“යෙහෝවා මට පුදුම විදිහට ආශීර්වාද කරලා තියෙනවා!”
“යෙහෝවා මට පුදුම විදිහට ආශීර්වාද කරලා තියෙනවා!”
වර්ෂ 1985 මාර්තු මාසයේ එක් ශාන්ත වූ සැන්දෑ යාමයක, අ.එ.ජ., නියූ යෝක්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයේ ලේඛන අංශයේ සේවය කරන පුරුෂයන් හා ස්ත්‍රීන්, වසර 60ක් පුරා පූර්ණකාලීන සේවයෙහි නිරත වෙමින් සිටි කාල් එෆ්. ක්ලයින් වෙනුවෙන් විශේෂ සාදයක් පැවැත්තුවා. සහෝදර ක්ලයින් උද්යෝගයෙන් මෙසේ පැවසුවා. “යෙහෝවා මට පුදුම විදිහට ආශීර්වාද කරලා තියෙනවා!” ඔහුගේ ප්‍රියතම බයිබල් පදය වුණේ ගීතාවලිය 37:4යි කියාත් ඔහු සඳහන් කළා. පසුව, ඔහු තම සෙලෝ සංගීත භාණ්ඩය වාදනය කිරීමෙන් සියල්ලන්ටම වින්දනයක් ලබා දුන්නා.
ඉන්පසු ගෙවීගිය වසර 15 තුළදී සහෝදර ක්ලයින් ලේඛන මඩුල්ලේ සාමාජිකයෙකු වශයෙන් හා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් සේවය කළා. පසුව, 2001 ජනවාරි 3වෙනිදා වයස අවුරුදු 95ක්ව සිටියදී කාල් ක්ලයින් තමාගේ භූමික වැඩ කොටස විශ්වාසවන්ත ලෙස නිම කළා.
කාල් උපන්නේ ජර්මනියෙයි. ඔහුගේ මුළු පවුලම එක්සත් ජනපදයේ පදිංචියට ගිය අතර කාල් හැදී වැඩුණේ චිකාගෝහි උප නගරයක් වන ඉලිනොයිවලයි. කාල් සහ ඔහුගේ බාල සහෝදර ටෙඩ්, නහඹර වයසේදීම බයිබලය කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන්න පටන්ගත්තා. වර්ෂ 1918දී කාල් බව්තීස්ම වූ අතර, 1922දී පැවැත්වූ බයිබල් ශිෂ්‍යයන්ගේ සමුළුවකදී ඔහුගේ සවනට වැකුණු හද පිනවන දේවල් නිසා ජීවිත කාලය පුරාම ක්ෂේත්‍ර සේවයේ යෙදීමට ඔහු තුළ මහත් ආශාවක් ඇති වුණා. සතියක්වත් දේශනා සේවයෙහි හවුල් නොවී නොසිටි ඔහු සිය ජීවිතයේ අවසාන සති කීපයේදීත් එලෙසම සේවයේ යෙදුණා.
වර්ෂ 1925දී මූලස්ථානයේ සේවක මඩුල්ලේ සාමාජිකයෙකු බවට පත් වූ කාල් මුලින්ම නියැලුණේ මුද්‍රණ කටයුතුවලයි. සංගීතයට පුදුම ආශාවක් දැක්වූ ඔහු වසර කීපයක් පුරාම ක්‍රිස්තියානි ගුවන් විදුලි සේවය ඔස්සේ විකාශනය වූ වැඩසටහනකට සංගීතය සැපයූ වාදක කණ්ඩායමක සෙලෝ භාණ්ඩය වාදනය කළා. ඉන්පසු, ඔහු සේවා අංශයේ වැඩ කළේ විශේෂයෙන්ම එහි අවේක්ෂක ටී. ජේ. සලිවන් සමඟ ප්‍රීතිමත් ඇසුරක් පවත්වමිනුයි. මේ අතරතුර, ටෙඩ් විවාහ වී ඔහුගේ බිරිඳ වූ ඩොරිස් සමඟ පුවටෝ රිකෝහි මිෂනාරි සේවය සඳහා ගියා.
අඩ සියවසක් පුරා, කාල් ක්ලයින් ලේඛන අංශයේ වැඩ කළ අතර, පර්යේෂණ කිරීමට ඇල්මක් දැක්වූ නිසාත් බයිබලය පිළිබඳ මනා දැනුමක් තිබුණ නිසාත් මහඟු සේවයක් ඉටු කිරීමට ඔහුට හැකි වුණා. වර්ෂ 1963දී කාල් බොලිවියාවේ සේවය කරමින් සිටි ජර්මන් මිෂනාරිවරියක වූ මාගරීටාව විවාහ කරගත්තා. කාල් සාමාන්‍යයෙන් කෙනෙක් විශ්‍රාම යන වයස පසු කර සෑහෙන මහලු වයසකට පැමිණ හිටියත්, ඇගේ ප්‍රේමනීය සහයෝගය හේතුවෙන්, විශේෂයෙන්ම සෞඛ්‍ය ගැටලු අද්දැක්ක අවස්ථාවලදී පවා ඵලදායී සේවයක් ඉටු කිරීමට ඔහුට හැකි වුණා. ස්වභාවයෙන්ම කාල්ට පිහිටා තිබුණු අවංකකම හා මුසුව තිබූ සංගීතඥයෙකුගේ උද්යෝගීභාවය සභාවලදී හා සමුළුවලදී අමතක නොවන කතා ඉදිරිපත් කිරීම සඳහා දායාදයක් වුණා. ඔහුගේ මරණයට ටික කලකට පෙර නියූ යෝක්හි විශාල බෙතෙල් පවුලට ප්‍රීතිය මෙන්ම ප්‍රයෝජන ගෙන දුන් උදෑසන පදය පිළිබඳව කෙරෙන සාකච්ඡාව මෙහෙයවන්න ඔහුට හැකි වුණා.
නිතිපතා මුරටැඹ කියවන බොහෝදෙනෙකුට 1985 සැප්තැම්බර් කලාපයේ පළ වූ සහෝදර ක්ලයින්ගේ රසවත් අද්දැකීම් සම්භාරයකින් සමන්විත ජීවිත කතාව මතකයට නැඟේවි. ඒ කතාව මුල් වරට කියවා බැලීමේදී නැත්නම් යළිත් කියවා බැලීමේදී එහි ලේඛකයා වූ ඔහු එය ලිවීමෙන් පසුත් දශක එකහමාරක් පමණ ඇදහිලිවන්ත, කැප වූ ක්‍රිස්තියානියෙකු වශයෙන් ජීවත් වූ බව මනසේ ධාරණය කරගැනීමෙන් ඔබ සතුටු වේවි.
ස්වාමීන්ගේ ආලේප ලත් කෙනෙකු වූ සහෝදර ක්ලයින් ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයෙහි පාලනය කිරීමට මුළු හෘදයෙන්ම ආශාවක් දැක්වුවා. යෙහෝවා දැන් එම ආශාව ඉටු කර දී ඇති බව විශ්වාස කිරීම සඳහා අපට සෑම හේතුවක්ම තිබෙනවා.—ලූක් 22:28-30.
[31වන පිටුවේ පින්තූරය]
කාල්, ටී. ජේ. සලිවන්, ටෙඩ් සහ ඩොරිස් සමඟ 1943දී
[31වන පිටුවේ පින්තූරය]
කාල් සහ මාගරීටා 2000 ඔක්තෝබර්වලදී