටි සහෝදරයන් ගැන සිතන්න. වටිනා ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරගන්න ආකාරය ගැන තමන් පෞද්ගලික අද්දුටු දේවලින් ඔවුහු ඉගෙනගත්හ. ඔබට “රළු” ලෙස සලකන ස්වාමියාව සතුටු කිරීමට ඔබ අවංක උත්සාහයක් දරනවා නම්, විඳදරාගැනීම හා බොහෝ ඉවසිලිවන්තකම යන ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරගැනීමට ඔබට හැක. (1 පේතෘස් 2:18) එපමණක්ද නොව, කවුරුත් රැකියාවක් දීමට කැමති සේවකයෙකු බවට පත්වීමට එමගින් ඔබට අවස්ථාව උදා විය හැක. මේ නිසා පසු කාලයකදී සෑහීම ගෙන දෙන වෙනත් රැකියාවක් සොයාගන්න ඔබට හැකි වේවි. යෙහෝවාට සේවය කිරීමෙන් අප ලබන ප්‍රීතිය දිගටම පවත්වාගත හැකි වෙනත් ආකාර කිහිපයක් දැන් අපි සලකා බලමු.

සරල වීම ප්‍රීතියට මඟ පාදයි

15-17. තමන් මුහුණ දෙමින් සිටි පීඩාකාරි තත්වයට මූලික හේතුව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නොහැකි වුවත්, එයින් යම් සහනයක් ලබාගැනීමට තමන්ට හැකි බව එක් යුවළක් තේරුම්ගත්තේ කෙසේද?

15 ඔබ කරන ලෞකික රැකියාව වෙනස් කිරීම පහසු දෙයක් නොවෙන්න පුළුවන. නමුත් යම් සකස් කිරීම් කළ හැකි තවත් පැති ඔබේ ජීවිතයේ තිබිය හැකියි. මතු දැක්වෙන අද්දැකීම සලකා බලන්න.

16 ක්‍රිස්තියානි යුවළක් තමන් සමඟ ආහාර වේලක් භුක්ති විඳීම සඳහා වැඩිමහල්ලෙකුට ආරාධනා කළහ. එදින රාත්‍රියේ ආහාර ගනිමින් සිටි අවස්ථාවේදී පුරුෂයා හා ඔහුගේ භාර්යාව අධික වෙහෙසකාරි තත්වය නිසා තමන් දැඩි පීඩනයකට ලක් වී සිටින බව වැඩිමහල්ලාට පැවසූහ. මොවුන් දෙදෙනා කරමින් සිටි රැකියාවට මහත් කාලයක් හා වෙහෙසක් දැරීමට සිදු විය. එමෙන්ම වෙනත් රැකියාවක් සොයාගැනීමද දුෂ්කර විය. තමන්ට කොපමණ කාලයක් මේ වෙහෙසකාරි තත්වයට මුහුණ දීමට සිදු වෙයිද කියා ඔවුන් දෙදෙනා කල්පනා කරමින් සිටියහ.

17 මේ සඳහා කළ හැකි දෙයක් සම්බන්ධයෙන් තමන්ට යම් උපදේශයක් දිය හැකිද කියා මේ යුවළ වැඩිමහල්ලාගෙන් ඇසූ විට, ඔහු පැවසුවේ “ජීවිතය සරල කරගන්න” කියායි. එය කරන්නේ කෙසේද? ඒ පුරුෂයා හා භාර්යාව රැකියාවට යෑමට හා ඒමට සෑම දවසකම පැය තුනක් පමණ වැය කළහ. මෙසේ සෑම දවසකම රැකියාවට යෑමට හා ඒමට වැය කරන කාලය අඩු කරගැනීම සඳහා රැකියාව කරන ස්ථානයට වඩාත් කිට්ටු ප්‍රදේශයක පදිංචියට යෑම ගැන සලකා බලන්න කියා මේ යුවළව හොඳින් දන්න වැඩිමහල්ලා ඔවුන්ට යෝජනා කළේය. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් තමන් ඉතිරි කරගන්න කාලය වෙනත් වැදගත් දේවල් සඳහා හෝ විවේක ගැනීම සඳහා යොදවන්න ඔවුන්ට හැකි වනවා ඇත. ජීවිතයේ යම් පීඩාකාරි තත්වයන් නිසා ඔබේ ප්‍රීතිය නැති වී ගොස් තිබෙන බව ඔබට හැඟෙනවා නම්, යම් සකස් කිරීම් කිරීමෙන් සහනයක් ලබාගත හැකිද කියා සෝදිසි කර බැලීම හොඳ අදහසක් නොවේද?

