Skip to content

පටුනට යන්න

වැන්දඹුභාවය ස්ත්‍රීන් දෙදෙනෙකුට බලපෑ අයුරු

වැන්දඹුභාවය ස්ත්‍රීන් දෙදෙනෙකුට බලපෑ අයුරු

වැන්දඹුභාවය ස්ත්‍රීන් දෙදෙනෙකුට බලපෑ අයුරු

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන සැන්ඩ්‍රා වැන්දඹුවකි. වසර කීපයකට පෙර ඇගේ සැමියා මියගිය විට ඇය හදිසි කම්පනයකට මුහුණ පෑවාය. “මගේ සැමියත්, හොඳම යාළුවත් හදිසියේම නැති වුණ බව දැනගත්තහම මට ඒක දරාගන්න බැරි වුණා. රෝහලේ ඉඳලා ගෙදර ආව විදිහවත්, ඒ දවසේ මොනවද කළේ කියලවත් මට මතක නැහැ. මං කොච්චර භය වුණාද කියනවා නම් ඊළඟ සති කීපයේදී මගේ මුළු සර්වාංගෙම ඇදුම් කෑවා.”

සැන්ඩ්‍රාට වඩා වයසින් වැඩි ඇගේ යෙහෙළියක වූ ඉලේන් වැන්දඹුවක් වූයේ ඊට වසර හයකට පමණ පෙරය. ඇගේ සැමියා වූ ඩේවිඩ් පිළිකාවකින් මියයෑමට පෙර මාස හයක්ම ඇය ඔහුට සාත්තු සප්පායම් කළාය. ඇය කෙතරම් අධික ශෝකයක ගිලී සිටියාද කියනවා නම් ඇගේ සැමියාගේ මරණයෙන් වැඩි කලක් යෑමට මත්තෙන් ඇය තාවකාලිකව අන්ධභාවයට පත් වූවාය. වසර දෙකකට පසු ඈ සෙනඟ ඉදිරියේදී සිහිසුන්ව ඇද වැටිණ. ඇගේ වෛද්‍යවරයා ඈ තුළ කිසිදු ශාරීරික ආබාධයක් නොමැති බව සොයාගත්තේය. කෙසේවුවත්, ඉලේන් ඇගේ ශෝකය හිර කරගෙන සිටි බව වටහාගත් ඔහු නිවසට ගොස් දුක පහ වන තුරු අඬන්න උත්සාහ කරන්න කියා ඇයට නිර්දේශ කළේය. “මගේ දුක දරාගෙන වැඩ කටයුතු ටික කරගන්න මට ටිකක් කල් ගියා.” තනිකම දැනුණු විට “මම නිදන කාමරයට ගිහින් ඩේවිඩ්ගේ ඇඳුම්වල මගේ මූණ හංගගෙන අඬ අඬා හිටිය අවස්ථාවල් තියෙනවා” යයි ඉලේන් පවසන්නීය.

වැන්දඹුභාවය කියන්නේ නිකම්ම සැමියෙකු නොමැතිව දිවි ගෙවනවාට වඩා වැඩි දෙයක් බැවින් ප්‍රියාදර කලත්‍රයෙකුගේ මරණයට විවිධාකාර ප්‍රතික්‍රියාවන් දැක්වීම බලාපොරොත්තු විය හැකියි. උදාහරණයකට, සැන්ඩ්‍රාට හැඟුණේ තමා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවය. මෑතකදී වැන්දඹුභාවයට පත්වීම නිසා ශෝක වෙමින් සිටින බොහෝදෙනෙකුට මෙන් ඇයටත් දැනුණේ අත පය කඩා දමා පිළිසරණක් නැතුව සිටින්නාක් මෙනි. සැන්ඩ්‍රා මෙසේ මතකයට නඟන්නීය. “හැම දේකදීම අවසාන තීරණය ගත්තේ මගේ සැමියා නිසා ඔහු හදිසියේම මියගියහම ඒ වගේ තීරණයක් ගන්න අවස්ථාවක් එනකොට මට භය හිතුණා. මට සැනසිල්ලේ නිදාගන්නවත් බැරි වුණා. මම හිටියේ හොඳටම හෙම්බත් වෙලා. මොනවා කරන්නද කියලා හිතාගන්නවත් බැරුව ගියා.”

සැන්ඩ්‍රාගේ හා ඉලේන්ගේ කතන්දරවලට සමාන කතන්දර සෑම දවසකම ලෝකයේ කොතැනකින් හෝ අසන්ට ලැබේ. අසනීප, හදිසි අනතුරු, යුද්ධ, වාර්ගික ශෝධනය හා ප්‍රචණ්ඩත්වය නිසා වැන්දඹුවන් බවට පත් වන අයගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතී. a කිසිවක් කරකියා ගත නොහැකිව සිටින මෙවැනි ස්ත්‍රීන් බොහෝදෙනෙක් දුක්ගින්දර හිතේ දරාගෙන සිටිති. වැන්දඹුභාවය අනුව හැඩගැසීමට මොවුන්ට උපකාර කිරීම සඳහා මිතුරන්ට හා නෑදෑයන්ට කුමක් කළ හැකිද? ඊළඟ ලිපියෙහි මේ සඳහා උපකාරවත් වන යෝජනා කීපයක් දී ඇත.

[පාදසටහන්වල]

a බිරිඳන් අතැර ගිය සැමියන් නිසා වෙනත් ස්ත්‍රීන්ද යම් ආකාරයකින් වැන්දඹුභාවයකට පත් වී ඇත. වෙන්වීම හා දික්කසාදය හේතුවෙන් ඇති වන ගැටලු වැන්දඹුභාවයට පත්වීමෙන් ඇති වන ගැටලුවලට වඩා වෙනස් වුවත් එවැනි තත්වයන් අද්දකින ස්ත්‍රීන්ටද ඊළඟ ලිපියෙහි සාකච්ඡා කෙරෙන ප්‍රතිපත්තිවලින් බොහෝමයක් උපකාරවත් විය හැක.