18. තීරණ ගැනීමට කලින් පරෙස්සමින් සිතා බැලිය යුත්තේ මන්ද?

18 තමන් මුහුණ දෙන පීඩනය අඩු කරගත හැකි තවත් මාර්ගයක් වන්නේ තීරණ ගැනීමට කලින් පරෙස්සමින් සිතා බැලීමයි. උදාහරණයක් හැටියට, ක්‍රිස්තියානි සහෝදරයෙක් නිවසක් සෑදීමට තීරණය කළේයයි සිතමු. ඔහු තෝරාගත්තේ සංකීර්ණ සැලැස්මකි. එහෙත් නිවසක් සෑදීම සම්බන්ධයෙන් ඔහුට කිසිම අද්දැකීමක් නොතිබිණ. තමා මේ සැලැස්ම තෝරාගන්න කලින් ‘තමාගේ පියවර හොඳින් සලකා’ බැලුවා නම්, අනවශ්‍ය ගැටලු බොහොමයකින් වළකින්න තිබුණ බව ඔහුට දැන් වැටහෙයි. (හිතෝපදේශ 14:15) තවත් ක්‍රිස්තියානියෙකු සහෝදරයෙකුට ණය මුදලක් ලබාගැනීම සඳහා ඇපයට අත්සන් කළායයි සිතන්න. ගිවිසුමට අනුව මුදල් ණයට ගත් තැනැත්තාට ආපසු මුදල් ගෙවීමට නොහැකි වුවහොත්, ඇප වූ තැනැත්තා එම මුදල් ගෙවීමට බැඳී සිටියි. මුලදී ගිවිසුමට අනුව සියල්ල සිදු වුණත්, පසුව මුදල් ණයට ගත් තැනැත්තාට ණය මුදල ගෙවීමට නොහැකි වේ. තමාගේ මුදල් අය කරගත නොහැකි වේ දෝ කියා බියට පත් වන ණයහිමියා සම්පූර්ණ ණය මුදල ගෙවන්න කියා ඇපකරුගෙන් ඉල්ලා සිටියි. මේ නිසා ඇපකරු මහත් පීඩනයකට ලක් වෙයි. ඇපවීමට කලින් සෑම දෙයක් ගැනම හොඳින් සිතා බැලුවා නම්, මේ තත්වය වළක්වාගන්න ඇපකරුට හැකියාව තිබුණා නොවේද?—හිතෝපදේශ 17:18.

19. අපට ජීවිතයේ පීඩන අඩු කරගත හැකි ඇතැම් ආකාර මොනවාද?

19 පෞද්ගලික පාඩම, ක්ෂේත්‍ර සේවය හා රැස්වීම්වලට යෑම සඳහා යොදවන කාලය කපාහැරීමෙන් දැඩි ලෙස වෙහෙසට පත්ව සිටින විට දැනෙන පීඩනය අඩු කරගත හැකියි කියා අප කවදාවත් නොසිතිය යුතුය. මන්ද ප්‍රීතිය භුක්ති විඳීමට ඉවහල් වන දෙවිගේ ශුද්ධාත්මය ලැබීමට නම්, කලින් සඳහන් කළ දේවල නිරත වීම අත්‍යවශ්‍ය වේ. (ගලාති 5:22) ආත්මික කටයුතුවල නිරත වන සෑම විටම අපට මහත් ප්‍රබෝධයක් දැනෙන අතර, ඒවා කවදාවත් අපව වෙහෙසට පත් නොකරයි. (මතෙව් 11:28-30) අපව වෙහෙසට පත් කරවන්නේ ආත්මික කටයුතු නොව, ලෞකික කටයුතුය. එමෙන්ම ටිකක් වේලාසනින් නින්දට යෑමෙන් ප්‍රබෝධවත් බවකින් පසුවදා අවදි විය හැක. මදක් විවේක ගැනීමෙන් භුක්ති විඳිය හැකි ප්‍රයෝජන බොහෝය. සිය මරණය දක්වාම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස සේවය කළ එන්. එච්. නෝර්, බොහෝ අවස්ථාවලදී මිෂනාරිවරුන්ට මෙසේ පැවසුවේය. “ඔබ අධෛර්යයට පත් වන අවස්ථාවලදී, කළ යුතු මුල්ම දෙය වන්නේ ටිකක් විවේක ගැනීමයි. රාත්‍රියේ සුව නින්දකින් පසු අවදි වන විට යම් ගැටලුවකට මුහුණ දීම සඳහා ඔබ සිටින හොඳ මානසික තත්වය ගැන ඔබ පුදුම වේවි!”

20. (අ) අපේ ප්‍රීතිය දිගටම පවත්වාගත හැකි ආකාර කිහිපයක් සඳහන් කරන්න. (ආ) අපට ප්‍රීතියෙන් සිටීමට තිබෙන හේතු මොනවාද? (17වන පිටුවේ තිබෙන කොටුව බලන්න.)

20 “සන්තෝෂවත් දෙවිට” සේවය කිරීම ක්‍රිස්තියානීන් විසින් භුක්ති විඳින මහත් වරප්‍රසාදයකි. (1 තිමෝති 1:11NW) අප යම් ගැටලු ප්‍රශ්නවලින් වට වී සිටින විට පවා දිගටම ප්‍රීතියෙන් සිටිය හැකි බව අප සාකච්ඡා කළ දේවලින් පැහැදිලියි. අපි රාජ්‍ය බලාපොරොත්තුව දිගටම අපේ මනසේ දීප්තිමත්ව තබාගනිමු. අවශ්‍ය අවස්ථාවලදී අපේ ආකල්ප වෙනස් කරගනිමු. අපේ ජීවිතය සරල කරගනිමු. අපි මෙසේ කරනවා නම්, අපට මුහුණ දීමට සිදු වන තත්වය කුමක් වුවත්, ප්‍රේරිත පාවුල්ගේ මෙම වදන්වලින් කියවෙන දෙය අපට අද්දැකිය හැක. “[ස්වාමීන්] තුළ නිතරම ප්‍රීතිවෙන්න. ප්‍රීතිවෙන්නැයි නැවතත් කියමි.”—පිලිප්පි 4:4.

මතු දැක්වෙන ප්‍රශ්නවලට හොඳ අවධානයක් දෙන්න

• ක්‍රිස්තියානීන් රාජ්‍යයේ බලාපොරොත්තුව තම මනස්වල දීප්තිමත්ව තබාගත යුත්තේ මන්ද?

• අසීරු තත්වයන්වලදී පවා ප්‍රීතිය දිගටම පවත්වාගැනීමට අපට උපකාරවත් වන්නේ කුමන දේවල්ද?

• අපේ ජීවිත සරල කරගැනීමට අප වෑයම් කළ යුත්තේ මන්ද?

• ඇතැමුන් තමන්ගේ ජීවිත සරල කරගෙන තිබෙන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[17වන පිටුවේ කොටුව⁄පින්තූර]

ප්‍රීතියෙන් සිටීම සඳහා තවත් හේතු

ක්‍රිස්තියානීන් හැටියට ප්‍රීතියෙන් සිටීමට අපට හේතු බොහොමයක් තිබේ. ඒවායින් සමහරක් මතු දැක්වේ.

1. අපි යෙහෝවාව දැන හඳුනාගෙන සිටින්නෙමු.

2. දෙවිගේ වචනයේ තිබෙන සත්‍යය අපි ඉගෙනගෙන සිටින්නෙමු.

3. යේසුස්ගේ ජීවිත පූජාව මත ඇදහිල්ල තැබීමෙන් අපේ පව්වලට සමාව ලබාගත හැක.

4. දෙවිගේ රාජ්‍යය පාලනය ආරම්භ කර තිබෙන අතර, නව ලොව ඉතාමත් ආසන්නයි!

5. යෙහෝවා අපව ආත්මික පාරාදීසයකට ගෙනැවිත් තිබේ.

6. අපි ප්‍රේමනීය සහෝදර සංගමයක ඇසුර භුක්ති විඳින්නෙමු.

7. දේශනා සේවයෙහි හවුල් වීමේ වරප්‍රසාදය අපි භුක්ති විඳින්නෙමු.

8. අපට ජීවිතය තිබේ. යම් ප්‍රමාණයකට හෝ ශාරීරික ශක්තියක් තිබේ.

අපට ප්‍රීතිවීම සඳහා තිබෙන තවත් හේතු ඔබට සඳහන් කළ හැකිද?

[13වන පිටුවේ පින්තූරය]

පාවුල් හා සීලස් සිරගෙදරදී පවා සිටියේ ප්‍රීතියෙන්

[15වන පිටුවේ පින්තූර]

දෙවිගේ නව ලොවෙහි ප්‍රීතිමත් ජීවිතය නිතර ඔබේ සිතෙහි මැවෙනවාද?